අරුණි ශපීරෝ‍ වෙතින්

නූතන මනසට අතිශයෙන් නුහුරු මතියක්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 22, 2021

මතියක් (notion) කියන්නෙ තමන් දන්න, තමන් අත්දැකපු, හෝ තමන්ට පරිකල්පනය කළ හැකි (imagine) සංකල්පයක්, හැඟීමක්. දර්ශනය යන විෂයයේ දී සැබෑ වස්තු සහ ප්‍රපංඥ වල දී ඒවායේ ප්‍රධාන ලක්ෂණ පිළිබඳ සබඳතාවයන් වලින් මනසේ ඇති කරගන්නා වූ සංකල්පයක් නැත්නම් හැඟීමක් අපි මතියක් හැටියට සලකනවා.

මොකද්ද මේ නූතන මනසට අතිශයෙන් නුහුරු මතිය?

සද්ගුණය වනාහී එහි නෛසර්ගික වූ අරමුණ හා බැඳී පවතිනවා යන මතිය.

මේ විදියෙ වචන වලින් මේ විදියෙ අදහස් ගැන කතා කරන්න නොදන්න සමාජයක දී එහි පුරවැසියන් අතර රටේ නීති ගැන දැනුම අවම වෙනවා. එහි දී අලුතින් ගෙනෙන ඕනෑම නීතියක් දිහා බලන්න හුරුවෙන්නෙ එය පැනවීම සඳහා නීතිමය බලයක් පාලනයේ සිටින ආණ්ඩුවට ඇතැයි යන විශ්වාසයෙන්.

දකුණතින් බාගත කරගත හැකි “කොමියුනිස්ට්වාදයේ කළු පොත” කියවලා ඇති අය දන්නවා කොමියුනිස්ට් රටවල්වල මිලියන 100 ක් පමණ ජනතාවක් මිය ගියේ ඒ රටවල බලයේ සිටි ආණ්ඩු විසින් පනවන ලද නීති නිසා කියල. සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ නාට්සීන් විසින් යුදෙව්වන්ව මරා දැමුවේත් ජනතාව පත්කරගත් ආණ්ඩුවක් විසින් ගෙනෙන ලද නීති අනුව.

ආණ්ඩුවකට ගෙනෙන්න හැකි නීතිය සහ ස්වභාවික නීතිය අනුව ආණ්ඩුවක් ගෙනෙන නීතිය අතර ඇති වෙනස ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන් ඇමෙරිකන් විප්ලවය සහ ප්‍රංශ විප්ලවය අතර වෙනස දිහා බැලුවම.

ජෝන් ලොක් විසින් ඉදිරිපත් කරපු සිද්ධාන්ත, ඒ කියන්නෙ ඒකීය පුද්ගලයා සතු අයිතීන්, සමාජ සද්ගුණයක ඇති අගය, ඒකීය පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කරන විදියට සැකසුණ රාජ්‍ය පාලන ක්‍රමයක් යනාදිය ඇමෙරිකන් විප්ලවයෙන් දකින්න ලැබෙනව.

ඡෝන් ජාක් රූසෝ විසින් ඉදිරිපත් කරපු “පොදු කැමැත්ත” අනුව, ඒ කියන්නෙ පරණ විදියට හිතන පතන යදම් වලින් නිදහස් වෙච්ච, තවත් විදියකින් කිව්වොත් සද්ගුණයෙන් නිදහස් වූ අපෝහන (reason) ක්‍රමයක් අනුවයි ප්‍රංශ විප්ලවය හටගත්තේ. මේ පරණ විදියට හිතන එක අත් හරින්න කියන එක දේශපාලන ගුණ්ඩුවක් විතරක් නෙමෙයි. පරණ විදිය මොකක්ද කියා නොදන්නා අය ඒ තමන්ට දෙන එකම ක්‍රමය වූ අලුත් හිතන ක්‍රමය නිසා තමන්ගේ හෘද සාක්ෂිය කියන දේ මොකද්ද කියා වටහා ගන්න අසමත්. මිනිස් නිදහස යනු කුමක්ද කියා වටහා ගන්න අසමත්.

අපි ජීවත්වෙන්නෙ භෞතික ලෝකයක. ගස් ගල් කඳු වනාන්තර වැනි එක එක දේවල් පිරිච්ච, ඒ වගේම පරිසිද්ධි (facts) බහුල ලෝකයක. ගහක් ගලක් කියන්නෙ හොඳ හෝ නරක දෙයක් නෙමෙයි, ඒක ගහක් නැත්නම් ගලක්. ඉපදුනාම මැරෙනවා. ඒක පරිසිද්ධියක්. ඒකෙන් අගැයුමක් ලැබෙන්නෙ නැහැ. මෘග ආකාරයකින් පෙනෙන පරිසිද්ධි මහත් රාශියකින් අපි ජීවත්වන ලෝකය පිරිලා තියනව.

ඒ විදියට තමයි නූතන දාර්ශනිකයන් බොහොමයක් හිතන්නෙ.

ඇරිස්ටෝටල් වැනි ග්‍රීක දාර්ශනිකයන් සහ ඒ අනුව යන ජෝන් ලොක්, එංගලන්තයේ නීති ගැන අටුවා ටීකා බොහොමයක් ඉදිරිපත් කළ 18 වැනි සියවසේ විනිසුරුවෙක් වූ සර් විලියම් බ්ලැක්ස්ටොන්, දේශපාලන දාර්ශනිකයෙක් වූ ප්‍රංශ ජාතික මොන්ටෙස්ක්‍යු යනාදීන් ඒ විදියට නොහිතන ලද අයයි.

ස්වභාව ධර්මයේ යම් අරමුණක් හොයාගන්න වෑයමක් ඔවුන් අතින් සිද්ධ වෙනව. ස්වභාව ධර්මය හුදු ස්වභාව ධර්මය පමණක් නොවේ. එහි යම් සද්ගුණයක් අඩංගු වෙනව කියල ඔවුන් මතියක් ගොඩනඟා ගන්නව.

ලෝකයේ නැත්නම් ස්වභාව ධර්මයේ ඇති සෑම වස්තුවක් තුළම යම් අරමුණක් සාක්ෂාත් කරන ධාරිතාවක් අඩංගු යැයි ඔවුන් අදහස් කරනව. එනම් ලෝකයේ ඇති සෑම වස්තුවක්ම යම් අවසානයක් ඉලක්ක කරගත්තක්, එයට ඔවුන් යොදා ගන්න ග්‍රීක වචනය ටෙලොස් (telos).

යම් වස්තුවක නෛසර්ගික වූ අගය යනු එහි අරමුණ සාක්ෂාත් කරගත හැකි ධාරිතාවේ පවතින්නක්.

උදාහරණ විදියට ගත්තොත්, මුරුංගා ගහක් ගත්තොත් එයින් මුරුංගා ලැබෙනවා නම්. මල් පැලයක් ගත්තොත් එහි මල් පිපෙනවා නම්. ඔරලෝසුවකින් හරියට වේලාව කියන්න පුළුවන් නම්. එළදෙනක් නම් කිරි එරෙනවා නම්, යනාදී වශයෙන් අරමුණ සපුරනවා නම් එය සද්ගුණවත් වස්තුවක්.

මිනිස් සත්වයා කියන්නෙත් ටෙලොස් අඩංගු වූවෙක්. සතෙක්, මෘගයෙක් විදියට කටයුතු කරන්නෙ නැතිව මිනිස් විදියට කටයුතු කරන හැකියාව සතු වූවෙක්. ඒ කියන්නෙ අපෝහනය (reason), විනිශ්චය කරත හැකියාව (judge), සහ විචාරවත් ලෙසින් සලකා බැලිය හැකියාව (deliberate) යනු මිනිසා තුළ පවතින ටෙලොස් කියා ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන දෙන්නාම එකඟ වෙනවා. මේ අවසාන අරමුණ සද්ගුණය හා බැඳී පවතින්නක් මිසෙක එයින් නිදහස් වූවක් නොවේ.

අපේ අපෝහන හැකියාව භාවිතා කරල අප අවට ඇති සියළු දැයේ අරමුණ තීරණය කරන්න හැකියාවක් මිනිසා යන සත්වයාට තියෙනවා යැයි ඇරිස්ටෝටල් පෙන්වා දුන්නා.

අද අපි ඒ සද්ගුණය හා බැඳී පවතින අපෝහන (reason) හැකියාව ගැන ඉගෙනීම අත්හැරලා. ඒ නිසා වියවුල් මතවාද බොහොමයක පැටලිලා. හිතන්නෙ තනිකරම හැඟීම් වලින් මිසක් බුද්ධිය භාවිතයෙන් නොවේ. එහි දී සද්ගුණය තවත් පිරිහෙනවා. පුද්ගලික අයිතීන් ආරක්ෂා නොකර පොදු කැමැත්ත ඉටු කරන්න හැකි යැයි විශ්වාස කරනවා.

මිනිස් සත්වයා කියන්නෙ උපන්නාට පසුව තමන් විසින් සියල්ල ඉගෙන ගන්න ඕන සත්වයෙක්. මිනිස් සත්වයාට කියල දෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නත් ඕන. දැනුම කියන්නෙ අපි පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා යුත්තක්. අපි යම් පරම්පරාවකට දැනුම ලබා දීම අමතක කරල, අතපසු කරලා දානවා නම්, එහි දී ඵලවිපාක විඳින්නෙ ඒ පරම්පරාව විතරක් නෙමෙයි.

ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් දක්වන මිනිසා තුළ පවතින ටෙලොස් අනුව තමයි ස්වභාවික නීතිය ඇතිවෙලා තියෙන්නෙත්. ඉතින් එයට පටහැනි නීති පැනවීමේ දී, එනම් යම් සමාජයක් මිනිසා මෘගයෙක් විදියට සලකනවා නම්, අපිට එහි දී අත් විඳින්න ලැබෙන ප්‍රතිඵලත් අමානුෂික වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: