අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීමේ මුල් පියවරයන්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 16, 2022

ශ්‍රී ලංකාවේ පශ්චාත්-යුධ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීමේ මුල් පියවරයන් 2015-2019: උගත් පාඩම් යන මාතෘකාවෙන් යුතු තොරතුරු රැසකින් පිරි අධ්‍යයනයක් Regional Centre for Strategic Studies ආයතනයෙන් නිකුත් වී තිබේ.

ආණ්ඩු ක්‍රමයක් යනු අරාජකත්ව ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාපීඩක ප්‍රචණ්ඩත්වය යන අන්ත දෙක මැදින් පවතින්නකි. ලංකාව කිසිදු දිනෙක මේ අන්ත දෙකින් එකකට හෝ ඇද වැටී නැති වුවත් රටේ සියළුම ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත බව තහවුරු කරන ප්‍රතිපත්ති මොනවාදැයි කියා ප්‍රසිද්ධ සංවාදයක් ද මේ දක්වා දකින්නට ලැබී නැත. එවැනි පසුබිමක දී මේ අධ්‍යයනය ගන්නා ලද උත්සාහය ප්‍රශංසනීයයි.

යහපාලන ආණ්ඩු කාලය මේ අධ්‍යයනයේ දී විශේෂයෙන් අවධානයට ලක් වෙයි. ප්‍රථම වරට ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් එක මේසයකට වාඩිවී තමන් ඉදිරියේ ඇති ඛාදනය වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනඟා ගන්නට උත්සාහ දැරීම ගැනත් ඔවුන්ගේ ඒ වෑයම් අසාර්ථක වී ගියේ මන්දැයි කියාත් මෙහි නියැළෙන විද්‍යාර්ථීන්ගේ විමසුමට ලක්වේ.

ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරා පැවති සිවිල් යුද්ධය පමණක් නොව දකුණෙන් නැඟී ආ කැරලි කෝලාහල (1971 සහ 1987-89) දෙකත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඛාදනයට හේතු වූවා යැයි සඳහන් කරති. ඔවුන්ගේ අධ්‍යයනය 2015-2019 ට සීමා වුවත් ඒ පසුබිම සිහි කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම ගැන වූ සාකච්ඡාවක දී වැදගත් බව සැලකීම ඔවුන් අත්නොහැරීම වැදගත් යැයි මම සලකමි.

මේ අධ්‍යයනය ඉදිරිපත් කරන විද්‍යාර්ථීන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලංකාව තුළ මහත් ජනප්‍රියත්වයක් ඇතිවා පමණක් නොව එහි වර්ධනයක් ද දකින්නට හැකියි. වෙනත් පාලන ක්‍රමයන්ට වඩා වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් ප්‍රජාතන්ත්‍රවාදයට කැමැත්තක් දක්වන බව දකුණු ආසියාවේ ආණ්ඩුකරණය සහ ප්‍රතිත්ති අධ්‍යයන කළ NORHED යටතේ වූ ව්‍යාපෘතියක දී දැනගන්නට ලැබී ඇතැයි ඔවුන් සඳහන් කරති.

මහජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රිය කළා වුවත් ප්‍රජාතන්ත්‍රවාදී වූ දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක නොවූයේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ වෙනුවෙන් කිසිදු මෙහෙයක් ඉටු නොකිරීම නිසා යැයි මේ අධ්‍යයනය කියැවීමේ දී පැහැදිලි වන කාරණයකි. මේ අධ්‍යයනයේ නියැළෙන ලද විද්‍යාර්ථීන් උලුප්පා දක්වන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර coalition or cohabitation සම්බන්ධයෙන් සාර්ථකත්වයක් කිසිදා දකින්නට නොලැබුණ බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගෙනෙනවා වෙනුවට එහි ඛාදනය දිගින් දිගටම අත්විඳින්නට මහජනතාවට සිද්ධවීමට හේතුව මේ ප්‍රධාන පක්ෂ තුළ ඇති ගැටුම් යැයි අධ්‍යයනයේ නිගමනය වීයැයි එය කියැවීමෙන් පසුව මම සිතීමි.

ප්‍රධාන දේශපාලන පක්ෂ ගැනත්, යහපාලන ආණ්ඩුව ගැනත් කෙරෙන කතිකාවක දී රටේ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ දේශපාලන පක්ෂ මාරු කිරීම ගැන සඳහනක් තිබුණා දැයි කියා මට සොයාගත නොහැකි විය.

ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතයන් විසින් අර්බූදකාරී අවස්ථාවල දී තම දේශපාලන පක්ෂ මාරු කිරීම හෝ පක්ෂය තුළ කැඩී බෙදී යාමක් දකින්නට ලැබුණ මුල් අවස්ථාව යහපාලන ආණ්ඩු කාලය නොවේ. සොලමන් ඩයස් බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමේ පටන් කොමියුනිස්ට් පක්ෂයකින් දේශපාලනයට පිවිසි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණීමත් මගේ සිහියට නැඟේ.

ඉතින් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම වෙනුවෙන් කළ යුත්තේ මොනවාදැයි පහදාගත් දැක්මකින් යුතු පාර්ලිමේන්තු නියෝජිතයන් සිටියාදැයි කියා මෙන්ම අද සිටිනවාදැයි කියා සැකයක් ඇතිවේ. යහපාලන රජයේ ආගමනය සිදු වූයේ අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව රටේ ඇති වූ මහජන විරෝධයෙන් වාසි ගන්නට ඔවුන්ගේ හඬ වෙනස් කිරීම පමණක් නිසාදැයි කියාත් මේ අධ්‍යයනය තුළින් පිරිනැමෙන මහත් තොරතුරු රාශියෙන් සිතන්නට හැකියි. තව දුරටත් පැහැදිලි කළහොත් එහි දී සිද්ධ වූයේ රාජපක්ෂ රෙජිමයේ බලගතු බව පරාජය මිසෙක එහි දී හානියට පත්වෙමින් තිබි ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැඟීම හෝ රටේ යහපාලනයක් පිහිටුවීම සඳහා දැඩි උවමනාවක් ඒ හටගත් විරෝධයේ අඩංගුව තිබුණාද යන්න සැක සහිතයි.


යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ අගමැති අතර බලය සඳහා වූ ප්‍රතිවාදීත්වය ගැන මෙන්ම 19 වැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තෙක් පැවති ජනාධිපතිවරයාගේ විධායක බලය ගැන ද මෙම අධ්‍යයනය සටහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන වූ කතිකාවේ දී එම කොටස, විශේෂයෙන්ම ඔවුන් අතර වූ ප්‍රතිපත්තිමය ගැටුම්, යනාදියෙන් එය තවත් විස්තරාත්මක වූවා නම් එහි අනගිත්වය ඉහළ යනු ඇත.

ජනාධිපතිවරයා සතු විධායක බලය අයින් කරනවා යැයි පොරොන්දු දී පාලන බලය අල්ලාගන්නට සමත් වූ ජනාධිපතිවරුන් කිසිවෙක් එය නොකරන ලද්දහ. සිරිසේන-වික්‍රමසිංහ ගැටුම්වල දී විධායක බලය අයින් කරන යෝජනා සඳහා අනෙකා සහයෝගය නුදුන්නා යැයි කියා පමණක් ඔවුන් එය මඟහැරියේ ද? එවක අගමැතිව සිටිය දී රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර වූ ඒ විධායක බලය අයින් කරන්නට හෝ නොකරන්නට කියා යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටියාදැයි කියා පැහැදිලි කරමින් ඒ සම්බන්ධයෙන් ලියැවෙන ලද කොටස තවත් පුළුල් වූවා නම් හොඳයැයි සිතේ.

යහපාලන සමයේ දී ව්‍යවස්ථා අර්බූදය පැන නැඟුනේ එක්තරා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැවති වෙනස් මත නිසා යැයි සඳහන් වෙයි. අනතුරුව සිරිසේන සහ වික්‍රමසිංහ ගැන වූ පෞරුෂ හා පංති ප්‍රතිවිරුද්ධතාවයන් ගැන ලියැවෙයි. ඉතින්, නැවතත් අපිට මේ ඔවුන් අතර එකඟත්වයක් නොමැති වූ ප්‍රතිපත්ති මොනවාදැයි කියා වැඩි දුරටත් පැහැදිලි කිරීමක් ලැබුණා නම් වඩා වටිනවා යැයි මට සිතේ.

මෙම අධ්‍යයනය තුළ සෝදුපත් බැලීමේ දී අත්හැරී ගිය තැන් බොහොමයක් ඇතැයි කියාත් සඳහන් කළ යුතුයි.

මෙහි විද්‍යාර්ථීන් විසින් ගන්නා ලද වෑයම බෙහෙවින් අගය කරමි. මෙම අධ්‍යයනය මෙතැනින් නිමා නොවී තවත් පුළුල් හා විවිධ පැතිකඩෙන් ඔවුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම පිළිබඳ කතිකාවක් ඉදිරියට ගෙන යනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න