අරුණි ශපීරෝ‍ වෙතින්

මුදල් වලට නව අර්ථයක් ගෙනෙන බිට්කොයින්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 1, 2013

bitcoin1-150x150

බිට්කොයින් (Bitcoin) යනු ඩිජිටල් ව්‍යවහාර මුදල් වර්ගයකි. ලොව කිසිම ආණ්ඩුවක පාලනයක් යටතට එය අයත් නැත. අන්තර්ජාලයේ පවතින, එක අයෙකුගේ ගිණුමකින් අඩුකර අනෙක් අයෙකුගේ ගිණුමට එකතු කරන බිට්කොයින් ගණුදෙනු ලොව සම්පූර්ණයෙන් විමධ්‍යගතව සටහන් තැබෙන පද්ධතියක පවතින්නකි.

අන්තර්ජාලයෙන් එකිනෙකා සමඟ ගණුදෙනු කරන අයට වීසා, මාස්ටර් කාඩ් හෝ පේපෑල් යනාදී අතරමැදියෙක් අවශ්‍ය වූ කාලය අවසන් කරමින් බිට්කොයින් කෙළින්ම එකිනෙකා සමඟ ගණුදෙනු කරන හැකියාව ලබා දී ඇත. ව්‍යාජ නාම වලින් අන්තර්ජාලයෙන් අනෙකා කවුදැයි නොදැන ගණුදෙනු කරන්නට මින් හැකියාව ලැබෙයි. ඒ නිසාම බදු වලින් ගැලවෙන්නට, කළු සල්ලි ජාවාරමට, හොර බඩු විකිණීමට හා අපරාධ කල්ලි වල පැවැත්මට ද මින් හැකියාවක් ලැබෙයි. ඇමෙරිකාවේ ටෙක්සාස් විනිසුරුවෙක් වන ඇමොස් මාසන්ට් දැනටමත් එය නීත්‍යානුකූල මුදල් වර්ගයක් ලෙසින් නිල වශයෙන් පිළිගෙන ඇත. ජර්මනියේ මුදල් අමාත්‍යාංශය ද බිට්කොයින් පුද්ගලික මුදල් වර්ගයක් යැයි පිළිගති. නවතන්නට නොහැකි වූවක් රෙගුලාසිකරණයට පිවිසෙන ලෝක ආණ්ඩු දැන් බිට්කොයින් ආදායම් වලින් බදු කපා ගන්නේ කෙසේදැයි සොයමින් සිටිති.

බිට්කොයින් නිර්මාතෘ ලෙසින් සැලකෙන්නේ සතොෂි නකාමොටෝ (Satoshi Nakamoto) නමින් 2008 අග දී පෙනී සිටිය අයෙකි. එහෙත් ඔහු ගැන සොයාගන්නට හැකි වූ විස්තර වලින් හා ඔහුගේ ඉංග්‍රීසි භාෂා දැනුම අනුව ඔහු ජපානයේ වාසය කරන හෝ ජපන් අයෙක් යැයි සිතිය නොහැකි බව කියැවේ.

බිට්කොයින් සඳහා සතොෂි කළ දැවැන්ත මෙහෙය වූයේ වගකීමක් ගන්නා ඒකීය පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් හෝ රෙගුලාසිකරණයේ යෙදෙන පුද්ගල පිරිසක් නොමැතිව එකම මුදලක් නැවත නැවත වැය කිරීමට හැකියාව අහෝසියයි. අච්චු ගැසූ මුදල් කොළයක් හෝ හදන ලද කාසියක් නොව බිට්කොයින් යනු අන්තර්ජාලයේ වොලට් එකක පවතින මුදලකි. එහි දී සතෝෂි විසඳුවේ අයෙක් තව අයෙකුට ගෙව්වා කියූ මුදලෙන් වෙනත් අයෙකුට ද ගෙවිය හැකියාව (double spending) තුන්වැනි වගකීමක් ගන්නා පක්ෂයක් නොමැතිව නැති කරන්නේ කෙසේදැයි මේ අය ඉදිරියේ වූ ගැටළුවයි.

සතොෂි ඉදිරිපත් කළ open-source සොෆ්ට්වෙයාර් පද්ධතිය ඕනෑම අයෙකුට විවෘත කර නිරීක්ෂණය කළ හැකි වූවකි. සතොෂි එය ඉදිරිපත් කිරීමත් සමඟින් සිය ගණනින් ප්‍රෝග්‍රෑමර්ස්ලා සහ ක්‍රිප්ටොග්‍රැෆර්ස්ලා (cryptographers) එහි කෝඩ් කියවා තවත් දියුණු කරන්නට සහාය දුන්හ. අද පවතින්නේ සතොෂි ලියුවාට වඩා ඉතා ප්‍රථුල ලෙසින් වැඩි දියුණු වූ පද්ධතියකි.

මුලින්ම ඔවුන් ඉදිරිපත් කළේ රන් රිදී ප්ලැටිනම් හාරනවා වැනි සංකල්පයකින් බිහි වූ මුදල් කනින අවස්ථාවක් ගණිත ගැටළු විසඳන්නට දක්ෂ අයට ලබාදීමයි. එන්න එන්න දුෂ්කර වෙන ආකාරයකින් හැදෙන ගැටළු විසඳීමෙන් බිට්කොයින් අයිතියට අවස්ථාව ලැබේ. ටෙනසි විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියක වැඩියෙන්ම මුදල් කනින්නට සමත් වෙන පන්දාහ ගැන ලැයිස්තුවක් යාවත්කාලීන වෙයි.

ගණිත ගැටළු විසඳන්නට නොදන්නා අයට ඊට හපනුන් සතු බිට්කොයින්, වෙනත් භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ලොව ව්‍යවාහර වෙනත් මුදලක් දී ලබා ගන්නට හැකියි. අන්තර්ජාලයේ බිට්කොයින් විකුණන වෙබ් අඩවියක වොලට් එකක් (ගිණුමක්) ආරම්භ කර, තමන් සපයන භාණ්ඩ හෝ සේවාවකින් හෝ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවා බිට්කොයින් වොලට්ටුවක් පුරවා ගන්නට හැකියි.

වොලට් එකක් වැඩ කරන හැටි, Demo ගිණුමක්, දැක බලාගන්නට කැමති අයට block chain.info/wallet වලින් වැඩි විස්තර සොයාගත හැකියි. බිට්කොයින් වලින් ගණුදෙනු කරන ලොව ඕනෑම තැනකින් භාණ්ඩ ලබා ගැනීමේ දී තුන්වැනි පාර්ශවයකට ගෙවන කොමිස් නැතිකම මෙහි වැදගත් ලක්ෂණයකි.

වොලට්ටුවක් විවෘත කරන ඔබට බිට්කොයින් ඇඩ්‍රස් එකක් ලැබෙයි. එය සමඟ පුද්ගලික අගුලක් සහ මහජන අගුලක් බිට්කොයින් සොෆ්ට්වෙයාර් එකෙන් නිර්මාණය කරයි. පුද්ගලික අගුල තමන්ගේය. තම වොලට්ටුවේ ඇති මුදල් ප්‍රමාණය දන්නේ තමන් පමණි. මහජන අගුල වෙනත් අයෙකුට යවන මුදල හෝ ලැබෙන මුදල ගැන සටහන් තබන්නයි. එය මහජනතාව දකින්නයි. එහෙත් තමන්ගේ නම, ගම, ලිපිනය හෝ ආදායම කිසිවෙකුට දැනගත හැකියාවක් නැත.

මෙය open-source software විදියට පැවතීම මත එහි අනගිත්වය ද රඳයි. සීමිත බිට්කොයින් සංඛ්‍යාවක් පමණක් ව්‍යවහාරයේ පවතී. 2140 වසර දක්වා ලෝකයේ කැනිය හැකි බිට්කොයින් ප්‍රමාණය මිලියන 21 කි. මෙය හැකර් ප්‍රහාරයන්ට ලක් වූ අවස්ථා තිබුණි. එසේම බිට්කොයින් ගැන ප්‍රවෘත්ති නිසා එහි අගය ඉහළ පහළ යෑම ද දකින්නට ලැබේ.

ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි.

බිට්කොයින් ගැන කියන්නට විස්තර මහත් සම්භාරයකි. එහෙත් මේ බ්ලොගය පවත්වාගෙන යන වර්ඩ්ප්‍රෙස් සමඟ බිට්කොයින් වලින් ගණුදෙනු කළ හැකි යැයි කියමින් අද සටහන මෙතැනින් නවතමි.

9 Responses

Subscribe to comments with RSS.

  1. wijayanatha said, on නොවැම්බර් 1, 2013 at 11:42 පෙ.ව.

    ලෝකයේ සටහන් වන ප්‍රථම බිට්කොයින් ගණුදෙනුව 2010 මැයි මාසයේ දී අයෙක් පීට්සා දෙකක් ගන්නට බිට්කොයින් දහ දාහක් ගෙවීමයි. වර්තමානයේ බිට්කොයින් වෙළඳපොලේ බිට්කොයින් දහ දාහක මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 කි.
    \\ඔබගේ මේ ලිපිය ඉතා අගනා ලිපියක්.කෙසේ වෙතත් මේ කොටස නම් වැරදියි නේද?පිට්සා දෙකක් ඇමරිකානු ඩොලර් මිලියන ගනනක්ද?

    • arunishapiro said, on නොවැම්බර් 1, 2013 at 2:27 ප.ව.

      wijayanatha,

      මම ලියපු වාක්‍ය දෙක ආයෙමත් කියවල බැලුවා .. වැරදීමක් තියෙන බවක් මට පේන්නෙ නැහැ.

      බිට්කොයින් දහ දාහක වර්තමාන වෙළඳපොල මිල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 ක් කියද්දී එය පිට්සා දෙකක අගය යැයි මම ලියා නැහැ නේද?

      තවත් පැහැදිලි කරනවා නම්, 2010 දී ඇමෙරිකන් ඩොලර් 25 ක් පමණ සාමාන්‍ය වෙළඳපොල මිලකින් යුතු පිට්සා දෙකක් ගෙදරටම ගෙන්වා ගන්නට, ඩොලර් 41 ක් හා සමාන යැයි සැලකූ බිට්කොයින් ඒකක දහ දාහක් දෙන්න වූයේ බිට්කොයින් වලට අගයක් එවක වැඩි පිරිසකට නොතිබීම නිසයි. බිට්කොයින් වලට අගයක් දෙන පිරිසක් අද වැඩිවෙමින් පවතින බව පෙන්වන්නේ බිට්කොයින් ඒකක දහ දාහක් ගන්නට නම් ඊට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.2 ක් ගෙවන්නට සිද්ධ වීමෙන්.

      මේ අසල තියෙන පිට්සා හට් එකෙන් ලොකු ප්‍රමාණයේ එක topping එකක් විතරක් තියෙන පිට්සා එකක අද මිල ඩොලර් 12 ක් යැයි පිට්සා හට් කඩයේ අන්තර්ජාල අඩවිය දාලා තියෙනවා.

  2. mppgunasinghe said, on නොවැම්බර් 1, 2013 at 1:01 ප.ව.

    ඉතා ප්‍රයෝජනවත් දැනුවත් කිරීමකි. ස්තුතියි. ඒ මෙන්ම මේතත්වය ඉතා ප්‍රයොජනවත් ප්‍රවනතාවක් ලෙස මානව කටයුතු පහසු කරවන්නක් බවට පත් වේවි නේද ?

    • arunishapiro said, on නොවැම්බර් 2, 2013 at 9:47 පෙ.ව.

      mppgunasinghe,

      ඔව් පරිගණකය විසින් ලෝකයේ නන් දෙස ඉන්නා අයගේ මානව කටයුතු පහසු කරපු අන්දමින් බිට්කොයින් නිසා මිනිසුන් අතර ගණුදෙනු කරන පහසුව වැඩි වෙන බවට කිසිම සැකයක් නැහැ.

      හැබැයි, ඒ වගේම රජය විසින් නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කරන කටයුතු කරන්නට හැකි පහසුවත් වැඩි කරනවා.

      අපරාධ කරන අය කොහොමටත් නීති කඩමින් අපරාධ කරන බව අමතක කරන හුරුව නිසා මෙයට ඉඩ ලැබීම පමණින් අපරාධ වැඩි වී යාවි යන්න තවත් බියක්.

      Silk Road නමින් බිට්කොයින් වලින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගණුදෙනු සඳහා වූ වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය අයෙක්ව ළඟ දී ඇමෙරිකන් රජයෙන් අත් අඩංගුවට ගත්තා. ඉංග්‍රීසි විකිපීඩියාවේ ඒ කළුකඩේ ගැන විස්තරය: http://en.wikipedia.org/wiki/Silk_Road_(marketplace)

  3. Dishan Kg said, on නොවැම්බර් 1, 2013 at 2:24 ප.ව.

    bit coin ගැන නම් අදමයි ඇහුවෙ මෙය තවම ebay වගෙ බවිතා කරන්නෙ නැනෙද ලංකාවට කොහොමද මෙ account ඒකක් ඒක්ක ගනුදෙනු කරන්නෙ තවම paypal වලින් වත් direct money recive කරන්න බැ

    • arunishapiro said, on නොවැම්බර් 1, 2013 at 2:39 ප.ව.

      Dishan Kg,

      ඔව් pay pal සහ ebay බිට්කොයින් භාවිතා කරන්නෙ නැහැ. ඒත් ලංකාවේ අයෙකුට අන්තර්ජාල පහසුකම් ඇත්නම් බිට්කොයින් වොලට් එකක් නොමිලේ අරඹන්න හැකියි. විස්තර සහිත ලින්ක් එකක් සටහනේ අමුණලා තියෙනවා. වීසා, මාස්ටර්කාඩ් යනාදී ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවලා බිට්කොයින් මිල දී ගන්න පුළුවන්. ඒ විකුණන සයිට් අව්‍යාජ ඒවාදැයි සොයා බැලීම තම වගකීමයි. බිට්කොයින් වලින් ගෙවන අයෙක් ඉල්ලන යම් භාණ්ඩ හෝ සේවා සපයන්නට හැකිනම් එවිට කිසිම බැංකුවක්, කිසිම ක්‍රෙඩිට් කාඩ් ආයතනයක් හරහා නොයා කෙළින්ම තම බිට්කොයින් ගිණුමට බිට්කොයින් ලබාගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් දුෂ්කර ගණිත ගැටළු විසඳලා බිට්කොයින් ලබාගන්නත් පුළුවන්.

      Jeffrey A. Tucker ලියන Bitcoin for Beginners ලිපිය අග බලන්න. එයාගෙ ලිපියට කැමති නම් බිට්කොයින් තෑගි කරන්න හදලා තියෙන හැටි බලන්න. ඉතින් බිට්කොයින් එහෙමත් ලබාගන්න පුළුවන්.

  4. ජයතුංග දූල්වල said, on ඔක්තෝබර් 21, 2017 at 12:09 පෙ.ව.

    ඉතාම වැදගත් කලෝචිත ලිපියක්

  5. සිසිර said, on ඔක්තෝබර් 21, 2017 at 9:22 පෙ.ව.

    ඉතාම අගනා ලිපියක්….


ප්‍රතිචාරයක් ලබාදෙන්න