අරුණි ශපීරෝ‍ වෙතින්

මුදල් මැව්වේ කවුද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 30, 2012

මුදල් යනු ඕපපාතිකව බිහි වූ ක්‍රමයක් (spontaneous order) යැයි ෆ්‍රෙඩ්රික් හයෙක් පෙන්වා දුනි. ඔහු අර්ථ ශාස්ත්‍රය සඳහා 1974 දී නොබෙල් සමත්‍යාග ලාභියෙක් විය.

පොදු ජනතාවගේ සුව සෙත සලසන්නට යැයි කියා ඉදිරිපත් වන බලතණ්හාධිකයන් තමනට චන්දය දෙනවිට පමණක් පොදු ජනතාව නිවැරදි තීරණ ගන්නට දක්ෂයන් යයි කියති. දක්ෂ ලෙස තීරණ ගන්නට සමත් පොදු ජනතාවගේ චන්දය ලබා අයෙක්/පිරිසක් බලය අල්ලා ගත් වහාම පොදු ජනතාව යනු නිවැරදි තීරණ ගන්නට නොදන්නා, දක්කා ගෙන යා යුතු බැටළු රැළක් යයි සිතන චින්තනයට බහුතරය වහල් වී සිටිති. ඉතින් තාර්කික විචාරය නුහුරු බැවින් මනස කුරුවල් වී ඇති බහුතරය හැසිරෙන්නේ ද එසේමය.

ස්වභාවිකව සිද්ධ වෙන මිනිසාගේ ක්‍රියාකාරකම් (human action) සහ සමාජ සංවිධානය (social organization) සැලකිල්ලට ගනිද්දී ආර්ථික වූ ස්වභාවික නීතියක් පැවතෙන බව ඔස්ට්‍රියන් සම්ප්‍රදායේ අර්ථ ශාස්ත්‍රඥයන් දැක්කහ. වෙනස් කළ නොහැකි, පැහැදිලි කළ නොහැකි වූ බලයකින් හේතුවක් නිසා ඵලයක් ඇතිවෙන, උඩ දැම්මොත් බිමට වැටෙන වැනි, අනෙකුත් ස්වභාවික නීති ලෙසින්ම ආර්ථික නීති ද වැඩ කරන බව ඔව්හු අවබෝධ කර ගත්හ.

කැලෑවක් මැදින් අඩි පාරවල් පටන් ගෙන ඒවා මහා මාර්ග බවට පත් වූයේ අයෙක් විසින් හිතා මතා සැලසුම් කරපු නිසා නොවේ. වාසස්ථානයේ සිට පොලට බඩු ගෙනයන්නට හා පොලෙන් බඩු ගෙනෙන්නට තමන් දන්නා වටපිටාව අනුව වඩා සුදුසු යැයි සිතූ පාරේ ගමන් කරන්නට මිනිසා පටන් ගති. ඒ ඒ පුද්ගලයාට යන්න උවමනා වූයේ කොතැනට ද එතැනට පහසුවෙන් යා ගත හැකි අඩි පාර, භාවිතයෙන් වැඩි විය. වැඩි පිරිසක් යන්නට කැමති වූ ස්ථාන වලට යන මාර්ග පුළුල් විය. එය විශේෂඥ දැනුමෙන් අයෙක් හෝ පිරිසක් විසින් සිතා මතා හදන ලද්දක් නොවීය. එය ඕපාපාතික ක්‍රියාවලියකි.

මුදල් කිසිවෙක් මැව්වේ නැත. හිටිහැටියේ භාණ්ඩ හුවමාරුව සඳහා නෝට්ටු හා කාසි අවශ්‍යය යැයි කියා විශේෂඥ මනසකින් මුදල් බිහිවුනේ නැත. බොහෝ පිරිසක් අතින් සිද්ධ වූ ඒකීය ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙසින් මුදල් ලොව බිහිවිය. අද බහුතරය සිතන්නේ මුදල් යනු රජය විසින් නිකුත් කරන ලද්දා වූ දැයක් හැටියට ය. එහෙත් මුදල් භාවිතයේ ආරම්භය වෙළඳපොලයි. සිය කැමැත්තෙන් එකිනෙකා හා වෙළඳාම කරද්දී මුදල් අත්‍යාවශ්‍ය වූ අංගයක් හැටියට ඔවුනට පෙනී ගිය නිසා එය ලොව නන් දෙසින් විවිධ පුද්ගලයන් පටන් ගත්තකි. රජවරු මේ වෙළඳපොල විසින් කරන ලද නිර්මාණය තමන් භාරයට ගෙන මුදල් ආයතනයේ පාලන බලය අල්ලා ගත්තහ. අද රජවරු නැති වුවත්!!! ආණ්ඩු විසින් එහි පාලන බලය අල්ලා ගෙන ඇත. එහෙත් තවමත් එහි අගය රැකීම සඳහා වෙහෙසෙන්නේ වැඩ කරන මිනිසා ය.

සිප්පි කටු, මැණික්/කිරිගරුඬ ගල්, හරකා බාන, ලුණු, දුම්කොළ, කහවණු, රිදී වැනි දෑ මුදල් ලෙසින් භාවිතා වූ සමහර දේවල්. දෙවැනි ලෝක යුද්ධය සමයේ යුද සිරකඳවුරු වල මුදල් ලෙසින් සිගරට් ද භාවිතා විය.

මිනිස්සු එසේ යම් දැයක් තම මුදල් ලෙසින් භාවිතයට හුරු වූයේ තමනට කෙළින්ම හුවමාරු කරගත නොහැකි දෙයක් අවශ්‍ය වූ නිසාය. පිත්තල පහන් හදන්නාට බිත්තර දෙකක් අවශ්‍ය වූ විට පිත්තල පහනක් දී බිත්තර දෙකක් ගත හැකි නොවේ. බිත්තර දෙකකට වඩා පිත්තල පහන අගයෙන් වැඩි නම් ඉතිරිය සඳහා යම් හුවමාරුවක් සිද්ධ විය යුතුයි. බිත්තර විකුණන අයට එක පිත්තල පහනකට වඩා අනවශ්‍ය විය හැකිය. ඉතින්, මිනිසුන් අතර ගණුදෙනු පහසු කිරීම සඳහා මිනිසා විසින් මුදල් භාවිතයට පිවිසුනහ.

ෆ්‍රෙඩ්රික් හයෙක් මුදල් සම්භවය විස්තර කරන්නේ “එය මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් (result) මිස මිනිසා විසින් හැඩගසන ලද්දක් (design) නොවේ,” කියාය. නූතනයේ ආණ්ඩු විසින් එය හැඩගසන්නට ගොස් සෑහෙන්නට අනාගෙන සිටිති!!!!!

නිශ්චිතවම අවශ්‍ය දේට සරිලන හුවමාරුවක් ලැබේ නම් මුදල් හි අවශ්‍යතාවයක් පැන නඟින්නේ නැත. නිවස අසල ඇති චීන කඩේ අයට අමු මිරිස් දුන්නාම මට චයිනීස් රෝල් එකක් ලැබේ. ඒත් අමු මිරිස් ගෙනිච්චාට ස්ටාර්බක්ස් කෝපි කෝප්පයක් මට ලැබෙන්නේ නැත!!!

හුවමාරු කරගැනීමට බෙදා වෙන්කළ නොහැකි දේ පැවති බැවින් ද මුදල් හි උවමනාව බිහිවිණ.

සිප්පි කටු වැනි මුදල් ලෙසින් පාවිච්චි කරන ලද දේවල් හි ප්‍රායෝගික වූ ලක්ෂණ කිහිපයක් දැකිය හැකිය: පහසුවෙන් ප්‍රවාහනය, බෙදීමට හැකියාව, කල්තබාගත හැකියාව, වෙළඳපොලේ ඊට පහසුවෙන් අගයක් ලැබීම. ඉතින් හරකා බාන මුදල් සේ භාවිතයෙන් අහක් වෙලා (උන් දාන බෙටි අයින් කර කර ඉන්න කැමති කවුද?!!!) රත්තරන් රිදී වලට වැඩි තැනක් ලැබෙනවා. ඒකත් අයෙක් සිතා මතා හැඩගසන ලද්දක් නොවේ. බඩු පටවා ගත් නැව් වලින් දුර බැහැර දේශයන්ට හුවමාරුවේ යන මිනිස් ක්‍රියාකාරකම් නිසා ඕපපාතිකව බිහිවූවක්.

අර්ථ ශාස්ත්‍රඥයන් හෝ රජවරු රිදී සහ රත්තරන් මුදල් විය යුතු යැයි තීරණය කළේ නැහැ. ස්වභාවික ක්‍රියාවලියේ දී මුදල් විදියට පාවිච්චි කරන්නට ගත් දේවල් අතරින් ඒවා වඩා සුදුසු වූ නිසා ඉතිරි වූවා පමණයි. අදත් මුදල් පාලනයට ආණ්ඩු ඇඟිලි ගහද්දී රිදී රත්තරන් හෝ දියමන්ති යනාදියේ වටිනාකම තීරණය කරන්නේ වෙළඳපොලේ ගණුදෙනු කරන මිනිසා විසිනි. ඉතින් ස්වේච්ඡාවෙන් ගණුදෙනු කරන වෙළඳපොලක දී ‘මුදල්’ යනු මිනිසුන් තමන්ගේ අවශ්‍යතා වලට වඩාත්ම හොඳින් ගැලපෙනවා යැයි හිතා පාවිච්චි කරන්නා වූවක්.

මුදල් වල අගය අඩු වැඩි වෙන්නෙත් මේ සරල සංකල්පය අනුවයි. බහුතරයක් පිරිස අතර පහසුවෙන් හුවමාරුවට, බෙදීමට, වටිනාකම අඩු නොවී කල්තබා ගැනීමට හා ඊට වෙළඳපොලේ අගයක් ලැබෙන තරම අනුව එය පාවිච්චියට ගන්නා අය වැඩිවෙනවා. පාවිච්චියට ගන්නා අය වැඩිවෙද්දී එහි අගයත් වැඩිවෙනවා.

වෙළඳපොල කියන්නෙ එක පුද්ගලයෙක් හෝ පාලනයේ ඉන්නා යම් කල්ලියක් නෙමෙයි. භාණ්ඩයක් හා සේවාවක් හුවමාරුව කරන හැම අයෙක් ම වෙළඳපොල හසුරුවන අයෙක්. වෙළඳපොලට හැඟීම් නැහැ. තැකීම් නැහැ. සදාචාරයක් නැහැ. ඒකීය මිනිසුන් ගන්නා තීරණ සහ ඔවුන් කරනා ගණුදෙනු තමයි වෙළඳපොල පෙන්වන්නේ. අයෙකුට තමන්ට අවශ්‍ය සියල්ලම නිපදවා ගන්නට හැකියාවක් නැති නිසා වෙළඳපොල යන්න හැමදාම පවතින්නා වූවක්. එහි ගණුදෙනු කොතරම් කෘතීමව හැඩගස්සවන්න විශේෂඥයන් කියාගත්තවුන් හෝ කෲර/දැහැමි පාලකයන් කියා ගත්ත වූවන් හෝ උත්සාහ කළත් වෙළඳපොල යනු මිනිස් ස්වභාවයට හා ලෝක ස්වභාවයට පටහැනිව යන්නට හැකියාවක් නැති වූවක්.

හුවමාරුව මුලින් තිබුණි. පසුව ආවේ මුදල් ය. මුදල් ඇති නිසා බඩු ගන්න අයෙක් පොලට ගියේ නැත. තමන්ගේ නිපැයුමක් හෝ වත්තෙන් කඩාගත් පළතුරක් රැගෙන පුද්ගලයා පොලට ගියේ එය තමනට අවශ්‍ය වෙනත් භාණ්ඩයක් සඳහා හුවමාරු කරගන්නට ය.

අද මිනිසා හිතන්නේ තමන් ජීවත්වන පමණින් කඩේ ගිහින් බඩු ගන්නට තමන්ට මුදල් ලැබිය යුතු යැයි කියාය!!!!!

මෙවැනි මිනිසා ශිෂ්ඨ මිනිසෙක් ද?

කියවන්න -Money කාසි පණමි … -ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නිර්මාණයකි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on නොවැම්බර් 30, 2012 at 11:27 පෙ.ව.

    ඉගෙන ගත් දේ අනුව සමහරක් කරුණු පිලිගත හැකි මුත්, සමහරක් කරුණු ගැටළු සහගතයි. කොහොම හරි අහන්න තියෙන්නෙ මෙච්චරයි…

    සල්ලි මැව්වෙ කවුද දෙවියනේ….?
    දෙයියෝ මෙවා මැව්වෙ ඇයි අනේ…?

  2. අටම් said, on නොවැම්බර් 30, 2012 at 1:17 ප.ව.

    මුදල් මැව්වේ කවුද

    මැව්වේ කව්රු උනත් ඔව්වා නැතුව මම කන කට්ට

    හොද වෙලාවට මවපු එකාව දන්නේ නැත්තේ නෝනේ

  3. magenama said, on දෙසැම්බර් 6, 2012 at 6:05 පෙ.ව.

    මුදල් මිනිසාගේ වුවමනා වෙනුවෙන් ඇති වී මිනිසා වෙනුවෙන් පවතී.මොකද මිනිස්සු යම් මුදල් මාධ්‍යයක් පිලිගන්නෙ ඒක විශ්වාස කල හැකි තාක් කල් විතරයි. ලෝක යුද්ධවලට පසු ජර්මනිය,පසුගියකාලෙ සිම්බාබ්බේ, හැමෝම කෝටිපතියො,ඒ වුනාට පාන් ගෙඩියක් ගන්න බව්සරයක සල්ලි තොගයක් අරං යන්න ඕනි.(හැබෑටම ඒක දුප්පත්තු නැති ලෝකයක් නේද මුදල් ගණනින් බැලුවොත්.)

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2012 at 8:49 පෙ.ව.

      magenama,

      //හැබෑටම ඒක දුප්පත්තු නැති ලෝකයක් නේද මුදල් ගණනින් බැලුවොත්// 😀 එහෙම දකින අයත් ඉන්නවා!!!!!!!! අද තරඟයට සල්ලි අච්චු ගහන ලෝක ආණ්ඩු භාණ්ඩාගාර ඔය විදියට දුප්පතුන් නැති කරන උත්සාහයක් ගන්නවා වගේ!!!!!

  4. Chandi said, on දෙසැම්බර් 6, 2012 at 11:57 පෙ.ව.

    මේව මැව්වෙ නැත්නම් කොහොමට හිටීද? කාලයක් භාණ්ඩ හුවමාරු උනා, ඊළඟට මුදල්, දැන් කාඩ් මේ සේරම මැද්දෙ ණය?

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2012 at 12:13 ප.ව.

      Chandi,

      චාන්දි අක්කා ලස්සන චිත්‍රපටියක් තියෙනවා In Time (2011) හැම දෙයකටම කාලයෙන් ගෙවන. ධනවතුන් හැමදාම ජීවත්වෙන, දුප්පතුන් තරුණ කාලයේ දී ම මිය යන. මේ චිත්‍රපටිය වැරදියට වටහා ගන්න අය දකින්නෙ ධනවත් අය කියන්නෙ සැලසුම් ගහන බලය ඇති අය නොවේ කියලයි!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: