අරුණි ශපීරෝ‍ වෙතින්

කදිම මොළ නාස්ති කරනු එපා

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 25, 2012

සෑම මනුෂ්‍යයෙක් ම ලොව එක හා සමාන යැයි කිව්වේ ගෞතම බුදන් ය. එකල බුද්ධාගම කියා ආගමක් නොතිබිණ. බුදුන් කියා දුන් දර්ශනයේ එක හා සමාන වන්නේ මිනිස් බවක් ලත් සත්වයා ය. මිනිස් සත්වයා කුමන ජාතියේ වූවා දැයි කම් නැත, කුමන දීපයේ වූවා දැයි කම් නැත, කුමන දේශයේ ඉපදුනා දැයි කම් නැත, කුමන කුලයේ වූවා දැයි කම් නැත, කුමන මවකට දාව උපන්නා දැයි කම් නැත. සියලු මිනිසෙක් ම සත්‍යය සොයා යන්නට හැකියාව ඇතිව උපන්නෙකි. එහෙත් ඉතිහාසයේ ලියැවෙන්නේ බුදුන් ම ජාතිය, දීපය, දේශය, කුලය හා මව සොයා බලා ඉපදෙන ස්ථානය තීරණය කළා යැයි ඇසින් දුටුවා සේ සටහන් කරන විස්තරයයි. බුදුන් ඉපදෙන්නට පෙර දඹදිව තිබි කුලභේදය සමඟින් එසේ බුද්ධාගම ග්‍රන්ථාරූඪ වන්නේ ලංකාවේ නිසා සමහර විට සිංහලයන්ගේ පැවැත්ම සිංහයෙක් හා සිද්ධ වූවා යැයි ලියූ අයම එය ලියා තබන්නට ද සමත් වූවා ද දන්නෑ!!!

එක හා සමාන වූ ලෙසකින් හිතන්න පුළුවන් හැකියාව ඇතිව උපන් මිනිස් සත්වයා තනිවම සත්‍යය සොයාගත යුතුය. සමානාත්මතාවය සලසනු යැයි කියා හැමට බෙදා දෙන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අර්හත් ඵල බුද්ධාගමේ නැත. ඒවා තමන් විසින් මොළය වෙහෙසා පසක් කරගත යුත්තකි. ධර්මය අවබෝධ කරගන්නට, දහමින් ජීවත්වෙන මාර්ගයක් පැහැදිලි කර ඇති නමුත් බුදුන් උපදින්නට පෙර ඉන්දියාවේ තිබූ ගස්, ගල්, පිළිම, ඇටකටු වන්දනාවෙන් නිවන් යන උත්සාහයේ යෙදෙනා අය තවමත් බහුල ය.

නිරෝගී සැමට එක සේ පාවිච්චියට ගත හැකි මොළයක් ඇති බව නොදකින වාමාංශිකයා උප්පත්තිය නිසා අඩු අවස්ථා ඇතිව උපන්නෙක් යැයි රවටන්නට “පීඩිත පංතියක්” තෝරා ගනියි. තම මොළය වෙහෙසන ආකාරය අනුව සමාජයේ ඉහළ හෝ පහළ යන හැකියාව ඇතැයි මේ පීඩිත පංතියෙන් සඟවයි. සාධාරණ සමාජයක් වෙත යන්නට නම්, තම තම නැණ පමණින් වෙහෙසෙන්නට හැකි ඉඩකඩක් ඇති කරන, ලෝක ඉතිහාසයේ කිහිප වතාවක් ඔප්පු කර ඇති නිදහස් වෙළඳපොලට ඉඩක් නොදෙයි. එසේ ඉඩක් නොදී නිදහස් වෙළඳපොලෙන් ඵලක් නැතැයි කියයි. දැනුම බෙදන්නේ රූකඩ සේ හසුරවන්නට හැකි පමණින් ය. අනතුරුව ඉහළට යා නොහැකියේ සමාජ අසාධාරණය නිසා යැයි රවටයි. මිනිස් මොළ එක හා සමානව වැඩ නොකරන්නේ, මිනිස් උත්සාහය එක හා සමානව සිද්ධ නොවන නිසා බව නොසලකා, පරතරය නම් ‘සමාජ අසාධාරණය’ යැයි තමන් ලේබල් ඇලවූව නැති කරන්නට තමනට හැකි යැයි පිළිවෙත් ගෙන එයි. ඒ සාධාරණ යැයි කියනා පිළිවෙත් මෙහෙයවන අයට ඇති සැප සම්පත් හා විශේෂ වරප්‍රසාද ඔවුන් තුල වූ අනගි මොළය වෙහෙසන හැකියාව නිසා ලැබුණක් යැයි කියමින් රූකඩයන් රවටයි. ඒ පිළිවෙත් සාර්ථක වූ කිසිම ඉතිහාසයක් ලොවෙන් සොයා ගන්නට නොහැකි බව සංවාදයෙන් බැහැර කරයි. සෝවියට් රුසියාවට බැරි වුනාට මොකද, කොමියුනිස්ට් චීනයට බැරි වුනාට මොකද, ෆිඩෙල්ගේ කියුබාවට බැරි වුනාට මොකද, ඒත් අපිට පුළුවන් යැයි වහසි බස් දොඩයි!!!

ධනවත්, උගත් දෙමව්පියන්ගේ කොළඹ හැදෙන ළමයින්ට වැඩි වාසි උප්පත්තියෙන් ලැබෙන නිසා, ඒ වාසි උප්පත්තියෙන් නොලැබුණු ගම්බද දරුවන්ට වැඩි අවස්ථා දිය යුතු යැයි ඔවුන්ට විශේෂ වූ සැලසුම් ගෙනෙති. මොළය වෙහෙසන්නේ නැත්නම් උප්පත්තියෙන් පමණක් ලැබුණු වාසි වලින් ඵලක් නැතැයි යන්න ඔප්පු වෙන නිදහස් වෙළඳපොලට ඉඩක් නොදෙන ක්‍රමවේද ගෙන එති. එසේ සැලසුම් හදන බලය ඇති පාලකයන්ගේ ළමයින්ට පමණක් විශේෂ වරප්‍රසාද දෙති!!! පීඩිත යැයි කියා බෝ කරන පිරිස තුල මොළය වෙහෙසෙන්නට කම්මැලියන් පෝෂණය කරමින්, එක සමාන තලයේ තරඟ කරන්නට ඉඩදුන් නිසා දැන් එක සමාන ප්‍රතිලාභ ලැබිය යුතු යැයි කියති. තව දුරටත් රට ණය කරමින් ඔවුන්ගෙන් නොවෙන නිෂ්පාදනයකට ඔවුන්ට ලාභ බෙදති.

කොයි උප්පත්තිය ලැබුවත් මොළය වෙහෙසන්නාට, උත්සාහයක් ගන්නාට වැඩිවෙන බාධක ඉදිරියේ දී ඔවුන් ඒ අයහපත් ක්‍රම තිබි රටෙන් පැන යද්දී එදා වාමාංශිකයන් ඊට ඉඩ නොදුන්නේ පැන යන්නන්ට වෙඩි තබා මරා දමමිනි. අද නිදහස් වෙළඳපොල විකෘති කර එය තම වාසියට යොදාගත් රජයට, නිදහස් වෙළඳපොලට ඉඩක් දෙන්න යැයි කිසිවෙක් කියන්නේ නැත. කියන්නේ තිබුනේ නැති නිදහස් වෙළඳපොලේ අගුණ ය. යෝජනා වෙන්නේ තවත් නිදහස් වෙළඳපොල විකෘති කරන විධි ක්‍රමයන් ය. එසේ කරමින් උගතුන් රට හැර දා යන්නේ රටේ සාධාරණ වූ සමාජ ක්‍රමයක් නැති නිසා බව තව තවත් පුන පුනා කියති. සාධාරණ සමාජයකට ඉඩක් නොදී කිසිදා සාක්ෂාත් කරගත නොහැකි වූ තමන් උදාර යැයි කියාගන්නා එහෙත් යථාර්ථවාදී නොවූ පිළිවෙත් වලම යෙදෙන්නට තව තවත් තමන් විසින් උපයා නොගත් බලය හා ධනය ඉල්ලති.

අවසාන තුරුම්පුව නම් විවෘත සංවාදයට ඉඩ ඇතැයි කියමින් වෙනස් මතයක් කියන්නාට ඉඩක් නොදීමයි. ලංකාවේ අය කටින් හිටවන බතල කන්නට හැකිනම් ලංකාවේ කිසිවෙක් වෙහෙසී උපයන්නට උවමනා නැත!!! කැම්පස් ජීවිතේ කලාව හදාරන බහුතරය, කැම්පස් සිසුන් අතර ද බහුතරය වෙන මොවුන් අතර වාමාංශික නොවන අදහසක් කියන්නට ඉඩ ඇත්තේ එඩිතර සොච්චමකට පමණි. කොයි පැත්ත ආවත් බහුතරයා රවටත හැකිය, මන්ද බහුතරයා රැවටිල්ල මිසක සත්‍යය කුමක් දැයි නොදන්නා නිසාය.

පාකිස්තාන ආණ්ඩුවේ දුම්රිය මාර්ග ඇමතිවරයා වන ගුලාම් අහ්මඩ් බිලුර් ඩොලර් ලක්ෂයක දීමනාවක් මුස්ලිම් අහිංසකත්වය හැදූ සිනමාකරුවාව මරණ අයට දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඇමෙරිකාවෙන් ඩොලර් බිලියනක් වසරකට ආධාර ලබන පාකිස්තානු ආණ්ඩුව වහා කියන්නේ ඒ ඇමතිවරයාගේ මතය පකිස්තාන ආණ්ඩුවේ මතය නොවන බවයි … හ්ම් .. ඒ නැහැදිච්ච සිනමාකරුවාගේ මතය ඇමෙරිකන් ආණ්ඩුවේ මතය නොවෙන බව කියපු එක පිළිනොගැනීම වෙන දෙයක්, ඒත් යමක් නිර්මාණය කළාය කියා මිනිසෙක් මරන්න සල්ලි දීම!!! තමන්ගෙ රටේ මිනිස්සු දුප්පත් බවින් ම තියනා සැලසුම් හදන අයට මහජන ප්‍රසාදය පුද කරන, සියලු වැරදි අර ඈත එපිටක ඉන්න විදේශී කුමන්ත්‍රණකරුවන් නිසා යැයි කියන්නට හැමදාම රැවටෙන දුප්පත් රටවල ඇමතිවරුන්ට මෙහෙම දෙන්න ඩොලර් ලක්ෂ තියෙද්දී මොකට ආධාර යවනවා ද? ඒත් වාමාංශිකයන්ගේ “උදාර අරමුණු” වලට රැවටෙන බහුතරයා හිනා වෙන්නේ මෙසේ “උදාර අරමුණු” ඇති මුස්ලිම් නායකයන්ට රැවටෙන මුස්ලිම් ජනතාවට ය!!!!

ධර්මය අවබෝධයක් ඇති සුලුතරයා හිනා වෙද්දී චන්ද දිනන්නට බලයේ සිටින ආණ්ඩුව බුද්ධ දර්ශනයෙහි ගැඹුර අවබෝධ කරගැනීමට යැයි කියා ධාතූන් වැඩම්මවා ඇතැයි කියන අයත් සිටිති!!! සමානාත්මතාව බුද්ධ දර්ශනයේ වැදගත් ම ලකුණ යැයි කියන්නේ, අර කාලය, දීපය, දේශය, කුලය, මව බලා බුදුන් උපදින තැන තීරණය කළා යැයි බලා සිටියා සේ ලියූ අයව විශ්වාස කරන්න යැයි කියන ගැඹුරු දර්ශනයෙනි!!!! පෙර පින් පව් අනුව අද වාසනාවත්, අද පින් පව් අනුව හෙට වාසනාවත් කියා හැමදාම “හෙට නොමිලේ ලැබෙන බියර්” වලින් ජනතාව රවටන අය ලංකාවේ හැම අත ය. ධනය, බලය නොව වැදගත් වන්නේ දහම දැන දහමෙහි හැසිරීම යැයි කියනා අයගේ ම ධන බලය හැමදාම ලංකාවේ වැඩි ඇයි?!!!!

අහෝ, සිංහලයා අතපය දිග හැර කෙසේ වෙහෙසෙන්න ද?!!!!

17 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on සැප්තැම්බර් 25, 2012 at 10:16 පෙ.ව.

    Harima watina lipiyak Thanks Aruni

  2. Maathalan said, on සැප්තැම්බර් 25, 2012 at 11:43 පෙ.ව.

    ලොව ප්‍රථම ස්වයං රැකියාව කවුරුත් දන්නවනේ. මගේ මතයට අනුව ලොව මුල්ම සමාගම් සංකල්පය ආගමයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2012 at 12:54 ප.ව.

      Maathalan,

      මුල් එක ගැන නම් විවාදයක් නැහැ!!! ඒක තාමත් ඉල්ලුම වැඩි සැපයුම අඩු සේවාවක්නේ!!! ඒත් ආගම් සමාගම් කියන්නෙ මේ මෑතක් වෙනකම් රටවල් අතලොස්සක හැරෙන්නට, රජුගේ රැකවරණය ලබමින්, ජනතාවට රජුට පක්ෂපාතී වෙන්නැයි කියා දීපු අය නොවේද?

      අර රජුගේ රැකවරණය නොදෙනවා කියලා එළවලා දාපු ආගම් සමාගම් වෙනුවට දැන් ඉන්නෙ වෙන විදියකින් ආපු අය: ප්‍රංශයේ imam ලා තුනෙන් දෙකක් සුබසාධනයෙන් ජීවත්වෙන අයයි. Ghayasuddin Siddiqui කියන විදියට බ්‍රිතාන්‍යයේ ද එහෙමයි. යුරෝපීයයන්ට ක්‍රිස්තියානි ආගම ඇදහීම එපා කරවපු රිචඩ් ඩාව්කින්ස්ලා දැන් අනුන්ගේ සල්ලි බෙදලා දීලා පෝෂණය කරන්නෙ මුස්ලිම් ආගම. අගාරික වූ යුරෝපීය ආණ්ඩු පාසැල් වල කුරුසය වැනි ක්‍රිස්තියානි ආගමික සංකේත පැළඳීම ද තහනම් කළාට සුබසාධනයෙන් දුවන මුස්ලිම් පාසැල් අරාබි ඉගැන්වීම, මුස්ලිම් ආගම ඉගැන්වීම, යාඥා කිරීම ආණ්ඩුවේ අවසරය ද ඇතිව කරගෙන යනවා. ඉතින් අද යුරෝපීය ක්‍රිස්තියානි දුප්පතාට තමයි ආගමත් අදහන්න එපා කියන්නෙ!!! බියගුල්ලන්ව බය කරගෙන බෙදා දෙන්න බලහත්කාරයෙන් ගන්නා අය බෙදන්නේ සැලසුම් ගහන අයගේ ප්‍රසාදය දිනාගත් දුප්පතාට ද, නැත්නම් වඩාත්ම හයියෙන් කෑ ගහන්න හා බෝම්බ පුපුරවන්න හැකි දුප්පතාට ද?!!!

  3. LL said, on සැප්තැම්බර් 25, 2012 at 12:10 ප.ව.

    “එහෙත් ඉතිහාසයේ ලියැවෙන්නේ බුදුන් ම ජාතිය, දීපය, දේශය, කුලය හා මව සොයා බලා ඉපදෙන ස්ථානය තීරණය කළා යැයි ඇසින් දුටුවා සේ සටහන් කරන විස්තරයයි.”
    That’s because it’s easy to change the system when you are in the top.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2012 at 12:57 ප.ව.

      LL,

      එහෙම පුළුවන් කියල බලය ඉල්ල ගත්තු ඔබාමා දැන් කියනවා එහෙම බැහැයිලු!!! අර ගුවාත්නමෝ කඳවුර එහෙම තවම වහලා නැහැනේ.

      සිස්ටම් එක වෙනස් වෙන්නෙ මිනිස්සු රටක ආර්ථිකයක් වැඩ කරන හැටි ඉගෙන ගත්ත දාට.

      • RanDil said, on සැප්තැම්බර් 26, 2012 at 12:27 පෙ.ව.

        මට හිතෙන්නේ අක්කේ ඇමරිකාවේ දැන් තියෙන තත්ත්වයයි ඒ කාලේ දඹදිව තිබුණු තත්ත්වයයි සමානයි කියලා අපට හිතන්න බැහැ කියලා. මේක ආර්ථික ගැටළුවකුත් නෙමෙයිනේ. නිකමට හිතන්න, බුදු රජාණන් වහන්සේ රජක කුලයක ඉපදුනා කියලා, එහෙමත් නැත්තං ඊටත් අඩු කුලයක ඉපදුනා කියලා, එහෙම වුනා නං කුල භේදය මහා ඉහලින් සලකා බලන ඉන්දියාව වගේ රටක කිසිම දවසක උන්වහන්සේගේ වදන අහන්න කෙනෙකු සොයා ගන්න තබා උන්වහන්සේ වඩින මග ගමන් කරන කෙනෙකුවත් සොයා ගන්න ලේසි වෙන්නේ නැහැ.

        අනෙක් අතට අඩු කුලේ කෙනෙකු කුල භේදය හොඳ නැහැ කියලා කිව්වහම මිනිසුන් හිතන්නේ ආ මෙයා අඩු කුලේ නිසා භේදයට විරුද්ධයි කියා නොවෙද? උසස් ම කුලයක කෙනෙකු කුල භේදය සුදුසු නොවන බව පැවසුවාහම බොහෝ පිරිසක් එය සලකා බලන්න සූදානම්. වඩා වැඩි පිරිසක් අමිල වූ දහම පිළිගැනීම වැදගත් වූ නිසාවෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙකු උපදින විට මේ කරුණු සලකා බලනවා විය හැකියි.

        කාලය සලකා බලන්නේ, බුදුවරුන් කිහිප දෙනෙකු ලඟ ලඟ කාල වල නොඉපදීමටත්, බුද්ධ ධර්මයේ අවැසි කම තදබල ව දැනෙන කාලයක් දැන ගැනීමටත්, මාර්ගඵල ලැබීමට සුදුසුකම් සැපිරූ බොහෝ පිරිසක් ඉන්නා සමයක් වීමත් ආදි කරුණු සලකා බලන්න.

        දීපය, දේශය ආදිය සලකා බැලෙන්නේ, අප්‍රිකාවේ අඳුරු කොනක මිනිසුන් දහ පහලොස් දෙනෙකු පමණක් සිටින ගෝත්‍රයක ඉපදීමෙන් වැඩක් නොවන නිසා විය හැකියි.

        කුලය පෙර සඳහන් කරන්නට යෙදුනු හේතුව නිසා ය.

        මව් සලකා බලන්නේ, මවගේ ගුණගරුක, උසස් භාවය දරුවකුට ජීවිත කාලයටම බලපාන නිසා විය හැකියි. ලොවට අමිල වූ දහමක් දෙසන කෙනෙකුගේ මව්ගේ කියන්නට කිසිම නුගුණක් නොතිබීම වැදගත් නොවන්නේද?

        • arunishapiro said, on සැප්තැම්බර් 26, 2012 at 8:55 පෙ.ව.

          RanDil,

          නංගි මම කතාකරන්නේ හැමදාම පවතින තත්වයක් ගැනයි. මිනිස් මොළයේ ස්වභාවය වෙනස් වෙන්න ආදීමිනිසාට යුග ගණනාවක් ගියා. ඊට පස්සෙ ක්‍රි. පූ. 500 ගණන් වල ලෝකයේ ඇතිවෙච්ච විචාරාත්මක මොළයේ පිබිදීම මිනිස් ස්වභාවයේ පැහැදිලි වෙනසක් සිද්ධ කරන ලද්දක්.

          මේක සැබැවින් ම ආර්ථක ගැටළුවක්. අඩු කුලේ අයට රැකියා අවස්ථා සීමිත කමෙන් ඒ නිසාම සමාජ තත්වයෙන් ද පහත් සැලකිලි ලැබි නිසා, ඔවුන්ට සමතැන් දෙනවා කියල ඇතිවෙච්ච යුද්ධයක් තමයි LTTE යුද්ධය, ඒ ගැන කදිම නිබන්ධයක් මේ දවස්වල කියවමින් සිටිනවා. සීමා බාධක දාගෙන මිනිස් උත්සාහයට ඉඩක් නොදෙන ශිෂ්ට නොවූ හැදියාවන් පෝෂණය වෙන්නෙ විචාරයකට ඉඩක් නැතිකම නිසා. එතකොට මරාගෙන මැරෙන්න මිනිස්සු යවන්නට හැකි මොළ සේදීම පහසුයි. අඩු කුලයේ නිසා අධ්‍යාපනයට ද, ඒ නිසාම රැකියා වලට ද, ඒ නිසාම සමාජ තත්වයට ද නොහැකියාව පැහැදිලිව ම ඔවුන්ගේ උත්සාහයේ වැරැද්දක් නොවේ. එය බාහිර හේතු වල වැරැද්දයි. එය වෙනස් කරනවා කියා ජන කොට්ඨාශයක් උසිගන්වන්නට හැකියාව යනු ලොව කිහිප වතාවක් ඔප්පු කරන ලද්දක්. ඒත් හැමදාම කරන්නේ එය පැහැදිලිව ඇති කරන නිදහස් වෙළඳපොලට ඉඩ නොදී තමන් තත්වය වෙනස් කරන හැටි දන්නවා කියන ‘විද්වතුන්ට’ වෙනත් සැලසුම් ගෙන ඒමට ඉඩ දීමයි. ඉතිහාස ගුරුවරු එය නොදන්නවා නෙමෙයි, ඒත් අරමුණු උතුම් කියාගන්නා අය සාධක දිහා බලලා කතා කළේ කවදා ද?

          ඕනෑම රටක ආර්ථිකයක් නිදහස් වෙළඳපොල රටාව අනුව යද්දී කුලමල ආගම් භේද සියල්ල ඉබේම විසඳෙනවා. කුසලතාවයෙන් සාර්ථක නිෂ්පාදනයක් හෝ සේවාවක් ඉදිරිපත් කරන්නාට තැනක් ලැබෙන්නේ ප්‍රතිඵල දිහා බලලා, කතා පවත්මින් දේශනා කරන උදාර අරමුණු වලට නෙමෙයි.

          ඉන්දියාව තාම දුප්පත්, තාම ඉහළ කුලයක ඉපදෙන ගාන්ධි ලා ට පමණක් මිනිස්සු සවන් දෙන හැදියාව පවතින්නේ එහි නිදහස් වෙළඳපොලක් නැති නිසා. යාන්තම් ප්‍රමාණයකට එය විවෘත වෙද්දී තමයි Dalit ලා අද සමාජයේ වෙළඳ අංශයේ දස්කම් පෙන්වන්නට සමත් වී තියෙන්නේ.

          //ලොවට අමිල වූ දහමක් දෙසන කෙනෙකුගේ මව්ගේ කියන්නට කිසිම නුගුණක් නොතිබීම වැදගත් නොවන්නේද?// දරුවා ප්‍රසූත කර දවස් හතකින් මිය ගිය මව නෙමෙයිනේ ගෞතම බුදුන් ඇතිදැඩි කළේ … කියන්නට නූගුණක් නැති පමණින් අයෙක් සත්ගුණවත් වෙනවා දැයි නංගි ටිකක් ගැඹුරින් සිතා බලන්නකෝ.

  4. wicharaka විචාරක said, on සැප්තැම්බර් 25, 2012 at 12:17 ප.ව.

    මේවා අපේ එවුන්ට කොටලා පෙව්වත් උපන් ගෙයි ගතිය අරින්න බැහැ. හැබැයි දැන්නම් ඈත සිතිජයේ පුංචි එළියක්‌ පත්තුවෙමින් තිබෙනවා. අපි දෑස් දල්වා බලා සිටිනවා. අත වනනවා. ඒ දෙසට යන්න උත්සාහය වර්ධනය කරවපු තරමට ප්‍රතිඵල හොඳ වෙයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2012 at 1:06 ප.ව.

      විචාරක,

      බඩගිනි වෙන කොට පටන් ගන්න විප්ලව බඩගිනි නිවෙන කොටයි නැතිවෙලා යන්නෙ. බඩගිනි නිවෙන ක්‍රම කියාදෙන අය ලෝකයේ වැඩිවේවා!!!

  5. තිසර said, on සැප්තැම්බර් 25, 2012 at 8:05 ප.ව.

    ලිපියේ අඩංගු බහුතරයක් කාරණා පිළිබඳ මම එකඟයි. නමුත් මෙන්න මේ ප්‍රශ්නය මතු වෙනවා. ඔබ සඳහන් කර ඇති පරිදි, බහුතරයා රැවටිල්ල මිස සත්‍යය කුමක්දැයි නොදනී. මෙය වෙනස් කල හැකිද? ඕනෑම රටක බහුතරය, මෙසේ රැවටිල්ලට පහසුවෙන් හසු කරගත හැකි පිරිසක්ද? යම් හෙයකින් එය එසේ යැයි සිතුවහොත්, නිදහස් වෙළඳපොලකින් මේ බහුතරයට ඇති ප්‍රයෝජනය කුමක්ද? මොළය වෙහෙසවා වැඩ නොකරන ඔවුහු රැවටිල්ලක් එනතුරු බලාසිටින අය නොවේද? මොළය වෙහෙසවා වැඩ කරන සුළු පිරිස, සමාජයේ ඉහලට යයි. දැන් තියන තත්වයත් මෙයත් අතර වැඩි වෙනසක් තිබේද? (මොලය වෙහෙසවා වැඩ කරවුන් ඉහල තලයක සිටීම හැර ). යම් කිසි වෙනස් කිරීමකින්, රටේ බහුතරය රැවටිල්ලට භාජනය කල නොහැකි එවුන් බවට පත් කරන්නේ නම් ඒ වෙනස කුමන ආකාරයේ එකක්ද? යථාර්ථවාදී නොවන උතුම් අරමුණකින් එය වෙනස් වන්නේ කෙසේද?

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2012 at 9:59 ප.ව.

      තිසර,

      //මෙය වෙනස් කල හැකිද?// හැකියි. බහුතරය අනේක රැවටිලි වලින් මිදී ඇති අවස්ථා සලකා බලමු. අතීතයක දී එන්නත් වලින් ප්‍රතිශක්තිකරණය ලැබෙනවා වෙනුවට රෝගය හැදෙනවා යැයි කියූ රැවටිල්ලක් බහුතරය විශ්වාස කළා. නමුත් අම්මලාව ඊට කැමති කරවාගෙන දරුවන් අඬද්දී ම එන්නත් කරපු නිසා මසූරිකා (smallpox) වැනි සමහර රෝග ලොවෙන් තුරන් කරන්නටත් ලෝකය සමත් වූවා. අද එන්නත් ලබාගන්නා සියල්ලන් ම එහි සිද්ධ වෙන ක්‍රියාවලිය කෙසේ දැයි හරි හැටියකට දන්නේ නැහැ. නමුත් අත්දුටු යහපත් ප්‍රතිඵල තමන් ජීවත්වෙන වාතාවරණයෙන් දැකිය හැකි නිසා සත්‍යයක් යැයි පිළිගන්නවා.

      //ඕනෑම රටක බහුතරය, මෙසේ රැවටිල්ලට පහසුවෙන් හසු කරගත හැකි පිරිසක්ද?// ඔව්, එසේ වුවත් ඒ රැවටිල්ලෙන් ම කාලයක් තිස්සේ රවටාගෙන සිටීම නොහැකියි. අලුත් රැවටිලි ගෙන එන්නට වෙනවා. එහි දී ඇතිවන්නේ කිසිවෙක් කිසිවෙකු විශ්වාස නොකරන, හැම වෑයමක ම යටි දුෂ්ට අරමුණක් ඇතැයි සැකයෙන් සමාජය පිරිහී යාම.

      //නිදහස් වෙළඳපොලකින් මේ බහුතරයට ඇති ප්‍රයෝජනය කුමක්ද?// නිදහස් වෙළඳපොලක රැවටිල්ලකට වැඩි ආයුෂ නැහැ. තෝරා ගැනීමේ නිදහස වැඩි නිසා රැවටිලි අතහැර සත්‍යය සොයා ගන්නට මිනිසාට ඉඩ වැඩියි. සත්‍යය ඉදිරිපත් කරන්නාට ලාභ වැඩි නිසා සත්‍යයෙන් භාණ්ඩ හා සේවා සැපයීම රැවටිල්ලෙන් කරන්නට වඩා ලාභදායක වැඩි බව පෙනෙනවා. එයින් සත්‍ය කුමක් දැයි සොයන්නට වෙහෙසෙන්නේ නැති බහුතරයට ද වඩා වාසියි. වැඩියෙන් ඇත්තේ සත්‍යය නිසා රැවටිලි තෝරා ගැනීමේ සම්භාවිතාව අඩුයි. ආණ්ඩුවක් කුමන ආකාරයකින් හෝ මැදිහත් වෙන සෑම අවස්ථාවක ම, එය ලෝකයේ කොතරම් උදාර උතුම් අරමුණකින් කරන්නක් වුනත්, වෙළඳපොලේ ඇති රටාවට ඇඟිලි ගැසීමක් සිද්ධ වෙන නිසා, සත්‍යය ගණුදෙනු වලට ඉඩ නැතිවෙනවා. ඒකීය පුද්ගලයෙකු සතු විවිධත්වය, ඒකීය පුද්ගලයන් පිරි සමාජයක ඇති විවිධත්වය හඳුනාගැනීමට එක් අයෙකු හෝ කමිටුවක් ලොව කිසිදා සමත් වී නැහැ. බොහෝ තීරණ ආණ්ඩු විසින් ගෙන එන්නේ අනුමානයෙන්, ඒ නිසා ඇතිවන්නේ නොසිතූ ප්‍රතිඵල.

      //මොළය වෙහෙසවා වැඩ නොකරන ඔවුහු රැවටිල්ලක් එනතුරු බලාසිටින අය නොවේද?// නැහැ, මොළය වෙහෙසවා වැඩ නොකරන අය එසේ නොකරන්නේ හැමවිටම තෝරා ගැනීමක් නිසා නොවෙයි, අනුන් අනුකරණයට හැදියාවෙන් හුරු වී ඇති නිසා හෝ මොළය වෙහෙසීමෙන් ඇති ලාභයක් නොදකින නිසා.

      සතුන්ට තියෙන ප්‍රාජක දෙක:
      1. ජීවත්වෙන්න අවශ්‍ය දේවල් ලබා ගැනීමට, තම පැටවුන්ගේ පැවැත්ම ආරක්ෂා කිරීමට
      2. තර්ජනයකින් තමන්ව ආරක්ෂා කරගැනීමට, තර්ජනයකින් තම පැටවුන් ආරක්ෂා කරගැනීමට

      මිනිස්සුන්ට තියෙන්නෙ ඉහත ප්‍රාජක දෙක සහ ඊට අමතරව තවත් දෙකක්:
      3. දීර්ඝ කාලීන වූ එකිනෙකාට වාසිදායක වූ, විශ්වාසනීය වූ, සබඳතාවයන් ඇති කරගැනීමට
      4. තමන් ගැනත් ලෝකය ගැනත් අවබෝධයට, ඒ ගැන ඉගෙන ගැනීමට, නිර්මාණයට, අළුතින් දෙයක් සෙවීමට, තමන් හෝ ලෝකය හෝ ඇයි ඒ එහෙම වෙන්නෙ කියා විමසීමට

      තමන්ගේ යහපත සලසන වගකීම අයිති රජයට යන රැවටිල්ලෙන් ගැලවෙද්දී ස්වභාවික වූ මේ මිනිස් ගති වලට ඉඩක් ලැබෙනවා.

      //දැන් තියන තත්වයත් මෙයත් අතර වැඩි වෙනසක් තිබේද?// පැහැදිලිව ම ඔව්. විවිධ විෂම වූ ආශාවන් ඒ ඒ පුද්ගලයා තුල ඇතැයි දැනගන්නට ඉඩක් ඇති වාතාවරණයක් ලැබෙන්නේ මෙහි දී පමණයි. දැන් තියෙන විකෘතියෙන් ගෙන සමාජයේ දී පුද්ගලයා ගමන් කරන්නේ අනුන්ට ඕනෑ ඒත් තමන් අතරමං වෙන තැනකට. ඒත් මෙහි දී අයෙක් මොළය වෙහෙසනවා, අයෙක් ශක්තිය වෙහෙසනවා, අයෙක් වැඩිය වෙහෙසෙන්නේ නැහැ ඒත් අනුන් වෙතින් දෙයක් බලාපොරොත්තු වෙන්නේ ද නැහැ … විවිධ විෂම ආශාවන් සපුරා ගන්නවා. එහි දී ඒකීය පුද්ගලයාගේ කැමැත්තට ඉඩක් ඇති නිසා ඒ ඒ අය සිය කැමැත්තෙන් කරන හැම දෙයක ම සාර්ථකත්වය සොයා යන්නට ද ඒ ඒ අය වෙහෙසෙනවා. නිදහස් වෙළඳපොලකින් හැම විටම බහුතරයට ලැබෙන්නේ එය නැති ආර්ථිකයක තියෙනවාට වඩා සැප සම්පත්.

      //යම් කිසි වෙනස් කිරීමකින්, රටේ බහුතරය රැවටිල්ලට භාජනය කල නොහැකි එවුන් බවට පත් කරන්නේ නම් ඒ වෙනස කුමන ආකාරයේ එකක්ද?// අපූරු මිනිසා දිනපතා අලුත් රැවටිලි ගෙන එන නිසා බහුතරය රැවටිල්ලෙන් ගලවා ගැනීමට වඩාත් ම සුදුසු ක්‍රමය නම් හැම දෙයක් ගැනම ඇත්ත නැත්ත තොරතුරු යහමින් හා ඉක්මණින් පහසුවෙන් ලබාගන්නට ඉඩ දී, තෝරා ගැනීමකට මිනිසාට ඉඩ දීම. එහි දී පුද්ගලයා ද හැදියාවක් වඩා ගන්නවා වගකීමෙන් තෝරා ගැනීම තමන් විසින් ම කරන්නට. පෞරුෂයෙන් හා ආත්ම ශක්තියෙන් වැඩි මිනිසුන් වෙතින් සමාජයට යහපත් වූ නිර්මාණ බිහිවෙනවා. රැවටිල්ල හා සත්‍යය අතරෙන් කැමැත්ත තෝරා ගැනීමට ඒකීය පුද්ගලයාට ඉඩක් දීම, යථාර්ථවාදී වූ ද, එසේ ම උතුම් අරමුණකින් ද යුතු වූවක්. ඒකීය පුද්ගලයාට එයට ඉඩක් නොලැබෙන හැම අවස්ථාවක දී ම, එනම් ආණ්ඩුවක් විසින් නිදහස් වෙළඳපොල හසුරුවන්නට ගන්නා හැම ක්‍රියාවලියක දී ම එය යථාර්ථවාදී නොවන උතුම් අරමුණක් පමණයි.

  6. wicharaka විචාරක said, on සැප්තැම්බර් 25, 2012 at 11:15 ප.ව.

    ඇමරිකාවේ වාහනවල නොම්මර තහඩු මගේ ඔලුව අවුල් කරනවා. පුලුවන්නම් ඒ ගැන කරුණු ටිකක් කියාදෙන්න.

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2012 at 8:05 පෙ.ව.

      විචාරක,

      මුලින් ම කොයි ප්‍රාන්තයේ ද වාහනය රෙජිස්ටර් කරලා තියෙන්නෙ කියන්න නොම්මර තහඩුව පෙන්වනවා. මේ සටහනේ තියන නොම්මර තහඩුව අනුව වර්ජීනියා ප්‍රාන්තයේ රෙජිස්ටර් කරන ලද වාහනයක්. එයාගේ නොම්මර තහඩුව වටා තියෙන ආවරණයට ඒක වර්ජීනියාවේ කොයි දිස්ත්‍රික්කයෙන් ද යන්න වැහිලා, නැත්නම් එයත් පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුයි. ඒ ඒ ප්‍රාන්තය අනුව ඔවුන් තීරණය කරන්නෙ කොයි තරම් කාලයකට ලියාපදිංචි කරනවා ද කියල. ලියාපදිංචිය අවසන් වන දිනය තමයි ප්‍රාන්තය දෙපැත්තෙන් තියන ස්ටිකර් පෙන්වන්නේ: ඒ අනුව මේ වාහනයේ ලියාපදිංචිය අවසන් වෙන්නේ 2012 ජනවාරි වල. මේක මම ගිය අවුරුද්දෙ ගත්තු පින්තූරයක්. වාහනය ලියාපදිංචිය නැතුව පාරට දාන්න තහනම්. ඒ නිසා මේ අයගේ අද ස්ටිකර් එක ලියාපංදිචිය අලුත් කරන ලද පසු එය ඊ ළඟට අවසන් වෙන දිනය පෙන්වන්න ඕනෑ.

      ඒ ඒ ප්‍රාන්තයේ කැමැත්ත අනුවයි වාහන නොම්මර නිකුත් කිරීම සිද්ධ වෙන්නෙ. සමහර ප්‍රාන්ත අකුරුයි ඉල්ලකම් කලවමෙන් ද, සමහර ප්‍රාන්ත ඉලක්කම් පමණකින් ද යනාදී වෙනස් විධි ක්‍රම භාවිතා කරනවා. ඊට ඇඟිලි ගැසීමක් ෆෙඩරල් ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ නැහැ.

      ඊට අමතරව හැම ප්‍රාන්තයක් ම පාහේ තම ප්‍රාන්ත භාණ්ඩාගාරයට මුදල් ලබා ගැනීම පිණිස වාහන අයිතිකරුවන්ට ‘පුද්ගලික නොම්මර තහඩුවකට’ අවසර දෙනවා. එය මිලෙන් අධිකයි. ප්‍රාන්තය විසින් නිකුත් කරන ලද ඒ ඒ ප්‍රාන්තයේ සුවිශේෂී දැයක් ගැන වූ නොම්මතර තහඩුවක් වැඩි මිලක් දී ගන්න පුළුවන්. ඩෙලවෙයාර් හි war of 1812 කියා උඩින් ලියූ විශේෂ නොම්මර තහඩුවක් වැඩි මිලකට ගන්න හැකියාව තියෙනවා. එවැනි ඉදිරිපත් කිරීම් බොහොමයක්. තමන් පෙනී සිටිනුයේ ඒ ඒ මතවාදය, කැමත්ත හා සංවිධානය වෙනුවෙන් කියා පෙන්වන්නට කැමති අයට ඉඩක් දී ප්‍රාන්තයට සල්ලි ගන්න.

      පුද්ගලික නොම්මර තහඩුවක් ද කෙනෙකුට ගන්න පුළුවන්. වැඩි මිලක් දීලා මට ARUNI කියලා ඕනෑ නම් නොම්මර තහඩුවක් වාහනයට ගන්න පුළුවන්. හැබැයි ඒ මේ ප්‍රාන්තයේ වෙන අයෙකු එය දැනට පාවිච්චි නොකරනවා නම් පමණයි!!!

      පුද්ගලික නොම්මර තහඩු බහුල වශයෙන් පාවිච්චි වෙන්නෙ තම ව්‍යාපාරයට දැන්වීමක් දෙන්න. තව සමහරු මහමඟ යන අය හිනා ගස්සවන දේවල් ද දාගෙන ඉන්නවා. තවත් අය ඔවුන් පමණක් දන්නා දැයක් දාගෙන තියෙනවා. අසභ්‍ය වචන හා වාක්‍ය හැම ප්‍රාන්තයකම තහනම්. ඒත් හිටි හැටියේ වාහන ලියාපදිංචි කරන අයට හොරෙන් එයින් රිංගන්න සමත් වූ අවස්ථා තියෙනවා. ‘මම ටෝෆු වලට කැමැතියි’ (ILVTOFU) කියලා නොම්මර තහඩුව දා ගත්තු ප්‍රාන්ත ලැයිසන් වල ලියැවිලා තිබෙන්න අසභ්‍ය යැයි සැලකෙන්නක් බව දකින්න ප්‍රාන්ත ආණ්ඩු සේවකයන් මුල දී අසමත් වුනා!!!

  7. තිසර said, on සැප්තැම්බර් 25, 2012 at 11:17 ප.ව.

    තවත් ප්‍රශ්න….

    // අතීතයක දී එන්නත් වලින් ප්‍රතිශක්තිකරණය ලැබෙනවා වෙනුවට රෝගය හැදෙනවා යැයි කියූ රැවටිල්ලක් බහුතරය විශ්වාස කළා. නමුත් අම්මලාව ඊට කැමති කරවාගෙන දරුවන් අඬද්දී ම එන්නත් කරපු නිසා මසූරිකා (smallpox) වැනි සමහර රෝග ලොවෙන් තුරන් කරන්නටත් ලෝකය සමත් වූවා //

    // ආණ්ඩුවක් කුමන ආකාරයකින් හෝ මැදිහත් වෙන සෑම අවස්ථාවක ම, එය ලෝකයේ කොතරම් උදාර උතුම් අරමුණකින් කරන්නක් වුනත්, වෙළඳපොලේ ඇති රටාවට ඇඟිලි ගැසීමක් සිද්ධ වෙන නිසා, සත්‍යය ගණුදෙනු වලට ඉඩ නැතිවෙනවා//

    පළමු ප්‍රකාශය සහ දෙවන ප්‍රකාශය පරස්පර නොවේද? මේ ආකාරයෙන් අම්මලා කැමති කර ගැනීම, පවතින රටාවට උතුම් අරමුණක් වෙනුවෙන් ඇඟිලි ගැසීමක් නොවේද? මෙය සත්‍ය ගනුදෙණුවක් නොවේ යැයි මා සිතුවහොත්, සත්‍ය ගනුදෙණුවකට මග පාදා දීමට, සත්‍ය නොවන ගනුදෙනුවක් පවිච්චි කිරීමක් නොවේද මෙය?

    // නිදහස් වෙළඳපොලක රැවටිල්ලකට වැඩි ආයුෂ නැහැ. තෝරා ගැනීමේ නිදහස වැඩි නිසා රැවටිලි අතහැර සත්‍යය සොයා ගන්නට මිනිසාට ඉඩ වැඩියි. සත්‍යය ඉදිරිපත් කරන්නාට ලාභ වැඩි නිසා සත්‍යයෙන් භාණ්ඩ හා සේවා සැපයීම රැවටිල්ලෙන් කරන්නට වඩා ලාභදායක වැඩි බව පෙනෙනවා //

    නිදහස් වෙළඳපොල කියන සංකල්පය ගැන වැඩි දැනීමක් නැත. සත්‍ය කුමක්දැයි සොයා නොයන බහුතරයක් ඇති කල, සත්‍ය ඉදිරිපත් කරන්නාට වැඩි ලාභ ලැබෙන්නේ කෙසේද? එසේ සිදුවිය යුත්තේ සත්‍යයට වැඩි ඉල්ලුමක් ඇති විට නොවේද? සත්‍ය සොයා නොයන බහුතරය ඇති සමාජයක නිදහස් වෙළඳ පොලක වැඩියෙන් ඇත්තේ සත්‍යය වන්නේ කෙසේද?

    දැන් මෙහෙම හිතෙනවා… බහුතරය සත්‍ය සොයා නොයෑම සමාජයක ‘සත්‍යය’ නම්, එනම් එන්නත් දීමෙන් රෝගය හැදෙනවා යන ‘සත්‍යය’ සමාජයක ඇති කල, එය වෙනස් කරලීමට උත්සහ දැරීම, එම සත්‍ය අවබෝධ කරගත්තා වූ සුළු පිරිසකගේ උත්සාහයක්. එහි අවසාන ප්‍රතිඵලය එන එන්නත අනිවාර්ය යැයි නීතිගත කිරීම නම්, ඔබ පවසන නිදහස් වෙළඳපොල එහි නැහැ නේද? නමුත් ප්‍රතිඵලය උතුම් නොවේද?

    මෙහෙමයි මට හිතෙන්නේ… ඕනෑම සමාජයක මුල්බැස ගත් ‘සත්‍යයන්’ තියනවා. සත්‍ය සොයා නොයන බහුතරය කිසිදිනක මේ සත්‍ය වෙනස් කරලීම උත්සහ දරන්නේ නැහැ. පවතින සත්‍යයෙන් ඔබ්බෙහි ඇති තවත් සත්‍යයන් සොයා යන සුළු පිරිසක් තමයි හැමදාම මේ සමාජගත සත්‍යයන් වෙනස් කරලීමට දායක වෙන්නේ. බහුතරය ඔබ කියූ පරිදි, මෙම සුළු පිරිස පෙන්වාදුන් පසුව, නොතේරී හෝ එය සත්‍යය යැයි පිළිගන්නා අය.

    පුද්ගය සමාජයෙහි ඇති විවිධත්වය අනුව ඒ විවිධත්වය හැරෙන්නට වෙන සත්‍යයක් ඔවුනට සොයා ගැනීමට හැකිවන්නේ නැහැ. මිනිසුන්ට ඇති 3 වන ප්‍රාජකය අනුව මෙවැනි සබඳතාවන් ඇතිකරගැනීමට ඔවුනට යම්කිසි රාමුවක් තුල සත්‍යයන් යනු මේ මේ දේ යැයි එකඟතාවයකට පැමිනීමට සිදුවෙනවා. ඒක විකෘතියක්. රටක් පාලනයට, රටක මහජනතාව නියෝජනය කිරීමට, ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙන් පත්වීමම විකෘතියක්. නමුත් ඒ විකෘතියෙන් තොරව මිනිස් සමාජයකට පැවත්මක් නැහැ. එවිට සිදුවන්නේ අර ප්‍රාජක 1, 2 වැඩි ඉඩක් ලැබී මිනිස් සමාජය සත්ව සමාජයක් බවට පත්වීම, මිනිසා ගේ සැබෑ ප්‍රකෘතිය එය වන්නට පුළුවන්.

    ඒ ප්‍රකෘතිය නොවේ නම් අපේ අරමුණ… අර මම කලින් කියපු සත්‍ය සොයායන සුළු පිරිසගෙන් බහුතරය, යථාර්ථවාදී උතුම් අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන්නන් බවට පත්වීමට අවශ්යයි…

    දිග වැඩි නැතැයි සිතමි 🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2012 at 9:40 පෙ.ව.

      තිසර,

      //පළමු ප්‍රකාශය සහ දෙවන ප්‍රකාශය පරස්පර නොවේද? මේ ආකාරයෙන් අම්මලා කැමති කර ගැනීම, පවතින රටාවට උතුම් අරමුණක් වෙනුවෙන් ඇඟිලි ගැසීමක් නොවේද? මෙය සත්‍ය ගනුදෙණුවක් නොවේ යැයි මා සිතුවහොත්, සත්‍ය ගනුදෙණුවකට මග පාදා දීමට, සත්‍ය නොවන ගනුදෙනුවක් පවිච්චි කිරීමක් නොවේද මෙය?//

      මේ ආකාරයෙන් අම්මලා කැමති කර ගැනීම” ඇඟිලි ගැසීමක් නෙමෙයි, කැමැත්තට ඉඩ දීම නිදහස් වෙළඳපොලයි. අකමැත්තෙන් බලහත්කාරයෙන් ඇදගෙන ගිහින් එන්නත් කිරීම් සිදු කළේ නම් එහි දී සත්‍ය ගණුදෙනුවක් නැහැ. තිසර සිතූ පමණින් ගණුදෙනුවක් සත්‍ය හෝ අසත්‍ය වෙන්නේ නැහැ. යම් භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීමේ කැමැත්තට ඉඩ ඇති හැම අවස්ථාවක දී ම පමණක් ම එය සත්‍ය ගණුදෙනුවක් වෙයි. සමහර විට අපි කැමැත්ත ඇති කරනු පිණිස වෙනත් ප්‍රතිලාභ පෙන්වනවා. එන්නත් ලබාගන්නා අයට සන්තෝෂ මුදලක් අතට දීම වැනි. එහෙත් එයත් බලහත්කාරකමක් නෙමෙයි, සන්තෝෂ මුදලත් එන්නත් එපා යැයි කියන තෝරා ගැනීමට ඉඩක් තිබෙද්දී.

      //නිදහස් වෙළඳපොල කියන සංකල්පය ගැන වැඩි දැනීමක් නැත.// 😀 මේක තිසර මේ දවස්වල ලෝකයේ බහුතරයකට නොහැකි වූවක්. ඒ ගැන ඉදිරියේ දී බොහෝ දුරට ලියන්නට උත්සාහයක් ගන්නවා. සරල ව කිව්වොත්, කිසිවකුගේ මැදිහත් වීමක් නැතිව යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයක් කරන්නාට එය කැමැත්තෙන් මිල දී ගන්නට ඉදිරිපත් වෙන කෙනෙකුට විකුණා ලාභයක් සොයා ගැනීමට හැකි ආර්ථික රටාව. හැමෝටම එහෙම ඉඩක් ලැබෙන වාතාවරණයක ඉදිරිපත් කෙරෙන නිෂ්පාදන හා සේවාවන් අධික නිසා තෝරා ගැනීම් ද අධිකයි, එහි දී ඇති වන්නේ තරඟකාරී වෙළඳපොලක්; සේවා හා භාණ්ඩ සපයන අය අඩු වැයකින් නිෂ්පාදනය කරන දෑ හැකි තරම් වැඩි මිලට අලෙවියත්, ඒවා මිල දී ගන්නා අය වඩාත් ම අනගි බඩු හැකි තරම් අඩු මිලටත් ලබා ගන්න උත්සාහය තරම් තරඟකාරීත්වය. එහි දී මිල තීරණය ඉල්ලුම හා සැපයුම අනුවයි. වඩාත් ම අඩු මිල ඇති වඩාත්ම අනගි භාණ්ඩ හා සේවා වෙළඳපොලට ලැබෙන එකම ක්‍රමයයි ඒ.

      //සත්‍ය කුමක්දැයි සොයා නොයන බහුතරයක් ඇති කල, සත්‍ය ඉදිරිපත් කරන්නාට වැඩි ලාභ ලැබෙන්නේ කෙසේද?// අනුකරණය දිවි ගලවා ගැනීමේ සහජ ප්‍රේරකයක්. අනිත් අය දිහා බලලා ඒ අය අලක් මුලක් කාලා මැරැනේ නැතැයි දැක්ක ආදීමිනිසා තමා ද ඒ අල මුල කාලා ජීවිතය රැකගත්තා වූ හැදියාවෙන් පරිනාමය වූවක්. සත්‍යය කුමක් දැයි සොයන්නට තමන්ට ඕනෑකමක් හෝ වෙහෙසක් ගන්නට අකමැති අය අනිත් සාර්ථක පුද්ගලයන් දිහා බලලා ඒ අය අනුකරණයෙන් තම ජීවිත සාර්ථක කරගන්නවා. ඉතින් සත්‍ය දේවල් ඉදිරිපත් කරන්නාට හැමදාම සත්‍යය දේ සොයා බලා ගන්නා අය නිසාත්, ඒ අය අනුකරණය කරන අනිත් අයත් වෙතින් ද ඉල්ලුමක් ඇති නිසා ඒ ඉල්ලුම සැපිරීමෙන් ලැබෙන්නේ වැඩි ලාභයක්.

      //එසේ සිදුවිය යුත්තේ සත්‍යයට වැඩි ඉල්ලුමක් ඇති විට නොවේද?// සැබැවින් ම, රැවටිල්ලට වඩා වැඩි ඉල්ලුමක් හැමදාම සත්‍යයට තියෙනවා. මාව රවටන්න කියා ඉල්ලන අය කී දෙනෙක් ව තිසර දන්නවා ද? 😀 ඉල්ලුමක් තිබි පමණින් එය සපුරා ගන්නට උත්සාහයක් ගන්නට උවමනාවක් ඇත්දැයි කියන එක වෙන කතාවක්!!!!

      //දැන් මෙහෙම හිතෙනවා… බහුතරය සත්‍ය සොයා නොයෑම සමාජයක ‘සත්‍යය’ නම්, එනම් එන්නත් දීමෙන් රෝගය හැදෙනවා යන ‘සත්‍යය’ සමාජයක ඇති කල, එය වෙනස් කරලීමට උත්සහ දැරීම, එම සත්‍ය අවබෝධ කරගත්තා වූ සුළු පිරිසකගේ උත්සාහයක්. එහි අවසාන ප්‍රතිඵලය එන එන්නත අනිවාර්ය යැයි නීතිගත කිරීම නම්, ඔබ පවසන නිදහස් වෙළඳපොල එහි නැහැ නේද? නමුත් ප්‍රතිඵලය උතුම් නොවේද?// යමක් අනිවාර්ය යැයි නීතිගත කිරීමේ දී එහි නිදහස් වෙළඳපොලක් නැහැ. අද නීති ගැන අවබෝධයක් නැති අය නීති කඩමින් සිටින්නේ ඒ නිසයි. ලංකාවේ මාර්ග නීති ඇත්තේ කුමකට දැයි නොදන්නා නිසා ඒවා තුට්ටුවකට සලකන්නේ නැහැ. මෙහෙට ඇවිත් ඉන්න ලංකිකයන් ද මාර්ග පොලීසියෙන් ගැලවෙන්නට විජට්ටු දාගෙන නීති කඩකරන්නේ ඒ නිසයි!!! යමක් අනිවාර්ය යැයි නීති ගෙනාවාට ඵලක් නැහැ, නීති පිළිපැදීම මිනිස් කැමැත්තෙන් තෝරා ගැනීමක් බවට පත් නොවෙද්දී. එය කැමැත්තෙන් කරන තෝරා ගැනීමක් වෙන්නට එසේ මාර්ග නීති කඩකරන්නා අසු වූ කල ජනාධිපතිගේ පුතා දැයි නොබලා දැඩි දඩ වැදීම හා සිරගත කිරීම පවා මෙහි නීතිය වී ඇත්තේ නීතිය ඇත්තේ කුමකටදැයි ගැන අවබෝධයක් ලබා දෙන්නට. ඉතින් අනිවාර්ය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය අසාර්ථක නිසා, එනම් යමක් අනිවාර්ය කළ පමණින් සැවොම එය පිළිනොපදින නිසා, අසාර්ථක ප්‍රතිඵලයක උතුම් ගැනක් ගැන කුමන කතා ද?

      //ඕනෑම සමාජයක මුල්බැස ගත් ‘සත්‍යයන්’ තියනවා// යම් සමාජයක මුල් බැස ගත් අදහස් තිබි පලියට ඒවා සත්‍යයන් වෙන්නේ නැහැ. මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය තුලයි සත්‍යය ඇත්තේ. සමහර සමාජයක බහුතරයක් මිනිස්සු මේ මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ගැන වූ සත්‍යයන් අවබෝධ කරගෙන ඉන්නවා, සමහර සමාජ වල බහුතරයක් පිරිසකට තවම ඒ අවබෝධයට පිවිසිලා නැහැ.

      //සත්‍ය සොයා නොයන බහුතරය කිසිදිනක මේ සත්‍ය වෙනස් කරලීම උත්සහ දරන්නේ නැහැ.// වැරදියි, සාර්ථක අයව අනුකරණයෙන් පමණක් තම ජීවිතය ද ආරක්ෂා වෙන නිසා කාලයක් යද්දී සාර්ථක අසාර්ථක කුමක් දැයි වටහා ගන්නට තරම් තොරතුරු ලැබෙද්දී ඔවුන් ද පවතින තත්වය අහිතකර නම් එය වෙනස් කරගන්නට උත්සාහ කරනවා. අනාරක්ෂිත තත්වයන් බාහිර ඇඟිලි ගැසීම් වලින් පවත්වාගෙන යද්දී තමයි ඒ අයට සාර්ථක අසාර්ථක කුමක් දැයි තෝරා බේරා ගත නොහැකිව හිර වී සිටින්නේ.

      //පවතින සත්‍යයෙන් ඔබ්බෙහි ඇති තවත් සත්‍යයන් සොයා යන සුළු පිරිසක් තමයි හැමදාම මේ සමාජගත සත්‍යයන් වෙනස් කරලීමට දායක වෙන්නේ.// සත්‍යය නම් වෙනස් නොවන්නක්. සත්‍යය යැයි සිතූ වැරදීම් තමයි වෙනස් වෙන්නෙ. ඒ නිසා සත්‍යයෙන් ඔබ්බෙහි වූ තවත් සත්‍යයක් කියා දෙයක් නැහැ. ප්ලේටෝ ට නම් එහෙම රූපකයක් තිබ්බා!!! ලෝකයේ කැපවීමකින් යම් උත්සාහයක් ගන්නට වෙහෙසෙන පිරිස හැමදා සුළුතරයක්. ඔවුන් සත්‍යය පහදාගන්න සමාජයකට උපකාර වෙනවා වගේ ම තමන්ගෙ පාඩුවේ සත්‍යය දැනගෙන නිහඬව ඉන්නා අය ද වෙනවා. කළින් කිව්වා වගේ “සමාජගත සත්‍යයන්” කියා දෙයක් නැහැ මිනිස්සු එක එකා තමන් විසින් සත්‍යය යැයි අල්ලා ගත්තු අදහස් මිසක්.

      //බහුතරය ඔබ කියූ පරිදි, මෙම සුළු පිරිස පෙන්වාදුන් පසුව, නොතේරී හෝ එය සත්‍යය යැයි පිළිගන්නා අය.// ඔව්. අනුකරණය ජීවිතය ආරක්ෂා කරන නිසා.

    • arunishapiro said, on සැප්තැම්බර් 26, 2012 at 9:50 පෙ.ව.

      තිසර,

      //පුද්ගය සමාජයෙහි ඇති විවිධත්වය අනුව ඒ විවිධත්වය හැරෙන්නට වෙන සත්‍යයක් ඔවුනට සොයා ගැනීමට හැකිවන්නේ නැහැ.// විවිධත්වය සත්‍යයක්. සෑම පුද්ගලයෙක් ම තවත් පුද්ගලයෙක්ට වඩා වෙනසකින් යුතු වීම සත්‍යයක්. ඒ සත්‍යය අවබෝධ කරගත් පසු ඒ ගැන වෙනත් සත්‍යයක්, ඊට ඔබ්බෙන් වූ තවත් සත්‍යයක් නැහැ.

      //මිනිසුන්ට ඇති 3 වන ප්‍රාජකය අනුව මෙවැනි සබඳතාවන් ඇතිකරගැනීමට ඔවුනට යම්කිසි රාමුවක් තුල සත්‍යයන් යනු මේ මේ දේ යැයි එකඟතාවයකට පැමිනීමට සිදුවෙනවා. ඒක විකෘතියක්.// සත්‍යයක් රාමුවක් තුල පවතින්නක් නොවේ. එය නිදහස් වූවක්, කැමැත්ත නිසා එකඟ විය හැකි අකමැත්ත නිසා ප්‍රතික්ෂේප කළ හැකි වූවක්. එහෙත් සත්‍යය යන්න ඇයෙක් කැමති හෝ අකමැති වු පමණින් වෙනසකට භාජනය නොවෙන්නක්. සත්‍යයට හෝ අසත්‍යයට එකඟතාවය හිසට තුවක්කුවක් එල්ල වෙද්දී සිද්ධ වීම, ඇඟට ඇසිඩ් වැදෙද්දී සිද්ධ වීම, සුදු වෑන් එකකින් පැහැර ගෙන යෑම ඉදිරියේ දී සිද්ධ වීම තමයි විකෘතිය. එකඟත්වයට හෝ ප්‍රතික්ෂේපයට ඉඩක් ලැබෙන වාතාවරණයක දී එය විකෘතියක් නොවේ.

      //රටක් පාලනයට, රටක මහජනතාව නියෝජනය කිරීමට, ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙන් පත්වීමම විකෘතියක්.// නැහැ, ඒවා කැමැත්තෙන් තෝරා ගන්නට හැකි එහි ඉන්නා සෑම අයෙකුට ම ඉඩකඩක් ලැබෙන්නේ නම් එය විකෘතියක් නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න