අරුණි ශපීරෝ‍ වෙතින්

අනතුරුදායක ගෑස් වැඩපොළක්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2011


ඉහත පින්තූරය අලවලා තිබුනෙ ඉහළ උපාධියට ඉගෙන ගත්ත ශිෂ්‍ය පිරිසකගේ චමරියේ දොරක.

අධෝවාතය හෝ ගුදවාතය පිට කිරීම වාතේ අරිනවා, පඩ අරිනවා හෝ පඩිනවා යයි කීම ඊයා, චීයා කතා වුනාට එහෙම ගෑස් පිට නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට පයින්ට් 1-3 ත් අතර (ලීටර් .5 – 1.5 ත් අතර) වාතය පිට කරනවා.

මහ බඩවැල් සහ කුඩා බඩවැල් වලට වාතය පිරෙන විදි මෙහෙමයි: අපි ගිලින සුළං, අපේ ලේ වලින් බඩවැල් වලට ඇදෙන වායුව, රසායනික ප්‍රතික්‍රියා නිසා බඩවැල් නිපදවන වාතය, බඩවැල්හි ජීවත්වන බැක්ටීරියා විසින් නිපදවන වාතය.

අපි හුස්ම ගනිද්දි වැඩියෙන් ගන්න ඔක්සිජන් වායුව ශරීරය විසින් උරා ගන්නවා. මහා බඩවැල වෙතට යද්දී ඉතිරි වෙන්නෙ නයිට්‍රජන්. ආමාශයේ තියන ඇසිඩ් හා බඩවැල්හි තියන ද්‍රාවණ කරන රසායන ප්‍රතික්‍රියා නිසා කාබන් ඩයොක්සයිඩ් වායුවත් නිපද වෙනවා. බැක්ටීරියාවන් විසින් ද හයිඩ්‍රජන්, මෙතේන් වායු නිපදවනවා.

වාතය (gas) පිටවෙද්දී එහි ඇත්තේ මොන සංකලනයක් ද කියන එක තීරණය වෙන්නෙ අපි කෑවේ මොනව ද? අපි කොච්චර සුළං (air) ගිලලා දාල ද? මොනවගේ බැක්ටීරියා ද අපේ බඩවැලේ තියෙන්නෙ? අපි කොච්චර වෙලාවක් වාතේ පිට නොකර හිටිය ද? කියන කාරණා මත.

චුවින්ගම් හපන අය, කට වහන්නෙ නැතිව කෑම හපන අය, දුම්බොන අය එහෙම අනිත් අයට වඩා සුළං බොනවා.

ගෙන්දගම් (sulfur) බහුල ආහාර වලින් බඩවැල් වල වාසය කරන බැක්ටීරියා තවත් ගඳ වායු වැඩි කරලා ගඳ ගැසීම වැඩි කරනවා. මුද්දරප්පලම්, බිත්තර වගේම සුදු ළූණු, ළූණු, ගෝවා වගේම බෙල්ලෝ වලත් ගෙන්දගම් වැඩියි. කිරි අජීර්ණ ඇති අයත් මස් වැඩියෙන් කන අයත් ගඳ වැඩි වාතය පිට කරන්නෙ.

බෝංචි මෑ කරල් වගේ ආහාර වලිනුත් වාතය නිපැද වූවාට ඇට වර්ග වලින් බිහිවෙන වාත ගඳින් අඩු වෙන අතර පිට කරන ප්‍රමාණයෙන් වැඩියි. බෝංචි වල තියන සීනි වර්ග මිනිසුන්ට දිරවන්නෙ නැහැ. ඒ සීනි වර්ග බඩවැල් ඇතුලට ආවම බැක්ටීරියා සතුටු සාද දානවලු! ප්‍රතිඵලය ගොඩක් වාතය නිෂ්පාදනයයි.

සමහර පිරිමි වැඩි සද්දයකින් පඩ යවන තරඟ තියනවා. බියර් බීලා වැඩිවෙලා රෑ ජාමේ මාළු අල්ලන අය ඉන්න බෝට්ටු වලින් ඈතට ගලා යනවා තරඟ සද්ද! ගුද මාර්ගයේ අග හරියේ ‘දෙදරීම’ (vibration) සද්දය උපදවන්නෙ. හඬ අඩු වැඩි වෙන්නෙ අග ඇති මාංශ පේශීවල තද හෝ බුරුල් බව මත.

Le Petomane නොහොත් Joseph Pujol 20 වැනි ශ. ව. ප්‍රංශයේ හිටපු අධෝවාතය වේදිකාවක දී පිට කිරීම රස්සාවට කරපු කෙනෙක්. අද ලෝකෙට ඉන්න එහෙම කෙනා මිස්ටර් මෙතේන්.

ගඳ අධෝවාතය උණුසුම්. වැඩි සද්දයකින් පිට වෙන්නෙත් නැහැ. බැක්ටීරියා වලින් නිෂ්පාදනය කරන්නෙ. ප්‍රමාණය අර සද්දෙ දාලා පිට කරන ඒවාට වඩා අඩුයි.

සම්මුඛ පරීක්ෂණයකට එහෙම ගිහින් එහෙම එකක් ඇරියොත් ඉතින් රස්සාව ලැබෙන එකත් ෂුවර් නැහැ.

වැදගත් දිනයකට කළින් කන බොන දේවල් ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. ගෙන්දගම් බහුල කෑම හා ඇට වර්ග අඩුවෙන් කන්න මතක තියාගන්න. කන බොන විට කට පියාගෙන විකන ගිලින එකත් කරන්න. හිමිහිට කෑම ගන්න එක්කම චුවින්ගම්, සිගරැට් බොන එකත් අඩු කරන්න.

ඊ ළඟට උදේ පාන්දර පුළුවන් තරම් වෙර වීරියක් දාලා යවා ගන්න පුළුවන් වාතය ප්‍රමාණයක් පිට කරගන්නත් ඕන. උදේ පාන්දරට වාතය වැඩිය පිට කරගන්න හැකියාව තියනවාලු!

වාහනයක යද්දී ජනේලයක් හිමිහිට ඇර ගත්තම තරහා වෙන අයත් අඩුවේවි. කාමරයක හිරවෙලා ඉන්න කොට පොඩ්ඩක් එළියට ගිහින් එන්න අවසර අරන් වැඩේ කරලා ඒම ඇතුලෙ කරලා ළඟ ඉන්න එක්කෙනා දිහා හොරැහින් බලනවාට වඩා හොඳයි.

දැන් ඇමෙරිකාවේ එහෙම ඉන්න අයට පඩ යටකලිසම් ගන්න පුළුවන්. ඒවා හදලා තියෙන්නෙ ගඳ උරා ගන්න. ඒ වගේම ෆිල්ටර් දාලා හදලා තියන පඩ නිෂ්ක්‍රීය කරන කුෂන් ගන්නත් පුළුවන්.

පහුගිය දවසක චිත්‍රපටියක් බලද්දී එහි නළුවෙක් ඇඟිල්ල දික් කරනවා අදින්න කියලා. ඇඟිල්ල ඇද්දාම නළුවා අධෝවාතය පිට කරනවා. මේක මේ පැත්තෙ ඉන්න සීයලා මහප්පලා පුංචි දරුවොන් හිනා ගස්සවන්න කරන වැඩක්. Pull My Finger Fred නම තියන පඩ වැඩ වලට ප්‍රතිචාර දක්වන බෝනික්කා ද විකිණෙනවා.

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ලියපු Fart Proudly පොත වගේ Who Cut the Cheese: Cultural History of the Fart සහ කුඩා දරුවන්ට ලියැවුන The Gas We Pass: The story of Farts වැනි පඩ පොත් ලියලා පෝසත් වෙන්නත් ඇමෙරිකාවේ දී පුළුවන්!!

සත්තුන් ද වාතය පිටකරනවා. අපේ හිටපු ලොකු බල්ලා ඇපල් සහ කැරට් කන්න හරි ආසයි. හැබැයි දුන්න දා හවස් වෙද්දී ඉතින් නහය වහාගන තමයි ළඟින් යන්න වෙන්නෙ. වේයෝ තමයි ලෝකයේ වැඩියෙන්ම අධෝවාතය පිට කරන සත්තු අතරට එක්වෙන්නෙ.

සමහර පිරිසක් වාතය පිටවෙද්දී ඒකට ගිනි පත්තු කරනවා. වාතයේ තියන හයිඩ්‍රජන් වායු ඉක්මණින් ඇවිලෙන නිසා. පත්තු වෙන ගිනි නිල් හා කහ පාටයිලු. මෙතේන් වැඩි නම් නිල් පාටයිලු. ඒක නම් අනතුරුදායක ගෑස් වැඩපොළක වැඩක් තමයි!!

කතන්දරකාරයා බ්ලොග් අවකාශයේ ‘පඩ ෂෝ’ එක පටන් ගත්ත නිසා මටත් දහිරියක් ලැබුණ තියාගන හිටපු මේ සටහන පබ්ලිශ් කරන්න. ස්තූතියි කතන්දරට පුරෝගාමිත්වය ලබා දුන්නට!! දැන් දුමී කට කහන කතාවක් දානකම් බලාගෙන ඉන්නම්.

38 Responses

Subscribe to comments with RSS.

  1. SiriBiris said, on පෙබරවාරි 6, 2011 at 6:06 ප.ව.

    කොච්චර ගුජුප්සාජනක මාතෘකාවක් උනත්, හරි සංයමයකින් ලිව්වාම කොච්චර දැණුමක් ලබාදෙන ලිපියක් බවට පත් කරන්න පුළුවනිද? ස්තූතියි.

    ප්‍රශ්ණයක්?නොදන්න හින්දයි අහන්නෙ. මේක මේ අපේ ආහාර ජීරණ පද්ධතියෙ බැක්ටීරියා ගැන. ඕකෙ ප්‍රයොජනවත් හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා කියලා වර්ග දෙකක් ඉන්නවාද? ඉස්සර අපි පොඩිකාලෙ අපට “ඕපනින් ඩෝස්” එකක් දිලා, පස්සෙ වැටකොලු, ප‍තෝල වගේ ලෙඩ එලවලු එක්ක බත් දෙනවා. පස්සෙ ආමාශයේ ශ්ලේෂමය ස්තරයත් ඒ එක්කම හෝද ගෙන යනවා කියලා – බටහිර වෙද මහත්තුරු මේක විවේචනය කලා.

    මේං මේ ලඟදි, මෙහේ බටහිර දොස්තර නෝන කෙනෙක් කියනවා: සමහරවෙලාවට මේ බැක්ටීරියා අනුපාතය වැඩිවෙලා, එයාලා බෝඩර් එකත් ක්‍රොස් කරලා,පනිනවාලු ආමාශෙට. ඒක නිසා ඉදලා හිටලා “ඕපනින් ඩෝස්” එකක් ගන්නලු.පස්සෙ යෝගට් කන්නලු හොඳ බැක්ටීරියා ආපහු දාගන්න. මේ තත්ත්වය ඔය “ගෑස්” වැඩිවීමට බලපානවාද?

    • arunishapiro said, on පෙබරවාරි 6, 2011 at 7:52 ප.ව.

      SiriBiris,
      හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා කියලා වර්ග දෙකක් ඉන්නවා යැයි කියමු. අපි ගමු ඔලිම්පික් රත්තරන් පදක්කමක් දිනන ක්‍රීඩකයෙක් සම්පූර්ණ නිරෝගී මනුස්සයෙක් හැටියට. හොඳ බැක්ටීරියා සහ නරක බැක්ටීරියා එවැනි අයෙකුගෙ ආහාර ජීර්ණ පද්ධතියේ සමබර විදියකට ඉන්නෙ. නරක බැක්ටීරියා වැරදි විදියකට හැසිරෙන්නෙ නැතුව ඉන්න නිසා එයින් කරන හොඳ ක්‍රියාවකුත් ඇතැයි සිතනවා එතකොට.

      ආමාශය සුද්ද කරන්න වස විස පානය නොකරපු අයකුට “ඕපනින් ඩෝස්” දීම අනවශ්‍යයයි. ඒත් ඒ ආමාශයේ ශ්ලේෂමය ස්තරයත් ඒ එක්කම හෝද ගෙන නිසා නම් නෙවේ. ඵලකට නැති කටයුත්තක් නිසා.

      බටහිර දොස්තර නෝනත් 20 වැනි සියවසේ මතවාදයක් ගෙනාවට (අහිතකර දේ ඉවත් කරල හිතකර දේ දාලා බඩවැල් ජීවීන් වෙනස් කරන්න = to modify the gut flora and to replace harmful microbes with useful microbes) ඒකත් තාම හරියකට ඔප්පු කරලා පෙන්වන්න බැරි වෙච්ච එකක්. අපි intestinal microbial balance කරන Probiotics වගේ පුංචි ජීවින් විහින් ඇතුලට දාගන්න ඕන නැහැ වෙන කිසිම ලෙඩක් දුකක් නැත්නම්.

      //මේ තත්ත්වය ඔය “ගෑස්” වැඩිවීමට බලපානවාද?//

      ‘හොඳ’ හා ‘නරක’ බැක්ටීරියා සමබරතාවයෙන් ඉන්න නිරෝගී පුද්ගලයෙකුගෙ ආමාශය වාතය පිට කරනවා. ඒ පිට කරන්නෙ තමන් කන බොන දේවල් අනුව. එතකොට පිටතින් දාන ‘බඩවැල් ජීවීන්’ (gut flora) වෙනස් කරන කෑම හෝ බෙහෙත් නිසා වාතය පිට කිරීම වැඩි වීමත් හා අඩු වීමත් ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස්. අනිත් කන බොන දේවල් වගේ තමයි. සමහරුන්ට වාතේ වැඩියි සමහරුන්ට එහෙම නැහැ.

  2. praveena said, on පෙබරවාරි 6, 2011 at 8:53 ප.ව.

    නොදැන හිටපු වැදගත් කරුනු ගොඩක් දැන ගත්තා. ගොඩාක් ස්තූතියි අරුනි.

    මටත් කියන්න තියෙන්නේ ඕනෑම මාතෘකාවක් සංයමයකින් ලීවාම ඒකේ වටිනාකම සහ කියවීමේ රුචිකත්වය වැඩි කරන බවයි.

    (පිරිමි ගැන ලියනකොට නම්, මගේ කිසිම සංවරයක් නැති බවත්, පිරිමින්හට ඒවා කියවීමේ රුචිය ඉන් අඩුවෙනබවත් නම් ඉතින් ඇත්තයි.)

    • arunishapiro said, on පෙබරවාරි 7, 2011 at 9:08 පෙ.ව.

      praveena,
      සංයමය හා සංවරය ඇතැයි මේ අරුණි ගැන ජීවිතේට කියැවුනු පළමු වතාව. ප්‍රවීනා ඔයාටත්, සිරිබිරිස්ටත් ඒ ගැන සඳහන් කරපු අනිත් හැමෝටමත්, බොහොම ස්තූතියි.

      ඒත් පුංචි කාලේ ඉඳලාම මම නම් හිතාගෙන හිටියෙ මම එහෙමයි අනිත් අයටයි ඒක පේන්නෙ නැත්තෙ කියලා!!

      පුද්ගලයා රාමුවකට දාන්න සෑහෙන්න වීර්යයක් ලෝකයේ තියනවා. සමහර විට ඒ අනිත් අයගේ පහසුවට වෙන්නැති.

      ගෑණු ගැන ඉතිහාසයේ පටන් පිරිමි ලියා ඇත්තේ සංවරයෙන් දැයි අහන්නට ඕනෑ. පිරිමි විසින් ගෑණු ගැන සංවරයකින් ලියා ඇත්තකට වඩා සංවරයකින් ලියා නැත්තකට වැඩියෙන් රුචිකත්වය ලැබෙනවා ද යන්නත් අහන්නට ඕනෑ. හැබැයි ඒකම අනිත් පැත්තට වුනොත් හරි කචල්!!

      ඔයා යන ගමන ඔහොම යමු ප්‍රවීනා. ඔයාගේ අදහස් හා සමාන අදහස් ඇති අය ඈතට ඈතට යනකල් ඔයා එක්කම යයි.

  3. kevin perera said, on පෙබරවාරි 6, 2011 at 10:36 ප.ව.

    remember the Fartman a superhero did by Howard Stern in 90s t think.

  4. praසන්ன said, on පෙබරවාරි 6, 2011 at 11:30 ප.ව.

    පඩ කතාවක් උනත් වැදගත් ලිපියක්.

  5. ඒදිරි said, on පෙබරවාරි 7, 2011 at 12:38 පෙ.ව.

    වැදගත් ලිපියක්. ෙනාදන්න ෙද්වල් ෙගාඩක් දැනගත්තා. ස්තූතියි.

  6. දුමී said, on පෙබරවාරි 7, 2011 at 3:21 පෙ.ව.

    අරුණි, මේ මාතෘකාව ගැන මේ විදිහට දැණුම් සම්භාරයක් අරගෙන ලියවෙච්ච පළවෙනි ලිපිය මේක වෙන්න ඇති. නොදැන සිටි ගොඩක් දේවල් දැන ගත්තා. ඔන්න බලන්න ඉතින් පඩෙනුත් දැනුම ලැබෙන හැටි.

    කසූ පටන් ගත්ත පඩ වැඩේ දැන් නැගලා යයි වගේ. පඩ ගැන දැනුම බෙදන කතා, හිනා යන කතා, ඊයා කතා එක දිගට එයි වගේ.

    මමත් ෆුල් ට්‍රයි එකක් දාන්නම් පඩේ උණුසුම යන්න කලින් කට කහන කතාවක් දාන්න 🙂

  7. නවම් said, on පෙබරවාරි 7, 2011 at 5:38 පෙ.ව.

    අන්න බලන්න පඩේකට ගනන් නොගෙන තිබුන අධෝවාතය ගැන අරුණි අක්ක දන්න දේවල්. හරිම සංයමයකින් පලාතම ගඳගස්සවන්නෙ නැතුව ඇරල තියෙන හැටි. බොහොම වැදගත් නොවැ බලාගෙන ගියාම ඒකත්.

  8. just a thought said, on පෙබරවාරි 7, 2011 at 6:34 පෙ.ව.

    ඖෂ්ට්‍රලියවේ Farting Dog කියල ප්‍රසිද්ද ඇඳුම් බ්‍රෑන්ඩ් එකක් තියනවා

    • arunishapiro said, on පෙබරවාරි 7, 2011 at 9:22 පෙ.ව.

      just a thought,
      iphone දාපු Fart App එක දවසකට ඇමෙරිකන් ඩොලර් දහ දාහක් හොයාගත්තලු. බලන්න මෙතැනින්. අපි කතා කරන්නත් ලැජ්ජා වෙන මාතෘකා වලින් ඇමෙරිකන්කාරයෝ ඔස්ට්‍රේලියන්කාරයෝ සල්ලි හොයන හැටි නේද?

  9. Priyantha said, on පෙබරවාරි 7, 2011 at 6:55 පෙ.ව.

    සල්ෆර් බහුල ආහාර ගැන දැන ගත්ත එකනම් වටිනවා. ඒ වගේම මේ ස්වභාවික සංසිද්ධිය ගැටළුවක් කරගත් අය ගැනත් මම දැකල තිබෙනවා. කිසි දිනෙක නොඇසූ වැදගත් කරුණු ටිකක්.

    • arunishapiro said, on පෙබරවාරි 7, 2011 at 9:45 පෙ.ව.

      Priyantha,
      හැමෝටම මතක් කරන්න ඕනෑ විශේෂ දවසක් නැත්නම් මේ නිසා කියල විතරක් සල්ෆර් බහුල ආහාර නොකා ඉන්න එපා. කොණ්ඩෙ වැඩෙන්න, හමට සහ නියපොතු සඳහාත්, මාංශ පේශී හා ජොයින්ට් වේදනා නැතිවීමටත්, ඇඟේ සෛල වල තියන වස විස නැති කරන්නත් සහාය‍ වෙන්නක්.

      ප්‍රියන්ත කියන විදියට //මේ ස්වභාවික සංසිද්ධිය ගැටළුවක්// කර නොගන්න නම් තමන් කන බොන හැම දෙයක්ම මඳ පමණින් භාවිතය වඩා සුදුසුයි නේද?

  10. හීනියට said, on පෙබරවාරි 7, 2011 at 7:01 පෙ.ව.

    හැමදාමත් වගේ, පඩේ ගැනත් දැනුවත් කොලාට ස්තුතියි…..

  11. kathandara said, on පෙබරවාරි 7, 2011 at 7:48 පෙ.ව.

    ඉස්සර ඉස්කෝලේ ලැබ් එක ලඟින් යන කොට මාර පඩ ගඳයි.
    ඒ එක්කෝ හයිඩ්‍රජන් සල්ෆයිඩ් හරි සල්ෆර් ඩයොක්සයිඩ් හරි නිසා.

    පඩ පිළිබඳ විද්‍යාව ගැනට වඩා දර්ශණවාදියෙක් වන අරුණිට ලියන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ගැන.

    පඩ ගැන කතාකරන්න ඇයි අපේ සමහරු එච්චර බය ? පඩ කියන වචනය කුණුහරුපයක්ද?

    අනෙක් අයට පඩ කියන කොටම හිනා එන්නේ ඇයි?

    ඈනුම්, කැස්ස, කිවිසුම් වලට නැති ටැබූ එකක් පඩවලට ඇයි? ගඳ නිසාද, පස්ස පැත්තෙන් යන නිසාද?

    • arunishapiro said, on පෙබරවාරි 7, 2011 at 8:53 පෙ.ව.

      kathandara,
      //පඩ ගැන කතාකරන්න ඇයි අපේ සමහරු එච්චර බය?// අපේ අය කතා කරන්න බය නැති මාතෘකා තියෙන්නෙ කොච්චර ස්වල්පයක් ද?

      //පඩ කියන වචනය කුණුහරුපයක්ද?// කුණුහරුපය කියන වචනය සිංහල ශබ්දකෝෂයේ තියනවා ද?

      //අනෙක් අයට පඩ කියන කොටම හිනා එන්නේ ඇයි?// අඬන්න බැරි දේට හිනාවෙන පුරුද්දක් ඇති නිසා ද?

      //ඈනුම්, කැස්ස, කිවිසුම් වලට නැති ටැබූ එකක් පඩවලට ඇයි? ගඳ නිසාද, පස්ස පැත්තෙන් යන නිසාද?// එළිපිට නොකරන ශරීර කෘතයන් අතරට අයිති නිසා ද?

      දාර්ශනිකයා නඟන්නේ ද ප්‍රශ්න පමණි. පිළිතුරු සොයා ගැනීම කියවන්නාට බාරයි!!!!

  12. Alchemiya said, on පෙබරවාරි 7, 2011 at 8:30 පෙ.ව.

    ඇත්තෙන්ම පඩය ගිණි ගන්නේ හයිඩ්‍රජන් නිසා නොවෙයි, මෙතේන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිසා.
    පඩ ගැන වෙනම වෙබ් සයිට් එකක් තියෙනවා.

    http://www.fart.com/

    පූප් ඩොට් කොම් කියලත් එකක් තියෙනවා අනිත් ජාතිය ගැන….

    මම පස්සේ ඇමතුමක් දෙන්නම්. ඇල්කෙමිච්චි කිවුවා අරුණි කතා කළා කියලා. ගෙදර ඉන්න වෙලාවක් කියලා එවන්නකෝ… එතකොට කතා කරන්න පහසුයි.

    • arunishapiro said, on පෙබරවාරි 7, 2011 at 9:16 පෙ.ව.

      Alchemiya, ලින්ක් දැම්මාට ස්තූතියි. ගෙදර ඉන්න වෙලාවක් නේද? අඳුරු අළුපාට අහස පුරා පැතිර ඇති විට, චුරු චුරු වැස්ස හැමතින් ඇද වැටෙනා විට, මාවත් ගහ‍හගෙන යා හැකි සුළං හමන විට …. අව්ව පායලා නැත්තම් ගෙදර තමයි වැඩි කාලය ගෙවන්නෙ. ඕන වෙලාවක කතා කරන්න!

  13. සුළඟ said, on පෙබරවාරි 8, 2011 at 6:22 පෙ.ව.

    හ්ම්.. ස්තුතියි දැනුවත් කලාට.
    මැණික්(සුළඟ)

  14. Elakiri Copy this said, on පෙබරවාරි 8, 2011 at 4:10 ප.ව.

    http://www.elakiri.com/forum/showthread.php?t=1061773

    Menna innawa horek… nikamma lipiya dammath kamak naha kiyamu ko. eth muu kiyanawa me lipiya type kaleth muma lu…

    • arunishapiro said, on පෙබරවාරි 8, 2011 at 9:48 ප.ව.

      Elakiri Copy this, බොහොම ස්තූතියි දැන්වූවාට. පේන්න නොපෙනෙන්න source යැයි සබැඳියක් දාලා තියනවා. මට තියෙන්නෙ තවත් කෙළ කෝටියක් සටහන් ලියන්න අදහස්. එයාට තියෙන්නෙ කොපි ගහන්න සීමා වූ මානසිකත්වයක්. මක්කදෑ ඒකට තරහා වෙන්නෙ 🙂

      • Elakiri Copy this said, on පෙබරවාරි 9, 2011 at 12:09 පෙ.ව.

        ඔක්කොම හරියටම කොපි කරලා…. වීඩියෝ එකත් දාලා… කොපි කර ගත්ත තැන විතරක් ඇහැට පෙන්නෙ නැති වෙන්න දාලා.. ඒක වැරැද්දක් නෙමේද? ඔයාට සුභ අනාගතයක්!!

  15. මටනම් මේක අනිත් පොස්ට් වගේම වැදගත් පොස්ට් එකක්.
    අපේ රටේ ඇත්තෝ මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැනේ.
    පඩ කියන්නේ කුණු හරුපයක්ද ? මමනම් හිතන්නේ නැ.
    අහ් පඩ ගැන කියද්දී මතක් වුණේ අපි පොඩිකාලේ කලුපොල් මාලුව(කොස් ඇට ව්‍යාජනයක් ) කැවට පස්සේ ඔය අධෝවාතය පිට වෙනවා වැඩියි කියලා අහලා තියෙනවා.ඒ වගේම ඒවයෙන් නරක සූවදක් පිට වෙනවාලු.මේ ගැන කවුරු හරි දන්නවාද ?
    මම Ebay එකේ මේ ගැන සර්ච් කරාම හම්බ වුණ දේවල් දැක්කම හිතෙනවා මිනිස්සුන්ට මේකත් නතිවම බැරි දෙයක් කියලා
    මෙතනින් ගිහින් බලන්නකෝ
    http://linq.lk/ady9

    • arunishapiro said, on පෙබරවාරි 9, 2011 at 9:32 පෙ.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
      ‘පඩය’ කියන වචනය සිංහල ශබ්දකෝෂයේ තිබුනාට ‘කුණුහරුපය’ කියන වචනය නැහැ. මා ළඟ තියෙන්නෙ 2004 විතර අච්චු ගහපු ශබ්දකෝෂයක්. අළුතින් ආපු ශබ්දකෝෂයක එය තියනවා දැයි නොදන්නෙමි. ඉතින් කුණුහරුපය යන්නේ නිර්වචනයක් නොදැන කොහොමදැයි කියන්නෙ!!!

      MD කොස් ඇට ටින් එකක් මා ළඟත් තියෙනවා. කරපු සෙවීම් වලින් නම් කොස් ඇට වල වැඩිය තියෙන්නෙ කාබොහයිඩේ‍්‍රට්. කළුපොල් උයන්න පොල් දානකොට පොල් වල නම් ගෙන්දගම් තියනවා. ඉතින් පොල් සම්බෝල කෑවාමත් වාතය පිටවෙනවා වැඩියි ද කියලා හොයන්න ඕනා. කොස් ඇට ටින් එකෙන් කළුපොල් උයලාම බලන්න වෙයි වගේ!!

      • “‘කුණුහරුපය’ කියන වචනය නැහැ. මා ළඟ තියෙන්නෙ 2004 විතර අච්චු ගහපු ශබ්දකෝෂයක්. අළුතින් ආපු ශබ්දකෝෂයක එය තියනවා දැයි නොදන්නෙමි. ඉතින් කුණුහරුපය යන්නේ නිර්වචනයක් නොදැන කොහොමදැයි කියන්නෙ!!!”
        මගේ ඩික්ෂනරියෙත් කුණුහරුප කියලා වචනයක් නැ.ඒ කියන්නේ සිංහල භාෂාවේ එහෙම වචනයක් නැද්ද ? නිර්වචනයක් නැති හින්දා ? සැහෙන්න බොන්න ඕනේ ප්‍රශ්ණයක් නේ.මලලසේකර පදනමේ අයගෙන්වත් අහලා බලන්න ඔනේ.

        “MD කොස් ඇට ටින් එකක් මා ළඟත් තියෙනවා. කරපු සෙවීම් වලින් නම් කොස් ඇට වල වැඩිය තියෙන්නෙ කාබොහයිඩේ‍්‍රට්. කළුපොල් උයන්න පොල් දානකොට පොල් වල නම් ගෙන්දගම් තියනවා. ඉතින් පොල් සම්බෝල කෑවාමත් වාතය පිටවෙනවා වැඩියි ද කියලා හොයන්න ඕනා. කොස් ඇට ටින් එකෙන් කළුපොල් උයලාම බලන්න වෙයි වගේ!”
        සමහරවිට පොල් හීන්දා වෙන්න ඇති.ඇයි දාන කුලුබඩු හින්දා ප්‍රතික්‍රියා ඇති වෙන්නත් පුලුවන් නේද ?

  16. lol said, on පෙබරවාරි 10, 2011 at 12:31 ප.ව.

    අරුණිට දවසට පඩ කීයක් යනවද?

  17. kevin perera said, on පෙබරවාරි 26, 2011 at 11:52 ප.ව.

    see how this guy fart

  18. kevin perera said, on පෙබරවාරි 26, 2011 at 11:52 ප.ව.

  19. ගෝල්ඩ් fish said, on මාර්තු 2, 2011 at 5:31 පෙ.ව.

    අක්කේ, ලස්සනට කියලා දීලා තියෙනව වෙන්නේ මොකද්ද කියලා… මෙච්චර කල් සීන් එකේ හිටියට වෙන දේ ගැන දන්නේ නැහනේ… තෑන්ක්ස්…

  20. කල්හාර said, on මාර්තු 11, 2011 at 11:30 පෙ.ව.

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා පඩ ගැන…… තෑන්ක්ස්………….

  21. Hasitha said, on අප්‍රේල් 26, 2011 at 10:56 පෙ.ව.

    පඩය ගැන අපි පඩේකට ගණන් ගන්නේ නැතිවුණාට ලොකු දෙයක් ඒකෙත් තියෙනවානේ බලාගෙන ගියාම. නොදන්නා කියන කරුණු ගොඩාක් දැනගත්තා අක්කේ. ස්තුතියි 🙂

  22. manoj said, on දෙසැම්බර් 27, 2017 at 12:34 ප.ව.

    ඇත්තට ම පාසල් යන නංගිලා මල්ලිලාට මෙක වැඩිපුර වෙනවා කියන්නේ ඇත්ත ද?

  23. කණ්ඩා ~ Kanda said, on සැප්තැම්බර් 17, 2018 at 9:04 පෙ.ව.

    දුමීගේ කට කහන කතා වලින් මෙතනට ආවෙ … වාතයක් ගිය දුරක් !

    අපි ඉස්සර “පඩ අරිනවා” කියල ප්‍රසිද්ධියේ කියන්න බැරි උනහම කතාවට කියන්නෙ “වලිගෙ උස්සනවා කියල” 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න