අරුණි ශපීරෝ‍ වෙතින්

ලංකාවේ විකල්පය “බොලිවේරියන් මිලීෂියාවක්” වෙයිද?!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 14, 2022

වෙනිසියුලාවේ ආර්ථික ව්‍යසනයට මූලික වශයෙන් වරදකරුවන් වනුයේ උගෝ චෑවේස් සහ නිකොලාස් මධූරෝ යැයි ද, ඒත් චෑවේස් බලයට පත්වන්නට පෙර වෙනිසියුලාවේ ආර්ථිකය හොඳින් පැවතුනක් යැයි කියන්නේ නැති බවත් කලින් දැමූ සහ මේ සටහන ලියන්නට පාදක කරගත් ලිපියේ කතුවරයා වන හෝසෙ නින්‍යො (José Niño) කියා සිටියි.

කලින් ලිපියේ දක්වන ලද පරිද්දෙන් වර්තමාන වෙනිසියුලාවේ අර්බූදයට හේතුවන ප්‍රතිපත්ති ගෙනෙන ලද්දේ දශක ගණනාවකට පෙර ය. 1960 ගණන් සහ 70 ගණන් වල පැවති වෙළඳපල හුවමාරුවලට ගෙනෙන ලද රාජ්‍ය මැදිහත්වීම් එන්න එන්නම වැඩි වර්ධනය වීම ඒ ප්‍රතිපත්ති වූහ.

ඉහළ ගිය තෙල් මිල ගණන් හමුවේ පටන් ගත් සමාජ සුබසාධන ව්‍යාපෘති අනතුරුව තෙල් මිල ගණන් පහළ බැසීමත්, දැඩි ආර්ථික අවපාතයකට රට මුහුණ පාන්නට වීමත් සමඟ 80 ගණන් මුල දී කාලෝස් අන්ද්‍රේස් පේරේස් ජනාධිපතිවරයාට අවසන් කරන්නට සිද්ධ විය.

ඊළඟට බලයට පත්වෙන්නේ ලුවිස් හෙරෙරා කැම්පින්ස් ය. පේරේස් ගෙන ගිය රාජ්‍ය වැය එලෙසින්ම කරගෙන යන්නට නොහැකි බව දුටු ඔහු පේරේස් විසින් රට “උගස්” (mortgage) කර ඇතැයි කීවේය. පේරේස්ගේ ආණ්ඩුව මුල්‍ය වගකීම් පැහැර ඇතැයි කීම සත්‍යයක් වුවත් හෙරෙරා ද ඒ ගජමිතුරු ප්‍රතිපත්තීන් අත්හැරියේ නැත.

වෙනිසියුලානු ඉතිහාසයේ ප්‍රථම වරට බොලිවාර් අගය අඩුම මිලට වැටිණ.

වර්තමාන ලංකාව කළා මෙන්ම, හෙරේරාගේ ආණ්ඩුව ද ප්‍රාග්ධනය රට අත්හැර දා යෑම වළක්වාගන්නට දැඩි ලෙසින් විදේශ විනිමය සීමා පැනවූහ. ඒ සීමා පරිපාලනය කළේ “ආන්තර විනිමය මට්ටම් රෙජිමය” (Differential Exchange Rate Regime) යන ඒජන්සියයි. එයින් විවිධ ස්තරවලින් යුතු විනිමය මට්ටම් ක්‍රමයක් බිහිවිය.

දේශපාලකයන් විසින් මේ ඒජන්සිය තම තමන්ගේ වාසියට භාවිතා කිරීම නිසා අනතුරුව බලයට ආ ජේමි ලුසින්චි ගේ ආණ්ඩුව වංචා දූෂණ රැසකින් පිරී ගියේය. 1989 දී ඒජන්සිය මූලෝත්පාටනය කළ ද එය ඉන්පසුව බිහිවන මහා විශාල වූ ද, බෙහෙවින් අවුල් සහගත වූ ද විනිමය පරිපාලන ආයතන ගණනාවක පළමුවැන්නා වූයේය. විනිමය හුවමාරු පරිපාලන කොමිසම, විදේශ වානිජ්‍ය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය යනාදිය ඒවා වෙති. 2000 ගණන් වල දී වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයේ මුලසුන හොබවන්නේ මේ දෙවැනියට සඳහන් කරන ලද්දයි.

දරීද්‍රතා මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යද්දී, විදේශ සහ මහජන ණය වැඩි වෙද්දී, රාජ්‍ය ව්‍යවසායක ආයතන වංචා හා දූෂණවලින් පිරී යද්දී, 1980 ගණන් පුරාම සමාජ ගැටුම් වැඩිවන්නටත් ආර්ථිකය දුර්වල මට්ටමක තබන්නටත් හේතු වූයේ මහජනතාව පිට බර පටවන ලද්දා වූ නීති රෙගුලාසි කන්දරාවක් පැනවීමයි.

මුල්‍ය ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතු වුවත් වෙනිසියුලාව ඒවා නිසියාකාර ලෙසකින් ගෙනාවේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නිර්දේශ කළ රේගු බදු අඩු කිරීම්, පෞද්ගලීකරණය, සහ රාජ්‍ය වැය අඩු කිරීම් යනාදිය පිටතට පෙනෙන ලෙසින් පමණක් ඉටු කළහ. දෝෂ සහගත මුල්‍ය ප්‍රතිපත්තිය, රෙගුලාසි පිරුණ රාජ්‍ය මැදිහත්වීම්, සහ ගජමිතුරු ප්‍රතිපත්ති දිගින් දිගටම දකින්නට ලැබිණ.

ඒ ප්‍රතිසංස්කරණ නිසා දේශපාලන බලය ගිලිහී යනු ඇතැයි කියා විරෝධය එන්නේ පේරේස්ගේම පක්ෂය තුලිනි. පැට්‍රොල් සහනාධාර වෙනිසියුලාවේ දුප්පතුන් අතර ජනප්‍රිය වූවකි. වෙළඳපල මිල ගණන්වලට අඩුවෙන් ලබාදෙන මේ සහනාධාර ක්‍රමයෙන් අඩු කර අවසන් කර දැමීමේ ප්‍රතිසංස්කරණය ගැන රටේ මහජනතාව අතර අසතුට පතුරුවා හරින්නේ පෙරේස්ගේම පක්ෂයයි.

මේ අවස්ථාවේ දී වෙනිසියුලාවේ මහජනතාව වීදි බැස්සහ. 1989 පෙබරවාරි 27 වැනිදා Guarenas හි උද්ඝෝෂණයක් පටන් ගැනිණ. අනතුරුව එය ළඟපාත නගරවලටත් පැතිර ගියේ කඩ සාප්පුවලට කඩා පැන බඩු පැහැර ගැනීමත්, කැරලි කෝලාහල පැවැත්වීමත් සමඟිනි. එය අගනගරය වූ කරාකස් හි සතියක් පුරා නොනවත්වා සිද්ධ වූයේය. රජය තදින් ප්‍රතිචාර දැක්වීමෙන් සිය ගණනක් මිය ගියහ.

ඒ දේශපාලන වියවුලේ ජයග්‍රාහීකයා වනුයේ ලුතිනන් කර්නල් උගෝ චෑවේස්ගේ විප්ලවීය බොලිවාර් මෙහෙයුමයි. ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති විරෝධයට වෙනිසියුලාවේ හමුදාවේ අයව පෙළගස්සවන්නට චෑවෙස් සමත් වූයේය. මේ වෑයමට චෑවේස්ව හිරගෙදරට දැම්මත්, එතෙක් පැවති ප්‍රධාන පක්ෂ දෙක වරින් වර බලයට පත්වන ලද පුන්ටෝ ෆිහෝ ආකෘතිය ගැන ප්‍රශ්න කිරීම එතැනින් ඇරඹිණ.

1992 දී දූෂණ චෝදනා ගෙනැවිත් පේරේස්ව ද්‍යෝෂාභියෝගයට ලක් කිරීමත්, එසේම රජය පෙරළන කුමන්ත්‍රණ දෙකක් සිද්ධ වීමත් අනතුරුව දකින්නට ලැබිණ. දේශපාලන අස්ථායී බැවින් 90 ගණන් ගෙවී ගියහ.

එතෙක් පැවති පුන්ටෝ ෆිහෝ අකෘතිය ගැන අප්‍රසාදයට පත්වූවන් නියෝජනය කරමින් එක්‍රැස් යන අර්ථයෙන් යුතු (Convergencia) නව පක්ෂ හවුලක් යටතේ රෆායෙල් කල්දේරා නව ජනාධිපතිවරයා බවට පත් වූයේය.

කල්දේරා IMF හි ප්‍රතිපත්ති බාගෙට කරගෙන ගියේය. තෙල් කර්මාන්තය පෞද්ගලීකරණය කිරීම, පහත වැටෙමින් පවතින් මුදල් ආරක්ෂාවට මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ රජයේ ගජමිතුරු හවුල් ව්‍යාපාර ගැන ඔහු කිසිත් නොකළේය.

1994 දී කල්දේරා උගෝ චෑවේස් නිදහස් කළේය.

කරාකස්, මරාකයිබෝ, මරාකයි, සහ වැලෙන්සියා යනාදී ප්‍රධාන අගනගර අසල පදිංචියට දුප්පතුන් එක්රොක් වන්නට වූහ. මුළුමනින්ම සමාජවාදී දේශයක් කරා වෙනිසියුලාව ගෙන යන්නට උගෝ චෑවේස් විසින් ඒ දුප්පතුන්ව යොදා ගත්තේ ය.

1958 සිට 1998 දක්වා කාලය යනු වෙනිසියුලාවේ ජනගහන වර්ධනයට වඩා අඩුවෙන් වත්කම් වර්ධනය සිද්ධ වූ කාලයයි. මේ වසර 40 තුළ ලතින් ඇමෙරිකාවේ ඍන වර්ධනයක් අත්විඳි රටවල් දෙක වූයේ වෙනිසියුලාව සහ සමාජවාදී ආණ්ඩුවක් යටතේ සිවිල් යුද්ධයක නියැළී සිටි නිකරාගුවා රටයි.

ප්‍රධාන පක්ෂ දෙකට විරුද්ධව දේශපාලන මෙහෙයුම ගෙනයමින් චෑවේස් තමන්ව “තෙවැනි පාර්ශවයේ” අපේක්ෂකයා හැටියට, එනම් පුන්ටෝ ෆිහෝ දේශපාලන ක්‍රමයේ වංචා දූෂණ වලට විකල්පය හැටියට තමන්ව ඉදිරිපත් කළේය.

එතෙක් වෙනිසියුලාවේ සිද්ධ වූ ආර්ථික කඩා වැටීම රාජ්‍ය මැදිහත්වීම් ක්‍රමයෙන් වැඩිවීම නිසා වුවත්, චෑවේස්ගේ පාලනය යටතේ ක්‍රෑර ලෙසින් ගෙන එන්නේ තවත් දැඩි රාජ්‍ය මැදිහත්වීම් පුළුල් හා සීඝ්‍ර ලෙසින් පිහිටුවීමයි.

මුල්‍ය පාලනය, බුක්තිය පැහැර ගැනීම, මිල පාලන සමාජ සුබ සාධන ව්‍යාපෘති තවත් දුරට පවත්වාගෙන යන්නට රජය සතු තෙල් කොම්පැණිය භාවිතය ද උගෝ චෑවේස්ගේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිය වූයේය.

ඒ වෙද්දී වෙනිසියුලාවේ දේශපාලන ආයතන සහමුලින් කඩාවැටී තිබිණ. ජනමාධ්‍ය මර්ධනය වී තිබිණ. දේශපාලන ක්‍රියාකරුවන් චෑවේස්ගේ අතින් මානුෂීය අයිතීන් උල්ලංඝණවලට ගොදුරු වූහ.

2003 සිට 2010 දක්වා තෙල් මිල ගණන් ඉහළ යෑම නිසා ඔහුගේ සමාජවාදී වැඩසටහන් සඳහා මුල්‍ය සපයන්නට චෑවේස්ට හැකියාව ලැබිණ. ඒත් තෙල් මිල ගණන් පහළ වැටෙද්දී ආර්ථිකය වැඩ කරන ආකාරය නැවතත් එලෙසින්ම දකින්නට ලැබීමෙන් ඒ සුබසාධන යළිත් නැවතිණ.

2013 දී උගෝ චෑවේස් මිය ගියා වුවත් මේ දක්වා ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ නිකොලාස් මධූරෝ ඒ ක්‍රෑර පාලනය එලෙසින්ම පවත්වාගෙන යයි.

අද වෙනිසියුලාව අසාර්ථක රාජ්‍යයයකි. රුසියාවේ ව්ලැඩිමියර් පූටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ අද වෙනිසියුලාවට නැවතත් ඉහළ තෙල් මිලක් ලබාගන්නට හැකියාව පෑදී ඇත.

රජය මැදිහත්වීමෙන් සමහර පිරිසකට සුබසාධනය බෙදමින් දේශපාලන බලය අල්ලාගෙන සිටිනවා වෙනුවට ඕනෑම රටක් පෞද්ගලික අංශයේ නූතනකරණයට ඉඩ දී, දේශීය විදේශීය වෙළඳපල ව්‍යවසායකයන්ට වෙළඳාම සඳහා ඉඩකඩක් දී, සහ මුල්‍ය සඳහා මැදිහත්වීම් අවම කරනවා නම් ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහළ ගියා හෝ පහළ ගියා හෝ එරට සියළු වැසියන්ට සමෘද්ධිමත් ජීවිත ගත කරන්නට හැකියාව ලැබෙයි.

කලින් ලියූ සටහන්:

වෙනිසියුලාව හමුදාවේ පාලනයකට පත්වී ඇත්ද?

වෙනිසියුලාවේ රන් ටොන් 35.8 ක් ඈවර කරයි

මාරකඅවිය නොහොත් උගෝ චෑවේස්ගේ විජට්ටුව

වෙනිසියුලාවේ රහසිගත බිට්කොයින් ආර්ථිකය

දුර්ජනයන්ට මං පාදා දීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: