අරුණි ශපීරෝ‍ වෙතින්

මුදල් නිකුත් කිරීමේ ඒකාධිකාරය බිඳ හෙලූ බිට්කොයින්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 4, 2017


නිර්මාණශීලීත්වයට තැනක් දිය යුතු යැයි පැවසීම අද ලෝකයේ බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනාගන්නට සමත් වහරකි. ඒත් මිනිස් සත්වයා යනු හුදෙක්ම නිර්මාණශීලීත්වය පිළිගැනීමට බිය සත්වයෙකි. කාලයක් තිස්සේ බහුතරයකගේ පිළිගැනීමට පාත්‍ර වූ දැයක් බාරගන්නට යුහුසුළුව ඉදිරිපත් වූවද, නොදන්නා නුහුරු වූවක් දිහා සැකයෙන් සහ බියෙන් බැලීම මිනිස් සත්වයා තුල පවතින ස්වභාවික වූ හැදියාවකි. ගුරුවරයෙක් පවා තමා යටතේ ඉගෙන ගන්නා දරුවාගේ නිර්මාණශීලීත්වය බාරගන්නේ එහෙමත් අවස්ථාවක දී ය. නිර්දේශයට අනුව යමින් ඉදිරිපත් කරන හොඳම කොපියට වැඩියෙන් ලකුණු දීම සුලබව දකින්නට ලැබෙන්නයි. නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි යැයි පිළිගැනීම ලෙස මෙය දැක්විය හැකියි.

පුරාතනයේ දී විවිධ පුද්ගලයන්ට මුදල් නිකුත් කිරීමේ අයිතිය තිබුණ ද, විසිවැනි සියවස වෙද්දී ක්‍රමයෙන් එය මුළුමනින්ම රටේ ආණ්ඩුව බාරයට පත්වී තිබිණ. මුදල් නිකුත් කරන පෞද්ගලික අයිතිකරුවන් වගකීමෙන් තොරව, නිසි පාලනයකින් නොයුතුව, කටයුතු කළ අවස්ථාවල දී ඔවුන් බංකොළොත් වූහ. ඒත් වගකීමෙන් තොර අනිසි පිළිවෙත් ක්‍රියාත්මක කිරීම නිසා රටක් පාලනයේ සිටි පුද්ගලයෙක් ආර්ථිකව බංකොළොත් වූයේ එහෙමත් දවසකය. ඒ රටේ ජනතාව තවත් වැඩි ජීවන බරක් කරගහද්දී පාලනයේ සිටි පුද්ගලයන් කණ්ඩායම යම් තරමින් වෙනස් වීම පමණක් නිරන්තරයෙන් සිද්ධ විය.

ආණ්ඩුවක් මුදල් උපයන්නේ නැත. යම් ආණ්ඩුවකට බදු සහ ගාස්තු මාර්ගයෙන් ලබාගන්නට හැකියාව ඇති මුදල් ප්‍රමාණයට වඩා වියදම් කරන්නට මුදල් අවශ්‍ය වෙද්දී, නව මුදල් නිකුත් කිරීම මගින් අයවැය පරතරය පියවා ගැනීම සිද්ධ වේ. රෝම අධිරාජ්‍යයේ මෙන් අඩු වටිනාකමෙන් යුතු ලෝහ යොදා කාසියේ ලෝහ වටිනාකම අඩුකර ඒත් අගය එලෙසින්ම පවත්වාගන්නට අද ආණ්ඩු කටයුතු නොකරති. අද නෝට්ටු හා කාසි නිකුත් නොකර මුදල් ප්‍රසාරණයට හැකියාව ආණ්ඩුවට තිබේ. ඒ ආණ්ඩුවේ බලය යටතේ අලුත් මුදල් සමාජයට බහින්නේ බැංකු පද්ධතියෙනි. එහි දී සමහර මිල ගණන් මුලින් විකෘති වෙයි. අනතුරුව අලුත් මුදල් ප්‍රමාණයට අනුව ආර්ථිකය හැඩ ගැසෙයි. ජනතාවගේ ජීවන බර තවත් වැඩිවේ.

ව්‍යවහාර මුදල් අච්චු ගැසීම ඉතා ලාබදායී වූ ඒකාධිකාරයකි. ලෝකයේ කිසිම ආණ්ඩුවක් ඒ සඳහා තමන් සතු ඒකාධිකාරය පෞද්ගලික අංශයට ආපසු බාරදෙන්නට සූදානම් නැත. ණය පොලී අනුපාත හැසිරවීමේ බලය අල්ලා ගැනීම නිසා අලුත් ණය තුලින් තවත් මුදල් අච්චු ගහන්නට ආණ්ඩු සමත්ව සිටිති. වෙළඳපොල තුල නව අගයක් නිර්මාණය තුලින් නව මුදල් නිර්මාණය වෙන්නේ කෙසේදැයි නොදන්නා කමෙන් ආණ්ඩුව නිකුත් කරන අලුත් මුදල් දෝෂ සහගත දැනුමක් සපයන බව ජනතාව නොදනිති. සැබෑ තැන්පතු වලින් මුල්‍යකරණයට නොහැකි වූ ව්‍යවසායකයා නව ව්‍යාපෘති ආරම්භ කරන්නට පටන් ගනියි.

ආර්ථික බුබ්බුල යැයි කළින් කලට දකින්නට ලැබෙන්න මෙසේ ආණ්ඩුව විසින් කළ මැදිහත්වීම් නිසා හටගන්නා අර්බූදයන් වෙති. බිට්කොයින් හුවමාරු අගය සත 14 සිට ඩොලර් 88 ට යද්දී එය සමපේක්ෂණ බුබ්බුලයක් යැයි හඬගෑ අය සිටියහ. අගය 700% කින් වැඩිවෙද්දී නැවතත් එය අහන්නට ලැබේ. රටකට මුදල් යවද්දී රජය කුට්ටියක් කපාගන්නා තත්වයන් යටතේ පවතින නිතර අගය පහළ බහින, මුද්‍රණය කළ කඩදාසියේ වටිනාකමටත් වඩා අගය පහළ යන මුදල් වර්ග වලින් හැකියාවක් ඇති අය අයින් වෙති.

ආණ්ඩුව විසින් මුදල් බාරව සිටිනවා වෙනුවට ස්වභාවික විකල්පය විය යුත්තේ පෞද්ගලික අයිතිකරුවන් මුදල් නිෂ්පාදනයයි.

බිට්කොයින් බිහිවූයේ මේ වෙළඳපොල අඩුපාඩුව පියවන්නට ගත් වෑයම් තුලිනි.

මුදල් වලට අයිතිය කියන සියල්ලන්ම ව්‍යවහාරය සඳහා මුදල් නිකුත් කරන්නට, එහි වගකීම හා පරිපාලනය සියතට ගන්නට කැමති අය නොවෙති. රන්කාසියක් ළඟ තබා ගැනීමට ඇති ආශාව මෙන් මුදල් නෝට්ටුවක් ළඟ තබාගැනීමේ ආශාව ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකුට පමණි. බහුතරයට අවශ්‍ය මුදල් නෝට්ටු හා කාසි වලින් ගණුදෙනු කිරීමටයි. මුදල් ඉතිරි කිරීම සහ තැන්පතු යනු වියදම් නොකරන මුදල් වලින් ලාබයක් උපයා ගැනීමයි. ව්‍යවසායකයාට උවමනා උපයන ලද මුදලින් වියදම් නොකර ඉතිරි කරගත්ත හෙවත් සැබෑ තැන්පතු වලින් නව ආයෝජන මාර්ග වලට පිවිසීමයි.

බිට්කොයින් වලින් මුලින්ම සිද්ධ වූයේ අතරමැදියා ඉවත් කර දැමීමයි. ආයතනයකින් නිකුත් කරන මුදල් වෙනුවට පුද්ගලයෙක් විසින් උපයන මුදල් තමන් කැමති පරිදි තවත් අයෙක්ට තෑගි කරන්නට හෝ යම් සේවාවක් හෝ භාණ්ඩයක් සඳහා හුවමාරු කරගන්නට නැවතත් හැකියාව පෑදිණ.

බිට්කොයින් “පාලනය” කරන්නට කිසිවෙක් නොසිටියි.

මහා පරිමාණයෙන් පවතින රාජ්‍ය මැදිහත්වීම් හේතුවෙන්, ලංකාවේ වාසය කරන අයෙකුට පහසුවෙන් කළ හැකි වෙළඳපොල ගණුදෙනු ප්‍රමාණය ඉතා සොච්චමකි. ඇමෙරිකන් සත 14 ක අගයකින් යුතු නිර්මාණශීලී අගයකින් වූ දැයක් ගැන අහන්නට ලැබෙද්දී එය තමන් උපයාගත් මුදලින් මිල දී ගන්නට නීතිමය ඉඩකඩක් ඔහුට නොලැබේ. ඒ නිසා එහි අගය ඇමෙරිකන් ඩොලර් 11,000 ඉක්මවා යද්දී එය විකුණා ධනවතෙක් විය හැකි අවස්ථාව ද ඔහුට අහිමි වී යයි. බිට්කොයින් වලින් ගෙවා බඩු ගෙදරටම ගෙන්වා ගැනීමට හැකි ලංකාවේ කඩපොල තවම විවෘත නැත. පිටරටෙන් ගෙන්විය හැකි භාණ්ඩ දැඩි රේගු නීති සහ ගාස්තු වලට යටත්ව පවතියි.

ඉතා සුළු භූමි සීමාවකට කොටු වී හිර වී සිටින ලංකාවේ පුරවැසියාට තව තවත් වැඩි වෙන ණය බරක් පටවන ආණ්ඩු ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය තුලින් ඔහුගේ දැනුම මොට කරවා තබන්නට ද සමත් වී සිටියි. ඉතින් අප අතර වැඩියෙන් සිටින්නේ වත්කම් වැඩිවෙන්නේ කෙසේදැයි නොදන්නා අයයි.

නිර්මාණශීලීත්වයෙන් අපූර්ව වූ බිට්කොයින් ගැන ලියන මේ සටහන්, කියවන්නාව බිට්කොයින් අයිතිකරුවෙක්, එයින් ගණුදෙනු කරන්නෙක් හෝ එහි ආයෝජකයෙක් කරවන්නට ගන්නා වෑයමක් නොවේ. මේවා ඔබ එකතු කරන දැනුමට අලුතින් යමක් එකතු කරගන්නට ලියන සටහන් පමණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න