අරුණි ශපීරෝ‍ වෙතින්

ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියන්න

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 18, 2012

සටහනේ සිරස්තලයෙන් එන්නෙ මයාමි නගරයේ අවන්හලක නමක්. මේ පින්තූරයෙ තියෙන්නෙ ඒ අවන්හලේ පින්තූරයක්. වාද්දුවෙ තියන Reef Villa & Spa එකේ පින්තූරයක් නෙමෙයි.

පාරිභෝගික භාණ්ඩයක් අලෙවියට වෙළඳ නාමය ඉතා වැදගත්. ඔස්ට්‍රියාවෙන් සූට්කේස් එක පමණක් අතේ අරන් ආපු ආර්නල්ඩ් ස්වාට්සනේගර් තමන්ගෙ නමින් ම රඟපාන්න ඕනෑ යැයි කියද්දී ඒ කාලේ සිනමාවේ එකම විදියට හිතන අය බෙහෙවින් අකමැති වුනා. මිනිස්සු නම කියන්න පුරුදු වෙයි කියලා ආර්නල්ඩ් නම වෙනස් කළේ නැහැ. ලෝකය පුරා වාසය කරන අය ටර්මිනේටර්ගෙ නම උච්චාරණය ඉගෙන ගත්තා.

2008 ඇමෙරිකන් ජනාධිපතිවරණ මුල් වටයේ දී ලංකාවේ අයෙක් මාත් එක්ක අනම් මනම් කතා කරද්දී ඇහැව්වා මම හිතන්නෙ කවුද ඊ ළඟ ඩෙමොක්‍රැටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක වෙන්නෙ කියලා. මම කිව්වා බොහෝ දුරට ඔබාමා තමයි කියලා. එයා පිළිගත්තෙ නැහැ කිසිවෙක් නොහඳුනන අයෙක් කොහොම ද හැමෝම දන්නා හිලරි ක්ලින්ටන්ව පරද්දන්නෙ කියලා. තාම ඔබාමා ජනාධිපති වූයේ කෙසේ දැයි හිතාගන්න බැරි ඇමෙරිකානුවන් ද බොහොමයක් සිටින නිසා ලංකාවේ එයාට තිබිච්ච අවුල වටහා ගන්න මට පුළුවන්!!!!

යම් දර්ශනයක හෝ දේශපාලන අදහසක ඇති නම වැදගත්. ඒත් නම විතරක් නෙමෙයි අර්ථයත් දැනගන්න ඕනා. අපි සමාජවාදීන්, අපි ප්‍රගතිශීලීන්, අපි ධනවාදීන් කියද්දී බොහොමයක් දෙනා දන්නෙ ඒ ගැන ප්‍රචාරණ වලින් හඟවන අර්ථ පමණයි. මූලාශ්‍රයන් සොයා යන්න ඇති අකමැත්ත එතැනත් පේනවා. වැඩිදෙනා ලේසියට කරන්නෙ පැතිර ඇති අදහස් අතුරින් තමන් කැමති අදහසට ගැලපෙන අර්ථය පිළිගැනීමයි.

ඒ නිසා වෙන්නැති මේ අවන්හලේ නම “ඩොලෝරස් ඒත් කැමති නම් ලොලීටා කියන්න” කියා දැම්මෙ!!!

ලෝකය එකිනෙකා හා වැඩි වැඩියෙන් සබඳතා පැවැත්වීම දැනට වඩා තවත් සංකීර්ණ හා පුළුල් වෙනවා මිසක් අඩුවෙලා ගිහින් අනාගතයක දී නැවතෙන්නෙ නැහැ. 2012 වෙද්දී ආර්ථික වාසි සොයා ලෝකයේ බහු පුරවැසිකම් ඇති අය වැඩියෙන් ම ඉන්න වසර වෙනවා. ලෝකයේ මිලියන 200 ක ජනතාවක් අද වැඩ කරන්නෙ, ජීවත් වෙන්නෙ, තමන් උපන්න රටේ නෙමෙයි.

අපි ජීවත් වෙන්න, රැකියාව කරන්න ගිය භූමිය අපේ ජන්ම භූමිය නොවුනත් එහි පුරවැසියෙක් වූවාම එහි දේශපාලනය හා සමාජ කටයුතු ගැන දැන සිටීම අපේ පුරැවැසිකමේ යුතුකම. ඊයේ රෑ ඇහුනා බීබීසී ලෝක වාර්තාවේ දී ලංකාවේ උපන් අජිත් නැමැති ඔස්ට්‍රේලියාවේ වාසය කරනා අයෙක් එහි ඇබොරිජිනීස් නැමති ආදීවාසීන්ගේ සුබ සිද්ධිය ගැන වෙහෙසන ප්‍රවෘත්තියක්.

ලෝකයේ ඕනෑම රටක පාසැල් වල, විශ්ව විද්‍යාල වල දේශපාලකයන්ට හා පංතියේ ගුරුවරුන්ට රිසි පරිදි උගන්වන්නට හැකි වූ කාලය කෙමෙන් අවසන් වී යනවා. තතු සොයන්න කැමති අයෙක්ට තතු සොයාගන්න පුළුවන් ලෝකයට අද අපි පිවිසෙන්නෙ. ජංගම දුරකතන වලින් අන්තර්ජාලයේ සැරිසරා ලෝක තොරතුරු සහ තම රටේ ඉතිහාසය කොතරම් වාරයක් වෙනස් වෙනස් ආකාර වලින් ලියැවී ඇත්දැයි සොයාගන්නත් ලෝක වාසීන්ට ලැබෙන කාලයයි අද!!!

ඉතින්, මේ සිංහලෙන් කියවන්නාට ලෝකයේ දේශපාලන තියරියන් ගැන කෙටියෙන් කියා දෙන්නට උත්සාහයක්. ජීවත්වන නිසා, හිතන්න පුළුවන් නිසා, අපි දැනගත යුතු දේ බොහෝමයි. තමන් තුල හට ගන්නා කුතුහලය අන්තර්ජාලයේ තවත් තැන් වලින් සොයා බලා දිගට ම පවත්වා ගෙන යාවී යැයි මගේ බලාපොරොත්තුව.

නම කුමක් වුවත් කමක් නැහැ අවන්හලට ගිහින් කන්නට. ඒත් නමින් කියන්නේ මෙහෙමයි හිතලා දේශපාලන තියරියක් ගිල්ලොත් නම් දිරවා ගන්න අමාරු වෙයි!!!

අද හැඳින්වීම: පරම බලය (absoulte power)

ආණ්ඩුවක හෝ ජාතියක සහ එහි වාසය කරන සෑම වැසියෙක්ම සඳහා ඇති සම්පූර්ණ ආධිපත්‍යය. සාමාන්‍යයෙන් මේ නම දෙන්නෙ පරම රාජාණ්ඩුවකට. පරම රාජාණ්ඩුවක ඉන්න රජවරු/රැජිනියන් ආණ්ඩු කරන්නෙ පරම බලයකින්. ඒක දෙවියන් විසින් රජු වෙත දුන්න බලයක් බවයි සංකල්පය. එයින් කියැවෙන්නෙ රජුට ආණ්ඩු කරන්න බලය කෙළින් ම දීලා තියෙන්නෙ දෙවියන්වහන්සේ කියලයි.

තවමත් බ්‍රිතාන්‍යයේ මහ රැජින වන දෙවැනි එලිසබෙත්ව අතින් ඇල්ලීම රීතියට එරෙහි වෙන්නෙ දෙවියන්වහන්සේ වෙතින් බලය ලැබි පරම රාජාණ්ඩුවක අගරැජින වන ඇය දෙවියන්ගේ නියෝජිතයෙක් වෙන නිසා.

තව කියවන්න: ඔටුනු පැළඳි ලෝකය

10 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ජනවාරි 18, 2012 at 9:26 පෙ.ව.

    වැදගත් ලිපියකි…

  2. EMAIL KAVIKAARI said, on ජනවාරි 18, 2012 at 9:35 පෙ.ව.

    ඒ උනාට රැජිනගෙ පිටට අත තිබ්බනෙ ඔයාලෑ අරය

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 10:14 ප.ව.

      EMAIL KAVIKAARI,

      සමාජවාදීන් දෙයියෝ පිළිගන්නෙ නැහැනේ … බුර්ජුවාසීන් දා ගත්ත චාරිත්‍ර පිළිගන්නෙත් නැහැනේ ..!!!

  3. kumaraya said, on ජනවාරි 18, 2012 at 9:51 පෙ.ව.

    මේ ලිපියයි .. මීට කලින් ලිපිය සහ කමෙන්ටුයි කියවල බැලුවා ම .. මම වගෙ එවුන්ට මේ ලෝකෙ තව කොච්චර දේවල් ඉගෙනගන්ට තියෙනවද කියල හිතුනා.

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 10:17 ප.ව.

      kumaraya,

      කෑලි කෑලි එකතු කරලා හදන පින්තූර ප්‍රහේලිකාවක් වගේ … එකතු කර අමුණා ගෙන ඔහොම යනකොට ලෝකයේ තියන පින්තූර මොනවා ද කියා පේන්න ගනිවී!!!

  4. ගෝල්ඩ් fish said, on ජනවාරි 18, 2012 at 11:31 පෙ.ව.

    Reef Villa & Spa ගිහිං බලන්න ඕනේ මේ වගේද කියලා…. 😀

  5. අමා said, on ජනවාරි 18, 2012 at 11:10 ප.ව.

    ඩොලෝරස් සහ ලොලිටා නම් දෙක යි, ඒ අතරම ‘ඔබ කැමති නම් ලොලිටා කියන්ට’ ත් ලු … මාව නම් ටිකක් හොල්මන් උනා.
    හි හි අක්කේ ඇත්තට මේක මොන වාගේ රෙස්ටෝරන්ට් එකක්ද?

    (මතක යි නේ, ලොලිටා කියන්නේ 12 හැවිරිදි ඩොලෝරස්ට ඇගේ මැදි වයස් පෙම්වතා දාපු නම විත්තිය…The cafe name feels a bit pervy I think!)


indika27 වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න