අරුණි ශපීරෝ‍ වෙතින්

කනෙටිකට් වලින් ශෝචනීය පුවතක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 15, 2012

68644_10151317035954668_772310267_n

ඊයේ කනෙටිකට් ප්‍රාන්තයේ නිව්ටන් නගරයේ ළදරු පාසැලකට කඩා වැදී දරුවන් විසිදෙනෙක්ව වෙඩි තබා මරන ලද්දේ විසි හැවිරිදි තරුණයෙකි. පාසැලේ ගුරුවරුන් හතක් ද වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත. ප්‍රවෘත්ති වලින් ලැබෙන තොරතුරු සම්පූර්ණ නැත. මිනීමරුවාගේ මව සහ පියා දෙදෙනාමත් වෙනත් තැනක දී මිය යන ලදැයි තවත් වාර්තාවක් ද අසන්නට ලැබුණි.

සියලු ප්‍රවෘත්ති අවසන නැවත තුවක්කු තහනම ගැන කුමන හෝ කතාබහක් සිද්ධ වේ. මිනිසෙකුට කෙසේද මෙවැනි දුෂ්ටයෙක් විය හැක්කේ යැයි සිතන්නාට මිනිසුන් අතර එවැනි දුෂ්ටයන් සිටින්නේය යන්න අමතක වී ඇත. දුෂ්ටයන් වනාහි නීති පිළිපදින අය නොවන බවත් අමතක වෙති.

තුවක්කු තහනම් එංගලන්තයේ හෙදියකට පසුගිය දිනෙක බොරු දුරකතන ඇමතුම ආවේ ඔස්ට්‍රේලියාවේ රේඩියෝ නාලිකාවකිනි. රේඩියෝ විකාශන අහන්නට මහජනයා හුරු වූ දා පටන් එවැනි විකට උත්සාහ නිදහස් ලෝකයේ සිද්ධ වූවකි. එයින් සිත රිදී තම මරණය කැඳවා ගත් හෙදිය නිසා රේඩියෝ නාලිකාව වරදකරු කර එවැනි ක්‍රියාවන් වලට නීති ගෙන්නෙනට ඉක්මන් වන අය ලොව බහුලය. රේඩියෝවට තහනම් නීතියක් ගෙනා පමණින් ලැජ්ජාවකට පත් වූ නිසාවෙන් සියදිවිනසා ගන්නා අයෙක් ව එයින් වළකා ගත හැකි යැයි සිතන අය ලොව බහුලය. ලෝකයා හමුවේ දිග නොහැරෙන සිද්ධි වලට මුහුණ දෙන කොතරම් පිරිසක් ඔවුන්ගේ ළඟම ඥාතීන් හැරෙන්නට ගමේ ගොඩේ අයත් නොදන්නා තම සිතට ලැජ්ජාවක් ගෙනෙන ලද සිද්ධියක් නිසා සියදිවි තොර ගත්තවුන් දැයි සොයා බලන්නට අයෙක් වෙහෙසක් නොගනියි.

ග්‍රීක-රෝම සම්ප්‍රදායෙන් ස්පාර්ටන් රාජ්‍ය නීති සම්පාදනය අගයන්නේ බහුතර ලෝකයයි. මිනිසා වනාහි සහජයෙන් අගතිය කරා යන්නා වූ දුෂ්ටයෙක් යැයි කියන නීති සම්පාදකයන්ට තව තවත් නීති පනවන්නට බලය නොදුන්නොත් සමාජයක් එහි නොවැළැක්විය හැකි විනාශය කරා යනවා යැයි කියන්නට මේ ඛේදවාචකය පොහොර ලෙස යොදා ගැනෙනු ඇත.

මිලියන 313 ක ජනගහණයක් ලොව සුවිශේෂී වූ නිදහසකින් ජීවත්වෙන ඇමෙරිකාව සෙසු ලෝකය හා සසඳනු නොහැකිය. නිදහස් මාධ්‍යය වලින් ලෝකයටම සිය ශෝචනීය ප්‍රවෘත්තිය විසුරුවා හැරීමට හැකි මෙහි අගය නොදන්නා බහුතරය ඇමෙරිකාවේ සදාචාරය පිරිහිලා යැයි කියනු ඇත. අද ඇමෙරිකාවේ සතුටින් ජීවිත ගෙවත හැකි ඒ වයසේ ම ඉන්නා මිලියන 22 ක දරුවන් ගැන අයෙකුගේ සිහියට එන්නේ නැත.

ජනතාව බැටළුවන් සේ දක්කාගෙන යන්නට හදනා එඬේරන්ට ඇති බලය තව තවත් වැඩි කිරීමෙන් දුෂ්ටයන් නැති කරගත හැකි යැයි සිතන අය දකින්නේ අද යුරෝපයේ ඇත්තේ ධනවාදයේ කඩාවැටීම කියාය. තව තවත් නීති සම්පාදනයෙන් රටවල් හදන්න හැකි යැයි සිතන යුරෝපයේ දරු උපත් පහළ යද්දී තුර්කියෙන්, උතුරු අප්‍රිකානු රටවලින් සහ ආසියාතිකයන් රටට ගෙනැවිත් ඔවුන් ලවා වැඩ ගනිති. එහෙත් අහිංසක මිනිස් ජීවිත 77 ක් ඝාතනයක් කළ නොර්වේ හි Anders Behring Breivik ඉදිරියේ කොතරම් නීති දැඩි කළත් දුෂ්ටයන් නැවතිය හැකි නොවන බව එඬේරන් සහ ඔවුන් අනුගමනයට කැමති බැටළුවන් පිළිනොගනිති.

තමන් මානසික රෝගීන් යැයි කියා ගනිමින් දුෂ්ටයන් නීතිය හමුවේ නිදහස ලබනවා යැයි තෝමස් සාස් නිවැරදි ලෙස පෙන්වා දුන්විට නීති හදන එඬේරන් කළේ මානසික රෝගීන් බහුතරය රෝහල් වලින් එළියට දැමීමයි!!!!!

දරුවන් පාසැල් වලින් ආගමික ආචාර ධර්ම ඉගෙනීම නිදහසට පටහැනි යැයි කියූ එඬේරන් කළේ මහජන පාසැල් වලින් එඬේර මත පමණක් කියා දීමයි. බැටළුවන් හා සමාන මිනිසාව දක්කා ගෙන යා යුතුය. එයට සමත් වෙන්නේ අගතියෙන් බේරාගන්නට නීති හදන්නට දන්නා ආණ්ඩුවේ එඬේරන් මිස දරුවාගේ දෙමව්පියන් නොවෙති.

ඉතින් මෙහෙම බලද්දී, නීති සම්පාදනයෙන් දුෂ්ටයන් නැති කළ හැකි යැයි කියා එඬේරන් ස්වේච්ඡාවෙන් ම වගකීම් බාරගත් බැවින් එඬේරන් ඍජුව වගකිව යුතු වූ පැමිණිලි හැරෙන්නට රටේ වෙනත් කිසිම පැමිණිල්ලක් ඇත් ද?

ඉතින් පුදුමයක් ද එහෙනම්, හැම අසාර්ථක වූ වෑයමක් ම දැන් තවත් නීතියක් කැඳවන අවදානමක් ගෙනෙනවා යැයි කීම?

30 Responses

Subscribe to comments with RSS.

  1. buwa said, on දෙසැම්බර් 15, 2012 at 9:57 පෙ.ව.

    ඒ සිදුවීම ගැන ගොඩක් කණ්ගාටුයි , ඇමරිකාවෙන් නිතර අහන්න ලැබෙන මේ වගේ සිදුවීම් වලට විසඳුම කොතනද කියන එක ගැන අදහසක් ලංකාවේ ඉඳන් කියන්න බෑ ,

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2012 at 10:11 පෙ.ව.

      buwa,

      //ඇමෙරිකාවෙන් නිතර අහන්න ලැබෙන්නෙ මේ වගේ සිදුවීම්// කියද්දී ලංකාවේ ප්‍රවෘත්ති අන්තර්ජාලයෙන් බලද්දී මම මිලියන 20 ක් ඉන්න ලංකාවේ කෙරෙන මිනිස් අපරාධ බොහොමයක් දකිනවා … ඒත් මෙහෙ මේවා ගැන ලෝකයම කතා කළාට ලංකාවේ අය ගැන කවුරු කතාකරනවා ද? මතකයේ ඇති එක ලාංකික ප්‍රවෘත්තියක් මෙහෙම: අනියම් ලිංගික සබඳතාවයක යෙදෙන්නෙක් ගෑණු එක්කෙනාගේ දරුවන් දෙන්නා ඔවුන්ව දැක්කා කියලා දරුවන් දෙන්නව මරා දැම්මා. කියෙව්වා ද එය? ඒත් එක දවසක දරුවන් 20 ක් මැරැනා කියල ඇහැව්වම කම්පනය දැඩියි. ලොකුවට පේනවා.

      දුෂ්ටයන් ලොව හැමදාම ඉන්නවා. ඔවුන්ට දුෂ්ටකමේ යෙදෙන්නට කළින් දඬුවම් කළ නොහැකියි. එහෙත් එය නීතිය මඟින් කරන්නට ගන්නා උත්සාහයේ දී දුෂ්ට නොවූ මිලියන ගණනකගේ අයිතීන් කප්පාදු වෙනවා. ඒත් දුෂ්ටකම් නතර වෙන්නේ නැහැ. නීති ගෙනැවිත් මිනිසා අකර්මණ්‍ය වූ ලෙසින් සිරකර තැබීමෙන් හෝ බෙහෙත් හෝ මත්පැන් මතින් තැබීමෙන් දුෂ්ටකම් අවම කරගත හැකි යැයි සිතන සමාජයන්හි වෙනත් සෞභාග්‍යයන් කෙමෙන් කෙමෙන් අතුරුදහන් වීම දැකිය හැකියි.

      විසඳුම, වැඩියෙන් සද්ගුණවත් පිරිසකට වැඩියෙන් නිදහසින් ඉන්නට ඉඩ දීමයි. නැතිව දුෂ්ටකමක් දැක බිය වී, කම්පනයට පත් වී, තව තවත් නීති ගෙනැවිත් සියල්ලන්වම අකර්මණ්‍ය වූ සිත්පිත් නැති රූකඩයන් කිරීම නොවෙයි.

  2. Chandi said, on දෙසැම්බර් 15, 2012 at 12:09 ප.ව.

    මම අද දහවල් ඔය ප්‍රවෘත්තිය අසා අපමණ කම්පාවට පත් වුණා අරුණි. අපේ මහත්තයාගෙ යහළුවෙක් ඔහේ ඉන්න කියා තිබුනා විස්තර. ධර්මයක් නොඇසෙන රටක් නිසා මේව බහුලයි කියල හිතුවට අපේ රටෙත් මේ වගේ නරුමයො දැන් වැඩියි. කණගාටුව පකාශ කරනවා ඒ දෙමාපියන්ටත් පවුල් වලටත්.

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2012 at 12:56 ප.ව.

      Chandi,

      මේ කතාව ඇහැව්වම, උණුවෙන හදවතක් ඇත්නම් ඒක කම්පාවට පත් වූවෙක් මිසක් එහෙම නොවන අය නැති දවසක්.

      ධර්මය වැඩියෙන් ම ලොව රජයන රට මෙහෙ බව නොබියව කියනවා. හැබැයි ඉතින් ධර්මය යනු කුමක් දැයි අද හැමෝටම තර්ක කරන්න පුළුවන් දෙයක් බවට පත්වෙලා තියෙන්නක් වීම නම් තවත් ශෝචනීය කාරණාවක්!!!!!

  3. ravi said, on දෙසැම්බර් 15, 2012 at 1:58 ප.ව.

    එංගලන්තෙ හෙදියගෙ සිද්ධිය නම් හරිම ශෝචනීයයි. ඒත් මට තේරෙන්නෙ නෑ ඇයි හැමෝම ගුවන් විදුලි නාලිකාවෙ නිවේදකයන්ට වරද පටවන්න තකහනියෙ ලෑස්ති වෙන්නෙ කියල….ඒක තනිකරම Prank එකක් විතරයි. චූදිතයන් කියල තියනව මම දැක්ක ඔවුන් හීනෙකින්වත් හිතුවෙ නෑ කියල රෝහල ඔවුන්ගෙ ඇමතීම ඇත්ත කියල හිතයි කියල.ඒත් එහෙම උනා විතරක් නෙවෙයි ඒ නිසා ඒ සිද්ධිය ඉවස ගන්ට බැරි යුවතියක් දිවි නසා ගත්ත.මේක හුදු විහිළුවක් කියල හිනාවෙල අමතක කරල දැම්ම නම් මේ මොන ප්‍රශ්නයක් වත් නෑ නේද?

    ඔයිට වැඩිය බොහොම දරුණු ප්‍රායෝගික විහිලු අන්තර් ජාලයෙ අනන්ත තියනව….පාරෙ මුදල් පසුම්බියක් දාල තියල, කවුරු හරි ඒක හෙමීට වටපිට බලල සාක්කුවෙ දාගත්තම ඇවිල්ල ඇත්ත සිද්ධිය හෙලිකරනව….මෙතනදි කරන්නෙ මිනිස්සු වරදට පොළඹවල ඊට පස්සෙ ඒ ගැන ලෝකෙටම එලිකරන එක.මෙහෙම කරන එක කොයි තරම් සදාචාරාත්මක්ද කියන එක නම් ප්‍රශ්නයක්…

  4. Buddhi said, on දෙසැම්බර් 15, 2012 at 3:18 ප.ව.

    කනගාටුදායක පුවතක්!

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2012 at 3:31 ප.ව.

      Buddhi,

      ඔව්. ජීවිතය අනියතයි. ඇතිවෙන සියල්ල නැතිවේ. ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකයි. ඕවා ඔක්කොම ලෝකෙ කොහෙ හිටියත්, කොයි කාලෙක ජීවත් වුවත්, මොන සමාජ තරාතිරමක වුවත්, වෙනස් නොවන සත්‍යයන්.

  5. අටම්පහුර said, on දෙසැම්බර් 15, 2012 at 3:20 ප.ව.

    එකතැන දහය විස්ස නැතුවට මෙහෙත් දවසකට කීයක් නං මරණවද

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2012 at 3:32 ප.ව.

      අටම්පහුර,

      පව් .. එයාල වෙනුවෙන් කොඩියක් අඩ කුඹ කරන්න කෙනෙක් නැහැ.

      • චින්තක ටිකිරිබන්ඩාර said, on දෙසැම්බර් 16, 2012 at 12:18 ප.ව.

        කොඩියක් අඩකුඹු කෙරූ පමණින් එයින් ප්‍රකාශවෙනවද සමස්ත සමාජ ප්‍රජාවම එක හා සමානව ඉන් කම්පාවට පත්වුණයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ අරුණි. ඒ වගේම එක් එක් සමාජ අපරාධයන්ට අනුරූප ව්න පරිද්දෙන් නීති කෙටුම් පත් සම්පාදනය කිරීමත් සැබෑ පිළිතුර නොවෙයි ..මෙතන තිබෙන්නේ සංස්කෘතික ගැටළුවක්.ස්වභාවයෙන්ම තිරිසන් ගති ලක්ෂණ උරුම මිනිසා සමාජ සම්මතයන්ගේ පිහිටවනු ලැබූවේ ඔවුනොවුන්ගේ සාංස්කෘතියයි. එහෙත් ඔබ ඇතැම් අවස්ථාවල උත්කර්ෂයෙන් වර්ණනා කරන ධනවාදය තමයි එම සංස්කෘතික හරයන් සුණු විසුණු කර දමන්නට මුල්වුණේ.

        • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 8:14 පෙ.ව.

          චින්තක ටිකිරිබන්ඩාර,

          උදාහරණයක් පැහැදිලි වෙන්නෙ උදාහරණයේ අදහස කුමක් දැයි දන්නා අයට. නිදහස අගයන ඒ නිසා සාමය ආරක්ෂා වෙනවා යැයි සිතන බහුතරයක් ඉන්නා රටක කොඩිය අඩ කුඹ කළේ දේශපාලන වාසියක් සඳහා නෙමෙයි; එය ඒකීය පුද්ගලය අයිතිය අගයන රටේ ප්‍රතිපත්තියක් වෙන නිසයි. ඒ නිසාම තමයි එයින් අදහස් වෙන්නේ එය කිඹුල් කඳුළු හලන්නට නොව සැබැවින්ම ඇති වූ කම්පාව බෙදා ගන්නට බව.

          //ඒ වගේම එක් එක් සමාජ අපරාධයන්ට අනුරූප ව්න පරිද්දෙන් නීති කෙටුම් පත් සම්පාදනය කිරීමත් සැබෑ පිළිතුර නොවෙයි// මමත් කියන්නේ මෙය ම තමයි.

          හැබැයි, එය හා එකඟ වුනාට මම රූසෝ, රොබෙස්පියෙර්, මැබ්ලි, රෙනාල්, සාන්ත-ජස්ට්, බිලාඩ් වරෙන්ස්, ල පෙලෙටියෙර්, සහ පසුකාලීනව හිට්ලර්, ස්ටාලින්, මාඕ, ෆිඩෙල් යනාදීන් කියූ

          //මෙතන තිබෙන්නේ සංස්කෘතික ගැටළුවක්.ස්වභාවයෙන්ම තිරිසන් ගති ලක්ෂණ උරුම මිනිසා සමාජ සම්මතයන්ගේ පිහිටවනු ලැබූවේ ඔවුනොවුන්ගේ සාංස්කෘතියයි// සමඟ එකඟ වෙන්නේ නැහැ.

          මම එකඟ වෙන්නේ සහ සත්‍යයක් ලෙසින් දකින්නේ ෆ්‍රෙඩරික් බැස්ටියාට් දැක් වූ අදහස සමඟ: ඊ ළඟ සටහනට එකතු කරන සබැඳිය ඔබ කැමති නම් කියවා ඒ අදහස කුමක් දැයි සොයාගත හැකියි.

          මට ඔබේ සමාජවාදය නොමැතිව, සමාජයට බරක් නොවී, සමාජයට හතුරුකම් නොකර, කිසිවෙකුගේ ශ්‍රමයකට බලහත්කාරකම් නොකර සිටිය හැකියි. ඔබේ සමාජවාදයෙන් එය කරන්න පුළුවන් ද?

  6. Alchemiya said, on දෙසැම්බර් 15, 2012 at 3:22 ප.ව.

    තුවක්කු ළඟ තබා ගැනීම සාධාරණීකරණය කළ මිතුරෙකුගෙන් අහපු ප්‍රශ්න දෙක මම අරුණි අක්කගෙනුත් අහනවා…

    1. ඔබ කියන්නෙ ඒ ඉස්කෝලෙ විදුහල්පතිනියයි, ගුරුවරුනුයි ආයුධ සන්නද්ධ කරලා තිබුණා නම් මේ ව්‍යසනය වලක්වගන්න තිබුණා කියලද ?

    2. ඔබ හැමෝම විවිධ දේවල් කියනවා… ඔබ හිතන විදියට මේකට විසඳුම කුමක්ද ?

    මගේ මිතුරා නම් පිළිතුරු දුන්නෙ නැහැ… එපමණක් නොවෙයි මම ලියා තිබූ ෆේස් බුක් පෝස්ට් එකත් ඉවත් කරලා… මම අරුණි අක්කගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2012 at 4:02 ප.ව.

      Alchemiya,

      අයියෝ මලයණ්ඩි වැරදි කෙනාගෙන් ඔයා කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙන්නෙ. හැකි තරමින් උත්සාහයක් ගන්නම්. 😀

      1. මේකට උත්තරය මා එතැන සිද්ධිය දිග හැරිච්ච හැටි දුටුවේ/ඇසුවේ නැති නිසා ඔව් හෝ බැහැ යැයි කියන්න පුළුවන් කමක් නැහැ. අයෙකු එක පහරින් මරන්න ඉලක්කයට වෙඩි තැබීම යුද හමුදාමය පුහුණුවක් නැති වූවෙකුට පහසු වැඩක් නෙමෙයි. ඉතාම ළඟකට නෑවිත්. අවි ගැන දැනුමක් සහ අවි පුහුණුවක් ඇත්තේ නම් තමන්ට මරාන්තික වෙඩි පහරකින් ගැලවෙන්නටත්, වෙඩි වැදුනත් කලබල නොවී හතුරා මරා අනිත් අය බේරාගන්න යම් තරමකට හැකියාව තියෙනවා.

      2. දුෂ්ටයන් ඉන්නේ ස්වල්පයකි. යහපත් මිනිසුන් බහුතරයකි. සමාජයක වාසය කරනා දුෂ්ටයෙක් කරන අපරාධයක් වළක්වා ගන්නට යැයි කියා සමාජයේ වාසය කරනා යහපත් වූ මිනිසුන් බහුතරයට නීත්‍යානුකූලව නිදහසේ හැසිරෙන්න ඉඩ නොදීම යුක්තිය ඉෂ්ට කිරීම නොවේ. දුෂ්ට ක්‍රියාවකට, එය කරන්නට කළින් දඬුවම් දෙන්නට හැකියාවක් නැති නිසා මේකට විසඳුමක් නැහැ. යම් අයෙක් විසඳුමක් තියෙනවා යැයි කියන්නේ නම් එයා කියන්නේ බොරුවක්.

      අපි හැමෝම දන්න සත්‍යයක් තමයි ජීවිතය අනියතයි කියල. ඒ වගේම ලෝකයේ කොච්චර නීති පැනවූවත් අපරාධකරුවා යනු නීත්‍යානුකූලව කටයුතු කරන අයෙක් නෙමෙයි කියලත්.

    • Ano said, on දෙසැම්බර් 15, 2012 at 5:50 ප.ව.

      Even better to arm the kids….

      • arunishapiro said, on දෙසැම්බර් 16, 2012 at 7:20 පෙ.ව.

        Ano,

        ඇනෝලා ලෙසින් පෙනී සිටීමට සිද්ධ වී ඇත්තේ මන්දැයි වටහාගත නොහැකිවු එහෙත් තව දුරටත් ආණ්ඩු බලය වැඩි කරගන්නට කැප වෙන අයට හිතට එන්නේ මෙවැනි විසඳුම් පමණි. ලෝකයේ කොමියුනිස්ට් සහ නාට්සි බල තණ්හාධිකයන් මිනිසුන් තවත් මිනිසුන්ට එරෙහිව කරන අපරාධයන් අනුන් ලවා කරවන්නට, රජය මඟින් ගෙනා නීති වලින් ඒ අපරාධ නීත්‍යානුකූල කර දරුවන්ට ආයුධ දී වැඩ කරන ජනතාව මරා දැමූ අය බව ඉතිහාසය නොදන්නා අය කිසි දිනෙක සොයා බලන්නට වෙහෙසක් නොගෙන්නේ ද එය දැන ගන්නේ නොමැත.

    • kavikaari said, on දෙසැම්බර් 16, 2012 at 5:37 පෙ.ව.

      මනස විකුර්ති අය ඉන්න තැන්වල ආයුද තැබීම භයානකයි

      • arunishapiro said, on දෙසැම්බර් 16, 2012 at 7:49 පෙ.ව.

        kavikaari,

        ඔව්, එය සත්‍යයකි. එහෙත් අයෙක්ගේ මනස විකෘති යැයි වටහා ගන්නා ආකාරයත්, මනස විකෘති වූවෙක් වෙනුවෙන් පවුලේ අයට කළ හැකි වූ දේවල් රජයේ නීති විසින් විකෘති කර අහිංසකයන්ට ලැබිය යුතු ආරක්ෂාව සැලසීම අපහසු කර ඇත්නම්? නංගිට මම උදාහරණය දෙන්න අවශ්‍ය නෑනේ නේද?

  7. Kenji @ Japan said, on දෙසැම්බර් 15, 2012 at 8:28 ප.ව.

    ලෝකය පුරාම දවසකට වෙන මිනීමැරුම්/අනතුරුවලින් මියයන ගණන ඇහැව්වම පුදුම කණගාටුවක් ඇතිවෙනව.ඔබාමා ලොක්කත් කණගාටුවෙන් කතාකරපු විදිය ඇහැව්ව,නමුත් සිදුවීමක් අවසානයේ කණගාටු උනත් මෙවැනි සිදුවීම් නැත්තට නැතිකරන්න නෙමෙ අඩුකරන්නවත් ක්‍රමයක් හොයන්නෙ නැද්ද කියල හිතෙනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2012 at 7:28 පෙ.ව.

      Kenji @ Japan,

      //මෙවැනි සිදුවීම් නැත්තට නැතිකරන්න නෙමෙ අඩුකරන්නවත් ක්‍රමයක් හොයන්නෙ නැද්ද කියල හිතෙනවා.//

      නැත්තටම නැති කරගන්න විදියක් නැහැ, මිනිස් ස්වභාවය එසේ වූ නිසා. එහෙත් අඩු කරගන්න ක්‍රමය දන්නවා වුනාට අද ඉන්න බහුතරය දකින්නෙ නැතිකමයි ලොකු අඩුපාඩුව. අපරාධ දත්ත දිහා බැලුවම අතීතයට වඩා ඉතා පැහැදිලි අඩුවීමක් අද දකින්නට ලැබෙනවා. ආණ්ඩු ඇඟිලි ගහන කාලයට ටිකක් වැඩි වෙලා ඒත් ආණ්ඩු පුද්ගලික මිනිස් ජීවිත වලින් ඈත් වෙද්දී සශ්‍රීක වන ආර්ථිකය තුල මෙවැනි අපරාධ වගේ ම සියලු අපරාධ සාමාන්‍යයක් ලෙසින් අඩුයි. මේක ඉතිහාසයේ පටන් අද දක්වා මුළු ලෝකය ගත්තම එහි දකින්න පුළුවන් සදාතනික සත්‍යයක්.

  8. vishvanatha said, on දෙසැම්බර් 15, 2012 at 11:31 ප.ව.

    රේඩියෝ උදාහරනෙයි මේකයි සමාන නෑ නේද?රේඩියෝවෙ ප්‍රධාන ම දේ සන්නිවේදනය.තුවක්කුවෙ ප්‍රධානම දේ මැරීම.ගිනි අවි ව්‍යාපාරිකයන්ගෙ ලභ වෙනුවෙන් ඇමරිකාව කරන බිලි පූජා තමයි ඔය.මේ වාගෙ සමූහ මිනීමැරුම් ඇමරිකාව ඇර වෙන කිසිම රටකින් වාර්ථා වෙන්නෙ නෑ.මිලියන ගනනක් ළමයි ඉන්නෙ බයෙන් කොයි වෙලේ වෙඩිඋන්ඩයක් එයිද දන්නෙ නෑනෙ.ගිනි අවි නොතිබුනානම් කඩුවක් අරගෙන මේ වගෙ දෙයක් කරන්න බෑනෙ.අරුණිගෙ හුගක් දේවලට මම එකග වුනත් සමහරාන්තවාදී දේවල් වලට එකග වෙන්න බෑ

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2012 at 7:44 පෙ.ව.

      vishvanatha,

      //තුවක්කුවෙ ප්‍රධානම දේ මැරීම.// මෙතැනයි ඔබට වැරදුනු තැන. සන්නිවේදනයෙන් අප බලාපොරොත්තු වෙන්නේ ද අපේ ජීවිත ආරක්ෂා කරගැනීමට සහ එය අදට වඩා යහපත් කරගැනීමටත්, සතුටින් පවත්වා ගැනීමටත් හැකි තොරතුරු අපට ලැබේ යැයි කියා. තුවක්කුවේ ප්‍රධාන වූ ලක්ෂණය ආරක්ෂාවයි. තුවක්කුවක් නිසා තමන්ට ලැබෙන්නේ තමන්ට ශාරීරිකව අන්තරාවක් කරන්නට එන මිනිස් හා සත්ව උවදුරකින් ගැලවෙන්නට හැකියාවයි. එයින් ලැබෙන ආරක්ෂිත බවෙන් අදට වඩා හෙට යහපත් කරගන්නටත්, සතුටින් පවත්වා ගන්නටත් ශක්තියක් ලැබෙයි.

      //අවි ව්‍යාපාරිකයන්ගෙ ලභ වෙනුවෙන් ඇමරිකාව කරන බිලි පූජා තමයි ඔය// ලාබ අලාබ ඇතිවෙන්නේ කෙසේ දැයි නොදන්නා අය කියන කතාවක් මිස එය සත්‍යයක් නොවෙයි. මිනිස්සු මරලා බිලි පූජා කළාම කාට දැයි අවි විකුණන්නෙ?!!!!! ඊට වඩා ලාභ උපයන්න පුළුවන් ටාගට් පැක්ට්‍රිස් කරමින් ජීවත්වෙන මිනිසුන්ට අවි විකුණලානේ!!!!!

      //මේ වාගෙ සමූහ මිනීමැරුම් ඇමරිකාව ඇර වෙන කිසිම රටකින් වාර්ථා වෙන්නෙ නෑ.// මේ සටහනේ ම මීට වඩා මිනිස් ජීවිත සංඛ්‍යාවක් එක දිනක දී නැති කරපු නෝරේවේ රටේ අපරාධකාරයා මිනිස් ජීවිත 77 ක් බිලිගත්තා යැයි දැක්කත් නොදැක්කා සේ ඇමෙරිකාවට බැනීමෙන් සතුටක් ලබයි. මෙවැනි දුර්මත පතුරුවන අයට තමයි තලිබාන් ඇවිත් ඇමෙරිකාවේ මිනිස් ජීවිත 3000 ක් අහිමි කරලා ගියාම පුදුම සතුටක් දැනෙන්නේ.

      //මිලියන ගනනක් ළමයි ඉන්නෙ බයෙන් කොයි වෙලේ වෙඩිඋන්ඩයක් එයිද දන්නෙ නෑනෙ.// දැක්කා සේ නොදකින දේවල් කියන ඔබ දකින්නට ඇති දේවල් දිහා නොබලා සිටියි.

      //ගිනි අවි නොතිබුනානම් කඩුවක් අරගෙන මේ වගෙ දෙයක් කරන්න බෑනෙ.// දෙනෝ දහක් බලා සිටිය දී පිරිමියෙක්ව මහ මඟ කපා කොටා මරා දා යත හැකි වූ සිංහලයන් ඉන්නා රටක සිංහලෙන් කියවන අයෙකුට, ගෑණු අයවයි දරුවන්වයි මරන පිරිමියෙකුට කඩුවක් අරගෙන මේ වගේ දෙයක් කරන්න බැහැයි සිතන්නේ මොන පදනමකින් ද?

      //අරුණිගෙ හුගක් දේවලට මම එකග වුනත් සමහරාන්තවාදී දේවල් වලට එකග වෙන්න බෑ// ඔබ එකඟ වූ කිසිවක් මට නම් දකින්න ලැබුනේ නැත!!!!!!!!!!!

  9. Din said, on දෙසැම්බර් 16, 2012 at 10:03 පෙ.ව.

    1. දුෂ්ටයන්ට තුවක්කු අතට දුන්නම, 20,30, එක පාර මරනවා. ජනතාව තුවක්කු අතට ගන්නවාට විරුද්ධ දුෂ්ට ආණ්ඩු 4000,5000, මරනවා..
    2. හෙරොයින්, ගංජා වලට ඇයි ඔය නිදහස නැත්තේ??

    • arunishapiro said, on දෙසැම්බර් 16, 2012 at 10:12 පෙ.ව.

      Din,

      1920 සිට 1933 දක්වා ඇමෙරිකාවේ දෙවියන් කියන්නේ කුමක් දැයි තමන් දන්නවා යැයි හිතපු අය ජනතාව මුලා කරල බලය අල්ලා ගෙන මත්පැන් තහනමක් ගෙනාවා. ඊට පස්සෙ ඒත් දෙයියො කිව්වෙ ඒක නෙමෙයි කියලා පැහැදිලි වුනාම ඒක වෙනස් කරගත්තා!!!!!

      පසුගිය මැතිවරණයෙන් කොලරාඩෝ සහ වොෂිංටන් (දිස්ත්‍රික්කය නෙමෙයි) යන ප්‍රාන්ත දෙක ගංජා නිදහස අනුමත කරගත්තා. ගොඩක් අය ඇමෙරිකාවේ ප්‍රාන්ත අයිතීන් සහ ෆෙඩරල් අයිතීන් ගැන වැඩි විස්තර දන්නේ නැහැ. උදා: කනෙටිකට් ප්‍රාන්තය තුවක්කු තහනම් නීති වලින් ඉතා දැඩි ප්‍රාන්තයක්. සමරිසියන්ට පවුල් වෙන්න වගේ ම, ගංජා නිදහස ලැබෙන දවස ද ඇමෙරිකාවේ වැඩි ඈතක නැහැ.

      • Din said, on දෙසැම්බර් 17, 2012 at 1:03 පෙ.ව.

        මටත් හිතිලා තියනවා මරාගෙන මැරෙන්න.. ඒත් අතින් පයින් කරන්නද? එහෙම උනොත් අන්තිමට මට විතරනේ තුවාල 🙂
        ලංකාවේ නම් ඔය වගේ වෙලාවට මිනීමරුවාගේ , උගේ හිතවතුන්ගේ ගෙවල් ගිනිතියනව. ඊට කලින් ගෙදර වටිනා බදු මුට්ටු කොල්ල කනවා. ඔහේ එහෙම නැද්ද ? :))

        • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 8:31 පෙ.ව.

          Din,

          තුවක්කු ළඟ තබාගන්න සාමාන්‍ය පුරවැසියෙකුට සාමාන්‍යයෙන් නීත්‍යානුකූ අයිතියක් නොමැති රටේ 71 කැරැල්ලේ දී සහ 87 දී තරුණ මිනිස් ජීවිත නැතිවූයේ අතින් පයින් ගහගෙන වෙන්නැති!!!!!! හැබැයි ඉතින් අන්තිමට ඔව්, මිනිස්සුන්ට තමයි තුවාල වෙන්නෙ 😀

          //ලංකාවේ නම් ඔය වගේ වෙලාවට මිනීමරුවාගේ , උගේ හිතවතුන්ගේ ගෙවල් ගිනිතියනව. ඊට කලින් ගෙදර වටිනා බදු මුට්ටු කොල්ල කනවා. ඔහේ එහෙම නැද්ද ?// එහෙම කාලයක් තිබ්බා. ඒත් මිනිසා කියන්නෙ තමන් විසින් යහපත කුමක් දැයි වටහා ගන්න සහ ඒ යහපත වෙනුවෙන් වෙහෙසෙන්න ස්වභාවයෙන්ම කැමති අය. නැතිව අර දුෂ්ට මාවතක සිය අගතිය කරා යන අය නෙවෙයි. ඒ නිසාම දැන් මිනිසා ඔහුගේ සම්භවයේ මුල් කාලයට වඩා ශිෂ්ඨ මිනිසෙක් වෙලා එහෙම අශිෂ්ඨ වැඩ කරන එක නවත්තලා!!!!!

  10. magenama said, on දෙසැම්බර් 17, 2012 at 12:28 පෙ.ව.

    සංවේදී සිදුවීමක් නිසාද මන්දා ගොඩා………….ක් අය comment කරලා.ලංකාවේ නම් ඔය ප්‍රවෘත්තිය කියෙව්වෙ හරියට ඇමරිකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ කියලා කියන්න වගෙ.ලංකාවෙත් ඉස්කෝලෙක ලමයෙක් mobile phone එකක් සම්බන්ධ ගැටලුවක් නිසා එයාට දෙන්න ගිය දඬුවමකට බයෙන් ඒ ලමයා ටයි එකෙන් බෙල්ල වැල දාගෙන මැරුනා,ඒ ලමයා හරි වෙලාවට රෝහලට අරගෙන ගියා නම් හරි, ප්‍රථමාධාර දීලා තිබුණානම් හරි ඒ ජීවිතය බේරා ගන්න තිබුනා.හැබැයි අන්තිමට වුනේ රජයේ පාසල් වල විතරක් ජංගම දුරකථන තහනම් කිරීම.බොරුවට මොනවා හරි සිද්ධ වෙන කන් ඉඳලා නීති ගේන්න මොර දුන්නම හරි කියලනේ ආණ්ඩු හිතාගෙන ඉන්නෙ.(මෙහෙ නම් නීති ගේන්න ඕනි නැහැ,අහසේ අද්භූත එලියක් එනෝ කියලා කිව්වම හරිනෙ)

    • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 8:27 පෙ.ව.

      magenama,

      කොටසක් දැක්කාම සම්පූර්ණය දකින්න අමතක කරන ගොඩක් අය ඉන්නවා. කම්පනයක් ඇතිවුනාම කලබල වෙලා, ප්‍රතිපත්ති හදන්නයි බහුතරය කැමති. කම්පනයක් ඇති වූ අවස්ථාවේ දී මිනිස් ස්වභාවය තමයි තමන් අවට ඇති අවදානම් සියල්ල වැඩියෙන් හඳුනාගන්නට හැකිවන පරිදි මිනිස් ඉන්ද්‍රීයයන් තීක්ෂණ කරවීම; එය මිනිසාට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට ස්වභාව ධර්මයෙන් ලැබී තියෙන සහජ දායාදයක්. සමාජයේ අනුන්ට නීති හදන්නට ඉක්මණින් ඉස්සහරට ඇවිත් බලය අල්ලා ගන්නට දත කන බල ලෝභීන් විසින් ජනතාව මුලාවට එය විකෘති කරලා “මේ තත්වය මඟ හරවා ගන්න මේ නීති හා ප්‍රතිපත්ති ගෙනාවාම පුළුවන්,” යැයි කියන්න පේලියට එනවා.

      චිරාගත හුරුවක් වුවත් එයින් මෙවැනි අපරාධයක් වීම සම්පූර්ණයෙන් වළක්වා ගන්නට නොහැකියි යන සත්‍යය කියන්නාව පැත්තකට තල්ලු වෙන්නෙ මිනිස් ස්වභාවය යනු අර චින්තක ටිකිරිබන්ඩාර දාලා තියෙන විදියට //ස්වභාවයෙන්ම තිරිසන් ගති ලක්ෂණ උරුම මිනිසා සමාජ සම්මතයන්ගේ පිහිටවනු ලැබූවේ ඔවුනොවුන්ගේ සාංස්කෘතියයි.// යන්නයි කියන දෝෂ සහගත දැක්ම බලතණ්හාධිකයන් විසින් ම ප්‍රචාරය කරන ලද මුලාවක් යැයි වටහා ගන්නට බැරි අයයි.

      //බොරුවට මොනවා හරි සිද්ධ වෙන කන් ඉඳලා නීති ගේන්න මොර දුන්නම හරි කියලනේ ආණ්ඩු හිතාගෙන ඉන්නෙ.// ආණ්ඩු විතරක් නෙමෙයි ආණ්ඩුව මඟින් දෝෂ සහගත තිරිසන් ගති ලක්ෂණ උරුම මිනිසා යහපත් මිනිසෙක් කරන්නට දන්නවා යැයි සිතන සෑම පුරවැසියෙක්මත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ඒ අය දකින්නෙ මැරැණ 20. ඒක දැකලා මිය නොගිය මිලියන ගණනකට ජීවිතය නිදහසින් ගෙවත නොහැකි විදියට නීති ගේන්න ලෑස්තිය. ඒත් අවසානයේ මෙදා වගේ ම ඒ නීතීන් ද මදි කියා තවත් නීති ගෙන්න අවශ්‍ය යැයි කියාවි. ඔබ දක්වා ඇති උදාහරණයේ විදියට නීතිය යුක්තිය ඉෂ්ට කිරීම නොව මිනිසා යහපත් කරන්නට හැකි යැයි හැදෙන නීති වෙන නිසා, මිලියන ගණනක් නිදහස නොමැති කමෙන් දුක් විඳින බව දකින්නෙ නැහැ.

  11. Ano said, on දෙසැම්බර් 17, 2012 at 2:01 පෙ.ව.

    අරුණි එක්ක හැමදේකටම එකඟ වෙන්න බෑ ඒ වගේම ඇනෝ ඇවිල්ල කුණුහරුපෙන් නැතිව ශිෂ්ඨ විදියට විසංවාදය සංවාද කරන්නත් කැමතියි. දේශපාලන ආර්ථිකය කියන විෂය තුල නිදහස් වෙළඳ පොලට මම සම්පුරණයෙන් එකඟයි එත් සමහර තැන් වලදී තාම රජය අවශ්‍ය වෙනවා කියන එක පිළිගන්න වෙනවා. සංකෘතික සමාජීය කාරනා වලදී නම් ඒ නිදහසම යොදාගන්න බෑ නේද? අරුණි අක්කා පාසල් අධ්යාපනය වෙනුවට දෙමව්පියන් කැමති විදියට නිදහසේ ගෙදර අධ්‍යාපනය දීම වෙනුවෙන් කතා කරන කෙනෙක්. දැන් බලන්න මෙම සිදුවීමේදී මෙම දරුවා කුඩා කල පාසලේ ප්‍රශ්න ඇති කරගත් නිසා මව පාසල් යවන්නේ නැතිව ගෙදර අධ්‍යාපනය දීපු කෙනෙක්. මේ ළමයාගේ විශාල ඇස් දෙක දැක්කම තේරෙනව මානසික ආබාධිත බවක් තියනවා කියල. මානසික ආබාධිත තියන කෙනෙක්ට සුවිශේෂී විදියට උගන්වන ඒ ආයතනයක විද්වතුන් යටතේ මේ ළමයට ඉගැන්වුවා නම් මීට මේ දෙය සිදු නොවන්නට තිබුනා නේද? ඔහුගේ මව තීරණය කරනවා ඔහුට යම උගන්වනවා කියල. ගෙදර තියන තුවක්කු වලින් වෙඩි තැබීමේ පුහුණුවත් උගන්නනවා. දැන් අම්ම කෙනෙක් තමන්ගේ මානසික රෝගී පුතාට ආදරෙයි එයාට තමන්ගේ පුතා මානසික රෝගියෙක් විදියට දකින්නේ නෑ. ඒ වගේ වෙලාවක පුද්ගලික නිදහස කියන එක පාවිච්චි කරලා ගෙදර අද්‍යාපනය දීල වෙඩි තියන්න පවා ඉගැන්නුවා නමුත් මේ පුතා ගෙදර තමන්ගේ මවට විතරක් නොවෙයි වෙඩි තිබ්බේ පොදු ජන පරිසරයක් වන පාරට පාසලට ගිහිල්ල නේද අන් අයට වෙඩි තිබ්බේ.
    අරුණි අක්ක ඔයාගේ ටිකිරි දුවට වෙඩි තියන්න උගැන්නුවාම ඒක ආරක්ෂාව කියන සිමාවේ බව ඇත්ත එත් නිව් යෝර්ක් තට්ටු ගෙදරක උඩ තට්ටුවේ ඉන්න කළු ගෑණි එයාගේ මදාවි පොඩි එකාට වෙඩි තියන්න උගන්වන ඒක ආරක්ෂාව නොවෙයි. මේ අයිතිය ගැන පහල ගෙදර ඉන්න තුවක්කු අල්ලන්න වත් අකමැති අහිංසක පවුලක් කැමති වෙන්නේ නෑ. තුවක්කු පාවිච්චි නොකිරීමේ අයිතියත් අයිතියක් නේ. පොඩි වයසට ගල් කැට වලිනුත් පාරේ යන උන්ට ගහන උඩ තට්ටුවේ එකාට ගෙදර අම්මගේ තුවක්කුව අහු උනොත් කොහොමද? පහළ ගෙදර උනුයි උඩ ගෙදර අයයි දෙගොල්ලොම එකම පොදු පඩිපෙළ නේ යන්න එන්න භාවිතා කරන්නේ.

    • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 9:00 පෙ.ව.

      Ano විදියට මේක දාන්න කිව්ව ද කියලා පැහැදිලි නැති නිසා එහෙම දානවා.

      මාත් එක්ක එකඟ වෙන්න අවශ්‍ය යැයි මා කිසිම තැනක කියා නැහැ. ඒ වගේ ම කාලයක සිට අශිෂ්ඨ ප්‍රතිචාර කපා හරින නිසා නොපෙනෙන නිසාවෙන් එය නැතැයි කියා අභ්‍යුපගමනය නොකරන්න!!!

      //මානසික ආබාධිත තියන කෙනෙක්ට සුවිශේෂී විදියට උගන්වන ඒ ආයතනයක විද්වතුන් යටතේ මේ ළමයට ඉගැන්වුවා නම් මීට මේ දෙය සිදු නොවන්නට තිබුනා නේද? // එය 100% හැකිවේවි යැයි කියන්න පුළුවන් එහෙම යැයි හිතෙන දරුවන් සියල්ලම සමාජයෙන් ඉවත් කරලා මානසික රෝහල් වල සිරකර තබන්නේ නම් පමණයි. ඉතින් එවිට අපි ඔවුන් වරදක් කරන්නට පෙර ඔවුන් සියල්ලන්ටම දඬුවම් දීලා.

      තුවක්කුවක් තබාගන්නට ඇති අයිතිය පමණින් තවත් පුද්ගලයෙක්ව මරන්න ඇති අයිතිය අඩංගු වෙන්නේ නැහැ. තම ජීවිතය, තම දේපල ආරක්ෂා කරන්නට පමණයි එය තවත් පුද්ගලයෙකුට එරෙහිව පාවිච්චි කරත හැකි එකම අවස්ථාව. ඒ නිසා තුවක්කුවක් තියාගන්නවා ද නැද්ද යන්න ගැන “කැමැත්ත” පිළිබඳ ප්‍රශ්නයක් එහි දී අදාල නැහැ. ඒ වගේ ම තුවක්කු පාවිච්චි කිරීමේ අයිතිය හා පාවිච්චි නොකිරීමේ අයිතිය කියා දෙකක් ඇත්තේ ද නැහැ: තුවක්කුවකින් කිසිම කෙනෙකුට හිරිහැරයක් කරන්න බැහැ කියන අයිතිය ආරක්ෂා වෙන්නේ තුවක්කුවකින් තම ආරක්ෂාව සලසා ගන්න අයිතිය තහවුරු වීමෙන් පමණයි.

      //පොඩි වයසට ගල් කැට වලිනුත් පාරේ යන උන්ට ගහන උඩ තට්ටුවේ එකාට ගෙදර අම්මගේ තුවක්කුව අහු උනොත් කොහොමද?// එහෙම නම් 30% ක් ලංකාවේ අය පලිබෝධ නාශක විෂ වීම නිසා රෝහල් ගත වෙනවාය මැරෙනවාය කියා පලිබෝධ නාශක තහනම් කළ යුතු ද? නැත්නම් ඒවා පාවිච්චිය ගැන ඒවා අයිති ගෙවල් අය තමන් විසින් දැනුවත් වීමේ වගකීම බාරගත යුතු යැයි ඔවුනට කියනවා ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න