අරුණි ශපීරෝ‍ වෙතින්

ඕනෑම අයෙකුට බ්‍රියෝෂ් කන්න හැකියාව ලැබෙන්නේ මෙහෙමයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 24, 2013

IMG_5139

මාරි ඇන්ටොනෙට් රැජින “පාන් නැත්නම් බ්‍රියෝෂ් කාපල්ලා,” යැයි කියූ තැනක් ඵෛතිහාසික තොරතුරු වලින් සොයා ගත නොහැකියි. රැජිනක් එහෙම කිව්වා යැයි සඳහනක්, ශාන් ජාක් රූසෝ විසින් ගොතන ලද්දක්, මාරිට වයස 9 දී ලිව්වක්, රූසෝ ලියන ලද “පාපෝච්චාරණය” පොතෙන් නම් සොයාගත හැකියි. එහි ද කුමන රැජිනක් විසින් එසේ කියා ඇත්දැයි රූසෝ සඳහනක් කර නොමැත. කෙසේ හෝ ප්‍රංශ ජනතාවගේ උදහසට ලක් වී රැජිනට හිස අහිමි විය.

අද ප්‍රංශයේ සමාජවාදී ජනාධිපතිවරයා වන ෆ්‍රැන්සුවා අලාන්ඩේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් අහිමි වී යන තත්වයට පත් වී ඇත. ඔහු ෆ්‍රැන්සුවා මිටරාන්ඩ්, නිකලස් සාර්කෝසී, ජාක් චිරාක් යන සියල්ලන්ටම වඩා ජනප්‍රියත්වයෙන් පහළකට බැස සිටියි. මාර්තු 19 දා ඔහුගේ බජට් ඇමති Jérôme Cahuzac බදු විමර්ශනයක පැටලී සිටියෙන් තනතුරෙන් ඉල්ලා අස්විය.

ඉතින් සෙනසුරාදා උදෑසන, ඩොලර් පහකට බ්‍රියෝෂ් තුනක් කන්න හැකි (තුනම මම තනියම කෑවේ නැහැ) ෆෙයාර්ෆැක්ස්, වර්ජීනියාවේ දී මම කල්පනා කළේ ප්‍රංශ ජනතාව තවමත් රටේ සමෘද්ධිය ආණ්ඩුවකට ගෙනෙන්නට බැරි බව අවබෝධ කරගෙන නැත්තේ මන්ද කියාය.

ජර්මනියේ ලිබරල්වාදී (සම්භව්‍ය) ආණ්ඩුවක් කිසි කලෙක නොතිබුණි. එහෙත් ඔවුන් යන්ත්‍රයක් වැඩ කරන්නේ කෙසේදැයි වටහා ගැනීමට හැකි ජනතාවකි. යුරෝපා සංගමය තෙල් දැම්මත් දුවන්නේ නැති යන්ත්‍රයක් බව ඔවුනට පසක් වී ඇතැයි පෙනෙන්නේ මේ නව දේශපාලන පක්ෂයේ ප්‍රභවයත් සමඟයි. එහි නිර්මාතෘ Bernd Lucke ය. හේ අර්ථ ශාස්ත්‍ර මහාචාර්යවරයෙකි. ඔහුගේ ජර්මන් විකල්ප දේශපාලන පක්ෂය අන්තර්ජාලයෙන් කල එළි බැස්සේය. අප්‍රේල් මාසයේ දී එහි ප්‍රථම හමුව පැවැත්වේ. යුරෝපා සංගමය ක්‍රමවත් ආකාරයකට විසුරුවා හැරීම ඔවුන්ගේ ප්‍රධාන තේමාවයි. ජාතික මුදල් ක්‍රමයකට ආපසු යෑම දෙවැනි අරමුණයි. විමධ්‍යගත යුරෝපා යුනියනයක රාජ්‍ය නිල බලය අඩුවෙන් පවත්වා ගනිමින් එක වෙළඳපොලක් සේ කටයුතු කරන්නට සංවිධානය තුන්වැන්නයි. විස්තරය ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවෙනි.

මිනිස් පරිහරණයේ පවතින බොහෝ භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාගේ වාසියට සෑහෙන පරිනාමයකට පාත්‍ර වී තිබියත් ඔටුන්නක් රටක මුලසුනේ නොමැති වුවත් ආණ්ඩුව දිහා බලනා මිනිස් චින්තනය වෙනස් වී නැත. ආණ්ඩුවක් විසින් සපයන සේවා ගැන පැනයක් නැඟුවොත් නිදහස් වෙළඳපොල ගැන අගයන අය පවා එය සලකන්නේ, සේවාව සපයනවාට අකමැති යැයි කිව්වා සේ සලකා උරණ වෙමිනි.

ලිබටේරියන්වාදියෙක් (සම්භව්‍ය ලිබරල්වාදියාගේ ගැටළු විසඳා ගත් කට්ටිය) ආණ්ඩුවේ බලය අවම කර පුද්ගලික ව්‍යවසායකයෙන් මහජන පහසුකම් සපයන්නට හැකි යැයි කියද්දී, වෙනස් විදියකට හිතන්න බැරි එහෙත් චේ අගයන අය 😀 හිතන්නේ හරියට බදු වලින් සපත්තු සැපයූ මොනොපොලියක් අයිති වූ රාජ්‍ය සංස්ථාවක් දිහා බලනවා වැනි යැයි පැහැදිලි කරන්නේ For a New Liberty (1973) ලියන මුරේ රොත්බාර්ඩ් විසිනි.

සපත්තු නිෂ්පාදනය සහ බෙදා හැරීමේ මොනොපොලිය හැමදාම සතු වූයේ ආණ්ඩුවට පමණක් නම්, එහෙනම් ලිබටේරියන්වාදියෙක් පැමිණ ආණ්ඩුව සපත්තු නිෂ්පාදනයෙන් අයින් වී එය පුද්ගලික ව්‍යවසායකයන්ට විවෘත කරන්න යැයි කිව්වොත්, එවිට මහජනයා කෙසේ ප්‍රතිචාරයක් දක්වයි දැයි රොත්බාර්ඩ් විමසයි.

ඔයා මහජනතාවට එරෙහියි යැයි ඔවුන් කියනු ඇත. දුප්පතුන් සපත්තු පළඳිනවාට අකමැති යැයි ඔවුන් කියනු ඇත. ආණ්ඩුව සපත්තු බිස්නස් එකෙන් අයින් වුනොත් මහජනතාවට සපත්තු සපයන්නේ කවුද? යැයි ඔවුන් අසනු ඇත. කොයි කාණ්ඩය ද සපත්තු හදන්නේ? කොයි අය ද බෙදා හරින්නේ? සපත්තු කඩ කීයක් කුමන නගර වල තියෙයි ද? මොන වෙළඳ නාම තියේවි ද? කවුද ඒවාට ආයෝජනය කරන්නෙ? මොන අමුද්‍රව්‍ය වලින් ද සපත්තු හදන්නේ? ඒවා කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි ද? කවුද ඒවායේ මිල තීරණය කරන්නෙ? නිෂ්පාදන වල ප්‍රමිතිය ගැන සහතික කරන්නේ කවුද?

නිදහස් වෙළඳපොලේ සාරය (essence) සහ තේජස (glory) නම් ඒකීය ව්‍යවසායකයන්ට හා ආයතන වලට වෙළඳපොල තරඟයෙන්, නිතර වෙනසට භාජනය වන ස්වභාවයෙන්, කාර්යක්ෂම හා ප්‍රගතිශීලී වූ භාණ්ඩ හා සේවා සපයත හැකියාව බව රොත්බාර්ඩ් පෙන්වා දෙයි. වෙළඳපොල දිහා බැලුවොත් පුද්ගලික අංශය සපයන භාණ්ඩ එන්න එන්නම දියුණු වී ඇත. නව තාක්ෂණය භාවිතයට ගෙන ඇත. නිෂ්පාදන වැය අඩුකරගෙන ඇත. ලොවේ අනිත් කොණකින් එන භාණ්ඩ තවත් කොණක ඉන්නා සාමාන්‍ය ජනතාවටත් පරිහරණයට අවස්ථාව පෑදී ඇත. ඉතා ඉක්මණින් හා කාර්යක්ෂම ලෙසින් පාරිභෝගික ඉල්ලුම සපයන්නට පුද්ගලික ව්‍යවසායකයා සමත් වී ඇත.

නිදහස් වෙළඳපොලක ඔටුන්න පැළඳ ඉන්නේ පාරිභෝගිකයායි. සපයන්නේ කවුද? බෙදාහරින්නේ කවුද? කොතැනක පිහිටනවා ද? ඒවාට ආයෝජන කරන්නේ කවුද? මොන අමුද්‍රව්‍ය වලින් ද හැදෙන්නේ? කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ද? මිල තීරණය හා ප්‍රමිතිය තීරණ කරන්නේ පාරිභෝගිකයාය.

ව්‍යාපාරය පවත්වා ගෙන යන්නට නම්, ලාබ සොයන්නටත් අලාභ අඩු කරගන්නටත් අවශ්‍ය නිසා ඕනෑම ව්‍යවසායකයෙක් පාරිභෝගිකයාට වඩාත් කාර්යක්ෂම ලෙසකින් සහ වඩාත් අඩුවෙන් භාණ්ඩය හෝ සේවාව සපයන්නට උත්සාහ ගනියි.

එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයක නෛසර්ගික වශයෙන් දකින්නට ඇත්තේ කුමක් ද?

සේවාව සහ ගෙවීම අතර ගැලපීමක් නැත. පාරිභෝගිකයාට සේවාව අනගි ලෙසකින් සැපයූ නිසා ආණ්ඩුවේ කාර්යාලය ආදායමක් උපයන්නේ නැත. බොහෝ විට ආණ්ඩුව සේවාව සපයන්නේ පාරිභෝගිකයාට සහන මිලකට ය. ඉතින් ආණ්ඩුව නිෂ්පාදනය කරන්නට ගිය වැය පියවා ගැනීමක් සේවාව සපයන මිලෙන් සිද්ධ නොවේ. ආණ්ඩුවේ කාර්යාලයට ඒ සේවාව සපයන වැය පියවා ගන්නට ආදායම ලැබෙන්නේ බලහත්කාරයෙන් එකතු කරගන්නා ආදායම් හා අනෙකුත් බදු එකතුවෙනි. ඉතින් ආණ්ඩුවේ සේවාවට පාරිභෝගිකයාගේ ඉල්ලුම ගැන නිසි දැනීමක් ලැබෙන්නේ නැත. සේවාව බංකොළොත් වීම ගැන හා නිෂ්පාදන වැය ඉහළ යෑම ගැන ද තැකීමක් නැත, මන්ද බදු ඉහළ යවා වැය පියවා ගැනීමට බලය සතු නිසාය.

ආණ්ඩුවක් වියදම් කරන්නේ 1. දේශපාලන සමාජිකයන්ගේ පාරිභෝජන ඉල්ලුමක් තෘප්තිමත් කරන්නට සහ ආණ්ඩුවේ විශේෂ හිතවාදී කල්ලියකගේ පාරිභෝජන ඉල්ලුමක් තෘප්තිමත් කරන්නටයි. 2. නැත්නම් ආණ්ඩුවක් වියදම් කරන වැය නාස්ති කරන වත්කම් වෙති. මන්ද, ලාබය සහ මූල්‍ය අගය ගණනය (profit and capital-value calculations) දක්වමින් මාර්ගෝපදේශයක් ලබාදෙන පාරිභෝගිකයා සමඟ කෙළින්ම ගණුදෙනු කරන්නේ නැති නිසා, එනම් පුද්ගලික ව්‍යවසායකයාට හා මූල්‍ය ආයෝජකයාට ලැබෙන තොරතුරු ලැබෙන්නේ නැති නිසා, රාජ්‍ය හැම විටම නාස්තියක් කරයි. ඉතින් අවසානයේ සිද්ධ වෙන්නේ සම්පත් හා ආදායම නිෂ්පාදනය කරන අය වෙතින් ලබාගෙන නිෂ්පාදනය නොකරන අය වෙත නැවත බෙදා හරින එනම් “බදු ගෙවන්නන්” වෙතින් ගෙන “බදු පරිභෝජනය” කරන්නන් වෙතට බෙදන බංකොළොත් පිළිවෙතක රජය නියැළීමයි. මෙය කදිමට විග්‍රහ කර ඇත්තේ Joseph T. Salerno විසිනි.

පුද්ගලික ව්‍යවසායකයෙක් සේ පාරිභෝගිකයාව අද්දවා ගන්නට උත්සාහයක් ආණ්ඩුව කරන්නේ නැත. පාරිභෝගිකයන් වැඩිවෙද්දී පුද්ගලික ව්‍යසායකයා නිෂ්පාදනය වැඩි කරගන්නට වෙහෙසයි. අලුත් ඕඩර් ඉක්මණින් සපයන්නට වෙනස් වෙයි. ආණ්ඩු කරන්නේ ඊට හාත්පසෙන්ම විරුද්ධ වූවයි. එනම්, පාරිභෝගිකයන්ට අඩුවෙන් පාවිච්චි කරන්න යැයි නියෝග නිකුත් කිරීමයි!!!!!!! හිඟ තත්වයන් පැතිරෙන්නට ඉඩ දී, සේවාවේ ප්‍රමිතිය පහළ බහින්නට ද ඉඩ දෙති.

නගරයේ පාරවල් වල වාහන තදබදය වැඩිවෙද්දී පාරවල් වසා දමති. තම වාහන වලින් යන්නේ නැතිව මහජන ප්‍රවාහන සේවා පාවිච්චි කරන්නට යැයි ජනතාවට කියති.

පාරවල් වල තදබදය වැඩියි, ලොකු ලොක්කන් ගේ ආරක්ෂාවට කාර් ගොඩක් අවශ්‍යයයි, ඒත් සාමාන්‍ය මහජනතාවට මොකට ද වාහන? පාරවල් වල තදබදය වැඩි නිසා වාහන රටට ගෙනෙද්දී ජනතාවට බදු වැඩියෙන් ගහලා හැබැයි ආණ්ඩුවේ ලොකු සේවකයන්ට විතරක් බදු සහන දෙමු යැයි ආණ්ඩුවේ ලොක්කෝ තීරණ ගනිති!!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මාර්තු 24, 2013 at 12:40 ප.ව.

    අපි ඉතින් පුංචි කාලේ ඉඳලා අහලා තිබුනේ පාන් නැත්නම් කේක් කාපල්ලා කතාවනේ. ඇත්ත නැත්ත හොයන්න ගියේ නැහැ.

    ආණ්ඩුවක් වියදම් කරන්නේ දේශපාලන සාමාජිකයන්ගේ පරිභෝජන ඉල්ලුම තෘප්තිමත් කරන්න වගේම අපේ ආණ්ඩුව වියදම් කරන්නේ පවුලේ බූදලය තර කර ගැනීමට.

    • arunishapiro said, on මාර්තු 24, 2013 at 1:18 ප.ව.

      විචාරක,

      ඇත්ත හොයලා කිව්වත් බහුතරයට වැඩක් නැහැ විචාරක. ඇත්ත මෙහෙම නෙමෙයි කියලාත් කියන අය ඉන්නවා කියනවා. ඒ ඇත්ත මෙය නෙමෙයි කියන අය කවුද කියලා කියන්න දන්නෙ නැතිවුනාට, එහෙම කියලා තියෙන්නෙ කොහේදැයි දන්නෙත් නැතිවුනාට, මෙයාලා තව දුරටත් වැඩියෙන් කැමති මෙය සත්‍යය නොවන බව කියන ඔවුන්ව විශ්වාස කරන්නයි. 😀

      නායකයෙක් පත් කරගෙන එයා මඟින් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න හැකි යැයි සිතන හැදියාව නිසා නායකයාගේ පවුලේ බලය තර කරන්නටත් එයා මඟින් ඉල්ලීම් දිනාගන්න කැමති අය ඉතා කැමැත්තෙන් සහාය දෙනවා. නුහුරු නිදහස් වෙළඳපොලට බය නිසා, එයින් කාටවත් පක්ෂපාතී නොවී තම ඉල්ලීම් අනගිත්වයෙන් වැඩියෙන් ද, කාර්යක්ෂමවත් බවකින් ද, වහාම අඩු වැයකින් ද ලැබෙන බවත් දකින්නට මොළය පාවිච්චි කරන්නේ නැහැ. හුරු පුරුදු මිථ්‍යාවෙන් ජීවත්වීම සහ එය වැපිරවීමෙන් සතුටු වෙන බහුතරය එකිනෙකාව දකින්නේ ජනහිත හඳුනන සංවේදී අය හැටියට. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: