අරුණි ශපීරෝ‍ වෙතින්

වෙනෙසියුලාවේ රන් ටොන් 35.8 ක් ඈවර කෙරෙයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 25, 2016

වෙනෙසියුලාවේ ආර්ථිකය ඉතා දරුණු අනතුරුදායක තත්වයක පවතී. වසර විස්සක් වැනි කාලයක දී ප්‍රථම වරට පසුගිය සතියේ දී පැට්‍රල් මිල (6,000% කින්) ඉහළ යවන ලදි. එහෙත් සහනාධාර තුලින් වෙනෙසියුලාවේ වැසියන් තවමත් ගැලුමක් සත 4 ක් වන සහතික මිලට පැට්‍රල් ලබා ගනිති. රජයේ දැනුම වැරදි යැයි පෙන්වමින් මහපාරේ දී ඇමෙරිකන් ඩොලරයක් ගන්නට බොලිවාර් දාහක් අවශ්‍ය වේ. වාර්ෂික උද්ධමනය 720 ප්‍රතිශතයකින් ඉහළ යනු ඇතැයි ද වසරේ දේශීය නිෂ්පාදිතය 8% කින් හැකිළෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

ප්‍රථමයෙන් උගෝ චෑවේස් යටතේ ද පසුව නිකලාස් මධූරෝ යටතේ ද පැනවෙන දුරාචාර ආර්ථික ප්‍රතිපත්ති නිසා තෙල් සම්පත් බහුල වෙනෙසියුලාවේ තෙල් නිෂ්පාදනය පහළ බැස යෑම සිද්ධ විණ. තෙල් අපනයනයෙන් ලැබෙන මුදල් සමාජවාදී වෙනෙසියුලාවේ ප්‍රධාන ආදායම වෙයි. සමාජවාදී ප්‍රතිපත්ති හේතුවෙන් රටේ වෙනත් නිෂ්පාදන ඇණහිට තෙල් අපනයනය මුළුමනින්ම පාහේ රටේ ආදායම උපයන මාර්ගය බවට පත් විණ. එහෙත් 2014 සිට එහි 70% ක පහළ බැසීමක්, සියල්ලන්ටම සැලසුම් හදන්නට තමන් දන්නවා කියාගත් ආණ්ඩුවකට බලය පැවරූ ජනතාවකට, දැන් අත්විඳින්නට සිද්ධ වී ඇත.

ස්විට්ස්සර්ලන්තයට ජනවාරි මාසයේ දී ඈවර කර ඇති රන් ටොන් 35.8 වෙනෙසියුලාවේ මහ බැංකුවේ අයිතියේ තිබෙන ලද්දකි. එනම්, මහන්සි වී ආදායමක් උපයන අයකුගෙන් බදු හැටියට කොල්ල කෑ මුදල් වලින් ගොඩ ගැසූ ඒ රන් බදු ගෙවන ලද ජනතාවගේ වත්කමයි.

වෙනෙසියුලාවේ වැසියන්ට රන් පතල් අයිතිය, කැනීම් සහ විකිණීම් තහනම් කර 2011 දී උගෝ චෑවේස් එරට රන් කර්මාන්තය ජනසතු කරන ලදි. ‘ජනසතු’ කියන්නේ ජනතාවට නාමිකව අයිතිය පවරා, පාලකයන් ඒවායේ ලාබ භුක්ති විඳීමයි. ‘ජනසතු’ කියන්නේ ජනතාව පිට ණය හා බදු බර පටවා පාලකයන් ඒවායේ ගැනීම් හා විකිණීම් පිළිබඳ තීරණ ගැනීමයි. ‘ජනසතු’ කියන්නේ පාලකයන් අනුන්ගේ වෙහෙසේ ඵලදාව ගැන ගන්නා ලද තීරණය වැරදි යැයි ඔප්පු වෙද්දී, තව දුරටත් අද ජීවත්වන ජනතාව ආර්ථික අගාධයට ඇද දමමින් අනාගතයේ උපදින රටවැසියන් ද බංකොළොත් කරවීමයි.

කැනඩාවේ කොම්පැණියක් සතුව පැවති ලා ක්‍රිස්ටිනාස් රන් පතල 2001 දී උගෝ චෑවේස් සිය ජාතික හමුදාව යවා ජනතාවගේ නාමයෙන් අල්ලා ගනිද්දී එහි සංචිත හැටියට රන් ටොන් 750 කට අධික ප්‍රමාණයක් පැවතිණ. 2011 දී උගෝ චෑවේස් චීනය හා ගිවිසුමක් අත්සන් කරමින් ලා ක්‍රිස්ටිනාස් රන් පතල චීන සහයෝගයෙන් වැඩි දියුණු කිරීම සඳහා තීරණය කරන ලදි. ඒ ගිවිසුම අත්සන් කරද්දී ඒ පතලේ රන් සංචිත ලෙස ගණනය වෙන්නේ රන් ටොන් 500 ක ප්‍රමාණයකි.

චීනය වර්තමාන වෙනෙසියුලාවේ ලොකුම ණය හිමිකරුවා ද වෙයි. වෙනෙසියුලාවේ රජය චීන රජයේ ණය ගෙවන්නේ ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන තෙල් අපනයනයෙනි. ලෝක තෙල් මිල පහළ යෑමත් සමඟ වෙනෙසියුලාවට චීනයට වැඩියෙන් තෙල් බැරල් යවන්නට සිද්ධ විණ. ණය ගෙවන්නට තෙල් යවන්නට සිද්ධ වෙද්දී ආදායමක් උපයන්නට ඉඩක් ලැබෙන්නේ නැත. චීනයේ ණය පියවන්නට යැවිය යුතු තෙල් ප්‍රමාණය සපයා ගැනීම පවා වෙනෙසියුලාවට දුෂ්කර කටයුත්තක් බවට පත්විය. තෙල් බැරලයක ලෝක වෙළඳපොල මිල $100 ක් වෙද්දී 228,000 ක් පමණ සපයද්දී, අද තෙල් මිල $32-34 ක් අතර වෙද්දී දිනකට බැරල් 774,000 ක් පමණ ප්‍රමාණයක් චීන ණය පියවන්නට පමණක් සපයන්නට වෙනෙසියුලාවට සිද්ධ වී ඇත.

රටවල් දෙකක් ඔවුන්ගේ රටේ ජනතාව සතු වත්කම් යැයි කියමින් ඒවා ගැන ගිවිසුම් ගහද්දී බොහෝ දුරට ඒවායේ සියළු විස්තර ජනතාවට හෙළිකරන්නේ ද නැත. චීනය හා වෙනෙසියුලාව අතර ණය ගණුදෙනු මොනවාදැයි කියා දැනගන්නට ඒ රටවල ජනතාවට අවස්ථාවක් ලැබෙන්නේ ද නැත. ජාත්‍යන්තර බැඳුම්කර ගණුදෙනුකාරයෙක් වූ බාක්ලේස් බැංකුව අනුමාන කරන්නේ වෙනෙසියුලාව චීනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 7 ක පමණ ණයක් මේ වසරේ දී පියවිය යුතු බවයි.

ස්විට්ස්සර්ලන්තය වැනි රටකට රන් විකිණීමේ දී අපිට එහි රේගු තොරතුරු වලින් වෙනෙසියුලාව වැනි රටක් කරන ගණුදෙනු ගැන දැනගන්නට අවස්ථාව පෑදේ. 2013 මැයි මාසය තෙක් වෙනෙසියුලාව විසින් ස්විට්ස්සර්ලන්තයට විකුණන ලද රන් 80% ක ශුද්ධ (pure) බවකින් යුතු විය. ඒ නිසා ඒ රන් වෙනෙසියුලාවේ කරාකස් අගනගරයේ පිහිටා ඇති ඔවුන්ගේ මහ බැංකුවේ තැන්පත් වූ ඒවා යැයි අනුමාන කළ හැකිවේ. එහෙත් 2013 දෙසැම්බරයේ සිට වෙනෙසියුලාව විසින් ස්විට්ස්සර්ලන්තයට විකුණන්නේ 99.5% ක ශුද්ධ බවකින් යුතු රන් වෙති. එනම් වෙනෙසියුලාවේ මහ බැංකුව විසින් සංචිත වත්කම් හැටියට තබාගැනීම පිණිස විදේශයන් වෙතින් මිල දී ගන්නා ලද රන් වෙති. ඒ රන් වෙනෙසියුලාවේ මහ බැංකුවේ ගබඩාවක පවතින ඒවා නොව වෙන රටවල් හි තැන්පත් කරන ලද ඒවා යැයි අනුමාන වේ.

රටක් තවත් රටකට රත්තරන් විකුණද්දී මුදල් රන් (monetary gold) හැටියට හෝ මුදල් රන් මුල්‍ය බවෙන් ඉවත් කර ලෝහ හැටියට ද යවත හැකියි. ඉතින් ස්විට්ස්සර්ලන්තයට, මහා බ්‍රිතාන්‍යයට හා හොංකොං වලට පටවා ඇතැයි කියැවෙන්නේ demonetized gold හෙවත් භාවිතයේ පවතින මුල්‍ය බවෙන් ඉවත් කරන ලද රන් මුදල් ය. එම ක්‍රමය වෙනෙසියුලාවේ මහ බැංකුවේ රන් සංචිත කොතරම් ප්‍රමාණයකින් අඩු වී ඇත්දැයි වසන් කරත හැකි ලෙසකිනි.

ණය ගෙවාගත නොහැකියාව වැඩිවෙන ආකාරය පෙනී යද්දී, එවැනි රටකට ණය දෙන්නට ඉදිරිපත් වෙන තවත් රටක් කොතරම් සහනදායී ණය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරාවි ද? විශේෂයෙන්ම, දෙරටේ ජනතාවටම ඒ ණය ගණුදෙනු ගැන විස්තර ඇහුවොත් මැරුම් කන්නට, අතුරුදහන් වෙන්නට හෝ හිරේ ලගින්නට සිද්ධ වෙනවා නම්?

‘ජනසතුකරණය’ යනු දේශපාලන බලය අල්ලාගත්තවුන් ඔබේ වෙහෙසේ ඵලදාව මංකොල්ල කෑම පමණක් නොවේ. ඔබේ කැමැත්ත නොමැතිව ඔබවත් ඔබේ මුනුපුරු මිනිපිරියන්වත් ණයකරුවන් කරන හැකියාව ද තමන් අතට පවරා ගැනීමයි.

4 Responses

Subscribe to comments with RSS.

  1. Thanuka said, on පෙබරවාරි 25, 2016 at 9:52 ප.ව.

    ඉතා හොඳ පැහැදිලි ලිපියක්.. ආසාවෙන් කියවූවා..

  2. mppgunasinghe said, on මාර්තු 3, 2016 at 8:02 පෙ.ව.

    මේ ලිපිය කියවන්න අවස්ථාව සැලසුනේත් දැන්


ප්‍රතිචාරයක් ලබාදෙන්න