අරුණි ශපීරෝ‍ වෙතින්

සාද සමයේ දී මත්පැන් බොන හැටි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 6, 2010



ඔන්න සම්පූර්ණ හෙළිකිරීමක් (full disclosure) මුලින් ම ලියනවා. දැන් මත්පැන් පානය අත්හැරලා ඉන්නෙ මම. නිකම්ම විනාශයට යන මොළ සෛලයි, අවුල් වෙන්න හදන මොළේයි තව උත්සාහයකින් අවුල් කරගන්නෙ මන්දැයි හිතලා. තනි තීරණයක් නිසා ඕනෑම වෙලාවක කැමති මත්පැනක් කටේ හලාගන්න අයිතිය තියාගෙනයි ඉන්නෙ. අමද්‍යප සංවිධානයකට කිසි දා බැඳී නැත්තෙමි!

මට වයස අවුරුදු 20 ක දුවෙක් ඉන්නවා. කිසි දවසක දුවට කියලා නැහැ මත්පැන් බොන්න එපා කියලා. නමුත් මත්පැන් මොළය‍ට බලපාන හැටි කියා දුන්නා ඉතාමත් පුංචි කාලයේ දී ම. මත්පැන් බීලා වෙරිවෙලා කරන අමන මෝඩ වැඩ ගැන කතාබහ කළා. එයා බ්‍රැන්ඩි, රම් දාලා අතුරුපස හා වයින්, බියර් දාලා ආහාර උයනවා. මෙහෙ බොන්න නීතියෙන් පුළුවන් වයස 21 දී. මං දන්නෙ නැහැ එයා බොන්න පටන් ගනියි ද නැද්ද කියලා. නමුත් මොළයේ සෛල විනාශයට හා මොළය අවුල් වෙනවාට ඉතා අකමැති දරුවෙක්!!

මත්පැන් කියන්නෙ සාමාන්‍යයෙන් මිනිසා තුල තියන පසුබෑම් වලින් එළියට එන්න දොරක් අරින්නක්. ඉතින් ටිකක් ලැජ්ජා බය තියන අය මත්පැන් කටගාලා ලැජ්ජා බය පැත්තකට කරන්න පිටතින් ආධාර මත්පැනින් ලබනවා.

ඒ වගේම කෝපි කෝප්පයක් බීලා ‘නඟින’ ශක්තියක් ලැබෙනවා වගේ මත්පැන් වීදුරුවකින් ලැබෙන්නෙ ‘බහින’ තත්වයක්. සැහැල්ලුව බවකට පිටතින් ආධාර මත්පැනින් ලබනවා.

මොළයේ වම් පැත්තෙ තියන භාෂාව හා තර්කය සඳහා වූ ‍සෛල විනාශ කරන්න මත්පැන් සමත්. ගොඩාක් මත්පැන් බොන අයගෙ (සාමාන්‍යයෙන් බොන හා කොහොමටවත් නොබොන අයට වඩා) මොළයේ හැට දාහකට අධික නියුරෝන සංඛ්‍යාවක් දවසක දී විනාශයට පත්වෙනවා. අවුරුදු 30-40 ක් මත්පැන් වැඩියෙන් බොන අයගෙ මොළය අනික් අයගෙ මොළයට වඩා බරින් ග්‍රෑම් 105 ක් විතර අඩුයි.

ඉනෆයිල් කියලා උච්චාරණය කරන oenophile නමින් හැඳින්වෙන්නෙ වයින් බොන්න ආස අයව. වයින් බොන 8% ක පිරිසකට කිවිසුම් යනවා නහය බර වෙනවා වයින් බිව්වට පස්සෙ. වයින් අසාත්මිකතාවය. අද කියන්නෙ මේකට හේතුව වයින්වල අඩංගු සීනි හා ප්‍රෝටීන් නිසා කියලයි.

සාමාන්‍ය මත්පැන් පානය නම් දවසකට මධ්‍යසාරය (alcohol) අවුන්සයක් බීම. ඒ කියන්නෙ බියර් වීදුරු දෙකක් හෝ කුඩා වයින් වීදුරු දෙකක් පමණ.

වැඩිහිටි මොළයට සාමාන්‍ය මත්පැන් ප්‍රමාණය වරදක් නොකළට වයස අවුරුදු 21 ට වඩා අඩු අයගෙ මොළයේ (NMDA N-methyl-D-aspartate) ප්‍රතිගාහක යටපත් කිරීම මඟින් ඉගෙනීම හා මතකයට බාධා පමුණුවනවා. ඒ වගේම වයස අවුරුදු 40 පැන්නමත් මත්පැන් වීදුරු 2-3 ක් සතියකට දවස් හතරක් විතර බොද්දි කළින් වයසට යෑමක් සිද්ධ වෙනවා.

පුරුෂයෝ විසි දෙදාහක් සමඟ කළ පර්යේෂණයකින් සොයාගත්ත දිනපතා බියර් හෝ වයින් වීදුරු එකක් දෙකක් බිව්වම හෘදයාබාධ (ischemic stroke) අඩු කරන බව. එහෙම වෙන්නෙ හොඳ කොලස්ටරෝල් (HDL) වැඩි වීමත් ලේ වල කැටි දිය කිරීමටත් එය ආධාර වන නිසා.

බොන්න සමහරු පෙළඹෙන්නෙ සමාජ ආශ්‍රයට එකතුවෙන සිරිතක් නිසා. ඒත් සමාජ ආශ්‍රය කරන්න නොබී පුළුවන්. මත්පැන් වෙනුවට වතුර, සෝඩා පාන හා තේ කෝපි බොන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ. පිටතක ගියාම සතුටු වෙන්න පුළුවන් මත්පැන් නොබී. හැබැයි මත්පැන් බොන්න කැමැති ම නම් ඒකටත් යම් පි‍ළිවෙලක් තියන බව දැනගන්න ඕනා.

විශේෂයෙන් ම මතක තියාගන්න වැදගත් ම දෙය තමයි බීලා රිය පදවන්න එපා කියල. මොළේ අවුල් වෙන එක සූක්ෂමයි. බීපු අය ගොඩාක් හිතනවා රිය පදවාගන්න බැරි තරමට වෙරි නැහැ කියලා. නමුත් තමුන් බීලා රිය පැදවීම අනිත් අයට කරන අසාධාරණයක්.

අවුරුදු හතක අටක කාලේ දී මම ගෙවත්තෙ සෙල්ලම් කරලා හොඳටම මහන්සි වෙලා ඉස්තෝප්පුවට ගොඩ වුනාම තාත්තා හාන්සි පුටුවක පත්තරයක් පිටිපස්සෙ. පුටුව ළඟ ටීපෝ එකේ පෙණ නැති බියර් වීදුරුවක්. තිබහට බිව්වා වීදුරුවෙන් බාගයක්. තාත්තා දකිද්දි තාත්තයි මායි දෙන්නම අමාරුවේ වැටිලා හමාරයි.

අවුරුදු 12 දී විතර සිරීපාදේ නඟින්න ගිහින් නැවතුනා ගිලීමලේ නැන්දාගෙ ගෙදර. වත්ත පහළ ගඟේ රෙද්දක් ඇඳන් පිහිනන්න ගිහින් රෙද්ද වතුරට ගහලා ගියා! ලැජ්ජාවට පිහිනන එක නවතලා ගෙදර ඇවිත් තිබහට මේසය උඩ ජෝග්ගුවක සුදු පාට පෙණ දාපු පැණි සුවඳින් පිරි පානයක් වීදුරුවක් පුරවලා බිව්වා. දවසක් ම නිදා ගත්ත. ජෝග්ගුවෙ තිබුනෙ ගිලීමලේ අමුතු කිරි ජාතියක් නෙමෙයි අළුතින් පෙරපු කිතුල් රා!

කැම්පස් කාලයේ දී ටීචර්ස් විස්කි හා මෙන්ඩිස් ස්පෙෂල් අරක්කු බෝතල් වලින් මූඩි වලට වත් කරලා බොන තරඟ වලට හවුල් වුනා කැම්පස් කොල්ලො එක්ක. ගම්පහ තිස්සයා මූඩිය දැක්කත් වෙරිවෙන බව කවුරුත් දන්නවා! මම නම් තරඟ දිනපු වතාවල් බොහොමයි!

බොන්න කළින් දැනගන්න ඕන තමන්ට වෙරි වෙන්නෙ කොයි තරම් බිව්වම ද කියල. ඉතින් හැමදාම බොන අය ඉන්නවා මේක නොදන්න.

බොන්න කළින් දැනගන්න ඕන ගෙදර යන්නෙ කොහොම ද කියල.

බොන්න කළින් ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් බඩට දා ගන්න ඕන. හිස්බඩ ‍බිව්වම වෙරි වැඩි. සමහරු සීනි නැති කිරි වීදුරුවක් බීලා හරි තම්බපු බිත්තරයක් දෙකක් කාලා වැඩේට බහින්නෙ. වතුර වැඩියෙන් බොන්නත් ඕන. ඒ ගැන පහළ තව විස්තර.

මත්පැන් මිශ්‍රණ බොනවා නම් එකතු කරන්නෙ මොනව ද කියලා දැනගන්න ඕන. මාගරීටා, බෙලිනි වගේ සීනි කොක්ටේල් බිව්වම ලස්සන වීදුරු, කුඩ දාලා, අන්නාසි පෙති දාලා හැඩ වැඩ තිබුණට, කාන්තාවො අතර ජනප්‍රිය වුනාට, වීදුරු දෙකකට වඩා බිව්වොත් හිස රුදාවත් එක්ක පිඟන් මැටියෙන් හදාපු පිස් පෝච්චි බදාගන්නයි වෙන්නෙ කීම සත්‍යයකි!

ෂැම්පේන් බීලා සාදයක් පටන් ගන්න නරකයි. සීනි වැඩි නිසා සාදය පුරා ම බොන්නත් බැහැ. ෂැම්පේන් බොනවා නම් එක වීදුරුවක් ආශීර්වාදයට තොල ගාන්නෙ. ෂැම්පේන් අනිත් බීම එක්ක මිශ්‍ර කරන්නෙ නැහැ.

මත්පැන් බිව්වට පස්සෙ හිසරුදාවක් ඇතිවෙන්න මත්පැනින් සිදු කරන රසායනික ක්‍රියාවලියට හිස්ටමින්, එතල් මධ්‍යසාරය (හොඳ), මෙතෙල් මධ්‍යසාරය නැත්නම් මෙතනෝල් (ඉතා නරක) හා සීනි යනාදියෙන් වූ රසායන අහිතකර විදියට එකතු වෙලා ලේ ප්‍රවාහයට එක්වෙන නිසා. ඒක වෙන හැටි පැහැදිලි කරන්න කළින් විවිධ වූ මත්පැන්වල මේ හතර තියෙන හැටි ගැන කියන්නම්.

මත්පැන් බවට හරවන්නට පල්කරන (ferment) ධාන්‍ය තමයි බාර්ලි, සහල්, තිරිඟු වගේ දේවල්. ඒවායින් හදන මත්පැන් තමයි බියර් හා සාකේ. හොඳ බියර් හැටියට සැලකෙන්නෙ තනිකරම බාර්ලි දාලා හදන එක. බාර්ලි සහ තිරිඟු නම් හොඳ බව මඳියි. තනිකර සහල් වලින් හදන ඒවයෙ සීනි වැඩි. බියර් හා සාකේ වල සීනි වැඩියි, හිස්ටමින් අඩුයි, මධ්‍යසාරය අඩුයි, හොඳ වර්ගයේ වෙළඳ නාමයක නම් මෙතෙනෝල් ද අඩුයි.

බර්බන්, ස්කොච්, බ්‍රැන්ඩි, කොනියැක් වගේ දේවල් කාලයක් පරණ කරලා හදපු ඒවා. මේ වගේ මත්පැන් වෙනත් බීම සමඟ මිශ්‍ර කරලා බීම සමහරු දකින්නෙ අපරාධයක් හැටියට. පරණ කරන නිසා බොන්න ගන්න කාලෙට සීනි නැති තරම්, හිස්ටමින් නැහැ, මධ්‍යසාරය වැඩියි, මෙතනෝල් නැහැ.

කල් යවපු නැති මත්පැන් වලට අයිති වෙන්නෙ වොඩ්කා, ටෙකිලා, රම් වගේ පාන. මේවා පානයේ දී ඉහළ අගයකින් තියන වෙළඳ නාමයකින් (වැඩි සැරයක් පෙරපු) නොගත්තොත් ලෙඩ ගොඩයි. බාල ටෙකිලා බීලා අමාරුවේ වැටෙන අය ගැන සින්දු හිටන් ලියැවිලා තියෙනවා. හොඳ මත්පැන් වර්ග වල සීනි නැහැ, හිස්ටමින් අඩුයි, මධ්‍යසාරය වැඩියි, මෙතනෝල් මඳ වශයෙන් පවතිනවා. බාල බඩුවල මෙතනෝල් ඉතා වැඩියි. බීලා මැරෙන අයත් ඉන්නවා.

පල් කරලා හදන පළතුරු හා මී පැණි පාන තමයි වයින්, මීඩ්, ෂැම්පේන්. හොඳ වයින් වීදුරුවක බොහෝ සීනි ඇතුළුව සංකීර්ණ දේවල් ඉතිරි වෙලා තියෙනවා. හැබැයි ඒවා ශරීරයට අහිතකර නැහැ. නමුත් බාල වයින් වල තියෙන්නෙ මිදි, මධ්‍යසාරය හා මෙතනෝල් ගොඩක්. ඉහළ අගයකින් යුතු හොඳ වයින්වල සීනි වැඩියි, මධ්‍යසාරය අඩුයි, අඩු මෙතනෝල් හා (රතු වයින්වල) හිස්ටමින් ගොඩක්. මම ඉනෆයිල් අයෙක් නොවෙයි. ස්කොච් විස්කි නැත්නම් බියර් ප්‍රියයි.

මත්පැන් ආමාශයට ඇතුල් වෙනකොට දිරවන්න උපකාරකයක් තමයි ඇඟේ තියන දිලීරමය යීස්ට්. ඉතින් සීනි බහුල මත්පැන් ආමාශයට ඇතුල් වෙද්දී ඇඟ ඇතුලෙ තියන යීස්ට් මත්පැන් එක්ක එන සීනි හා මධ්‍යසාරය එක්ක එකතුවෙලා මධ්‍යසාර අගය වර්ධනය කරනවා. ඒ කියන්නෙ සීනි බහුල මත්පැන් බොන්නාගේ ශරීරයේ යීස්ට් විසින් ආමාශයේ තවත් මධ්‍යසාරය නිෂ්පාදනය කරනවා.

හිමින් බියර් බොද්දී (ධාන්‍ය පෙරා හදන නිසා) සංකීර්ණ වූ කාබොහයිඩේ‍්‍රට පදාර්ථ දිරවන්න කාලයක් ගන්න නිසා වෙරි වෙන්නෙත් හිමින්. ඉතින් අඩු සීනි තියන බියර් (තිරිඟු නැති තනිකර බාර්ලි බියර්) තවත් හෙමිහිට මතය ගෙනෙන්නෙ.

මත්පැන් බොද්දි සීනි බහුල අතුරුපස ගත්තම වෙරි වැඩියි. ඒ වගේම කෝපි කෝප්පයක් බිව්වම වෙරි හිඳෙන්නෙ නැහැ. තේ කෝපි වලින් ශරීරයේ වතුර හිඳිනවා. ගොඩක් බොන්න සෙට් වෙනවා නම් තේ කෝපි බොන එක නවත්තලා දවස පටන් ගනිද්දි වතුර ගොඩක් බීලා, නිතර ගිහින් චූ කරලා, තව වතුර බීලා, ආමාශය වතුරින් පිරිලා තියාගන්න ඕනා. එක මත්පැන් වීදුරුවක් බිව්වට පස්සෙ චූ දාලා ඊ ළඟට වතුර වීදුරුවක් බොන්න ඕනා. අනතුරුව අනික් මත්පැන් වීදුරුව බොනවා. එහෙම ගොඩක් චූ කර කර වතුර බිබී මත්පැන් බිව්වොත් වෙරි වෙන එක අඩුයි. හැබැයි ළමයිනේ මතක තියාගන්න වෙරි අඩුවුනාට මොළයේ සෛල හානිය නවතින්නෙ නැහැ.

වතුර යහමින් බිව්වම, මත්පැන් ‍බොන අයගෙ අක්මාව වැඩියෙන් ක්‍රියාකරන එකටත් පොඩි සහනයක් දෙන්න පුළුවන්.

සමහර අය මත දැනෙන කොට ගිහින් උගුරට ඇඟිල්ලක් දාලා වමනෙ පාරකුත් දාලා එනවා තව බොන්න. ඒක නම් ඉතින් අපරාදේ තමා. සල්ලි දීලා මොකටදැයි එහෙම බොන්නෙ?!!!

ධාන්‍යයට කළින් මිදි (grape before grain) කියමන අදහන අය හිතන්නෙ වයින් වගේ මිදි වලින් හදපු මත්පැන් බීලා පස්සෙ බියර් බිව්වම වෙරි අඩුයි, හිසරුදාව හැදෙන්නෙ නැහැ කියල. තවත් පිරිසක් ‍බ්‍රැන්ඩි, විස්කි බිව්වට පස්සෙ බියර් බොන්න, ඒත් බියර් බිව්වට පස්සෙ බ්‍රැන්ඩි විස්කි බිව්වම ලෙඩ ගොඩයි කියලත් කියනවා; “liquor, beer, never fear; beer, liquor, never sicker” සහ “Beer before whiskey, always risky. Whiskey before beer, never fear.” මේ කියමන් අනිත් පැත්තටත් හරි යයි විශ්වාස කරන අයත් ඉන්නවා.

ඇමෙරිකාව පැත්තට ආවොත් ලෝන්ග් අයිලන්ඩ් අයිස් තේ වීදුරුවක් දෙන්නදැයි ඇහුවොත් මතක තියාගන්න ඒකෙ වොඩ්කා, ජින්, ටෙකිලා, රම් සේරම තියනවා!!! ඇමෙරිකාවේ ඔය වගේ වැඩ බොහොමයි. ජර්සි තේ, පිට්ස්බර්ග් තේ, ඇලස්කන් අයිස් තේ කියලා දෙන බීම වර්ග මත්පැන් වලින් නහවලා.

ඉතින් වයස අමතක නොකර, හානිය දැනගෙන, වෙරිවෙන විදිය අවබෝධ කරගත්තට පස්සෙ බොන නොබොන තීරණය තම තමන්ට බාරයි.

ලෝන්ග් අයිලන්ඩ් අයිස් තේ වීදුරුවේ පින්තූරය විකිපීඩියාවෙනි.

49 Responses

Subscribe to comments with RSS.

  1. ෴වත්෴ said, on දෙසැම්බර් 6, 2010 at 10:56 පෙ.ව.

    හිතවත් අරුණී අක්කේ…

    අක්කා .. ලොකු දුවෙක් ඉන්න අම්ම කෙනෙක් බව දැන ගත්තේ අදයි.

    ලිපියේ මුල හරිය කියවද්දි බීමේ ආදිනව කියන බණ කතාවක් කියල හිතුවට ලිපියේ අන්තිම මැද හරියට එන කොට මටත් මඳ පමණට දස්ට කරන්න හිතුන.

    මාත් පුංචි කාලේ “තෙලිජ්ජ” බීල තියෙනවා…අපේ ගෙදරත් කිතුල් මලක් කැපුව ගොඩක් ඉස්සර ඒත් කිතුල් එා ගන්න නම් නෙමෙයි….

    බ්‍රැන්ඩි වගේ සැර දෙයක් එකම එක පාරක් මුඩියෙන් එකක් බීල තියෙනවා ඒත් ස්කෝල යන කාලේ. බඩේ අමාරුවකට….

    අනේ අක්කා දැන් නම් ආසයි ඇත්තටම ටිකක් වෙරි වෙන්න බොන්න….හැබැයි ඟඳ නැති දෙයක්.

    I think Beer is the world’s oldest and most widley consumed alcoholic bevarage and the 3rd most popular drink” overall after water and tea.

    Fermantation නිසා හැදෙන අනගි ඵලයක් නෙව ඉතින් මධ්‍යසාර.

    වයින් හදන්නේ මිදි වලින් කියල ගොඩක් දෙනා හිතුවට වයින් වෙනත් දේවල් වලිනුත් (non-toxic plant materials) හදනව නේද?

    පරණ වෙන තරමට හොඳ වෙන එකම දේ වයින් ද මන්ද?

    නියම ලිපිය අක්කා… අක්කා කෑම බීම ගැන ලියනවට මම ගොඩක් කැමති….

    පුංචි ඉල්ලීමක් තියෙනවා… චීස් ජාති ගැනත් ඉඩ තියෙන වෙලාවක පුංචි කතන්දරයකුත් එක්ක ලියන්ව පුලුවන් ද?

    ස්තූථියි …

    • Grey said, on දෙසැම්බර් 6, 2010 at 12:46 ප.ව.

      මේක ප්‍රයොජනයක් වෙයිද මන්දා…
      http://www.cheese.com/ කෝකටත් ගිහින් බලන්නකෝ..

      හොද වයින් එකක් එකකුයි චිසුයි තියෙනවා නම් කියලා වැඩක් නෑ…

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2010 at 1:42 ප.ව.

      ෴වත්෴, ඔව්නෙ දුව ලොකුයි, මටත් සමහර කරුණු කාරණා උගන්නන්නෙ ‍එයා දැන් 🙂

      නංගියා කියපු එක නිවැරදි. බියර් තමා ජනප්‍රිය පානය.

      1725 දී බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ලන්ඩන් මුද්‍රණාලයක වැඩට යද්දී උදේට බියර් බීලා වැඩට එන සිරිතක් ලන්ඩනයේ තිබුණලු. බියර් බිව්වම ශාරීරික ශක්තිය වැඩිවෙනවා කියල මිනිස්සු හිතලා තියෙනවා. බෙන්ජමින් බියර් නොබී වැඩ කරන්න ශක්තිය තියන බව පර්යේෂණයක් කරලා ඔප්පු කළා කියල ඉතිහාසයේ කියැවෙනවා.

      හැබැයි පරණම මත්පැන හැටියට සැලකෙන්නෙ මී පැණි වලින් හදන මීඩ් (mead) කියන්න. ඊට මී පැණි වයින් කියලත් කියනවා.

      ඔව්. වයින් හදනවා වෙනත් දෑ යොදලා. යුරෝපීය යුනියන් අය නම් වයින් කියන්නෙ මිදි වලින් හදපුවා විතරයි කියලා නීතිගත කරලා තියෙන්නෙ. ඇපල් හා බෙරි වර්ග වලින් හදන පළතුරු වයින් ගෙවල් වල දී හදන අය ඉන්නවා. සමහරු සහල් වලින් හදන සාකේ වයින් හැටියටත් නි‍යෝජනය කරනවා. චීන අය 21 වන ශත වර්ෂයේ දී මාළු දාලාත් වයින් හැදුවාලු! ඇමෙරිකන් අය හමුදා පණුවෝ (army worms) කියන පතඞග වර්ගයක් (Spodoptera frugiperda) දාලා වයින් හදලා තියෙනවා. ඇමෙරිකාවේ අය වල් පැළෑටියක් වන ඩැන්ඩිලයන් වයින් හා මර්වානා කොළ තම්බලා වයින් හදනවා. ස්කොට්ලන්තයේ කැරට් හා ටර්නිප් වලින් වයින් වගේම ඉතා ඈත අතීතයක සිට පෝලන්තයේ මී පැණි වයින් හදනවා.

      Grey මතක් කරපු වයින් සමඟ චීස්, කියල වැඩක් නෑ නේන්නම්!!

      මද්දු කියන පුස්කොල පොත්, සෙල්ලිපි වගේම පරණ වෙන තරමට හොඳ දෙයක් තමයි චීස්. සාද සමයේ කන දේවල් ගැනත් ලියන්න වෙනවා දැන්!

      • ෴වත්෴ said, on දෙසැම්බර් 6, 2010 at 1:50 ප.ව.

        ම්ම්… විස්තර වලට ස්තූතියි…

        අක්ක දන්නව ද කාල්ස්බර්ග් බියර් වලට ඒ නම ලැබිල තියෙන්නේ ඒව ස්ට්‍රේන් කරන්න ගන්න S. ceravisiae carlsbergensis කියන දිලීරය නිසා ලු…( දිලීරයක් ද කියල හරියටම මතක නැහැ)

        • arunishapiro said, on දෙසැම්බර් 6, 2010 at 2:14 ප.ව.

          ෴වත්෴,
          ඒකත් කුකුලා ද බිත්තරය ද වගේ කතාවක්. කාල්ස්බර්ග් කොම්පැණිය ද යීස්ට් එකට නම දැම්මෙ? යීස්ට් එකෙන් ද බියර් එකට නම වැටුනෙ? විකිපීඩියාවට අනුව 1883 දී එමිල් ක්‍රිස්ටියන් හාන්සන් ඩෙන්මාර්කයේ ‘කාල්ස්බර්ග්’ මද්‍යසාරය පෙරන ස්ථානයේ රැකියාව කරද්දී Saccharomyces carlsbergensis නම යීස්ට් වලට භාවිතා කරල තියෙන්නෙ.

    • කළු පූසා said, on දෙසැම්බර් 6, 2010 at 2:10 ප.ව.

      ගඳ නැති ජාතියක් නම් ඉතින් ඔයාට බොන්න වෙන්නේ වතුර තමයි 😀

      • ෴වත්෴ said, on දෙසැම්බර් 6, 2010 at 2:22 ප.ව.

        ඇයි ඉතින් මේවා ඒ තරමට ගඳ ….

        @ අරුණි අක්කා
        වෙල් ෆැන්ටා ගැන දන්නෙ නැද්ද…ශ්‍රී ලංකාවටම ආවේනිකයි ….

        • arunishapiro said, on දෙසැම්බර් 6, 2010 at 7:50 ප.ව.

          ෴වත්෴, //ඇයි ඉතින් මේවා ඒ තරමට ගඳ ….// දිලීර වැනි මුහුන් ජාති දාල හදන නිසා ගඳ!!!

          වෙල් ෆැන්ටා ගැන කිසිම විදියක දැනුමක් නැහැ. කවියකින් ම විස්තරයක් දාන්න. හැමදාම සොඳුරු සිත බලන්න එනවා.

  2. Grey said, on දෙසැම්බර් 6, 2010 at 11:17 පෙ.ව.

    Came to the site after a very long time..Got busy with life.
    Awesome article Aruni. Something I really love.

    Actually the question is what you prefer, a good heart and a bad liver/brain or a good liver/brain over bad heart.. hik hik.

    In my case I’m proud to say I never drink more than I can handle. I never exceed my limits, which comes handly sometimes when my mates need someone to carry them home.

    Personally I don’t like the taste of beer (no idea why) and smell of toddy. but I love Ale.
    Whisky is alright and prefer neet. Still don’t understand the concept of mixing it with coke, when you can enjoy a glass with rocks in a good pub.

    Taking about cocktails from my point of view thats the best way to enjoy a drink. Love mojito, pina colada and margarita.
    http://mybestcocktails.com got some nice receipes for cocktails.

    Oh…you forgot something..Absinthe 😀 You definitely have to write about it.

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2010 at 12:51 ප.ව.

      Grey,
      Absinthe අද ලෝකයේ බොහොම රටවල් තහනම් කරන ලද වස පානයක් නිසයි නොලීවේ. ප්‍රංශයෙන් ‍එළියට ආපු මෙය අද ප්‍රංශයේ ද තහනම්. ඒත් අළුත් ප්‍රංශය වෙලා තියන චෙක් රිපබ්ලික්හි ප්‍රාග් වල නම් නැඟලා යනවලු. Science News හි 2000 අප්‍රෙල් 1 දා, මෝඩයාගෙ දිනය නිසා විහිළුවක් නම් නෙමේ, පිටු 214 ලියලා තියෙන විදියට ඇබිසින්ත් ඒවා බොන අයව මනස්තාපයට හා සියදිවිනසා ගැනීමට පොළඹවන්නක්. ඇබිසින්ත්වල ඇති හානිකර ක්‍රියාකාරී ද්‍රව්‍යය (active toxic ingredient) තමයි alpha-thujone.

      GABA -gamma aminobutyric acid කියන්නෙ ශරීරිය විසින් නිපදවන නිෂේධකයක් (inhibitor). නිෂේධකයක් කියන්නෙ අල්ලා බැඳ තබන, පස්සට දාන නැතහොත් යටපත් කරන්න හැකියාව ඇති දෙයකට. මොළයේ රසායන අතර අඩු GABA හා අඩු serotonin මට්ටම් පැවතිය දී පුද්ගලයාගේ ප්‍රචණ්ඩත්වය හා මැර භාවය ඉහළ යනවා. ඒ වගේම ඉහළ දෙක වැඩි වෙද්දී අයෙක් කිසිත් නොකර පැත්තකට වෙනවා.

      ඇබිසින්ත් වල තියන ඇල්ෆා-තුජෝන් කරන්නේ මොළයේ ප්‍රතිග්‍රාහක වලට GABA ඇතුල් වෙන්න ඉඩක් දෙන්නෑ. ඇතුලට යන්න ඉඩක් නොදුන්නාම නිෂේධක ලක්ෂණ වලට ක්‍රියාකාරී වන්න නොලැබී මොළයේ නියුරෝන හිතුමතේට හැම අතම යන්න ඉඩ‍දෙනවා. ඉතින් ඉතා වේගයෙන් ඉහළ ආවේග වගේම ඉතා වේගයකින් පහළ ආවේග පහළ යන්නත් පටන් ගන්නවා. ඉතින් සතුට හා දුක ක්ෂණිකව ඉහළ හා පහළ යනවා. ඉන්ද්‍රජාලයන්, මායාවන් පේන්නත් පටන් ගන්නවා!! ඒකෙන් නම් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි නේද?

      • Grey said, on දෙසැම්බර් 7, 2010 at 9:06 පෙ.ව.

        ඇබ්සින්ත් මමත් බීලා නෑ.. නමුත් ලගදි දවසක සුපර්මාර්කට් එකේ තියෙනවා දැකලා මම උඩ ගියා..මම හිතන් හිටියේ මෙහෙත් ඇබ්සින්ත් තහනම් කියලා…බැලින්නම් තහනම් නෑනේ.

        හැබැයි ඇබ්සින්ත් තරම් කතාවලට හේතු වෙච්ච වෙන බීමක් නැතුව ඇති මගේ හිතෙ..

  3. මද්දු said, on දෙසැම්බර් 6, 2010 at 11:27 පෙ.ව.

    මාත් මුලින්ම හිතුවේ බීමට එරෙහි අමධ්‍යප සංවිදානයට තවත් සාමාජිකයෙක්දෝ කියල….පස්සෙ හිතුනා මරනය අය්යලෑ සංවිධානයට අයත් එක්කෙනෙක්දෝ කියල…කොහොම වෙතත් හරිම වටිනව…බොන කට්ටියට හරියට දැනගෙන බොන්නත් බණින කට්ටියට හරියට දැනගෙන බනින්නත් ඔබ තුමියගේ ලිපිය වැදගත් වේවි.

    වත්-ඇයි පුස්කොල පොත්,සෙල්ලිපි…පරණ වෙන්න වෙන්න අගේ වැඩියි!!!

  4. දුමී said, on දෙසැම්බර් 6, 2010 at 11:27 පෙ.ව.

    අරුණි,

    ඉතාමත් රසවත් වගේම වැදගත්, දැණුම බෙදන ලිපියක්. අර වත් කිව්වත් වගේ මේක කියෙව්වහම පොඩි ස්කොච් ශොට් දෙකක් ගන්නත් හිතුනා. 🙂

    කොහොම නමුත් ඔබගේ මත් පැන් ගැන දැනුවත් වීම ඉතා ඉහලයි කියල පේනවා. අපිනම් ඉතින් ඔය සෙට් වෙනකොට, කටට රස , පහුවෙනිදට ඔළුවෙ කැක්කුම හැදෙන්නෙ නැති විස්කි ජාතියක්, වොඩ්කා, රම් බොනව මිසක් ඕකෙ තියෙන්නෙ එතනෝල්ද, මෙතනෝල්ද කියලනම් හොයලා බලන්නෙ නැහැ.

    ස්තූතියි දැනුවත් කිරීම ගැන.

  5. Jeew ගේ සටහන් said, on දෙසැම්බර් 6, 2010 at 11:43 පෙ.ව.

    මමත් කසිප්පු ඇරෙන්ඩ ගොඩාක් ජාති මඳ පමණින් නෙමෙයි, උපරිම පමණින් දෂ්ඨ කරපු කෙනෙක්. ඒත් ගේ ඇතුලට ආපුවහම තනි කෙලින්…. අම්මා දැන ගනියි කියලා.
    හැබැයි ඒ මීට අවුරුදු 3 කට ඉස්සර…

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2010 at 12:59 ප.ව.

      Jeew ගේ සටහන්, අපි ගිය අවුරුද්දෙ මියුනික් ඉඳන් ෆ්‍රැන්ක්ෆර්ට් යන්න කෝච්චියකට ගොඩවුණා. වයස 20 -25 අතර ජර්මන් තරුණයෙක් අපේ පෙට්ටියටම නැඟ්ග. කෝච්චිය යද්දි මිනිහා බෝතලයක් ඉවර වෙන කොට බෝතලයක් ගානේ පොඩි බියර් බෝතල් පහක් හයක් බීවා. ස්ටේෂන් එකට පොඩ්ඩක් කළින් මෑන් වැසිකිළියට ගිහින් ආවා. කිලෝමීටර් 392 ක් පැය තුනහමාරක දී ගිය කෝච්චියෙන් බැහැලා යද්දී පොඩ්ඩක් වත් වැනිල්ලක් නැතිව කෙළින් ඉරක ඇවිදින විදියට යන හැටි අපි බලාගෙන හිටියෙ පුදුමයෙන්!

  6. rachiyo said, on දෙසැම්බර් 6, 2010 at 12:36 ප.ව.

    නියම ආටිකල් එකක්. ඔය හැම එකේම හොඳ නරකක් තියෙනවා. කොටින්ම පිං කරන එකෙත් එහෙමයි.

  7. kevin perera said, on දෙසැම්බර් 6, 2010 at 1:32 ප.ව.

    two thumbs up aruni at last i got something to read. thank you

  8. නුවන් කුමාරනායක said, on දෙසැම්බර් 6, 2010 at 1:43 ප.ව.

    අනිවාර්යයෙන්ම. මඳ පමණට මඳ පමණට මඳ පමණට..

  9. කළු පූසා said, on දෙසැම්බර් 6, 2010 at 2:04 ප.ව.

    මේ ලිපිය දැනට ලංකාවේ ඇති නීතිය අනුව නම් සම්පූර්නයෙන්ම නීති විරෝධියි. කරුණාකරලා මේ ලිපියේ අකුරු වෙනුවට කොටු දාන්න. මොකද මෙහෙ මත්පැන් සම්බන්ද දේවල්වලදී කොටු කොටු දානවා. 😀

    මද්‍යසාර භාවිතය 100% ම හොඳයි කියන්න බැරි උනත් යම් කිසි විශේෂ අවස්ථාවකදී , සාදයකදී වගේ තැන්වල මද පමණින් ගත්ත කියලා මොලයට ඒ හැටි හානියක් වෙන්නේ නැහැ. ඒත් ඉතින් හැම වෙලාවෙම ගන්න ගියොත් නම් ඉතින් ප්‍රශ්න තමයි.

    අපිත් ඉතින් class එකේ යාළුවොත් එක්ක හොරෙන් Beer එකක් ගැහුවට ගෙදරට ඉන්නේ Beer එකක් ඇහැටවත් දැකල නැති ගානට.

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2010 at 2:38 ප.ව.

      කළු පූසා, කොටු දාගනියි කැමති අය!!

      මතට තිත යයි නීතියෙන් තහනමක් තිබුණාට ලංකාවේ මත්පැන් බොන එක අඩුවෙලා නැහැ. 2002 දී ලීටර් මිලියන 124.17 ක් බිව්ව ජනතාව 2007 දී 146.95 ක් බීලා! නීති විරෝධී මත්පැන් 77% ක් වෙළඳපොල අල්ලා ගෙන තියෙද්දී නීතිගත මත්පැන් වලට ලැබිලා තියෙන්නෙ 22% ක්. දේශීය නිෂ්පාදන වන කසිප්පු අලෙවියට නිසි තැන! හැබැයි වැඩියෙන්ම මත්පැන් බොන්නෙ ද්‍රවිඩ අයයි (43%) කියල කියන්නෙ?!! සිංහල අය 32% සහ මුස්ලිම් (මත්පැන් තහනම් අය) 9% ක් මත්පැන් පාවිච්චිය?!!

      • විත්ති said, on දෙසැම්බර් 7, 2010 at 1:48 පෙ.ව.

        අක්කා කියනවාද නැන්දා කියනවාද ?
        ම්හ් සැහෙන්න බොන්න ඔනේ ප්‍රශ්ණයක්නේ

        හොද උසස් තත්ත්වයේ මත්පැන් බොනකොට හානි අඩුයි තත්ත්වය අඩු මත්පැන් බොන අයට වෙන හානිය වැඩියි.
        නරකද තත්ත්වයෙන් උසස් මත්පැන් අඩුමිලට ලබා දෙනවා නම්.එතකොට අර කසිප්පු බීල ලෙඩ වන මිනිස්සුන්ට අඩු ගානේ හොද දෙයක් බීලා මැරෙන්න පුලුවන් නේද

        • arunishapiro said, on දෙසැම්බර් 7, 2010 at 7:44 පෙ.ව.

          විත්ති,
          නැන්දා හරි, නැත්නම් ආච්චි කිව්වත් කමක් නෑ!! බොන්න කැමති අයට හේතුවක් ඕන ම නෑනේ!!

          ලංකාවේ එතනෝල් 65% ක් මිනිස්සු බොන්නේ කසිප්පු වලින් යැයි ලෝක සෞඛ්‍යය සංවිධානය කියන්නෙ. අරක්කු වල 28% ක් හා බියර් වල 3% ක් එතනෝල් යැයි ද එහිම සටහන්.

          තත්වයෙන් උසස් ඕනෑම දෙයක නිෂ්පාදන වැය වැඩියි. ඒ නිසාම අඩු මිලට ලබා දීම නොහැකියි. කවුරු හරි කෙනෙක් (රජය විසින් දුන්නත් රජයේ බරපැන දරන අය) ඊට ගෙවිය යුතුයි. බීලා මැරෙන්න කළින් ඒ අය සෞඛ්‍යය සේවා පහසුකම් ලබනවා. ඊට ද වැයක් කවුරු හෝ දැරිය යුතුයි. ඉතින් බොන අය අතම තමයි ඒ බරපැන තිබිය යුත්තෙ. කාටවත් බොන්න කියලා නීතියක් පනවලා නැති නිසා!! ඕකට විසඳුම බාල බඩු වෙනුවට අනගි බඩු අඩු මිලට දීම නොවේ. අනගි බඩු ගන්න මහජනයාගේ හැකියාව ඉහළ දැමීමයි. එතකොට බාල බඩු පාවිච්චිය ඉබේම නැතිවෙනවා.

  10. Ansh Lucky Sri Jay said, on දෙසැම්බර් 6, 2010 at 2:23 ප.ව.

    හොඳ ලිපියක්.. එක හුස්මට කියෙව්වා, ඒ තරම් සිත්ගන්නා සුළුයි ලිවීම.
    [බීම ගැන නම් මම මුකුත් කියන්නේ නෑ, මෙතන කමෙන්ටු දැමූ සහ දමන අපි එකිනෙකාගේ අදහස් එකිනෙකාට වෙනස් නෙව] 🙂

  11. පිටස්තරයා said, on දෙසැම්බර් 6, 2010 at 2:50 ප.ව.

    අරුණි ශපීරෝගේ දිග දාර්ශනික ලිපි කියවන්න වෙලා නැති නිසා කාලයක් නෑවිත් හිටිය තැනට ආයෙ ඇදල දැම්මෙ මේ බීම ගැන තිබුන නිසා. එහෙම්මම බේබද්දෙක් නොවුනට මම නොබොන කෙනෙක් නෙවෙයි.

    seriously ගොඩක් වටින ලිපියක්. බොනකොට දැනගෙන බොන එක වැදගත්. ඊයෙ පෙරේදත් සීමාව නොදන්න යාලුවෙක් සෙට් වෙලා ලොකු කරදරයකට ඔන්න මෙන්න පැටලෙනවා.

    වතුර බොන එක ඉගෙනගත්තෙ උසස් පෙලේදි. ඇල්කොහොල් අණුවෙ bond එක කඩන්නෙ ජලය අණුවක් බිඳිලා කියල තාම මතකයි. ඒක තමයි වතුර වැඩි පුර බො‍න්නෙ.

    අර ප්ලේටොගේ සෙවනැලි කතාවෙන් පස්සෙ කියවපු ආටිකල් එක මේක.

  12. paspanguva said, on දෙසැම්බර් 6, 2010 at 10:57 ප.ව.

    යාපනේ රා ඔය හැම බීමටම පරාදයි …!

  13. රවා said, on දෙසැම්බර් 6, 2010 at 11:47 ප.ව.

    නියමයි. නමුත් මත්පැන් වලින් මිනිස්සුන්ව නැති කරද්දි තව තව ගොඩාක් ලස්සන දෙවල් ඇති කරනවා. එක එක හේතුවලට බොන මිනිස්සු ඉන්නවා, බුද්ධිය තර්කය හැමවිටම යොදලා බැහැ.
    දැන් කොහොමද සීත කාලෙට ඔය රටෙ සිත කාලෙට ජිවත් වෙන්නෙ. 😀
    බොහොම හොද තොරතුරු ටිකක් අක්කා බෙදාගත්තෙ.
    දැන් තියන්නෙ සීනි කැම බයිට් වලට අරන් අන්තිමට කොපි එකක් හරි තේ එකක් සෙට් කරගන්න බලාගෙන පාර්ටි එකට සෙට් වෙන්න 😀

    ස්තුති තොරතුරු වලට.

  14. සුළඟ said, on දෙසැම්බර් 7, 2010 at 1:35 පෙ.ව.

    හොඳ ලිපියක්. බටහිර රටවල නම ඉතින් වතුර වෙනුවට බොන්නෙත් බියර්නේ. ජර්මනියෙ නම් සමහර නගරම (මියුනික්, ඩෝට්මුන්ඩ්) තියනවා බියර් cities විදියට.
    මැණික්(සුළඟ)

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2010 at 7:55 පෙ.ව.

      සුළඟ, බටහිර රටවල අතීතයේ පටන් මත්පැන් බොන්න හුරුවක් වූයේ වතුර පිරිසිදු කිරීමට පිළිවෙත් නොතිබූ නිසා. අතීතයක දී බටහිර වැසියෝ නාන්න අකැමති වුනෙත් ඒක නිසාමයි. නෑවාම ලෙඩ බෝ වෙනවා කියලා. පිරිසිදු පානීය ජලය, විශේෂයෙන් ම සීත සමයේ සොයාගත නොහැකියාව නිසා, ළිං හා ගංඟා වතුර පානය ලෙඩ රෝග හා මරණය කැඳවූවා. කාලයාගේ ඇවෑමෙන් වතුර පිරිසිදු කරගන්නට දැනගත්තත් පුරුදු කඩන්න අමාරුයි!

      චීන අය තමයි මුල් කාලයේ ඉඳලම වතුර උණු කරල තේ හදලා බීලා නිසි සෞඛ්‍යය රැකගත්තෙ. චීනයේ සහ ඉන්දියාවේ බිලියන ගණනින් ජනතාව ඇත්තෙත් ඒ නිසාම වෙන්නැති!!

  15. නිශ් said, on දෙසැම්බර් 7, 2010 at 2:17 පෙ.ව.

    මගේ නම් අදහස මත් පැන් පානය කල යුත්තේ විඳීමට මිස විඳවීමට නොවෙ යන්නයි. එය කරන්නේ කෙසේද යන්න අපූරුවට විග්‍රහ කරල තියෙනව.
    හොඳ ලිපියක්

    • විත්ති said, on දෙසැම්බර් 7, 2010 at 8:14 පෙ.ව.

      මමත් ඔයත් එක්ක එකගයි.නමුත් හුගක් කට්ටිය මත්පැන් බොන්නේ දුක නැතිකරන්න එහෙම නැත්නම් ප්‍රශ්ණ අමතකරන්න.

      දවස ගානේ හම්බ කරලා අන්තිමට ගෙදර ගිහින් ගැනිට ගහන්න.
      මම හිතන්නේ නැ ශ්‍රී ලංකාවේ හුගක් කට්ටිය නියම වයින් ටිකක් , කොක්ටේල් එකක් තියා විස්කි ටිකක්වත් හරියට බීලා තියෙනවා කියලා.

  16. said, on දෙසැම්බර් 7, 2010 at 6:51 පෙ.ව.

    හරියටම තමන් වෙරි වෙන ප්‍රමානය බොන ගොඩක් අය දන්නවා ඒත් අවුල තියෙන්නේ එතනින් නවතත්න එකේ.

    long island iced tea එකක් රස බැලීමේ ආසාවකින් ගොඩක් කාලයක සිටන් හිටියත් තාම නම් ඒක අවස්ථාවක් හම්බ වෙලා නම් නැහැ

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2010 at 7:23 පෙ.ව.

      ම,
      //තමන් වෙරි වෙන ප්‍රමානය බොන ගොඩක් අය දන්නවා// වෙරි ඇතැයි යයි තමා දන්නේ ද එවැන්නා නිරවුල් කල්පනා ශක්තිය පහුකරන් ගිහින් ගොඩාක් දුර. තනියම සොයා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. පැහැදිලි චින්තනය අවහිර වෙද්දී නවතා ගන්න නොහැකියාව ඉබේම පස්සෙන් එනවා! ලෝන්ග් අයිලන්ඩ් තේ හදන හැටි මෙතැනින් කියවන්න.
      http://www.foodnetwork.com/recipes/long-island-iced-tea-recipe/index.html

  17. විත්ති said, on දෙසැම්බර් 7, 2010 at 8:08 පෙ.ව.

    ඇත්ත හැබැයී මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන එක ටිකක් දිගු කාලින කටයුත්තක් නේද

    දැනට ශ්‍රී ලංකාව මත්පැන් ලීටරයකට රු 96 ඉදන් රු 955 දක්වා බදු අයකරනවා.හැබැයි කසිප්පු රු 50 ටත් ගන්න පුලුවන්.
    අයකරන බදු වලින් බලාපොරොත්තු වන්නේ මත්පැන් පෙලබවීම අඩුකිරීම සහ මත්පැන් හේතුවෙන් රෝගී වෙන අයට බෙහෙත් කිරිම වෙන්න ඕනේ.

    නමුත් නරකද කෙටි කාලීනව හරි සාධරණ ලෙස බද්දක් අය කරලා කසිප්පු වගේ විෂ මත්පැන් අයින් කරන එක.
    හැබැයි තව දෙයක් අපෙ මිනිස්සු බොන්නේ ලීටර් ගනන් ඉතින් පුදුමයක් නෙමේ ලෙඩ වෙන එක

    • විත්ති said, on දෙසැම්බර් 7, 2010 at 8:10 පෙ.ව.

      උපුටා ගත්තේ
      http://www.lankanewspapers.com/news/2010/11/62286_image_headline.html

      ඔය ගාණ පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුලුවන්

    • arunishapiro said, on දෙසැම්බර් 7, 2010 at 8:31 පෙ.ව.

      විත්ති,
      //මිනිසුන්ගේ ආදායම වැඩි කරන එක දිගු කාලීන කටයුත්තක්// නොවේ. මැද පෙරදිග රැකියා අවස්ථා ලබා දීමත් සමඟ ලංකාවේ ආදායම් තත්වයන් ටික කලක දී ඉතා ඉහළ ගියා. නීති රීති ලිහිල් වෙද්දී (ජනතාව කොහොමටත් කැමති නිසා) මුදල් හම්බ කරන මාර්ග වැඩි වෙනවා. කෙටි කාලීනව කරන්න ඇහැකියි ඊට ඕනෑකමක් තියේනම්. හැබැයි අනුන්ගේ ආදායම් වලින් තමන්ට ‘ගතමන්ට්’ එකකුත් හොයාගන්න අදහස් ඇති අය නීති රීති අතැති නිසා තමයි හැම රටකම ආදායම ඉහළ යෑම දිගු කාලීන වෙලා තියෙන්නෙ.

      කසිප්පු වලින් බදු අය කළාට වැඩක් නැහැනෙ. කසිප්පු වැඩියෙන් විකුණන්නෙ හොරෙන්. ඉතින් බදු එකතු කරගන්න බැහැ.

      විස්කි, බ්‍රැන්ඩි බදු ගෙවලා මිසක් රටට ගේන්න අමාරුයි.

      මෙයින් පැහැදිලි //බදු වලින් බලාපොරොත්තු වන්නේ මත්පැන් පෙලබවීම අඩුකිරීම සහ මත්පැන් හේතුවෙන් රෝගී වෙන අයට බෙහෙත් කිරිම වෙන්න ඕනේ.// යන්න බොරු සෝබන කතාවක් කියලයි!!! තනිකරම බදු වලින් බලාපොරොත්තු වෙන්නෙ ගෙවන යකාගෙන් ගාණක් කපාගන්න හැකියාව!!!

      කසිප්පු බොන්නෙ වැඩියෙන්ම ඊට මත්පැන් ඇබ්බැහියක් ඇති අය. සමාජ සබඳතා වර්ධනයට කසිප්පු බොන අය නැහැ. ඒක වෙනම මානසික රෝග ගැන කරන්න ඕන කතාවක්.

      • /! තනිකරම බදු වලින් බලාපොරොත්තු වෙන්නෙ ගෙවන යකාගෙන් ගාණක් කපාගන්න හැකියාව!!!//
        අක්කේ අක්කා කිව්ව කතාව ඇත්ත .මැතකදී බිලා ලෙඩ වෙන අයගෙන් රු 2000 ක් ගන්න ගිහින් වෛද්‍යවරුන්ගේ මැදිහත් වීම මත නැවැත්තුවානේ

        • arunishapiro said, on මාර්තු 12, 2011 at 10:47 පෙ.ව.

          ක්ෂිතිජ විජේමාන්න | විත්ති,
          වැරදි පාලනය නිසා පාලකයාගෙන් සල්ලි ගන්න ක්‍රමයක් තිබුණා නම් මා ඕ සේතුං, ජෝර්ජ් බුෂ් පුතා, ගඩාෆි, මුබාරක්, පූටින් වගේ අයගෙන් සෑහෙන්න සල්ලියක් ආණ්ඩුවට හොයාගන්න තිබුණ. අපි පුද්ගලික අංශයේ අය කරන පාලන වරදවල් නිසා ඔවුන්ට දඬුවම් හා අලාභ ගෙවන්න කිව්වාට කිසිවිටෙක ආණ්ඩු අංශයේ අයව ඊට ලක් කරන්නේ නැහැ. තියාගන්න බැරි තරම් අපුල වුනාම ගෙදර යවනවා විතරයි.

  18. sujeewa said, on දෙසැම්බර් 8, 2010 at 5:42 ප.ව.

    හිනා වෙන්න එපා ළමයි ජීවිතේට ම බීලා නෑ.

    එහෙම කිව්වෙ කිසිම ලැජ්ජවකින් නොවේ. මොකද මා එය කැමැත්තෙන් කළ නිසා. කොටින්ම කට්ටියක් මැද්දේ මගේ මතය කියන්න ගට ආවේ බොන සෙට් මැද්දෙ බයිට් කමින් උන්ගේ සොමිය බෙදා ගන්නා සහ උන්ගෙ බල කිරීම් නිෂේධනය කරනා හැකියාවෙන්.

    මං උපන්නේ ලංකාවේ රා ගම්මානයක. ගම්මුන් කාණු පල්ලෙ වැටිලා හිටි හැටිත්, සිහියෙන් ඉන්න කොට මා දැවැන්තයෙකු සේ දකින [සයිස් එකෙන් නොවේ] මාමා කෙනෙක් ඉඳලා හිටලා බීලා විහිළුවක් වන හැටිත් දැකලා මං ඒ කාලේ තදින් පිළි පදි ආගමික මතත් ඔස්සේ හිත්ලා බොන්න පෙළඹුනේ නෑ. අමද්‍යපයේ හිටියා සභාපතියා [අපේ පැත්තේ] කුනු වෙන්න ගහලා ඉන්න හැටි දකින කම්.

    ලොකු වුණාම බීමේ රසවත් පැත්ත දැක්කත් ඒ වෙනකොට මට නොබී ඉන්න හේතු තිබ්බා. මොකද මනස කියන විශ්ලේෂණ ඉන්ද්‍රිය අවසඟ වනවාට වඩා මං ආසා අනික් උන්ගෙ හිතත් විනිවිද යා හැකි නම්. වින්දනය හා ප්‍රකාශණය කරන්න මට බීම ඕනෑ වුණේ නෑ. යාළුවෝ කිව්වේ නොබී ඉන්න එක හොඳයි නැතුවත් මෙහෙම නම් බීලා මොකක් වෙයිද කියලා. “කවුරුවත් කරන දේවල් කරන එකෙක් නෙවෙයි මම” කියා හිතන නිසා පෙරැත්තය බයිට් කිරීම වගේ දෙකයි පණහේ වැඩ වලට මා නතු වුණේ නෑ. මෙහෙ කැම්පස් නොගිය නිසා රැග් කියන අපරාධයට හසු වී බොන්න වුණෙත් නෑ.

    දිගට ලිව්වෙ වෙනස් මතයක් කියන්න. මා මෙහි සඳහන් කළ හේතු නිසා බොන්නට පෙළෙඹෙන සංඛ්‍යාව, සිය කැමැත්තෙන් බොන සංඛ්‍යාවට වැඩියි [ලංකාවේ] කියා මා හිතන්නේ. එහෙම බොන්නේ නිවට කමටයි. බොන්න ඕන්නම් විතරයි බොන්න ඕනේ. social drinking කියන්නේ මටනම් විහිළුවක්.

    ලංකාවේ බියර් විතරක් බොන “අමද්‍යප කෙල්ලන්” ඉන්න බව ඔබ දන්නවාද?

    බොන එක ෆන් සමහරුන්ට. ෆන් එකට බීම අත්‍යාවශ්‍යයි තවත් අයට. එහෙම තැන් වල ඉන්න එක අපටත් ෆන්. නොබීවාට බීමට විරුද්ධ නෑ.

    චියර්ස්.

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2010 at 9:42 පෙ.ව.

      sujeewa,
      පුද්ගලයාගේ අයිතියට, නිදහසට, හිනාවෙන්නෙ නැහැ. මගේ සුද්දත් ජීවිතේටම මත්පැන් බීලා නැති කෙනෙක්. වෙන කිසිම හේතුවක් නිසා නෙවේ මොළය අවුල් වෙනවට අකමැති නිසා!!

      මගෙ සුද්දා මාව බලන්න බ්‍රිටිශ් කොළොම්බියා විශ්ව විද්‍යාලයට ආව වේලාවක එයාවත් ඇදගෙන කන්න ගියා කැන්ටිමට. කැන්ටිමේ කෑම එක්ක බියර් විකුණනවා. කෑම බන්දේසියට එකතු කරගෙන එයා බොන්න ගත්තෙ රූට් බියර් (root beer). කැනඩාවේ දෙයක් රහ බලන්න මම ගත්තා ගෝනහිස් බියර් (moosehead beer) එකක්. බලන කොට එයා බොන්නෙ බියර් නමින් දෙන සෝඩා, මම බොන්නෙ බියර්!!!

      ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ තියන කොල්බි කොලීජියේ රාත්‍රී ආහාරය එක්ක වයින් වීදුරුවකුත් දෙනවා. මගෙ සුද්දා ගිය වොබෑෂ් කොලිජීයේ එයා‍ලගේ චමරියේ (‍fraternity) බියර් බැරල් (keg) එකක් නොමිලේ බොන්න තිබිලා තියෙනවා. එයාගෙ පවුලෙ අය බේබද්දෝ නොවන නමුත් මත්පැන් බොන අය.

      සමාජ ඇසුර නිසා බොන්න හුරු වෙනව ද? නැත්නම් රහ බලන්නා කෙසේ හෝ රහ බලනවා ද?

      //නිවට කමට බීම// රැගයක් වැනි අවස්ථාවක දී කළ ද බොන අය බොන්නේ ‘නිවට කම’ නිසා නොවේ යයි මා සිතමි. හිසරදයකට ඇස්ප්‍රින් පෙත්තක් ගන්නේත් නිවට කමට යැයි සිතන අය හා සමාන කතාවකි!!!

      රුසියාව හෝ ඉතාලිය වැනි රටක යම් වෙළඳ එකඟතාවයට පැමිණ ගිවිසුමට පෙර බීම චාරිත්‍රයක්. සමහර විටෙක තුර්කිය වැනි මුස්ලිම් බැතිමතුන් බහුලව ඉන්න රටක ද එවැන්නක් කෙරෙනවා. ඊට හවුල් නොවන්නා අවංක නැතැයි ඔවුන් සිතීම සමාජයේ සම්ප්‍රදායික බලපෑම.

      ඔයාට නොබී ඉන්නට හැකි අයිතියට මා ගරු කරනවා සේ මත්පැනක රහ බලන්නාට ඇති අයිතියට ද මා ගරු කරමි.

      නමුත් බේබද්දෝ ද, ඒඩ්ස්කාරයෝ සේ (තමන්ගේ ක්‍රියාකලාපය නිසා ගොදුරු වූවා නම්) තමන්ගෙ අයහපත් සෞඛ්‍යය තත්වයන්ට තමන් විසින් පසුකාලයක බරපැන දරා, වගකීම බාරගෙන සමාජයට බරක් නොවීම අපේක්ෂා ද කරමි!!! ඒඩ්ස්කාරයන් ගැන ගුණ වරුණා ලියන, ඔවුන් සතු අයිතීන් කියා සටන් වදින අය බේබද්දෝ ගැන එසේ නොලියන්නේ ඇයි?

      • sujeewa said, on දෙසැම්බර් 10, 2010 at 12:42 පෙ.ව.

        [[එහෙම බොන්නේ නිවට කමටයි. ]]

        //නිවට කමට බීම//

        Only referring to those who drink purely for the fact that others drink, being unable to refuse. Nothing against those who willingly drink, or fatally threatened as in university ragging.

  19. chami said, on ජනවාරි 3, 2012 at 12:27 පෙ.ව.

    මේක දැක්කෙ අදයි,ජපානෙ සකෙ වගේමතමයි,කොරියාවෙ සෝජු,නමුත් දැන්ගොඩක් හදන්නෙ හාල්වලින් නම් නෙමෙයි නමුත් මේමිනිස්සු සෝජු බීල ගොඩක්වෙලාවට කෝපිබොනව.ඒකහරියට සම්ප්‍රදායක් වගේ.(සමහරවිට ඇතුලාන්තය දන්නෙනැතුව ඇති මයෙ හිතෙ)නමුත් ලංකාවෙනම් බීල ගොඩක් වෙලාවට පැණිරස කන්නෙ නැහැනෙ,ඒඅතින් බලනකොට ලංකාවෙ මිනිස්සු නොදන්නාකමට හරි කොපමන( දැනුවත්ද)?

  20. piyadasun said, on පෙබරවාරි 8, 2012 at 1:33 ප.ව.

    කොහොම වුනත් බොන්නෙ නෑ කියලා පටන් ගත්තාට බීම පිලිබඳ හසල බුද්ධියක් තියන ඒ වගේම බීමත් එක්ක සෑහෙන කාලෙක ඉඳන් ගනු දෙනුවක් තිබිච්ච කෙනෙක් බව පේනවා.
    මම නම් බෙහෙතකට ඇල්කොහොල් ටිකක් පෙවිලා ඇත්නම් ඇරෙන්න, ඕක බීලාම නෑ, ඒ කෙසේවෙතත් බීම සම්බන්ධයෙන් ( ඇමරිකාවෙ නෙවෙයි මේ සිරි ලංකාවෙ ) අත්දැකීම් නම් මට ගොඩක් තියනවා, ඒවා බලා ඉඳලා ලබන අත්දැකීම්.

    ඉතා සාර්ථක ලෙස “ඩ්‍රින්ක්ස්” ගත්ත තාත්තා කෙනෙක් සිටින මට කවදා බීම එපා උනාද කියලා මම දන්නෙ නෑ. අපේ තාත්තා බීලා අම්මට ගහන ජාතියෙ කෙනෙක් නෙවෙයි, ඒ වගේම “වාත” වෙන කෙනෙකුත් නෙවෙයි.
    ඒත් බොන කේස් එකේ මොකක් හරි හොරයක් තියෙන බව පොඩි කාලෙ ඉඳලා ම මට පෙනිලා තියනවා.

    ඇල්කොහොල් බෝතල් තමයි ලෝකෙ ලස්සනම බෝතල්, මේවා මෙච්චර ලස්සනට හදන්නෙ ඇතුලෙ තියන්නෙ වස කියන එක හන්ගන්නවත් ද?
    අනික මොනවා බිව්වත් බොන එකාගෙ තොල පොඩ්ඩක් යටි අතට ගිහින් ඇඹුල් වෙන පාටක් පේනවා, ඒකත් පොඩි අපහසුවක සංකේතයක්.
    ගොඩක් අය “අරක්කු ටිකක් බොමුද” අහන්නේ නැත “ඩ්‍රින්ක් එකක් ගන්නවාද ” කියා අසයි.
    සමහර අම්මලා පුත්තු සුද්ධ කරන්නේ ” අපේ පුතා බොන්නෙ නෑ, ඔය පාටි එකකට ගිහින් පොඩ්ඩක් ගන්නවා එච්චරයි” කියාය.
    බීලා වමනේ දැමීමට ආසන්න එවුන් ඉක්කා ගසයි, ඉන් පසු ඌව නිදි කෙරුවොත් නැගිටින්නේ කබරයා හලා ගනය.
    මේ ඔක්කොම පමන නොදන්නා එවුන් ගේ වැඩ යයි බොන එවුන් කියයි, ඒත් උන් කබරයා දැම්මාම ” බියරුයි විස්කියි මික්ස් උනා” වගේ පච කියයි.
    මොලේ සෛල ගැන හිතා බීම නවත්තපු එකෙක් ගැන මම නොදනිමි. කාලාන්තරයක් කරගන යන බීම නවතන කොට ඉතින් මොලේ සෛල කතාව කියන එක හිතාගන්නට පුලුවන. මොකද බොන අය ඒක ගානට බීමේ තියන වටිනාකම ගැන අම්බානක පොර ටෝක් දී ඇති බැවිනි.
    බුද්ධාගමේ බොන්න එපා කියන නිසා බොන්නෑ වගේ කතා කීමෙන් පෝස්ට් මොඩර්න් ලෝකයේ කැපිලාම යන්නට බැරි නැත. එහෙම ඒවා කිව්වාම හිත පතුලෙන්ම මතක තියාගන්නා අය ඉන්නවාය.
    බොන එකෙන් නැති වෙන්නේ මොලේ සෛල විතරක් නොවේ. බීම නිසා අයින්ස්ටයින් ලා වෙන්නට බැරි වුන අය ගැන අසා නැත. බීම වලින් හැම අවයවයක්ම අන්ජ බජල් වී යයි. ඒ ගැන කීම ට්‍රෙන්ඩ් එකට විරුද්ධද මන්දා. බොන එකා බිව්වාට පස්සෙ කොහොමත් හැසිරෙන්නේ සෛල අඩු එවුන් වගේ තමයි.
    බොන එවුන් මේක සමාජ කාරියක් කරගන සිටින හැටිනම් අජූවය. මල ගෙදර ක ගියත් වෑන් වල තියාගන බොන උන් කෙලෙවරක් නැත, ඉන්පසු හැසිරීමද අන්තිමය.
    නොබොන එවුන්ට බොන එකාගෙ “ක්න්ටෑකට්ස්” නැති වන්නට පුලුවන. ඒත් ඌ ඉන්නේ සිහියෙනි, උගේ සියලු කාර්යයනට ඌම වකියයි, එසේ නැතුව ” මම ඒ වෙලාවෙ පොඩි ඩ්‍රින්ක් එකක් දාලා හිටියේ” කියා ශේප් වෙන්නේ නැත.
    නොබිව්වත් මම ද දවසක මියයමි. අනිත් අතට මොලේ සෛල සියල්ලෙන් ම ප්‍රයෝජනද නොගනිමි. එහෙත් පොඩ්ඩක් බොන එකාත් ගොඩක් බොන එකාත් දෙන්නාම මට එකය. උන් කොයි මොහොතේ හෝ ” වැඩි වී” පිස්සු කෙලින්නට හෝ කබරයා හලන්නට හැකි කාල බෝම්බ මෙනි. මම උන්ව කරේ දාගන යාමට අකමැත්තෙමි. ඔක්කොටම වඩා උන්ගේ පොර ටෝක් ඇසීමට නොකැමැත්තෙමි. ඒ නිසාම මම නොබොමි.

  21. nimesh jayakody (@NCJayakody) said, on අප්‍රේල් 22, 2014 at 1:55 පෙ.ව.

    බියර් බිවම මොචනය ප්‍රමාද වෙනවා කියන්නෙ ඇත්තද?

    • arunishapiro said, on අප්‍රේල් 22, 2014 at 1:33 ප.ව.

      nimesh jayakody,

      මත්වෙන්නෙ නැතිව බියර් බොන්න පුළුවන් අයෙක්ව දන්නවා ද?!!!! ප්‍රමාද වෙනවා නම් විතරක් කමක් නෑ හැබැයි ඊට ඉස්සරවෙලා කළ යුතු කොටසට පවා සිහියක් කියලා දෙයක් තියෙන්න ඕනා නේද?!!!!!

  22. Epoxy Ethane said, on දෙසැම්බර් 3, 2016 at 1:02 පෙ.ව.

    “”ඔන්න සම්පූර්ණ හෙළිකිරීමක් (full disclosure) මුලින් ම ලියනවා. දැන් මත්පැන් පානය අත්හැරලා ඉන්නෙ මම. නිකම්ම විනාශයට යන මොළ සෛලයි, අවුල් වෙන්න හදන මොළේයි තව උත්සාහයකින් අවුල් කරගන්නෙ මන්දැයි හිතලා. තනි තීරණයක් නිසා ඕනෑම වෙලාවක කැමති මත්පැනක් කටේ හලාගන්න අයිතිය තියාගෙනයි ඉන්නෙ. අමද්‍යප සංවිධානයකට කිසි දා බැඳී නැත්තෙමි! නමුත් මොළයේ සෛල විනාශයට හා මොළය අවුල් වෙනවාට ඉතා අකමැති දරුවෙක්!!”

    මොලේ සෛල මැරෙනවා කියන එක සම්පූර්ණ myth එකක්. මොලේ සෛල නිකනුත් මැරෙනවා. මෙය myth එකක් බව පැහැදිලිව වෛද්‍ය පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියනවා. නමුත් vulnerability එකක් ඇති කරන පුළුවන්. වැඩිපුර වෙලා නැති නිසා කෙටියෙන් කරුණු කීපයක් කියන්නම්. මොකද මෙය myth එකක් කියල දැනගෙන ආපහු බොන්න හොයාගෙන හිය මිතුරන් ඉන්න නිසා.

    1. කාන්තාවන් පිරිමි අයට වඩා ඇල්කොහොල් සහ ඒ ආශ්‍රිත දේවල් නිසා රෝගී වෙන්න තියන සම්භාවිතාවය ඉහලයි. විශේෂයෙන් සිරෝසිස්, cardiomyopathy, peripheral neuropathy වගේ දේවල්. අධික මත්පැන් නිසා brain shrinkage වගේ තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නේ සෛලය කුඩා වීම.
    2. මොලයට හානි වෙන අවස්ථා වර්ධනය වෙන්න පුළුවන් වක්‍රව. උදාහරණ කීපයක් ගත්තොත්. එකක් තයමින් අඩුවීම. මේක ඇල්කොහොල් ගන්න අයගේ විශේෂයෙන් දකින්න පුළුවන් දෙයක්. තයමින් කියන්නෙ විටමින් බී එක. මේක tissues හැදෙන්න උපකාර වනව මොලයේ ඇතුළුව. ඉතින් මේක අඩු වුනාම මොලයේ සෛල වලටත් බලපානවා අනෙත් කොටස් වගේම. ව’නිකී කර්සේකොෆ් සින්ඩ්‍රෝමයත් එවැනි එකක්. (Wernicke’s encephalopathy > Korsakoff’s psychosis). මෙහි මූලික අවස්තාව සහ වඩා ප්‍රචණ්ඩ අවස්තාව (Korsakoff’s psychosis) කියා කොටස් දෙකක් තියනව. මූලිකව confusion, paralysis, ඇසෙ ප්‍රශ්න වගේ ඇතිවෙනව. පසුව ඊට වඩා දරුණු අවස්ථාවට එන්න හැකියි. එතැනදී ඇවිදීමේ ප්‍රශ්න (සමබරතාව), frustration, retrograde amnesia, anterograde amnesia වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. එක වෙන්නේ තයමින් දුර්වලතා නිසා. නමුත් නිකනුත් තයමින් මදි නම් මෙවන් ගැටළු ඇතිවෙන්න පුළුවන්.
    3. ගැබිනියක් මත්පැන් ගැනීම නිසා Fetal Alcohol Syndrome ඉතාමැ කනගටුදායක තත්ත්වයන් අත්වෙන්න පුළුවන් ලැබෙන දරුවට. මෙය දරුවාගේ ශරීරයට සහ මොලයට දෙකටම බලපාන්න පුළුවන්.

    වැදගත් `කරුණු ටිකක් තිබෙනව තාක්ෂණික උපකරණ ගැන කියන්න මේ සම්බන්ධයෙන් කරන පර්යේෂණ වල.
    MRI, DTI, PET සහ EEG. මේ පර්යේෂණ වලදී සොයාගත්තා වදකත් කරුණක් තියෙනව. ඒ කියන්නේ EEG එකෙන් සොයගතහැකි electrophysiological profile කියන එක (EEP). එතන P3 කියන සාධකය කලින් පර්යේෂණ කරපු අයට අනුව ඇල්කොහොල් අනුව වන හානියක් නිසා අඩුවනවා කියල. නමුත් පසුව සොයාගත්ත කරුණ තමයි මේ P3 කියන profile amplitude මට්ටම (මයික්‍රෝ වෝල්ටීයතාවයන් අනුව මෙය මනිනු ලබයි. ඇල්කොහොල් පාවිච්චි කල කාලයට එරෙහිව මැනීම සිදු කරනු ලැබේ) ඇල්කොහොල් ගැනීමට නැඹුරුවක් දක්වන්නේද කියන කරුණ කලින් දැනගන්න පුළුවන් විදිහේ එකක් කියන එක. ඒ කියන්නේ alcoholic tendency එක.

    මේ මොලේ සෛල කතාව මින් පෙර අසා තිබෙන කතාවක්. එය බුද්ධිමත්ව සිතා මෙයින් මිදෙනවා කියන අය කියන කතාවක්. නමුත් ඇත්තටම එයින් මිදෙන්න ඕන හේතු ගණනාවක් තියනවා. බොහොමයක් අය ඒ කරුණු පිළිගන්නේ නෑ long term effect එකක් කියල නොසලකාහැරියට ඒවා long term වෙන්නෙ සමහරුන්ට විතරයි. පෝෂණය, ශරීරයේ නිරෝගී කම සහ ජානමය කරුණු අනුව ඒවා long හෝ short term වියහැකියි. නමුත් අප බොහොමයක් මෙයින් මිදෙන්න යම් යම් හේතු පදනම් කරගන්නව. ඒත් පුරුදු වුනාම මේක නැතිව බැරි වෙන ප්‍රවනතාවයක් එනව. ඇල්කොහොල් කුඩා ප්‍රමාන වලින් සුළු අවස්ථා වලදී ගැනීම (not frequently) ප්‍රයෝජනවත් කියල මතයක් තිබෙනව. එකේ අත්තක් තියෙනව. නමුත් හැම මධ්‍යසාර නිෂ්පාදනයම නෙමෙයි.

    ස්තුතියි!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: