අරුණි ශපීරෝ‍ වෙතින්

අදහස් වල ප්‍රතිවිපාක තියෙනවා -Ideas have consequences

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2013

“අදහස් වල ප්‍රතිවිපාක තියෙනවා” -Ideas Have Consequences (1948) යැයි පොතක් ලියා ඇත්තේ Richard M. Weaver. සෑම සමාජයකම ඉන්නා පුද්ගලයෙක් සවිඥානික අන්තරාවලෝකනය (conscious reflection) කරන ආකාර 3 කි. දේවල් ගැන එයාගේ විශේෂ අදහස්, එයාගේ සාමාන්‍ය විශ්වාස, සහ පාරභෞතික සිහිනය (metaphysical dream). පළමුවැන්න එයාගේ ලෞකිකත්වය ගැනයි. දෙවැන්න යොදා ගැනෙන්නේ එයාට තෝරාගැනීම් කරන්නට සිද්ධ වෙද්දී. තුන්වැන්න තමයි ඉතාමත් වැදගත් වූව, මන්ද එයින් එයාට ලැබෙන්නේ ඉදිරියේ දී සිද්ධ විය හැකි යථාර්ථයේ ස්වභාවය ගැන ප්‍රතිභාන (intuitive) හැඟීමක්. මේ තෙවැන්න නැතිව එකමුතුවෙන් දිගු කාලයක් ජීවත්වෙන හැකියාව පුද්ගලයාට අහිමි වී යනවා. එය තමයි ලොවට කියා පාන්නේ එයා ලෝකය ගැන දක්වන ගති ස්වභාවය කුමක් ද කියා. ඒ වගේම පුද්ගලයෙක් ගැන වඩාත්ම වැදගත් පරිසිද්ධියක් දැනගන්න ලැබෙන්නේ ද මෙය ආශ්‍රයෙන්.

මේ පුද්ගලයෙක් තුල ඇති පාරභෞතික සිහිනය මත තමයි ඔහුගේ තර්කය පදනම් වෙන්නේ. ඒ සිහිනය හායනය වෙද්දී (පසළොස්වකට පස්සෙ හඳට සිද්ධ වෙන දේ) එයාගේ සිහිබුද්ධිය අන්දබූත වෙනවා.

අයෙක් විශ්වාස කරන්නේ කුමක් දැයි යන්න එයාට පමණක් සීමා වූවක් නොවේ. අයෙක් විශ්වාස කරන දැක්ම එයාට කියන්නේ ලෝකය පවතින්නේ කුමකට ද කියාය. යම් මහජනතාවකට ලෝකය පවතින්නේ කුමකටදැයි කියා, ඇයි ජීවත්වෙන්නේ කියා පවතින දැක්මට එකඟ වන්නට නොහැකි නම්, එවිට ජීවිතයේ ඇති සියළුම කුඩා කුඩා දේවල් ගැන ද එකඟ විය නොහැකි වේ.

අයෙක් තුල ඇති අදහස් එයාගේ හැදියාවට මඟ පෙන්වයි. අයෙක් තුල ඇති අදහස් එයාගේ හැදියාව එයාටම අර්ථවත් කරයි. ජීවත්වන්නේ ඇයි යන දෘෂ්ටිවාදය ගැන ඒ ඒ පුද්ගලයන් අදහස් වලින් අසමගියෙන් ඉන්නේ නම් එය ඔවුන් වාසය කරන සමාජයේ සාමයට තර්ජනයකි. ඒකීය පුද්ගලයන් අතර ජීවිතය පිළිබඳව සමගියක් සොයා නොගත හැකි නම් ඔවුනට තව දුරටත් සබඳතා පැවැත්විය නොහැකි වී සමාජය අවුල් ජාලයක් බවට පත්වේ.

මෙන්න මුහුණුපොතේ වූ සංවාදයකින් උදාහරණයක්. 379198_111811959003115_1644286144_n
ඉතින් බෙදා ගන්න අයිතිය මා සතුයි කියලත් ලියලාම තියෙන නිසා ප්‍රශ්නයක් නැහැන!!!!

== මනුස්සකම ==
ලෝකයේ වේගයෙන් ම
නැති වෙමින් පවතින
උතුම් මිනිස් ගුණාංගය !!!

[මම Like එකක් දැම්මා.]

[නොදන්නා අයට: පින්තූරේ ඉන්නෙ ආජන්ටීනාවේ අර්නෙස්ටෝ ගුවේරා සර්නා නොහොත් චේ.]

[ඉතින් මම කමෙන්ට් එකක් දැම්මා.]

Aruni Shapiro: අපරාදේ එහෙම පටන් ගත්තු චේ ටත් ටික කාලයක් යද්දී මනුස්සකම අමතක වෙච්ච එක!!!!!

චේ ගේ පින්තුරයක් දාගෙන ඉන්න වෙනත් විප්වවාදියෙක් අහනවා***: ඒකේ තේරුම මොකක්ද, පැහැදිලි කරන්න පුලුවන්ද

[ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙන්න]

පින්තූරේ දාපු කෙනා අහනවා**: ප්‍රශ්නෙ මොකක්ද සහෝදරයා

Aruni Shapiro: අර්නෙස්ටෝ ගුවේරා සර්නා මනුස්සකම වෙනුවෙන් පෙනී සිටියා. ඒ ලාදුරු රෝගීන්ට සේවය කරද්දී, දරීද්‍රතාවය නිසා මිනිසා අමනුස්සයෙක් වෙන බව දකිද්දී …. [මම අමුණනවා මම වෙනස ගැන ලියපු සටහන.

[ඒකට Like එකක් වැටෙනවා.]

Aruni Shapiro: ඔහු තවත් සත්‍ය අදහසක් මෙසේ කියා තියෙනවා. “මිනිසාට තමන්ගේ සත්‍යය මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් ම ඉෂ්ට කරනු හැකි වන්නේ ඔහුට තමන් ව භාණ්ඩයක් ලෙසින් විකිණීමට බලහත්කාරයෙන් යොමු නොකර නිෂ්පාදනයේ නිතර වන්නට හැකියාව ලැබෙන විට ය.” -මිනිසා සහ සමාජවාදය, චේ ගුවේරා

[මේකටත් Like එකක් වැටෙනවා.]

Aruni Shapiro: ඒත් ඒ සත්‍යය මනුස්සකම අහිමි කරන පිළිවෙතක් කියුබාවේ ෆිඩෙල් කැස්ත්‍රෝ විසින් මෙහෙයවද්දී ඔහු ද ඊට එකතු වෙලා එයින් සිද්ධ වූ ඛේදවාචකයට දායක වුනා. [මම ඒකට අමුණනවා මේ ඉංග්‍රීසි පිළිතුර. ලතින් ඇමෙරිකානු ඉතිහාසඥයෙක් වන තෝමස් එෆ්. ස්කිඩ්මෝර් කියන විදියට 1959 වසරේ මුල් මාසය 6 දී 550 ක් වෙඩි තැබීමෙන් මැරුණා. බ්‍රිතාන්‍ය ඉතිහාසඥ හියු තෝමස් ඔහුගේ කියුබාවේ නිදහස ගැන අධ්‍යයනයේ දී කියන්නෙ ‘සමහර විට’ පන්දාහක් 1970 දී මරණ ලදැයි කියල. දේශපාලන හා සමාජ දර්ශක දක්වන ලෝක අත්පොත කියන්නේ 1958-67 දක්වා 2,113 ක් දේශපාලන මරණ සිද්ධ වූවා කියල. ඉතිහාස ඇට්ලස් එකක් අන්තර්ජාලයේ හදලා තියෙන කෙනෙක් කියුබාවට කැමති/අකමැති අය අතර බෙදල පෙන්වන දත්තය පන්දාහත් දොළොස්දාහත් අතර කියල. කියුබන් ඇමෙරිකන් ජාතික පදනම කියන්නේ අරගලයෙන් පසුව එන කාලයේ දී දේශපාලන විරුධවාදීන් 12,000 ක් මරා දැමුණ කියල. කියුබන් ආර්ථිකය හදාරන සංවිධානයේ ආචාර්ය ආර්මන්ඩෝ ලාගෝ කියන්නේ, එහි අධ්‍යක්ෂක මණ්ඩලය හැදෙන්නේ කියුබාවෙන් පිටමං වෙලා ආපු අයගෙන්, 15,000-18,000 ත් අතර සංඛ්‍යාවක් අරගලයට විරුද්ධ නිසා අරගලයෙන් පසුව එන කාලයේ දී මරා දැමුණ කියල. කියුබානුවන් 250 ක් අතුරුදහන්, වෛද්‍ය පහසුකම් නොලැබී 500 ක් සිරගෙවල් වල දී මිය ගියා; 500 ක් සිරගෙදර මුරකරුවන් මරා දාල තියෙනවා; විශේෂ අධිකරණ වලින් මරා දැමුණු කාන්තාවන් සංඛ්‍යාව 150; කොමියුන්ස්ට්වාදයේ කළු පොත පෙන්වන්නේ 1959 සිට 1990 දක්වා කැස්ත්‍රෝ රෙජීමය තුල දී 15,000-17,000 අතර සංඛයාවක් වෙඩිතබා ඇතැයි කියා.

[ඒකට Like වැටුනේ නැහැ.]

Aruni Shapiro: මනුස්සකම කියන්නෙ යම් මතවාදයකින් තෝරාගන්නා වූ යම් කොටසකට හිමි වූ තත්වයක් නෙමෙයි.

***: චේ විප්ලව කරපු එක වැරදි කියලා ද අදහස් කරන්නෙ

[ඒක වැටෙද්දී මම මේක අමුණලා. චේ තමන් ගේ අදහස් වලට විරුද්ධ නිසා වෙඩි තබා මරා දමන ලද 180 කගේ නම් ලැයිස්තුව.]

Aruni Shapiro: “ද්වේෂය යනු විප්ලවයේ අංගයකි; නොනැමෙන සේ හතුරා කෙරෙහි ඇති ද්වේෂය, මිනිසෙක්ව ඔහුගේ ස්වභාවික සීමාවන් ඉක්මවා තල්ලු කරන ද්වේෂය, සාර්ථකව ඔහුව දරුණු, සුවිශේෂී, හිතක් පපුවක් නැතිව මිනිසුන් මරණ යන්ත්‍රයක් බවට පත් කරයි. මේක තමයි අපේ සොල්දාදුවන් වෙන්න ඕන …” -චේ ගුවේරා

[ඒක ඉංග්‍රීසියෙන්]

Aruni Shapiro: පැහැදිලි ඇතැයි යැයි සිතමි. මා චේ ගුවේරා කියූ වැදගත් ප්‍රකාශ රැක ගැනීම වෙනුවෙන් සදා සටන් වදින්නෙමි. එහෙත් ඔහුගේ අමනුස්ස ක්‍රියාවන් සදා හෙළා දකිමි.

[ම්හු, නැහැ Like එකක්!]

** සරලව කියන්න මොනාද අමනුස්ස ක්‍රියා

[අමුණපු ඒවා බලන්න ගිහින් නැහැ වගේ. සමහර විට චේ ගුවේරා කළ ප්‍රකාශයන් ඉංග්‍රීසියෙන් ලියා තිබුණ නිසා දැයි දන්නෙත් නැහැ. හැබැයි ඒවා කියවන්න දන්නෙ නෑ මොනාද ඒ ලියලා තිබ්බෙ කියලා ඇහැව්වා නම් පරිවර්තනය කරලා දෙන්න පොඩ්ඩක් බලාගෙන හිටිය.]

Aruni Shapiro: නැහැ විප්ලවයක් කිරීම වැරැද්දක් නැහැ. ඒත් ත්‍රස්තවාදය යනු විප්ලවයක් නෙමෙයි.

Aruni Shapiro: මිනිසාට තෝරා ගැනීමකට ඉඩ නොදීම අමනුස්ස ක්‍රියාවකි.

Aruni Shapiro: එහි දී චේ විසින් කඩන්නේ ඔහුම කියූ පළමු සත්‍ය ප්‍රතිපත්තියයි: “මිනිසාට තමන්ගේ සත්‍යය මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් ම ඉෂ්ට කරනු හැකි වන්නේ ඔහුට තමන්ව භාණ්ඩයක් ලෙසින් විකිණීමට බලහත්කාරයෙන් යොමු නොකර නිෂ්පාදනයේ නිරත වන්නට හැකියාව ලැබෙනා විට ය.”

Aruni Shapiro: අනුන් හදන පිළිවෙත් අනුව වැඩ කරද්දී මිනිසාට තෝරා ගැනීම අහිමි වෙයි. තෝරා ගැනීමකට ඉඩක් ඇත්තේ මිනිසුන් එකිනෙකා අතර ගණුදෙනු මෙසේ කරන්න යැයි බලහත්කාරයෙන් එල්ල වන පීඩනයක් නැති විටෙක පමණි.

[නැහැ ඒවා එකකටවත් Like වැටෙන්න!!]

**: විප්ලවයට හැමදාමත් කාලයත් එක්ක ගැටීමක් තියෙනවා, වඩා මානුෂික විප්ලවයක් කරන්න දීර්ඝ කාලයක් අවශ්‍යයි, පොඩ්ඩක් හිතන්න, අපි අනවශ්‍ය ලෙස සංවේදී වීම තුලින් විනාශ වෙන ජීවිත ප්‍රමාණය ගැන, කිසිම මිනිසෙකුගේ ජීවිතය ගැන තීරණය කිරීමට තවත් කෙනෙකුට අයිතියක් නෑ, ඒත් ඝාතකයා ඝාතනය කිරීමේ අයිතිය ස්වභාව ධර්මයා මඟින්ම අපිට ලැබිලා තියෙනවා.

Aruni Shapiro: //කිසිම මිනිසෙකුගේ ජීවිතය ගැන තීරණයක් කිරීමට තවත් කෙනෙකුට අයිතියක් නෑ// ඝාතකයෙකුට ඝාතනය කිරීමට “අයිතියක්” නැහැ. අයෙකුට ඇත්තේ තමන්ව ඝාතනය කරන්නට එන්නා වෙතින් ගැලවීමට “අයිතියක්” පමණයි. එහෙත් චේ ඇතුළු පිරිස ඒ අයිතිය ඔවුන් තෝරාගත් පිරිසට පමණක් අහිමි කළා.

චේ ගේ පින්තූරයක් නැති කෙනෙක් ඇවිත්: හුටා ……….

***: චේ කියන්නෙ උතුම් මිනිහෙක්, ඒ වගේ අයට අපහාස කරන අයට කැමති නෑ සහෝදරයා

**: මිනිසා හැම විටම සමූහය ගැන සිතිය යුතුයි, ඒ මතයි පැවැත්ම රඳා පවතින්නෙ, සමුහයට තර්ජනයක් වෙන සාධක ඉවත් කරලා උතුමා, ඒ වගේ අවස්ථාවක දී තෝරා ගැනීමේ අයිතියට ඉඩක් නෑ, මිනිසාට තෝරා ගැනීමේ අයිතියක් දුන්නා නම් අද වෙන විට සංවිධිත සමාජයක් බිහිවෙන්නෙත් නෑ, මොකද මිනිසා ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී නිසා ඔහුගේ පුද්ගලික තෝරාගැනීමද ආත්මාර්ථකාමී වෙන නිසා

[ඒ ටික ලියැවෙන්නෙ ඉංග්‍රීසි අකුරු වලින්]

***: අනේ කියන දෙයක් සිංහලෙන් ටය්ප් කරන්නකෝ, ඕව කියවන්න බෑ

**: අඩෝ මට ඒක තාම හුරු නෑ බන්. එක කොමෙන්ට් එකට පැයක් යයි ටයිප් කරන්න, අඩෝ මොනා හරි කියපල්ලා, චේ ගුවේරාට වලියක් දානවනේ

[ඒ ටික ලියැවෙන්නෙත් ඉංග්‍රීසි අකුරු වලින්]

Aruni Shapiro: ‘මිනිසා සෑම විටම සමූහය ගැන සිතිය යුතුයි’ කිව්වට එහෙම හිතන එක මිනිස් ස්වභාවයට පටහැකි වූවක් නම්, එහෙම නොහිතන මිනිස් ස්වභාවය කොයි තරම් විප්ලව ගෙනාවත්, කොයි තරම් මිනිස් ඝාතන කළත්, වෙනස් කළ නොහැකි වූවක් ද නම්, එවිට වෙන්නේ කරන්න බැරි දේවල් කරන්න ගිහින් අවසානයේ විප්ලවය පරාජය වීමයි.

Aruni Shapiro: සමූහයක ඉන්නා මිනිසුන් එක එක්කෙනා තමයි සිතන එක ඉෂ්ට කරන්නෙ. සාමූහික චින්තනයක් කියා දෙයක් නැහැ. ඇත්තේ එක සමූහයක් අතර අයෙක් හෝ පිරිසක් හිතන විදියට අනිත් අය එකඟ වීම. අයෙක් හිතන්නේ තමන්ගේ මොළයෙන්. පැවැත්ම රඳා පවතින්නේ සමූහයේ ඉන්නා අයෙකුගේ නිවැරදි චින්තනයට අනිත් අය එකඟ වෙනවා ද නැත් ද යන්න මතයි.

Aruni Shapiro: අයියෝ ..චේ ගුවේරාට වලියක් නැහැ සහෝදරවරුනි!!! 🙂 ඔබ කැමති නම් ලෝකයා දන්නා දුෂ්ටයෙක් ඔබේ වීරයෙක් කර ගැනීම ද ඔබගේ අයිතියකි!!!!

[දැන් මෙතැන දී මට ලේබල් කිහිපයක් අවේගයකින් ගහලා දාන කමෙන්ටුව ඉවත් වෙලා ඒකට වෙන එකක් වැටෙනවා]

**: වඩා මානුෂික උනා බුදුහාමුදුරුවෝ, ගාන්ධි වගේ අය කරපු විප්ලව සාර්ථක උනාද

***: == චේ තමා මනුස්සකමේ අංක එකේ පුද්ගලයා ==

**: පැහැදිලිවම සමූහ චින්තනයක් කියලා දෙයක් තියෙනවා, ඒකට කතා කරන නායකයා වටේ තමයි මිනිස්සු ඒකරාශී වෙන්නෙ, නායකයෙක් කරන්නෙ මිනිස්සු සමූහයකට උත්තේජනයක් දෙන එකයි, චේ කරෙත් ඒ වගේ දෙයක්, චේ ගුවේරා සිටියත් නැතත් විප්ලවය සිදුවීමට ඉරණම හදලායි තිබුනෙ.

අර ලේබල් වැටෙන්න ගත්තට පස්සෙ මම කතාව නැවැත්තුව. ඒ ලේබල් වලින් එකක් තමයි මෙයා හිට්ලර්ගෙ නෑයෙක් ද කොහෙද කියලත්!!!!

ඉතින් චේ වගේ නායකයෙක් වටේ එකතුවීම ඔහු වීරයෙක් විදියට දකින අයගේ පාරභෞතික සිහිනය අනුව තාර්කිකව නිවැරදි වූවක්.

ඒත් හිට්ලර් වීරයෙක් විදියට ඒ තර්කයෙන්ම දකින්නෙ නැහැ!!!!!!!

එහෙම තර්ක කරන අය දැන් කියාවි අනිවාර්යෙන්ම මම හිට්ලර්ගෙ නෑදෑයෙක්ම තමයි කියල!!!!

ඉතින් එහෙම තර්ක කරන අය සාමූහික චින්තනයකින් සිටිය දී ඔවුන්ගේ තත්වය එකතැන පල්වීම අරුමයක් ද?!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. තහනම් වචන said, on පෙබරවාරි 27, 2013 at 11:30 ප.ව.

    මේ මිනිස්සු ජීවත් වෙන්නේ අර “The Island” හරි “Matrix” series එකේ හරි වාගෙ තම තමන්ටම ආවේණික මනෝ රාජ්‍ය වල. ඒ රාජ්‍යයේ මෙයාලට වීරයෝ ඉන්නවා. සාංදර්ශික සහ පරමාදර්ශී වීරයෝ. අතේ ඉඳුල් නොගෑවී බත් කන්න හදන පොඩි බබාලා වගේ මේ අයත් කරන්නේ අර වීරයන්ගේ සැබෑ ජීවිතෙන් “වීරයා” නම් වූ අතත්‍ය චරිතයක් උකහා ගන්නවා. කවුරු හරි මිනිහෙක් අර වීර චරිතේ සත්‍යය ගැන කතා කලාම ලේබල ගහනවා.

    ඉතිහාසයේ කවදාවත්ම වීරයෝ හිටියේ නැහැයි කියන එක මගේ විශ්වාසය. හිටියේ මිනීමරුවෝ, දූෂකයෝ, දේශකයෝ, දේශපාලකයෝ, ගුරුවරු, ක්‍රීඩකයෝ, වගේ මිනිස්සු. ඒ තුළින් වීරයෝ හදා ගන්නේ අපි. මමත් ඔය වගේම ලේබලකරණයකට ලක් වුණා “දුටුගැමුණු නම් වූ මිනීමරුවා” ලිපිය ලිව්වම.

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 5:44 පෙ.ව.

      තහනම් වචන,

      වීරයෝ ගැන මාත් ලියන්න ඕනෑ, කවදා හරි!!! 🙂 මට ලේබල් නම් ඕනෑ තරම් තියෙන්නෙ, තව එකතු වුනාට ගාණක් නෑ!!!

      ලේබල්කරණය පහසුයි; මතවාදය විමසනවා වගේ ඒත් එය ගැන අවධානය නොකර පුද්ගලයාට පහරදීමෙන් මතවාදය නිශ්ප්‍රභා කළා වගේ පෙන්විය හැකි නිසා.

  2. Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 28, 2013 at 2:24 පෙ.ව.

    හපොයි හපොයි ලියන වේගෙ අපි කියවන්නේ මේක විතරයි කියල හිතුවද සුද්දපුගේ හාමිනේ…වේගෙ අඩුකරන්න අර නස්කාර් රේස් එකේ කාර් එක උඩින් ගියා වගේ ., උඩින් යයි. මේ ලිපිය අර මං ලඟදි කොක්කක් දාගත්තු අර යධමින් බැඳී බ්ලොග් ලියන නංගියාට දකින්න ලැබේවායි පතමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: