අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිස් ජීවිත සාර්ථක කරන එකම සමාජ සංස්ථාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2013

B119

ධනවාදීන් කියා ගන්නා අයත් සමාජවාදීන් කියා ගන්නා අයත් පිල් දෙකකට බෙදී සිටින ආකාරය අද ලෝකයේ හැම පැත්තකින් ම පාහේ දකින්නට ලැබේ. මේ දෙපැත්තේ ම අභිප්‍රාය නම් මිනිස් වර්ගයාගේ සමාජ හා ආර්ථික සංවිධානය තමන්ගේ සැලසුමෙන් සාධනයයි.

අද ධනවාදියා සහ සමාජවාදියා අතර වෙනස කුමක් දැයි තමන් ධනවාදීයි හෝ තමන් සමාජවාදීයි කියා ගන්නා අයත් නොදන්නා තරමට විකල් වී ඇත.

අද දෙපැත්තම උත්සාහ කරන්නේ පුද්ගලික ව්‍යවසයාකයා ආලෝපනය කර දමන්නට ය. දෙපැත්තම උත්සාහ කරන්නේ නිෂ්පාදන ක්‍රම සතු පුද්ගලික අයිතියට වැටකොටු බඳින්නට ය. වෙළඳපොල ආර්ථිකය පාලනය කරන්නට තමන් දන්නවා යැයි දැන් දෙපැත්තම තරයේ විශ්වාස කරති.

ධනවාදය කියා ක්‍රමයකට සමාජවාදීන් විසින් එසේ ලේබලයක් අලවන්නට පෙර, එය ඕපපාතික ලෙසින් ලොවට බිහිවූයේ ඒකීය පුද්ගලයන් භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගැනීමෙන් හෝ මිල දී නොගැනීමෙන් මොනවා නිෂ්පාදනය කරන්නේ දැයි, කොපමණ ප්‍රමාණයකින් නිෂ්පාදනය කරන්නේ දැයි නිෂ්පාදනය කරනවුන්ට දැනුම් දීමෙනි. නිෂ්පාදනයේ යෙදී සිටියවුන් පාරිභෝගිකයාගේ අණසක යටතේ වූහ. සමාජය සමෘද්ධිමත් විය. තම ශ්‍රමය සපයා දුප්පතුන් ධනවත් වූහ. පාරිභෝගිකයාගේ ඉල්ලීම සපයන්නට නොහැකි වූ කල ධනවතුන් දුප්පතුන් වූහ.

මිනිස් ජීවිත සාර්ථක කරන එකම සමාජ සංස්ථාව නම් තම ශ්‍රමය වෙහෙසන්නේ තම සුබ සාධනය පිණිස වූ ක්‍රමයක දී ය. මුදල් යනු සියළු පාපයන්ගේ ප්‍රභවය යැයි කියනා අය මුදල් වල ප්‍රභවය කුමක් දැයි විමසා නැතැයි පෙන්වා දුන්නේ අයින් රූන්ඩ් විසිනි. මුදල් වල ප්‍රභවය සිද්ධ වූයේ තව දුරටත් ශ්‍රමය වෙනකෙකු වෙනුවෙන් වෙහසන වහලෙක් නොවී සිටීම පිණිස මිනිසා තමන් කැමති භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඒවා සපයන අය සමඟ ගණුදෙනු කරන්නට පටන් ගැනීම නිසාය. තමන්ට නොමැති කුසලතා රාශියකින් බිහිවෙන භාණ්ඩ හා සේවා තමනට ඇති කුසලතාවයෙන් හුවමාරුවක් කරගන්නට අවස්ථාවක් පෑදෙන්නේ මුදල් නිසාය. එහෙත් කෑදරකම හා මුදල් යන්න පටලවා ගත්තවුන් ඒ දෙක අතර වෙනසක් නොදකිති. මුදල් ඉල්ලා සිටින්නේ අනෙක් මිනිසුන්ගේ මෝඩකමට ඔබේ දුර්වලතාවය විකුණන්න කියා නොවේ. මුදල් ඉල්ලා සිටින්නේ ඔබේ කුසලතාවය අනිත් අයගේ විචාර බුද්ධියට විකුණන්න කියා යැයි පහදා දුන්නේ අයින් රූන්ඩ් විසිනි.

එහෙත් තවමත් බහුතරයා විශ්වාස කරන්නේ සියල්ල ගොඩ දැමිය හැකි අසහාය පුද්ගලයෙක් ප්‍රමුඛත්වය ගන්නා සුවිශේෂී ලෙසින් කැප වූ පොලිටිබියුරෝවක් ගැනයි. මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය එසේ සැකසී නැති නිසා එහෙම ක්‍රමයකින් සමාජයත් ආර්ථිකයත් ගොඩ දැමිය නොහැකියි.

පාරිභෝගිකයන්ට, එනම් සමස්ත ජනතාවට ඔවුන් වාසය කරන සමාජයත් එහි ආර්ථිකයත් සාර්ථකව සංවිධානය කරගන්නා බලය සත්‍යයෙන්ම පිහිටා ඇත්නම්, එය පමණක්ම සාර්ථක සමාජ සංස්ථාව වෙන්නේ නම්, තමන්ට යන්නේ කුමන කලක් දැයි ධනවාදී හා සමාජවාදී දෙපැත්තෙන්ම බලතණ්හාධිකයන් තැති ගනිති!!!!

ඉතින් බලතණ්හාධිකයන් සුවිශේෂී සැලසුම් ගෙනෙති. ඉතිහාසය දක්වන පරිදි තමන්ගේ ඒ සුවිශේෂී සැලසුමෙන් පමණක් සියළු උවදුරු දුරු කළ හැකි යැයි බලතණ්හාධිකයන් ජනතාව රැවැට්ටුවහ. ඒ ජනතාව විසින් තමන් වාසය කරන “ධනවාදී යැයි ලේබල් ගැසූ ක්‍රමය” කුමක් දැයි කියා වටහා ගන්නටත් කළින්. අනතුරුව ලෝකයේ සියළුම ආණ්ඩු, මහා ධනවාදියා යැයි කියාගන්නා ඇමෙරිකන් ආණ්ඩුවත්, රාජ්‍ය ආධිපත්‍යය වැපිරවීමෙන් ජනතාව සතු බලය කෙමෙන් කෙමෙන් කප්පාදුව පටන් ගති. ලෝක ඉතිහාසයේ ම වඩාත් ම අඩුවෙන්ම ජනතා බලයක් සතු යුගයකට අද මිනිසා පිවිස සිටියි.

සයිප්‍රසයේ බැංකු අවුල ආණ්ඩු විසින් ජනතාවගේ සුවසෙත සලසන්නට නොදන්නා බව විදහා පාන කදිම නිදසුනකි.

මේ ධනවාදයේ කතාවයි. එහෙත් අවාසනාවට එය සමාජවාදයේ කතාව ද වෙයි.

සමාජවාදය: ආර්ථික හා සමාජයීය විශ්ලේශණයක් -Socialism: An Economic and Sociological Analysis පොත කළඑලි දැක්කේ 1922 දී වුවත් එය වැඩි ප්‍රසිද්ධියක් නොලැබීය. එය මුලින් ලියැවුනේ ජර්මන් භාෂාවෙනි: Die Gemeinwirtschaft: Untersuchungen über den Sozialismus. ඉංග්‍රිසි බසින් මුල් වතාවට පොත ප්‍රකාශිත වෙන්නේ 1936 එංගලන්තයේ දීය. ඇමෙරිකාවේ දී එය “සැලසුම් කරන ලද අවුල්ජාලය” -Planned Chaos නමින් ප්‍රකාශිත වෙන්නේ 1947 දීය. අනතුරුව යළිත් මුල් නමින් යේල් විශ්ව විද්‍යාලයෙන් ප්‍රකාශණය වෙන්නේ 1951 දී ය.

මෙම පොතේ තර්කයන් බිඳ හෙළන්නට සමත් වූවෙක් තවමත් නැත.

2 Responses

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න