අරුණි ශපීරෝ‍ වෙතින්

ඉක්වදෝරයෙන් පාඩමක් ඉගෙන ගනිමුද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 7, 2022

වෙනිසියුලාව යන මාර්ගයේ නොයා ලංකාවේ ජනතාවට ඉක්වදෝරයෙන් පාඩමක් ඉගෙන ගන්නට හැකියි. පාලකයන් පත්කරගන්නේ ජනතාව නිසා රටක ජනතාව මේ ගැන පළමුව දැන සිටිය යුතුයි නේද!!

2020 වසරේ දී ලෝකයේ බහුතර දේශපාලකයන් විසින් කෝවිඩ් වසංගතය මුලාවෙන් රට රටවල් වසා දැමීමත් සමඟ රාජ්‍ය බැඳුම්කර අලාබ ලැබීම වැඩි වැඩියෙන් දකින්නට ලැබිණ. වසා දැමීම් නිසා ව්‍යාපාර ඇන හිටීම හේතුවෙන් මුදල් ප්‍රභවය අඩුවී යද්දී සියළුම ආණ්ඩු පාහේ ජනතාවගේ පරිහරණය සඳහා මුදල් “අච්චු” ගැසීමේ යෙදීම වැඩි වැඩියෙන් කරගෙන ගියහ.

එවැනි පසුබිමක දී, වසංගතයට පෙරතුවම ආර්ථික අවපාතයකට වැටී සිටි ඉක්වදෝරය නමැති දකුණු ඇමෙරිකාවේ දුප්පත් රට අපූරු ලෙසින් නැඟී සිටියේය. 2020 දී වසංගතය එරට තුළ පැතිර යන්නට පෙර ඩොලර් බිලියන 17.4 ක් ගෙවීම ප්‍රතිව්‍යුහගත කරන්නට ඉක්වදෝරයට සිද්ධ විය. රටක මුල්‍ය අගැයුම් පිළිබඳ තක්සේරු ඉදිරිපත් කරන කොම්පැණි එය ණය ගෙවීම පැහැර හැරීමක් හැටියට සලකන ලද්දේ ය.

එහෙත් වසරක් ගෙවී යද්දී, එනම් 2021 දී ඉක්වදෝරය එරට බැඳුම්කර සඳහා 28% ක් තරම් ලාබයක්, එනම් අනෙක් කිසි රටකට වැඩියෙන් ලබාගන්නට සමත් වූ බව බ්ලූම්බර්ග් බාක්ලේස් ඉන්ඩෙක්ස් සටහන් තැබීය.

යම් රටක් සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වෛරීත්ව ණය ගෙවීම පැහැර හැරීම නිසා පමණින් ජාත්‍යන්තර මුල්‍ය ක්‍රමය භාවිතාව අහිමි කර නොගනියි. එසේම ඒ නිසා පමණින් විදේශීය ආයෝජන අහිමි වී නොයයි.

සමහර අවස්ථාවල දී කිහිප වතාවක්ම ණය ගෙවීම් පැහැර හැරිය ද රටක් නිවැරදි මාර්ගය තෝරා ගන්නේ ද එහි දී එරට බැඳුම්කර සඳහා ලාබ ඉපැයීමටත්, විදේශ ආයෝජන සහ IMF වැනි මුල්‍යාධාර සපයන ආයතනවලින් හදිසි ආපදාවල දී ආධාර ලබාගැනීමටත් සමත් වෙති.

ඉක්වදෝරය ඊට කදිම උදාහරණයකි. එය ලෝකයේ ණය ගෙවීම් පැහැර හරින රටවල් අතර ඉදිරියෙන්ම සිටින ලද රටක් විය. එසේම ඉහතින් සඳහන් පරිදි 2020 වසරේ දී ණය ගෙවීම පැහැර හැරිය ඉක්වදෝරය 2021 වසරේ දී විදේශීය ඍජු ආයෝජන ඇමෙරිකන් ඩොලර් මිලියන 143.20 කින් වර්ධනය කරගන්නට සමත් විය. 2021 දී එරට බැඳුම්කර සඳහා 28% ක් තරම් ලාබයක් උපයන්නට, එනම් අනෙක් කිසි රටකට වැඩියෙන් ලබාගන්නට සමත් වූ බව බ්ලූම්බර්ග් බාක්ලේස් ඉන්ඩෙක්ස් එක දක්වන ලද්දේ ය.

ඉක්වදෝරය සැබෑ වෙනසක් ගෙනෙන්නට සමත් වූයේ කෙසේද?

වාමාංශිකයන් රජයන ලද දශක දෙකකට ආසන්න කාලයකට පසුව ඉක්වදෝරයේ මධ්‍යම-දක්ෂිණාංශ (centre-right) ජනාධිපතිවරයා හැටියට ව්‍යාපාරික සහ බැංකු CEO පසුබිමකින් යුතු වූ ගියෙර්මෝ ලැසෝ (Guillermo Lasso) නමැත්තා පත් වූයේය. ලැසෝ පෙනී සිටින ලද ප්‍රතිපත්ති අතර සීමිත ආණ්ඩුවක් තුළ බලය බෙදී පැවතීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂාව, බදු කපා හැරීම්, සහ නිදහස් වෙළඳපල හිතකර වූ ප්‍රතිසංස්කරණ ගෙන ඒමට පෙනී සිටීම යනාදිය ප්‍රධාන ලක්ෂණ වූහ.

ඉක්වදෝරය සමඟ අනෙකුත් ප්‍රධාන ලතින් ඇමෙරිකන් රටවල් සසඳා බලද්දී පෙනී යන්නේ ඒ අනෙක් ලතින් ඇමෙරිකන් රටවල වාමාංශික පක්ෂ සඳහා කැමැත්තක් වැඩිවීමත්, දේශපාලනික අවුල් සහගත සමාජ වාතාවරණයන් පැතිර යාමත් ය. බදු වැඩි කරන්නට ගත් සැලසුමක් නිසා ඉක්වදෝරයට අසල්වැසි කොලොම්බියාවේ උද්ඝෝෂණ රැසක් හටගති. චිලේ රටේ ජනාධිපතිවරයා ලෙසින් වාමාංශිකයෙක් පත්ව සිටියි. මාක්ස්වාදී පක්ෂයක් නියෝජනය කරන ගුරුවරයෙක් ලෙසින් සේවය කරන ලද පේඩ්‍රෝ කැස්ටියෝ පෙරූ රටේ ජනාධිපති වීමත් සමඟ එරට කොටස් වෙළඳපල වහා කරණම් ගැසීය.

ලැසෝ ජනාධිපතිවරණයේ දී පරාජය කළේ හිටපු වාමාංශික පක්ෂයේ, සමාජවාදියෙක් යැයි කියාගත්, වෙනිසියුලාවේ පාක්ෂිකයෙක් වූ අන්ද්‍රෙයාස් අරාවුස් (Andrés Arauz) ය. පුරවැසි විප්ලවීය මෙහෙයුම යන වාමාංශික පක්ෂයේ මුලසුන හොබවන අන්ද්‍රේස් අර්ථ ශාස්ත්‍රඥයෙකි! ඒත් අන්ද්‍රේස් 2008 දී ඩොලර් බිලියන 3.2 ක ණයක් ගෙවීම පැහැර හැරියේය.

වාමාංශිකයා පරාජය කරමින් බලයට පත්වූ ගියෙර්මෝ ලැසෝ ආර්ථික ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කළේය. 2022 ජනවාරි මස සිට විදේශ මුදල් රටට එවද්දී කපාගන්නා බදු අඩු කරන ලද්දේය. ඔහු රේගු බදු මට්ටම් අඩු කරන ලද්දේ ය. ආනයන තහනම් කපා හැරියේය. පෞද්ගලික ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා තෙල් කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ ගෙනෙන ලද්දේ ය.

ඉක්වදෝරය එහි මුදල් හැටියට භාවිතා කරන්නේ ඇමෙරිකන් ඩොලරයයි. ඒ නිසා ඔවුනට මුල්‍ය ප්‍රතිපත්තිය හරහා අවපාත වෙනුවෙන් මුදල් අච්චු ගැසීම කළ නොහැකියි.

ඉක්වදෝරයේ මෙතෙක් ඇති වූ සීඝ්‍ර වර්ධනය සැබෑවකි. එහෙත් ඔවුන් වැටී සිටින දුප්පත් මට්ටමෙන් ගැලවී සමෘද්ධිමත් රටක් වෙනුයේ මේ පා තබා ඇති නිවැරදි මාර්ගයේ යෑම එනම් සැබෑ වෙනසක් ගෙන ඒම කොතරම් දුරකට කොතරම් කාලයක් පුරා සිද්ධ වෙන්නේදැයි අනුවයි. දැනටමත් එරට වෘත්තීය සමිති විසින් ශ්‍රමබල ප්‍රතිසංස්කරණ සඳහා විරෝධය පාන්නට පටන්ගෙන ඇත.

ධනවාදී ක්‍රමය නිසා අවපාත ඇතිවන බවත්, ධනවාදී ක්‍රමය නිසා අල්ලස්, වංචා, දූෂණ වැඩිවෙන බවත්, ධනවාදී ක්‍රමය නිසා දේශපාලකයන්ට හොරකම් කරන්නට හැකියාව ලැබෙන බවත් කියන අයට ඉක්වදෝරය කොතරම් වැදගත් පාඩමක් කියා දෙන්නට සමත් වේවිද!

ප්‍රතිචාරයක් ලබාදෙන්න