එක ලෝක පාසැලක්: අධ්‍යාපනය ගැන නැවත සිතා බැලීමක්
දැනුම සොයා යන අයට පුරාතනයේ ලැබුනේ උපන්නේ කොතැනක ද අනුව අධ්‍යාපනයට අවස්ථාවක් හිමි අහිමි වීමයි. මානුෂික අයිතිවාසිකම් මොනවා දැයි කතාබහත් සමඟින් අධ්‍යාපනයට අයිතිය මිනිස් සනුහරේ සෑම සාමාජිකයෙකුටම ඇතිබව ලොව බහුතරයක් පිළිගත්හ. අධ්‍යාපනය අහිමි කරන සාම්ප්‍රදායික නීති රීතින් ශිෂ්ඨාචාර ලෝකයේ ආලෝපනය විය. අද වේදාන්ත ධර්මයන් කියවන්නට බ්‍රාහ්මණ කුලයේ උපදින්නට අවශ්‍ය නොවේ. හරක් මස් කන පරසුද්දාටත් එය හදාරන්නට හැකිය.
සාම්ප්‍රදායික අහිමිය නීති වලින් කටු ගෑවෙද්දී, අධ්‍යාපනය යනු නොමිලේ ලැබිය යුත්තක් යැයි කියමින් අනුන්ගේ පසුම්බියට අත දමන්නට පසුබට නොවෙන අය, බහුතරය කොල්ල කා මැදපංතියට නොමිලේ අධ්‍යාපනය හිමිකරගන්නට නීති පනත් ගෙනෙන්නට උත්සුක වූහ. තම පසුම්බියෙන් වැය නොවෙන කල අත දිග හැර නාස්තිය මිනිස් ස්වභාවයකි. නොමිලේ ලැබෙනවා යැයි කියන අධ්‍යාපනයේ වැය ඉහළ ගියේ අනාගත පරම්පරා ණයගැත්තන් කරවමින් පමණක් ම නොවේ. දූෂණයට ඉඩ ලැබෙන මධ්‍යම සැලසුම්කරණයේ යෙදෙමින් ජෝසප් ස්ටාලින්ලා අදත් කියන්නේ මේ ඉන්න අයට කරන්නට බැහැ, ඒත් අපිට කරන්නට පුලුවන් කියාය!!!!
පුරාතනයේ මෙන්ම වර්තමානයේ ද, පාකිස්තානයේ මලාලා යුසාෆ්සායි මෙන් ජීවිතය පරදුවට තබා සාම්ප්‍රදායට එරෙහිව දැනුම සොයා ගිය/යන අය සොයාගත හැකියි.
පුරාතනයේ මෙන්ම වර්තමානයේ ද දැනුම සොයන්නට කැමැත්තක් තිබි සුනීතලා සෝපාකලාට උපන් තැන නොබලා දැනුම බෙදූ/බෙදන අය සොයාගත හැකියි.
1976 දී ලුයිසියානාවේ නිව් ඔර්ලියන්ස් නගරයේ දී, බංගලාදේශී පියෙකුටත් ඉන්දියාවේ කල්කටාවෙන් ආ මවෙකුටත් දාව උපදින්නේ සැල්මන් අමින් කාන් ය. ඔහුව ඇතිදැඩි කරන්නේ නොයෙකුත් රැකියාවන් හා ව්‍යාපාර කරමින් ජීවිකාව උපයන ඔහුගේ මව විසිනි. ඔහු ගිය මහජන පාසැල් වල සමහර ළමුන් සිරගෙදරින් එළියට ආ අය වූහ. සමහර ළමුන් රටේ ඉහළම විශ්ව විද්‍යාල බලා යන තරම් බුද්ධියෙන් යුතු වූහ. සැල්මන් ගණිතයට ප්‍රමුඛත්වය දී පළමු උපාධියක් ලබා ගනියි. අනතුරුව ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු සහ පරිගණක විද්‍යාවට තවත් පළමු උපාධියක් ලබා ගනියි. මේ දෙකෙන් ම MS උපාධියක් ලබාගන්නේ මැසචූසෙට්ස් තාක්ෂණ ආයතනයෙනි (MIT). හේ හාවඩ් බිස්නස් පාසැලෙන් MBA උපාධියක් ද ලබයි.
කොටස් වෙළඳපොලට සම්බන්ධ වූ විශ්ලේෂකයෙකු සේ රැකියාව කරන අතර තුර දී ඔහුට සිය ඥාති සහෝදරියක් වූ නාඩියාට ගණිතය කියා දෙන්නට අවස්ථාවක් ලැබෙයි. ඔහු අන්තර්ජාලයෙන් Yahoo! හි ඩූඩල් නොට්පෑඩ් භාවිතයෙන් ඒ වෑයමේ යෙදෙද්දී ඔහු දැනගන්නේ තවත් ඥාතීන් හා යහළුවන් ඔහුගේ සරල පැහැදිලි ඉගැන්වීම් සොයා එන බවයි. 2006 දී ඔහු YouTube මඟින් තම ටියුෂන් පංති කැමති අයෙකුගේ පරිහරණය පිණිස බෙදා හැරීම පටන් ගනියි. මිලියන 200 ක් ඒවා බලන බව දකින සැල්මන් රැකියාවට ආයුබෝවන් කියා 2009 දී කාන් ඇකඩමිය යූටියුබ් මඟින් දියත් කරයි. එහි දැනට මිලියන 200 කට වඩා පාඩම් සංචිතයක් ඇත.
සැල්මන් කාන් ඇරඹූ කාන් ඇකඩමියේ ඉලක්කය “එක ලෝක පාසැලක්: අධ්‍යාපනය ගැන නැවත සිතා බැලීමක්” ඉදිරිපත් කිරීමයි.
අධ්‍යාපනය අගය කරන අය සහ අධ්‍යාපන ලබාගන්නට උත්සාහයක් ගන්නා අයට අත දීමට ඉදිරිපත් වෙන දානපතියන් ලෝකයේ හැමදාම සිටින බව ඔප්පු කරමින් නන් ආකාර වලින් සහයෝගය සැල්මන් කාන් වෙත ගලා එයි. 2009 දී කාන් ඇකඩමිය මයික්‍රොසොෆ්ට් කොම්පැණියේ තාක්ෂණික තිළිණයක් ලබයි. 2010 දී ගූගල් විසින් ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කරන්නේ තවත් පාඨමාලා හදන්නට සහ කාන් ඇකඩමියේ ප්‍රධාන පුස්තකාලයේ තියෙනා දැනුම වඩාත්ම ප්‍රචලිත භාෂා වලට පරිවර්තනය කරනු සඳහාය. 2011 දී සැල්මන් කාන්ට TED හි කතාවක් පවත්වන්නට බිල් ගේට්ස් ආරාධනා කරන්නේ තම දරුවන් ද කාන් ඇකඩමියෙන් දැනුම ලබන බව කියමිනි. අද කාන් ඇකඩමිය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ පරිත්‍යාග ලාභියෙක් ද වෙයි.
ඉතින්, අයෙක් කියන්නට හැකියි අපොයි පරිගණක හැමෝටම නැහැනෙ කියා. ලෝකයේ බිලියන 6 කට වසර විස්සකට පෙර දී සෙල් ෆෝන් ද තිබුනේ නැත. ආණ්ඩු මැදිහත් නොවෙනවා නම්, ඇමෙරිකාවේ මෙන් සෙල් ෆෝන් කොම්පැණි වලින් සේවාවට ගිවිසුම අත්සන් කරද්දී කැමති සෙල් ෆෝනයක් නොමිලේ ලබා ගැනීම ඕනෑම රටක තරඟකාරී වෙළඳපොලක දී දකින්නට ලැබෙනවා නිසැකය. පරිගණක නැති එහෙත් ස්මාට් සෙල් ෆෝන් පහසුකම් ලැබිය හැකි ලොව බිලියන 6 ට දැනුම යනු ඇඟිල්ල අසලට ගෙනැවිත් දෙන, තම උත්සාහය හා ඕනෑකම අනුව වඩවා ගන්නක් වීමට බාධක ලෙසින් පවතින්නේ ලෝක ආණ්ඩු සහ ඒ ආණ්ඩුවේ අයට ඉල්ලා අස්වෙන්න එවිට තමන්ගෙ ආණ්ඩුවට කළ හැකි යැයි උදාර චේතනා ගැන පාරට්ටු බාන ජොස්ප් ස්ටාලින්ලා පමණි.
ඉතින්, අයෙක් කියනවා නම් අධ්‍යාපනය යනු රජයක් විසින් තව තවත් සැලසුම් කළ යුතු යැයි කියා, බලහත්කාරයෙන් ගන්නා බදු මුදල් නැත්නම් නිසි අධ්‍යාපනයක් සියල්ලන්ටම ලබා දෙන්නට නොහැකි යැයි කියා, එවැන්නා අනුන්ගේ පසුම්බියට හිරිකිතයක් නැතිව අත දමන්නට බලලෝභී පාලකයන්ට උදව් කරන්නෙකි.
එසේ නොමැති වූවන් ස්වේච්ඡාවෙන් කාලය හා ශ්‍රමය වෙහෙසා පාඩම් හදා මුළු ලෝකය පුරා බෙදා හරිති. ඒවා නොයෙක් භාෂා වලට පරිවර්තන කරන්නට සහාය වෙති. සිංහල භාෂාවෙන් දැනුම කාන් ඇකඩමියේ විජට්ටු භාවිතයෙන් බෙදා හරින්නට මාතර රාහුල විද්‍යාලයේ තඹරු විජේසේකර සිසුවා ගෙන ඇති උත්සාහය අගනේය.
අතලොස්සකට පමණක් සීමා වූ විජට්ටු බහුතරයා වෙතට නොමිලේ ගෙන යන්නට වෙහෙසෙන්නේ ඒකීය මිනිසාට දායාදව ඇති සුවිශේෂී වූ නිර්මාණශීලීත්වය අගය කරනා අයයි. එහෙම නැතිව අනුන්ගේ යහපත සලසන්නට අනුන්ගේ පොකැට්ටු වලට අත දාන්නට අවසරය නීතියෙන් ලබා ගන්නට උද්ඝෝෂණ කරන අය නොවේ. ඒ උද්ඝෝෂණ කරනා අයට හවුල් වෙන අය ද නොවේ.
මෙය එක ලෝක පාසැලක් විය යුතු නැත. තමන් කැමති මතවාදයන් උගන්වද්දී නිදහස් ලෝකයේ දී ලැබෙන බහුතර කැමැත්ත කෙසේදැයි සොයා බලන්නට නම් අනුන්ගේ පොකැට්ටු වලට බහින්නේ නැතිව තමන්ගේ පොකැට්ටු වල ඇති මුදල් හා තමන්ගේ කාලය වැය කර මෙවැනි උත්සාහයක් කර බැලිය යුතුයි!!!!!! 😀
අරුණි මේ නම් කදිම අදහස් දැක්විමකි. නිදහස් අධ්‍යාපනය යන මුලාවෙන් යම් තරමක් ඉගනගත් මම ද ඇතුළු බොහෝ පිරිස කරන කියන දේ තුළ ඔබ ගෙන එන්නේ නියම මතවාදයකි.සත්‍ය ලෙසම ජෝශප් ස්ටාලින්ලා මෙරට අධ්‍යාපනයට කළ දෙයක් නැත. උන්ගේ බඩ වියත වෙනුවෙන් අරගල සේ පෙනෙන මායාවන් අප හමුවේ මවා පායි. ලෝක පාසල සංකල්පය සමාජ ගත කරන්න හොඳම කාලය මේ තමයි.
naleendilruksha,
ස්තූතියි.
තනි තනිවම කරන්න හැකි දේවල් ගොඩක් තියෙනවා, උද්ඝෝෂණ වලින් කරන වැඩ ඇබිත්තත් නවත්තලා මිනිස්සු පාරට බස්වන්නෙ නැතිව!!!
අරුණි මාත් මේක ගැන හුගක් කල්පනා කලා. කාන් ඇකඩමිය දැකලා විශ්ව විද්‍යාලයේ ඉන්න මගේ සිසුන්ට දේශන වගයක් නිර්මාණය කරලා අන්තර්ජාලයට එක් කලා. මම මේ දවස් වල කල්පනා කරන්නේ මම දන්න දැනුම සිංහලෙන්ම ඉදිරිපත් කරන්න. ඇත්තටම ඒ වැඩේ පටන් අරන් ටික දවසක් වෙනකොට තමයි ඔයාගේ මේ ලිපිය දැක්කේ
malagala,
එහි YouTube Channel Sort කරන්න Sinhala ලින්ක් එක හදාගන්නෙ කොහොම ද? මම ඊයේ අහලා යැව්වා. මොකද දැනට අනිත් භාෂා වලට එහෙම පිටු තිබ්බට සිංහලට හදලා නැහැ. https://sites.google.com/a/khanacademy.org/forge/for-translators/translations-update
සිංහලෙන් දැනුම එකතු කරන උත්සාහයට ජයවේවා!
මමත් ඒක නම් කොහොමද කියන්න දන්නේ නෑ. ඒත් මම සිංහලට පරිවර්තනය කරන්න අහල යවලා තියෙන්නේ
කාන් ඇකඩමිය වගේ කිහිපයක්ම තියෙනව විශ්ව විද්යාලවල පාඩම් වලට ඒ විදියටම සම්බන්ද වෙන්න පුලුවන්
https://www.coursera.org/
http://edx.org/
http://www.udacity.com/
Malith,
ආදායම් බදු වලින් කිසිසේත් සහනාධාර නොලබන ආයතන ගැනයි මම අදහස් කළේ. ඉන්දියානාවේ තියෙනවා වොබෑෂ් කොලෙජ්, මිචිගන්හි තියෙනවා හිල්ස්ඩේල් කොලෙජ් … කාන් ඇකඩමිය උදුරාගන්නා ලද බදු වලින් යැපෙන්නක් නොව පුරවැසියන් කැමැත්තෙන් දෙන ආධාර මුදලින් පැවැත්වෙන්නක්.
මේ ගැන පෝස්ට් එකක් දාපු එකට ගොඩක් ස්තූතියි. විජට්ස් වලින් කිව්වට, ඛාන් ශාස්ත්‍රාලයේ Sinhala Advocate විදියට මම කටයුතු කරනවා.
දැනට පරිවර්තකයන් එකතු කරමින් Google Group එකකුත් ගොඩනගාගෙන යනවා.
https://groups.google.com/a/khanacademy.org/forum/?hl=en&fromgroups#!forum/sinhala-translators
සිංහලට මේ පාඩම්මාලා පරිවර්තනය කරන්නයි, Dubb කරන්නයි අපිට කට්ටිය මදි. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා Group එකටත් එකතුවෙලා ප්‍රශ්ණ/යෝජනා සාකච්ඡා කරමින් සිංහල භාෂාව ලෝකය වෙත රැගෙන යන්නට.
අධ්‍යාපනය විකුණගෙන කන්න හදන වාතාවරණයකදි මේ වගේ නිදහස් e-අධ්‍යාපන වැඩපිලිවෙලක් බොහොම අගයන්නට ඕනෑ. ඉතින් ඒ අනගි කර්තව්‍යයට හැමෝටම දායක වෙන්නත් පුළුවන්! 🙂
සාම්ප්‍රදායික සමූහවලින් ඔබ්බට ගිය මානුෂීය පිළිවෙත් රැසක් මේ ඛාන් ශාස්ත්‍රාලයේ වැඩ කරන අයගේ, ඒ කිව්වෙ ගොඩාක් රටවල්වලින් බැඳුණු සාමාජිකයන් අතරේ සුහද හමුවීම්, ඍතුමය සුභපැතුම් හුවමාරු වෙනවා. ඉතින් ලංකාවෙනුත් හොඳ සෙට් එකක් යොමු කරගන්න පුළුවන් වුණොත් මෙහෙත් වාර්ෂික හමුවක් පවත්වන්න පුළුවන්. ඒක ලංකාවෙ, අපේකම පෙන්වන්න හොඳ අවස්ථාවක් වේවි.
Thambaru,
ඔබේ උත්සාහයට මාත් හැකි පමණින් සහාය දෙන්නම්. ඉහත malagala සේ ම ලංකාවෙන් වගේ ම ලොව නන් දෙස ඉන්නා සිංහලෙන් ලියන කියවන තවත් පිරිසක් එකතු වේවා යැයි මගේ ද පැතුමයි!
බොහොම ආසාවෙන් කියව්වා. මේ ටිකේ ආයෙත් නෙට් ස්ලෝ වෙලා. ඉතින් අමාරුවෙන් තමයි දෙයක් කරන්නෙ. දන්නවනෙ කොල්ලො ඉන්න කොට ගෙදර. ෆිල්ම්ස් බානවා. D;
ඉතින් මේ කරන්නාවූ සත්කාර්යයට හැමෝටම ජය වේවා!
මේ වටිනා ලිපිය දැක්කෙ Thambaru Wijesekara ගේ ලිපියක් කියවමින් ඉද්දි දැනුයි. ස්තුතියි.