අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනිසියුලාව හමුදාවේ පාලනයකට පත්වී ඇත්ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 18, 2016

20160806_AMP001_0

ලංකාවේ මුද්‍රණය වෙන ප්‍රධාන සිංහල පුවත්පත් කිහිපයක් වෙත වෙනිසියුලාවේ වර්තමාන තත්වය ගැන ලියා යැවූ ලිපියක් දැන් සති කිහිපයක් ගෙවී ගියා වුවත් පළ කරන්නට කිසිවෙක් බාර ගත්තේ නැති බව දැනගන්නට ලැබිණ. සමාජවාදී ප්‍රතිපත්ති නිසා පිළිසරණක් නැති වූ රටක ප්‍රවෘත්ති, තවත් සමාජවාදී රටක් පළ නොකිරීම පුදුමයක් නොවේ. විශේෂයෙන්ම බංකොළොත් බැවින් කඩා වැටෙන රට අනුගමනය කළ ප්‍රතිපත්තිම තවමත් ගෙන යන රටක් වෙද්දී ප්‍රවෘත්ති කර්තෘවරු තක්බීරීව සිටීම ගැන කිසිම පුදුමයක් නැත.

උගෝ චෑවේස් ජනාධිපති ධූරයට පත්ව වැඩි කල් නොගොස් විදේශ විනිමය සඳහා මුදල් පාලන මණ්ඩලයක් අලුතින් පත් කළේය. අනතුරුව මූලික ආහාර 400 ක් පමණ සංඛ්‍යාවක් සඳහා මිල පාලනය ගෙනෙන ලදි. ඒ මිල පාලනය ගෙනාවේ “උද්ධමනය වළක්වා ගැනීමට සහ දුප්පතුන් බේරා ගැනීම” සඳහා බව චෑවේස්ගේ රජය ජනතාවට පොරොන්දු විය.

මිල පාලනය ගෙනෙන්නේ රටේ උද්ධමනය පාලනය කරත හැකි ක්‍රමයක් හැටියට පෙන්වමිනි. රටක බඩු මිල ඉහළ යද්දී රටවැසියන් දකින්නේ ව්‍යාපාරිකයන් තමන් නිෂ්පාදනය කරන බඩුවල මිල ඉහළ දමන ආකාරය පමණයි. ඒ නිසා මිල පාලනයක් ගෙනැවිත් ව්‍යාපාරිකයන්ට බඩු මිල ඉහළ දැමීම තහනම් කිරීමෙන් රටේ උද්ධමනයක් ඇතිවෙන්නේ නැතැයි සිතන්නට ජනතාව හුරු වී සිටිති.

නමුත් සැබෑ ලෝකයේ දී, යම් රටක ඉහළ යන බඩු මිල ගණන් යනු උද්ධමනයක් හටගෙන ඇති බව පෙන්වන ප්‍රධාන ලක්ෂණයයි. උද්ධමනයක් ඇතිවෙන්නේ විශාල වශයෙන් රටේ මුදල් ප්‍රමාණය වැඩිකරන ලද නිසයි. රටේ මුදල් ප්‍රමාණය රජයක් මැදිහත්වීමෙන් වැඩි කරද්දී මුලින්ම ඒ මුදල් පත්වෙන්නේ රජයට හිතවත් බැංකුකරුවන් අතටයි. ඔවුන් එය ණය හැටියට රටවැසියන්ට ලබා දී ලාබ උපයති. මුදල් නිකුත් කළාට ඉල්ලුමට සපයන්නට භාණ්ඩ නිෂ්පාදනයක් ඇතිවෙන්නේ නැත. හිතවතුන්ට දෙන පහසු ණයෙන් අසාර්ථක වෑයම් ඇති වී නැති වී යනවා පමණයි. ජනතාවගේ ඉල්ලුම සැබැවින් සපයන්නට දන්නා අයගේ වැය තවත් අහස උසට නඟියි. ඉතින් උද්ධමනය යනු බඩු මිල ඉහළ යෑම කියනවා වෙනුවට, ආණ්ඩුව විසින් මුදල් ප්‍රමාණය වැඩි කිරීමට හා බෙදීමට මැදිහත් වී සිටීම යැයි කීම වැඩියෙන් නිවැරදි හැඳින්වීමයි.

මිල යනු සියළු රටවැසියන් තම ආර්ථික කටයුතු වල දී තමන් වෙනුවෙන් අරමුණු කරගත් සැලසුම් සඳහා තීරණ ගන්නට පාවිච්චි කරන අතකොළුවයි. සෑම වෙළඳපොලක්ම, සෑම කර්මාන්තයක්ම, සෑම වෘත්තියක්ම, සෑම නිෂ්පාදනයක්ම, සෑම පරිභෝජනයක්ම හෙවත් සියළුම ආර්ථික කටයුතු අතර සුසංවාදය පතුරුවන්නේ සහ ආර්ථික කටයුතුවල යෙදෙන සියළුම දෙනාගේම වැඩි යහපත ගෙනෙන්නේ මිල පාලනයක් නොමැති නිදහස් වෙළඳපොලයි.

ඉල්ලුම සහ සැපයුම යන්නෙන් සිද්ධ වෙන මිල පාලනය ස්වභාවික වූවකි. කොච්චර බලවතෙක් වුවත්, උගෝ චෑවෙස්ගේ කැමැත්ත නිසා වූවත්, වෙනස් කරන්නට බැරි වූවකි. අස්වාභාවික වූ මිල පාලනයකින් සිද්ධ වෙන්නේ හොඳ මුදල් වලින් මිල දී ගත හැකි බලය නරක මුදල් මත පැටවීම බව ලොවට මුලින්ම හෙළිදරව් කරන ලද්දේ ආර්ථික නීතියේ පාලනය (Control of Economic Law) ලියූ ඉයුජින් වොන් බොයිම්-බ්‍රැවර්ක් විසින් 1914 දී ය.

මුදල් ප්‍රසාරණය සහ මිල පාලනය නිසා අද අසරණ වී සිටින්නේ වෙනිසියුලාවේ රාජ්‍ය පාලන බලයේ සිටින අය නොවෙති. මුදල් පාලනය සහ මිල පාලනය පැවතිය ද, වටිනාකම වේගයෙන් බහින මුදල් නෝට්ටු අතැතිව බඩු හිස් කඩ රාක්ක දිහා බලමින් කුසගින්නේ පෙළෙන්නේ අද වෙනිසියුලාවේ බලයේ සිටින අය නොවෙති. චෑවේස්ගේ දුව සහ චෑවෙස්ගේ හිටපු භාණ්ඩාගාර ඇමති යන දෙදෙනාම ඩොලර් බිලියන ගණනක් වත්කම ඇති අයයි. ඔවුන් හොරකම් කළ සල්ලි ස්විස් බැංකු තැන්පතු නිසා රටේ පැතිර යන 700% ක උද්ධමනයෙන් ඔවුන්ට පීඩාවක් නැත. වෙනිසියුලාවේ ඇතුලත හොරුන් තම මුදල් එහිම ආයෝජනය කර ඇති බැවින්, අහිතකර මුල්‍ය ක්‍රමය වෙනස් කරන්නට ඉඩක් නොදෙති.

රටේ බඩු හිඟය පැතිර යද්දී, හොර මාර්ග වලින් කොලොම්බියාව හා ගණුදෙනු වෙතැයි කියමින් වෙනිසියුලාවේ රජය කිලෝමීටර් 2,200 ක මායිම් වසා දැමුවේ වසරකට පමණ පෙරයි. මායිම් වසා දැමුනේ හොර භාණ්ඩ කොලොම්බියාවෙන් වෙනිසියුලාවට පැමිණෙන නිසා නොවේ. වෙනිසියුලාවේ රජයේ නිවේදනය වූයේ, වෙනිසියුලාවේ සහන මිලට දෙන ආහාර සහ ඉන්ධන තෙල් මිල දී ගෙන ඒවා කොලොම්බියාවට හොරෙන් විකුණන අය වැඩි වී සිටින බවයි. බඩු හිඟය වැඩිවෙද්දී පසුගිය මාසයේ ඒ මායිම් යළි ක්‍රමානුකූලව විවෘත වන්නට පටන් ගැනිණ. කොලොම්බියාව වෙත දහස් ගණනකින් ජන ගංඟාවක් ඇදුනේ බඩු කරපින්නාගෙන නොවේ. කොලොම්බියාවෙන් ආහාර හා බෙහෙත් මිල දී ගන්නටයි.

හමුදා නිලතල ඇති ඇමතිවරුන් තුනෙන් එකක් සහිතව රජයේ සම්පූර්ණ බලය තමනට පවරා ගනිද්දී උගෝ චෑවේස් හමුදාවේ පාලනය ද තමනට ගත්තේය. වර්තමාන ආරක්ෂක ඇමති, ව්ලැඩිමියර් පඩ්‍රිනෝ ලෝපෙස් ජනරාල්වරයෙකි. අගෝස්තු 1 වැනිදා ජනමත විචාරයකින් මධූරෝ එළවන්නට ඇති පමණින් අත්සන් එකතු කර ඇතැයි දැනගන්නට ලැබුණි. බඩු ගිඟය, දරීද්‍රතාවය, හාමතය, වෛද්‍ය පහසුකම් නොමැතිකම හා ඉහළ යන දරුණු අපරාධ නිසා ජන අප්‍රසාදයට පත් මධූරෝ සතු බලතල අඩුවී දැන් ලෝපෙස්ට වැඩි බලතල පවරාගෙන ඇති බව පෙනී යයි. මෙතෙක් චැවිස්ටා සහ මධුරිස්ටා හෙවත් පක්ෂ සාමාජිකයන් අතින් සිද්ධ වූ ආහාර බෙදීම වෙනුවට දැන් හමුදාව ආහාර බෙදීමේ කාර්ය භාරය තමනට පවරා ගෙන ඇත. ද ඉකොනොමිස්ට් ප්‍රවෘත්තිය අවසන් වෙන්නේ ඉල්ලුම සහ සැපයුම, පෙරෙට්ටුවේ යන සොල්දාදුවන් ලෙසින් හමුදාවේ අණ පිළිපදින්නේ නැති බව ජනරාල්වරුන් ද පෙන්වා දෙනු ඇතැයි කියායි.

ඉල්ලුම හා සැපයුම ගැන නොදන්නා අය, හිඟය කුමක්දැයි නොදන්නා අය, මුදල් කරන්නේ කුමන කර්තව්‍යයක් දැයි හෝ ලාබය යනු කුමක්දැයි නොදන්නා අය, බෙදාහරින්නට පෙර භාණ්ඩ නිෂ්පාදනය වී තිබිය යුතු යැයි නොදන්නා අය රටේ පාලන බලය බලහත්කාරයෙන් අල්ලා ගත්තාට ජනතාවගේ කුසගිනි පිරෙන්නේ නැති බව පෙන්වන වර්තමාන කදිම උදාහරණය දිගහැරෙමින් පවතිද්දී එය ලංකාවේ සිංහලෙන් කියවන්නා වෙතින් ප්‍රධාන පුවත්පත් සඟවන්නේ ඇයි?

ජනතාවට සිංගප්පූරුව පෙන්වමින් ශ්‍රී ලංකාවේ පාලකයන්ට රට වෙනිසියුලාවක් බවට පත්වෙන මාර්ගයක ගෙනියන්නට අත දීම සඳහා ද?

3 Responses

Subscribe to comments with RSS.

  1. සිරි said, on අගෝස්තු 24, 2016 at 8:43 පෙ.ව.

    //සිංහලෙන් කියවන්නා වෙතින් ප්‍රධාන පුවත්පත් සඟවන්නේ ඇයි?
    කාලයක් තිස්සේ හිතට ආ ප්‍රශ්නයක්
    ලංකාවේ ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත් වල අඩංගු කරුණු අතර පරතර මෙතරම් වැඩි ඇයි
    සිංහල පමණක් කියවන්නන් තකතීරුවන් ලෙස සිංහල පුවත් පත් කතුවරු/අයිති කරුවන් හිතන නිසාද

    • arunishapiro said, on අගෝස්තු 24, 2016 at 9:40 පෙ.ව.

      සිරි,

      මම දකින එක හේතුවක්, කර්තෘවරුන්ට ඉහළින් එන බලපෑම් තියන නිසා ඔවුන් ස්වයං වාරණයේ යෙදන බවයි. ඉහළින් කිව්වේ බලයේ ඉන්න දේශපාලකයන් වෙතින්. දෙවැනි හේතුව කර්තෘවරුන්ගේ ද නොදන්නාකම. ඊ ළඟට ඉංග්‍රීසියෙන් ලියැවෙන දේවල් ලංකාවේ තහනම් කරන්න පුළුවන් වුනත්, විදේශිකයන් ලංකාව ගැන ලියන එක නවත්තන්න බැරි නිසාත්, උන් විදේශිකයන් මොනව ද ලංකාව ගැන දන්නේ කියලා ගැලවෙන්න හැකි නිසාත්, ඉංග්‍රීසියෙන් යද්දී වාරණ අඩුයි. සිංහල පාඨකයා රටේ වැඩි ජනතාව නිසා ඔවුන් මිථ්‍යාවෙන් මිදුණොත් කොහොම ද ප්‍රජාතන්ත්‍රවාදයෙන් දක්කාගෙන යන්නෙ?

      • සිරි said, on අගෝස්තු 24, 2016 at 9:57 ප.ව.

        කතුවරුන් බිය වී පාඩුවේ ඉඳීම තේරුම් ගත හැකි වුනත් නොදන්නා අය කතුවරු වන්නේ/කරන්නේ ඇයි කියා නොතේරේ.
        ස්වාධීනව හිතා වැඩ කරන්නන් බිහිවෙනතුරා, දැක්කීමට ජය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න