අරුණි ශපීරෝ‍ වෙතින්

ආත්ම අනාත්ම පටලැවිල්ල

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 28, 2010

පෙන්සිල්වේනියාවේ බෞද්ධ පංසලක වෙබ් සයිට් එකේ ක්‍රිස්තියානි දෙවියන්වහන්සේ අදහන අයෙකුට බෞද්ධාගම පිළිපදින්න පුළුවන් ද යන ප්‍රශ්නය නඟා ඇත.

මුලින්ම බුද්ධාගම ගැන විචාරය පව් කියලා හිතන අය දැන්ම මෙතනින් වෙනතක යන්න. සංවරව ලියන්න නොදන්න අයගෙ ප්‍රතිචාර කෙළින්ම යන්නෙ කුණු බක්කියටයි.

පිරිසිදු බුද්ධාගම ගැන කතාබහ කරන එක පවක් නෙමෙයි. බුදුහාමුදුරුවෝම “එව බලව” කියා ආරාධනා කරලා තියෙන නිසා. අංගුත්තර නිකායේ කලාම සූත්‍රය සහ මජ්ජිම නිකාය 47 වැනි විමංසක සූත්‍රය.

වල්පොල රාහුල හිමියන්ගේ What the Buddha taught(1959) පොතේ අනත්තා (anatta) නොහොත් ආත්මයක් නැත යන සාකච්ඡාව අනුව soul, sel‍f, atman නොපිළිගන්නා බෞද්ධාගම අනිකුත් ආගම් වලින් වෙනස් වන්නේ මෙතෙක් මිනිසා අල්ලා ගෙන සිටි “දෙවියන්වහන්සේ” (ක්‍රිස්තියානි, හින්දු හෝ වෙන ඕනෑම) යන සංකල්පය බැහැර කරන නිසාය.

A History o‍f Buddhist Philosophy නැමති පොතෙන් මහාචාර්ය ඩේවිඩ් කළුපහන බුද්ධාගමේ ආරම්භයට පෙර ඉන්දියාවේ පැවති දර්ශන ගැන විස්තර ඉදිරිපත් කරයි. එයින් සංජය බෙල්ලට්ඨිපුත්ත හැරුණු කොට අනිත් සෑම ආචාර්යවරයෙක්ම මිනිසාගේ ඥාන ශක්තිය විමසීමේ දී පරමවාදයක් (absolutism) හෝ “සියල්ල දන්නා දෙවියන්” (omniscience) සංකල්පයක් අදහති. සංශයවාදී සංජය පමණක් මනුෂ්‍ය ඥානය ගැන කතාබහේ දී සැකයට ඉඩක් දෙයි. කළුපහන විසින් මතවාදී මහත් සැලකිල්ලක් දැක්විය යුත්තක් ලෙසින් පෙන්වා දෙන්නේ සංජයගේ අගසව් දෙදෙනා උපතිස්ස හා කෝලිත පසුව සිදුහත් ගෞතමගේ සාරිපුත්ත මොග්ගල්ලාන ලෙසින් අගසව් වීමයි. සංජයට විසඳාගත නොහැකි වූ සංශයවාද ගැටළුවලට ඔවුනට බුදුරදුන්ගෙන් පිළිතුරු ලැබුනේ “යේ ධම්මා හේතුප්පබවා තේසම් හේතු තථාගතෝ ආහ, තේසං ච යෝ නිරෝධෝ ඒවංවාදී මහාසමනෝ” කියාය.

කළුපහනට අනුව බුදුරදුන් මනුෂ්‍ය ඥානයේ සීමාවන් හඳුන්වා දී සත්‍යය (truth) හා ඇත්ත ඇති සැටිය (reality) ප්‍රමාණවත් ආකාරයෙන් පැහැදිලි කරන්නට සමත් ව ඇත්තේ පරම උත්තර විෂයමූලය (ultimate objectivity) බැහැරලාය. පරමවාදය (absolutism) සේම සංශයවාදය (skepticism) ද බැහැර කරන බුදුරදුන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට යයි කියයි.

මනුෂ්‍ය ඥානය විසින් මධ්‍යම ප්‍රතිපදාව සොයා ගන්නට ඉඩක් දීම නිසා අන්ත දෙකේ නොසිට මැද පිළිවෙත හොයා ගන්නට බැරුව තවමත් ලතවෙන්නෝ බොහොමයකි. කාලාමයන්ට කියන “අකුසල හා වැරදි එසේ යයි ඔබ විසින්ම අවබෝධ කරගත් කල ඒවා අත්හරින්න, කුසල හා හොඳ එසේ යයි ඔබ ඔබ විසින්ම අවබෝධ කරගත් කළ ඒවා පිළිගෙන අනුගමනය කරන්න” යයි කීම නිසා නිදහස් සිතකින් හොඳ නරක තෝරා බේරා ගන්නට බුදු දහම ඉඩ දෙයි.

පංචශීලයෙහි පිහිටා මානව නිදහස උපරිම ලෙස භුක්ති විඳිය හැකිද? මැද පි‍ළිවෙතින් ලබා දෙන්නේ ඊට ඉඩකඩක් ද?

හොඳ නරක කුමක්දැයි වටහා ගැනීමට එමැනු‍වල් කාන්ට් “දෙවියන්” සංකල්පය බැහැරලා ඉදිරිපත් කළේ “විශ්ව නිතියකි”. එනම් සියල්ලෝම එකඟ වනවා නම් එය සාරධර්මයක් වන බවයි. නමුත් මනුෂ්‍යයා විසින් පිළිගත් පමණින් යම් අගැයුමක් සාරධර්මයක් වන්නේ ද? එය කාන්ට් හට ද හරියාකාරව ඔප්පු කරන්නට බැරි වූවකි.

“බහුජනහිතාය බහුජනසුඛහාය ලෝකානුකම්පාය” පැවතුම අගය කරන බුදුරදුන් කරුණාව එක පැත්තකිනුත් ප්‍රඥාව අනිත් පැත්තෙනුත් වර්ධනය කළ යුතු බව පෙන්වයි. චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යය නොහොත් මධ්‍යම ප්‍රතිපදාවේ සීල, සමාධි, ප්‍රඥා යටතේ වැඩි විස්තර. මෙයින් කාන්ට් විසින් ප්‍රායෝගික විචාර පරීක්ෂාවෙන් වැටුනු අපහසුවට වැටෙන්නේ නැතුව බේරීමට බුදුරදුන්ට පිළිවන් විය.

සම්මත ආචාර ධර්ම, සද්ගුණය, හොඳ යනු සැමදා පවතින “පරම ආචාර ධර්ම” යන්නෙන් වෙනස් කියා ගැලවීමට හැකියාව ලැබෙන්නේ විචාරය (reason) නිසා ආචාර ධර්ම කාලයෙන් කාලයට වෙනසට ලක්වෙන බව බුදුරදුන් විසින් පිළිගැනීම නිසාය.

නමුත් කැමති පරිදි “තමන් විසින් අවබෝධයෙන් ඇත්ත ඇති සැටිය” වටහා ගන්න‍ට ඉඩ තැබීම නිසා අද ඇත්ත ඇති සැටියෙන් නොව තමන් කැමති කැමති පරිදි වටහා ගන්නා අය බිහි වී තිබේ. පැරණි භාරතයේ පැවති ඇදහිලි ද එකතු වී, මතිමතාන්තර හා දර්ශනයන් ද එකතු වී නූතන බෞද්ධාගම කැඳහැලියක් වී ඇත. පන්සල් භූමිය තුලට කෝවිල පැමිණීමම ඊට නිදසුනකි.

එහෙයින් “ක්‍රිස්තියන් දෙවියන්වහන්සේ වඩා හොඳින් හඳුනාගන්නට බෞද්ධාගම ඉගෙන ගන්න” යයි පෙන්සිල්වේනියාවේ භන්තේ කියන්නේ ද? අපේම හාමුදුරුවරු මෙවැනි ඉඩකඩක් සලසා ඇති නිසාම මැදපෙරදිගින් බ්ලොග් ගහන දවාහ් කෝනර් හි අහ්මද් අන්වාර් මනතුංග වැන්නන්ට ද බුදු දහම සමඟ මුස්ලිම් ආගම ද සංසන්දය කරන්නට අසාර්ථක තැතක් ගත හැකිද? මැද පිළිවෙත කියන්නේ ආත්මයත් අනාත්මයත් අතර මැද තත්වයක් ඇදහීමක් ද?

22 Responses

Subscribe to comments with RSS.

  1. Sam said, on මාර්තු 1, 2010 at 12:52 පෙ.ව.

    අබරන්ගේ දෙවියන් ස්වකැමැත්ත අනිවාර්‍යකර ඇති නිසා, බුද්දාගමේ යම් යම් කාරනා පිලිපැදීමට තාවකාලික ඉඩක් ඇත. නමුත් ලෝක අවසානයේ අබරන්ගේ දෙවියන් ඒ උදවිය අල්ලා මද ගින්නේ පුලුස්සන බව කියා ඇති නිසා, එහෙම නොකර එක ඇගට ගුණ බව මාගේ අදහසයි.

    • arunishapiro said, on මාර්තු 1, 2010 at 8:22 පෙ.ව.

      කතාව ඇත්ත. ඒ වුනාට අද බෞද්ධයා ද දිව්‍ය ලෝකයක් හා අපායක් අල්ලා ගෙන ඉන්නවා නේද? දෙවියන් නොමැති නිවහල් චින්තනයක් ඇති අපිත් අබරන්ගේ දෙවියන් අදහන්නේ ඇයි?

      • stormcrow said, on මාර්තු 1, 2010 at 11:10 ප.ව.

        මේක සරළ තර්කයක් නිසා සරළ තර්කයකින්ම උත්තර දෙන්න පිලිවන්. බුද්ධාගමේ දිවිය ලෝක කියන්නේත්, අනෙක් දෑ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කන්ඩිෂන්ස් වලට යටත් දේ මිස අබරන්ගේ දෙවියන් වහන්සේ වැනි ඇබ්සොලුට් එකක් නොවේ. ‘ලෝක’ කියන එකම වෙන අර්ථයකින් යෙදෙන්නෙ. දැන් තිරිසන් ලෝකය කියන එකෙන් සත්තු විතරක් ඉන්න ලෝකයක් ගැන කියවෙන්නෙ නැහැ නෙ.

        ඔබ කාලාම සූත්‍රය ගැන කී දෙයට විරුද්ධව නෙවෙයි, හැබැයි අද ඉන්න ගොඩක් “intellectual” පොතේගුරු බෞද්ධයෝ ඔය කාළාම සූත්‍රය ගන්නෙ නිකන් මාර progressive නිදහස් විප්ලවකාරී එකක් වගේ, ඊනියා “බුද්ධියට” ආමන්ත්‍රනේ කරන. කාලයෙ හැටියට එහෙම වෙන්න පුලුවන්, නමුත් මට හිතෙන අන්දමට නම් ඒක ආමන්ත්‍රනේ කළේ කාළාමයන්ගෙ බුද්ධිය මිසක් අපේ බටහිර බුද්ධියට නොවේ. කාළාම සූත්‍රය ගැන ඔහොම උඩ දාන උදවිය බොහෝ විට අමතක කරනව (ඔබම සඳහන් කළ) නන්ද කුමාරයට බුදුන් වහන්සේ දාපු “ජිල්මාට්” එක, සෝමවංස අමරසිංහගෙ වචන වලින් කියනව නම්.

        මේක ගැන ලස්සන ලිපියක් මෙතැන තියෙනවා:
        http://www.accesstoinsight.org/lib/authors/bodhi/bps-essay_09.html

      • Sam said, on මාර්තු 2, 2010 at 2:24 ප.ව.

        //දෙවියන් නොමැති නිවහල් චින්තනයක් ඇති අපිත් අබරන්ගේ දෙවියන් අදහන්නේ ඇයි?//
        අපේ නැන්දා ලෙඩ ඇදේ ඉදගෙන වේදනාව උහුල ගන්න බැරි වෙනකොට ඇස් දෙකේ සිද්දාලේප ගා ගන්නවා. ඒ දැවිල්ල ගැන කල්පනා කරලා ලෙඩේ වේදනාව නැති කරගන්න පුලුවන් කියලා තමයී උන්දෑ කීවෙ. “කොලුවො, බුදාධාගමේ කියාපු දේවල් ඇත්තයී කියලා දැන් තමයී තේරෙන්නේ, ඒ වුනාට ආයෙත් ඉපදිලා මේ වේදනාව විදින්න නැතෙයී, මේ වේදනාවට පස්සෙ මට පියාන්නගේ ආදරනීය දෑතට ගිහිලා, කිසිම වේදනවාක් විදින්න නැතිව සැනසීමක්, සතුටක්, ආරක්ශාවක් ලැබෙනවායැයී හිතනවාට වඩා හොද කිසිම බෙහෙතක් මට දැන් නැතැයී” කියලයී, උන්දෑ කීවේ.

    • stormcrow said, on මාර්තු 1, 2010 at 10:31 ප.ව.

      පැස්කල් සීයත් ඔය “ඇඟට ගුන” කතාව කීවා

      http://en.wikipedia.org/wiki/Pascals_wager

  2. තරිඳු said, on මාර්තු 1, 2010 at 12:57 පෙ.ව.

    කාන්ට් ඇත්තටම දෙවියන් ප්‍රතික්ෂේප කලේ නෑ නේද ? ඩේකාට් වගේම එයත් කලේ ඉස්සරහ දොරෙන් දෙවියෝ එලියට දාල පස්සෙ දොරෙන් ඇතුලට ගැනීම නේද ? “ඉහලින් ඇති තරු පිරි දෙව්ලොව හා මා තුල ඇති සදාචාර නීතිය පිලිබඳ බියමුසු ගෞරවයෙන් මා සිත පිරී යයි” කියල ඔහු කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.

    මට තවත් මතක හැටියට ඔහු යහපත ගැන කතා කරනකොට කිව්වෙ, යමක් යහපත් වෙන්න නම් බලපාන්නෙ ඒකේ ප්‍රතිපලයට වඩා චේතනාව කියල. සාන්ත ඔගස්ටීන් ප්ලේටෝව ක්‍රිස්තියානිකරණය කලා වගේ කාන්ට්ව බෞද්ධ කරන්නත් අපහසු නැති බව තමා මට ඔහු ගැන ඉගන ගන්නකොට හිතුනෙ.

    හොඳ නරක ගැන බුදු දහමේ සඳහන් වෙන්නෙ බොහොම නම්‍යශීලී ප්‍රතිපත්තියක්. ඔබ කිව්ව වගේ ඒ ගුණයම අපේ කට්ටිය තමන්ට ඕනෙ විදියට ආගම වෙනස් කරන්න පාවිච්චි කරල තියෙන එක නම් කණගාටුවට කරුණක්. මම හැමතිස්සෙම කියන විදියට මේ අයට තියෙන selective amnesia නිසා තමන් කැමති කැමති පරිදි වටහා ගන්නා අය බිහි වීම පුදුමයට කාරණයක් නොවේ.

    • arunishapiro said, on මාර්තු 1, 2010 at 8:19 පෙ.ව.

      එකඟයි.

    • stormcrow said, on මාර්තු 1, 2010 at 10:42 ප.ව.

      *ඩේකාට් ගැන* කතාව හරි, නමුත් සමස්තයක් හැටියට මේ විදියට “දෙවියන්” කියා යොදා ගැනීම අදේවදාදී විද්‍යාඥයන් පවා අලංකාරික (rhetorical) හේතු උඩ යොදා ගත්තක් නිසා, (උදා: අයින්ස්ටයින්) වචන උපුටා ගැනීම පරෙස්සමින් කළ යුතු බව රිචර්ඩ් ඩෝකින්ස් වැනි අදේවවාදීන් කියනවා. දෙවියන් අදහන සංස්ක්‍කෘතියක භාෂාව දෙවියන්ගෙන් ස්වායත්තද, දෙවියන් ඇති සංස්කෘතියක හැදුනු විද්‍යාඥයෙකුට දෙවියන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙන්න පුලුවන් ද කියන එක (මගේ අදහස අනුව) ගැඹුරු ඥානදර්ශනවිභාග ප්‍රශ්න. මට හිතෙන්නේ ඒක, මේවැනි වාගාලංකාර වලට ලඝු කිරීම සුදුසු නැති බවයි.

