අරුණි ශපීරෝ‍ වෙතින්

උපාධියක් ඇත්නම් රස්සාවක් නැත්නම් ඇමතිට අබ ගෙනියන්න

Posted in Uncategorized by arunishapiro on ජූලි 14, 2014

IMG_1321

නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා විසින් රැකියාවක් නැති උපාධිධරයෙක් සිටින නිවසකින් අබ ඇට අහුරක් ඉල්ලූ ප්‍රවෘත්තියක් කියෙව්වෙමි. ඔහු එහෙම කියා ඇත්තෙ අද ලංකාවේ උපාධි සහතික ඇති එහෙත් රස්සා නැති අය දුලබ බව පෙන්වන්නටලු.

ඒ ප්‍රවෘත්තියට හොඳටම හරියන පින්තූරය මෙයයි.

ඉතින්, තාප්පයක්/බිත්තියක් හැදුවයි කියල ඵලක් තියෙනවා ද?!!!!

අනුන්ට වඩා ඉහළ මට්ටමක ඉන්නා අයෙක් වෙතින් ඔහුට වඩා පහළින් සිටින අය පාලනය වීම යහපත් යැයි සිතන අයට ඉංග්‍රීසියෙන් elitist යැයි කියැවේ. එය ඇනුම්පදයක් මිසෙක පැසසුමක් නොවේ. ‘එලීටිස්ට්’ යන්නට හරියටම ගැලපෙන සිංහල වචනයක් මම නොදනිමි.

ගම්පෙරළිය නවකතාව ලියූ මාටින් වික්‍රමසිංහ එක පැත්තකින් උප්පත්තියෙන් ද තවත් පැත්තකින් අධ්‍යාපනයෙන් ද ඒ ඒ අය තම තමන්ට ලැබිය යුතු යැයි අපේක්ෂා කරන එලීටිස්ට් හැදියාවන් කදිමට නිරූපනය කර ඇත.

එලීටිස්ට්ලා සියල්ලන් වංශවත් අය නොවෙති. ඔවුන් සියල්ලන්ම ධනවත් අය ද නොවෙති. ඔවුන් උපාධි පිට උපාධි සහතික ලත්තවුන් ද නොවෙති. එසේම ඔවුන් සැවොම දේශපාලන බලය අල්ලා ගත්තවුන් ද නොවෙති. ඔවුන් කිසිසේත්ම ධනවාදය කුමක්දැයි දන්නා අය ද නොවෙති!!!!!!

එහෙත්, සියළුම එලීටිස්ට්ලාට අනුව සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ට සුදුසු කුමක්දැයි තනිවම තීරණය කරත හැකියාවක් නැත.

එසේම සියළුම එලීටිස්ට්ලා විශ්වාස කරන්නේ තමන් රටට හෝ ජාතියට හෝ ක්ෂේත්‍රයට අවශ්‍ය සේවයක්, සුවිශේෂ දැනුමක්, ධනයක් සපයන අය නිසා යම්කිසි ආකාරයකින් සමාජයේ අනෙක් වැසියන්ට වඩා ඉහළ වූ සමාජ තත්වයක්, නිල තනතුරක්, ඉහළ පඩියක් තමන්ට ප්‍රදානය විය යුතු යැයි කියායි. ප්‍රශංසාව සහ ගෞරවය තමනට හිමිවිය යුතුයි කියාය.

වංශය, කුලය, ධනය, දේශපාලන බලය, උපාධිය එහෙමත් නැත්නම් රූප සෝබාව වුවත් පාදක කරගෙන ඒ නිසා අනුන්ට වඩා තමන් ඉහළ යැයි ද, ඒ නිසා අනුන්ට වඩා විශේෂ වූ යම් වරප්‍රසාද රටේ පාලකයන් මාර්ගයෙන් තමනට ලැබිය යුතු යැයි මේ එලීටිස්ට්ලා අපේක්ෂා කරති.

කිසිම විටෙක එලීටිස්ට්ලා ඔවුන්ගේ සේවය, දැනුම, කුසලතාවය හෝ රූපය නිදහස් වෙළඳපොලක දී තරඟකාරී මිලකට විකුණන්නට ඉදිරිපත් නොවෙති. ඔවුනට අනුව එය කුහක වූ ආත්මාර්ථකාමයකි!!! එලීටිස්ට්ලා අපේක්ෂා කරන්නේ ඔවුන් පමණක්ම සැබෑ පරහිතකාමී අය නිසා 😀 ඔවුන්ගේ සේවයට, දැනුමට, කුසලතාවයට හෝ රූපයට සරිලන තනතුරු හා ප්‍රතිලාභ ඔවුන්ට පිරිනමන්නට හැකි සමාජයක වැසියන් වාසනාවන්තයන් කියාය.

තමන් වෙනුවෙන් තීරණ ගන්නට නොදන්නා සමස්ත පොදු ජනතාවගේ යහපත උදෙසා, ආණ්ඩුව මාර්ගයෙන් ඒ පොදු ජනතාවගෙන්ම බලහත්කාරයෙන් උදුරා ගන්නා බදු මුදලින්, මේ එලීටිස්ට්ලාට තනතුරු හා ප්‍රතිලාභ සැපයීමට අවශ්‍ය බව ඔවුන් තරයේ විශ්වාස කරති.

එලීටිස්ට්ලා නිතරම අනෙක් එලීටිස්ට්ලාට ප්‍රශංසා කිරීම ඉතා පැහැදිලිව දැකිය හැකියි.

අයෙක් කැමැත්තෙන් නියැළෙන කටයුත්තක් තහනම් කරන්නට හෝ ඊට රෙගුලාසි දමන බලහත්කාරකමේ බලය සඳහා ආණ්ඩුවේ සහාය එලීටිස්ට් නොවන්නෙක් කිසිම විටෙක ඉල්ලා සිටින්නේ නැත.

තමන්ට සුදුසු වූව මිසෙක අනුන්ට සුදුසු මොනවාදැයි කියන්න තමන් නොදන්නා බව එලීටිස්ට් නොවන්නා පිළිගනියි.

ආර්ථිකයක් සැබෑ දියුණුවක් කරා යා හැකි පරිදි සැලසුම් කරන්නට තමන් හෝ වෙන කිසිම පුද්ගලයෙක් නොදන්නා බව තරයේ පිළිගනියි.

ආර්ථිකයක සැබෑ දියුණුවක් සිද්ධ වෙන්නේ, වෙළඳපොල නොහොත් භාණ්ඩ මිල දී ගන්නා සහ නොගන්නා ක්‍රියාවේ යෙදෙන සියළු වැසියන් නිදහස් තීරණ ගනිද්දී පමණක්ම බව එලීටිස්ට් නොවන්නා වටහා ගෙන ඇත.

තමන්ගෙ දැනුම, තමන්ගේ කුසලතාවය ආණ්ඩුව මාර්ගයෙන් බලහත්කාරයෙන් අනුන්ට බෙදීම සහ එම සැලසුම්වල වැය රටවැසියන් පිට පැටවීම එලීටිස්ට් නොවන්නා නොකරයි.

එලීටිස්ට් අය වැඩි වෙද්දී ඕනෑම රටක ඔවුන් ද ඇතුළුව එහි සියළු ජනතාව බංකොළොත් වී ණයගැතියන් වන බව ඉතිහාසය නැවත නැවත ඔප්පු කර ඇත.

යම් ආණ්ඩුවක් එහි උපාධිධරයන්ට පමණක් නොව රටවැසියන් සියල්ලන්ටම රස්සා දුන්නත් එපමණින් එරටේ ආර්ථිකය දියුණු වේ යැයි සිතන අය ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නවුන්ය. නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනයෙන් පෝෂණය වූවන් එවැනි මහා පරිමාණ සැලසුම් හැදූ ලෝක ආර්ථික සියල්ලක්ම බංකොළොත් වූ හැටි නොදනිති.

ඉතින් එලීටිස්ට්ලා තාප්ප ඉදිකරන්න කියති. තාප්ප කඩන්න කියති. නැවත ඉදිකරන්න යැයි කියති. මිනිසුන් දහදිය වගුරවමින් කය වෙහෙසන හැටි බලමින්, ඉහළට යන තාප්ප පෙන්වමින්, කඩා දමන තාප්ප පෙන්වමින්, ඔවුන් වෙහෙසනවා බලන්න ඔවුන්ට රැකියා ඇති හැටි බලන්න යැයි උදම් අනිති.

6 Responses

Subscribe to comments with RSS.

  1. Krishna Ramanayaka said, on ජූලි 15, 2014 at 8:03 පෙ.ව.

    රජය දන්සැල් දුන් උපාධිදාරී රැකියා වල නියැලෙන එම උපාධිදාරීන් දහස් ගණනකි .එහෙත් ඒ කිසිවෙකුද ආර්ථිකයට කිසිදු වටිනාකමක් නොදී කාලය කමින් බොරු ප්‍රගති වාර්තා/සමරි/..හා නොයෙකුත් කොල පුරවමින් නිරපරාදේ මහජන බදු කාබාසිනියා කරමින් සිටී.ඇත්ත තත්ත්වය මෙයයි .එම උපාධිදාරීන්ද ඉතා අසතුටෙන් කිසිදු ථලප්‍රයෝජනයක් නැති මෙම දන්සැල් රස්සා වල වෙන කරන්න දෙයක් නැති නිසා නියැලෙති.ඔවුන්ට
    ව්‍යාපාරයක් කිරීමට රටේ අවස්ථාවක්ද නැත.අනාගතයක්ද නැත.අබ පුපුරන තරහින් ඔහේ කාලය කමින් සිටී. ඹන්න සිරිපාල ඇමති තුමාලාගේ අබ කෙරුවාවේ මහිම

    • arunishapiro said, on ජූලි 15, 2014 at 4:13 ප.ව.

      Krishna Ramanayaka,

      රස්සාවක් වූ පමණින් ඒක වෙළඳපොලට වටිනාකමක් එකතු නොකරන ඉලක්කයක් මත පදනම් වී ශ්‍රමය වෙහෙසීම සිද්ධ වෙනවා නම් එය ආර්ථිකයට අහිතකරයි යන්න බොහෝ දෙනෙකුට අපහැදිලි වූ කාරණයක්. අපේ පැවැත්ම රඳා පවතින්නේ ආර්ථික හිඟතාවයන් මැද්දේ. අපි ශ්‍රමය වෙහෙසන්නේ ජීවත්වෙන්නට සහ සමෘද්ධිමත් වෙන්නට. එදා වේල හොයාගෙන කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න හුරු බහුතර පිරිසක් නිසා එදා වේලට කන්න දෙයක් නැති වී ගිහින්, වෙන දෙයක් බලාගෙන ඉන්නට හැකියාවත් නැති වී ගිහින් අකාලයේ මරණයට පත්වෙන හැටි කියා දෙන්න අය නැහැ.

      අපි සතුටු වෙන්න ඕනෑ උපාධිධරයන් සියල්ලන්ටම රස්සා ලැබුණා කියා නෙමෙයි. අපිට සතුටු විය හැකියාව ලැබෙන්නේ රස්සාවක් කරන හැම අයෙක් වෙතින්ම පුද්ගලයන් අගයන (ඒ කියන්නෙ තමන්ගේ වෙහෙස වැයකර හොයාගත් මුදල් වලින් මිල දී ගන්න ඉදිරිපත්වෙන) දේවල් නිෂ්පාදනය කරන රස්සාවල් ඇති අය බිහිවෙද්දී පමණයි.

      ඉතින් තමන්ගෙ රස්සාව රටට වටිනා එකක් ද නැත්නම් තමන්ගෙ සහ අනුන්ගෙ බදු මුදල් නාස්ති කරන නූපන් අය පවා ණයගැතියන් කරවන එකක් දැයි හොයන්නට හැම කෙනෙක්ටම පුළුවන් සුළු පරීක්ෂණයක් තමන් විසින්ම පවත්වලා:
      තමන්ගෙ රස්සාවෙන් පිටවෙන නිමි ප්‍රතිඵලය කුමක් ද?
      ඒ ප්‍රතිඵලය මිල දී ගත යුතු යැයි ආණ්ඩුවකින් කිසිම බලපෑමක් සිද්ධ නොවී, සහනාධාර කිසිවක් නොලැබෙන්නේ නම්, ඒ ප්‍රතිඵලය තමන්ගේම මුදල් වලින් මිල දී ගන්නට පුද්ගලයෙක් ඉදිරිපත් වෙනවා ද?

      තවත් කාරණයක්: තමන්ගේ පක්ෂය බලය අල්ලා ගත්තාම රස්සා ලැබිච්ච ඒ පක්ෂයේ අය පවා මුහුණ දෙන දුර්වලතාවයක් තියෙනවා. ඒක තමයි යම් රජයේ සේවකයෙක් යම් කාර්යක්ෂම වැඩ පිළිවෙලක් හැදුවොත්, එයින් ප්‍රතිඵල ලැබෙන හැටි පෙනුනොත්, ඒ වැඩ පිළිවෙල තව දුරටත් ඒක පටන් ගත්ත සේවකයා යටතේ තවත් කාර්යක්ෂම වී දියුණු වීමට ඉඩක් නොලැබී හනිකට ඉහළ නියෝගයකින් එතැනට එලීටීස්ට් කෙනෙක් පත්වී වැඩ පිළිවෙල එතැන් සිට බංකොළොත් වීම. මේ හැදියාව පුද්ගලික අංශයේ දීත් දකින්නට ලැබුණත්, පුද්ගලික අංශයේ දී ඒ මුග්ධ හැදියාව නිසා ඒ ව්‍යාපාරය බංකොළොත් වෙනවා. ඒ මුග්ධ හැදියාව නැති ව්‍යාපාර වලට සරුසාර වෙන්නට ඉඩ ලැබෙනවා. සම්පත් සහ ශ්‍රමය නාස්ති වීම වෙළඳපොල විසින් පාලනය කරනවා. ඒත් මෙවැනි මුග්ධ හැදියාව නිසා ආණ්ඩුවක් බංකොළොත් වුනාට ඊ ළඟට එන්නෙ එහිම නියැළෙන තවත් ආණ්ඩුවක්. සම්පත් සහ ශ්‍රමය නාස්තිය තවත් දීර්ඝ කාලයක් සිද්ධ වෙනවා.

      ඉතින්, ‘වෙන කරන්න දෙයක් නැති නිසා’ ආණ්ඩුවේ රස්සා කරනවා යන්න නූගත්කමයි. රස්සා හැටියට කළ යුතු වෙන දේවල් ගැන හිතන්න නොහැකි ලෙසට නොමිලේ දෙන අධ්‍යාපනය කියා නූගත්කම බෙදන එකෙන් ලැබෙන ප්‍රතිඵලයයි.

      නොමිලේ බෙදන ලද අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන තියෙන්නෙ, graduate demand access to government jobs වෙළඳපොලකට අවශ්‍ය වූ දක්ෂතා සහ කුසලතා සතු නිසා නෙමෙයි රස්සාවක් ලැබෙන්නෙ, පෙළපාලි ගියාම කියලා!!!

      මහජනතාවගේ ජීවන බර වැඩි කරමින් මහජනතාව ණයගැතියන් කරමින් ආණ්ඩුව රස්සාවල් බෙදන්න පටන් ගත්තම සිංහල බෞද්ධයන්ට, සිංහල ක්‍රිස්තියානි අයට, ද්‍රවිඩ හින්දු අයට, මුස්ලිම් අයට මෙච්චරක් මෙච්චරක් රස්සාවල් කියලා ගණන් හදන්න ආණ්ඩුවට කඩේ යන එලීටිස්ට්ලාට බලය ලැබෙනවා. වතු කම්කරු ද්‍රවිඩ අය සහ යාපනේ පහළ කුලයන් හි අය අතර තවම උපාධි අරගෙන උද්ඝෝෂණ පවත්වන පෙළපාලි යන අය වැඩිය නැති නිසා ඒ කට්ටියව නියෝජනය කරන්න තවත් ත්‍රස්තවාදියෙක් ඉදිරියට ඒවි.

      රස්සාවක් ලැබෙන්නෙත් පෙළපාලි ගියාම නිසා, හැම දෙයක්ම දිනාගන්නෙ පෙළපාලි ගිහින්. ඊ ළඟට ජීවන වියදම පහළ යවන්නත් කියලා … අමතක වුනා! දැනටමත් ඒක රජයට කරන්න පුළුවන් දෙයක් කියල හිතන අය නේද වැඩියෙන් ඉන්නෙ?!!!!!! 😀 😀

  2. Krishna Ramanayaka said, on ජූලි 16, 2014 at 3:17 පෙ.ව.

    හැබැයි මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගෙන ( කල් පසු වී හෝ ) ඒකීය පුද්ගලික නිදහස ආරක්ෂා කරමින් නිදහස් වෙළඳපොල ක්‍රමයක් තුලින් පමණක් සංතෘෂ්ටිය ලඟා කරගත හැකිය යන්න වටහා ගත්ත අය කිහිප දෙනෙක් සිටිනව.ඒත් ආර්ථිකයේ ව්‍යවසායකයන්ට ඇති අහිතකර තත්ත්වය නිසා ආතතියෙන් යුතුව කල්ගතකරනව .‍රාජ්‍ය සේවයෙන් ගිහින් ඔවුන්ට කරන්න දේකුත් නෑ
    (ලංකාවෙ )

    • arunishapiro said, on ජූලි 16, 2014 at 10:07 පෙ.ව.

      Krishna Ramanayaka,

      රාජ්‍ය සේවයෙන් ගිහින් ඔවුන්ට කරන්න දෙයක් නැහැයි පැවසීම නිදහසට කරුණු කියා පෑමක් මිස වගකීමක් බාරගැනීම නොවේ. එසේ වගකීම පැහැර හැරීම යනු සිතේ කොහෙ හරි අස්සක පැළපදියම් වෙච්ච එලීටිස්ට් හැදියාව තවමත් පැවතීමයි.

      නිදහස් වෙළඳපොල ක්‍රමය කුමක්දැයි සත්‍ය වැටහීමක් ලැබිච්ච මොහොතේ සිට අනුන්ට බලහත්කාරකම් කරන බලය ප්‍රතික්ෂේප කරන්නෙ නැතිව ජීවත්වීම හෘදය සාක්ෂියක් ඇති අයෙකුට කළ නොහැකියි.

  3. Krishna Ramanayaka said, on ජූලි 16, 2014 at 12:01 ප.ව.

    අරුනි මෙතන ගැටලුව වගකීම බාරනොගන්නා එලීටිස්ට් හැදියාවම නෙමෙයි නේද ඊට එහා ගිය ප්‍රායෝගික ගැටලුවක් නේද? උදා – ලංකාවේ ව්‍යාපාරයක් කිරීම යනු අද සියදිවිනසා ගන්නා වැඩක් නෙමේද ඒකෙන් මම අදහස් කරන්නේ පවතින සැබෑ තත්ත්වය මිස එය පිලිගැනීම නොවේ. මොකද මම කන්ෂ්ට්‍රක්ෂන් ෆීල්ඩ්එකේ බිස්නස් කරනව ඒත් තියෙන අර්බුධකාරී තත්ත්වය ඉතා කණගාටුදායකයි. චෙක් එකක් ලැබෙන්න මාස ගාණක් යනව මේ තත්ත්වය කුඩා සිල්ලර කඩේ ඉදන් විශාල ව්‍යාපාරිකය දක්වා අත්විඳින අවාසනාවන්ත තත්ත්වයයයි.ඉතින් ආණ්ඩුවේ රස්සාවෙ එල්ලිලා ඉන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා.ඒත් මේ තත්ත්වය අපි තේරුම් ගත්ත නිසා තමයි දැන්වත් නිදහස් වෙළඳපොල ක්‍රමයකට යන්න මේ පුංචි හරි උත්සාහයක් ගන්නෙ අඩුගානෙ අපේ ලමයිටවත් නේද


ප්‍රතිචාරයක් ලබාදෙන්න