අරුණි ශපීරෝ‍ වෙතින්

අදත්තාදනය නිසා දිට්ට ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙයි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 8, 2012
© V&A Images/Victoria and Albert Museum, London

© V&A Images/Victoria and Albert Museum, London

හොරකම යනු ස්වභාවික අයිතියක් උල්ලංඝනය කරන්නකි. අයිතිකරුවාගේ අනුමැතිය නොමැතිව, ඊට හිලව්වට එයා කැමති යමක් නොදී, ප්‍රෝඩාවකින්, බලහත්කාරයෙන් අයෙකුගේ වස්තුවෙන් කොටසක් ගැනීම හොරකමකි. හොරා ගත්තු දේ වෙන අයෙකුගේ යහපත වෙනුවෙන් දුන් පමණින්, බලහත්කාරයෙන් උදුරා ගැනීම හොරකමක් නොවීමෙන් ගැලවෙන්නට බැරිය.

බදු බලහත්කාරකමකි. කැමැත්තෙන් ආණ්ඩුවට බදු යවන්න යැයි තෝරාගැනීමක් දෙන්නේ නම් බදු වලින් රටට වන යහපත ගැන උලුප්පා කියන සමාජවාදීන් අතර ම කී දෙනෙක් බදු කැමැත්තෙන් රජයට යවයි ද?

තමනට අයිති නොවූවක් ගැනීම ලෝක ආගම් කිසිවක් අනුමත නොකරන්නකි. එහෙත් මිනිසා වහලෙක් කරන්නේ ආගම යැයි සමාජවාදීන් කියති. සෑම ආගමක් තුල ම දැකිය හැකි බෙදුම්වාදී අතලොස්සක් විසින් එහි නියෙළෙනා බව දකින්නට ඉඩක් නොදෙයි. අනතුරුව කිසිම ආගමක් එපා යැයි කියා මිනිසාව තම වහලෙකු කර ගනිති.

නුදුන් දෙය ගැනීමෙන් වැළකෙමි යැයි ගිරව් සේ කියන්නේ නැතිව එයින් අදහස් වෙන්නේ කුමක් දැයි ඕනෑම ආගමක අයෙක් විමර්ශනය කරන්නේ නම්, සමාජවාදී පාලකයන් වන රොබින් හුඩ්ලා වීරයන් සේ දැකීම ලොව නැවතෙයි ද?!!!!!

බුද්ධාගම කර්මයට නොහොත් ක්‍රියාවට අනතුරුව ඇතිවන ඵලය නොහොත් විපාකය පහදා ඇති ධර්මයකි.

අදත්තාදනය නොහොත් හොරකම නිසා දිට්ට ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්නට සිද්ධ වේ යැයි බුදු දහමේ පෙන්වා දී ඇත. දිට්ට ධම්ම වේදනීය කර්මය නම් මෙලොව දී ම ඵල විඳින්නට ලැබෙන්නා වූ කර්මයකි.

අන් සතු දේ ගැනීම නීතියෙන් ක්‍රියාත්මක වෙද්දී, අඩු මිලට අනගි බඩුවක් ඉදිරිපත් කර වැඩියෙන් වෙහෙසීමෙන් වැඩියෙන් ලාබ සොයන්නට දන්නා අය කම්මැළි වෙති. බහුලව පැතිරෙන්නේ වැඩි මිලට බාල බඩු නිපදවන රාජ්‍ය පාලකයන්ට හේත්තු වෙච්ච අයගේ ඒකාධිකාරයන්. පුරවැසියාගේ සල්ලි නොනැවතී ගලා එන්නේ නම් තමන් වගකීමක් ගැනීමට අවශ්‍ය නොවන ආණ්ඩුව රිසි සේ කරන මුදල් නාස්තිය නිසා රටක් දුප්පත් වීමෙන් පුරවැසියා ද දුප්පත් වීම, මෙහි දී සිද්ධ වෙන්නා වූ දිට්ට ධම්ම වේදනීය කර්මයයි.

නීතිය යනු බලයකි. එම බලය පාවිච්චි කරන්නට අවශ්‍ය මිනිසාගේ යහපත වෙනුවෙනි. මාර්ග නීතියට ගරු කළේ නැත්නම් රිය අනතුරු වැඩිවේ. අපි මාර්ග නීතියෙන් ඉල්ලා සිටින්නේ යුක්තියයි. සැවොම අනුගමනය කළ යුත්තකි. කඩන්නාට දඬුවම් ලැබේ. අධික වේගයෙන් යා නොහැකි පාරක නීතිය කඩමින් වේගයෙන් යද්දී නීතිය රකින අය දඬුවම් දීම අතපසු කළත් ආණ්ඩුවට හේත්තු වෙච්ච අයටත් ස්වභාව ධර්මයා විසින් අනතුරු පමුණුවනු ඇත!!!!!

අද ලෝක ආණ්ඩුවල පිළිවෙත නම් ‘මාර්ග නීති’ අනුගමනය නොකරන සෙසු අයට දඬුවම් කරමින් තමන් ‘මාර්ග නීති’ කඩ කිරීමයි.

නීතිමය මාර්ගයෙන් යුක්තිය පසඳලීමට යැයි කියා සහෝදරත්වය, සාධාරණත්වය, සංවිධානය, සාමූහිකත්වය යනාදි උදාර චේතනා වලින් කටයුතු කරන්නට යද්දී ධනවාදීන් එකඟ නොවන්නේ බලහත්කාරයෙන් ස්ථාපිත කරන්නට හදනා මිනිස් හා ලෝක ස්වභාවයට පටහැනි නීති වලට පමණි.

සමාජවාදීන් සහයෝගය බලහත්කාරයෙන් ඉල්ලති.

සහයෝගය යනු කැමැත්තෙන් ලැබෙනා වූවක් බව සැලකිල්ලෙන් බැහැර කරති.

යුරෝ මිලියනයට වඩා උපයන්නා සිය ආදායමෙන් 75% ක් දිය යුතු බව කියද්දී එයින් කොටසක් තමාට ලැබෙනවා යැයි සතුටු වෙන්නෙකි.

තමන්ගේ ආදායමෙන් 75% ක් බදු ගෙවන්න කිව්වොත්?

එවිට සහෝදරත්වය, සාධාරණත්වය, සාමූහිකත්වය ගැන ඇහෙන්නේ නැත!!!!!

දුප්පතුන් තම ආදායමෙන් 75% ක් ආණ්ඩුවට දෙන්නට අකමැති වෙද්දී ධනවතා ඊට කැමති විය යුත්තේ මන්දැයි ඇසූ විට ධනවතාට ඉන්න හිටින්න කන්න බොන්න සූදු කෙළින්න සල්ලි ඇති පමණින් තියෙන නිසා යැයි කියමින් එසේ ඔහුගේ ‘අතිරික්තය’ ගත්තාට කමක් නැතැයි කියති.

දුප්පතා මෙන් ම ධනවතා ද තම ධනය උපයා ගත් බව සැලකිල්ලෙන් බැහැර කරති.

වැඩියෙන් මහන්සි වී වැඩියෙන් ගොඩගසා ගත් බව සැලකිල්ලෙන් බැහැර කරති.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සැමට එක සේ අවස්ථාව දෙන ක්‍රමයක් බව සැලකිල්ලෙන් බැහැර කරති.

සැමට එක සේ අවස්ථා කියන්නේ බහුතරය විසින් ධනපතියාගේ වෙහෙසට බදු ගැසීම යැයි අද මතයයි!!!!! එය ආණ්ඩුවක් ලවා කරවීම තමන් විසින් මුදල් උදුරා ගැනීමට වඩා ශීලාචාර වූ හැදියාවක් යැයි සිතයි.

අයිතිකරුවන් කවුදැයි නොදන්නා ලොකු වෙළඳසැලකින් බඩු හොරකම් කිරීම දන්නා හඳුනන ගමේ මුදලාලිගේ කඩයෙන් බඩුවක් හොරකම් කිරීමට වඩා වෙනස් යැයි සිතන මේ හැදියාව හොරකම නම් හොරකම බව සැලකිල්ලෙන් බැහැර කරයි.

එවැනි මිනිසුන් වෙතින් බලයට පත්වෙන ආණ්ඩුවක් ද, ධනවතාගෙන් වැඩියෙන් ද දුප්පතාගෙන් අඩුවෙන් ද මුදල් උදුරා ගනියි.

දුප්පතාගේ පොකැට්ටුවේ ඇත්තේ සත ගණනක් ද පෝසතාගේ පොකැට්ටුවේ ඇත්තේ රුපියල් ගණනක් ද වෙද්දී, තමන්ගේ පොකැට්ටුවෙන් සත ගණන් බැගින් 63% ක් හිස් ව යද්දී එය ද නොදකියි!!!!!

වැඩවසම් ලෝකයෙන් ගැල වී සැමට එක සේ අවස්ථාව දෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සිටිය ද, තවමත් හිතන්නේ රජ්ජුරුවෝ ආර්ථිකය නැණ නුවණින් මෙහෙයවා තමන්ට සව්සිරි පිරි ගෙන දෙන්නට දත්තේ ය කියාය. ආණ්ඩුව යනු බලයේ ඉන්නට වෙර දරනා පුද්ගලයන් පිරිසක් බව නොදකිති. ඔවුන් ලාබ උපයන්නට දන්නේ නැති බව නොදකිති. ඔවුන් පාඩු විඳිනා විට ණය කරන්නේ තම පවුල නොව රටේ පුරවැසියන් බවත් නොදකිති.

වෙන මොකුත් ඕනෑ නැහැ, පාර්ලිමේන්තුවේ කැන්ටිම දිහා බැලුවාම කාගේ සල්ලි වලින් කවුද කන්නෙ කියලා “දකින්න” පුළුවන්!!!!!

“ආණ්ඩුව ධාන්‍ය වගා කරනවාට අපි අකමැති වූවාම සමාජවාදීන් දෝෂාරෝපණය කරන්නේ මිනිසුන්ට කන්න දෙනවාට අපි අකමැති කියාය.” -බැස්ටියාට්.

ආණ්ඩුවක් ධාන්‍ය වගා කරන්නට දන්නේ නැත්තේ ආණ්ඩුවේ ඉලක්කය නම් බලයේ රැඳී සිටීම නිසයි.

වඩාත් පිරිසකගේ සුවසෙත සැලසෙන්නේ ඒකීය පුද්ගලයන්ට තමන් කැමති උත්සාහයන් හඹා යන්නට ඉඩ දී ආණ්ඩුව පැත්තකට වූවාම බව අවබෝධ කරගත යුත්තේ පළමුව පුරවැසියාය. බහුතරයා දරන දෝෂ සහගත අදහස වූ ආණ්ඩුව මැදිහත් නොවුනොත් සැමට සුවසෙත නොසැලසෙනවාය යන්න බහුතරයා විසින් නිවැරදි කරගත යුත්තකි. ඉන්පසු ඊට දෙන ආණ්ඩුවකට කැමති කාලයක් බලයේ ඉන්නට පුරවැසියන් වෙතින් අවසර ලබන්නට නම් පුරවැසියාට මේ සිද්ධාන්තයන් නැවත නැවත මතක් කර දිය යුතුය.

දේපල අගය අඩු කරමින් හැම අත දුවන වල්සතෙක් නොවන්නට ආණ්ඩුවක් පාලනය කරගත යුත්තේ පුරවැසියාය. බලයේ පවතින ඕනෑම ආණ්ඩුවකට හේත්තු වන ධනපතියන්ට හැරෙන්නට රටේ පවතින නීති නොකඩා මුදල් පොදි ගහන්නට වෙන කිසිවෙකුට බැරි බව ඔහු විසින් අවබෝධ කරගත යුත්තකි. රජයේ ජනමාධ්‍යය ඒකාධිකරයෙන් ගැලවෙද්දී මේ අදහස් පුරවැසියන්ට එකිනෙකා හා බෙදාගැනීමට අද පහසු වී ඇත.

ලෝකය පැතලි යැයි පිළිගත් අය එය නිවරද කරගත්තා නම්, ආණ්ඩුවේ හොරකම යනු කුමක් දැයි කවදා හෝ ලෝකය ම පිළිගන්නා දවසක් උදාවනු ඇතැයි සිතිය හැකියි.

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on දෙසැම්බර් 8, 2012 at 12:36 ප.ව.

    මේ කපේදි වෙන දෙයක් නම් නෙවෙයි…..

  2. wicharaka විචාරක said, on දෙසැම්බර් 8, 2012 at 2:41 ප.ව.

    අනේ අපේ පාලකයන්ටනම් බන කියලා වැඩක් නැහැ අරුණි. එක දවසකට, එක සතියකට, එක මාසෙකට, එක අවුරුද්දකට බුදු අම්මේ……….. මේ රටේ කොච්චර බන කියනවා ඇද්ද? එයිනුත් බොහොමයක් ලොකු ලොකු උන්නැහේලා සහභාගිවන ධර්ම දේශනා. ඉතින් මුන් හැදෙනවද? මහානායක හාමුදුරුවරු කරන ඉල්ලීම්වත් අහනවද? අර වනසත්ව ජීවිත පෙන්නුම් කරන වාර්තා චිත්‍රපටිවල ඉන්න හයිනාවෝ වගේ කපටි සහ දරුණු විදිහට ගොදුරු හෙවත් බදු ඩැහැගන්න තමයි බලන්නේ. මමනම් හිතන්නේ බලවත් සංවිධානාත්මක නැගිටීමක් අවශ්‍යම වෙලාවක අපි දැන් ඉන්නේ.

    • arunishapiro said, on දෙසැම්බර් 8, 2012 at 2:59 ප.ව.

      විචාරක,

      ඔව් පාලකයන්ට කියලා නම් වැඩක් නැහැ. ඔවුන්ගේ අරමුණ වෙනකක් නිසා. මේ කියන්නේ පාලකයන්ට චන්දෙ දාන මිනිස්සුන්ට.

      සමහර මහානායක හාමුදුරුවරු කියන බණ ඇහුවාම නම් ඔවුන් බුද්ධාගමේ දැයි අහන්න හිතෙනවා! පෘතුගීසි කාලේ කොච්චරක් සිංහල බෞද්ධයන් සිටියා දැයි කියන මහානායක හිමියන් සිතුවා ද මන්දා බුදු හාමුදුරුවන්ගේ දඹදිව සිංහල බෞද්ධයන් කීයක් හිටියා දැයි කියල. බුදු හාමුදුරුවෝ සිංහල ද? සිංහල බෞද්ධයන් වැඩි කරගන්න දරුවන් හදන්න යැයි කියන හාමුදුරුවන් ලෝකයේ සිංහල නොදන්න බහුතරයට බණ කියලා බෞද්ධයන් වැඩි කරගන්න කැමැත්තක් නැති ද කියලා අහන්න කවුරුවත් ඉන්නවා ද?!!!

  3. මයියා said, on දෙසැම්බර් 8, 2012 at 8:37 ප.ව.

    අර පින්තූරේ ඉන්න අලියා ට්‍රොජන් අශ්වයා වගේ නේද?

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2012 at 8:36 පෙ.ව.

      මයියා,

      නෑ මයියා, ට්‍රෝජන් අශ්වයා අස්සෙ හැංගිලා හිටිය සේනාව කාටවත් දකින්න හැකි විදියට නෙමෙයිනෙ හිටියෙ. මේක හැමෝටම පෙන්නම අන්තහ්පුර ගෑණු උඩින් යන රජ්ජුරුවෝ වගේ එකක්. අන්තහ්පුරයේ කාන්තාව රජු සිත් පිනවන වහලියක්. අදත් පාලකයන්ට බලතල වැඩියෙන් පවරලා තමන්ට සේවයක් සැලසෙනවා යැයි මුලාවෙන් ඉන්නා පුරවැසියා පාලකයාගේ සිත් පිනවන එවැනිම වහලෙක්.

  4. dayal bathee said, on දෙසැම්බර් 8, 2012 at 8:44 ප.ව.

    ධනවාදියෙක් හරි ආණ්ඩුවලට බනිනව නම් මං ඒ පැත්තේ,

    බඩ පිරෙන්න කන්නෙ නැත්නම් හරියට තීරන ගන්න බැහැ.

    බුදු හාමුදුරුවොත් දේශනා කර තිබෙන්නෙ සාකච්ඡාවට පෙර කෑම දෙන්න කියල.
    ඒක වඩා හොඳයි, හිතන්න කස්ටිය බත්මුල බැඳගෙන ආව කියල.
    ඔබ හිතන්නේ මොනව තියේවිද බත් මුල් වල.

    හොර මුව මස් ගාතයක්
    දෙපත් නයි මාලුව
    කටුසු සුප්
    වවුල් බැදුම

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2012 at 8:39 පෙ.ව.

      dayal bathee,

      සමාජවාදීන් හැමදාම ඔහොම තමයි. තමන්ගෙ අතට බලය ගන්න ආණ්ඩුවක් පෙරළන්න ඕනෑ වුනාම ප්‍රතිපත්ති ඔක්කොම පාවා දෙනවා!!!!!!

      අනුන්ගෙ බත්මුල් වලින් කන්න බලාගෙන ඉන්න අයට ලැබෙන්නෙ ඔය කියන දේවල් තමයි.

  5. Kenji @ Japan said, on දෙසැම්බර් 8, 2012 at 10:23 ප.ව.

    [අ]ධර්මයෙන් රට පාලනය කරන රජුට සහ පවුලෙ ඇත්තන්ට ඕව බලපාන්නෙ නැහැනේ?කතිර ගහන එව්වන්ටනේ හැම කරුමයක්ම පටිසන් දෙන්නෙ.

    • arunishapiro said, on දෙසැම්බර් 9, 2012 at 8:47 පෙ.ව.

      Kenji @ Japan,

      //[අ]ධර්මයෙන් රට පාලනය කරන රජුට සහ පවුලෙ ඇත්තන්ට ඕව බලපාන්නෙ නැහැනේ?//

      ප්‍රංශ විප්ලවයෙන් භීෂණ සමයක් ගෙනා මැක්සිමිලියන් රොබෙස්පියර් මැරුණා තරුණ වියේ දී ම. ඔහු සඳහා අද ප්‍රංශයේ දුම්රිය නැවතුම් පොලක බෝඩ් එකක් පමණයි ඉතිරි වී ඇත්තේ. මෙහි මා රොබෙස්පියෙර් ගැන ලියද්දී ඔහු කවුදැයි කිසිදා අසා නොතිබුණ අය සිටියා.

      ස්ටාලින් ගේ දුව හැංගෙන්නට එන්නේ ඇමෙරිකාවට. ඇය නොබෝදා මිය ගියේ ද විස්කොන්සින් වල දී. හිටපු සෝවියට් රටවල් සමහරක ස්ටාලින් ප්‍රතිමා ඉවත් කළා.

      අද චීනය මාඕං සේතුං ගැන කියනවාට වඩා කොන්ෆියුසියස් ගැන කියන්න, උගන්වන්න, ප්‍රතිමා හදන්න වැඩියෙන් වෙහෙස වෙනවා.

      දිග ලැයිස්තුවක් ලියන්න ඕනෑ නැහැ, ඊයේ පෙරේදා තුරන් වෙච්ච සදාම් හුසේන්, ගඩාෆි ගැන සිහි කරන්න. හෙට අනිද්දා හැංගෙන්න තැනක් හොයන සිරියාවේ අසාද් එහෙම ගැන සිතන්න.

  6. naleendilruksha said, on දෙසැම්බර් 8, 2012 at 10:38 ප.ව.

    අපුරු සිතුවිල්ලක් අපි කව්රුත් බණ කියනවා විතරනේ කියන කෙනාවත් පිළිපදින්නේ නැති යුගයක තව වෙන මොන කතාද

  7. magenama said, on දෙසැම්බර් 10, 2012 at 12:03 පෙ.ව.

    ඔය රූපයට සමාන රුවක් ලංකාවෙ පුරාණ කැටයම් වල තියෙනවා,සප්ත නාරි පල්ලැක්කිය කියන නමින් වෙන්න ඕන. සල්ලි වලටත් වඩා ඔය විදිහෙසිද්ද වෙන හොඳම අදත්තාදානය අපේ නිදහස් සිතුවිලි අමු අමුවෙ හොරකම් කිරීම සහ අවුරාලීම.

  8. Din said, on දෙසැම්බර් 10, 2012 at 2:05 පෙ.ව.

    අපි උප්පත්තියෙන්ම, අසමානය. උප්පත්තියෙන් වරප්‍රසාද, දේපල අයිතිය ලැබූ අයත්, මහන්සියෙන් එම අයිතිය ලැබූ අයත් මහන්සියේ තරමට එකී අයිතීන් නොලැබූ අයත්, මහන්සි නොවූ අයත් ලෝකයේ සිටිති.
    ඒ අනුව, හොඳ තැනක ඉපදුනොත් (කර්මය?) අඩු මහන්සියකින් වරප්‍රසාද/ධනය ලැබිය හැකියි නේද?
    පිළිතුර බැලීමට නැවත ගොඩවෙමි.

    • arunishapiro said, on දෙසැම්බර් 10, 2012 at 9:07 පෙ.ව.

      Din,

      //ඒ අනුව, හොඳ තැනක ඉපදුනොත් (කර්මය?) අඩු මහන්සියකින් වරප්‍රසාද/ධනය ලැබිය හැකියි නේද?//

      හොඳ තැන ඉපදුන පමණින් එය ගැරැන්ටියක් වෙන්නෙ නැහැ.

      හේතු මේවා.

      ස්වභාවය ධර්මය යන්න මිනිසා දුප්පත් ද පෝසත් දැයි සැලකිල්ලට නොගන්නා වූ බලවේගයක්. එය ඇවිත් සුනාමියකින්, කුණාටුවකින්, ගින්නකින්, භූමි කම්පාවකින් ජීවිතය හෝ වස්තුව විනාශ කරලා දාන්නෙ එයා සමාජයේ බලවතෙක් ද, පෝසතෙක් ද, උගත් අයෙක් ද නැද්ද සොයා බලන්නෙ නැතිව.

      ඒ වගේ ම මිනිස් ස්වභාවය (පයිලට්, මෙකැනික්, එයාර්පෝර්ට් කොන්ට්‍රෝල් අයගේ වැරැද්දක් නිසා) ගුවන් යානයක් කඩා වැටිලා මැරෙන්න ඉඩ තියෙනවා.

      මිනිසා කොතරම් හොඳ තැනක ඉපදුනත්, සතෙක් වගේ සිය ජීවිතය ආරක්ෂා කරගන්නට සහජ දැනුමක් ඇතිව ඉපදෙන ස්වභාවයකින් යුත්තෙක් නොවෙයි. තමන් විසින් ඉගෙනීමක් පුහුණුවක් හා දැනුමක් ලබාගත යුත්තෙක්. උදා. තමන් කියවන්න ඉගෙන ගත්තෙ නැත්නම් කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ අකුරු ලියලා තියෙන කොළයක් දිහා බලාගෙන ඒකෙ ලියලා තියෙන්නෙ මොනවා දැයි දැනගන්න බැරි නිසා. එදා කියවන්න නොදත්තා තමන් මුදල් ගෙවන කියවන්නට හැකි අයෙකුගේ පිහිට ලබාගත්තා. ඒත් එහි දී “අනලස -diligence: අනුන්ට බාර නොදී තමන්ගේ වැඩ කටයුතු නිවැරදිව කෙරෙනවා දැයි සොයා බැලීමේ වගකීම තමන් බාර ගැනීම. පුංචි නොසලකා හැරීමක් නිසා දැවැන්ත මගෝඩියකට ඉඩ සැලසෙනවා -a little neglect may breed great mischief-“. ආර්ථිකය වැඩ කරන හැටි නොදන්නා ව්‍යාපාරිකයා වගේම රාජ්‍ය නායකයා ද වැරදි උපදෙස් පිළිපැද්දොත් වෙන්නේ මෙයම තමයි. ඉතින් කොච්චර හොඳ තැනක ඉපදුනත් තමන් විසින් උත්සාහයක් ගත්තේ නැත්නම් තමන් දුප්පතෙක් වෙන්නට ඇති ඉඩකඩ වැඩියි.

      දැන් මෙහෙම කියද්දී දේශපාලකයන්ගේ මෝඩ දරුවන් කොච්චර ධනවත් දැයි ඔබ අහන්න පුළුවන්.

      ඉතා හොඳ තැනක ඉපදුන චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපති වෙන්නට කළින් ගෙදර බඩු මුට්ටු පවා විකුණන තරමේ දුප්පත් බවින් සිටියා. ඇය නැවත ධනවත් වූයේ හොඳ තැනක ඉපදුන නිසා පමණින් නෙමෙයි.

      මිනිසා ජීවත් වෙන්නේ තවත් මිනිසුන් ඇසුරු කරමින් ඔවුන් හා ගණුදෙනු කරමින්. අනිකුත් මිනිස් ස්වභාවයන් තමන්ගේ ජීවිතයට බලපානවා.

      රටේ මිනිස්සු චන්ද්‍රිකා ජනාධිපතිවරිය කරගත්තාම, අදට වඩා වැඩි වෙනසක් නොතිබු එදා, ඇය අනිකුත් අයට නොලැබුනු අවස්ථා යොදාගෙන ධනවත් වූයේ ලංකා සමාජයේ මිනිස් ස්වභාවය ජනාධිපතිගේ ආදායම් එන්නේ කොහෙන් දැයි ගැන අහන සිරිතක් නැති නිසා!!!!! මෙහෙ නම් ජනාධිපති බදු කොලේ ලෝකෙටම පෙන්වනවා.

      ඉතින් ඔබාමා හොඳ තැනක ඉපදුනාය කියා කාටවත් කියන්න බැහැ. කෙන්යාවෙන් පැමිණි ශිෂ්‍යයෙකු වූ පියා කළින් විවාහයක සිටිය දී තමයි ඔබාමාගේ අම්මා සමඟ එකතුවෙන් ඔබාමා උපදින්නේ. අනතුරුව පියා ඔවුන් අතහැර ගොස් තවත් විවාහයක් කරගන්නවා. තාත්තෙක් නැතිව හැදෙන වැඩෙන පුතෙක්. ඔබාමාගේ අම්මාත් දෙවැනි කසාදයක් කරගන්නවා. ඔහු ධනවත් හෝ බලවත් හෝ උසස් පරම්පරාවක අයෙක් නෙමෙයි. ඒත් අද ඔහු රටේ ජනාධිපතිවරයා. ඒ තමයි අනිත් මිනිස් ස්වභාවයන් අයෙකුට බලපාන හැටි!!!!!!!

      • Din said, on දෙසැම්බර් 11, 2012 at 1:56 පෙ.ව.

        ඔතනට එන්න වැඩිය මහන්සි උනේ චන්ද්රිකද? ප්‍රේමදාස ද?
        පොහොසත් දරුව O/L ඉගෙනගෙන දිනා ගන්න දේවල් ලබන්න දිලිදු දරුවට උපාදියක් ලබන්න අවශ්‍ය නැද්ද?
        අපි ඉපදෙන තැන අනුව විය යුතු මහන්සිය, උද්යෝගය අනලස් බව තීරණය වන්නේ නැද්ද?

        • arunishapiro said, on දෙසැම්බර් 11, 2012 at 7:58 පෙ.ව.

          Din,

          අයෙක් වැඩියෙන් හෝ අඩුවෙන් මහන්සි වුනා කියල කියන්න බැහැ. යම් තත්වයක් අත් කරගත් හැම අයෙක් ම එයාට හැකි පමණින් උපරිමයට මහන්සි වූ අයෙක්. මම ඔබාමාට අකමැති බව මේ සටහන් කියවන හැමෝම දන්න කාරණයක්. ඒත් ඔබාමා ඇමෙරිකන් ජනාධිපතිවන්නට ගත් වෙහෙස කිසිදාක අවතක්සේරු කරන්නේ නැහැ. එයට උත්සාහයක් ඔහු නොදැම්මා නම් ඔහු තවත් කටමැත දොඩවන නිකමෙක් විතරයි.

          //පොහොසත් දරුව O/L ඉගෙනගෙන දිනා ගන්න දේවල් ලබන්න දිලිදු දරුවට උපාදියක් ලබන්න අවශ්‍ය නැද්ද?// නැහැ. මේ ගැන මම ඉදිරියේ දී විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම යැයි හිතෙන්නෙ නිර්මාණකරුවාට සහ නිර්මාණ මිල දී ගන්නාගේ ගණුදෙනු අතර මැද්දට පැන සමාජ සාධාරණත්වය සලසන නාමයෙන් ඔවුන්ගේ ගණුදෙනු වලට නිදහසක් නැති සමාජයක පමණයි. ස්ටීව් ජොබ්ස් කදිම උදාහරණයක්. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සිටම -අද කෙමෙන් ඊට බාධක වැඩිවුනත්- ඇමෙරිකාවේ තියෙන නිදහසක්.

          //අපි ඉපදෙන තැන අනුව විය යුතු මහන්සිය, උද්යෝගය අනලස් බව තීරණය වන්නේ නැද්ද?// එහෙම යැයි පෙනෙනවා මිසක් එය සත්‍යයක් නෙමෙයි. පරිගණකයේ වැරදීමකින් තමාව රංගන පංතියකට දාපු නිසා රංගනය හැදෑරූ පුද්ගලයෙක් රංගනයෙන් මහා ධනයක්, කීර්තියක් හා තමන් එතරම් ඇළුම් කරත යැයි කිසිදාක නොසිතූ රස්සාවක් කරමින් පුද්ගලික ආස්වාදයක් උපයා ගන්නා අයෙක් ඉන්නවා.

          අයෙක් මුහුණ පාන ජීවිත අභියෝගයන් මොනවා වේ දැයි කිසිවෙකුට අනාවැකි කියන්නට බැහැ. මිනිස් ස්වභාවයන් හා ලෝක ස්වභාවයන් ගෙනෙන ඒ අභියෝගයන් සියල්ල මිනිසා ජයගන්නේ තමන්ට ම සුවිශේෂී වූ අවස්ථාවන් ඉදිරියේ. අයෙක් උත්සාහය යොදවන්නේ කොතරම් වැඩියෙන් දැයි කොතරම් අඩුවෙන් දැයි කියන්නට බැරි ඒකයි. ඒත් සෑම පුද්ගලයෙක්ට ම තමන්ට ම සුවිශේෂී වූ මොළයක් ලැබිලා තියෙනවා උප්පත්තියෙන්. අන්න එය පාවිච්චියට ගන්නා ආකාරය අනුව තමයි එයාගේ අනගාතය තීරණය වෙන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: