අරුණි ශපීරෝ‍ වෙතින්

යුදෙව්වන්ට ද්වේශ කරන්නේ මන්ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 4, 2014

Haym_Salomon_stamp

පොදු ජනතාවගේ සුබ සාධනය සලසනවා යැයි කියමින් බලය අල්ලා ගන්නට දත කන පාලකයන්ට පොදු හතුරෙක් යැයි හඳුන්වන්නට කල්ලියක් අවශ්‍යයයි. ලෝක ඉතිහාසය පුරා යුදෙව්වා යනු ඒ පොදු හතුරා යැයි මැද පෙරදිග සිට බටහිර හා නැගෙනහිර යුරෝපීය සහ රුසියාව දක්වා රටවල් හි සැලකිණ.

පුරාතනයේ දී යුදෙව්වන් සුළු ජන කොටස් ලෙස ලොව ජීවත් වූහ. ඔවුන් සියල්ලන්ටම පොදුවේ නීති රෙගුලාසි දැමූ ඔවුන්ගේම වූ පාලකයෙක් හෝ ආගමික නායකයෙක් නොවීය. ඔවුන් සියල්ල අතර භාවිතා වෙන එක භාෂාවක් නොවීය. තමන් වාසය කරන පළාතේ යුදෙව් නොවන අය (සුහද වචනයක් නොවන ගොයි) සමඟ ව්‍යාපාරික ගණුදෙනු කළත් සමාජයීය සබඳතා පැවැත්වූයේ නැත. අනෙක් පළාත්වල සහ අනෙක් රටවල වාසය කළ යුදෙව්වන් සමඟ සබඳතා පැවැත්වීමක් ද දකින්නට නොහැකි විය.

යුදෙව්වන් මිෂනාරී උත්සාහයන් නොකළහ. තමන් ගැන හෝ තම ආගම ගැන කියා දෙන්නට නොගිය බැවින් යුදෙව්වන්ට ද්වේශ කිරීම ඔවුන් කවුදැයි ගැන දැනගන්නට පෙර ලොව බිහි වූවකි.

රට රටවල් වලින් යුදෙව්වන් එළවන්නේ ඔවුන්ට ද්වේශ කරන සාමාන්‍ය වැසියන් මුගුරු වලින් පහර දී නොවේ. ඔවුන්ගේ වාසස්ථාන වලට පැන සියතින් ඔවුන්ව මරා දැමීමෙන් නොවේ. රාජ්‍ය බලය තම අරමුණු ඉටුකරගන්නට පාවිච්චි කරන අය යුදෙව්වන් මරා දමන්නේ සහ රටෙන් පිටමං කරන්නේ රජය මාර්ගයෙන් නීති රෙගුලාසි හැදීමෙනි.

ඉතින් යුදෙව්වන් මැද පෙරදිගින් පටන් ගෙන, යුරෝපය පුරා සහ රුසියාව දක්වා පළා ගියහ. ඊශ්‍රායෙල් නමින් දේශයක් බිහිවෙන්නට පෙර ක්‍රි. ව. 250 තරම් ඈතක සිට පටන් ගැනෙන වාර්තා තැබීම් අනුව පෙනී යන්නේ යුරෝපයේ විවිධ රටවල් වලින් සෑම වසර විස්සකට වතාවක් පමණ යුදෙව්වන්ව පිටමං කළ බවයි.

යුදෙව්වෙක් වීමට යුදෙව් මවකට දාව උපත ලැබිය යුතුයි නැත්නම් යුදෙව්වෙක් හැටියට ආගම පිළිගන්නා චාරිත්‍රයේ යෙදිය යුතුයි. අනතුරුව හේ වෙනත් ආගමකට ගියත් තව දුරටත් යුදෙව්වෙක් හැටියට සැලකේ.

යම් ජනවාර්ගික කොට්ඨාශයක (race) නියෝජනය යුදෙව්වා යන්නෙන් කියැවෙන්නේ නැත. බාගෙට යුදෙව්වෙක් හෝ යුදෙව් අරික්කාලක් කියා වර්ග කිරීමක් යුදෙව්වන් අතර තිබිය නොහැක. යුදෙව් මවක් සහ යුදෙව් නොවන තාත්තාගේ දරුවා යුදෙව්. යුදෙව් නොවන මවකගේ සහ යුදෙව් තාත්තාගේ දරුවා යුදෙව් නොවේ.

1987 දී කැනඩාවේ බ්‍රිටිශ් කොළොම්බියා විශ්ව විද්‍යාලයේ දී මට කැනේඩියානු ජාතික, බෞද්ධාගමික භාවනා ක්‍රම අනුගමනය කරන යුදෙව් ආචාර්යවරයෙක් මුණ ගැසිණ. 1994 වෙද්දී යුදෙව් බෞද්ධයන් නම් කොට්ඨාශයක් ද බිහි වී ඇත.

ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායෙන් දායද වී ඇති ආහාර අනුභව රෙගුලාසි සහ වතාවත් පිළිපැදීමේ රෙගුලාසි නිසා සමාජයේ අන්‍යයන් හා සබඳතා පැවැත්වීම යුදෙව්වන්ට ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇත. එහෙත් ඔවුන් ගැන හටගත් ද්වේශය ඒ නිසා, එනම් ඔවුන් අනික් අයට වඩා වෙනස් යැයි පෙනී ගිය නිසා, පමණක් හටගත්තක් නොවේ.

ආර්ථිකයෙන් ඔවුන් සෙසු වැසියන්ට වඩා ධනයෙන් ඒ නිසාම බලයෙන් යුතු යැයි සැලකුණු නිසා ද්වේශය හටගත්තා යන්න ද තවත් අදහසකි. යුදෙව්වන් අතර මුදල් සහ බැංකු ක්‍රම ගැන දැනුමක් වඩවා ගත්තවුන් බොහෝ වූහ. නමුත් යුදෙව්වන් සමත් පොලී තීරණයට පමණක් නොවේ. සුළු ජන සමූහයක් සේ ද්වේශයෙන් පිරි මහා ජන සමූහයක් අතර දිවි ගෙවන්නට සිද්ධ වීම නිසා ඔවුන්ගේ උවමනා සපුරා ගන්නට ඔවුන්ගේම අය නොයෙක් වෘත්තීන් වලින් දක්ෂයන් වූවා යැයි සිතිය හැකියි.

එහෙත් යුදෙව්වන් ධනවත් හෝ දක්ෂයන් නිසාම ඔවුන්ට ද්වේශ කළා යැයි ද කිව නොහැකියි. මන්ද, 17 සියවස සිට 20 වැනි සියවස දක්වා පෝලන්තයේ සහ රුසියාවේ යුදෙව්වන් ඉතා දුප්පත් වූහ. ඔවුන්ට ද්වේශ කරමින් ඔවුන් පන්නා දමන්නට කටයුතු කළ එලිසබෙත් පෙට්‍රොව්නා අධිරාජිණිය යුදෙව්වන් තිස්පන්දාහක් පිටුවහල් කළේ ක්‍රිස්තියානි දහම පිළිගන්නේ නැත්නම් ආයෙ එන්න ඉඩ දෙන්න එපා කියමිනි.

තමන් දෙවියන් විසින් තෝරාගත් කොට්ඨාශය යැයි යුදෙව්වන් කීම නුරුස්සන බැවින් දෙවියන් අදහන සෙසු ආගමිකයන් යුදෙව්වන්ට ද්වේශ කරනවා යන්න තවත් අදහසකි. හිට්ලර්ගේ ජර්මනියේ යුදෙව්වන් තෝරාගත් අය යන්න නීතියෙන් ප්‍රතික්ෂේප කරන ලදි. අනතුරුව ඔවුන්ව සමූල ඝාතනය කළහ. ඉතින් ඔවුන් තෝරා ගත්තවුන් නොවූවාටත් ඵලක් වූයේ නැත.

ක්‍රිස්තියානි අය සහ මුස්ලිම් අය අතරත් තමන් දෙවියන් තෝරාගත් පිරිස් යැයි කියන හැදියාව දකින්නට ලැබේ. එහෙත් යුදෙව් විරෝධීන් ඔවුන්ට ඒ නිසාම ද්වේශ නොකරති.

යුදෙව්වන් ජේසු මරා දැම්මා යන්න තවත් අදහසකි. ක්‍රිස්තියානි බයිබලයේ ඇත්තේ යුදෙව්වන් ජේසුව මරා දැමූවා නොව මරන්න සහාය දුන්නා කියායි. එසේම ඔවුන්ට සමාව දෙන්න යැයි ජේසු කියා ඇති බව බයිබලයේ තිබුණත්, රට රටවල ක්‍රිස්තියානි අය තුළ වූ යුදෙව් ද්වේශය අඩු වූයේ නැත.

යුදෙව් මුස්ලිම් ආගමික සමානතා බොහොමයකි. ඔවුන් අතර ආහාර සහ වතාවත් ගැන සමානතා ද බොහොමයකි. ස්පාඤ්ඤ ඉබිරියා වේ යුදෙව් සංස්කෘතියේ රන්මය යුගය බිහිවූයේ මුස්ලිම් පාලනයක් යටතේ ඔවුන් වාසය කරද්දීය. ඊශ්‍රායෙල් නමින් දේශයක් හදන්නට පෙර මුස්ලිම් අයට යුදෙව්වන් තම රටවල්හි වාසය කිරීම ගැන එතරම් ද්වේශයක් තිබුණ බවක් නොපෙනේ. ලෝක ඉතිහාසයේ අද දක්වාම වැඩියෙන් යුදෙව්වන් මරා දමන ලද්දේ යුරෝපීයයන් විසිනි. කළින් ලියූ සටහනක්: යුදෙව්වන් වඳ වී නොගියේ කොහොම ද?

1963 දී දෙවැනි වතිකානු කවුන්සිලය නිල නිවේදනයකින් යුදෙව්වන් ජේසු මරා දැමීමේ වරදින් නිදහස් කරන්නට යද්දී අරාබි ආණ්ඩු වලින් රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් එල්ල විය. ඔවුන් කියා සිටියේ ක්‍රිස්තියානි අරාබි අය ශුද්ධ ලියකියැවිලි වෙනස් කරනවාට විරුද්ධ බවයි. ලෙබනනයේ ආණ්ඩුව කෙළින්ම විරුද්ධත්වය පෑවේය. ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්නෝ තම විරෝධතාවය දන්වන්නට රෝමයට විශේෂයෙන් චාරිකාවක් ගියේය. ඉතින් එය සම්මත වුවත් යුදෙව් ද්වේශය අඩු වූයේ නැත.

අද ඉරානයේ යුදෙව්වන් 25,000 ක් පමණ ප්‍රමාණයක් වාසය කරති. ඉරානයෙන් සංක්‍රමණය වෙන්නට රජයෙන් අවසර ගත යුතුය. ඊට අවසර ලැබෙන්නේ පවුලේ එක් අයෙකුට පමණි. ඊශ්‍රායෙල් සුන්නත් දූලි කරන්නට නොබියව පෙරමුණු ගන්නා ඉරානය තම රටේ වාසය කරන යුදෙව්වන්ව ඝාතනය නොකරන්නේ සහ රටෙන් පිටුවහල් නොකරන්නේ ඇයි? යුදෙව් නිසා ද්වේශ කරනවා ද නැත්නම් ඔවුන්ට ඊශ්‍රායෙල් නමින් දේශයක් පිහිටුවා දීම ගැන ද්වේශ කරනවා ද?

යටත්විජිත ඇමෙරිකාවට යුදෙව්වන් වැඩිපුර ආවේ දකුණු ඇමෙරිකා රටවලින්. 1774 දී දකුණු කැරලයිනා ප්‍රාන්තයේ නියෝජිත සභාවට ෆ්‍රැන්සිස් සැල්වඩෝර් නම් යුදෙව්වා මහජන චන්දයෙන් තේරී පත්විය. ඇමෙරිකන් නිදහස් අරගලයට සහාය දුන් යුදෙව්වන් බොහොමයකි. සමහරු ඉංග්‍රීසින්ට හොරෙන් යිඩ්ඩිශ් බසින් ඇමෙරිකන් අරගලය සඳහා රහස් ඔත්තු තොරතුරු සැපයූහ. නිව් යෝර්ක් හි හයිම් සොලමන් අරගලයට මුල්‍යාධාර සැපයූ වීරයෙක් ලෙසින් හඳුන්වා 1975 දී තැපැල් මුද්දරයක් ද නිකුත් කර ඇත. යුදෙව්වන් සෙසු ඇමෙරිකන් වැසියන් හා එකතුව බ්‍රිතාන්‍යයන්ට (පොදු හතුරා) එරෙහිව සටන් වැදි නිසා සමහර විට රටේ නීතියෙන් හා රෙගුලාසි වලින් යුදෙව්වන්ව පොදු හතුරා නොවුණ ඵෛතිහාසික මුල්ම රට ඇමෙරිකාවයි. එහෙත් ඇමෙරිකාව නම් රට ආරම්භයට බොහෝ කාලයකට පෙර ඈත අතීතයක සිට යුදෙව්වන්ට ද්වේශයක් ලොව තිබිණ!!!!

27 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අගෝස්තු 4, 2014 at 9:33 පෙ.ව.

    මෙවැනි ලිපියක් දකින්ට වාසනාව ලැබුණේ බොහොම කාලකට පසුව

  2. Nandasiri Wanninayaka said, on අගෝස්තු 4, 2014 at 11:34 පෙ.ව.

    මේ සාරගර්භ ලිපියට ස්තුතියි. යුදෙව්වන්ට ගරහන ඒක විලාසිතාවක් වුණත් ඔවුන්ගේ පැත්තෙන් ඇති කතාව දන ගන්න එකත් වටිනවා.

    • arunishapiro said, on අගෝස්තු 4, 2014 at 3:29 ප.ව.

      Nandasiri Wanninayaka,

      මේ එයාලගෙ පැත්තෙන් නෙමෙයි වන්නි. මේ මගේ පැත්තෙන් මම දකින විදියට කිව්වොත් වැඩියෙන් නිවැරදියි. මොකද යුදෙව්වන් අතර හැදියාවක් තමයි ඔවුන් කියන දේවල් වලටත් ඔවුන්ම එරෙහි වීම. ඒ නිසා මේකට එරෙහි වෙන යුදෙව්වන් ද සොයා ගැනීම අසීරු නැහැ මං හිතන්නේ.

  3. Vishva Kumara said, on අගෝස්තු 4, 2014 at 1:33 ප.ව.

    මගේ ජාතිය ලඟට මේ ලෝකයේ මම කැමතිම ජාතීන් දෙකක් තමයි ජපන් ජාතිකයන් සහ යුදෙවුවන්. යුදෙවුවන්ගෙනුත් ඇශ්කෙනාසි යුදෙවුවන්. තමන්ගේ පාඩුවේ සිටි, ලෝකයට වැඩදායී දේ කල බුද්ධිමත් සහ ආධ්‍යාත්මිකව දියුණු පිරිසක්.

    ඔවුන් අනාගතයේ සිට කාලතරණය කර ආ අයද, වෙනත් දියුණු ග්‍රහලෝකයකින් පෘථිවියට ආ අයද යන්න මම නිතර සිතන දෙයක්.

    යුදෙවු කබාලා දර්ශණය අධ්‍යයනය කිරීමට වටිනා ආධ්‍යාත්මික මාර්ගයක්. එය සහ තන්ත්‍රයානය අතර බොහෝ සමානකම් මම දකිනවා.

    • arunishapiro said, on අගෝස්තු 4, 2014 at 3:20 ප.ව.

      Vishva Kumara,

      පුද්ගලයාගේ හැදියාව (character) වැදගත් යැයි සිතන මට ජාතිය කුමක් වූවත් කම් නැත.

      බ්‍රිටිශ් කොළොම්බියා විශ්ව විද්‍යාලයේ භාවනා කරපු යුදෙව් ආචාර්යවරයා කබාලා දර්ශනය ගැන ගොඩක් කිව්වා … මට ඒ කාලේ ඉතින් ලංකාවෙන් ආපු අලුත නිසා රොබට් නෝසික්ගෙ ‘ඇනාකි, ස්ටේට් ඇන්ඩ් උතෝපියා’ වගේම ඒවත් හරියට මීටර් වුනේ නෑ.

  4. indika27 said, on අගෝස්තු 4, 2014 at 9:25 ප.ව.

    මා සිතන්නේ ජාතියක්විදියට කාලයක් තිස්සේ පීඩනයට ලක්වීම යුදෙව් ජාතිය දක්ෂයන් වීමේ රහස වෙන්න ඇති. සමාජයීය පීඩනය හමුවේ මිනිස්සුන් වැඩිපුර හිතලා වැඩකරන්න පුරුදු වෙන්න ඇති. අප්‍රිකානු කලාපයේ අය දුර දුවන්න දක්ෂයෝ..ඒ අයට ඒක ජානවලින්ම උරුම වෙලා..යුදෙව්වන්ටත් සමාජ පීඩනය ජානගත වෙන තරමට ඔවුන් අත්දැකලා ඇති.

    • arunishapiro said, on අගෝස්තු 5, 2014 at 7:14 පෙ.ව.

      indika27,

      නැහැ! සටහනේ පැහැදිලි කරන්න මම ගත් උත්සාහය මදි වෙන්නැති, යුදෙව්වන් ජාතියක් (race) නෙමෙයිනෙ ඉන්දික. ප්‍රංශ, රුසියන්, ජර්මන් සුදු හම ඇති යුදෙව්වන් වගේ ම, රෝම ඉතිහාසඥයෙක් වූ ටැක්ටිකස් වාර්තා කළ පරිදි ඉතියෝපියාවේ කළු හමැති යුදෙව්වන් සිටිය. ෆලාෂා (Falash Mura) අය දැන් නැවතත් යුදෙව් ආගම අදහන්නට පටන් ගෙන.

      හැබැයි යුදෙව්වාට ඇති ද්වේශය ඔහුගේ ආගම නිසා පමණක් යැයි කියන්නත් බැහැ. මොකද යුදෙව් නමක් තියන, යුදෙව් ආගම තව දුරටත් අදහන්නෙක් නොවූවත් ඔහු ‘යුදෙව්’ යැයි ද්වේශයක් ලොව හැම තැනකම තියෙනවා. සමහර විට “යුදෙව්” නිසා, මෙය කුමක්දැයි හරියටම කියන්න කිසිවෙක් නොදත්ත ද, ඒ නිසා වෙන්නැති.

      //කාලයක් තිස්සේ පීඩනයට ලක්වීම ඔවුන් දක්ෂ අය වීමට රහස වෙන්නැති.// යුදෙව්කම නිසාම තවකෙක් වෙතින් අරගෙන ඔවුනට බෙදන්නට යුදෙව් නායකයෙක් නැති වීම, තවත් විදියකින් කිව්වොත් තමන්ට දේවල් තමන්ට හොයා ගන්නට සිද්ධ වීම, ඔවුන්ගේ දක්ෂතාවයන් ඉස්මතු වීමේ රහස වෙන්නැති!!!! ඒක මිනිස් ස්වභාවය ඉස්මතු වීම මිසක් යුදෙව්කමක් නොවෙයි.

      ජානගත වෙන දෙයක් නෙමෙයි ‘සමාජ පීඩනය’. ද්වේශය, ඊර්ෂ්‍යාව, ජාතිකත්වය යන හැඟීම් ඉපදුනාට පස්සෙ හැදෙන වැඩෙන සමාජය අනුව හිතේ පැළවෙන දේවල්.

  5. ravisandu said, on අගෝස්තු 5, 2014 at 3:23 පෙ.ව.

    බොහොම ස්තූතියි අරුණි,

    යුදෙව්වන් සහ ඊශ්‍රායලය ගැන ලියවුනු පත පොත සහ තොරතුරු උනන්දුවෙන් කියවන්නෙක් හැටියට ඔබගේ කරුණු දැක්වීමට මගේ ස්තූතිය. යුදෙව්වන් කෙරෙහි ඇති ද්වේශය ඇතිඋනේ කොහොමද කියන ප්‍රශ්නයට සරල පිළිතුරක් නැහැ මම හිතන විදිහට. ඔබ ඉදිරිපත් කල සියලු කාරණා අඩුවැඩිවශයෙන් ඊට හේතුවූවා වෙන්න පුලුවන්.

    අනාදිමත් කාලෙක ඉඳල ” Wandering Jew ” නැත්නම් සැරිසරන යුදෙව්වා කියලත් කියනවනෙ.

    • arunishapiro said, on අගෝස්තු 5, 2014 at 7:28 පෙ.ව.

      ravisandu,

      ඔව් සරල පිළිතුරක් නැහැ රවී. ඒවා බිම තිබ්බම වේගයෙන් යන්න පුළුවන් බව පෙනි පෙනී ඒත් හිතන්න පුළුවන් වුනාට හිතන්නෙ නැති මිනිස්සු තමන්ගෙ මුතුන් මිත්තන් දීපු බර කරගහ ගෙන තව කොච්චර කල් මිනිස් වර්ගයා යන ගමන යාවි ද?

      සැරිසරන්න සිද්ධ වෙච්ච යුදෙව්වාට නවාතැන් සඳහා තමයි ඊශ්‍රායෙල් හැදෙන්නෙ. සමහර විට ඔයා නම් කියවලාත් ඇති James A. Michener ලියපු The Source (1965). පුරාතනයේ පටන් ඊශ්‍රායෙල් හැදෙන තෙක් ගැන වූ ඵෛතිහාසික ප්‍රබන්ධයක්. ඒකෙ තිබ්බ, “දැන් ඔබ ඊශ්‍රායෙල් දේශයේ වැසියෙක්, ඔබට ආණ්ඩුව විවේචනය කරන්න නිදහස් අවසරය ලැබෙනවා,” තමයි පොතේ මගේ සිත සතුටින්ම පිරී ගිය තැන.

      • ravisandu said, on අගෝස්තු 10, 2014 at 1:22 ප.ව.

        අරුණි,

        ” The source ” කියවලා නෑ. පොඩ්ඩක් හොයල බැලුවම හරිම අපූරු කතාවක් වගේ. කවදා හෝ කියවියයුතුයි කියල හිතාගෙන ඉන්න පොත් ලැයිස්තුවට ඔන්න තවත් එකක්!!

  6. Theekshana Nuwan said, on අගෝස්තු 5, 2014 at 11:03 පෙ.ව.

    ආසවෙන් කියවපු ලිපි පෙලක් අරුනි අක්ක . තව ලියන්න මෙ අය ගෑන.මමත් ගොඩක් කැමතිම ජාතියක් තම යුදෙව්වො

  7. henryblogwalker said, on අගෝස්තු 7, 2014 at 9:33 පෙ.ව.

    ෂේක්ස්පියර්ගේ ෂයිලොක් චරිතය යුදෙව්වෙක් වීමෙනුත් හැඟවෙන්නේ එක්තරා යුදෙව් විරෝධයක් නෙවෙයිද?
    හොලිවුඩ් වල වෙනම යුදෙව් සිනමාවක් තියෙන බව අරුණිට තේරිලා නැද්ද? ඇඩම් සැන්ඩ්ලර්ගේ චිත්‍රපටි ගැන හිතන්න. හුඟක් වෙලාවට ඒවායේ ඉන්නේ වැඩිපුරම යුදෙව්වෝ. හරියට අප්‍රිකානු අමෙරිකානු හොලිවුඩ් නිර්මාණ වගේ.

    • arunishapiro said, on අගෝස්තු 7, 2014 at 11:02 පෙ.ව.

      henryblogwalker,

      යුදෙව්වන් ගැන මේ සටහන් පෙළේ අවසාන සටහන යැයි සිතමින් ඊ ළඟට දාන එක ලියමින් හිටියෙ. ඒත් ඉල්ලුම තවත් ඉහළ ගිහින් බැව් පේනවා. 😀

      //ෂේක්ස්පියර්ගේ ෂයිලොක් චරිතය යුදෙව්වෙක් වීමෙනුත් හැඟවෙන්නේ එක්තරා යුදෙව් විරෝධයක් නෙවෙයිද?// මේක ගැන ෆේස්බුක් එකෙනුත් පොඩි මත විමසීමක් සිද්ධ වුනා. ඉංග්‍රීසි සාහිත්‍ය උසස් පෙළ/වි.වි. පළමු වසර විෂයයක් හැටියට හදාරා ඇති නිසාත්, වෙනීසියේ වෙළෙන්ඳා තවමත් අධ්‍යාපනයේ දී භාවිත වෙන කතාවක් නිසාම මේ ගැන විශේෂයන් සටහනක් ලියන්නම්.

      හොලිවුඩ් සිනමාව ගැන එක සටහනක් නෙමෙයි ලිපි පේලියක්ම ලියන්න වෙයි … 🙂 වෙනම අඩවියක් හදලා ලිව්වොත් ඒවා සියල්ල ඉතාමත් රසවත් වේවි .. හෙන්රි ඉදිරිපත් කරන කාරණය ගැන පමණක් ඉතාමත් කෙටියෙන් එක සටහනක් ලියන්න බලන්නම්.

      Draft box එකේ දැනට තියෙන සටහන් 100 ගැන පව්!! 😀

  8. Boo Pale said, on අගෝස්තු 7, 2014 at 9:43 ප.ව.

    එතකොට ජීසස් යුදෙව් නෙමේද?
    තොරාගත් ජනතාවත් , දේශයත් ජීසසුත් එකම අය නෙමේද?

    • arunishapiro said, on අගෝස්තු 7, 2014 at 10:16 ප.ව.

      Boo Pale,

      එහෙම යැයි කියන අයත්, එහෙම නෙමෙයි කියන අයත්, අපිට එයින් වැඩක් නැතෙයි කියන අයත්, ඔය හැමෝවම නැති කරලා දාන්න අවශ්‍ය යැයි කියන අයත් ඉන්නවා.

  9. ශ. දන්තනාරායන said, on අගෝස්තු 8, 2014 at 1:22 ප.ව.

    යුදෙව් දේශය බිහිවීමේ අනාවැකිය පුදුමසහගතයි

  10. Anthoro Polo said, on අගෝස්තු 10, 2014 at 5:33 පෙ.ව.

    ” ස්පාඤ්ඤ ඉබිරියා වේ යුදෙව් සංස්කෘතියේ රන්මය යුගය බිහිවූයේ මුස්ලිම් පාලනයක් යටතේ ඔවුන් වාසය කරද්දීය. ඊශ්රායෙල් නමින් දේශයක් හදන්නට පෙර මුස්ලිම් අයට යුදෙව්වන් තම රටවල්හි වාසය කිරීම ගැන එතරම් ද්වේශයක් තිබුණ බවක් නොපෙනේ. ලෝක ඉතිහාසයේ අද දක්වාම වැඩියෙන් යුදෙව්වන් මරා දමන ලද්දේ යුරෝපීයයන් විසිනි…. ඊශ්රායෙල් සුන්නත් දූලි කරන්නට නොබියව පෙරමුණු ගන්නා ඉරානය තම රටේ වාසය කරන යුදෙව්වන්ව ඝාතනය නොකරන්නේ සහ රටෙන් පිටුවහල් නොකරන්නේ ඇයි? යුදෙව් නිසා ද්වේශ කරනවා ද නැත්නම් ඔවුන්ට ඊශ්රායෙල් නමින් දේශයක් පිහිටුවා දීම ගැන ද්වේශ කරනවා ද? ”

    ඊශ්‍රායලය පිහිටුවීම තමයි මුලික හේතුව. පලස්තීන ජාතිකයන් පලවා හරිමින් ඔවුන්ගේ නිවාස හා ඉඩම් අල්ලා ගනිමින් පසුව ඔවුන්ව විශාල වශයෙන් ඝාතනය කරමින් ඊශ්‍රායලය වියාප්ත කෙරුවා. මේකට යුරෝපිය රටවල් සහයෝගය දුන්නා. යුරෝපයට අවශ්‍ය වුනේ මැද පෙරදිගේ ගැටුමක්. ඇත්තෙන්ම මුස්ලිම් ලෝකයට යුදෙව්ව්වන් එක්ක තරහ නැ . ඔවුන් විරුද්ධ zionist ලා එක්ක.

    • arunishapiro said, on අගෝස්තු 10, 2014 at 7:07 පෙ.ව.

      Anthoro Polo,

      ඊශ්‍රායෙල් දේශය පිහිටුවන්නට පෙර පලස්තීනයේ සංචාරය කළ මාර්ක් ට්වේන්ගේ සංචාර සටහන් කියවන්න. සටහනේ සබැඳියෙන් පුළුවන්. එවැනි මැද පෙරදිග වූ කටුක බැවින් වැඩිම දේශයේ පදිංචියට යෑමට ඉදිරිපත් වූයේ අතලොස්සක් පමණයි.

      ඊ ළඟට, බ්‍රිතාන්‍ය ආධිපත්‍ය යටතේ වූ පලස්තීනයේ ධවල පත්‍රිකා ගැන කියවන්න. ඒවායේ ද සබැඳියක් අමුණා ඇත. ඊශ්‍රායෙල් දේශයට පිහිටුවීම සඳහා පලස්තීන වැසියන් පලවා හැරියේ නැහැ. වැඩියෙන් පලස්තීනයට මුස්ලිම් ලෝකයට ඉඩ දෙමින් බ්‍රිතාන්‍යයන් සලාක ක්‍රමයට පාලනය කළේ යුදෙව්වන්ගේ සංක්‍රමණයයි.

      යුරෝපීය රටවල් සහයෝගය දුන්නේ එදත් මුස්ලිම් අයට. වර්තමානයේ ද මුස්ලිම් අයට. පසුව එන සටහන් කියවන්න.

      මුස්ලිම් ලෝකය යුදෙව්වන් එක්ක තරහා නෑ????? සයෝනිස්ට් එකෙක් නෑර නෙමෙයිනෙ යුදෙව්වෙක් එකෙක් නෑර ලොවෙන් නැති භංග කර දමන්න යැයි වර්තමානයේ කලිෆා රාජ්‍ය කියද්දී මුස්ලිම් අය අතර කවුද ඉන්නෙ නැහැ අපි යුදෙව්වන් ලොව අප හා සාමයෙන් ඉන්නවා නම් කැමතියි කියන???? හැබෑටම!!!!

      • Anthoro Polo said, on අගෝස්තු 10, 2014 at 9:42 පෙ.ව.

        ඊශ්‍රායෙල් දේශයට පිහිටුවීම සඳහා පලස්තීන වැසියන් පලවා හැරියේ නැහැ ?? ඔබ මෙය සැබවින්ම විශ්වාස කරනවාද ?

        • arunishapiro said, on අගෝස්තු 12, 2014 at 6:37 ප.ව.

          Anthoro Polo,

          මම විශ්වාස කරනවා ද නැද්ද යන්න දැන ගැනීමෙන් ඔබට ඇති ඵලය කිම? ඇන්ත්‍රො පොලො කියාගත් ඔබ මානව වේදය නොහොත් මිනිසා හැදෑරීම පිණිස ඔබේ දැනුමට යමක් එකතු කරගන්නට කැමති නම් ඵෛතිහාසිකව සිදු වූයේ කුමක්දැයි තමන් විසින් ගවේෂණයක යෙදෙන්න.

          ඒ සඳහා මේ ප්‍රශ්න සඳහා පිළිතුරු සොයාගන්න:
          යුදෙව්වන් ලොව සිටියා යැයි ඉතිහාස ගත වෙන්නේ කුමන කාලයක පටන් ද?
          මුස්ලිම් ආගම ලොව බිහිවෙන්නේ කුමන කාලයක ද?
          Canann හැටියට පලස්තීනය හැඳින්වූයේ කවුරු එහි වාසය කළ කාලයේ ද?
          ක්‍රි. ව. 70 දී රෝමය අල්ලා ගත් ඊශ්‍රාලයේ වැඩියෙන් වාසය කළේ යුදෙව්වන් ද? අරාබින් ද?
          රෝමයේ වහල් බවින් ගැල වී එන යුදෙව්වන්ට කටුක වියළි දේශයේ ඉඩම් ඉහළ මිලකට විකුණුවේ කවුද?
          කටුක දේශය සශ්‍රීක වෙද්දී එහි ඇවිත් යුදෙව්වන් ගෙවන වේතන වලට වැඩ කළේ කවුද?
          ක්‍රි. ව. 636 දී යාමුක් හි සටන (Battle of Yarmouk) අනතුරුව ඉස්ලාමීය අධිරාජ්‍යයක් පලස්තීනයේ පිහිටුවා වසර 1300 ක් පුරා ඉස්ලාමීය පාලනය ගෙන ගිය ඒ මුස්ලිම් රාජධානියේ රන්මය යුගයේ දී යුදෙව්වන්ට ක්‍රිස්තියානි අය සැලකූවාට වඩා හොඳින් සැලකුවේ කවුරුන් ද?
          පලස්තීනය බ්‍රිතාන්‍ය පාලනය යටතට ගෙන යුදෙව් රාජ්‍යයක් පිහිටුවද්දී බ්‍රිතාන්‍යයන් නිකුත් කළ ධවල පනත් නිසා වැඩියෙන් පලස්තීනයට සංක්‍රමණය වෙන්නට අවසර ලැබුනේ කාට ද?
          කළින් නොසිටි දේශයකට තම රට රටවලින් ජනතාව යවා අනතුරුව ඒ දේශයේ විසූ හා ඊට සංක්‍රමණය වූ යුදෙව්වන් වඳ කර දමන අරමුණින් එහි කඩා වැදී පහර දී යුද්ධ පටන් ගත්තේ කවුරුන් ද?
          තමන්ගේ වැසියන්ව සරණාගත කඳවුරු වලට දාන්නේ කවුද?
          අපිට පලස්තීනයන් කියන්න එපා අපිට ඊජිප්තු වැසියන්, ජෝර්දාන් වැසියන් යනාදිය කියන්න යැයි ඉල්ලා සිටි නොබෙල් සාම තෑගි ලාභියා කවුද?
          //Peace for us means the destruction of Israel. We are preparing for an all-out war, a war which will last for generations… We shall not rest until the day when we return to our home, and until we destroy Israel.
          Quoted in The Times, UK (5 August 1980)
          //
          දහස් ගණනක පලස්තීන වැසියන් සහ 600 කට අධික සිරියානුවන් මරා දැමූ ජෝර්දානයේ කළු සැප්තැම්බර් කාගේ මෙහෙයුමක් ද?
          1948 දී පලස්තීනයෙන් අරාබි පිට වී ගියේ යුදෙව්වන් වඳ කරන යුද්ධයට පිටිය සූදානම් කරන්නට ඔවුන්ට පිට වී යන්නැයි ඔවුන්ගේම නායකයන් කියූ නිසා බැව් අර්ස්කින් බාටන් චයිල්ඩර්ස් නම් බීබීසී වාර්තාකරුවා සහ එක්සත් ජාතීන්ගේ සිවිල් සේවකයා පවසා සිටියේය. අරාබි අය කියන්නේ අරාබින්ට බයිනේත්තු පෙන්වා සයෝනිස්ට්වාදීන් විසින් පලවා හැරිය බවයි. අද පලස්තීන වැසියන්ට පලස්තීනයෙන් පිට වෙන්නට නොදෙන්නේ සහ ඔවුන්ගේ නිවහන් වල බෝම්බ සඟවන්නේ කවුරු කුමන අරමුණු ඉටුකරගන්නට ද?
          දින හයේ යුද්ධය පටන් ගත්තේ කවුරු කළ එදිරිවාදිකම් නිසාද?
          1967 පලස්තීන වැසියන් රට හැර දමා පිට වී යද්දී, ඊශ්‍රායෙල් විසින් අරාබි ගම් 400 ක් විනාශ කළ බවට විශේෂ කොමිසම් පිහිටුවා නඩු විමසන ලැබුව ද, ඒවා තහවුරු කරන සාක්ෂි නොලැබුනේ මන්ද?
          තම රටේ වැසියන්ව සරණාගත කඳවුරු වලට වර්තමානයේ දී ඇද දමන්නේ කවුරුන් ද?

          ඉතින් තමන්ගේම නායකයන් කරන බිල්ලක් වශයෙන් පූජා වෙන්නට අකමැති නිසා දිවි ගලවා ගන්නට කැමති වැසියන් රට හැර දමා යද්දී ඒ ඊශ්‍රායෙල් පිහිටුවීමට තමන්ව පලවා හරින නිසා යැයි කීම සාධාරණ ද?

  11. Anthoro Polo said, on අගෝස්තු 11, 2014 at 7:38 පෙ.ව.

    අල්කයිඩා හෝ කලීෆා ත්‍රස්ත සංවිදාන අනුමත කරන එකදු මුස්ලිම් රටක් පෙන්වා දිය හැකිද ? මේ සංවිදාන වලින් බැට කන්නේ වැඩියෙන්ම මුස්ලිම් ජනතාව. ඔවුන් බිහි වීම පිටුපස සිටින්නේ කව්ද යන්න ලෝකයම දන්නා රහසක්…

    • arunishapiro said, on අගෝස්තු 12, 2014 at 6:52 ප.ව.

      Anthoro Polo,
      //අල්කයිඩා හෝ කලීෆා ත්‍රස්ත සංවිදාන අනුමත කරන එකදු මුස්ලිම් රටක් පෙන්වා දිය හැකිද ? // පවතින නීති වලට විරුද්ධව කිසිවක් කිව්වොත් කළොත් දඬුවම් ලැබෙන නීති තියන රටවල් ඇල්කයිඩා හෝ කලීෆා අනුමත කළේ නැහැයි කියද්දී ඒකෙන් මොකක් ද ඔප්පු කරන්න හදන්නෙ?!!! මුස්ලිම් රටවල ජනතාවට නිදහස් මත දක්වන්න ඉඩක් තියනවා කියල ද?!!!!

      //මේ සංවිදාන වලින් බැට කන්නේ වැඩියෙන්ම මුස්ලිම් ජනතාව.// ඔව් සැබැවින්ම, ඔවුන් නිසා වැඩියෙන්ම බැට කන්නෙ මුස්ලිම් ජනතාව.

      ඔව් සැබැවින්ම ඔවුන් බිහිවීම පිටුපස සිටින්නේ කවුද යන්න ලෝකයම දන්නා රහසක් තමයි. ඇමෙරිකාව හේත්තු වෙන තැනින් නෙමෙයි ඉතිහාසය පටන් ගන්නෙ.

      ඇෆගනිස්ථානයේ සෝවියට් යුද්ධ

      මිලියන පහක් අවතැන් වූ සිවිල් යුද්ධයක් ඇවිලෙන සිරියාවේ අසාද්ට අවි යවන රුසියාව

  12. Dinesh Deepal said, on ජූලි 11, 2017 at 1:50 පෙ.ව.

    සත්‍යයකි. ඉතිහාසයේ බොහෝවෙලාවල යුදෙව් මර්ධනය සිදුකර තිබෙන්නේ යුරෝපීය ජාතීන්විසින්මය. පුදුමයටද කරුණක් නම් එම අවස්ථා බොමෝමයක යුදෙව්වන්ගේ පිහිටට පැමිණ ඇත්තේ මුස්ලිම්වරුන්ය. එහෙත් අද එම තත්ත්වය සහමුලින්ම වෙනස්වී ඇත. මීට වසර කිහිපයකට පෙර දෙවන ලෝක යුද්ධය පිළිබදව ලියා ගෙන ගිය ලිපි පෙලේදී යුදෙව්වන් ගැන මමද ලියා තැබුවෙමි. කැමති කෙනෙකු ඇතොතත් මෙම සබැඳියන් හරහා එම ලිපිද කියවිය හැකිය.
    http://sathsamudura.blogspot.com/2012/03/jews-before-wwii-part-iv.html
    http://sathsamudura.blogspot.com/2012/03/before-wwii-part-v.html
    http://sathsamudura.blogspot.com/2012/04/before-wwii-part-vii.html


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න