  3. අඛිල said, on මාර්තු 1, 2010 at 1:12 පෙ.ව.

    මට හිතෙන විදිහට නම් සර්ව බලධාරී දෙවියන්වහන්සේ කෙනෙක් බැහැර කරන එක ආත්ම, අනාත්ම තේරුම් ගන්නවට වඩා ගොඩක් සරලයි.

  4. Rasika Suriyaarachchi said, on මාර්තු 1, 2010 at 2:08 පෙ.ව.

    මා ඔබ සඳහන් කර ඇති පන්සලේ වෙබ් අඩවියේ ඇති පැණය හා පිලිතුර බැළුවා.

    හාමුදූරුවෝ කියා තියෙන්නේ “එව බලව” ආකාරයේ ම දෙයක් නේද?

    ඔය දේව අදේව සිද්ධාන්ත පැණය අසන්නාම විසින් පසුව වටහා ගනු ඇත.

    රසික

    • arunishapiro said, on මාර්තු 1, 2010 at 8:18 පෙ.ව.

      ඔව් හාමුදු‍රුවෝ කියා ඇත්තේ එවැන්නකි. ඒ නිසාම කෝවිල් ද පන්සලේ අරක් ගෙන ද ඇත. බුද්ධ චරිතය ලියද්දී නන්ද කුමරුන්ට සුරංගනාවියන් හමුවන්නට බෞද්ධාගමට එක් වූ කතාවක් ද ඇත. බණ කියන්නට පෙර දෙවියන්ට ආරාධනා කිරීම නිසා අදේව සිද්ධාන්තයක් පසුව වටහා ගන්නේ කෙසේද? මගේ වැටහීම බණ කියන අයත් දෙවියන් අත්හැර දමා නැති බවය. “එව බලව” කියා අච්චාරුවක් බෙදූ විට අවබෝධය ඇතිවන්නට පැහැදිලි බවක් සිදු වේ ද?

  5. stormcrow said, on මාර්තු 1, 2010 at 11:46 ප.ව.

    මගේ වැටහීම බණ කියන අයත් දෙවියන් අත්හැර දමා නැති බවය.

    මේක “බුද්ධාගමේත් දෙවියන් ඉන්නවා” කියන සරල අර්ථෙකින් ද ඔබ කියන්නෙ. එහෙම නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉන්නව තමයි නේද, නමුත් අබරන්ගේ දෙවියන් ගෙන් මූලධාර්මිකවම වෙනස් දුක් විඳින, තාවකාලික, අනිත්‍යයට යටත්, බයගුලු අය. දැන් ධජග්ග සූත්‍රයෙ එහෙම සක්කරයත් නිකන් දෙකේ කොලේට දාල නෙ කතා කරන්නෙ.

    තියොසොපිකල් අර්තෙකින් “බුද්ධාගමේ” “දෙවියන්” ඉන්නවද කියන ප්‍රශ්නයකුත් තිබෙනවා, මට හිතෙන අන්දමට නම් ඒක තියොසොපිකල් කාරයො වලිග පාගා ගැනීමක්, ඊනියා “බෞද්ධ පුනරුදයක”ට දේශපාලනිකව ගැට ගැහුනට.

    • තරිඳු said, on මාර්තු 2, 2010 at 8:48 පෙ.ව.

      කොහොමද දෙයියනේ , දෙයියන්ව අතාරින්නෙ ? බණ පටන්ගන්නෙත් දෙවියන්ට එන්න කියල ආරාධනා කරලනෙ. දැන් කාලෙ කට්ටිය බණ අහන්නෙ ෆැෂන් එකටනේ. පිරිමි ගෙයින් එලියේ වාඩිවෙලා කාඩ් ගහනවා. ගෑනු කොයි වෙලාවෙ මේක ඉවර වෙයිද කියල හිත හිතා ඉන්නෙ. ඇයි මහගෙදර ප්‍රවීණා බලන්න ඕනෙනෙ.

      ඒ නිසා මම නම් ඒ දවස් වල අපේ මිනිස්සු නොඅහන නිසා අනේ ඔය 33 කෝටියෙන් දෙතුන් දෙනෙක්වත ඇවිල්ල අහපිය කියල හිතාගෙන තමා දේවාරාධනාව කලේ. අපරාදෙනෙ නැත්නම් මගේ වචන. පස්සෙ කාලෙකදි මම තේරුම් ගත්තා මිනිස්සුන්ට බණ එපා වෙන්නෙත් හාමුදුරුවෝ හේතුවක් කියල. ඊට පස්සෙ මම බණ ඉන්ටරෙස්ටින් කලා මිනිස්සුන්ට අහන් ඉන්න පුලුවන් විදියට. ඊටත් පස්සෙ මම දේවාරාධනාව කරන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා.

    • arunishapiro said, on මාර්තු 2, 2010 at 10:10 පෙ.ව.

      stormcrow, ඔව් සරල අර්ථයෙන් තමයි. අපිට අබරන්ට වගේ එක දෙවියෙක් නෙමෙයි දෙයියෝ තිස්තුන් කෝටියක් ඉන්නවානෙ. හැබැයි කාලාම සූත්‍රය නම් නිදහස් චින්තනය දීලා තියෙන්නෙ කාලාමයන්ට විතරක් බලපාන්න නෙමේ. අදටත් බලපාන්න. කාලාමයන්ටත් වඩා මිථ්‍යාමතධාරීව නමුත් බුද්ධාගම අදහන අය අද සිටිනවා. ඒත් එක සූත්‍රයක් දිහා බලලා මේක බුද්ධ ධර්මය කීම වැරදියි. සමහර සූත්‍ර කියෙව්වම පැහැදිලිවම බුද්ධාගම නොවන බව පේනවා. කාලාමට දීපු චින්තන නිදහසට ආචාර ධර්ම දම්වැලක් දාලා තියෙන්නෙ ප්‍රඥා, සීල, සමාධි වලින්. ඒ නිසා එතැන බටහිර නිදහස් චින්තනයට වැනි නිදහසක් නැතිවෙනවා. මේ ගැන කියන්න අපේ වතාවත් වලට හිරවෙලා ඉන්න හාමුදුරුවරුන්ට කාලයක් නැද්ද? දැනුමක් නැද්ද? තරිඳුට පුළුවන් වැඩේ බාරගන්න. ලින්ක් එක ඉතා හෙමින් නිසා පසුව ලිපිය කියවන්නම්. ස්තූතියි.

      • stormcrow said, on මාර්තු 2, 2010 at 2:44 ප.ව.

        මා කියන්නේ කරුණු දෙකක් (මට හිතෙන හැටියට):

        1. බුද්ධාගමේ “දෙවියන්” කියන්නේ අප වැනිම සසර ගමන් කරන, දුක් දැනෙන, ත්‍රස්ත වන කොටසක් කියන එක ගැන විවාදයක් නැහැ. ඒක නිසා ඒ අයගෙන් core doctrine එකට අමුතු වැදගැම්මක් නැහැ.

        2. මිනිසුන් මේ වන විට ආගම, සදාචාරය, academic/professional integrity, දේශපාලන අවංක භාවය යනාදී සියල්ල ඕනෑ හැටියට කබරගොයි තලගොයි න්‍යාය යොදාගෙන විකෘති කිරීම මෙයට එතරම් අදාළ වූවක් නොවේ. ආගම මීට වඩා කොතරම් හොඳට පැහැදිලි වුනත්, ඒත් කෑදර කම සහ බය තිබෙන තෙක් අනෙක් විකාර පස්සෙ යාවි. ටොම් කෲස් සයන්ටොලොජි පස්සෙත්, කරු ජයසූරිය සායි බාබා පස්සෙත් යන්නේ ආගම් හරියට කියා දෙන්න පුලුවන් පූජයකන්ට/ස්වාමීන් වහන්සේට access නැති නිසා නෙවෙයි නෙ.

        මට අනුව නම් “මිනිසුන් මෙච්චර වැරදි පාරේ යන්නේ ධර්මයට හරි අර්ථකතනයක්/පැහැදිලි කිරීමක් දෙන්නෝ නැති නිසා” කියන එක, “ලෙඩ්ඩු මෙච්චර මැරෙන්නේ ඉස්පිරිතාල හොඳ මදි නිසා” හෝ “හොරු මෙච්චර වැඩි පොලිසිය හරි මදි නිසා” කියනවාක් වැනි tautological අදහස්. ඒවා ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට කියන්න පුලුවන්, ඕනෑම වෙලාවක අවශ්‍යයෙන්ම සත්‍ය.

        • arunishapiro said, on මාර්තු 2, 2010 at 7:44 ප.ව.

          stormcrow, අංක 1 වැදගත්කමක් නැහැයි කියාගන්නා නිසා අංක 2 ට බලපෑමක් තියෙනවා. කොයි නමකින් හෝ හඳුන්වන දෙවියන්ට ඉඩ දීම නිසා වැරදි පාරේ යන එක හුරු වෙනවා. ඒක මා දකින්නේ මෙහෙමයි. බුද්ධාගම පැහැදිලිව අනුගමනය කළ යුතු පැවැත්මක් දේශනා කරන ධර්මයක්. ඒකට අපහැදිලි සංකල්ප එක් කරගෙන සිටින නිසා හරි පාර කවුරුත් නොදන්නෙ. හරි පාර බුදුහාමුදුරුවන්ට පස්සෙ කවුරු හරි කියලා තියෙනව ද සැකයි. තනිවම තමන් අවබෝධ කරගත්තු අය නැතිවා නොවේ. හැබැයි ඒ අය කියා දෙන්න ඉදිරිපත් වෙන්නේ නෑ අර මිථ්‍යාදෘශ්ටිකයන්ගේ අපවාදයට බය නිසා.

  6. abc said, on මාර්තු 2, 2010 at 3:23 පෙ.ව.

    “You may practice Buddhist principles in your life. That practice will bring peace and happiness to your life irrespective of what you believe. You may have to study basic Buddhist doctrines to fully appreciate the meaning of Buddhist practices. As you go along you will understand the meaning of God.”

    I think you have got the above in a different way. The way I understood is, he has tried reply the question without hurting the belief’s of the person who asked the question.

    In otherwords we can say first learn the teachings and you will understand whether how feasible to believe in god. He has answered it nicely.

    • arunishapiro said, on මාර්තු 2, 2010 at 9:40 පෙ.ව.

      abc, I do understand. I am not critical of Bhante. Buddha himself (if the tale is true) invited Price Nanda to learn Buddhism so he can have access to “suranganavo”. However this leading is ambiguous and thereby open other doors for other beliefs to become part of Buddhism and most people (as we see in Sri Lankan society today) are stranded at worship and have no understanding of the doctrine. That was my point.

      • Sam said, on මාර්තු 2, 2010 at 3:03 ප.ව.

        //Buddha himself (if the tale is true) invited Price Nanda to learn Buddhism so he can have access to “suranganavo”. //
        My friend told me, Buddha actually helped out the girl, not Nanda. Well, come to think of it, it may be true. Looking at his unfaithful behavior, drooling after every pretty skirt on his sight like a dog in a henhouse, bugger never was in love with the girl. I mean, Is it wrong to trick Tiger Woods to save him from himself?

        Anyway, assuming Nanda is his half brother (is he?) Buddha has all the right to pull any trick on him as anyway he wishes. If not, what brothers are for?

        Worshiping the right person often helps. Isn’t it?? Look at Mervin Silva and numerous other people get benefited by liberally worshiping much higher power. It is all about worshiping the right person or the institution.

  7. […] නොවන්නේය. මා කළින් සටහනක සඳහන් කළ අහ්මද් අන්වර් මනතුංග ද එම චෝදනාවෙන් වරදකරුවකු වෙයි. කෙනෙකු […]

  8. […] කොයිබට ද? ජිහාඩ් ජේන් හා බහරේන් මාලනී; ආත්ම අනාත්ම පටලැවිල්ල; මර්ෆි රිපෝට්, පාප්වහන්සේ හා මහ මළුවේ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: