අරුණි ශපීරෝ‍ වෙතින්

ඉතින් ඊ ළඟට දොයි මයි ද?

Posted in Uncategorized by arunishapiro on ජූලි 10, 2022

සමෘද්ධිය ගෙනෙන ප්‍රතිපත්ති ගැන කතා කරන අයෙක් හෝ පිරිසක් තවමත් දකින්නට නැත. එහෙන් මෙහෙන් “ආර්ථික නිදහස” සහ “නිදහස් වෙළඳපල” යන වචන අහන්නට ලැබුනද ඒවා දොඩන අය ඒ වදන් සැබැවින් විශ්වාස කරන බවක් නොපෙනෙයි.

යම් රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගත්තේ ද, එසේ සිද්ධ වූයේ ඒ රටේ රාජ්‍ය බලයේ අතපෙවීම් ජන ජීවිතයෙන් බෙහෙවින් ඈත් වූ නිසා යැයි පෙන්විය හැකි උදාහරණ ලෝක ඉතිහාසයේ එමට පවතී. ක්‍රි. පූ. 27 දී පිහිටුවන ලද රෝම අධිරාජ්‍යයේ සිට මේ දක්වා මේ සත්‍යය යළි යළිත් ඔප්පු කරන ලද්දකි.

රජයේ ප්‍රතිපත්ති නිසා මිනිස් ජීවිත මිලියන 65 ක් අහිමි වූ චීනයේ ආර්ථිකය වැටී තිබුණ අගාධයෙන් ගොඩ එන්නට හැකි වූයේ ද එලෙසින්මයි. මාඕ සේතුං ගෙන් පසුව චීනයේ ප්‍රතිසංස්කරණ රජයේ මූලිකත්වයෙන් ගෙනෙන ආර්ථික සැලසුමක් යටතේ පටන් ගත්තා වුවත් රජය විසින් අයිතිය කියූ ව්‍යාපාර බොහෝ සෙයින් අඩුවීමක් දකින්නට ලැබුණි. රජය විසින් රාජ්‍ය අතපෙවීම් ලිහිල් කරද්දී වෙළඳපල මිල ගණන් සඳහා ඉඩක් ලැබුණි. එවක ආර්ථිකය බංකොළොත් වූ චීනයේ රාජ්‍ය නිර්දේශයන් කෙසේ වුවත්, කාලයේ අවශ්‍යතාවය මත සෑම සියළු ගමක් හා නගරයක් නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂ නායකයන් විසින් වෙළඳපල තුල කැමැත්තෙන් සිද්ධ වෙන ගනුදෙනු සඳහා ඉඩදුන්හ. බොහෝ අවස්ථාවල දී ඔවුන් නොදැක්කා සේ සිටියහ. මහාචාර්ය Zhang Weiying විසින් ලියන ලද The Logic of the Market (2015) පොතෙන් ඔහු පෙන්වා දෙන්නේ චීනයේ සිද්ධ වූ සීඝ්‍ර ආර්ථික වර්ධනය හටගත්තේ රාජ්‍ය සැලසුම්කරණය නිසා නොව, චීන ජනතාව රජයේ බලපෑම්වලින් ඈත්වන්නට සමත් වූ නිසා නිසා යැයි කියායි.

වියට්නාමයේ මෑත කාලයේ සිද්ධ වූ ආර්ථික දියුණුවද එසේම සිද්ධ වූවකි. උතුරු වියට්නාමය විසින් දකුණට කඩා වැදී ලේ විලක් වගුරවමින් පටන් ගත් මධ්‍යම සැලසුම් ආර්ථික ක්‍රමය 1976 සිට 79 දක්වා පැවතිණ. 1980 සිට 86 කාලයේ දී රජය විසින් එරට ආර්ථිකයේ සෑම සියළු අංගයක්ම හසුරුවන්නට යෑම (එනම් මධ්‍යම සැලසුම් ආර්ථික ක්‍රමය) නිසා රට බංකොළොත්බවට පත්වූවා යැයි අවබෝධ වෙද්දී එතෙක් පැවති දැඩි ආර්ථික ප්‍රතිපත්ති එකක් දෙකක් ලිහිල් කරන්නට පටන් ගැනිණ. එහි සාර්ථකත්වය දකින ඔවුන් ප්‍රතිසංස්කරණ යන අර්ථය දක්වන දොයි මයි (Doi Moi) නමින් පුළුල් ලෙසින් ආර්ථික වෙනස්කම් රැසක් මුළු වියට්නාමය පුරාම පැතිර යන ලද්දේ 1987 දී ය.

බංකොළොත් බවට පා තැබූ වියට්නාමයේ 76 සිට 1979 දක්වා පැවතියේ මධ්‍යම සැලසුම් ආර්ථික ක්‍රමයයි. විදේශයන් සමඟ පවත්වන වෙළඳ කටයුතු සහ විදේශයන් සමඟ ගෙනයන ආර්ථික සම්බන්ධතා මූලික වශයෙන් රජයට අයත් ව්‍යාපාර විසින් තීරණය කරන ලද ඒවා වූහ. එනම් ඒවා රජයේ ඒකාධිකාරයන් වූහ.

මුල්‍ය සහනාධාර, විවිධාකාර ණය දීමනා, අඩු මිලට නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයීම, පාඩු රජය විසින් විඳ දරා ගැනීම රජයට අයිති සියළුම ආර්ථික ව්‍යවසායක වෑයම් තුලින් දකින්නට ලැබුණි.

දොයි මයි ප්‍රතිපත්ති වලින් 1988 දී වියට්නාමයේ ගොවියන්ට ඔවුන්ගේ ඉඩම්වල තමන්ගේ කැමැත්තක් කරන්නට නිදහසක් ලැබුණි. 1988 දක්වා පැවති ආහාර හිඟය හමුවේ එරටට සහල් ටොන් 450,000 කට වැඩියෙන් ගෙන්වන්නට සිද්ධවී තිබුණත්, එක වසරක් ගෙවී යද්දී එනම් 1989 දී වියට්නාමය සහල් ටොන් 1,370 ක් පිටරටට විකුණන්නට සමත් විය. එතැන් පටන් වියට්නාමය ලෝකයේ මූලික සහල් අපනයන කරන රටවල් අතර තෙවැනි විශාලතම අපනයනකරුවා බවට පත්ව සිටියි. රජය පැත්තකට වූවාම සිද්ධ වූ දියුණුව එයයි.

1987 දී Khoan 10 නැමති ඉඩම් නීතියෙන් වියට්නාමයේ ගොවියන්ට නිෂ්පාදනය සහ බෙදාහැරීම ගැන තනි තීරණ ගන්නට නිදහස ලැබුණි. මීකොන් ඩෙල්ටාව අසබඩ ප්‍රදේශයන් එරට සහල් වගාව සරු ලෙසින් සිදුවන කලාපයයි. නිදහස් වෙළඳපල මිල ගණන්වලට ගොවීන්ට සහල් විකුණනන්ට ඉඩ ලැබීමත් සමඟ නිෂ්පාදන මට්ටම් මහත් සෙයින් ඉහළ ගියහ.

කෘෂිකර්මයට කළ රාජ්‍ය මැදිහත්වීම් ( ඔබට කොමියුනිස්ට්වාදයේ කළු පොතෙන් කියවන්නට පුළුවනි.) ලිහිල් වීමත් සමඟ හටගත් සීඝ්‍ර දියුණුව දැක ඒ රාජ්‍ය මැදිහත්වීම් වෙළඳ සහ කාර්මික අංශවලින් ද ක්‍රමයෙන් ලිහිල් කිරීම පටන් ගැනිණ.

පෞද්ගලික ව්‍යාපාර ඔවුන්ගේ අරමුණු යටතේ නිෂ්පාදනයේ සහ වෙළඳාමේ යෙදෙමින් ලාබ උපයන්නටත් සේවකයන්ගේ වේතන මට්ටම් ඉහළ යවන්නටත් සමත් වූහ.

ව්‍යවසායකත්වය යනු කැමැත්තෙන් එකිනෙකා සමඟ හුවමාරු කරගැනීමයි.

1988 දී විදේශ ඍජු ආයෝජන නීතිය සම්මත කරන ලදි. 1990 වෙද්දී පෞද්ගලික ව්‍යාපාර නීතිය සහ 1999 වෙද්දී ව්‍යවසාය නීතිය නමින් එයම නැවතත් සම්මත කරන ලදි.

වියට්නාමයේ සීඝ්‍ර ආර්ථික වර්ධනය දකින්නට ලැබෙන්නේ 1991 සිට 2000 දක්වා කාලයේ දී ය. 1986 දී පැවති 70% දරීද්‍රතා මට්ටම 1998 වෙද්දී 37% ක් දක්වා පහත වැටිණ. 2022 දී එය 5% කි.

ලංකාවේ ද කෘෂිකර්මාන්තයන්ට, විදේශ ඍජු ආයෝජන සහ ව්‍යවසායක සඳහා පනවා ඇති නීති ලිහිල් වීමෙන් රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් දකින්නට ලැබීම නිසැකයෙන්ම සිද්ධ වෙනු ඇත. ඒත් ඒවා වෙනුවෙන් පෙනී සිටින්නේ කවරෙක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න