අරුණි ශපීරෝ‍ වෙතින්

සුන්දර නවක වදයක් නැත

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 8, 2010

“රැග් නොකා ඉන්න හැටි” සටහනේ “දැනගන්නට කැමැත්තෝ ඇත්නම් ඒවා බේදා ගන්නට තව ලියන්නම්” යයි සඳහන් කළෙමි. ප්‍රතිචාර බොහොමයකින් පෙනුනේ රැගයට එරෙහිවන්නට ශක්තිය ඇති අය දැමූ පිළිතුරුය. නමුත් සටහන කියැවූයේ මහත් සංඛ්‍යාවකි. මේ සටහනත් පළමු සටහනට පසුව ලියන්නට සූදානම් වූ නිසා එය එකතු කරන්නෙමි.

ප්‍රතිචාර වලින් ද දැක්වූ පරිදි රැග් නොකා ඉන්නට හොඳම ක්‍රමය “ජේෂ්ඨ උත්තමයාගේ මුහුණ දිහා බලලම “යන්න එපා” කියල යාළුවත් ඇදගෙනම ගිහින් බේරිලා තියනවා” යන ප්‍රතිපත්තියයි.

නමුත් එහෙම කිරීමට නොහැකි අවස්ථා ද ඇත. සිතන්න, දේශනය පටන් ගන්නට ඇත්තේ තව මිනිත්තු පහකි. එවිට ශාලාවේ දොර ආචාර්යවරයා අතින් වසා දැමේ. නවකයාගේ ගමන අවහිර කරමින් වටා රැක්වූ පිරිසකි. සිංදුවක් කිව්වොත් යන්න දෙනවා යයි ඔව්හු කියති. සිංදුවක් කියා ගැලවෙනවා ද නැතහොත් ඔවුන්ට නවක වදය ගැන දේශනයක් කරනවා ද?

පසුගිය සටහනට ප්‍රතිචාර දැමූ අය අතර නොමැති වුවද නවක වදය ගැන කතාබහේ දී නවක වදය ඉතා සුන්දරය, අහිංසකය යයි කියන්නෝ ද සිටිති. පුවත්පත්හි ඔවුන්ගේ ඒ අදහස් පළ වී ඇත. සුන්දර නවක වදයක් නැත. නවක වදයේ කිසිදු අවස්ථාවක් සුන්දර සේ සැලකීම හිංසාකාරී නවක වදය නැමති ප්‍රපාතයට පාර කැපීමකි. එසේම ඉහතින් සඳහන් කළ පරිදි සිංදුවක් කියා ගැලවී යාම ද නවක වදය “සුන්දරය” කියා කීමක් නොව රැග් නොවී සිටීමය. මන්ද රැගය නම් ඔවුන්ට සිංදුවක් කීම නොවේ. රැගය වන්නේ පැයක දේශනයක් මඟහැරී යාමයි.

නවක වදයේ නියැළෙන්නේ නැති අයට පෞරුෂයක් නැතැයි කියන්නට තරම් සමහර පුද්ගලයෝ (ආචාර්යවරුන් පවා පුවත්පත් වලින් ද මත පළකර) නූගත් වෙති. ඒ බව අසන ඇත්ත නැත්ත නොදන්නා සිසු සිසුවියන් නවක වදය අකැමත්තෙන් ද කරති. එය පෞරුෂය වඩවනවා යයි සිතා ඊට ගොදුරු ද වෙති. ඒ කණ්ඩයාමේ හැසිරීමට වෙනස්ව යන්න නුහුරු නිසාය. අනුන් කියනා දේ සොයා නොබලා පිළිගන්නා නිසාය.

නවක වදය නිසා සලිත වන්නේ දුර්වල හිත් පමණක් යයි නොසිතන්න. අද ජනමාධ්‍යවල කැපී පෙනෙන තරු, මනා පෞරුෂ වලින් හෙබි පුද්ගලයෝ, රටේ ඉහළ තැන්වල වැජඹෙන්නෝ විශ්ව විද්‍යාල ජීවිත මනස්තාපයෙන් ගෙවා දැමූ ආකාරය සිහියට එයි. ඒ මුල් දිනවල ගොදුරු වූ දරුණු නවකවදය නිසාය. මොවුන් මගේ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යයනය ලද්දෝ පමණක් නොවුන ද හිතවත්තු වෙති.

කෙනෙකුගේ රූමත් බව, ජනප්‍රියත්වය හෝ සමාජ තරාතිරම අනුව වැඩියෙන් නවක වදය කරන්නේ සාමානාත්මතාවය ගැන වැඩියෙන් කතා කරන අය විසින්මය. අනාගත සහකාරියක් සොයා ගන්නට හිංසා වදන් දොඩා, හිංසාකාරී ක්‍රියාවන්හි බලෙන් නිරත වන පුද්ගලයන්ගේ මානසික තත්වය ගැන විමසිල්ලට ලක්විය යුතුය. නවක වදයෙන් සමානාත්මතාවයක් ගොඩ නඟනු බැරිය.

මා සමඟින් අපේ පාසැලේ අපේ පංතියෙන් කැම්පස් ආ ඉහළ පැළැන්තියේ පිරිස යහළුකම් පැවැත්වූයේත් කුළුපග වූයෙත් ඔවුන්ගේ සමාජ තත්වයේ වූවන් හා පමණි. නවක වදයට හසුකර ඔවුන්ගේ මහන්තත්වය බිඳ දැමුවා යයි සිතින් සතුටු වුනේ එදා එහි නියුතු වූ මානසික රෝගියා පමණි. ඔවුන්ව නවක වදයට ගොදුරු කරනවා වෙනුවට ඔවුන් හා සුහදව කතාබහ කළා නම් අද ඉහළ තැන්වල (දේශීය විදේශීය තනාපති කාර්යාල, දෙපාර්තමේන්තු නිලධාරී, දේශීය විදේශීය විශ්ව විද්‍යාල යනාදිය) වැජඹෙන ඔවුන්ගෙන් තම ව්‍යාපාරයකට හෝ රැකියාවකට අත් උදව්වක් ලබා ගන්නට ද හැකිවනු නිසැකය. ඒ අය මෙන්ම මම ද මාව නවක වදයට ගොදුරු කරවුවන් හා වැඩි මිත්‍රත්වයක් ඇතිකර නොගත්තෙමි.

අපහාස කරනා අයෙක් පෙන්වන්නේ ඒ පුද්ගලයා තුල ඇති අඩුපාඩුවකි. ඒ නිසා අපහාස කනේ වැටුනාට ඒවා හිතේ තබා නොගන්න. අපහාසයක් ඇසෙනා විට එය අහසේ පා කර ඉවතට යවනවා සිතින් මවා ගන්න. වදයට ප්‍රිය කරන මෝඩයෙක් එය බාරගනු ඇත. අමන වදන් හිතේ පොදි බැඳන් යන කෙනෙක් නොවන්න. කුණු කතා කියන්නේ, අපහාස කරන්නේ ඒවා ඇති හිත් වලිනි. ඒ අපහාස බාර නොගන්නා විට එයින් සිත කරදර නොවේ. මෙය ප්‍රගුණ කරගත යුත්තකි. අපහාස කතා නොකියන පරිසරයක කෙනෙක් කුමක් කරන්න ද? කෙනෙක් තමාට අපහාස කරනවා යයි සිතින් මවාගත හැකිය. තමන් දන්නා නරකම වචනය හා නරකම දෝෂාරෝපණය ගැන සිතා එය බාර නොගෙන ඉවතට දාන ආකාරය සිතන්න. මෙසේ ටික දිනක් ඒ ගැන සිතූ කල කුණු කතාවක් තමන් වෙත එල්ල වූ විට තැති ගැනීමක් ඇති නොවේ.

කළින් සටහනේ කියූ පරිදි කණ්ඩායමක බලයක් ඇත. නමුත් ඉඳහිටක කණ්ඩායමේ කෙනෙක් එනතුරු තනිවන්නට හෝ කණ්ඩායමේ කෙනෙක් නවක වදයට අඬගහනා අයෙක් සමඟින් මඟ නතරවන්නට ඉඩ ඇත. යහළුවා දමා යනවා ද නැතිනම් යහළුවා වෙනුවෙන් තමනුත් වදයට ගොදුරු වෙනවා ද යන්න ඔබේ තීරණයයි.

සිත් පීඩාකාරී දෑ කියන අයෙකු ගැන සිතින් කතන්දර ගෙතීම ද පීඩනය අඩු කරයි. පුද්ගලයා තම අඩුපාඩු සඟවා ගැනීමට ඔබට පීඩාකාරී දේවල් කියයි. එවැන්නාගේ හිස බූ ගා ඇති යයි සිතින් මවාගන්න. පිරිමියෙක් නම් ගැහැණියක් සේ සාරියක් හෝ දිය රෙද්දක් ඇඳ ඉන්නේ නම් කෙසේදැයි සිතින් මවාගන්න. ඔහුගේ හැසිරීමට ගැලපෙන කැළෑ සතෙක් ගැන හිතන්න. වදය ගහන්නේ කාන්තාවක් නම් ඇයට රැවුලක් අඳින්න. ගගණගාමියෙකුට සේ හිස් වැසුමක් පළඳවන්න. මෙසේ ඔබේ සිත ඔවුන් කියන අමන කතා වලින් වෙනතක ගොස් පීඩනයට පත්වීමේ සැර බාල කරයි.

සමාජය ගැන වෛරයකින් හෝ ද්වේශයකින් ඔබට වදය ගහන්න එන අයෙකුගේ ඇස්වල ඇති ගිලන් දීප්තිය ඔබට දැක ගත හැකිය. එහි දිළෙන්නේ වැරදි ඉලක්කයේ රැඳි කෝපයයි. වැරදි ඉලක්කය නම් නවක වදයට ගොදුරු වන ඔබට එසේ සැලකීම තමන් සතු අයිතියක් යයි සිතිමයි. එසේම ඔබ වෙනත් සමාජ මට්ටමක ඉන්නේ නම් තමන්ගේ තත්වයට ගෙන එන්නට ඉන් හැකි යයි එවැන්නා සිතයි. එවන් අයකුගේ ඇස් මුණ නොගැසීම සුවදායකය. මෝඩයා හා තර්ක කරනු බැරිය. ඔහු තර්ක කරන්නේ දිනන්නට මිස සත්‍යය පහදා ගන්නට නොවේ. වෛරයෙන් ගිලන් අයකුට තර්ක කිරීමේ හෝ ඇත්ත ඇති සැටියෙන් දකිනු හැකියාවක් ද නැත. එවැන්නාගේ මොළය පිරී ඇත්තේ අපවිත්‍ර රසායන වලිනි. එවැන්නා අමානුෂික ලෙසින් හැසිරෙන්නේ රෝගී බව නිසාය. ජාතික ලේඛනාගාරය වෙත ගොස් අතීත පුවත්පත් කියවා බලන්නෙකුට විශ්ව විද්‍යාල නවක වද නිසා සියදිවිනසා ගත් මෙන්ම හිංසාකාර වදයෙන් දිවි තොර වූවන්ගේ තොරතුරු කියවිය හැකිය.

ලාංකික සමා‍ජයේ වෙන වැරදි බොහොමයක් අපි වසන් කරගෙන සිතින් විඳ දරා ගන්නෙමු. ඒ නිසාම ඒ වැරදි නොසිදුවේ යයි සිතීම නුසුදුසුය. එවැනි තොරතුරක් පත්‍රයකට වැටෙන්නේ එහෙමත් විටකය. කාන්තාවන් සියල්ල දරාගෙන දුක් විඳින්නට දක්ෂයෝ වෙති. තමනට වූ වද හිංසා වලට දඬුවම් නොලැබෙන සමාජයක ඒවා කියා පෑමෙන් වැඩක් ඇත්දැයි ඔවුන් සිතති.

කරන්නන් වාලේ නවක වදයේ සහභාගී වන සෙසු “කොපිකැට්” වදකයෝ දිහා කෙළින්ම හිටගෙන ඇස් මුණ ගැසී අර කතන්දරකාරයා කළින් සටහනට දැමූ ප්‍රතිචාර දිය හැකිය. තමන්ගේ හිතට කරදර කරන, හිතට හරි නැති, හිත වැරදි යයි දන්නා දෙයක් කෙනෙකුගේ ඇස් මුණ ගැසී කිරීම අසීරුය. එවැන්නෝ තව දුරටත් ඔබට වද දෙන්න කාලය නාස්ති නොකර පහසු ඉලක්ක සොයා යනු ඇත.

හමුවන පුද්ගලයන්ගේ නම් අසා දැනගෙන ඒවා මතකයේ තබා ගැනීම වැඩදායක හුරුවකි. හමුවන්නා ගැන ශරීර ලක්ෂණයක්, ගුණාංගයක් හෝ ඒ අයගේ විනෝදාංශයක් සමඟින් නම මතක තබාගන්නට හුරුවීම මඟින් ඉක්මණින් යහළුකම් ඇති කරගත හැකිය. මට එකළ නම් තුන්සියයක් පමණ මතකයේ තිබුණි. නවක වදයට පාත්‍ර වන්නටත් පෙර ජේෂ්ඨයන්ගේ නම් සොයා දැනගත් මා “ඔයා …නේද?” කියා අසා කතාවට වැටුනේ නවක වදයට ඉඩ නොතබාය. මන්ද සමහර අයවළුන් නවක වදයේ නියුතු වුයේ කරන්නන් වාලේ මිස එහි හරි වැරදි නොසිතාය. එද‍ා දිනයේ නවක වදයේ නියැළුනේ නැති අයෙක් සොයා ගැනීම ඉතා දුෂ්කර වුණි.

හඳුනා ගන්නට කැමති අයෙක් වෙත ගොස් තමා කවුදැයි හඳුන්වා දී කතා කරන්නට හුරුවක් නැති රටකි ලංකාව. වදේ ගැහීම කෙනෙක් හඳුනා ගන්නට පාරක් කපා ගැනීමක් යයි සිතීම නතර කළ යුතු කාලයයි මේ. කළින් කතා කිරීම ලැජ්ජාවක් නම් වදේ ගැහීම ඊට වඩා ලැජ්ජා විය යුත්තකි.

18 Responses

Subscribe to comments with RSS.

  1. Anewasika said, on අප්‍රේල් 8, 2010 at 7:50 පෙ.ව.

    ඇත්තටම කවුද අර කිව්ව ඇමතියා?

    • arunishapiro said, on අප්‍රේල් 8, 2010 at 8:24 පෙ.ව.

      නම කියලා මාවත් ලංකාවට ගියාම හිරබාරයට ගනියි ද දන්නෑ. අපහාස නඩු වැඩි කාලයක්! කතන්දරකාරයා හරියට හිතුවා, අහගන්න. මාත් ඒක්ක හිටි අයත් දැන් පදිංචිය මං ඉන්න පැත්තට නුදුරුව. කවුද ඉතින් හරි වැරදි කියන්න ලංකාවට ඉතුරු.

      • Kathandara Karaya said, on අප්‍රේල් 9, 2010 at 11:43 පෙ.ව.

        අනේ, අනේ, මං දාපු නම මකලා දැං අනිත් අයට උපදෙස් දෙනවා නේද? අහංකාර “කෙල්ල”!

        • arunishapiro said, on අප්‍රේල් 9, 2010 at 12:43 ප.ව.

          කතන්දරකාරයා, ඔයා‍ව අපි හැමෝම දන්නෙ කතන්දරකාරයා කියලනෙ. වැඩේ මේ බ්ලොග් මගේ නමින්ම යන එක. ඕන නෑනේ විහින් අමාරුවෙ වැටෙන්න. “කෙල්ල” කිව්වටත් තුති!! රැග් වලටත් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා නම් හොරුන්ටයි, මිනීමරුවන්ටයි, ත්‍රස්තවාදීන්ටයි සේරටමත් ආචාර ධර්ම තියෙනවාද කියන ප්‍රශ්නයත් නැ‍ඟෙනවා. එහෙම තියනවා යයි කියන අයත් නැතුවා නොවේ. ඒක තවත් කතාවක් වෙයි වගේ!

  2. ඉන්දරේ said, on අප්‍රේල් 8, 2010 at 1:53 ප.ව.

    //රැග් නොකා ඉන්නට හොඳම ක්‍රමය “ජේෂ්ඨ උත්තමයාගේ මුහුණ දිහා බලලම “යන්න එපා” කියල යාළුවත් ඇදගෙනම ගිහින් බේරිලා තියනවා” යන ප්‍රතිපත්තියයි.//

    මේ ක්‍රමේ කාන්තාවකට ගැලපෙනවා වෙන්න පුලුවන්.
    නමුත් ඔබ හිතනවද ජ්‍යෙෂ්ඨ උත්තමයන් රැසක් “අඩෝ ඔහොම නැවතියං **** පුතාලා” කියලා කිව්වාම “නෑ.. අපි නවතින්නෙ නෑ” කියාගෙන කොල්ලෙක් දිගටම ගියොත් ජ්‍යෙෂ්ඨයො ගණං නොගෙන ඉඳීවී කියලා? නෑ.. ඉස්පිරිතාලේ ලගින්න ගුටි කන්නයි වෙන්නේ.

    නවකවධය තුල එක්තරා මැර මාාෆියාවක් තියෙනවා. අන්න ඒක පරාජය කරන්න වෙනවා මුලින්ම. මට ආරංචි උනා මේ පාර NDT එකේ පලමු වසර සිසුන් තමන්ට රැග දෙන්න ආපු ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට හොඳ ගුටිපූජාවකින් සංග්‍රහ කලා කියලා. අන්න ඒවා නං අගය කල යුතු වැඩ.

    • arunishapiro said, on අප්‍රේල් 8, 2010 at 2:09 ප.ව.

      ඉන්දරේ, එය හොඳම ප්‍රතිපත්තිය වුනාට කළ හැම විටම කළ නොහැකි බවත් කිව්වානේ. මුළු සටහනම කියෙව්වා නම් ඒ ඩිංගත් කියවන්න ඇතිනෙ. සමානාත්මතාවය ගැන උදම් අනින දේශපාලන න්‍යායයන්ගෙන් පිරුණු සමූහයක් තමයි පංති වර්ජන, පොදු දේපල විනාශය හා ඕනෑම සංවාදයක්, සාදයක් අවසානයේ ගුටි බැට හුවමාරුවට බහින්නෙ. හැබැයි ඊට පිළිතුර අනිත් අයත් ගුටිබැට වලටම බහින එක නෙවෙයි. දේශපාලනය කැම්පස් වලින් අයින් කිරීම කළ යුත්තක්. ලංකාවේ උගත් පිරිස ගුටිබැට වලින් ප්‍රශ්න විසඳගන්නවා නම් ඒ අය උගත්කම පෙන්වන උපාධි සහතික අරන් රට පාලනය කරන්න ගියාමත් ගුටිබැට ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරනවා නේද?

    • Kathandara Karaya said, on අප්‍රේල් 9, 2010 at 11:41 පෙ.ව.

      හ්ම්, ගහන එක රැග් යැ, මැරකමක් නෙ. මං දන්න තරමින් රැ්ග් කියන්නෙ අණ දීමයි. ඒව පිළිපදින අය තමා රැග් වෙන්නේ.
      රැග් කිරීමේ ආවාර ධර්ම නැද්ද? physical contact රැග් එකට අයිති නෑනේ?

    • livx said, on ජූලි 16, 2010 at 6:34 පෙ.ව.

      මේ පාර pera AHS එකෙත් හොදටම rag තිබ්බා..rag එකෙන් පස්සෙ rag කරපු sinno වගේකට junnek ගෙවල් හොයාගෙනම ගිහින් කෙලවලාලු..ඒ වගේ 10 ක් campus එකකට හිටියනම් ඔය rag එක නතර කරන්න පුලුවන්

  3. Anandawardhana said, on අප්‍රේල් 9, 2010 at 1:41 පෙ.ව.

    අනර්ඝ ලිපියක්. මා ඔබ සමග සම්පූර්නයෙන් එකඟයි.

  4. රවින්ද said, on අප්‍රේල් 9, 2010 at 8:52 පෙ.ව.

    ඔන්න ඔන්න මට පාර ගහලනේ.
    මම ආයෙ ආයෙ ඕන තැනක කියනවා මම විඳපු රැග් එක(රැග් කියල වචනෙ ගැලපෙන්නෙ නෑ) සුන්දරයි. මම ගොඩක් ජීවිතේට වටින දේවල් ගත්තා ඒකෙන්. වෙන තැන්වල අසුන්දර අත්දැකීම් විඳල තියන අයට මම කියන දේ තේරෙන්නෙ නැතුව ඇති. කරන්න දෙයක් නෑ. මම තේරුම් කරන්න උත්සාහ කරන්නෙත් නෑ. කවදහරි UCSC එකේ ඉගන ගත්තු කෙනෙක් හම්බුනොක් අහල බලන්න.

    • arunishapiro said, on අප්‍රේල් 9, 2010 at 11:28 පෙ.ව.

      රවීන්ද දරුවා හිත අමනාප කරගන්නෙ නැතුව ඉන්න. ඔයා සතු සුන්දර අත්දැකීම් කාටවත් ඔය හිතින් අයින් කරන්න බෑ. 🙂

  5. mal mama said, on අප්‍රේල් 9, 2010 at 10:10 ප.ව.

    oya UCSC haththa nam kiyayi rag eka api illan kapu bohoma sundara deyak kiyala.

    ara chamila kolu karayath oya kathawama methenta awith kiya dayi.tawa ara mati panuth eyi.

    • රවින්ද said, on අප්‍රේල් 10, 2010 at 12:48 ප.ව.

      හැත්ත කියන වචනෙ කරුණාකර අයින් කරගත්තොත් හොඳයි. ඔව් චමිල අයිය අපේ සීනියර් බැච් එකේ. UCSC එකේ අපි දන්නවා විශ්වවිද්‍යාලයක් තුල තියෙන්න ඕන මොන වගේ සංස්කෘතියක්ද කියල.
      ඒ වගේම බ්ලොග් එකක ප්‍රතිචාර දක්වන කොට තමන්ගේ තත්වෙ රැකගෙන ඒක කරන්නෙ කොහොමද කියලත් අපි දන්නවා. හැබැයි ඔයා ඒක දන්නෙ නැති පාටයි.

      • arunishapiro said, on අප්‍රේල් 10, 2010 at 2:50 ප.ව.

        රවින්ද, “මල් භාෂාවක්” ද “මාමා කෙනෙකුගේ භාෂාවක්” ද නොවූවත් “හැත්ත” යන වචනයේ සිංහල අර්ථය gang නිසා (සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය -සෝමපාල ජයවර්ධන) කලබල වන්න උවමනාවක් නැහැ. හැත්ත කියා සිංහලෙන් කියද්දි ආචාරශීලී නොවන සේ සැලකීම ව්‍යවහාරය නිසා දැයි සිතේ. බලන්න පහළින්, ඊට අරුත් කිහිපයකි. ඉන් අරුත් දෙකක්ම ධනාත්මක අගයෙන් යුතුයි.
        gang: according to Merriam-Webster Dictionary
        group: as (1) : a group of persons working together
        (2) : a group of persons working to unlawful or antisocial ends; especially : a band of antisocial adolescents
        (3) : a group of persons having informal and usually close social relations

  6. piyadasun said, on පෙබරවාරි 3, 2012 at 5:10 ප.ව.

    අපි මොරටුව ඉන්ජිනේරු පීඨයට ගියේ එන් ඩී ටී කට්ටියට වඩා මදක් පරක්කු වෙලාය. මේ නිසා සමගාමී එන් ඩී ටී කට්ටියද අප ට රැග් දෙන්නට පටන් ගත්තේය. රැග කාල්යේ බසයේ එන අතර ” මචං බලපන්කො මේ එන් ඩී ටී කට්ටියත් රැග දෙනව කියා කිව්වෙමි” කව්දෝ එන් ඩී ටී පොරක් මෙය ට නව අර්ථ කථනයක් දී මා එන් ඩී ටී කස්ටියගෙන් රැග කැඑමට අකමැති ඔලුවෙක් ලෙසට හඳුන්වා දීමේ අවසාන ප්‍රතිඵලය වූවේ, තනිව ජ්‍යේෂ්ට පොරක් සමග හොස්ටලයට යාමටය. එහිදී මට නිරුවත් වන්න ට කියා අන කල, ඔහු විවිධ දේ අපහාසාත්මකව කිව්වේය. එසේම නිරුවතින් ජනේලයක එල්ලෙන්නයි නියම කලේය. එය කුරුසියේ තිබීම ලෙස නම් කලේ ද ඔහුයි.
    මා මේ සිද්ධියෙන් කම්පාවට පත් වුනෙමි, මුලු රැග කාලයම ඉන්පසු ගත කලේ ටොයිලට් වල ය. දැන් නම් එය ගනන් ගත යුත්තක් සේ නොපෙනුනත්, මගේ අම්මා, තාත්හා , අක්කා ගැන නොසරුප් වදන් ගනනාවක් කී අවස්ථාවේදී මට ඇති වුන හැඟීම කිසි දිනක දැනී නැත. පිටට නොපෙන්නුවාට එම සිද්ධිය මෙතරම් කලක් ගත වීත් මා තුල ඉතා අමිහිරිමතක මතු කරයි.
    මේ අපහසුව නිසා, මම මගේ වසර 4 ම පුරාවටම නවක සිසුන් ට කිසිම බලපෑමක් නොකෙලෙමි. රැගෙන් බේරීමට දිය හැකි උපරිමය කලෙමි.

    • arunishapiro said, on පෙබරවාරි 3, 2012 at 7:16 ප.ව.

      piyadasun,

      ඔයාගේ වගේ කතන්දර එදා ඉඳලා ම අද දක්වා අහන්න ලැබෙනවා. රුග් කාපු සිත් වේදනා නිසා අද ලංකාවේ ඉහළ පුටු රත් කරන සමහර අය විශ්ව විද්‍යාලයත් උපාධියත් දමලා ගහලා දාලා යන්න පවා හිතිලා ගෙදර ගිහින් ආයේ බලහත්කාරයෙන් වගේ තල්ලු කරගෙන විශ්ව විද්‍යාලයට ගෙන්න ගත්තු අය. ඒ පහත් මානසිකත්වයෙන් කවදා හෝ ගැලවෙන්න පුළුවන් වේ යැයි අපි ප්‍රාර්ථනා කරමු.

  7. piyadasun said, on පෙබරවාරි 5, 2012 at 1:44 පෙ.ව.

    මට හිතා ගන්නට අපහසු තවත් දෙයක් තිබේ. එනම් මේ රැගෙන් මිදුනු වහාම සියළු දෙනා, රැග ගැන සුන්දර කථා කියන්නට පටන් ගැනීමයි. අපි දෙවන වසරේ සිටියදී මහාචාර්ය දයන්ත විජේසේකර රැග නැවැත්වීමට කිසියම් මෙහෙයුමක් ගෙන ගියේය.එයට සහාය දිය යුතු යැයි මා යෝජනා කල විට, “රැග නම් විශ්ව ව්ද්‍යාලයට අනුගත වීමේ නම්නීකරණ ක්‍රියාවලියක් ලෙස නම් කරමින් එය රැක ගන්නට ආවේගශීලීව කතා කල මිතුරන් පිරිස්ක විය. රැග නොදෙන මගේ කට්ටියේ අනිත් අය ගේ මතය වූවේ ” ඕක ඔන්න ඔහෙ තිබිච්චාවේ” යන්නයි.
    ඒත් මෙයින් “ඔළුව” විශේෂයෙන් අඩු වීමක් වන්නේ නැත, රැග කාල්යේ කවුරු කවුරුත් කරන්නේ රඟපෑමකි,ජ්‍යේෂ්ඨ උත්තමයාත්, “කුනු ෆ්‍රෙෂාටත්” මෙය එක සේ අදාලය.මිනිසුන්ගේ ගති සිරිත් මෙවැන්නකින් වෙනස් වී යයි සිතන්නේ නම් එය විහිලුවකි. මෙයින් කුහක කම නම් වර්ධනය වෙන බව පැහැදිලිය. අනන්‍යතාවය සඟවා තමන් ට අයත් නැති ‘පර’ ජීවිතයක් ගත කරන්නට අඩිතාලම වැටෙන්නේ මෙහිදීය.
    පාසල් කාලයේ සිතුනු දේය කියමින් කරමින් ගත කල ජීවිතය මිය යන්නේ එහිදීයි. අප වෙනත් ජාතීන් මෙන් අපේ මතය වෙනුවෙන් තනිව නැගී සිටින්නවුන් නොව, නැවෙන්නන්ය. සුද්දන් ඉදිරියේ ජ්‍යේෂ්ඨ ඉංජිනේරුවන් , වෘත්තීකයන් කිසිම හේතුවක් නැතුව නැවෙනු දැක ඇත්තෙමි. ඒ මානසිකත්වය ට ජීවිතයේ යෞවනයේ බොරුවෙන් කල්ලියකට අනුගත වීමෙන් ගත කරන වසර 4 දක්වන දායකත්වය ඉමහත් බව නම් පැහැදිලිය. රැග ඒ ලෝකයට අප කැඳවාගන යන යාත්‍රාවයි!

    • arunishapiro said, on පෙබරවාරි 6, 2012 at 2:54 ප.ව.

      piyadasun,

      පීඩිත මානසිකත්වය පවත්වා ගන්නට ආධාර දෙමින් එහෙත් පීඩිතයන් වෙනුවෙන් තමන් පෙනී සිටිනවා යැයි කියනා අය ලෝකයේ නොයෙකුත් වෙස් මුහුණු වලින් දකින්නට ලැබෙනවා ද?!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: