ලාබ හා ආලාබ ඇතිවන්නේ කෙසේද?
ලාබ අලාබ යනු රැකියාවක් නොකර අනුන් ගෙන් කා බී ජීවත්වෙන හිඟන්නාට ද අත් දකින්නට ලැබෙන්නකි. එසේම මාස් පඩියක් ගන්නා රජයේ සේවකයාට සිද්ධ වෙන්නකි. නමුත් බහුතරයක් සිතන්නේ ලාබ ලබන්නේ ව්‍යාපාරිකයෙකු පමණක් යැයි කියාය. ව්‍යාපාරිකයන්ට අලාබ සිද්ධ වීමෙන් තමනට රැකියා නැති වී යන බව දකින්නේ කලාතුරකින් කෙනෙකි. මන්ද, අලාබ ලැබූ ව්‍යාපාරයක් වසා දැමීමෙන් දකින්නට දෙයක් නැති නිසාය. බහුතරයට දකින්නට නොහැකි දේ පෙනෙන්නේ ම නැත!!!!!!
නිදහස් වෙළඳපොල ඇති ධනවාදී ආර්ථික ක්රමයක, පුද්ගලික ව්‍යාපාර වල යෙදෙන අය නිෂ්පාදනය යන්නේ කොයි අතක දැයි තීරණය කරති. එම තීරණයෙන් තම තමන්ගේ කුසලතාවය පෙන්වන්නට ඔවුන් ගන්නා උත්සාහයේ දී ඔවුන් තම නිෂ්පාදන මිල දී ගන්නා මහජනතාවගේ උවමනා එපාකම් වලට යටත් වෙති. ඔවුන් ඉතාමත් ම අඩු මිලට වඩාත්ම අනගි දැය පාරිභෝගිකයන් ඉල්ලන ඉක්මණින් දෙන්නට සමත් නොවන්නේ නම්, ඔවුන් පාඩු විඳිති. අනතුරුව ව්‍යාපාරය වසා දමා ඒ උත්සාහයෙන් අයින් වෙන්නට ඔවුනට සිද්ධ වේ. වඩා හොඳින් පාරිභෝගිකයා ඉල්ලන දෑ නිසි කලට වඩා අනගි ලෙසින් අඩු මිලට දෙන්නට හැකියාව ලබන ව්‍යාපාරිකයාට ලාබයක් ලැබේ.
රටේ හැම අයෙකුටම අනාගතයේ දවසක වෙළඳපොලේ තත්වය කුමක් දැයි නිශ්චිතවම කියන්නට හැකි නම්, කිසිම ව්‍යාපාරිකයෙක් ලාබයක් හෝ අලාබයක් අත් විඳින්නේ නැත. එවිට ඔවුන් තමන් කරන නිෂ්පාදනය සඳහා මිල දී ගන්නේ අනාගතයේ භාණ්ඩ වල මිල පැහැදිලිව පෙන්වන ගණන් වලට ම ය. ලාබයක් උපයා ගත හැකියාව ලැබෙන සාධකය නම්, තමන් කරන නිෂ්පාදනයේ අනාගත මිල කුමක් වේ දැයි කල් තියා නිවැරදි අනුමානයක් කරන්නට සමත් වෙන්නාය. එසේ කළ නොහැකි වූවා පාඩුවක් විඳියි.
අනාගතේ කිසිවෙකුට ගෙදර තියාගන්නා පුද්ගලික පරිගණක පාවිච්චි කරන්නට උවමනාවක් ඇතිවෙන්නේ කුමකටදැයි සිතූ කෙන් ඔල්සන් ඊට ආයෝජනය නොකළේය. එහෙත් එවැන්නක් අනාගතයේ ඇති වේ යැයි අනුමානයෙන් අවදානමක් ගත්තේ ඇපල් කොම්පැණියේ ස්ටීව් ජොබ්ස් විසිනි.
ව්‍යාපාර යනු මොනවා දැයි නොදන්නා රටවල බහුතරයක් හුරු වී ඇත්තේ වාසනාව නිසා, පෙර කරුමය නිසා වැනි ඉබේ පහළ වුන නිසා වෙළඳ ව්‍යාපාරිකයෙක් ජය ලැබුවා යැයි සිතන්නට ය. තවත් අයෙක් ව්‍යාපාර යනු කපටි සූත්තර යැයි මතයක එල්බ සිටියි. කපටියන්ට දඬුවම් ලැබෙන යුක්ති සහගත වූ වාතාවරණයක් දකින්නට අපහසු රටක ඒ ගැන අවබෝධය ඇති කරලීම ඉතා අපහසුය.
අවදානමක් ගෙන අනාගතයේ ලබාගත හැකි යැයි අනුමානය කරන මිලක් වෙනුවෙන් කාලයක්, වෙහෙසක් හා උත්සාහයක් ගන්නා අය දකින්නට තමන් වාසය කරනා සමාජයේ ඉඩ ප්‍රස්ථාවක් නොමැති නිසා ලාබ උපයන එක ගසා කෑමක් සේ හුදී ජනතාව දකිති.
ඇයි ඒ ඉඩ ප්‍රස්ථාව නැත්තේ?
අනාගතයේ දී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර ඇතිවන්නා වූ ගණුදෙනුව මෙසේ සිදුවේය යැයි අනුමානයෙන් නිර්මාණකරුවා වෙහෙසෙද්දී, අහක සිට ප්‍රතිපත්ති වෙනස් කර ආණ්ඩුවේ සැලසුම් සම්පාදකයන් මැදිහත් වී නීති ගෙනැවිත් තම තමන්ගේ මලු පුරවා ගන්නා ඉලක්කයෙන් යුතු නිසාය. ආණ්ඩුවක් එසේ නීති වෙනස් කරන්නේ ආණ්ඩුව බලයේ තබාගන්නට මුක්කු සපයන බඩතඩි මුදලාලිලා පෝෂණය කරනු පිණිසය. එය ධනවාදය යැයි සමහරු රැවටී සිටිති. ඒවා එදා රජ්ජුරුවන්ට කෞටිල්‍ය දුන් අර්ථ ශාස්ත්‍ර ගුණ්ඩු යැයි ජනතාව නොදනිති. හුදී ජනතාව සිතන්නේ ආණ්ඩුවක් යනු පොදු ජනතාවගේ සුව සෙත පිණිස කැප වූවක් කියාය. ආණ්ඩුවක් යනු බලයේ ඉන්නට වෙර දරනා පුද්ගලයන් පිරිසක් බව දකින්නේ නැත. බහුතරයට දකින්නට නොහැකි දේ පෙනෙන්නේ ම නැත!!!!!!
අනාගතයේ ලබාගත හැකි යැයි අනුමානය කරන මිලක් වෙනුවෙන් අවදානමක් ගෙන කාලයක්, ධනයක්, වෙහෙසක් හා උත්සාහයක් යොදවන අය කොතරම් පිරිසක් පාඩු විඳ ඇත්දැයි නොදකින්නෝ අපමණය. ඒ පාඩු විඳ ගන්නේ අනාගතයේ විකුණත හැකි යැයි සිතන මිලකට යමක් ඉදිරිපත් කිරීමට පසු කාලයක දී සමත් වීමෙන් යැයි ද ඔවුන් නොදකිති. වැරදි අනුමාන නිසා යට කළ මුදල් ද අහිමි වී බංකොළොත් වී ගිය අය ද නොදකිති. බහුතරයට දකින්නට නොහැකි දේ පෙනෙන්නේ ම නැත!!!!!!
ඒත් රෑට සූර්යයා දකින්නට නැති නිසා සූර්යයා විශ්වයේ නැතැයි කිව්වොත්, එය විශ්වාස කරනා වැඩිහිටියෙක් අද ලොව සිටිනවා ද?!!!!!!
ලාබයක් ලැබෙන්නේ අනාගතයේ දී තමන්ගේ නිෂ්පාදනය කුමන මිලකට විකුණාගත හැකි වේ දැයි අනෙකාට වඩා නිශ්චිතව අද අනුමාන කරන්නට හැකියාව ඇත්තාට ය. එවැන්නා අනාගතයේ වෙළඳපොලක් සඳහා අඩුවෙන් වැයක් යනවා යැයි දකින අද පවතින මිලෙන් සියළු නිෂ්පාදන කටයුතු වල නියැළෙන්නෙකි. ඉතින් සියළු නිෂ්පාදන කටයුතු වල -එනම් ආයෝජනය කරන මූලධනය හා ඊට එකතු වෙන පොලිය ද අනුව- මුළු වැය තමන් අනාගතයේ වෙළඳපොලේ විකුණන භාණ්ඩයේ මිලට වඩා අඩුවෙන් යැයි අද අනුමාන කරන්නෙකි.
අනාගතයේ විකුණන මිල හා නිෂ්පාදනයට ආයෝජනය කරන අද මිල අතර වෙනස ව්‍යාපාරිකයාගේ ලාබයයි.
යම් ව්‍යාපාරිකයෙක් අනාගත මිල ගණන් වැරදියට නිශ්චය කළේ නම්, එනම් හෙට විකිණිය හැකි මිලට වඩා වැඩි වැයක් අද නිෂ්පාදනයට යට කළේ නම් එවිට එය ව්‍යාපාරික පාඩුවකි.
ඉතින්, ව්‍යාපාරික ලාබ සහ පාඩු යනු නිෂ්පාදන ක්‍රියාවලියේ දී වහා සැපයිය යුතු පාරිභෝගික ඉල්ලුම ඉක්මණින්ම ඉටු කරනු සඳහා නිෂ්පාදන කටයුතු හැඩ ගස්වන්නට සමත් වීම හා අසමත්වීම මත සිද්ධ වෙන්නෙකි. මේ හැඩගැස්වීම සකස් කළ පසු වෙළඳපොලක ලාබය අතුරුදහන් වී යයි. නිෂ්පාදනයේ අඩුව සම්පූර්ණ කරන සාධක වල මිල එක්තරා ඉහළ ස්ථානයකට අවුත්, එවිට මුළු නිෂ්පාදනයේ වැය භාණ්ඩයේ මිල හා සම්පාත (coincide) වෙයි.
ආර්ථිකයක හැම දත්තයක්ම නොනැවතී කරන වෙනස්වීම් නිසා නිතරම අලුත් අඩුපාඩු ඇතිවේ. ඒ නිසා ලාබ හා පාඩු ද නිතර දකින්නට ලැබෙන ස්වභාවයකි. ඒ සඳහා නිතර අලුත් හැඩගැස්වීම් ගෙනෙන්නටත් සිද්ධ වේ.
පින්තූරය ලුඩ්විග් වොන් මීසස් ආයතනයෙනි. දෙසැම්බර් 31 වෙනිදාට පෙර මේ ආයතනයට මුදල් ආධාරයක් යැවීමෙන් තමන් ඇමෙරිකන් රජයට ගෙවිය යුතු බදු මුදලෙන් යම් කොටසක් අඩු කරගත හැකියි. තමන් උපයන මුදල් තමා කැමති පරිද්දෙන් වැය නොකර ආණ්ඩුව උදුරා ගෙන ඔවුන්ට රිසි සේ නාස්ති කරනවාට අකමැති අය එසේ තමන් කැමති ආයතන වලට පරිත්‍යාග කරන්නට තැන් සොයනා කාලයයි මේ. මෙසේ පරිත්‍යාගයන් කරද්දී මුග්ධ බස් කියනවුන් සැලකිල්ලට පාත්‍ර කරන්නට අමතක කරනා වැදගත් කාරණයක් ඇත. එනම්, අයෙක් පරිත්‍යාග කරන්නට නම් එයා විසින් මුදල් හම්බ කරගෙන සිටිය යුතු බවයි. ඒ උපයන මුදල් අනිකුත් අය සේ ම තමන් ද ආදායම් බදු ගෙවමින් උපයා ගත් මුදල් වූ බවයි. තමන් පරිත්‍යාග කරන්නේ තමන්ගේ ලාබයයි. ඒ ලාබයට දඩයක් ගහන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව මුදල් නාස්ති කරන නිසා ඊට වඩා පැහැදිලිව තමන් අගයන සේවයක් කරනා ආයතනයකට තම ලාබය පරිත්‍යාග කිරීම වෙහෙස මහන්සි වී මුදල් උපයන මිනිසාගේ තෝරාගැනීමක් වන බවයි.
ආණ්ඩුවට බදු වැඩියෙන් ගෙවන්නට සිද්ධ වෙන නිසා තමන් ආදායම් බදු ගෙවා ඉතිරි කරගන්නා ලාබයෙන්, තමන් කැමති සමාජ සේවාවකට පරිත්‍යාග කිරීම නිසා ලැබෙන බදු සහන හෙළා දකින සමාජවාදීන් ඔවුන්ගේ සමිති සංගම් හා මහා ජනරැළි සඳහා ඔවුන් අතේ තියෙන දොයිතුව වියදම් කරගෙන යෑම කිසිත් වැරැද්දක් සේ අපි කියන්නේ නැතිබව කිසිදා සැලකිල්ලට නොගනිති!!!!!!
නිදහස් වෙලද පොල අර්ථික ක්‍රමය හොදයි තමයි..ඒත් එක එකා මේක ඇතුලේ ඉදන් ගේම් ගහන්න ගියාම තමයි ඉතින් අණ්ඩුව මතක් වෙන්නේ..ඒතකොට හිතෙනවා නීතී ටිකකුත් තිබ්බා නම් හොදයි කියලා…….නිදහස් වෙලද පොල ආර්ථිකයයි,,,ආන්ඩුවේ නීතීයී..මේ දෙකත් අර ඉල්ලුම හා සැපයුම වගේ බැලන්ස් වෙන පොයින්ට් එක තමයි හොදම අර්ථිකේ…මොකද අරුණි කියන්නේ…
මයියා,
නිදහස් වෙළඳපොල කියන්නේ නීති රහිත වූවක් යැයි වරදවා තේරැම් ගෙන. වෙළඳපොල යනු ගණුදෙනුවක නිරතවෙන ඕනෑම අයෙක්. බහුතරය යනු ආණ්ඩුව නෙමෙයි … ඔය පැත්තෙ එහෙම වගේ වුනාට!!!! වෙළඳපොලක බහුතරය කියන්නේ දුප්පතුන් සහ මැද පංතියෙන් හැදෙන පාරිභෝගිකයන්. ඔවුන් තමා වෙළඳපොලක වැඩි ගණුදෙනු වල නිරත වෙන්නේ. ඉතින් ‘නිදහස් වෙළඳපොලක’ ඇති ‘නිදහස’ පාලනය කරන්නේ ඔවුන් විසින්.
ඇතුලේ ඉඳන් ගේම් ගහන්න හැකියාව ඇත්තේ වෙළඳපොල නිදහස් බවින් අඩුවෙලා යද්දී ඒ හේතුව නිසාම බහුතරයට පාලනය කරත හැකි නිදහස නැති වී යද්දී.
කවුද කැමති වැඩියෙන් සල්ලි දීලා අඩුවෙන් කොලිටි බඩු ගන්න? කවුද කැමති ලංකාවේ පෝස්ට් ඔෆිස් එකකට ගියාම සලකන විදියට සැලකිලි ලැබෙන කඩේකින් හැමදාම බඩු ගන්න?!!!! ඊට මිනිස් ස්වභාවය කැමැත්තක් දක්වන්නේ නැති නිසා, වෙළඳපොල නිදහස් වෙද්දී නිදහසේ තීරණ ගන්නා පාරිභෝගිකයා තමයි බොහෝ දුරට නිෂ්පාදකයන්ට ලාබ ලබා දීම හා පාඩු සිද්ධ කිරීම තීරණය කරන්නේ.
මේ ලෝක ගෝලයේ පූර්ණ නිදහස් වෙලදපොල ඇති ආර්ථිකයන් මහත් ගණන්ක් ඇති නිසාත්…ඒ පූර්ණ නිදහස යටතේ ප්රාග්ධනය හසුරවන සුලුතරය ගහන ගේම් මයියා ට තේරෙන්නේ නැති නිසාත්, පේන්නේ නැති නිසාත්, ඇහෙන්නෙ නැති නිසාත් මා නිහඩ වෙමි. 😉
මයියා,
//මේ ලෝක ගෝලයේ පූර්ණ නිදහස් වෙලදපොල ඇති ආර්ථිකයන් මහත් ගණන්ක් ඇති නිසාත්// මෙහෙම කිසිම තැනක් අද ලෝක ගෝලයේ නැහැ … ඒක //තේරෙන්නේ නැති නිසාත්, පේන්නේ නැති නිසාත්, ඇහෙන්නෙ නැති නිසාත් මා නිහඩ වෙමි// යන්න නම් වැදගත් හැදියාවක්!!!! ස්තූතියි මයියා!!!!
බුරූ පිටියක උනත් ඉතින් තෝන් කියලා දෙයක් තියෙනවනේ..තොන් ගන්නේ බුරු පොලේ පැදුරක් දාල , පොලොසියෙන් බේරලා දීල, නිදහසේ සෙල්ලම් කරන්න දෙන කුලියනේ…බදු සල්ලි කියන්නෙත් ඉතින් බූරූ පිට්ටනයේ තෝන් වගේ තමයි…..
හොද ලිපියක් !!
Buddhi,
ස්තූතියි.
සුනාමි ආධාරත් ගෙදර ගෙනියපු ලංකාවේ ඔය වගේ තත්වයක් ඇතිවෙයි කියලා හීනෙන් වත් හිතන්න බෑ අක්කේ
Gold fish,
ඇයි සුනාමි ආධාර ගෙදර ගෙනියපු එක වැරදි යැයි නොදකින්නේ?
ඊ ළඟට කොහොම ද එහෙම ගෙන ගිය අයව දුදනන් යැයි නොදකින්නේ?
ඒවා නොදකින අය, තමන්ට ලැබෙන්නේ එහෙම අයෙක් එහෙම ගෙන යනවා නම් පමණක්, යැයි දකිනා අයයි.
තමන් විසින් හොයා ගන්නා හැටි නොදකිනා අයයි.
තමන් විසින් තම උත්සාහයෙන් තම ජීවිකාව හොයා ගන්නා හැටි අවබෝධයක් ඇති වෙන දා තෙක් වෙනස් තත්වයක් ඇතිවන්නේ ද නැහැ. නොයෙකුත් වේෂ නිරූපනයෙන් එන එකම විදියක හැත්තකට තමන්ගේ පොකැට්ටුවට විදින්නට තමන් ම පාලනය බාර දෙනවා විතරයි.
Honda lipiyak Thanks Aruni
Shanthi,
හැමදාම කියවන්න එනවාට ඔයාටත් ස්තූතියි Shanthi!
රටක වෙළඳපොල පාලනය කරනු පිණිස පාරිභෝගිකයාට සංවිධානාත්මකව කළහැකි දේ මොනවාද? රජයම පාරිභෝගිකයා ගසාකන මාෆියාවක් වී සිටින විට එයින් ගැලවීමට සාමාන්‍ය මිනිසා දැනුවත් කරන්නේ කොහොමද? තමන් අදහන/බලෙන් පැටවූ/පොරොන්දු වලට රැවටීම නිසා එල්ලී සිටින/දූ දරුවන්ට රැකියා ලබාගැනීම සඳහා අකමැත්තෙන් වුවද ඉවසන/ දේශපාලන මිත්‍යාවෙන් ගැලවීමට මග කුමක්ද? රාජ්‍ය කළමනාකරණය අයාලේ/දඩාවතේ/වේසාකමේ/ යෙදීමට එරෙහිව කළහැකි සංවිධානාත්මක ක්‍රියා කවරේද?
විචාරක,
//රටක වෙළඳපොල පාලනය කරනු පිණිස පාරිභෝගිකයාට සංවිධානාත්මකව කළහැකි දේ මොනවාද?//
1. අදහස් ප්‍රකාශයට නොබිය වීම හා විකල්ප මාර්ග සොයා ගැනීම.
2. වෙළඳ නාමයන්ට ඉඩක් දී ඔවුන් වගකිව යුත්තන් කිරීම.
3. තරඟකාරී වෙළඳපොල දිරිගැන්වීමට තමන් අගය නොකරන අයගේ භාණ්ඩ හා සේවා වලට ඉඩ වෙළඳපොලේ තහනම් නොකිරීම. නැත්නම් බාල බඩුයි හොඳ බඩුයි අතර වෙනස දැනගන්නේ කෙසේද?!!!!
4. වෘත්තීය සමිති/යුනියන් වල සාමාජිකත්වය නොගැනීම (මේ ගැන ලියන්නම් වැඩි විස්තර සහිතව)
5. අවම වැටුප් වැඩි කරන්න යැයි මුලාවෙන් අයින් වීම (මේ ගැනත් ලියන්නම් වැඩි විස්තර සහිතව)
ඒ ටික ඇති පටන් ගන්නට.
//රජයම පාරිභෝගිකයා ගසාකන මාෆියාවක් වී සිටින විට එයින් ගැලවීමට සාමාන්‍ය මිනිසා දැනුවත් කරන්නේ කොහොමද? // මේක නම් ඉතින් බහ තෝරන වයසේ දරුවන්ටයි, ඒ ගැන අහන අයට විතරයි කියල දෙන්න පුලුවන්. පස්සෙන් ගිහින් නාහන යක්කුන්ට කිව්වට වැඩක් වෙන්නේ නැහැ!!!!
//තමන් අදහන/බලෙන් පැටවූ/පොරොන්දු වලට රැවටීම නිසා එල්ලී සිටින/දූ දරුවන්ට රැකියා ලබාගැනීම සඳහා අකමැත්තෙන් වුවද ඉවසන/ දේශපාලන මිත්‍යාවෙන් ගැලවීමට මග කුමක්ද? // රජයේ රැකියා යනු තමන්ගේ පොකැට්ටුව පිරෙන නොව හිස්වෙන රැකියා බව පසක් කර ගැනීමට වෙහෙසීමයි. හැකි සෑම අයෙක්වම පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැනීමට දිරි ගැන්වීමයි.
// රාජ්‍ය කළමනාකරණය අයාලේ/දඩාවතේ/වේසාකමේ/ යෙදීමට එරෙහිව කළහැකි සංවිධානාත්මක ක්‍රියා කවරේද?// අවම පඩියක් ඉල්ලා සිටීම වෙනුවට අවම රජයක් ඉල්ලා සිටීම. ආණ්ඩුවේ රැකියා වලින් ඉවත් වෙලා බහුතරය පුද්ගලික අංශයේ රැකියාවන් කරනා විට රජයක් පුංචි වෙද්දී, රජයේ බලතල අඩුවෙද්දී රජයක් අයාලේ/දඩාවතේ/වේසාකමේ යෑමත් අඩුවෙනවා. 😀
සමාජවාදී ව්‍යාපාර මතවාදීව ලාබය කියන දෙය දකින්නෙ නෑ.මොකද ඒ අය දකින්නෙ නිමැවුමක මිලෙන් ඒකෙ ශ්රමයට,අමුද්‍රව්‍ය වලට ගෙව්ව්ට පස්සෙ ඉතිරි වෙන ගාන ධනපතියා සූරා කන බව.නිපදවන ඕනෑම කෙංගෙඩියක් ඕනම ප්‍රමාණයකින් අලෙවි කර ගන්න හැකි නම් ඒක වෙන්න පුලුවන් වුනත් ව්‍යාවසායකයා එහි අවදානම දරන තාක් කල් ඔහුට ඒ ලාභය හිමි බව ඒ සමාජවාදීන් පිලිගන්නෙ නැහැ.හැබැයි පිලිගත්තත් නැතත් ලාබය කියන දෙය ඇහිච්ච් ගමන් වයින් වෙලා ගහනවා බදු(හරි වෙන මොනවා හරි ගාස්තුවක්)
අන්න එංගලන්තේ starbucks,amazon පස්සෙ බදු ගහන්න එලවනවාලු,සමහරවිට අර facebook සමාජවාදීන්ගේ වැඩේ පත්තුවෙලාද කොහෙද.
magenama,
ලාබය අහිතකර වූවක් යැයි දැකීම ඵෛතිහාසික ලෝක ප්‍රවණතාවයක්. වැඩවසම් ලෝකයේ ලාබයක් සොයන්නට හැකිවූයේ ප්‍රභූ පංතියේ උරුමක්කාරයන්ට හා රජයට හේත්තු වූ පීඩකයන්ට පමණයි.
ලාබයක් ලැබෙන සේ ව්‍යපාරයක් ගෙන යෑමෙන් ඕනෑම දුප්පෙතෙකුට ධනවතෙක් වීමටත්, ඒ වාගේ ම සාගත වලින් ගැලවෙන්නට, රෝග නිවාරණයට හා තාක්ෂණ දියුණුවෙන් සතුටු ජීවිත ගෙවන්නට මිනිසාට හැකි යැයි පෙන්වා දෙන්නට සමත් වූයේ ඇමෙරිකාව. ඒ නිසා වෙන්නැති තවමත් යාන්තමකට එහෙම ඉඩක් තිබෙන රට ඇමෙරිකාව විතරයි.
එංගලන්තයේ අය තවමත් ඉන්නෙ වැඩවසම් චින්තනයේ. මාගරට් තැචර් අගමැතිනිය වූ රට වුවත්, අලුතින් උපදින විලියම්-කේට් දරුවා දියණියක් වුවහොත් ඇයට ඔටුන්න ලැබෙනවා යැයි නීති වෙනස් කරගත්ත ද, රටේ නීති කඩා නැති පුද්ගලික ව්‍යාපාරයක් පස්සේ එළවන එංගලන්තයේ වැසියන් දකින්නේ නැහැ රජ මාලිගාවේ වාර්ෂික වියදමට තමන්ගෙ පොකැට්ටු වලින් යන සල්ලි වලින් මිලියන £134 සහ £184 අතර ගණනක් ගෙවනවා කියල.