අරුණි ශපීරෝ‍ වෙතින්

හෙරක්ලයිටස් කියූ වෙනස අදටත් ගැලපේ ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 2, 2011

ලෝක සත්‍ය්‍යන් කාලයාගේ ඇවෑමෙන් අසත්‍යයන් වෙන්නෙ නැහැ. සත්‍යයෙන් අසත්‍යය තෝරා බේරා වෙන් කරගන්න හැකියාව ඇති අයට අනිත් අයට වඩා පහසුවෙන් ජීවිතය ජයගන්න පුළුවනි. ඊට හැකියාව මිනිස් මොළයක් සතු සැම අයෙකුට ම පිහිටා ඇත්තක්. පාවිච්චියට ගැනීම නොගැනීම ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්නක්.

ග්‍රීසියේ එෆෙසෙස් හි විසූ හෙරක්ලයිටස් (Heraclitus) දාර්ශනිකයෙක්. දැවෙන ගින්නක් දිහා බලාගෙන සිටි ඔහුට ගහෙන් බිමට වැටෙන ඇපල් ගෙඩි දැක්ක අයිසෙක් නිව්ටන්ට මෙන් ලෝක සත්‍යයක් විචාරයෙන් අමුණා ගන්නට හැකිවුණා. ගිනි දැල්ලක් ස්ථාවර (stable) බව පෙනුනට එය හැම තිස්සෙම වෙනස් වෙන බව ඔහු පෙන්වා දුන්නක්. එයින් තමයි හෙරක්ලයිටස්ගෙ දාර්ශනික මතවාදය ගොඩනැඟෙන්නෙ.

“එකම ගඟට දෙවරක් බහින්න බැහැ” කිව්වෙත් එයාම තමයි. ඒ අදහසේ තේරුම තමයි කිසිම දෙයක් එකම විදියකින් තියෙන්නෙ නැහැ නිතරම වෙනස් වීමකට ලක්වෙනවා යන්න. මේ “වෙනස” නිරීක්ෂණයෙන් දකින්න බැහැ ඒත් සිතින් විමසා වටහා ගන්න පුළුවන් දෙයක් හැටියට පෙන්වලා දීලා ඔහු ඊට දාන වචනය තමයි තර්කය (logos). හෙරක්ලයිටස්ගේ තර්ක මතවාදයෙන් තමයි ප්ලේටෝ විසින් පසු කාලයක දී ස්වභාවික නීති ගැන කතා කරන්න පටන් ගන්නෙ.

මිනිසාගේ චරිතය ඔහුගේ අනාගතය තීරණය කරනවා (A man’s character is his fate) නැත්නම් චරිතය තමයි දෛවය වෙන්නෙ (Character is destiny) යනාදියෙන් හෙරක්ලයිටස් අදහස් කරන්නෙ මොනවා ද? කිසිම දෙයක් ස්ථිර නැත්නම්, ස්ථිර දැයි දකින්නේ ඇත්තේ අස්ථිර බව පමණක් නම් චරිතය යන්න ස්ථිර වූවක් ද? එහෙම බලද්දී අනිත් හැම දෙයක් ම වාගේ චරිතයත් නිතරම වෙනසකට ලක් වෙන්නක්. සමහර විට පුද්ගලයා දැනුවත්වම. සමහර විට පුද්ගලයාගේ නිරීක්ෂණයට හසු නොවී. එතකොට චරිතය අයෙක්ගේ දෛවය තීරණය කරනවා කියද්දී, චරිතය වෙනස් වන සුළු ස්වභාවයෙන් වූවක් නිසා, චරිතය හිමි පුද්ගලයාගේ දෛවය ද ගලේ කෙටූ ස්ථිර වූ නිශ්චිතයක් නෙමෙයි.

හෙරක්ලයිටස් සමහර විට අඳෝනා නඟනවා වගේ පෙනෙනවා:
ඔයාට ආයෙත් ගෙදර යන්න බෑ. ඔයාගේ ළමා කාලය අහිමියි දැන්. තුරුණු වියේ යාළුවෝ අද එහෙම නැහැ. වර්තමානය ඔයා වෙතින් මේ දැන් ගිලිහී යනවා. කිසිම දෙයක් ඒ විදියට ආයෙත් නැහැ (nothing is ever the same again). ඇමෙරිකන් ගම්බද සිංදු වලට හොඳ පද රචනා හොයාගන්න පුළුවන් වෙයි හෙරක්ලයිටස් කියෙව්වොත්!!!

ඍනවාදයක් වගේ පෙනුනට හෙරක්ලයිටස් ඒ තුලින් පෙන්වන්නේ තාර්කික මඟකින් සත්‍යයන් කරා යන හැටි. ලොකු ප්‍රතිඵල ලබන්න ඕන නම් ලොකු බලාපොරොත්තු අවශ්‍ය්‍යි (Big results require big ambitions) කිව්වෙත් එයාම තමයි.

ඒ වගේ ම, ගොඩක් ඉගෙන ගත්ත පමණින් ගොඩක් වටහා ගන්න දැනුමක් ලැබෙන්නෙත් නැහැ (Much learning does not teach understanding) කියලාත් එයා කියනවා. ඒ කියන්නෙ තොරතුරු බහුල වශයෙන් එකතු කරාට වැඩක් නැහැ ඒවා තාර්කිකව විමසා බලා අමුණා ගන්න නොදන්නාකමින් සිටියොත්. අසත්‍යයෙන් සත්‍යය තෝරා බේරා ගන්නෙ තර්කයෙන්. මොකද අපිට හැම දෙයක් ම වටහා ගන්න නිරීක්ෂණයෙන් බැරි නිසා.

ඉතින් වෙනස පමණක් වෙනස් නොවන එකම දේ (Change alone is unchanging) නම් පුද්ගලයා තමන්ගේ චරිතය ගැන කුමක් කළ යුතු ද? තමන්ගේ දැනුම ගැන කුමක් කළ යුතු ද?

සහජයෙන් මට ඇති බුද්ධිය මෙය පමණක් යැයි සිතා දන්නා දේවල් කරමින් මිනිසා සිටියා නම් අද ලෝකයේ තත්වය කුමක් වෙනු ඇත් ද?

ඉගෙන ගන්නවාට ඉගෙන ගන්න අය (එහෙම අය ලෝකෙ වැඩියි) තමන්ට සහජයෙන් හැකි යැයි සිතන විෂය ඉගෙන ගන්නවා ද? ඒ ක්ෂේත්‍රයේ රැකියාව කරමින් ඉන්නවා ද? ඒ ගැන සොයා බැලීමක් කර ඇත් ද? සහජයෙන් ඇති කුසලතා වර්ධනයට (නිතර වෙනසකට) ලක් කරනවා ද?

කළින් සටහෙන් ගාඩ්නර්ගෙ තියරියෙන් පෙන්වන්නේ ඒකීය පුද්ගලයාට විශේෂිත වූ ස්වභාවික බුද්ධියක් ඇති බව. එක බුද්ධියක් අනෙකට වඩා ඉහළ හෝ පහළ බවක් නොව ලෝකයේ විවිධ පුද්ගලයන් විවිධ දේවල් වලට ස්වභාවික දක්ෂයන් වන බව. තමන් සතු ස්වභාවික බුද්ධිය කුමක් දැයි සොයා ගන්නට සමත් වෙන්නා ඒ බුද්ධිය නිතරම ‘වෙනසට’ භාජනය කරමින් (දියුණු තියුණු කර ගනිමින්) ඒ බුද්ධියෙන් අනිකුත් අයට වඩා ඉහළ මට්ටමකට යන්නෙකි.

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් බයිසිකල් පදින්නට (ශාරීරික කිනස්තෙටික්) හපනෙකි. බයිසිකල් ශූරයෝ ලොව බොහොමයකි. ඒත් ලාන්ස් ඔවුන් අතරින් ඉහළ මට්ටමකට යන්නේ තම ඒකීය වූ අරමුණට සියළු අවධානය යොමු කරමින් එය නිරන්තරයෙන් ‘වෙනසට’ භාජනය කරමිනි. සමහරු අරමුණ වෙනසට ලක් කරද්දී ලාන්ස් අරමුණ ස්ථාවරව තියාගෙන ඊට කරා යන මාර්ග නිරතුරු වෙනස් කළා.

ස්වභාවික බුද්ධියෙන් පමණක් වැඩ ගෙන, එක අරමුණක සිටීමට උවමනා ද නැද්ද යන්න තීරණය කරන්නේ පුද්ගලයා ය. අයෙක් එක කුසලතාවයක් වර්ධනයට වෙහෙසෙද්දී තවත් අයෙක් නැති කුසලතා සමූහයක් වර්ධනයට කාලය යොදවයි. නැතහොත් විවිධ අරමුණු කරා යන්නට උත්සාහ කරයි. සමාජයකට එක දැයකට සුවිශේෂී වූ දස්කම් දක්වන අයෙක් මෙන් ම විවිධ දේ වලට විවිධ මට්ටමින් දස්කම් දක්වන අයෙක් ද උවමනා ය. පළමුවැන්නා වඩා හොඳයි හෝ දෙවැන්නා වඩා හොඳයි යැයි කියන්නට නොහැකිය.

“වෙනස හැරෙන්නට වෙන කිසිවක් සදා පවතින්නේ නැත” (Nothing endures but change). තමන්ගේ ස්වභාවික වූ බුද්ධියෙන් වැඩ ගන්නවා ද, වෙනත් කුසලතා වඩවා ගන්නවා ද යන දෙකෙන් කොයි එක තෝරා ගත්තත්, ඒ තෝරා ගත්තා වූ අරමුණ වෙනස් කරන්නට ද තෝරා ගැනීමක් කළ හැකි වුවත්, ‘වෙනස’ යන්න කිසිවිටෙක වෙනස් නොවේ!!!

තම ස්වභාවික බුද්ධිය නිතර ම වෙනසකට ලක්වන නිසා, එය කුමන වෙනසකට ලක් වෙන්නට තමා ඉඩ දෙන්නේ ද යන්නත් විමසන්න පුළුවන් මොළයේ හිමිකරුවාට පමණයි!!!

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. සපතේරු උන්නැහේ said, on දෙසැම්බර් 2, 2011 at 4:47 ප.ව.

    අරුණි අක්කේ… මට බුද්ධාගමේ අභිධර්මය ගැන ඒ තරම් වැටහීමක් නෑ… ඒත් මම හිතනව අහල තියෙන තරමින්… ඔය සංස්කාරයන් සෑම මොහොතකම ඇති වෙමින් නැතිවෙමින් යන ස්වහාවයක් ගැන බුදු හාමුදුරුවො කියල තියෙනව කියල…

    මම නිකමට බැලුවහම අපූරු co-incidence එකක් දැක්ක…බුදු හාමුදුරුවොයි.. හෙරක්ලිටසුයි සමකාලීනයො… හෙරක්ලිටස් බුදුහාමුදුරුවන්ට වඩා අවුරුදු විසිගානකින් විතරයි බාල….

    • රාජ් said, on දෙසැම්බර් 5, 2011 at 5:23 පෙ.ව.

      කියවගෙන යනකොට මටත් මතක් උනේ ඔය කාරණාව. එකම ගගකට දෙපාරක් බහින්න බෑ කියන්නෙ ගග සහ මිණිසා යන දෙකම හෑම මොහොතකම වෙනස්වෙන නිසා.

    • arunishapiro said, on දෙසැම්බර් 5, 2011 at 7:49 ප.ව.

      සපතේරු උන්නැහේ,

      මදෑ … මම දාපු සටහන ගිහින් තියන දුර … කකුල් ඇවිත් ද? පියාපත් ඇවිත් ද? 😀

      සියළු සංස්කාරයෝ නැසෙන සුළු ය. රූපක්කන්ධ (matter); වේදනාක්කන්ධ (sensations); සංඥාක්කන්ධ (perceptions); සංඛාරක්කන්ධ (mental formations) විඥානක්කන්ධ (consciousness) යන සියල්ල තුලින් හැදෙන ජීවියා තුල වෙනසකට භාජනය නොවන්නා වූ කිසිවක් නැත.

      මම M. A. එක කරද්දී ගත්තු පංතියක දී ලෝක ඉතිහාසයේ එක හා සමාන අදහස් විවිධ දේශයන් තුලින් එකම කාලයන් වල දී ඇති වූ හැටි ගැන විමර්ශනයකට සහභාගී වුනා. ඉස්සර දාපු සටහන් වල දී මම පුරාතන චීනයෙන්, පර්සියාවෙන් එහෙම එකම අදහස් විවිධ දේශයන්හි චින්තනයට ඉඩක් ලැබි කාලයේ බිහි වූ හැටි කතා කරලා තියෙනවා.

      මිනිස් මොළයේ පරිනාමය දේශ සීමා නැතිව වෙන බවට හොඳ සාක්කි හොයා ගන්න පුළුවන්. ඇමෙරිකන් තේ පාටි පටන් ගත්ත ඇමෙරිකන් ආණ්ඩුව වෙනස් කිරීමට ගිය පෙළපාලි, ඊ ළඟට අරාබි වසන්තය, දැන් බුරුමයේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම අනතුරුව රුසියාවේ පූටින්ට ජනතාව ප්‍රසිද්ධියේ දක්වන අකමැත්ත …. ලෝකයේ ජනතාව පාලකයෝ ගැන තියන විශ්වාසය වෙනස් කරගෙන යන කාලයක් උදා වෙලා!!!

  2. dayal-bathee said, on දෙසැම්බර් 2, 2011 at 9:39 ප.ව.

    අපි හිතනවා ,
    හැමදාම තරුන කම අපි ළඟ තියේවි
    ලස්සන තියේවි
    සල්ලිභාගේ තියේවි
    ආරෝග්‍ය තියේවි
    ආදරය ලැබේවි
    බලය තියේවි.. ඒත්…

    හැබයි වෙනස් නොවෙන තවත් දෙකක් තියෙනව, වෙනස් වෙන ස්වභාවය ඇරුණම.

    එනම්..

    අතීතය සහ
    මතක සටහන්- ඒ කියන්නෙ සිදුවූ දේවල්, ඔබ මට මෙහම කිව්ව, මට හොඳක් කිව්ව, මට බැන්න ඒව වෙනස් වෙන්නෙ නෑ.

    ඒ කියන්නේ මම, ඔබ මේ දැන් කරන දේ හරිම වැදගත්. මොකද එය වෙන කෙනෙකු තුල අමරණීය මතකයක් වෙන්න ඉඩ තියෙනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 5, 2011 at 8:01 ප.ව.

      dayal-bathee,

      //අපි හිතනවා ,
      හැමදාම තරුන කම අපි ළඟ තියේවි
      ලස්සන තියේවි
      සල්ලිභාගේ තියේවි
      ආරෝග්‍ය තියේවි
      ආදරය ලැබේවි
      බලය තියේවි.// මෙහෙම හිතන කෙනෙක් සත්‍යයෙන් ඉන්නවා ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, වටපිටාව නොදකින්න එක්ටැම් ගෙයක ජීවත්වෙන අයෙක් හැරෙන්නට එහෙම හිතන්න පුළුවන් කාට ද?

      මතක සටහන් තුලින් දැනෙන ආවේග ද කාලයත් එක්ක වෙනස් යනවා. හොඳක් කිව්ව දෙයින් ඇති මතකයෙන් ලැබෙන සතුට අඩු වී යනවා. ඊට වඩා සෙමෙන් නමුත් අයෙක් බැන්න මතකයේ ඇති කෝපය/දුක ද අඩු වී යනවා. වයසට යද්දී මොළයේ රසායන වෙනස්කම් නිසා තරුණ කාලයේ කෝපය හෝ දුක දනවන කටයුතු වලින් දැනෙන කෝපය හා දුක අඩුවෙන් දැනෙන්නේ.

      • dayal-bathee said, on දෙසැම්බර් 6, 2011 at 2:04 පෙ.ව.

        මේවගේ දේ නැතිවෙනකම් හිතන්න උවමනාවක් අවස්ථාවක් මතුවෙන්නේ නෑ නේද?,
        ඒ වෙනකම් ඉන්නේ එක් ටැම් ගේක කිව්වොත් වරදක් නෑ නේද?

        • arunishapiro said, on දෙසැම්බර් 6, 2011 at 9:11 පෙ.ව.

          dayal-bathee,

          ඔව් දයාල්-බතී මල්ලි, හිතන්න පුළුවන් මොළය හිතන්න පාවිච්චි කරන්නෙ නැතිව ඒකෙන් වැඩිදෙනා මොනවා ද කරන්නේ?

  3. Alchemiya said, on දෙසැම්බර් 2, 2011 at 11:49 ප.ව.

    මටත් මේක කියවපු ගමන් මතක් වුනේ මේ කියලා තියෙන සියළුම දේ බුදු දහමෙත් අපූරුවට විග්‍රහ කරලා තියෙනවා කියලා තමයි….
    මතකයත් වෙනස් වෙනවා… මතකයන් අළුත් වෙනවා… තමන්ට මතක තියෙන සිද්ධිය තවත් කෙනෙකුට තවත් විදියකට මතක තියෙන්න පුළුවන්. ඒ මතකයන් දෙකම එකතු කළාම වැඩිය හොඳට ඒ සිද්ධිය සටහන් වෙනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 5, 2011 at 8:12 ප.ව.

      Alchemiya,

      මතකය වෙනස් වෙනවා ද නැත්නම් ඒ ගැන දැනෙන ආවේගය වෙනස් වෙනවා ද? සමහර විට මතකයේ වූ සිද්ධිය ගැන වෙනත් අයෙකුගේ පැත්තෙන් තොරතුරු එක්වෙද්දී ඒ මතකය ගැන තමන් තුල වූ ආවේගය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි කියමු මට මතක තියෙන්නෙ පංතියෙ ළමයෙක් මගේ අළුත් ම අළුත් කවකටු පෙට්ටිය හොරකම් කළා කියල. ඒත් පස්සෙ කාලයක දී මට කවුරු හරි කිව්වොත් එයා කවකටු පෙට්ටිය හොරකම් කළේ නැහැ ඒක වෙන ළමයෙක් හංගලා මෙයාව වැරැද්දට අහු කරන්න කියලා … එතකොට මට කවකටු පෙට්ටිය හොරකම් කරපු ළමයා නරක ළමයෙක් යැයි තිබූ මතකයට මොකක් ද වෙන්නෙ? දැන් අපි කියමු එහෙම කවුරුත් මට අළුත් තොරතුරක් දුන්නෙ නැහැ කියලා .. ඒත් ඒක එයා හොරකම් කරපු බව නිශ්චිතව නොදන්නා (මතකයන් බොහොමයක් ගැන සලකා බැලුවොත් ඒවායේ සියළු සාධක අපිට නැති නිසා) බව අවබෝධයෙන් පසු කාලයක දී ඒ ගැන ඇති මතකය සැක සහිත බවින් පිරෙනවා නේද? නැත්නම් එයා කවකටු පෙට්ටිය හොරකම් කළ බව පසුකාලයක දී නිශ්චිතව ම දැන ගන්න ලැබුණා කියමු! දැන් මෙතෙක් තිබිච්ච ආවේගය ඔයා කියනවා වගේ අළුත් වෙනවා. ඒත් ඒ සිද්ධිය වෙච්ච වෙලාවේ තරම් ආවේගය දැන් සැර නැහැනේ!!!

  4. NotAFool said, on දෙසැම්බර් 3, 2011 at 5:23 පෙ.ව.

    අනේ අපේ අරුනිට වෙච්ච දෙයක්… 😀
    හැඟී හැඟී වෙස්බැන්දට නටන්න වෙන්නේ එළියේ කියන්නේ ඕකට තමයි. විද්‍යාව ගැන කතා කරාට අවිද්‍යාත්මක බුදු දහම පිලිගන්නවා. ඔබගේ දෙබිඩි හැසිරීමනම් අප්‍රසන්නයි.

    • සපතේරු උන්නැහේ said, on දෙසැම්බර් 3, 2011 at 9:50 පෙ.ව.

      Not A Fool , සමාවෙන්න අනවශ්‍ය දේකට හොට දැම්මා කියල හිතෙනවනම්…

      අරුණි අක්කා බුද්ධාගම ප්‍රතිෂේප කරනවා කියල කියනව මම නම් දැකල නැහැ… ඒ විතරක් නෙමෙයි කලකට පෙර ලියූ සටහනක අරුණි අක්කා විතරක් නෙමෙයි සුදු අප්පුහාමි ත් ථේරවාද බෞද්ධ ධර්මය පිලිගන්නා බව කියෙව්වා වගේ මතකයි…

      අනෙක් අතට විද්‍යාව ගැන කතාකරන කෙනෙකුට බුදු දහම පිලිගන්න තියෙන බාධාව මොකක්ද ?

      • NotAFool said, on දෙසැම්බර් 4, 2011 at 1:33 පෙ.ව.

        අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට. තමුන්නහෙලා අයිතිවෙන්නේ කිසි දෙයක් ගැඹුරින් හිතල තීරණ ගන්න බැරි අනෙක් අය කියන දේවලට අනුව තමන්ගේ විශ්වාස ගොඩ නගා ගන්න ගොන්නට. බුදු දහමේ තියෙන නිවන ,කර්මය,පුනර්බවය අවිද්‍යාත්මකයි. ඊට අමතරව බුදු දහම අඳුරු දහමක්. රිනාත්මක දහමක්. අරුණි බුදුදහම පිළිගන්න විදිහට ලිපි පල කලට බුදු දහම බොරු බව පිලිගන්නවා. එය කරන්නේ maketing සඳහා බුදු දහම බාවිත කිරීම. අරුණිගේ තාත්තත් මේක කලා. මිනිස් හිතේ හාස්කම් පොත් එකක් නෑර කියවපු කෙනෙක් විදිහට මන් දන්නවා කොහොමද ඔයාලවගේ නිකන්ම අහුවෙන අයව බුදු දහම පාවිච්චි කරලා ඇන්දුවේ කියල.sorry to say but thats the truth .

  5. රාජ් said, on දෙසැම්බර් 5, 2011 at 5:29 පෙ.ව.

    @NotAFool
    //ඊට අමතරව බුදු දහම අඳුරු දහමක්. රිනාත්මක දහමක්.//
    ඒකට “විද්‍යාත්මකව” උදාහරණ දෙන්න පුළුවන්ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: