අරුණි ශපීරෝ‍ වෙතින්

ආවා ගියෝ

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2010

ඉංග්‍රීසි ගුරුවරු 2000 ක් කොරියාවට යැවීම වහා නවතන්න යයි ඉංග්‍රීසි ගුරු සංගමය ජනපතිගෙන් ඉල්ලයි යන ශීර්ෂයෙන් යුතු ‘දිවයින’ ප්‍රවෘත්ති වාර්තාව කියැවූ විට බ්ලොග් සටහනක් නොලියා සිටිනු නොහැකිය.

කොරියාවට මෙම ගුරුවරු යැවීම නතර කරන්න යයි ඉල්ලන්නේ ලංකාවේ ගුරුවරු එසේ යැවීමෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය අඩාල වීමට හේතු සාධක වන නිසා යයි වාර්තාව කියයි. මෙතෙක් රටේ සිටින මෙම ගුරුවරු තමන් උගන්වපු අයට ඉංග්‍රීසි දැනුමක් ලබා නොදී කොරියාව බලා යනවා ද? එසේනම් ඔවුන් වෙතින් උගත් අයට මනා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා නොදුන් හෙයින් ඔවුන් කොරියාවටම පැටවිය යුතු නොවන්නේ ද?!!

ඊ ළඟට දැනට දිවයිනේ ඉංග්‍රීසි ගුරුවරයින්ගේ දැඩි ඌනතාවයක් පවතින බව පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අධ්‍යාපන ඇමති ටිකිරි බණ්ඩා ඒකනායක පිළිගත් බව හා හිඟය පිරිමසා ගන්නට නවක ගුරුවරු 500 ක් බඳවා ගන්නට අදහස් කෙරේ යයි ද ප්‍රවෘත්තියේ සඳහන්ය. ඉල්ලුමක් ඇති “භාණ්ඩයක්” තව වැඩියෙන් නිෂ්පාදන කර ලෝක වෙළඳපොලට ඉදිරිපත් කිරීම වෙනුවට අපි ඉල්ලුමටත් වඩා අඩුවෙන් “භාණ්ඩය” නිෂ්පාදනය කරන්නේ ඇයි?

වැඩි වැටුප් අපේක්ෂාවෙන් සංක්‍රමණය වන මෙම ගුරුවරු නිසා ගුරු හිඟය වැඩි වී ඉංග්‍රීසි අංශ වසා දමන්නට ද සිද්ධ වනු ඇතැයි ද අනතුරුව වාර්තාව කියයි. දක්ෂතාවයට සරිලන අන්දමට වැටුපක් කොරියාවෙන් ලැබෙද්දී ලංකාවට විදේශ විනිමය නොලැබේ ද? එයින් තවත් ඉංග්‍රීසි ගුරුවරු බිහිකර රට පැටවිය යුතු නොවේද? කුසලතාවයට සරිලන වැටුප නොව “පීඩකයෙක්” තීරණය කරන වැටුපක්, “පීඩකයෙක්” තීරණය කරන “හිරගෙදරක්” නිසා ඉංග්‍රීසි ගුරු වෘත්තියට යන්නට මෙයින් කෙනෙක් සිතයි ද?

ඉංග්‍රීසි ගුරුවරුන්ට කොරියාවට යෑමට ඉඩ නොදීමෙන් සිද්ධ වන්නේ ඉංග්‍රීසි අංශ වසා දැමීම නොව අනාගතයේ තවත් වැඩි වැඩියෙන් ලෝක වෙළඳපොලේ ඇති ඉංග්‍රීසි ගුරු රැකියා අවස්ථා සඳහා යාමට හැකි ඉඩකඩ ලාංකිකයාට වසා දැමීමයි.

හවස් කාලයේ එළිමහන් ලයිට් බල්බයට රෑන් පිටින් එකතු වන මේරු එහි එළිය සොයා අවුත් මරණයට පත්වෙති. මේරු කියා නමින් ඇමතුවොත් උන් වැඩි වැඩියෙන් එන බවට විශ්වාස කරන පුද්ගලයෝ මේරු නොකියා ආවා ගියෝ යයි උන්ව හඳුන්වති. අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති ද මෙවැනි අතාර්කික විශ්වාස වලින් පෝෂණය වුනාදැයි සැක සිතේ.

ඇමෙරිකාවේ ආවා ගියෝ නමින් හැඳින්වෙන්නේ ඉක්මණින් ආහාර ලබාගත හැකි අවන්හල්ය. එමෙන්ම ආවා ගියෝ In & Out (1997)එළි දැකි, ආහාර පිළිබඳව නොවන මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවාගේ (Kevin Kline) රැකියාව ඉංග්‍රීසි ගුරු වෘත්තියයි.

ලංකාවේ නොදියුණු පාසැලක දරු දැරියන්ට ප්‍රාථමික මට්ටමින් ඉංග්‍රීසි උපකාරක පංති නොමිලේ ලබා දෙන වැඩසටහනකට වැටුපක් ගෙවා ගුරුවරයෙක් සොයා ගන්නට කිසිදු අපහසුවක් නැතිබව ‍නොබෝදා ඊට අතගැසූ නිසා මම දනිමි. හැකියාවට සරිලන වැටුපක් ලබා දෙන්නේ නම් ගුරුවරයෝ රට තුල ඉන්නා බව පෙනී යනු ඇත.

“ගරු විශිෂ්ඨ ගුරු සංචිතය” ඉදිරියට ඇවිත් මේ ඉංග්‍රීසි ගුරු හිඟය වෙනස් කරනු ඇත් ද? ඉංග්‍රීසි ගුරුවරු හිඟය පියවන්නට ඔවුන් සමත් වුවහොත්, ටික කාලයක දී මහත් පිරිසකට ඉංග්‍රීසි කියා දී පැත්තකට වු විට, මෙම අයවළුන්වත් ආවා ගියෝ ලෙස හැඳින්විය හැකි වන්නේ ද?

මේ දිනවල දකුණු අප්‍රිකාව ලෝක පාපන්දු කුසලාන ශූරතාවට ලැහැස්තිය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ එංගලන්තයේ ක්‍රීඩා කරන සේ අප්‍රිකානු රටවල පාපන්දු ක්‍රීඩකයෝ බොහොමයක් සෙල්ලම් කරන්නේ යූරෝපීය පාපන්දු සමාජවලය.

ඝානාවේ පාපන්දු සමාජයක අයිතිකරු සේම ක්‍රීඩා ඇඳුම් නිපදවන ඇඟළුම් ආයතනයක අයිතිකරුවකු වන James Kainyiah බීබීසී ප්‍රවෘත්ති සේවයට කියා සිටියේ තම ක්‍රීඩා සමා‍ජයෙන්, තම රටෙන්, යූරෝපයේ පාපන්දු ක්‍රීඩා කරන්නට කෙනෙක් යෑම තමන් ඉතා අනගි අවස්ථාවක් සේ සලකන බවය. එසේ පිටරට යෑමට අවස්ථාව ලබා දුන් විට තම රටට කීර්තියක්, රටට ආදායමක් හා මනා පුහුණුව ලත් ක්‍රීඩකයෝ බිහිවන බව ඒ ඝානා ජාතිකයා කියා සිටියේය. හැකි තරමින් දක්ෂ පාපන්දු ක්‍රීඩකයින් බිහිකර යුරෝපයට යැවීම ඔහුගේ ක්‍රිඩා සමාජයේ උවමනාවයි. ඔහු කතාව අවසානයේ ඝානාවේ පාපන්දු ක්‍රීඩකයනට කියන්නේ “යන්න හැකි තරම් දුරකට. ඔබ රටට ආපසු ආ විට අපි ඔබව සාදරයෙන් පිළිගන්නට ගුවන් තොටුපළට එන්නෙමු” කියාය.

මා හා විවාහ වී සිට්න සුද්දා අතිතයක දී ජර්මනියේ පාපන්දු සමාජයක තරඟ කළ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු හමුවන්නට පෙර සිටම මම පාපන්දු ක්‍රීඩාව ගැන උනන්දුවක් දැක්වීමි. ලංකාව ආසියානු පාපන්දු තරඟයක් පවත්වද්දී පාපන්දු සම්මේලනයේ පිළිගැනීම් කටයුතු කරන්නට මමත් යෙහෙළියන් පිරිසක් සමඟ සහභාගී වුනෙමි. ඒ අවස්ථාව ලැබුනේ අපිට ඉංග්‍රීසි කතා කරන්නට තිබුන හැකියාව නිසාය. නමුත් රටට පැමිණි නේපාල, පාකිස්තාන හා බංගලාදේශී ක්‍රීඩකයන් බොහොමයකට ඉංග්‍රීසි කතාබහ නුපුළුවන. එදා ඒ පාපන්දු ක්‍රීඩකයෝ සමඟ අදහස් හුවමාරුවට ඉංග්‍රීසි දැනුමක් බලපෑවේ නැත.

අපේ අය හා ඉංග්‍රීසියෙන් කතාබහ කරන්නට ඈලිමෑලි වන අපේම අය සුද්දෝ සමඟ නම් කිසි අවුලක් නැතුව ඉංග්‍රීසියෙන් දෙබස් හුවමාරු කරනවා නිරත්තරයෙන් දැකගත හැකිය. එසේම ඉංග්‍රීසි කතාබහට අදිමදි අය ජර්මන්, ඉතාලි, ග්‍රීක් හා ජපන් භාෂා හොඳින් හසුරනවා දැකගත හැකිය. ‍එය ද අර ආවා ගියෝ වැනි එල්බගත් අදහසක් මත්තේ සිටින නිසා ද?

2006 ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟයේ දී ප්‍රංශ ජාතික Zinedine Zidane (nickname “Zizou”) සිය තට්ටයෙන් ඉතාලි ක්‍රීඩකයාට පහර දීම නිසා ඔහුව පිටියෙන් ඉවත් කරන ලදි. එදින ඉතාලි පිල ජයගත් ලෙසින් මෙවරත් තරඟාවලිය නිමා නොවේ යයි බලාපොරොත්තුවෙන් මගේ සුද්දා හා තරඟ නරඹන්නට බලා සිටින මා ඇමෙරිකන් පිලේ ජය අපේක්ෂා කරමි.

22 Responses

Subscribe to comments with RSS.

  1. Grey said, on ජූනි 10, 2010 at 10:17 පෙ.ව.

    Hehe…USA not going to win. You guys going to get asskicked from team I support (England) You might like this (http://news.bbc.co.uk/1/hi/world/us_and_canada/10270467.stm)
    And hope you are enjoying the summer.

    ගුරු හිගය ඇත්තටම පාපන්දු වලටසම කරන්න අමාරුයි. අනික ලංකාවේ තියෙන්නේ වෙනත් ආකරයක ගැටලුවක්.
    මම ඉගෙන ගත්තු අගනුවර පාසලේ ගුරුවරු අතිරික්තයක් තිබ්බා. ඉන්ග්‍රිසි විතරක් නෙවෙයි අනිත් විශයන්වලටත්. නමුත් ඔයත් එක්කම පිටිසර ඉස්කොලවල ගුරුවරු නෑ. අපේ ගුරුවරු කැමති නෑ දුර පලාත්වලට ගිහින් උගන්වන්න. කවුරුවත් කැමති නෑනේ තමන්ගේ රැකියාව කරදර ගොඩක් මැද කරන්න.
    නමුත් ඕකට පිලියම විදිහට අපිට රට වටෙම පහසුකම් හදනකන් උගන්වන්නේ නැතුව ඉන්නත් බෑ,
    අනිත් වැදගත්දේ තමා ඔය ගුරුවරු ඉගෙන ගන්නේ මේ රටේ මහජනයගේ සල්ලි වලින්. එහමනම් තමන් දැනන් ඉන්න ඔනේ ඒකට හරියන සේවයක් රටට කරන්න. අනික ඔබ කිව්වා වගේ ගෙවනවනම් ගුරුවරු හොයාගන්න පුලුවන් කතාව පිලිගන්න ටිකක් අමාරුයි. අතිශයින් දුශ්කර මීමුරේ වගේ ගමකට ඉන්ග්‍රිසි ගුරුවරයෙක් හොයල දෙන්න පුලුවන් වෙයිද අතිශය විශාල ගෙවීමක් නැතුව?
    අනික අපේ තියෙන ආත්මාර්තකාමි පෙරේත චින්තනය එක්ක අනිත් ගුරුවරු ඔය ගෙවීමට කොපනම විරුද්ධ වෙයිද?
    මම නම් දකින්නේ මෙහෙමයි ඔය කොරියාවට යන එක.
    ඕනෙ එකටයි එපා එකටයි හැම එකකටම ජනාධිපතිව ගාව ගන්න එකට මං විරුධ්දයි. රටේ අද්යාපන මිනිස්ට්‍රියක් (සින්හල වචනේ හරියට ගහගන්න විනාඩි 10ක් විතර දැගලුව 😦 ) තියෙනේ කොන්ද පන තියෙන තීරන ගන්න.
    ඔය රට යවන වැඩේට අවුරුදු 5ක වගේ දුශ්කර සේවයයි, තව අවුරුදු 10ක් වගේ ගුරු සේවයයි සලකලා තෝරගෙන එක අවුරුද්දකට විතරක් යැව්වනම් නියමයි. අනිත් අයටත් අවස්තාව එනාවා. හැමෝම ගොඩ.
    අර ශයිලොක් වගේ මස් රාත්තල්ම ඉල්ලන අපේ පුරුද්ද හොදනෑ.

    • arunishapiro said, on ජූනි 10, 2010 at 11:37 පෙ.ව.

      Grey,
      if USA does not do well I can always join you and cheer for England! None here would object 🙂 I liked the BBC link. Here’s one for you to enjoy: http://content.usatoday.com/communities/christinebrennan/post/2010/06/keeping-score-passion-for-soccer-wont-kick-in-here/1
      Summer is going great so far. Hope you are taking time to enjoy the good outdoors too. Don’t plan any travel on Saturday though, you won’t find any cabs!!!!
      සම කරන්න බැරි දේවල් දිහා බලන එක තමයි මගේ උත්සාහය. සාර්ථක නොවන අවස්ථා වැඩියි. “අතිශයින් දුෂ්කර මීමුරේ වගේ ගමකට” යන්න කැමති ගුරුවරයෙකුට “අතිශය විශාල ගෙවීමක්” නැතුව බැහැ. ඒක ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වීමක්. රජයේ මැදිහත් වීම නිසා, නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලය නිසා අපට කිසිවක ඇති “අගය” ගැන හැඟීමක් නැහැ.
      හැමෝම ගොඩ එන ප්ලෑන් එක නම් හරිම වැදගත්. එස්. බී. කැමති වෙයි එතකොට චන්ද වැඩි‍යිනෙ. ගුරු සංගමයත් කැමති වෙයි හැමෝටම අවස්ථාවක් ලැබෙන නිසා. අධ්‍යාපන අමාත්‍යාංශයටයි ගුරු සංගමයටයි ලියලා යවන්න වටින හොඳ අදහසක්.

      • Grey said, on ජූනි 10, 2010 at 1:38 ප.ව.

        That’s really true. English people take football really seriously. When I want to make them pissed all I have to do is tell something about ‘Gayball’ I’m also planning to go to the pub and watch some matches. Cheering “engerland” of course. Will be nice.
        oh..talking about pubs, if you have time please write an article about English pubs. (I think they are one of the best things in british culture)

    • කොලූ said, on ජූනි 10, 2010 at 12:01 ප.ව.

      gray,
      අපේ වත්තේ එළුවෙක් හිටියා, කූඩු කරලා හදපු මේ එලුවාට අපි කන්න දුන්නේ තනකොල විතරයී. ඌට කොච්චර වෙන වෙන දේවල් කන්න ඕනෑ උනත්, ඌ කූඩුවෙන් එලියට ගිහිල්ල වෙන දේවල් කෑවොතින් අනිත් කූඩු කරපු එළුවන්ට අසාදාරනයක් වෙනවා කියලා, වෙන කිසිම දෙයක් උගේ හිතේ හැටියට උලා කන්න ඉඩ දුන්නේ නැහැ. ඌට පැටව් ලැබුනාට පස්සේ, අපි මේ එලුවාව එක්කරගෙන යනවා පැටවුන්ට තණ කොල අදින්න. එළුවා තණ කොළ කපලා, ගෝනි බැදලා, කරේ තියාගෙන ගෙනල්ල පැටව්ට දෙන්න ඕනේ. එළුවා බෑ කියනවා. තෝ තණ කොළ කාල නේද හැදුනේ. දැන් මොකද බෑ බෑ කියන්නේ කියලා අපි මේ එළුවාට උගේ වගකීම පෙන්නලා දෙනවා. කොහොද ඉතින් එළුවානේ, ඌට තේරෙන එකක්යෑ. පැටැව් තණ කොළ කන්න බෑ බෑ කියනවා. තොගේ අප්පා තණකොළ කාලා නේද හැදුනේ. කාපිය කාපිය කියලා පැටව්ට තණ කොළ කවනවා.

  2. කොලූ said, on ජූනි 10, 2010 at 10:24 පෙ.ව.

    කොරියාව ගැන කියද්දී, මා කොලුවා කාලයේ හිටි පලාතට කීවේ කොරියාව කියලාය. ගමේ චන්ඩියෙක් හවසට, “වැල්ල බද කොරියාවේ සිංහ කොඩිය ලෙලදෙනවා” කියලා සිංදුවක් තාලෙට කීවා මතකය.

    • arunishapiro said, on ජූනි 10, 2010 at 11:00 පෙ.ව.

      කොලූ, මාත් අහල තියනවා ලංකාව තුල තියන “කොරියාව” කියන තැන් කිහිපයක්. මම උගත් පාසැල තුලත් පැත්තකට දැම්ම නමක්. හැබැයි පාසැල තුල “කොරියාව” පැත්තට යන්න වීම දණ්ඩණයක් මිස වාසියක් නෙවෙයි.

  3. ඉන්දික උපශාන්ත said, on ජූනි 10, 2010 at 5:30 ප.ව.

    ලංකාවේ ගුරු සංගම් මෙයට විරුද්ධ වන්නේ හැට පිනූ, හොට බිම ඇනුනු වෘත්තීය සමිති කාරයන් කොරියාවට වැද්ද ගන්නේ නැති නිසයි. medical/physical test වලින් තොරව ඕනෑම ගොබ්බයෙකු ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙනියන්නෙ නම් ඔවුන්ට මෙය බාධාවක්, ගැටලුවක් නොවනු ඇත.
    මා පුද්ගලිකව අදහන්නෙ අප හැකි තරම් අපේ උන් විදේශ රැකියා වලට යැවිය යුතුය යන්නයි. හොඳම උදාහරන ඉන්දියාව සහ පිලිපීනයයි. අද පිලිපීනය ලොව ප්‍රධානම වෛද්යවරු සපයන මූලාශ්‍රය බවට පත්ව ඇත. එහෙත් ඔවුන් තම රටෙන් ලබාගන්න සෑම වෛද්යවරයකු සඳහාම තවත් අයකු පුහුණුවට අවශ්ය තරම් මුදලක් ගාස්තුව ලෙස ගෙන, එය නිසි ලෙස අද්යාපනයෙ ආයොජනය කොට හැකිතරම් දොස්තරවරු වෙළඳපලට මුදා හරිති. අපි ලෑබෙන අවස්ථාවටත් කුහක කම නිසා පයින් ගසනෙමු. මෙය පෞද්ගලික විශ්ව විද්යාල ඇරඹීමට විරුද්දව කියන බයිලාවෙම තව කොටසක් පමනි.

  4. පිටස්තරයෙකු said, on ජූනි 11, 2010 at 1:21 පෙ.ව.

    මේ ලිපිය හා කොමෙන්ටු කියවීමෙන් පසු පෙනී ගියේ ඔබල පොලවේ පය ගසා සිටින වුන් නොවෙන බවයි. . කරුණා කර අනුරාධපුර පොලොන්නරුව, වවුනියා වැනි පළාත් වලට ගොස් බලන්න. එහි කොතරම් ගුරුවරු හිඟ දැයි ඔබ දන්නවද? OL විභාගයෙන් ඉංග්‍රීසි සමත් වෙන ප්‍රතිශතය ඔබ දන්නවද? එය 25% පමණි. තත්වය එසේ තිබියදී ඔබ මහත් උජාරුව්න් වන්න SB ඇමැත්තා සරසවි පිවිසුමට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට සැරසෙයි. ලංකාවේ සිටින ඉංග්‍රීසි ගුරුවරු කීපදෙනත් කොරියාවට පතවූ පසු ගම්බද දරුවන්ට අත්වන ඉරණම කුමක්ද? එය විසඳීමට අරුණි මහා ලොකු යෝජනාවක් යයි සිතා සිටින පැලැස්තර විසඳුම් වලට හැකි වෙන්නේ නැත. මේ සියලු දෙන එක්ව උත්සහා කරන්නේ ගැමි දරුවන් ගේ අධියාපන අයිතිය පහර ගැනීමට මිස අන් කිසිවකට නෙවේ. අරුණිලා අහසේ ඉඳගෙන සහය දෙන්නේද එකට ය. කරුණාකර බිමට බස ඔබේ ඇස් වසා ඇති රෙදි කඩ ගලවා බලන්න.
    ඉන්දික මහතා කොරියාවට යාමට බල සිටින ඉංග්‍රීසි ගුරුවරයෙක් දැයි සැකයක් මට ඇති විය.

    • Grey said, on ජූනි 11, 2010 at 7:29 පෙ.ව.

      වැරදියි.
      මුලින්ම සමත්වෙන ප්‍රතිශතය ඔයිට වඩා ගොඩක් අඩුයි. නමුත් ඒකට පිලියම රට යන එක නවත්වන එක නෙවෙයි. මගේ පලමු ප්‍රතිචාරය බලන්න.
      දෙවෙනියට:
      සරසවියට ඉන්ග්‍රිසි අනිවාර්ය කරන එකේ වැරැද්දක්නෑ. හැම විශයකටම නෙවෙයි. නමුත් විද්යා විශයයන්ට අනිවා ඔනේ. අනික Sඹ් කියන්නේ මාස හයක් උගන්වලා ඒක සමත්වෙන්න බැරි උන්ව ගෙදර යවනවා කියලා. ඉගෙන ගන්න ඕනෙ එකෙක්ට මාස හයකින් ඉන්ග්‍රිසි ඉගෙන ගන්න පුලුවන් මහත්තයෝ. එහෙම ඉගෙන ගන්නත් බැරි තරන් කම්මැලියො මේ රටේ ඉන්න එකයි කරුමේ.

    • arunishapiro said, on ජූනි 11, 2010 at 8:03 පෙ.ව.

      පිටස්තරයෙකු,
      සුද්දා පිටත්ව ගිය දා සිට මෙතෙක් කාලයක් ඉංග්‍රීසි ගුරුවරු ලංකාණ්ඩුව මඟින් හදා වඩා පඩි නඩි දී රැක බලා ගති. තවමත් පිට පළාත්වල ගුරු හිඟයක් පවතී නම් මෙතෙක් පැවති ප්‍රතිපත්ති වෙනස් කළ යුතු කාලය පැමිණ නැද්ද? නැත්නම් කොලූ විසින් Grey ට ලියූ ප්‍රතිචාරය අනුව අපි කෑ තණකොළම උඹත් කාපිය යයි කියමු ද? පැලැස්තර විසඳුම් නම් දැනට පවතින ක්‍රමයයි. ඒවා තව කොපමණ කාලයක් පවත්වන්නට ද? සුද්දා පැමිණ රටට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම නිසා පරම්පරාවක් මනාව ඉංග්‍රීසි දත් අය වූහ. පිටිසර ගමක උගත් මා මව ද ඊට අයිතියි. මව දන්නා සිංහල ද ඉතා විශිෂ්ඨයි. රාජ්‍ය භාෂාව සිංහල වූ කල ඉංග්‍රීසි සිංහල දෙකම බැරි අය බිහිවුණි. OL විභාගයෙන් ඉංග්‍රීසි සමත් වෙන ප්‍රතිශතය පමණක් නොව අනිකුත් විෂයයන් සමත්වන ප්‍රතිශතයත් ඔබ දන්නවද? භාෂාව කුමක්ද යන්නට වඩා උගන්වන පිළිවෙත ක්‍රියාවට නංවන්නෙ ලංකාණ්ඩුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ඉන්දික උපශාන්ත කියන හැට පැනපු, හොට බිම ඇනුනු වෘත්තීය සමිතිකාරයන් විසිනි. අවසානයෙ උපාධියක් ලැබුවත් රැකියාවක් නැත්තෙ ගම්බද, දුප්පත්, ඉංග්‍රීසි නොදන්නා අහිංසකයාටය. සරසවිය තුල අද වැනි යුගයක ඉංග්‍රීසි දැනුම නැති අඩුපාඩුව දන්නෙ සරසවියෙ සිංහල, බුද්ධාගම පමණක් ඉගෙන ගන්නට හිර නොවී සිටින අයයි. සමහර සරසවි සිසු සිසුවියන් මහත් කාලයක් වැය කරන්නෙ ඉංග්‍රීසි හැදැරීමටය. මන්ද ඉංග්‍රීසි නැතිව නව දැනුමට ඉඩක් නැති හෙයිනි. අද සරසවියෙන් පිටත් කරන උපාධිකාරයා ඉන්නා අඩු දැනුම මට්ටම දැක කදුළු සැලිය හැකිය. මෙහි සත්‍යතාවය අහසින් ගිහින් මිස ගෙම්බා මෙන් ඉන්නා වලකටම වී දැක නොහැකිය. ලොව කඩිනමින් ඉදිරියට යද්දී පස්සට යන සමාජයක් (කොලූ ලියන විදියට “මේ එළුවාට උගේ වගකීම පෙන්නලා” දෙන සමාජයක්) ගැන කතා කරනවාට වඩා විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම නීතියක් මඟින් ස්ථාපිත කරන්නට අවශ්‍ය බවත් ඉංග්‍රීසි නැති සරසවි සිසුවා අවසානයෙ රජයෙ ලිපිකරු රැකියාවට පමණක් සුදුස්සෙකු වන බවත් වැටහී යන්නෙ ඇස් බැන්දුම් ගලවන අයටය. සරසවි නොගිය SB ට (අහසින් ගිහින් තිබෙන නිසා වෙන්නැති) මෙය පෙනී යාම රටට වාසනාවකි. පිටිසර පළාත් වල ඉංග්‍රීසි උගන්වන වැඩසටහන් කිහිපයක් රාජ්‍ය නොවන, NGO නොවන, සිසුන්ගෙ උන්නතිය මිස ප්‍රතිලාභ නොලබා, පුද්ගලික මට්ටමින් කරගෙන යන දානපතියන් සිටිති. රජය විසින් සියල්ල කරන තෙක් බලා සිටින්නා මෙය නොදනී.

    • ඉන්දික උපශාන්ත said, on ජූනි 11, 2010 at 12:21 ප.ව.

      ලංකාවේ සිසුන් ඉංග්රීසි දැනුමෙන් අඩුවන්නේ එය උගන්වන ක්රමය නිසා මිස ගුරුන් හිඟකම නිසා නොවෙන බව මා මා ඇසුරින්ම දනිමි. වසර දහතුනක් නිදහස් අධ්යාපනයෙ පිහිට ලද පසු තාත්තාගේ ලේ කඳුලු, අම්මාගෙ දෑවද්දද උකස් කර උසස් අධ්යාපනයට පිටවූ දා, සියලු දැනුමින් සන්නද්ධව සිටිමුත් භාෂාවේ අඩුව නිසා කෙතරම් කොන් වූයේද යන්න දන්නේ මා පමණි.
      මෙය පහළ මැද පන්තියේ සැම මුහුණ දෙන ඛේදවාචකයකි.
      අඩුතරමින් සිංහලවත් හරියට බැරි ගමේ බය්යලා එදා සෝවියට් දේශයට ශිශ්ය්ත්ව ලබාගොස් වෛද්ය වරුන් ඉන්ංජිනේරුවන් වී සියරට ආවේ සිංහලෙන් නොව රුසියන් බසින් උගෙනය. ඒ ඉගැන්වීමේ ක්රහමයේ ඇති වෙනසයි.
      අනික ලේ දෙන්න දෙන්න උනනවා මෙන් කොතරම් ඉංජිනේරුවන් රට හැර ගියද, තව එවැනිම පිරිසක් අද රටේ රැකියාවිරහිත පෝලිමට එකවන්නට පටන්ගෙන ඇත.
      එහෙත් ඉන්ග්රී්සි දැනුමින් සන්නද්ධනම් ඔවුන්ටද රජෙයේ රැකියා පෝලිමේ සිටිය යුතු නැත, ඕනෑ තරම පෞද්ගලික අංශයේ ඉඩ තිබේ. යථාර්තය එයයි.
      මා කියූ දේ සත්යාසත්යතාවය හෝ වලංගුභාවය ගැන ප්ර්ශ්න නොකර පුද්ගලික මඩ ගැසීම් වලට යෑම ගැන පුදුමයක් නැත්තේ එය අද ලාංකිකයන් බහුතරයකගේ විලාසිතාව හෝ පුරුද්ද වී ඇති නිසා යයි සිතමි.
      අනික ගුරුවරුයකු වී වසර කිහිපයකින් උපයන ප්රයමාණයේ මාසික වැටුපක් සමඟ සියලු පහසුකම් සහිත රැකියාවක සුව බහ්රේන් සිට විඳින මට කොරියාවේ ඉංග්රීසි ඉගැන්වීමට යාමට තරම් උවමනාවක් ශරීරයේ කොයි කොටසකින්වත් පැන නඟින්නේද නැත.

  5. luckmini said, on ජූනි 12, 2010 at 7:19 ප.ව.

    I live in USA, I found your blog accidently. I love it excellent .

  6. පිටස්තරයෙකු said, on ජූනි 13, 2010 at 2:14 පෙ.ව.

    ඉංග්‍රීසි අනිවාර්ය කර ඒකෙ කිසි වැරද්දක් නැහැ. නමුත් මුලින්ම කලයුත්තේ සියල්ලන්ටම සම අවස්ථා ලබා දීමයි. ජ්ජ්විතයේ කිසි කලෙක ඉංග්‍රීසි ඉගෙන නොගෙන සරසවියට එන සිසුන් සිටින බව ඔබ නොදන්නවට මම දනිමි. ඒ උන් ඉනිගිරිසියට කැමති නිසා නොව උන්ට ඒ අවස්ථාව නොලැබෙන නිසාය. පසු ගිය දිනක වසර හතරකින් ඉංග්‍රීසි ගුරුන් නොසිටි පාසලක් ප්‍රවෘත්තියක් දුටිමි.මේ ප්‍රශ්නයට විසඳුම NGO හරහා පිටිසර සිසුන්ට ඉංග්‍රීසි උගැන්වීම යයි ඔබ සිතන බවක් පෙනේ. එසේ නම් ඔබ වැන්නවුන් සමග එම ගැන කතා කිරීමත් පලක් නැත. අනික කරණය වන්නේ අප රටේ ඇති සිලු ප්‍රශ්න වලට මුල ඉන්ග්රිස්ය නොදත් කම නොවේ. ඉන්ග්රිස්ය උගත් පමණින් උන්ට රැකියා ලැබෙන්නේ නැත. එවැනි කරුණු ඔබ කොපමණ උඩ නොපෙනෙන ලෙසකි. ( කොච්චර උඩ ගියත් අන්ධ නම් කෙසේ පේන්නද?

    • arunishapiro said, on ජූනි 13, 2010 at 6:26 පෙ.ව.

      පිටස්තරයෙකු,
      //මේ ප්‍රශ්නයට විසඳුම NGO හරහා පිටිසර සිසුන්ට ඉංග්‍රීසි උගැන්වීම යයි ඔබ සිතන බවක් පෙනේ.// ලියා ඇති කිසිවක් කියවන්නටත් “අන්ධ නම් කෙසේ පේන්නද?”

      //පසු ගිය දිනක වසර හතරකින් ඉංග්‍රීසි ගුරුන් නොසිටි පාසලක් ප්‍රවෘත්තියක් දුටිමි.// ජුනි 12 වැනිදා ඩේලි මිරර් පත්‍රයෙන් සිසුන් හා ගුරුවරු දෙකම නැති ප්‍රින්සිපල් කෙනෙක් පමණක් ඉන්නා පාසැලක් ගැනත් කියැවූයෙමි! ප්‍රවෘත්තියකින් නොව ඉංග්‍රීසි තියා අනිත් විෂයයන්ටත් ගුරුවරු නැති පාසැල් නම් වශයෙන් කියන්නට, ඒවාට ගොඩවැදී ඉන්නා ගුරුවරු අතලොස්ස සමඟ කතාබහ කර, ඉන්නා දරු දැරියන් හා කතාබහ කර, ඔවුන්ට දන්නා දෙයක් කියා දීම නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක ඇත්තෙමි. නමුත් ඒ NGO හරහා නොව අතේ වියදමෙන් කිසිවකුගෙන් සතයක් නොගෙන ගොස් ලබා දුන් සේවයයි.

      //නමුත් මුලින්ම කලයුත්තේ සියල්ලන්ටම සම අවස්ථා ලබා දීමයි.// මේ ලෝකයේ කිසිම දෙයක් එහෙම දෙන හෝ ලැබෙන තැනක් නැති බව වටහා ගන්නට නොහැකි අය සමඟ “කතා කිරීමෙන් පලක්” ඇත්දැයි සිතේ.

      • පිටස්තරයකු said, on ජූනි 14, 2010 at 12:25 ප.ව.

        කෑම දිරවීමට ඉඳහිට ගම්බද පාසලකට ගොස් ඔවුන් සමග කතා බස් කර ආ පමණින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳෙයි සිතන ය සමග කතා කිරීමෙන් ඇත්තටම පලක් නැත.

        • arunishapiro said, on ජූනි 14, 2010 at 2:38 ප.ව.

          පිටස්තරයකු, //කෑම දිරවීමට ඉඳහිට ගම්බද පාසලකට ගොස්// අපොයි අපොයි, ආහාර දිරවන ආකාරය ගැනත් කියලා දෙන්න වෙයි ද මන්දා?? අධ්‍යාපන ක්‍රම‍යේ වැරදි නේන්නම් සාමාන්‍ය දැනුමවත් නැතිකම. චන්ද බලාගෙන හෝ නම්බුනාම බලාගෙන වැඩ කරන අය තමන් කරන කියන දේ ගැන ලෝකයා දැනුවත් කරන්නට පම්පෝරි කියති. එවැනි දේ අපේක්ෂා නොකරන නිසා කළ කී දෑ ගැන කවුරු හෝ ප්‍රශ්න කරන විට පමණක් නොකියා බැරිය. හිරිවඩුන්න හා දෙල්දෙණිය (කෑගල්ල දිස්ත්‍රික්කයේ) පාසැල් දෙකක පුස්තකාල සඳහා පොත් 200 කට වැඩි සංඛ්‍යාවක් තෑගි කර ඇත. ඒ පොත් ආරක්ෂා කර ගැනීමට ඔවුනට පොත් අල්මාරි ද රැගෙන දෙන්නට විය. දක්ෂ ශිෂ්‍යයන්ට පුද්ගලික වූ මුදල් ශිෂ්‍යත්වයන් ද ලබා දෙමි. ඒ කිසිම සංවිධානයක් ඔස්සේ නොව කෙළින්ම මගෙන් ඔවුන්ටය. සරසවි සිසුන් ද ඒ අතර සිටිති. පොළොන්නරුවේ පුස්තකාලයකට සම්පූර්ණ විශ්වකෝෂයක් තෑගි කරන ලදි. කොම්පියුටර් නැති, විදුලි බලය නැති පළාතක දරුවෝ මෙන්ම දැනුම සොයන වැඩිහිටියෝ ද ඊට බෙහෙවින් සතුට පළ කළහ. පාසැල්, පන්සල්, විශ්ව විද්‍යාල හා වෙනත් පෞද්ගලික වූ පුස්තකාල වලටත්, රෝහල්වල ගැබිණි වාට්ටුවල අයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන දැනුම වඩවන සම්මන්ත්‍රණ සඳහා ද පොත් අනේක සංඛ්‍යාවක් පරිත්‍යාග කර ඇත. ඒ මවිසින් ලියන ලද පොත් පමණක් නොව ලංකාවේ අනිකුත් කර්තෘවරයන්ගේ පොත් ද මගේ වියදමින් මිලට ගෙන කියවන්නට කැමති ජනයාට බෙදා දීමකි. ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනයේ යෙදෙන හා මෙහි පදිංචි ලාංකික අය එකතු වී “පහන්සිල” එකතුව මඟින් කරන වැඩකටයුතු රාශියකි. ඊට මා දායක වී ඇති ආකාරය දන්නෝ දනිති. අළුතින්ම අත දමා ඇත්තේ ඔස්ට්‍රියාවේ පදිංචි මා හා කැළණියෙන් උපාධිය ලත් යෙහෙළියක් හා එකතුව පාසැලක බිල්ඩින් අළුත්වැඩියා කර දී, විදුලි බලය ලබා දී, පොත් පමණක් නොව පොත් අල්මාරි ද අරන් දී, සතියකට දෙවතාවක් ඉංග්‍රීසි පංති පැවැත්වීමය. ඊ ළඟට මෙම වසර අවසානයට පෙර ඔවුනට විද්‍යාගාරයක් නිමකර දෙන්නට අපි විදේශික දානපතියෙක් ද සොයා ගත්තෙමු. ලැයිස්තුවක් කිසි දිනක තබා නොගත් නිසා කාලාන්තරයක් තිස්සේ කරගෙන යන ලාංකික දරු දැරියන්ගේ අධ්‍යාපනයට අතදෙන මාර්ග වලින් ඉහත දක්වා ඇත්තේ මෙය ලියද්දී මතකයට නැඟුනු කිහිපය පමණි. දිව්‍ය ලෝකය හෝ නරකාදිය ඇතැයි කියා හෝ තවත් උප්පත්තියක් ඇතැයි කියා ද විශ්වාස නොකරන නිසා හුදෙක් සියල්ල කරනුයේ සිතේ සතුට සඳහා පමණි!!!

  7. Grey said, on ජූනි 13, 2010 at 5:46 පෙ.ව.

    ඒක තමා කිව්වේ මාස හයක් උගන්වනවා කියලා. ඔතන මහ ලොකු දැනීමක් බලන්නේ නෑ. පොඩ්ඩක් හොයල බලලා විරුද්ධ වෙන්න නිකන් ජෙප්පෙක් වගේ හැම දේටම විරුද්දවෙන්නේ නැතුව.

    • arunishapiro said, on ජූනි 13, 2010 at 6:39 පෙ.ව.

      Grey, ඔයාලගේ ගෝලි මිස්ට ග්‍රීන්ට ස්තූති කරලා කාඩ්පතක් එවන්න එඩ්‍රස් එක හොයනවා!!!! ඒ වගේම ෆුට්බෝල් බලද්දි හිටපු පබ් එක ගැන විස්තරයක් ඔයාගෙ බ්ලොග් සටහනකින් කියවන්නත් බලාගෙන ඉන්නවා.

  8. Grey said, on ජූනි 13, 2010 at 10:15 පෙ.ව.

    හපොයි කියලා වැඩක් නෑ… මගේ ගෝල් කීපින් ඔයිට වඩා හොදයි.
    ඒ වගේම කියන්න ඔනේ අර ඔයාලගේ ස්ට්‍රයිකර් සෑහෙන්න හොදට සෙල්ලන් කරනවා. (නම මතක නෑ 🙂 )

  9. arunishapiro said, on ජූනි 17, 2010 at 1:22 ප.ව.

    “The biggest handicap of Sri Lankans who seek employment abroad is the lack of English knowledge.”
    http://www.lankanewspapers.com/news/2010/6/57593.html


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: