අරුණි ශපීරෝ‍ වෙතින්

බිට්කොයින් වලට හිමි සුපිරි තත්වය පහත වැටෙයි ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 15, 2017

බිට්කොයින් වලට හිමි වී ඇති සුපිරි තත්වය පහත වැටී වෙනත් පෞද්ගලික මුදල් වර්ග ඉහළට එනු ඇතැයි මත දක්වන අය දැන් බහුල ලෙසින් දකින්නට හැකියි. අඩු මිලට ගන්නා ඉඩමක්, මැණිකක් හෝ වෙළඳපොල කොටස් සඳහා ඉල්ලුම ඉහළ ගිහින් එහි මිල ගණන් 700% කින් වැඩිවීම කල්තියා දැනගන්නට සමත් වූ අය ලොව නැත. යමක් ඉහළ යාවි යැයි ගණන් බලා ගන්නා අවදානම හරියාවි ද නැද්ද කියන්නට අයෙක් කාලයට ඉඩ දී බලා සිටිය යුතුමයි.

මිල ඉහළ යන්නේ සැපයුමට වැඩියෙන් යමකට ඉල්ලුමක් ඇති අවස්ථාවේ දී ය. බිට්කොයින් මිල ඉහළ ගියේ වෙනත් ක්‍රිප්ටෝ මුදල් වර්ග 500 කටත් වඩා සංඛ්‍යාවක් ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොල තුල පවතිද්දී ය. සමපේක්ෂණයෙන් ලාබ ඉපැයීමට එකතු වූවන් පසුගිය දිනවල එහි මිල සීඝ්‍රයෙන් ඉහළ යවන්නට දායකත්වය දුන්නා වුවත් බිට්කොයින් තුලින් ලැබෙන සැබෑ අගයක් නොවූයේ නම් එය පරිහරණයේ මෙතෙක් කාලයක් රැඳී සිටිනුයේ නැත. බොහෝ විකල්ප ක්‍රිප්ටො මුදල් වර්ග තුල මිල ඉහළ යෑමක් දකින්නට ඇත්තේ ඒවායේ භාවිතය වැඩිවීම නිසා නොව, සමපේක්ෂකයන් අනාගතයේ ඒවායේ අගය බිට්කොයින් වලටත් වඩා වැඩිවේ යැයි සිතා අවදානමක් ගන්නා නිසයි.

බිට්කොයින් සඳහා ආයෝජනය කිරීම මඟහැරුණු නිසා ඊටත් වඩා ඉහළ යා හැකි වූ වෙනත් ක්‍රිප්ටො මුදල් සඳහා ආයෝජනය කිරීම ගැන මේ අවස්ථාවේ දී සොයා බලා තීරණය කළ යුතු යැයි සමහර අය කියනවා දකින්නට ලැබේ. බිට්කොයින් තරමට භාවිතය ප්‍රචලිත වූවක්, 500 කට වඩා වැඩි සංඛ්‍යාවක් ඇති ඒවා අතර නැත. සමහර ක්‍රිප්ටො මුදල් හි සමස්ත ඒකක සියල්ල එකවර නිර්මාණය කර මහජනතාවට ටිකෙන් ටික නිකුත් කිරීමක් සිද්ධ කරනු ලබයි. ඒ ඒකක වලින් 5% ක් පමණ හුවමාරුවට ලබා දී, වෙළඳපොල හසුරුවන අය එහි අගය හසුරුවන්නේ සුළු කාලයක දී වැඩි ලාබයක් උපයා අනතුරුව සියල්ල අඩුවට විකුණා වෙළඳපොලෙන් අයින්වීමටයි. මෙය කොටස් වෙළඳපොල තුල සාමාන්‍යයෙන් දකින්නට හැකි හැදියාවකි.

බිට්කොයින් ඒවායෙන් වෙනස් වෙන්නේ ඒකක නිකුත් කිරීමේ බලය අයෙක් හෝ පිරිසක් සතුව නොතිබීම නිසයි. කැනීම් තුලින් බිට්කොයින් වෙළඳපොලට ඒම විමධ්‍යගත වූ පරිගණක පද්ධතියකින් මෙහෙයවනු ලැබේ. භාවිතා කරන අය අතර පවත්වාගත යුතු ඒකමතික එකඟතාවය ආකාර 3 කින් සිද්ධ වෙයි. හුවමාරු සහතික කරන රීති, කුමන හුවමාරු පද්ධතිය තුලින් සිද්ධ වී ඇත්ද, සහ මුදල් වර්ගයේ අගයක් පවත්වා ගැනීම යන ත්‍රිත්වය එකිනෙකට ඇඳී පවතී. ඉන් එකක් අයින් කර දැමීමට නොහැකියි. භාවිතය සඳහා පවතින අගය ලැබෙන්නේ මෙම ඒකමතික එකඟතාවය පවත්වා ගනිද්දී නිසා එය පවත්වා ගැනීමට දිරිදීමනාවක් ඔවුන් හමුවේ පවතී.

බිට්කොයින් ව්‍යසනයක් ඇති විය හැකි ආකාර කිහිපයකි.

බිට්කොයින් දැනටමත් බිට්කෑෂ් නමින් අතුරු මාර්ගයකට බෙදී යන ලද්දකි. එයින් දෙපැත්තටම පාඩුවක් වූයේ නැති වුවත්, ඉදිරියේ දී වෙනත් අතුරු මාර්ගයක් (fork) බිට්කොයින් අභිබවා ඉස්මතු වෙන්නට ඉඩ ඇත. බිට්කෑෂ් අතුරු මාර්ගය ළඟදීම බිට්කොයින් භාවිතය වඩාත් පහසු කරවනු පිණිස එය ක්‍රෙඩිට් කාඩ් ස්වභාවයකින් ඉදිරිපත් කරන්නට සැලසුම් කර ඇති බව දන්වයි.

වෙනිසියුලාවේ ආණ්ඩුව බිට්කොයින් කැනීමේ යෙදෙන අය රජයේ ලැයිස්තුවල ලියාපදිංචි විය යුතු යැයි නීතියක් පනවා ඇත. එයින් ආණ්ඩුවට කැනීමේ යෙදෙන අයගෙන් බදු කපා ගන්නට (අල්ලස් ගන්නට යැයි කිවහොත් වඩා නිවැරදියි) අවස්ථාවක් පෑදෙනු ඇත. මෙවැනි නීති නිසා එය භාවිතයට ගැනීමේ දී ඇති මූලික වාසි එම රටවල බිට්කොයින් අයිතිකරුවනට නැති වී යයි. එහි දී මෙය තවත් රජය පාලනයට හසු වූ මුදල් වර්ගයක් වීම නිසා අලුත් පාරිභෝගිකයන් එකතු නොවිය හැකියි.

විමධ්‍යගත පද්ධතිය තුලින් සිදුවෙන තාක්ෂණික දෝෂයක් නිසා අයෙකුට බිට්කොයින් හොරකම් කරන්නට ඉඩ පෑදුන හොත් එහි දී බිට්කොයින් අවසානය දකින්නට ලැබෙනු ඇත. මෙයාකාර සිද්ධියක් දැනටමත් බිට්කොයින් පද්ධතියට සම්බන්ධ අය අත්විඳ ඇත්තහ. සොරකම් කිරීමක් නොව, පද්ධතිය විධිමත් කරනු සඳහා ගත් පියවර හේතුවෙන් හටගත් තාක්ෂණික දෝෂයක් නිසා හිටිහැටියේ කොහේ ගියා දැයි සොයාගන්නට නොහැකි වූ බිට්කොයින් ගණුදෙනු ඔවුන් දුටූහ. වහාම ඒ පිළිවෙත නවත්වන්නට ඔවුන් පියවර ගත්හ. ඒ අතුරුදහන් වූ බිට්කොයින් යළි අයිතිකරුවන්ට සොයා දෙන්නට (ඒවා හොරකම් කරන්නට ක්‍රමයක් නොවූ බව එහි දී ප්‍රත්‍යක්ෂ විණ) වෙහෙස වූවෙක් ප්‍රතිශතයක් අය කරගෙන ඒවා යළි අයිතිකරුවන්ට ලබා දෙන්නට සමත් විය. වැඩි පිරිසක් භාවිතයට එකතු වෙද්දී යම් තාක්ෂණික දෝෂයක් හටගනිද්දී හනිකට එය අල්ලා ගත හැකියාව වැඩිවෙනවා මිසෙක අඩු නොවේ. ඒත් එය නිරීක්ෂණයට හසුනොවී යෑම නිසා බොහෝ පිරිසක් හසුවෙන අවස්ථාවක් වුවහොත් එහි දී බිට්කොයින් බංකොළොත් වෙනු ඇත. බිට්කොයින් අගය පහළ යද්දී වෙනත් ක්‍රිප්ටෝ මුදල් අගය ද, (ඒ හේතුවම හටගනීවි යැයි බිය පැතිර යාම නිසා) පහළ යෑම වළක්වා ගන්නට නොහැකි වෙනු ඇත.

සමස්ත ප්‍රමාණය මිලියන 21 ක් වෙද්දී එයින් මිලියන 10 ක් පමණ අයිතිකරගන්නට හැකියාව ලැබුණහොත් එහි දී ද බිට්කොයින් අවසානය දකින්නට ලැබෙනු ඇත. යම් රජයක් හෝ කාටලයක් (cartel) විසින් බිට්කොයින් ආර්ථිකය බංකොළොත් කිරීමට යැයි කියා එයින් බහුතරයක් කැනීමෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම මීට උදාහරණයකි. පවතින ක්‍රමවේදය අනුව ඔවුනට බිට්කොයින් වැඩි ප්‍රමාණයක් අයිතියට හැකියාව නොලැබෙන්නේ අර විමධ්‍යගත පද්ධතිය තුලින් ඒකමතික එකඟතාවයට එළඹිය යුතු නිසයි. අපහසු වුවද ඒ සඳහා රීති වෙනස් කරන්නට හැකියාවක් පෑදුන හොත් එහි දී ව්‍යසනය හටගනු ඇත.

බිට්කොයින් සඳහා නායකත්වයක් දරන අයෙක් හෝ මධ්‍යම අධිකාරියක් නැති බැවින් එය භාවිතයේ යෙදෙන අය විවිධ කොටස්වලට බෙදී යෑම නිසා ද ව්‍යවසනයක් සිදුවීමට ඉඩ ඇත. නමුත් මෙය භාවිතය මුලින්ම ප්‍රචලිත වී ගියේ එවැනි නායකත්වයක් හෝ මධ්‍යම අධිකාරිය ප්‍රතික්ෂේප කරන අය අතර නිසා, අනාගතයේ ඒ අයම මෙය භාවිතා කිරීම අත්හැර දමනු ඇතැයි සිතන්නට නොහැකියි. සමහර විට අලුත් අය එකතු වීම අඩු වී ගොස් ලෝක ජනගහණයෙන් සුළු කොට්ඨාශයක් අතර පමණක් භාවිතා වන මුදල් වර්ගයක් ලෙසින් පැවතීමට ඉඩ ඇත.

ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනු සඳහා ඉදිරිපත් වී සිටින ලෝක සංවිධාන, මේ බ්ලොග් සටහන් තුලින් ඔබට හඳුන්වා දී ඇති පීටර් තීල් වැනි අය, (මේ දිනවල මේ හා සමාන වෑයමක යෙදෙන සංවිධානයක් පුංචි රටක් සමඟ ලිබටේරියන් දේශයක් පිහිටුවන සාකච්ඡාවල සාර්ථක අවධියකට පිවිස ඇතැයි වාර්තා කියවන්නට ලැබුණි. ඒ රට ලංකාව යැයි සිතා උද්දාමයට පත් නොවන්න!) තමන් විසින් බිට්කොයින් භාවිතා නොකළ ද ව්‍යාපාර අතර හුවමාරුවට සහාය සපයන ලෙසින් බිට්කොයින් භාවිතය වැඩි දියුණු කරන්නට බිට්කොයින් යටිතල පහසුකම් සැපයීම ආයෝජන ලෙසින් කරනු ලබයි. විශේෂයෙන්ම තවමත් රාජ්‍ය මැදිහත්වීම් නිසා විදේශ ආයෝජකයන් වෙතින් මුල්‍ය ආයෝජන ලබාගත නොහැකි රටවල ජනතාවට බිට්කොයින් භාවිතය තුලින් ව්‍යාපාර අරඹන්නට අවශ්‍ය මුල්‍ය ලබාගැනීමට ඉඩකඩ පෑදී තිබීම නිසා මේ අය අතර නම් බිට්කොයින් භාවිතය වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවෙනු ඇතැයි උපකල්පනය කළ නොහැකියි.

One Response

Subscribe to comments with RSS.

  1. ජයතුංග දූල්වල said, on දෙසැම්බර් 15, 2017 at 9:02 පෙ.ව.

    ඉතාම අගය කලයුතු කාලෝචිත ලිපියකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න