අරුණි ශපීරෝ‍ වෙතින්

සද්භාවය හා ජර්මනියේ බිශොප් මාර්ගෝ කයිස්මන්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 24, 2010

අධ්‍යාත්මික සද්භාවය පුද්ගල සද්භාවයෙන් වෙනස් ව තිබිය යුත්තක් ද? අධ්‍යාත්මික සද්භාවය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයා තමන් පිළිපදින ආගමට ධර්මයට පමණක් සීමා වූවක් නම් පුද්ගලයා ජීවත්වන සමාජයේ පිළිගැනෙන සද්භාවයන් ඊට වෙනස් නම් තෝරා ගැනීමට පුද්ගලයාට අයිතියක් හෝ ආචාර ධර්මානුකූල ඉඩකඩක් ලැබේ ද?

ජර්මනියේ ලුතරන් පල්ලියේ ප්‍රධානියා බිශොප් මාර්ගෝ කයිස්මන්ය. ඇය පසුගියදා ඔලිම්පික් තරඟ නරඹන්නට ගොස් වැන්කුවර් නගරයේ දී බීමතින් පල්ලි වාහනයක් පදවාගෙන යෑම නිසා පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙහිදී අපි සැලකිය යුතු කරුණු දෙකකි. එකක් ඇය රටේ නීතිය කඩකිරීමයි. එනම් බීමතින් රිය පදවා ගෙන යෑමය. අනික, ඇය පල්ලියේ ප්‍රධානියා ලෙසින් සිටිය දී එසේ නීතිය කඩකිරීමයි.

කෙනෙකුට මෙය දෙකක් නොව එකක් යයි තර්ක කළ හැකිය. එසේම එකක් නොව දෙකක් යයි ද තර්ක කළ හැකිය. ඒ නිසා තර්කයෙන් නොව සාමාන්‍ය බුද්ධියෙන් කල්පනා කර බලමු.

නීතිය රකින්නට ඉන්නා අයෙක් නීතිය කඩකිරීම සාමාන්‍ය පුද්ගලයෙක් නීතිය කඩකිරීම හා සමාන ද? පොලිස් නිලධාරියා, ගුරුවරයා, නීතීඥයා, වෛද්‍යවරයා හා දේශපාලනඥයා යනාදී අය සද්භාවය රැකීමට විශේෂයෙන් බැඳී සිටිනා අය ද? අද අපි දේශපාලනඥයන් වෙතින් මෙය බලාපොරොත්තු නොවුවත් එය පිළිගැනීමක් මිස අවශ්‍ය වූ සුදුසුකමක් නොවන්නේ ද?

සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා නීතිමය වශයෙන් අනුන් ගැන තීරණ හා අගැයුම් දෙන්නට ඇති ඉඩ පරස්ථා නිසා, අනික් පුද්ගලයන්ට බලපෑම් ඇති කරත හැකි බලයක් ඇති නිසා එවැන්නෝ වෙත සද්භාවය ගැන අනෙකුත් අය වෙතට වඩා ගුණාත්මක ලෙසින් තිබිය යුතු බව අපේක්ෂාවක් නීතිමය වශයෙන් නොවුනත් සමාජයීය වශයෙන් අපි බලාපොරොත්තු විය යුතුද?

නීතිමය වශයෙන් එවැනි සද්භාව බලපෑම් ඇත. නීතිඥයා හා තම සේවය ලබන අයත්, වෛද්‍යවරයා හා රෝගියා අතරත් යම් සද්භාව රැකීමේ නීතිමය පිළිවෙත් රට රටවල් නීතිමය වශයෙන් ස්ථාපිතය.

එසේම අපගේ අධ්‍යාත්මික සුවය සලසන පූජක පක්ෂයට ද පුද්ගලයාට බලපෑම් එල්ල කරන්නට අවස්ථාවක් තිබේ ද?

වෛද්‍යවරයකුගෙන් අපි ලබාගන්නේ කෙළින්ම පුද්ගලයා‍ට සපයන සේවයකි. පූජක පක්ෂය එසේ වූ කෙළින් සේවයක් සපයන්නේ නැති යයි කෙනෙකුට කිව හැකිය.

නමුත් ඒ නිසාම අප පූජක පක්ෂයට සමාව දිය යුතුද? ඔවුන් සමාජයේ සාමාන්‍ය පුද්ගලයාට වඩා සද්භාවයෙන් ‍සිටීම අවශ්‍ය ද? නැතහොත් සමාජයේ අනිත් අයටත් බලපාන නීති පමණක් කඩ නොකර සිටීම පමණක් ප්‍රමාණවත් ද?

බිශොප් මාර්ගෝ කයිස්මන්ට නම් වැන්කුවර් නගරයේ ඇති රටේ නීතියට ද, සිය පල්ලියේ නීතියට ද දෙකටම මුහුණ දෙන්නට සිද්ධ වනු ඇත. එහෙයින් ඇය‍ට සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා කට උත්තර බඳින්නට සිද්ධ වේ. මෙය පුද්ගල සද්භාවය ගැන විමසීමක් පමණක් ද? එයින් ඇයගේ අධ්‍යාත්මික සද්භාවය ගැන විමසීමක් කෙරෙනවා ද? දඬුවම් කෙරෙන්නේ සමාජයීය නීති කැඩුවාට පමණක් ද? පල්ලි සංස්ථාව ද එක්තරා සමාජ සංස්ථාවක් නිසා, ඇයට අධ්‍යාත්මික සද්භාවය කඩ කිරීමට දඬුවමක් ලැබෙන්නේ දෙවියන්වහන්සේ ගෙන් පමණක් ද? එවිට දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිනොගන්නා අයෙක් තුල අධ්‍යාත්මික සද්භාවයක් තිබිය හැකිද?

9 Responses

Subscribe to comments with RSS.

  1. පිස්සා said, on පෙබරවාරි 24, 2010 at 10:46 පෙ.ව.

    මෙහේ ඉන්නවා, මාත් එක්ක එකම හොස්ටල් එකේ උගන්ඩාවෙන් ආපු සිස්ටර් කෙනෙක්.. එයා හැමදාමත් බොනවා. එයාගේ යාළු ප්‍රීස්ට්ලා එක එක බෝතල් ගෙනත් දෙනවා.. මට වියදම් කරන්න එච්චර සල්ලි නැති නිසා, මම ටිකක් අඩු ගානේ ඒවා තමයි බොන්නේ..
    ඒත් ඉතිං අර සිස්ටර්ගේ කාමරේට ගියාම එක එක වටින දේවල් මට බොන්න හම්බ වෙනවා.. මම කැමතියි ඒකනිසා එයා බොනවට.. හෙ හේ.. (ඒ ඉතිං විහිලුවට කිව්වේ).

    හැමෝම මිනිස්සු නොවැ.. හැමෝන්ටම ආසාවල් තියෙනවා.. එයාලා මොනවා කරත් කමක් නෑ කියලයි මට හිතෙන්නේ නම්, අරුණි අක්කා..
    අනේ මන්දා….

    • arunishapiro said, on පෙබරවාරි 24, 2010 at 2:45 ප.ව.

      පිස්සු මල්ලී,
      මත්පැන් බීම වැරදියි කියලා සමහර ක්‍රිස්තියානි අ‍ාගම්වල (බුද්ධාගමේ අපි එය සිල්පදයක් සේ ගනිමු) සඳහන් නැහැ. කතෝලික පල්ලියේ වයින් වලට ඔරසන් කිව්වම වයින් ජේසුතුමාගේ ලේ හා සමාන බවට ඔවුන් සලකනවා. හැබැයි ඒ මතින් වැටෙන්න බොන එකක් නෙමේ. ක්‍රිස්තියානි ආගමිකයෙක් බීම වැරදිද? බීලා මතින් සිටීම වැරදිද? නැතහොත් බීලා මතින් රිය පැදවීම වැනි කටයුත්තකින් අන් අයට කරදරයක් සිදු කිරීමට ඉඩකඩක් ඇති කිරීම වැරදිද? කාමරේ‍ට වෙලා සිහි නැතිවෙනකන් බීම වැරදිද? මේ එකක් හෝ සියල්ල වැරදි නම් ඒ ඇයි?

      කෙනෙකුට සද්ගුණය කියන ගුණාංගය අවශ්‍ය ඇයි? තනියම තපස් දම් රකින අයෙකුට සද්ගුණය අවශ්‍ය තමන්ගේ පුද්ගලික වූ කිසියම් අරමුණක් සාක්ෂාත් කරගන්න. සමාජයේ අයට සද්ගුණයක් අවශ්‍ය සමාජයීය සත්වයෙක් ලෙස අනිත් සත්වයන් එක්ක සහජීවනය නිසා. ඉතින් ඔයාගෙ උගැන්ඩා සිස්ටර් හැමදාම බිව්වත්, එයාට එයාගෙ ආගමෙන් ඒකට විරෝධයක් නැත්නම්, එයාගෙන් සමාජයට අවහිරයක් නැත්නම් එතැන සමාජයීය හෝ අධ්‍යාත්මිකව ආචාර ධර්මානුකූල වැරැද්දක් තියේද? එයා එහෙම බොන නිසා එයා‍ෙගන් උපදෙස් බලාපොරොත්තුවන එයාව රෝල් මොඩල් හැටියට සලකන අයත් බොන්න පුරුදු වෙනවා ද? වැරැද්දක් යයි අපි කියන්නේ මොන පදනම මත ද කියන එක සෙවීම තමයි දාර්ශනිකයාගේ කාර්ය භාරය. හැබැයි චිරාත් කාලයක් තිස්සේ තවමත් කිසිම එකඟතාවයක් නැහැ. නමුත් විමසීමක් කරන එක නොවිමසා අනුගමනයට වඩා හොඳයි නිසා අපි තවමත් සොයන එක කරගෙන යනවා.

      හැමෝටම ආසාවල් තියෙනවා කියන එකත් හැමෝම මිනිස්සු කියන එකත් නම් නිදහසට කාරණා නොවේ. එතකොට ඒ මිනුම් දණ්ඩම පාවිච්චි කරලා පොලිස් නිලධාරියා, ගුරුවරයා යනාදීන් තම බලය ඇති තත්වය අපහරණය කිරීම ගැන අපිට අගැයුමක් දෙන්න නොහැකි වෙනවා. එතකොට සමාජයේ පිරිහීම ඇතිවෙන්නෙ නීති පද්ධතියක බිඳ වැටීමක් සිද්ධ වෙන නිසා. සමාජයක ජීවත්වන නිසාම අපිට අපි කැමති ආකාරයකට වැඩ කරන්න බැහැ. පාලකයෝට(බලය ඇති නිසා) සාමාන්‍ය අයටත් වඩා වැඩියෙන් නිතිය බලපෑ යුතුද යන්නයි විමසීමට යුතු වන්නෙ. මන්ද ඒ අයට ඒ අයගේ තත්වය නිසාම අනිත් අයට නැති පාලන බලයක් ඇති නිසා.

  2. Sam said, on පෙබරවාරි 24, 2010 at 1:56 ප.ව.

    //දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිනොගන්නා අයෙක් තුල අධ්‍යාත්මික සද්භාවයක් තිබිය හැකිද?// අධ්‍යාත්මික සද්භාවයක් තිබිය හැක්කේ දෙවියන්ගේ පැවැත්ම පිලිගත්තත් නැතත්, දෙවියන්ට යටත් නොවෙන පුද්ගලයෙකු තුල පමණයී. දෙවියන්ට යටත් වුනු පුද්ගලයෙකු තුල ආදරය කරුණාව (ඒවා අධ්‍යාත්මික සද්භාවයන් නොවේ) තිබිය නොහැකියී. දිව්‍යලෝකයේ ආදරයවත් කරුණාවවත් ඇත්තේ නැත. පල්ලි පන්සල් නැත.

  3. amalpasanna said, on නොවැම්බර් 12, 2013 at 2:59 පෙ.ව.

    හත්තිලව්වෙ අදනෙ මේක කිවන්නෙ.
    කාන්තාවන්ට බිශොප් පදවි දෙනව කියල දැනගත්තෙ අදයි.
    මේහේ නානසාර හාමුදුරුවොත් බීමතින් පදවල අහු වුනාලු.
    නානසාර හාමුදුරුවො ඔහේ ඇවිත් මොකෑ දන්නෑ කො‍රේ? ආරන්චියක් නැතේ? දැනුවත් කො‍රන්ට ගියා කියල මේහේ කියෙව්වෙ.

  4. Epoxy Ethane said, on මාර්තු 1, 2016 at 3:02 පෙ.ව.

    ඔබේ මේ සටහන පැහැදිලි මදි. මොකද්ද කියන්න හදන්නේ කියන එක අපැහැදිලී. ව්‍යාකූලව ලිව්වා වගේ. කොහොම වුනත්,

    //එසේම අපගේ අධ්‍යාත්මික සුවය සලසන පූජක පක්ෂයට ද පුද්ගලයාට බලපෑම් එල්ල කරන්නට අවස්ථාවක් තිබේ ද?//
    අපගේ ආධ්‍යාත්මික සුවයට වැඩ කල යුත්තේ අපිමයි කියා මේ සටහනෙන් ගම්‍ය වෙද්දී, මොකද මේ වෙනත් පැත්තකට යන්නේ? පූජක පක්ෂයකට බැහැ කාගේවත් ආධ්‍යාත්මික සහනය සලසන්න. ඔවුන් කරන්නේ රිචුවල්ස් සහ ඇදහිලි. එතැනදී සුවය සාදන්නේ ඒක හෝ බහු දෙවියන්ට මිස මිනිස්සුන්ට නොවේ. මන්ද බොහෝවිට ආගම් වල තිබෙන්නේ තමා ගේ පංචස්කන්ධ සහ මනසේ ස්වභාවය අවබෝධ කරගන්නා ක්‍රමයක් නොවේ. දෙවියන්ගේ අණ පිලිපදීමක්. බණ සහ අණ කියන්නේ දෙකක්.

    //මෙහිදී අපි සැලකිය යුතු කරුණු දෙකකි. එකක් ඇය රටේ නීතිය කඩකිරීමයි. එනම් බීමතින් රිය පදවා ගෙන යෑමය. අනික, ඇය පල්ලියේ ප්‍රධානියා ලෙසින් සිටිය දී එසේ නීතිය කඩකිරීමයි.//
    ඔබ නීතිය ගැන හදාරා තිබෙනවාද? බීමතින් රිය පැදවීම ඕනෑම රටක වරදක්. එසේ වන්නේ මන්ද? මත්පැන් නිසා සිදුවන රසායනික ප්‍රතික්‍රියා ගණනාවක් තිබෙනවා. ඒවා ස්නායු පද්ධතියේ ප්‍රතිචාර මට්ටම, තීරණ ගැනීමේ හැකියාව වේගය ආදිය පමණක් නොවේ නිද්‍රාගත හෝර්මෝන පවා නිදහස් කරනවා. එතැනදී වාහනයේ රියදුරු අසුනට නගිනකොටම වරදක් වෙනවා. මන්ද, ඒ නිසා තමන්ට සහ අනෙකුත් අයට අනතුරක් වියහැකි නිසා. තමන්ට අනතුරක් කරගැනීම සිය දිවි හානි කරගැනීමේ වරදට හසු වනවා.

    //නමුත් ඒ නිසාම අප පූජක පක්ෂයට සමාව දිය යුතුද? ඔවුන් සමාජයේ සාමාන්‍ය පුද්ගලයාට වඩා සද්භාවයෙන් ‍සිටීම අවශ්‍ය ද? නැතහොත් සමාජයේ අනිත් අයටත් බලපාන නීති පමණක් කඩ නොකර සිටීම පමණක් ප්‍රමාණවත් ද?//

    පූජක පක්ෂය සද්භාවයෙන් සිටින්නේ දෙවියන්ට. ඔවුන් මිනිසුන්ට සද්භාවයෙන් සිටිනවද? පූජ්‍ය පක්ෂය නම් තමන්ගේ ශික්ෂා, එමගින් ලැබෙන මනසේ එක් එක් තල වල සංවර්ධන (ශීල) සහ ඒවායේ ස්ථාවර භාවය (සමාධි) ගැන කල්පනා කරන්න ඕන. එතැනදී වෙරි වීම වරදැක. මන්ද අවබෝධය මත සහ තර්කනය මත ගොඩනැගෙන දර්ශනයන් ගේ ඵල ප්‍රයෝජන හේතු ඵල දහම මතින් ම අපගමනය වන නිසා. එනම් මදය නැත්නම් අනවබෝධය තමන්ගේ පංචස්කන්ධයම තීරණ ගත නොහැකි, රූප කලාප ශබ්ධ කලාප වල ඇති නැති වීම්, අරමුණු නැත්නම් ආරම්මණ සිතට ඇතුළු වීම් සියල්ල අවබෝධයෙන් දුරස් කරනවා. එතැනදී ඔබ අතින් වෙනත් වරද රාශියකට පෙළඹවීමට ඉඩ තිබෙනවා බාහිර සහ අභ්‍යන්තර කරුණු අනුව. නමුත් අරමුණක් ආ පමණින් වරදක් සුදු වෙනවද? නෑ. එය තමන්ගේ පෙර අනුභූතියකින් හෝ (තමා හෝ වෙනත් කෙනෙකු සමාන්තර සිද්ධියකට මුහුණ දෙන ආකාර) මෙවන් පෙර සිද්ධියක් හා සම්බන්ධ වූ චිත්ත පරම්පරාවක තීරණ ගැනීමේ මතකයක් විසින් තමාගේ යටි සිත මෙහෙයවන්න ඉඩ තිබෙනවා. එය බොහෝවිට වනවා. එතැනදී කිසියම් වරදක් වීමට පෙර තමන්ගේ අර කලින් කී මනසේ ප්‍රක්ෂේපන කෙලින් ම රඳා පවතින්නේ කලින් චිත්ත පරම්පරාවක අනුභූතිය සහ නැඹුරුව ඔස්සේ. මේ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ සහ වාර්තා පවා තිබෙනවා. එතනදී සරලව යම් වරදක් වනවා නම්, එයට හේතු භූත වූ කාරණය පළමුව තමන්ගේ සද්භාවය නැත්නම් සමාධිය බිඳිනවා. එයින් ශීලය නැති වනවා ශික්ෂාපද කැඩීමට තම සිත මෙහෙයවීමෙන්. මන්ද එයින් ඇති වන අතුරු ප්‍රතිඵල ගැන හොඳින් ම දැනගෙන තමා මත්පැන් ගන්නේ. ඒ අත්දැකීම නැවත නැවත ලැබීමට. එතනදී බීමත්කම ප්‍රධාන වරද වනවා. එතකොට සද්භාවය කියන එක තාර්කිකව අනෙක් ජීවීන් ගේ පැවැත්මටත් සම්බන්ධ වනවා. එවන් දේ පාලනය කරගැනීමට.පෞද්ගලිකව තමයි නමුත් පෞද්ගලික සිතුවිලි ම තමයි සමාජයක ඉන්නකොට අනුභූතීන් සාදන්න ක්‍රියා කරන්නෙත්. ඇයි මිනිස්සුන්ගේ මොළ දෙකක් තිබෙනවා ද? ඔබේ ඔය දෙවන වර අදහස් දැක්වීම කිසිම තර්කනයකින් තොර එකක්නේ.

    නමුත් තව දෙයක් තිබෙනවා. ඕනෑම දෙයක දිශානතිය. හේතු ඵල දහම අනුව. මත්පැන් බීම ට හේතුව. එතනදී අන්න ඒ හේතුව ප්‍රධාන වෙනවා යටි හිතට අර ඉස්සෙල්ලාම කියපු චිත්ත පරම්පරා ප්‍රක්ෂේපන, අනුභූතීන් සහ එයින් බිඳෙන නැඹුරුව නිවැරදිව තෝරාගන්න. එතනදී පුහුණුකළ මනසක් නම්, එමගින් යම් අයුරින් පාලිත ශරීරයක් නම්. තමාගේ සිතුවිලි කෙසේ වුවත් ඒවා සමාජයේ ක්‍රියාත්මක වන්න ඉඩ තබන්නේ නෑ. නැත්නම් පහු හෝ අය එයින් ලබන්නේ වෙනත් තෘප්තියක්. එය බොහෝ යට කරන්න නම් බැහැ. ඒ කොහොම වුනත් යටි සිතේ බලපෑම තමන් කාලාන්තරයක් තිස්සේ ලැබෙන අත්දැකීම් සහ බලාපොරොත්තු මත පදනම් වන නිසා, එතැනදී වුනත් ගැටළු ඇති වෙන්න පුළුවන්.

    ඊළඟ කාරණය පූජක හෝ එවැනි පක්ෂ සමාජයේ අනුභූතීන් ඇති කරන්න පිළිවන් අය වෙරි මත වැනි වැරදි මත සමාජ ගත කලාම එහි ඇතිව අණ පිළිගැනීම. කාමරේකට වෙලා ඕන දෙයක් කලාට කමක් නෑ වෙනත් කෙනෙකු මත බලපෑමක් ඇති කර වැරදි චිත්ත පරම්පරාවක් සහ එනයින් ඇතිවෙන නැඹුරුව විපරීත කරන්නේ නැතිව. 🙂

    • arunishapiro said, on මාර්තු 3, 2016 at 10:20 පෙ.ව.

      Epoxy Ethane,

      අපේ අධ්‍යාත්මික සුවය ඍජුවම සලසන්න බැරි වුනාට ඒ සඳහා යා යුතු මාර්ගය පෙන්නලා දෙන්න පූජ්‍ය පක්ෂයට පුළුවන්. වතාවත් සහ ඇදහිලි වලට අමතරව බුද්ධිය පාදන චින්තනයක් ගෙනහැර පෑම සහ මානසික සුවයක් ගෙනෙන මනෝවිද්‍යාත්මක මෙහෙයක් ඔවුන්ට කළ හැකියි.

      ඉතිරිය ගැන සංවාදයට ඉඩක් ලැබුණම එන්නම්. අද වැඩ බහුලයි, විවේකය මදි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: