අරුණි ශපීරෝ‍ වෙතින්

අනුන්ගේ සාරධර්ම හදන්නට යන දේශපාලනය

Posted in Uncategorized by arunishapiro on ජූනි 27, 2014

IMG_1080

රටකට හෝ සමාජයකට සාරධර්ම නැත. හොරකම, බොරුව, වංචාව, සූදුව හෝ මත්පැන තම ජීවිතයේ අංගයක් කරගන්නවා ද නැද්ද යන තීරණය ගන්නේ ඒකීය පුද්ගලයෙකි. ඒ නිසා සාරධර්ම ඇත්තේ ඒකීය පුද්ගලයාට පමණි.

1154 දී මත්පැන් පිරි නැව් ලංකාවට පැමිණි විට මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඒවා මුළුමනින් මිල දී ගෙන එය ඔහු තීරණය කරන ලද්දා වූ මිලකට රටේ වැසියන්ට විකුණා ලාබ උපයන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට ලෝකයේ පිළිගැනීමට පාත්‍ර වූ භූගෝල ශාස්ත්‍රඥ ඇල්-අයිඩ්‍රීසි සටහන් ලියා ඇතැයි ලංකාවේ ඉතිහාසඥයෙක් වූ සෙනරත් පරණවිතාන පෙන්වා ඇත.

ඉංග්‍රීසියෙන් ලියැවෙන දේවල් සිංහලෙන් ලියැවෙද්දී වෙනසකට භාජනය වන නිසාත්, 😀 රටේ ඉතිහාසය තම දැක්මට අනුකූල නම් පමණක් නිවැරදි යැයි සිතන නිසාත්, සිංහල බෞද්ධයා පිළිගන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් රට පාලනයේ යෙදි කාල පරිච්ඡේදය තුළ සුද්දන්ගේ ආර්ථික ප්‍රගතියේ වර්ධනය සඳහා රට පුරාම සුරාසැල් ආරම්භ කරන ලදැයි සහ එතැන් පටන් සිංහල බෞද්ධයා සුරා පානයට ඇබ්බැහි වී ලංකාවේ සාරධර්ම පද්ධතිය මහා විනාශයකට ලක්වූවා යන්න පමණකි.

ලංකාවේ සාරධර්ම විනාශයට පරසුද්දන් වෙහෙසෙද්දී නිදහස් ව්‍යාපාරයේ නායකයන් ඉදිරියට පැමිණ රට බේරාගත්තා යැයි ද සිංහල ජනමාධ්‍යයෙන් සහ නොමිලේ බෙදන අධ්‍යාපනයෙන් සිංහලයා ඉගෙන ගනියි.

1912 දී අනුන්ගේ සාරධර්ම හදන්නට යන දේශපාලනය පිළිබිඹු කරන අමද්‍යප ව්‍යාපාරය පටන් ගැනෙනුයේ දේශයේ ජාතික නිදහස උදෙසා කැප වූ දේශප්‍රේමී නායකයන්ගේ මූලිකත්වයෙන්.

එහෙත් නිදහස ලැබී ඒ දේශප්‍රේමී නායකයන් නීති හදාගත්ත ද, අමද්‍යප ව්‍යාපාරයේ ආරම්භයෙන් පසු සිය වසරක් ගෙවී ගිහින් තිබිය ද, තවමත් ‘මතට තිත’ වැනි මහජන මුදල් යොදවන වැඩසටහන් රටට අවශ්‍ය වී ඇත!!!

සිංහලයාට මත්පැන් බොන්න පුරුදු කළේ පරසුද්දා නම්, ඊට කළින් සත්‍යයෙන්ම සිංහලයන් මත්පැන් බිව්වේ නැත්නම්, ඉතින් අමද්‍යප ව්‍යාපාරයට සහ එහි සිංහල නායකත්වයට සිංහලයාව මත්පැන් පානයෙන් ගලවා ගන්න වසර සියයක් මදි ද?!!!!

එහෙම නැත්නම් මත්පැන් පානයට සමහර මිනිසුන්ට ඇති කැමැත්ත යනු වෙනස් කළ නොහැකි වූ මිනිස් ස්වභාවයක් ද?

සියල්ලන්වම ගලවා ගන්නට නොහැකි වූ මිනිස් ස්වභාවයක් නම් ඒ සඳහා වසර සිය ගණනක් නීති පිට නීති පනවමින්, නීති කඩ කරනවුන් අතරින් සමහර අයට පමණක් දඬුවම් දෙන්නට මහජන මුදල් වැය කරමින්, මත්පැන් ඇබ්බැහියක් නොමැති මිනිසුන්ව ද ණයගැතියන් කරමින්, ඇබ්බැහි වූ අයගෙන් සමහරු පමණක් නීතිමය අපරාධකාරැවන් කිරීමෙන් ඵලක් ඇත්ද?

මත්පැන් පානය නීතියෙන් තහනම් රටවල් දිහා බලන්න. ඒවායේ වැසියන් තුල පවතින සාරධර්ම මත්පැන් පානයට අවසර ඇති රටවල පුද්ගලයන්ගේ සාරධර්ම වලට වැඩියෙන් ඉහළ ද? ඒ රටවල වැසියන් මිනිස් ජීවිතයන්හි අගය ආරක්ෂා කරන්නට හෝ අගය වැඩි කරන්නට කුමන උත්සාහයන් සහ කුමන සොයා ගැනීම් ලොවට ඉදිරිපත් කර තිබේද?

පිටරටින් පැමිණි මධ්‍යසාරය සිංහල බෞද්ධයාට බොන්න හැකියාව ලැබුණේ පරසුද්දන් ලක්දිවට පය ගහන්න කළින් මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ දී නම්, නිදහස් සටනේ වීරයෙක් වූ ද, ඉතිහාසඥයෙක් වූ ද, වලිසිංහ හරිස්චන්ද්‍ර ගෙන් ඒ ගැන අහන්නට කෙනෙක් එදා අමද්‍යප ව්‍යාපාරය නිදහස් සටනේ විශාලතම බලවේගය බවට පත්වෙන කාලයේ සිටියේ නැද්ද? ඒ ගැන විමසා බැලිය යුතු යැයි ජාතික නිදහස් ව්‍යාපාරයේ නායකයන්ට සහ සිංහල බෞද්ධයන්ට කියා දෙන්නට විද්වතෙක් සිටියේ ම නැද්ද? නැත්නම් විද්වත් අය යනු පාලනය අල්ලා ගන්නට පොරකන දේශපාලනඥයන්ට කත් අදින රූකඩයන් පිරිසක් පමණක් ද?

තමන්ගේ දැක්මට අනුව යන ඉතිහාසය පමණක් පරිශීලනය කරන හුරුවෙන් සිංහලයා පරිණත වූවෙකි. ඉතිහාසයේ සිද්ධ වූවක් ගැන විවිධ අර්ථ කථන දිය හැකිය. එහෙත් සිද්ධ වූවක් සිද්ධ නොවූවා යැයි කියත නොහැකියි.

පෘතුගීසීන්, ඕලන්දක්කාරයන් හෝ බ්‍රිතාන්‍යන් ලක්දිවට පය ගහන්නට පෙර 1154 දී මහා පරාක්‍රමබාහු රජතුමා මත්පැන් රටපුරා බෙදා හැරීමේ මූලිකත්වය ගත්තා යැයි හෙළිදරව්ව සත්‍යයක් ද නැද්ද යන්න වර්තමාන ඉතිහාසඥයන්ට සොයා බලා විනිශ්චයක් දිය හැකි වූවකි. වර්තමාන විද්වතුන්ට ඒ ගැන සිය අදහස් දක්වා සිංහල බෞද්ධ ජනතාව දැනුවත් කිරීමට අවස්ථාව තවම ඇත!!!!!

අන්‍යයන්ගේ සාරධර්ම හදන්නට යන දේශපාලනඥයා මෙවැනි තොරතුරු නොසලකා බැහැර කරයි. එහෙත් තමන්ගේ සාරධර්ම ගැන උනන්දුවක් ඇති පුද්ගලයාගේ ක්‍රියා කලාපය නම් ලැබෙන සෑම තොරතුරක්ම බුද්ධියෙන් විචාරයයි. තමන් කැමති “වීර නායකයාගේ” රූකඩයෙක් වූ ලංකාවේ සිංහල බෞද්ධයා ඒ “වීර නායකයා” විසින් විදේශීය කුමන්ත්‍රණයක් යැයි ලේබල් අලවන්න ප්‍රතික්ෂේප කරන්නේ බුද්ධියෙන් විචාර නොකරම. එහෙත් විදේශීය රටවල වාසය කරන පරසුද්දන් අතර තමන්ගේම වූ බුද්ධියෙන් විචාර කරමින් විදෙස් රටවලින් පැමිණෙන යහපත් දේවල් තම ජීවිතයට එකතු කරගන්නා විශාල පිරිසක් දකින්නට ලැබේ.

එක්සත් ජාතික පක්ෂයේ මුල්ම තිඹිරි ගෙය අමද්‍යප ව්‍යාපාරය සේ සැලකේ.

පුද්ගල අයිතීන් ආරක්ෂා කරනවා වෙනුවට අනුන්ගේ සාරධර්ම හදන්නට යන දේශපාලනයේ නියැළීම නොහොත් තමන් හැදෙනවාට වෙනුවට අනුන්ව හැදිය යුතු අන්දම ගැන කතාබහට එදත් ඉතා කැමති වූ ද, ඒ වෙනුවෙන් නිදහස ඉල්ලා ගත්තා වූ ද රටක ජනතාවක්, මානුෂීක අයිතීන් හා අනුන්ගේ සාරධර්ම අතර වෙනසක් නොදන්නේ නම්, වර්තමානයේ දී ද වෙන කුමන කටයුත්තක නියැළෙන්න ද?!!!!

1154 දී සුරා බදු තීරණය කළේ මහා පරාක්‍රමබාහු රජතුමායි.

යටත්විජිත ලංකාවේ සුරා බදු තීරණය කළේ රට අල්ලාගත් බ්‍රිතාන්‍ය සුද්දන් විසිනි.

නිදහස් ලංකාවේ සුරා බදු තීරණය කළේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් විසිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක කාලයේ දී රටට ගෙන්වීම තහනම් කළ රට මත්පැන් වරප්‍රසාද ලත්තවුන් අතර හිඟයක් නැතිව දකින්නට තිබුණි!!!!

2005 දී ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් මහින්ද රාජපක්ෂ මතට තිත වැඩසටහනක් ඉදිරිපත් කළේ ඉතින් කාව රවටන්න ද?!!!!

අනතුරුව මත්පැන් විකුණන්නේ කවුදැයි සහ සුරා බදු කොපමණක් විය යුතුදැයි ඔවුන් ද තීරණය කළහ!!!!!

නීති පිට නීති සහ බදු පිට බදු දැම්මත් සිංහල බෞද්ධ සියල්ලන්ම සුරා පානය අත්හැර නැත. ලංකාව අද මත්ද්‍රව්‍ය වෙන රටවල් වලටත් හොරෙන් යවන කේන්ද්‍රස්ථානයකි.

තවත් කොපමණ කාලයක් ක්‍රියාත්මක කළ නොහැකි නීති ගෙනෙමින් සිටිනවා ද?

තව කොපමණ කාලයක් කොටසක් වෙතින් අරගෙන තව කොටසකට බෙදන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශන ලියමින් සිටිනවා ද?

ඒත් පුද්ගල සාරධර්ම හදන සහ පිරිසක් කොල්ල කා තව පිරිසකට වරප්‍රසාද බෙදන දේශපාලන නැඹුරුවකින් යුතු නීති හදන්නේ නැත්නම් එවිට රටේ බහුතර චන්ද සතු සිංහල බෞද්ධයන් දක්කාගෙන යන්නේ කුමන පොදු යහපතක් උදෙසා සටන් වදිමු කියා ද?!!!!!!

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූනි 27, 2014 at 1:14 ප.ව.

    //රටේ බහුතර චන්ද සතු සිංහල බෞද්ධයන් දක්කාගෙන යන්නේ කුමන පොදු යහපතක් උදෙසා සටන් වදිමු කියා ද?!!!!!!// කාටත් සිතා බලන්නට වටිනා ප්‍රශන්යක්

  2. Krishna Ramanayaka said, on ජූනි 27, 2014 at 1:55 ප.ව.

    ලංකාවෙ ඉන්න ඉතිහාස මහාචාර්ය වරුන්ට මහාවංශයෙන් තොර දෙයක් නෑ මට මතකයි වරක් එක් ඉතිහාස ඇදුරෙක් ශිලාලේඛන රට පුරා විසිරී ඇත්තේ එකල ලංකාවේ සාමාන්‍ය ජනයාට අකුරැ පුලුවන් නිසා කීව ඊට එරෙහිව මම කල ප්‍රකාශයට මිනිහට හොඳටම තදවුනා. ඒ අය තමයි ලමයින්ගෙ පෙල පොත් හදන්නෙ තමන් කැමති විදිහට කපල කොටල හදන කතාන්දර තමයි ඒ අයට ඉතිහාසය .ඒවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනව ඔක්කොම රජයෙන් දෙන්න කියල ඉල්ලන සමාජයක රජයත් ඒකට ගැලපෙන දේ කරනව .පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය ක්‍රමය ගැන විජේවර්ධන මහතාගේ ලිපිය අපේ සරසවි ඇදුරන් පිටුදාස් ගණන් ලියපු වැඩකට නැති පොත් ලක්ෂයකට වැඩිය වටිනව නේද

    • arunishapiro said, on ජූලි 1, 2014 at 10:41 ප.ව.

      Krishna Ramanayaka,

      විජේවර්ධන මහතා වැනි ඉංග්‍රීසියෙන් අනගි පොත් සහ ලිපි ලියන ලාංකිකයන් හිටියත්, සිංහල පනත දෝතින් බදාගත් “වීර සිංහලයන්” නිසා අද ඒවා කියැවීමේ හැකියාව ඇත්තේ සිංහල සුලුතරයකට!!!!

      ලංකාවේ පළවෙන ඉංග්‍රීසි පත්තරේ පුවතක් වුවත් සිංහලෙන් පළවෙද්දී දකින්නට හැකි වෙනස්කම් හරි අපූරුයි. සිංහලයා යනු තමන් ද රැවටී අනික් සිංහලයන්ද මුලා කරන ජනකොට්ඨාශයක් දැයි විමසා කෙනෙකුට උපාධි නිබන්ධනයක් වුනත් ලියන්න පුළුවනි කියා හිතෙනවා.

  3. Anaconda Vitamin said, on ජූලි 1, 2014 at 3:11 පෙ.ව.

    පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේ මෙහි ගෙනා මත්පැන් නැවක් ගැන අල් අදිරිස් සඳහන් කර ඇතැයි පරණවිතාන මහතා කර ඇති ප‍්‍රකාශය ඇති තැන කියන්න පුළුවනිද? මේ ගැන වැඩිදුර යමක් සෙවීම හරිම වටිනවා. ඔබේ හෙළිදරවුවට ස්තූතියි.

    • arunishapiro said, on ජූලි 1, 2014 at 8:51 ප.ව.

      Anaconda Vitamin,

      එකක් නෙමෙයි, සබැඳියෙන් අමුණා ඇති ඉංග්‍රීසි ලිපියට අනුව මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් වූයේ ලංකාවේ වරායන්ට පිවිසි නැව් සියල්ලේම වූ මත්පැන් රජය විසින් මිල දී ගැනීමයි.

      සබැඳියට අනුව සෙනරත් පරණවිතාන මහාචාර්යවරයා සහ C. W. Nicholas විසින් ලියන ලද මෙම මූලාශ්‍ර සඳහන්: History of Ceylon by The University of Ceylon Vol 1 Part II (මෙය 1961 දී ප්‍රකාශිත වූවක්) සහ The Polonnaruwa Period, Special Issue of the Ceylon Historical Journal 1955.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න