අරුණි ශපීරෝ‍ වෙතින්

යන මාර්ගය දැන්වත් වෙනස් කරන්න!

Posted in Uncategorized by arunishapiro on මාර්තු 30, 2022

අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා ඇතිවන දුර්භාග්‍ය තත්ත්වය ගැන වසර 13 ක් තරම් කාලයක සිට නිතිපතා ලියමින් සිටින බ්ලොග් එකකි මෙය. මෙහි අදහස් ඉඳහිටෙක ප්‍රධාන මාධ්‍යයන් හරහා කතාබහට ලක් කළ කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට (ඒ අයට මගේ ස්තූතිය) අද මුහුණ දෙන ඵලවිපාක අත්විඳින්නට සිද්ධවේ යැයි මෙය කියවන්නට පැමිණි බහුතරය විශ්වාස නොකළහ.

මෙහි දී ඉදිරිපත් කළ අදහස් සොයා බැලීම වෙනුවට රටක ආර්ථිකය හසුරවන්නටත් ලෝකයේ පරිසරය රැකගන්නටත් රජයක නියාමන වැඩි කිරීම අවශ්‍ය යැයි කියන්නට මෙහි ආ ගිය බහුතරය පෙළ ගැසෙන ලද්දහ. ඒ ලංකාවේ සිට මෙය කියවන අය පමණක් නොවේ. ඔවුන් බහුතරය බටහිර රටවල වාසය කරන අය වෙති.

“ආර්ථික පින්තූරය මුළුමනින්ම සැකසෙන්නේ නිරන්තර වූ කුඩා වෙනස්කම් තුලින්” යන ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් ලියූ සත්‍යය, එනම් ඒ නිසා රජයක් සමාජයේ දැනුම භාවිතය නොදන්නවා යැයි මේ අය තවමත් පිළිනොගනිති.

සමෘද්ධිය සඳහා ඇත්තේ එක මාර්ගයක් පමණි. එනම් රජයේ නියාමන අවම කර, දේපල අයිතිය සහ නීතියේ රීතිය ආරක්ෂා කර, වෙළඳපලට ඉඩදීමයි. බටහිර රටවල් සියල්ලම සමෘද්ධිය කරා ගියේ ඉහත පිළිවෙත් අනුගමනය කළ කාලයන්හි දී ය. ඒවායෙන් ඈත්වෙද්දී දුර්භාග්‍ය කරා ද, ඒවා යළි ස්ථාපිත කරගනිද්දී සමෘද්ධිය කරා ද ඔවුන් ගමන් කරති.

අනිකුත් සියළු පිළිවෙත් දුර්භාග්‍යයය කරා යන මාර්ග වෙති.

ඒ දුර්භාග්‍ය කාලයට දැන් ලංකාව පිවිස ඇත. ලංකාව අද වැටී සිටින්නේ වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කිය, සූඩාන් යනාදී රටවල් හා සමාන තත්ත්වයටයි. ඒ එකදු රටක් හෝ සංක්‍රමණිකයන් හෝ සරණාගතයන් ලෙසින් මිනිසුන් ඇතුල්වන්නට තැත්කරන රටවල් නොවෙති. ඒවා මිනිසුන් අත්හැර යන රටවල් වෙති.

මිනිසා යනු රැකියාවක් සඳහා ශ්‍රමය වෙහෙසන්නට අකමැති සත්වයෙකි. මිනිසා යනු ඒත් බොහෝ දේ තමන් සතු කරගන්නට කැමති සත්වයෙකි.

මෙම මිනිස් ස්වභාවයන් නිසා ඔහු මුදල් උපයන්නට රැකියාවක නියැළෙයි. මුදල් උපයන හැකියාව ඇතිවන්නේ වෙළඳපලට භාණ්ඩ හා සේවා සැපයීමේ දී පමණි.

රජයේ රැකියා යනු මුදල් උත්පාදනය කරන රැකියා නොව රටවැසියන්ගේ මුදල් වැය කරන රැකියාවන් වෙති. රජයේ රැකියා යනු වෙළඳපලට බාධක පනවන රැකියා මිසෙක ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලන රැකියා නොවෙති.

1980 ගණන් මැද දී ලංකාව අත්හැර දා බටහිර රටවල්වලට පැමිණි බොහෝ දෙනෙක්, තවමත් තරයේ අල්ලාගෙන සිටින දැක්ම අද ලංකාවේ වාසය කරන බහුතර වාසීන්ගේ දැක්මෙන් වෙනස් නොවේ. ඔවුන් තමන් කළ කී වාමාංශික දේශපාලන කටයුතු නිසා තවදුරටත් ලංකාවේ වාසය ආරක්ෂිත නොවූ නිසා මෙන්ම ඒ පිට දමා ආර්ථික වාසි පිණිස බටහිර රටවල්වලට ගිය අයයි.

ජෝ බයිඩන්ගේ පුතා සහ මහින්ද රාජපක්ෂගේ පුතා ගැන සටහනක් මා ලියුවේ 2009 දී ය. අද එහි සඳහන් වැඩිමහල් පුතා වූ බෝ බයිඩන් ජීවතුන් අතර නැත. ඒත් ඇමෙරිකන් ජනතාවට අද දැනගන්නට ලැබී ඇත්තේ ඉතා දූෂිත සහ අසික්කිත ලෙසින් කටයුතු කර ඇති දෙවැනි පුතා වූ හන්ටර් බයිඩන් ගේ ක්‍රියාකලාපයයි. ජනතාව අඳුරේ සහ පෝලිම්වල සිටිය දී flyboard රසාස්වාදයක් අත්වින්ඳ මහින්ද රාජපක්ෂගේ පුතා වෙනුවට බංගලාදේශයෙන් ණය ආධාර ඉල්ලන තත්ත්වයට රට වට්ටන ලද මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ ගැන අද ලෝකයාට අහන්නට සිද්ධ වී ඇත.

ආදායම් බදු අයින් කර දැමීම රටේ සියල්ලන්ටම නිර්දේශිත විය යුතුයි යන්න ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලයේ එවක සභාපති ධූරය හොබවන ලද අනුර ඒකනායක විසින් ඉදිරිපත් කළ යුතු වූ යෝජනාව යැයි මම 2009 දී ලිව්වෙමි. ඉහත සඳහන් කළ රටවල් වෙනුවට ලංකාව අද බර්මියුඩා, මොනාකෝ, බහාමාස්, සහ UAE යනාදී රටවල් සමඟ වැටුණා නම් අත්හැර දමා යනවා වෙනුවට රටට ආයෝජන සඳහා ඇදී එන අයව බාරගන්නට තවත් ගුවන්තොටුපලක් හදන්නට සිද්ධවෙනවා නොවේද! ඒත් ඉතින් තවමත් රටේ ඉන්නේ පෝසතුන් ගෙන් කපාගෙන තම පාලකයන්ගේ පසුම්බි තරකරන්නට කැමති බහුතරයයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය ගැන දකින්නට ඇති සංවාද සොච්චම සමඟ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ප්‍රොෆයිල් පිංතූර දැමූ අයත් සහ විල් ස්මිත් දුන් කම්මුල් පහර ගැන ලියූ මහා රැල්ලත් සසඳා බලද්දී, ලංකාවේ අයට ලෝකයේ යුද්ධ ගැන අහන්නට ලැබෙන්නේ ඇමෙරිකාව ගෑවෙන තැනේ පටන් බව ඔප්පු කරයි. මේ කියමන ගැන සැක දුරු කරගන්නට අවශ්‍ය නම් ඔය අමුණා ඇති පෝස්ට් එකේ කමෙන්ට් කියවා බලන්න!

සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහිකරයි ද? වසර 18 කට ආසන්න කාලයක් බලයේ සිටින ව්ලැඩ්මියර් පූටින් යුක්රේනය ආක්‍රමණය කර දරුවන් සිටින තැනක් යැයි මහ ලොකු අකුරින් ලියා ඇති ගොඩනැඟිල්ලකට බෝම්බ දැම්මේ ය. ඒත් දරු බර උසුලමින් සිටි කාන්තාවට තුවක්කුවක් මාන ලද ෆ්ලොයිඩ් වෙනුවෙන් පෙනී සිටි මහා අවිහිංසාවාදී ලාංකිකයන් කිසිවෙක් යුක්රේනයේ දරුවන් නොදැක්කා සේ සිටියහ.

ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් ලියූ “ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සම” සිංහල බසට පරිවර්තනය කළේ 2014 දී ය. තවමත් ලංකාවේ වැසියන් දැඩි සේ කරපින්නාගෙන ඉන්නේ දේශීය වෙළඳපල දේශීය කර්මාන්ත සඳහා වෙන්කර තබාගැනීම සුදුසු යැයි කියන විශ්වාසයයි.

පාලකයන් වෙනස් කරන්නට මහමඟට බහින්නට අද ලංකාවේ වැසියන් සූදානම් වෙමින් සිටිති. ඒත්, ලංකාවේ බහුතර වැසියන් තමන් කරපින්නාගත් වැරදි දැක්ම වෙනස් කරන්නට සූදානම් නැත. ඒ වැරදි දැක්ම කරපින්නාගෙනම කෙසේ හෝ බටහිර රටකට පැනගන්නට හැකිනම් ඔවුන් අතර බහුතරය එය කරනු ඇත. බටහිර රටවලට පැනගත් අය අතර බහුතරය ද ඒ වැරදි දැක්ම වෙනුවෙන්ම තව දුරටත් පෙනී සිටිති. එහි හානිය දකින්නට ඔවුන් ඇස් ඇර නොබලති.

පාලකයන් මාරු කළාට රටක් දියුණු නොවේ. අනුගමනය කරන වැරදි පිළිවෙත්වලින් අයින් වෙන්නේ කවදාද රටක දියුණුව ඇරඹෙන්නේ එදාටයි.

බටහිර රටකට පිවිසි පමණින් ඔබගේ දියුණුව සාක්ෂාත් වුවත් එරට ද තමන් අත්හැර දමා ආ වැරදි මාර්ගයේ යන රටක් බවට හරවන පිළිවෙත් සඳහා ඔබ පෙනී සිටින්නේ නම් ඔබ ඔබගේ දරුමල්ලන්ට දායාද කරන්නේ තමන් හැර දමා ආ රටේ තත්ත්වයයි. ඔබට එන්නට බටහිර රටක් තිබුණි. ඔබේ දරුවන්ට යන්න තැනක් නැතිවන තත්ත්වයක් දායාද නොකරන්න.

ඔබ ඇමෙරිකාවේ වාසය කරන්නේ නම්, ඇමෙරිකාවට පදිංචියට එන්න අදහස් කරනවා නම් එයත් ලංකාවක් නොකරන්න යැයි කරුණාවෙන් ඉල්ලා සිටිමි!

නිර්ධන පංතියේ පළමු විප්ලවය ගැන ඔබට අසන්නට ලැබී නැති කොටස

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 19, 2022

නිර්ධන පංතියේ අභිප්‍රායයන් කුමක් වී දැයි කියා නිර්ධනයන් වෙතින් සටනට පෙර විමසන ලද අවස්ථා ඉතිහාසයේ සොයාගන්නට නොහැකි තරම් ය. නිර්ධන පංතිය වෙනුවෙන් කියා නිර්ධන නොවූ අය විසින් පාලන බලය අල්ලා ගන්නා ලද අවස්ථාවන් නම් වාමාංශික ඉතිහාසයෙන් එමට දැකිය හැකියි. ඒ සෑම අවස්ථාවක දී ම නිර්ධනයන්ට අත්වූයේ ඉතා ඛේදනීය වූ තත්ත්වයන්ය.

නිර්ධන පංතියේ පළමු විප්ලවය හැටියට බොහෝ වාමාංශිකයන් දක්වන්නේ පැරිස් ප්‍රජාසංඝය (කොමියුනය) බිහි වූ 1871 නැඟී සිටීමය.

ප්‍රංශය ගැන කාල් මාක්ස් ඉදිරිපත් කළ කෘති ත්‍රිත්වය මෙසේය: ප්‍රංශයේ පංති අරගල (The Class Struggles in France, 1848-1850), ලුවි බොනපාට්ගේ දහඅට වැනි බෘමෙයර් දිනය (The Eighteenth Brumaire of Louis Bonaparte) සහ ප්‍රංශයේ සිවිල් යුද්ධය (The Civil War in France).

දාස් කපිතාල් හි මෙන්ම කොමියුනිස්ට් මැනිෆෙස්ටෝවේ ද සඳහන් කරන ලද ප්‍රාග්ධන හිමියන් සහ ශ්‍රමිකයන් අතර ගැටුමක් පවතින ධනවාදී සමාජය ගැන දක්වන වියුක්ත (abstract) ප්‍රස්තුතයන්ට අනුකූල නොවන ආකාරයෙන් වෙනස් මාර්ගයක් කාල් මාක්ස් මෙහි දී අනුගමනය කර ඇත.

කොමියුනිස්ට් මැනිෆෙස්ටෝවේ (1848) මූලික සංකල්පය නම් “පංතිය” සහ “පංති අරගලයයි.” ඒත් කිසිම අවස්ථාවක මාක්ස් පංතිය යනු කුමක්දැයි කියා ලියුවේ නැත. ඔහුගේ ලියැවිලි තුළ “පංතිය” නොවන්නේ මොනවාදැයි කියා නම් බෙහෙවින් දකින්නට හැකියි.

වැඩකරන ජනතාවට වඩාත්ම සුදුසු දේශපාලන ක්‍රමය සමාජවාදය යැයි කාල් මාක්ස් ලියද්දී, පංති කැමැත්ත තුළින් ඒකීය පුද්ගලයාගේ සිතුවිලි තීන්දු කරන බව කාල් මාක්ස් අභ්‍යූපගමනය කරන ලදි. එය කිසිම ලෙසකින් ඔප්පු කරන්නට ඔහු සමත් නොවූ නිසා ඔහු පංතිය යන්න කුමක්දැයි ලියන්නට ද ගියේ නැත.

“කැමැත්තන්” (interests) මිනිසාගේ අදහස් සහ සිතුවිලිවලින් ස්වාධීනව පවතින්නක් යැයි මාක්ස් විශ්වාස කළේය. පංති කැමැත්තන් ඒකීය පුද්ගලයන්ගේ සිතුවිලි තීරණය කරන නිසා විවිධ පංති අතර විසඳාගත නොහැකි පරිද්දෙන් ගැටුම් ඇතිවෙනවා යන්න මාක්ස්ගේ මතයයි. එහි දී විසඳුම සමාජවාදී පාලන ක්‍රමයයි.

මිනිසාට කැමැත්තන් ඇත, ඒ නිසා මිනිසුන් ඒ කැමැත්තන් අනුව ක්‍රියා කළ යුතුය යැයි කීමෙන් පමණක් ඒකීය පුද්ගලයාගේ කැමැත්ත පිළිබඳ ගැටළුව විසඳිය නොහැකි බව කාල් මාක්ස් පිළිගත්තේ නැත. වර්තමානයේ බොහෝ පිරිසක් මේ පරස්පරය හඳුනාගන්නට අසමත්ව සිටිති.

මිනිසුන්ට කැමැත්තන් ඇති හෙයින් ඒවායේ අවසන් නිශ්ටාවන් මොනවාද?

එම නිශ්ටාවන් වෙත ළඟාවීමට ඔවුන් යොදාගන්නා ක්‍රම මොනවා ද?

ඒ ප්‍රශ්න දෙක වැඩකරන ජනතාව වෙතින් අහන්නට වාමාංශිකයන් අකමැති වෙති. ඔවුන් ඒවා වැඩකරන ජනතාව වෙතින් නොවිමසා විසඳුම පමණක් සමාජවාදය හැටියට දිගින් දිගටම පිළිගන්වති.

1848 දී කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව ලියද්දී විප්ලවය අත ළඟ යැයි කියා මාක්ස් විශ්වාස කළේය. එහෙත් ඔවුන්ගේ පළමු ජාත්‍යන්තරය එවක ලන්ඩනයේ විසූ වැඩකරන ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වූයේ නැත. වැඩ කරන ජනතාවගේ කැමැත්තන් වෙනස් බව පෙනී යද්දී කාල් මාක්ස් මැදිහත්වීම් මෙහෙයුම් දහයක ලැයිස්තුවක් ලිවීය. ඒවා අතර ආදායම් බදු, උරුමයෙන් ලැබෙන වත්කම් මූලෝත්පාටනය, සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ වූහ. අනිවාර්යෙන්ම එන සමාජවාදය එසේ ආවේ නැති නිසා එය ගෙන්වා ගැනීමට මේ මැදිහත්වීම් අවශ්‍ය යැයි මාක්ස් කියා සිටියේය.

ප්‍රංශයේ පිහිටවනු ලැබූ දෙවැනි ජාත්‍යන්තරය ද සාර්ථක නොවීය.

ඉතින් මැදිහත්වීම් හරහා සමාජවාදය ගෙනෙත හැකි යැයි 1848 දී කාල් මාක්ස් විශ්වාස කළේය. ඒත් 1859 දී, එනම් කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව ලියා වසර 11 ක් ගෙවී යද්දී මාක්ස් සහ එංගල්ස් නීති සම්පාදනය හරහා කරන මැදිහත්වීම් ප්‍රතිපත්ති අත්හැර දමා එක රැයින් කරන රැඩිකල් වෙනසකින් සමාජවාදය ගෙනෙත හැකි යැයි කියා සිටියහ.

ධනවාදී අදියර අත්හැර සමාජවාදය කරා යා හැකි යැයි කියා කාල් මාක්ස් තමන්ගේ රුසියානු හිතවතෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරක් ලිවීය. ඒත් එක රටකට එසේ කළ හැකි නම්, එනම් අනිවාර්යෙන්ම මුහුණ දෙන්නට වෙන අදියරක් අත්හැරිය හැකි නම්, එහි දී ඔහුගේ සමස්ත දැක්ම ප්‍රතික්ෂේප වෙන බව වැටහුණ නිසා ඔහු ඒ සටහන පළ කළේ නැත. ඒත් කාල් මාක්ස්ගේ ලිපි අතරින් එය දකින එංගල්ස් එය පිටපත් කර වේරා සසුලිච් (Vera Zasulich) වෙත යැවීය. ඇය එය මුද්‍රණය කළාය. බොල්ෂෙවික් පක්ෂය ඒ ලිපිය තම වාසියට යොදා ගත්හ.

1870 දී ප්‍රංශ වැසියන් සහ ජර්මන් වැසියන් යුද්ධ කළේ එරට පාලනය කළ අයට යුද්ධ අවශ්‍ය වී තිබීම නිසා මිසෙක ඒ යුද්ධ එම රටවල වැඩකරන ජනතාවගේ කැමැත්ත වූ නිසා නොවීය. වර්තමානයේ දී ද බොහෝ යුද්ධ හටගන්නේ පාලකයන්ගේ කැමත්ත නිසා මිසෙක වැඩකරන ජනතාවගේ කැමැත්ත නිසා නොවේ.

ප්‍රංශ විප්ලවය ගැන ඔබට අසන්නට ලැබී නැති කොටස මම 2012 දී මෙසේ ඉදිරිපත් කළෙමි:
හිමිතැන නොදැන මිනිස් ඝාතනයක් කළ ප්‍රංශ විප්ලවය

ප්‍රංශ විප්ලවයෙන් පසුව එරට බිහි වූයේ නිදහස් වෙළඳපල ධනවාදී ක්‍රමයක් නොවේ. වාමාංශිකයන් එය “නව ධනවාදී සමාජ ක්‍රමය” යැයි හැඳින්වූයේ ඔවුන් එය නිදහස් වෙළඳපල ධනවාදය නොවන බව කියන්නට අකමැති වූ නිසයි.

නිදහස් වෙළඳපල ධනවාදයක් නොපැවති නිසාම, එනම් දේපල අයිතියේ ආරක්ෂාව, ඒකීය පුද්ගල නිදහස, සීමිත ආණ්ඩුව යනාදිය නොපැවති හෙයින් සමාජයේ ගැටුම් සහ ප්‍රතිවිරෝධතා දිගින් දිගටම දකින්නට ලැබුණි.

ප්‍රංශයේ වැඩකරන ජනතාව අතිශය ඛේදනීය වූ තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටියහ.

පැරිස් ප්‍රජාසංඝය වෙනුවෙන් වැඩකරන ජනතාව නැඟී සිටිනවා යැයි අහන්නට ලැබෙද්දී කාල් මාක්ස් ලියුවේ ඔවුන් “බලාපොරොත්තු සුන්වීම නිසා යෙදෙන අනුවණ ක්‍රියාවක” නියැළෙනවා කියායි. මාක්ස් උපදෙස් දුන්නේ ඔවුනට ජනරජය හා එකතුවී වැඩ කරන්නට යැයි කියායි. මාක්ස් ඔහුගේ ලිපිය අවසන් කළේ “ජනරජයට දීඝායූ වේවා” (Vive la République) කියායි. ඒත් ඉතා ඉක්මණින් එය වැඩකරන ජනතාවගේ විප්ලවයක් හැටියට දක්වා ඊට සහාය දීමට මාක්ස් එකතු වූයේය. දින 72 ක දී සමාජවාදයකින් තොරව එහි නිමාව දකිද්දී මාක්ස් එය පංති සටන ගැන ලියන්නට අවස්ථාවක් කරගත්තේ ය.

වර්තමාන වාමාංශිකයන් කාල් මාක්ස්ගේ ප්‍රංශයේ සිවිල් යුද්ධය පොත විප්ලවවාදීන්ට කොමියුනිස්ට් සමාජයක් සඳහා නිවැරදි මඟ පෙන්වන්නක් යැයි සලකති.

කාල් මාක්ස් ලියූ දේ හැරෙන්නට පැරිස් ප්‍රජාසංඝයේ පරමාදර්ශ ගැන ලෝකයේ වැඩි පිරිසක් දැනගන්නේ බ්ලාන්කි (Blanqui) ගේ ජැකෝබින්වාදය සහ පෘඩොන් සහ බකුනින් ඉදිරිපත් කළ ජාත්‍යන්තරවාදය යන පැතිකඩවලින්. එහෙත් ඊට වෙනස් වූ දැක්මක් ලොවට ඉදිරිපත් කළ ඉතිහාසඥයන් සහ සමාජවිද්‍යාඥයන් සිටින බව ඔබ දැන සිටිනවා ද?

1871 මාර්තු 18 දින දකින්නට ලැබෙන ජනතා විරෝධය යනු ප්‍රංශ රජය එහි අධිකාරි බලය යළි ස්ථාපිත කරගන්නට ගත් වෑයමකට එරෙහිව හට ගත්තකි. රාජාණ්ඩු ක්‍රමයකට නිරතුරුව කැමත්තක් දක්වන සහ පරාජිත වූ යුද්ධයෙන් පීඩාවට වැඩියෙන්ම මුහුණ දී සිටි අගනගරය ගැන කිසිදු අනුකම්පාවක් නොදක්වන ජාතික මන්ත්‍රණ සභාව ගැන පැරීසියේ වැසියන්ගේ අකමැත්ත දැඩි වී තිබිණ.

උදා වී තිබුණේ බලයේ සිටින අධිකාරිය අසාර්ථක යැයි ප්‍රංශ ජනතාවට පැහැදිලිවම පෙනී ගිය අවස්ථාවකි.

නව දේශපාලන ක්‍රමයක් ගැන සාකච්ඡා ඇති වූයේ එවැනි පසුබිමක.

ආඥාදායක සහ මධ්‍යගත වූ පාලන ක්‍රමයට ප්‍රතිචාර වශයෙන් වාම අදහස් ඇති අය, නගරසභා ලෙසින් නිදහස ඉල්ලා සිටින්නට එකමුතු වූ සිටියේ දෙවැනි අධිරාජ්‍ය (Second Empire) සමයේ ය. මෙය ප්‍රංශයේ සියළු නගරවලට ලබා ගැනීමට හැකියාවක් ඇතැයි සිතීම නිසා අනෙක් නගරවලින් ද තවත් ජනතාවක් ඊට එකතු වූහ.

ඒත් වටලෑම (siege) කාලයේ දී පැරිසිය තුළ මේ නගර සභා ආණ්ඩු ඉල්ලා සිටීමේ උද්යාචනය 1793 විප්ලවීය ප්‍රජාව සඳහා වූ උද්යාචනයක් බවට හිමිහිට හරවාගන්නා ලද්දේ ය.

එයින් සියළු දෙනාගේම ගැටළු විසඳන්නට හැකියාව ලැබෙනවා යන මිථ්‍යාව ඉදිරිපත් කෙරිණ. Conseil fédéral des sections parisiennes de l’Internationale සහ Chambre fédérale des sociétés ouvriéres යන ආයතන කියා සිටියේ මේ විසඳුම් ලබාදෙන සමාජ ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නේ ප්‍රජාසංඝය වෙතින් කියායි.

1793 ජැකොබින් ප්‍රජාවගේ ආගමනයක් නැවත ඇතිවීම තරයේ ප්‍රතික්ෂේපක කළ, එසේම විශාල සමාජ ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් නොවූ ඒත් විමධ්‍යගත රජයක් කැමති වූ මධ්‍යස්ථ රිපබ්ලිකන් අය ඒ විසඳුම ඉල්ලා සිටියේ නැත.

කෙසේ වෙතත්, ප්‍රජාව යන වචනය මධ්‍යස්ථ රිපබ්ලිකන්, දේශප්‍රේමීන් සහ සහ සමාජ ප්‍රතිසංස්කරණ රිසි වූ සියල්ලන්වම එකමුතු කරන ලද්ද වූයේය.

ප්‍රංශයේ සිවිල් යුද්ධය හි ප්‍රජාසංඝය විස්තර කරද්දී මාක්ස් යොදාගන්නේ අප්‍රේල් 19 වැනිදා ප්‍රකාශිත නිල ප්‍රකාශයයි. පියෙර් ඩෙනිස් (Pierre Denis) සහ ලුවි චාල්ස් ඩෙලික්ලූස (Louis Charles Delescluze) ලියන ලද එය උලුප්පා දැක්වූයේ සමාජ ප්‍රතිසංස්කරණ සහ දේශපාලන විමධ්‍යගත කිරීම් ය. දේශපාලන විමධ්‍යගත යන්නෙන් ඔවුන් අදහස් කළේ හැකි තරම් ජනතාවක් තීරණ ගැනීමේ ක්‍රියාවලියට දිගින් දිගටම සම්බන්ධ කරගැනීමයි. එහි දී මැන්ඩේට් (mandates) සහ අවලංගු කිරීම් (revocation) සඳහා තේරී පත් වූ නියෝජිතයන්ට සහ බලධාරීන්ට මුහුණ දෙන්නට සිදුවේ.

පැරීසියේ වැඩි ජනතාවගේ කැමැත්ත ලබාගැනීම ඉලක්ක කරගෙන එම නිල ප්‍රකාශය ඉදිරිපත් කළ බව ප්‍රජාසංඝයේ අනිකුත් සාමාජිකයන් එහි දී දැක්වූ අදහස්වලින් පෙනී යයි.

දේශපාලන තීරණ ගන්න යැයි අභ්‍යන්තර ලෙසින් සහ හමුදා ප්‍රතිචාර දක්වන්න යැයි බාහිර ලෙසින් පැරීසියට එල්ල වූ පීඩන හමුවේ නීතිමය ආණ්ඩුවක් අයින්වීම නිසා අනපේක්ෂිත ලෙසින් බලයට පත් වූවන්ගේ ප්‍රතිචාරයක් හැටියට ප්‍රජාසංඝය වටහා ගන්නට පුළුවනි.

හටගත් විවිධාකාර වූ අර්බූද ඉදිරියේ දී ජැකොබින්-ජාත්‍යන්තරවාදී හවුලේ පරමාදර්ශ පහසුවෙන් හඳුනාගත හැකි නිශ්චිත ඒවා නොවූහ. නගරයේ වැසියන් කල්ලි ගැසී විසඳුම් ඉල්ලා ගෙනෙන ලද පීඩනය හමුවේ ප්‍රජාසංඝයට දේශපාලන නායකයන් තෝරා ගන්නා ලද්දේ හිතාමතා ය. ඔවුන්ගේ ඒකීය පුද්ගල ලක්ෂණ, පුද්ගලික හැදියාව සහ පසුගිය අරගලවල දී ලත් අත්දැකීම් ගැන වැඩි අවධානයක් යොමු කෙරිණ.
ඔව් ඉතින් පංති කැමැත්ත වෙනුවෙන් සටන් කරන්න එදත් ඒකීය පුද්ගල ලක්ෂණ, පුද්ගලික හැදියාව සහ පෞද්ගලික අත්දැකීම් අවශ්‍ය වූණා!

කොමියුනිස්ට්වාදීන් පැරිස් ප්‍රජාසංඝය දක්වන්නේ කොමියුනිස්ට් විප්ලවයේ ශ්‍රමිකයන් වෙතින් හටගත් පළමු සටන ලෙසිනි. එහෙත් සාමූහික දේශපාලන සවිඥානයක් පැරිස් ප්‍රජාසංඝයේ තිබුණා ද යන්න සැක බව දක්වන ඉතිහාස සටහන් බොහොමයකි.

පැරිස් ප්‍රජාසංඝයේ මන්ත්‍රණ සභාවට තෝරා ගන්නා ලද අය සහ ප්‍රජාසංඝය ආරක්ෂා කරගන්නට පෙනී සිටි අය වෙතින් මීට උදාහරණ පෙන්විය හැකියි.

“ප්‍රජාසංඝය යනු අවහිරයක් (barricade) මිසෙක ආණ්ඩුවක් නොවේ යැයි මේ මිනිස්සුන්ට කිසිත් ලෙසකින් අවබෝධ වෙන්නේ නැහැ.” P. O. Lissagaray විසින් මහජන ආරක්ෂා කමිටුව පිහිටුවීම ගැන පැමිණිලි ගෙනෙන ප්‍රජාසංඝ සාමාජිකයන් සුලු පිරිස සම්බන්ධයෙන් කියන ලදි.

අපැහැදිලි පරමාදර්ශ වලින් සාමූහිකයක් රැස් කරගන්නට පහසුයි. ඒත් අර්බූදයක දී යම් ක්‍රියාපටිපාටියක් ගැනීම අත්‍යවශ්‍යයයි. ක්‍රියාවේ ස්වභාවය ගැන සමූහයේ එකඟත්වය ලබාගැනීම දුෂ්කර වූවකි.

ප්‍රජාසංඝය තුළ විසූ සේවානියුක්තිකයන් අතර වේතන බොහෝ දුරට සමානව පවත්වා ගැනීමට, පල්ලියෙන් අයින් වීම සහ අධ්‍යාපනය ආගම්වල බලපෑමෙන් මුදා ගැනීම යනාදියට ප්‍රජාසංඝයේ මන්ත්‍රණ සභාව එකඟ වුවත් දේපල සබඳතා වෙනස් කිරීමේ දී සාමූහිකය කැමති කරවා ගන්නට නොහැකි විය.

නගරසභාවේ පැවති බඩු උකස්කරන සාප්පුවල තිබුණ බඩු නිදහස් කිරීම ගැන ප්‍රජාසංඝයේ සාමාජිකයන් ෆ්‍රෑන්ක් 20 කට වැඩි ඒවා ද නැත්නම් 30 කට වැඩි ඒවා ද වශයෙන් තර්ක කළහ. අවසානයේ දී ඇඳුම්, ලී බඩු, පොත් සහ මෙවලම් පමණක් ඒවායෙන් මුදල් නොගෙවා අයින් කරගන්නට ඉඩ දුන්හ.

වසර ගණනාවක් තිස්සේ රාත්‍රී වැඩ මුරය ගැන විරෝධය පාමින් සිටි බේකරි ශ්‍රමිකයන්ගේ අර්බූදය හමුවේ සේවා යෝජකයන් හා සේවා නියුක්තියන් අතරට මැදිහත්වීමට Billioray සහ Viard යන ප්‍රජාසංඝ සාමාජිකයන් දෙදෙනා විරෝධය ප්‍රකාශ කළහ. රාත්‍රී වැඩ මුරය අයින් කළ ද උදෑසන පහේ කණිසම යනු දවසේ වැඩ පටන් ගන්නා අවස්ථාව හැටියට ස්ථාපිත කිරීම “ප්‍රජාසංඝය විසින් හඳුන්වා දෙන ලද එකම සැබෑ සමාජවාදී නීතිය” යැයි ලියො ෆ්‍රෑන්කල් (Leó Frankel) විසින් කියන ලදි. ඔහුට අනුව එය යුක්ති සහගත නිසා සේවා යෝජකයන්ගෙන් විමසා බැලීම නුවුමනා විය.

ඒත් දේපල අයිතිය ගැන තැකීමක් දැක්වීම ප්‍රජාසංඝයේ මන්ත්‍රණ සභිකයන් අතර පොදුවේ පැවති මතයයි. ෆ්‍රෑන්කල් පවා “අනෙක් සියල්ල කෙසේ වෙතත් බංකොළොත්වීම් සිදු නොවන්නට සුළු ව්‍යාපාරිකයන්ට කාලයක් දිය යුතු” බව කියා සිටියේය.

බෝම්බ හෙළන ලද පැතිවල සරණගාත වූවන්ට අත්හැර දමා ගිය ගොඩනැඟිලිවල පමණක් පදිංචි වීමට අවසර දීම මගින් දේපල අයිතිය රැකීම සිද්ධ වූයේ ය. එයාකාරයෙන්ම අත්හැර දමා ගිය වැඩපොලවල් භාවිතය නීතියෙන් ස්ථාපිත වුවත් ප්‍රජාසංඝය කඩා වැටෙන්නට පෙර එය නීතියක් හැටියට ක්‍රියාත්මක නොකරන ලද්දේ ය.

හමුදා නිල ඇඳුම් නිපදවන අය සඳහා වරප්‍රසාදිත තත්ත්වයන් හිමි විය යුතු යැයි ද එය ශ්‍රමිකයන්ගේ සමිතියෙන් සිදුවිය යුතු යැයි ද, එසේම එය සාපේක්ෂිතව වැඩියෙන් වේතන ගෙවන සේවා යෝජකයන්ට බාර කළ යුතු යැයි ද ෆ්‍රෑන්කල් යෝජනා කළේය. ඔවුන් සේවා නියුක්තියන් සහ සේවා යෝජකයන් අතර එවක පැවති ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන්නට අත දැම්මේ නැත. එනමුත්, කම්කරු කොමිසමේ මුලසුන දැරූ ෆ්‍රෑන්කල් පවා විශ්වාස කළේ මාර්තු 18 වැනිදා විප්ලවය මුළුමනින්ම කම්කරු පංතියේ විප්ලවයක් කියායි!

අකාර්යක්ෂම තත්ත්වයන් හමුවේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා අලුත් කමිටුවක් පත් කරගන්නා ලදි. මැයි 17 වැනිදා Ostyn එහි රැස්වීමක දී මෙසේ කියා සිටියේය. “…මට අවුරුදු 48 ක්, මම කිසිම ජනප්‍රිය මන්ත්‍රණ සභාවකට කවදාවත් බැඳිලා නැහැ. මම වැඩ කරන පංතියේ කෙනෙක්. මම මේ දේශපාලන කුඩුකේඩුකම් (malice) ගැන කිසිවක් දන්නේ නැහැ. මෙතැන මම දකින දේවල් මාව පුදුමයට පත් කරනවා. මේ මන්ත්‍රණ සභාව වැඩියෙන් හොඳ, වැඩියෙන් වටින දෙයක් වේවි කියලයි මම බලාපොරොත්තු වුනේ.”

ශිල්ප ශාස්ත්‍රයන්හි නියැළුන ලද අය බහුල ලෙසින් සිටි කම්කරුවන් අතර පහත මැද පංතියේ යැයි සැලකෙන අය, එනම් කුඩා කඩ සාප්පුවල රැකියා කළ සහ කුඩා වැඩපොලවල් අයිති අය විශාල පිරිසක් සිටියහ. ඔවුන් සියල්ලන්ම බදු සහ කුලී ගෙවීම් යළි පිහිටුවන්නට යන තියේර්ස් රජයේ තර්ජනය හමුවේ අනාරක්ෂිතව සිටි සහ බෙහෙවින් දුප්පත් අය වූහ.

ප්‍රංශ යුද්ධය යනු සුළු පිරිසක් විසින් පාලනය තමනට වාසිවෙන පරිද්දෙන් ගෙන යාමට එරෙහිව දුප්පතුන් එකා මෙන් සහභාගී වූවකි. ඔවුන් ඉල්ලා සිටියේ සියල්ලන්ටම රැකියා අවස්ථා පාදන්න යැයි කියායි. මිනිස් උදාරත්වයට ඉඩ දෙන්න යැයි කියායි. ඉතින් දූසමාන පරමාර්ශ දක්වමින් සාමූහික මෙහෙයුමක් හදාගත හැකිවිය. ඒත් එය කම්කරුවන්ගේ නැත්නම් වැඩකරන ජනතාවගේ නැඟී සිටීමක් යැයි කියන්නට නොහැකියි.

ප්‍රජාසංඝය පටන් ගත්තේ දැඩි උනන්දුවකිනි. පළමු මැතිවරණයට චන්දදායකයන් 229,167 ක් සහභාගී වූහ. අප්‍රේල් 1 වැනිදා වෙද්දී ඉතිරිව සිටියේ 53,680 ක් පමණි. වාසෙයි (Versailles) හමුදාවට දෙන පළමු ප්‍රහාරයට ලක්ෂයක පිරිසක් එකතු වූහ. ඉන්පසුව 30-35,000 ක් සටන් සඳහා එක්රැස් (mobilize) කරගැනීමත් දුෂ්කර විය.

එහි දී ප්‍රජාසංඝයේ නීති තව තවත් නපුරු (repressive) වූහ. වහාම සහ දැඩි සමාජ විප්ලවයක් සඳහා බුර්ජුවාසියට සහ දේපලවලට පහර දීමත් පටන් ගැනිණ. මැදිහත්වීම් හරහා නොහැකි යැයි ද, එක රැයින් කරන රැඩිකල් වෙනසක් අවශ්‍ය යැයි ද ලියන ලද මාක්ස් මතය ප්‍රජසංඝයේ තනතුරු දරමින් සිටින වාමාංශිකයන්ගේ මතය විය.

“අපි ඔබට රැකියා පොරොන්දු වුණා, ඉතින් අපි එය ඔබට දෙන්නම්, ඒත් අපි මුලින් අරගලය කළ යුතුයි, ප්‍රජාසංඝය පාගා දමන්නට එන ප්‍රාග්ධන හිමියන්ට සහ සහ ධනවත් අයට විරුද්ධව. අපි ජයග්‍රහණය කරන එක සහතිකයි, ඒත් අපිට මේ සහයෝගය සෑම කෙනෙක් වෙතින්ම අවශ්‍යයයි. අපේ පියවරුන්ගෙන්, අපේ සැමියන්ගෙන්, අපි හොයන කීර්තිමත් අරමුණ, ශ්‍රමිකයන්ගේ නිදහස සඳහා අපේ සහෝදරයන් සටන් කරනවා…”

විශාල සංවිධාන හරහා කම්කරුවන් වැඩියෙන් සහභාගී වෙන බවක් පෙනිණ. ඒත් පංති අරගලය ගැන බොහෝ දෙනෙක් අතර වැඩි දැනුමක් නොවීය. දෙවැනි ජනරජයේ දී ජාතික මන්ත්‍රණ සභාව සඳහා වැඩකරන ජනතාව විසින් ප්‍රසාදය දක්වන ලද මැද පංතියේ චන්ද අපේක්ෂකයන්ව එහි දී ප්‍රතික්ෂේප වෙන්නට පටන් ගැනිණ. උදාහරණයක් හැටියට “එයා අපේ කෙනෙක් නොවේ, එයා බුර්ජුවාසි පංතියේ,” යැයි වික්ටර් හියුගෝ ගැන කියනු ලැබීය. පංතියේ අය කවුදැයි කියා තෝරාබේරා ගත නොහැකිව පැරිස් ප්‍රජාසංඝය අවුලක පැටලී සිටියහ.

ප්‍රජාසංඝය යනු නීතිමය ආණ්ඩුවක් හැටියට පිළිගන්නවාදැයි විමසද්දී, මේසන් බාස් රැකියාව කළ Léopold Caucheteux කියා සිටියේ “නැහැ, මම ඒක පිළිගත්තේ මට දවසකට ෆ්‍රෑන්ක් 2 ක් සහ සෙන්ටීම් 50 කුත්, මගේ භාර්යාවට සෙන්ටීම් 75 කුත් දෙන නිසයි, ඒකෙන් මගේ දරුවන්ට කන්න දෙන්න පුලුවන් නිසා.”

යන්ත්‍ර හසුරුවන ශිල්පියෙක් ලෙසින් රැකියාව කළ Emile Guillaume කියා සිටියේ ද එවැනිම හේතුවකි. “මට දරුවන් 7 ක් ඉන්නවා. මගේ භාර්යාව අසනීපෙන්. මට මගේ පවුලට කන්න දෙන්න වෙන ක්‍රමයක් තිබුණේ නැහැ.”

පළතුරු වෙළෙන්ඳෙක් වූ 51 වියැති François Godin “ජර්මන් වටලෑමේ දී මාත් එක්ක සේවය කළ අසල්වැසියන් හැමෝම එන්න කිව්ව නිසා මම බැහැයි කියන්න අකමැති වුණා. ඔවුන් හැම විටම මාව සොයාගෙන ආව…”

ප්‍රසියාවට එරෙහිව යුධ වැදි සේනාංකය සමඟ දිගටම රැඳී සිටිය අය ද පැරිස් ප්‍රජාසංඝය තුළ සිටියහ. ඔවුනට වෙන දේශපාලන දැක්මක් නොවූහ. ලිපිකරුවෙක් වූ Hippolyte Bisson එසේ ය.

පිත්තල වැඩකරන ශිල්පියෙක් වූ Hippolyte Fretel බිය නිසා රැඳී සිටියේය. “අනිත් අය තර්ජන කරපු නිසා මට පාගමන් යන්න සිද්ධ වුණා. ප්‍රජාසංඝයේ යුද්ධාධිකරණය හමුවට ගෙන යාවි කියල බයක් තිබුණ.”

මේසන් බාස් රැකියාව කළ Florent Bartholemy කියා සිටියේ මෙයයි: “මම වැඩ කරන තැනට ඔවුන් මාව සොයාගෙන ආවා. වෙඩි කන්න නැත්නම් පාගමන් යන්න සිද්ධ වුණා.”

අවසානයේ දී විප්ලවය තුළ මිනිස් ඝාතන සිද්ධ වූයේ සමාජවාදී ව්‍යාපාරයට කීර්තිමත් වීරයන් සහ මෘතවීරයන් ලබා දෙමින්. ප්‍රංශයේ වැඩකරන ජනතාවට අතිශය ඛේදනීය වූ තත්ත්වයන් අත් කරමින්.

මෙය ප්‍රාග්ධන හිමියන් සහ කම්කරුවන් අතර අරගලයක් හැටියට ප්‍රජාසංඝයේ නායකයන් බහුතරය විසින් දකින ලද්දා යන්නට තමන් එකඟ වුවත්, ඒ අය පැරිස් විප්ලවයේ අර්ථය ගැන කිසිම පැහැදිලි බවකින් තොර වූවා යැයි කියා අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය එඩ්වඩ් එස්. මේසන් (Edward S. Mason) පෙන්වා දුන්නේ ය. ලුවි ග්‍රීන්බර්ග් (Louis M. Greenberg) වැනි ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ මෙයට බහුතර වැඩකරන ජනතාව එකතු වූයේ එය ඒකීය පුද්ගල නිදහස සහ විමධ්‍යගත රජයක් සඳහා වූ අරගලයක් හැටියට ඔවුන් දකින ලද නිසයි. මේ අදහස් සුලු පිරිසක් දරන අදහස් නොවූවත් ඒවා පරිවර්තනය වීම සිදුනොවන බැවින් සිංහල පාඨකයාට දැනගන්නට නොලැබී යයි.

අගය පිළිබඳ මාක්ස්වාදී සංකල්පය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 7, 2022

මාක්ස්ට අගය පිළිබඳ න්‍යායයක් නොවීය. මාක්ස්ට තිබුණේ අගය ගැන නිර්වචනයක් නැත්නම් සංකල්පයකි. ඒ නිසා ආර්ථික න්‍යායයක් ඔප්පු කරන අවශ්‍යතාවය මඟහැර සිටින්නට ඔහුට හැකියාව ලැබිණ. “ඒ ඒ විශේෂ පරිභෝජන භාණ්ඩ වර්ග සඳහා සමාජයට යෙදවිය හැකි බැහැර දිය හැකි ශ්‍රම කාලය පරිභෝජන භාණ්ඩවල අගය පිළිබඳ නීතියේ දී තීන්දු වෙයි” (the law of value of commodities ultimately determines how much of its disposable working-time society can expend on each particular class of commodities) යැයි මාක්ස් දාස් කපිතාල් හි ලියයි. එය නිකුත් වූ කාලයේ වාසය කළ අය මාක්ස් වෙතින් මේ සංකල්පය ඔප්පු කරන්න යැයි ඉල්ලා සිටියහ. එහි දී හැම දරුවෙක්ම දන්නා දෙයක් ඔප්පු කරන්න යැයි මගෙන් ඉල්ලනවා කියා මම ඒ ගැන කියන්න යන්නේ නැහැ සති කිහිපයක් යද්දී ඉල්ලීම ගැන අමතක වී යාවි යනාදී වශයෙන් කියමින් මාක්ස් එයට පිළිතුර දීමෙන් වැළකී සිටියේය.

අතිරික්ත අගය සම්බන්ධයෙන් දාස් කපිතාල් හි පළමු වෙළුම ලියද්දී ඇති වූ ගැටළු විසඳාගන්නට මාක්ස්ට කිසිදිනක නොහැකි විය. දෙවැනි වෙළුම වසර 18 කින් පසුව සහ තෙවැනි වෙළුම වසර 27 කට පසුව නිකුත් වෙද්දී අර්ථ ශාස්ත්‍රය තුළ පැතිර ගිය ආන්තිකවාදයේ (Marginalism) විප්ලවීය අදහස් හමුවේ මාක්ස් තම දැක්ම විසඳාගත නොහැකි තැනකට පත්ව සිටියේය.

ධනපතියන් විසින් නිර්ධන පංතිය සූරාකෑම යන මාක්ස්වාදයේ ප්‍රධාන සංකල්පය විශ්වාස කරන බොහෝ පිරිසක් වර්තමානයේ ද සිටිති. “සමස්තයක් ලෙස බලන කල පෙර මෙන් ම අද වන විටත් බොහෝ රටවල නිර්ධන පංතිය සූරාකෑම දක්නට ලැබේ” යන්න 2015 දී කැළණිය විශ්වවිද්‍යාලීය ආර්ථික විද්‍යා විෂයය සඳහා නිබන්ධනයක් ලියූ සිසුන් තිදෙනෙකුගේ නිගමනය විය.

අර්ථ ශාස්ත්‍රමය ලෙසින් ඉදිරිපත් කළ ඔප්පු කළ හැකි න්‍යායයක් නොමැති හෙයින් මාක්ස් වෙතින් පිරිනැමුනේ මිනිසා විසින් මිනිසා සූරාකෑමේ යෙදෙන “අතිරික්ත අගය” යන සංකල්පයයි. මාක්ස්ගේ විශ්ලේෂණය නිෂ්පාදනයට සහාය දෙන ආයෝජන සම්පත් හෝ යන්ත්‍ර සූත්‍ර ගැන සලකා බැලීමක් නොවේ. ඔහුට අවශ්‍ය වූයේ ධනවාදය තුළ ගැටළු ඇතැයි මවා පාමින් සමාජවාදය විසඳුමක් හැටියට ඉදිරිපත් කිරීමයි. එහි දී ඔහු සමාජවාදී ආර්ථික ක්‍රමයක් විසින් අතිරික්ත අගය තුරන්කර සූරාකෑම නවත්වා දමනවා යැයි කියුවා පමණකි. එය සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළින් සාක්ෂාත් වෙන ආකාරය ගැන මාක්ස් හෝ එංගල්ස් හෝ ලියා නැත. ඔප්පු නොකරන ලද ආර්ථික න්‍යාය අනුව ඔවුන්ගේ පටලවා ඉදිරිපත් කළ ඉතිහාස න්‍යාය සහ ඔවුන්ගේ මාරාන්තික වූ දේශපාලන න්‍යාය රාජ්‍ය බලය හරහා මිනිසාගේ උදාරත්වය තුරන් කරන එකතුවක් බවට පත්විය.

අගය පිළිබඳ මාක්ස්වාදී සංකල්පය පැත්තකින් තබා තමන්ගේ ශ්‍රමයට අගයක් ලැබෙන්නේ කෙසේදැයි විමසා බලන්න. තමන්ගේ උදාරත්වයට ඉඩක් ලැබෙන්නේ කෙසේදැයි කියා විමසා බලන්න. අනුන්ගේ වෙහෙසේ ඵලදාවට අයිතියක් කීමෙන් ඔබට උදාර පුද්ගලයෙකු විය හැකිද? ඔබේ ශ්‍රමයෙන් කොටසක් ප්‍රාග්ධන හිමියා සූරාකෑම සිද්ධ වෙන්නේ හරියටම කොහොමදැයි පැහැදිලි කරන්නට ඔබට නොහැකි නම්, තව කොපමණ කාලයක් ඔබ එය විශ්වාස කරනවාද?

වේතන පවතින්නට නම් නිෂ්පාදනයක් තිබිය යුතුයි. නිෂ්පාදනයක් පවතින්නට ප්‍රාග්ධන හිමියන් සිටිය යුතුයි. ප්‍රාග්ධන හිමියන් සිටිය පමණින් ලාබය යන ප්‍රපංඥයට පැවැත්මක් ලැබෙන්නේ නැත. ලාබය යන්න ප්‍රාග්ධන හිමියන්ටත් කලින් පවතින්නා වූ ප්‍රපංඥයකි. “අයිතිය” ගැන අදහස් ඇතිවෙන්නට පෙර “දේපල” යන ප්‍රපංඥය තිබීම හා සමාන වූවකි. ප්‍රාග්ධන හිමියන් ඇතිවීම නිසා වේතන සහ නිෂ්පාදනයට යන මුදල් වැය යනාදී ප්‍රපංඥයන් බිහිවේ. ඒවාට නිදහස් ඉඩකඩ ලැබෙද්දී සමාජයේ සියල්ලන්ගේම සැබෑ වේතන සහ සැබෑ වත්කම් ඉහළ යයි.

රැකියා සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ඒකාධිකාරය අල්ලාගෙන සිටින්නේ සමාජවාදී රාජ්‍යයන් වෙති. ශ්‍රමිකයන් හැටියට සහ පාරිභෝගිකයන් හැටියට ඒ සමාජවාදී රටවල පුරවැසියන් ආර්ථික වශයෙන් කරකියාගත නොහැකි තත්ත්වයන් හි හිරවී සිටිති.

කාල් මාක්ස්ගේ මුල්ම හා ප්‍රධානතම විවේචකයා හැටියට ඉයුජින් බොම්-බැවර්ක් දැක්විය හැකියි. බොම්-බැවර්ක් විසින් අපැහැදිලි ලෙසින් ඉදිරිපත් කළ මත පසුකාලයේ දී ලුඩ්විග් වොන් මීසස් ද, ඒ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර ක්‍රමය හදාරන ලද එෆ්. ඒ. හයෙක් ද පැහැදිලි ලෙසින් ඉදිරිපත් කරන ලදහ. ඔවුන් ඉදිරිපත් කරන ලද න්‍යායයන් ඔප්පු කරන්නට හැකි වූ ඒවා වූහ. ඒවා මත අලුත් න්‍යායයන් ගොඩ නැඟුණහ. ඇඩම් ස්මිත් පටන් මේ දක්වා සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රයේ ගමන් මාර්ගය මූලික පදනම මතින් ගැලවී ගොස් නැත.

එහෙත් මාක්ස්වාදය ගත් විට, එහි ඵෙතිහාසික දයලෙක්තියේ පටන් අර්ථ ශාස්ත්‍රය ගැන අදහස් මෙන්ම දේශපාලන සහ සමාජයීය දැක්ම ද යළි යළිත් අලුත්වැඩියා කරන වෑයම් පැවතියත් ඒ වෑයම් සියල්ල පාහේ අසාර්ථක වී ඇත. වෙනකෙකුගේ වෙහෙස් ඵලදාවට අයිතියක් කියන්නට හැකි ක්‍රමයක් සාර්ථක වෙන්නේ කෙසේද?

කාල් මාක්ස්ගේ අතිරික්ත අගය සහ සූරාකෑම

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 19, 2022

1867 දී නිකුත්වන දාස් කපිතාල් හි පළමු වෙළුම තුළ දැක්වෙන මාක්ස්ගේ ආර්ථික ක්‍රමයේ පදනම් එංගල්ස් අතින් 1883 දී සහ 1894 දී එහි දෙවැනි සහ තෙවැනි වෙළුම් නිකුත් වෙද්දී යල්පැන ගොස් තිබිණ. පළමු වෙළුමේ දී පසුව පහදන්නම් යැයි මාක්ස් කියූ දේවල් දෙවැනි තෙවැනි වෙළුම්වලින් පහදා දෙන්නටත් පෙර, එනම් මාක්ස්ගේ විශ්ලේෂණයේ පටන් ගැන්ම වැඩිකල් නොගිහින් සහමුලින් අභාවිත වී තිබුණි. මේ සාධකය එහෙත් මාක්ස්වාදයට දේශපාලනය තුළ ජයග්‍රහණයක් ලබාගැනීමට කිසිදු ලෙසකින් බාධාවක් නොවීය.

ධනවාදීන් විසින් ශ්‍රමිකයන් සූරාකෑම නෛසර්ගික වූවක් යන්න අදත් බොහෝදෙනාගේ මතයයි. බාල කාලයේ දී අපට සිතාගන්නට හෝ නොහැකි වූ තරම් තාක්ෂණික නවෝත්පාදන හරහා අපේ භෞතික ජීවන මට්ටම් අද කොතරම් වැඩි වර්ධනය වී ඇත්දැයි යන්න හමුවේ වුවත් මෙය මුල්බැස ගත්තා වූ මතයක් වී ඇති අය අතිමහත් සංඛ්‍යාවකි.

දාස් කපිතාල් පළමු වෙළුම හරහා කාල් මාක්ස් සිය අගය පිළිබඳ මූලික සිද්ධාන්තය ඉදිරිපත් කළේය. ඕනෑම පරිභෝජන භාණ්ඩයක අගය තීරණය වනුයේ එහි නිෂ්පාදනයට සමාජමය ලෙසින් අවශ්‍ය වන ශ්‍රම කාලය අනුව යැයි ඔහුගේ මතිය වූයේය. මේ ශ්‍රම කාලය යනු සමාජයක් තුළ සාමාන්‍ය තත්ත්වයන් පැවතිය දී (අද වැනි වසංගත කාලයක් තුළ නොව) අරමුණු කරගත් නිෂ්පාදනයට අවශ්‍ය කුසලතාවය සහ ශ්‍රමය අනුව එම භාණ්ඩය නිෂ්පාදනය කරන්නට යන කාලයයි.

අගය තීරණය කරන එකම සාධකය ශ්‍රමය යැයි මාක්ස් කියා සිටියේය. එපමණක් නොව වෙළඳපලේ හුවමාරු වෙන විවිධ වූ භාණ්ඩ ප්‍රමාණයන් එසේ හුවමාරු වීමටත් හේතුව මේ ප්‍රමාණයන් තුළ ශ්‍රම කාලය එකම ලෙසින් අන්තර්ගත වීම නිසා යැයි කියාත් දාස් කපිතාල් හි පළමු වෙළුමේ පළමු පරිච්ඡේදයෙන් මාක්ස් කියා සිටියේය.

යම් භාණ්ඩයක වෙළඳපල මිල එහි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වූ ශ්‍රම කාලය හා සමානුපාතිකව පවතින්නක් යන්න මෙම ප්‍රස්තුතයෙන් සැලකේ. ඉතින් එහි දී වේතන යනු ශ්‍රමිකයාගේ ශ්‍රම බලය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය ශ්‍රම කාලයට සමානුපාතිකව තීරණය වන්නකි. මාක්ස්වාදී න්‍යායයට අනුව වේතන ලබන ශ්‍රමිකයන්ට ගෙවන්නේ ජීවිතය පවත්වාගන්නටත් (යැපුම් මට්ටමින්) නිරෝගීව සිට නිෂ්පාදනයේ යෙදෙන්නටත් හැකියාව ලැබෙන පමණින් යුතු භාණ්ඩ හා සේවා තොගයක අගය හා සමානුපාතික වූ මිලකි.

ධනවාදී ක්‍රමය නිසා බොහෝ ජනතාවකගේ ජීවන මට්ටම් ඉහළ ගිය බව පිළිගන්නට එය ඇසින් දකින්නට හැකි වූ කාලයක ජීවත්ව සිටි මාක්ස්ට සිදු විය. ඔහු එය පිළිගැනීම නිසාම යැපුම් මට්ටම යන සංකල්පය නැවත නැවතත් නිර්වචනය කරන්නට මාක්ස්වාදීන්ට සිද්ධ වී තිබේ. ජීවිතය පවත්වාගැනීම සඳහා පමණක් නොව යැපුම් මට්ටම යනු වර්තමානයේ දී ඒ ඒ සමාජයේ ආර්ථික වර්ධනය හා ගැලපීමකින් යුතු වූ ද, තෘප්තිමත් ජීවිතයක් ගෙවන්නට හැකියාව ලැබෙන්නා වූ ද, යනාදී වශයෙන් නිර්වචනය වෙයි.

ධනවාදී සංවර්ධනය තුළ යැපුම් මට්ටම ඉහළ යද්දී, නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල සමස්ත අගය ශ්‍රමිකයන්ට ගෙවන වේතනවල එකතුවට වඩා අධික වෙයි. අගය ඇතිකරන එකම ප්‍රභවය ශ්‍රමය යැයි සලකන්නේ නම්, එහි දී ඔවුනට ලැබෙන ගෙවීමට වඩා වැඩියෙන් අතිරික්ත අගයක් නිෂ්පාදනය කරයි.

ඉතින් මාක්ස්ගේ ඉදිරිපත් කිරීම මෙසේය: වැඩ කරන පංතිය සූරාකෑමට ලක්වන්නේ මේ අතිරික්ත අගය නිසයි. ඔවුනට ලැබෙන ගෙවීමේ අගය හා සමාන වූ භාණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාට වඩා වැඩි ශ්‍රම කාලයක් එවිට ශ්‍රමිකයන් විසින් යොදවනු ලබයි. ඒ අමතර ශ්‍රම කාලය තුළ දී නිපැද වූ භාණ්ඩවල අගය ධනවාදී ව්‍යවසායකයා විසින් තමන් සතු කරගනියි. ඉතින් ධනවාදී නිෂ්පාදන ක්‍රමය තුළ මේ කියන ලද සූරාකෑම නිසැකයෙන්ම පවතින්නකි.

දාස් කපිතාල් පළමු වෙළුම නිකුත්වී වැඩිකල් යන්නට පෙර 1870 ගණන්වල දී විෂයමූලික-අගය පිළිබඳ න්‍යායය (subjective-value theory) යන වර්තමානයේ පිළිගැනෙන අගය පිළිබඳ න්‍යායය සොයා ගැනිණ. ඒත් සූරාකෑමේ න්‍යාය පදනම් වූ අගය පිළිබඳ ශ්‍රම න්‍යාය දිගින් දිගටම සමාජයට බලපාන ලද්දේ ය.

සූරාකෑම ගැන ඇඩම් ස්මිත් මෙන්ම ඩේවිඩ් රිකාඩෝ ද යාන්තමින් අදහස් දක්වා ඇත. මාක්ස් කළේ ස්මිත් සහ රිකාඩෝ ඉදිරිපත් කළ අදහස් වලින් තමනට කැමති කොටස් පමණක් රැගෙන ඉතිරි අදහස් නොසලකා හරිමින්, අගය බිහිවීමේ එකම ප්‍රභවය ශ්‍රමය යැයි කියා ඉදිරිපත් කිරීමයි.

ජාතීන්ගේ ධනය කෘතියේ පළමු පොතේ 6 වැනි පරිච්ඡේදයේ දියුණු ආර්ථිකයක් උදාහරණයට ගනිමින් ස්මිත් මෙසේ කියයි: “ශ්‍රමයේ සම්පූර්ණ නිපැයුම ශ්‍රමිකයාට අයිති නොවේ. බොහෝ අවස්ථාවල දී ඔහු එය තමන්ව සේවයට යොදවාගත් ස්ටොක් (ප්‍රාග්ධනය) හිමියා සමඟ බෙදාගත යුතුයි.”

ජාතීන්ගේ ධනය කෘතියේ වෙනත් තැන්වල දී ස්මිත් විසින් ප්‍රාග්ධනය භාවිතය නිසා ශ්‍රමය වඩාත් ඵලදායී වන ආකාරයත් ඒ නිසා අගය සහ ආදායම දෙකම වැඩි කරන්නට හේතු වන බවත් පෙන්වා දුන්නේ ය. ප්‍රාග්ධනය ගෙවීම් නිසා වේතන අඩුවීම සිදු නොවන බව එයින් කියැවුණි. ඒ අනුව පසු කාලයක දී ප්‍රාග්ධන පොලියේ ඵලදායී න්‍යායයන් (productivity theories of capital interest) බිහිවූහ. ඒත් මාක්ස් ස්මිත්ගේ මේ පෙන්වා දීම නොසලකා හැර මුල් කියමන පමණක් තම න්‍යායය සඳහා යොදාගත්තේ ය.

එයාකාරයෙන්ම මාක්ස් විසින් ඩේවිඩ් රිකාඩෝ ගෙනහැර පාන ලද අදහස්වලින් ද තමන්ගේ අදහස්වලට උපකාර වන කොටස් පමණක් ගෙන ඉතිරිය නොසලකා හැරියේය. එසේ ප්‍රතික්ෂේප නොකර නොදැක්කා ලෙසින් සිටින ලද්දක උදාහරණයක් වනුයේ සිය සිද්ධාන්ත (Principles) කෘතියේ පළමු පරිච්ඡේදයේ කාලය යන සාධකය දක්වමින් රිකාඩෝ ඉදිරිපත් කළ අගය පිළිබඳ ශ්‍රම න්‍යායය ගැන වූ වැදගත් ව්‍යතිරේකයයි.

ප්‍රාග්ධනය සහ පොලී න්‍යායයන් ගැන ලියන බොම්-බැවර්ක් (Böhm-Bawerk) මේ ආකාරයෙන් මාක්ස් සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයන්ගේ සමහර අදහස් පමණක් තෝරා ගැනීමට හොඳ හේතුවක් ඇතැයි කියා සිටියේය. “ඇටයක් පැළ කරන්න අවශ්‍ය මිනිත්තු බාගයක ශ්‍රමයට වඩා ඉහළ අගයක් අවුරුදු සිය ගණනක ඕක් ගසක ඇතැයි යන්න සාර්ථකව තර්ක කළ නොහැකි තරම් හොඳින් ප්‍රසිද්ධ වූවකි.”

ප්‍රාග්ධන ආදායමේ සැබෑ ප්‍රභවය කුමක්දැයි බොම්-බැවර්ක් සලකන ලද්දේ කුමක්දැයි යන්න එම උදාහරණයෙන් පෙන්වා දී තිබුණි. ශ්‍රමිකයන් සූරාකෑම නොවේ. කාලයයි. කාල වරණයයි. ඔහු ලියන පොලිය පිළිබඳ ධනාත්මක න්‍යාය (Positive Theory of Interest) හි මේ අදහස දියුණු කරමින් ඉදිරිපත් කළ බොම්-බැවර්ක් පසුපසින් එය තවත් දිගින් දිගට ප්‍රවර්ධනය කළ ලුඩ්විග් වොන් මීසස් වැනි ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැල බිහිවිය.

දාස් කපිතාල් හි තෙවැනි වෙළුම ප්‍රකාශනය වීමත් සමඟ සූරාකෑමේ න්‍යායය යල්පිනූ බව තවත් පැහැදිලිව ඔප්පු වෙන සාධකයක් දකින්නට හැකිවිණ. විවිධ ආර්ථික අංශයන් තුළ ලාබ මට්ටම් සැමයීමක් (equalization) කරා යන ප්‍රවණතාවය (සැබැවින්ම පෙන්වන්නට හැකි වූව) සිය අගය පිළිබඳ මූලික සිද්ධාන්තයෙන් පරස්පර විරෝධී නොවන්නේ යැයි කියා ඔප්පු කරන්නට මාක්ස් පැහැදිලිවම වෑයම් කළ ද ඔහු එහි දී අසාර්ථක වූයේය.

අගය පිළිබඳ න්‍යාය සැබැවින්ම සිද්ධ වෙන දේවල් හා ගලපන්නට නොහැකි යැයි කියා මාක්ස් ද පිළිගත්තේ ය. එය විසඳන්නට මාක්ස් ගන්නා ලද වෑයම්වල දී අගය, ඒ නිසා වෙළඳපල මිල ගණන් යනු ශ්‍රමයෙන් තීරණය වෙනවා යන අදහස ප්‍රතික්ෂේප විය. පළමු වෙළුමේ ඉදිරිපත් කළ ප්‍රස්තුතය ප්‍රතික්ෂේප කරන්නට මාක්ස්ටම සිදුවිණ.”ආරම්භයේ දී ඉදිරිපත් කරන ලද්ද එහි අවසානයේ දී මේ තරම් නිශ්චිත ලෙසින් ලඝුකොට දැක්වීමක් වෙනත් කිසිදු න්‍යායයක දී සිදු වී නැත,” යැයි බොම්-බැවර්ක් පෙන්වා දුන්නේය.

කාල් මාක්ස්ගේ සූරාකෑමේ ප්‍රස්තුතය සත්‍යය තත්ත්වයන් හමුවේ නිශ්ප්‍රභා වී ගියත්, ද්වේෂය පෙරදැරි කරගෙන කටයුතු කරන අයවළුන් සහ යුක්තිය ගැන වැරදි වැටහීම් අල්ලාගත් පිරිස් විසින් දිගින් දිගටම එය කරපින්නාගෙන යති.

ප්‍රාග්ධන හිමියා සහ වේතන උපයන්නා අතර අයුක්ති සහගත සබඳතාවයක් ඇතැයි කියා ආවේගශීලී වූ දැක්මක් (අනුන්ට කඹුරන්න අපිට සිද්ධ වෙලා යන වේතන උපයන්නාගේ සිතුවිල්ල) පැවතීම නිසා පමණින් එතැන අයුක්තියක් ඇතැයි ඔප්පු වෙන්නේ නැත. එය අර්ථ ශාස්ත්‍රය පිළිබඳ අතාර්කික වූ න්‍යායයකි.

ශ්‍රම විභජනය මත පදනම් වූ සමාජයක සියල්ලන්ගේම සමෘද්ධිය සාක්ෂාත් කරන්නේ ධනවාදී ක්‍රමයයි. සම්පත් බෙදාහැරීම නිදහස් වෙළඳපලකට ලැබෙද්දී එයින් ලාබ ලබන්නේ ඊනියා ධනපති පංතිය පමණක් නොව වේතන උපයන්නන් ද වෙති.

Austro-Libertarian Magazine Vol I, No. 3| Summer 2019 හි පළවූ කාල්-ෆ්‍රීඩ්රික් ඊස්රායෙල් (Karl-Friedrich Israel) නමැති අර්ථ ශාස්ත්‍ර සහ ව්‍යාපාර පිළිබඳ ප්‍රංශ මහාචාර්යවරයා විසින් ලියන ලද ලිපියක් ඇසුරිනි.

හිඟය යන සත්‍යය නොසලකා හරින මාක්ස්වාදය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 12, 2022

මිනිසා නැමති සත්වයා උපත්තියේ දී අසරණයෙකි. තම වෙහෙසෙන් උගත යුතු දෑ අතපසු කරන්නේ ද මිනිස් සත්වයාට ජීවිතය පවත්වාගැනීම සඳහා සහජයෙන් දායාද වී ඇති කොටස ඉතාමත් අල්පයකි. එනමුත්, තමනට දැනුම ලබාදෙන අනෙකුත් අය අභිභවා යා හැකියාව මිනිස් සත්වයාගේ අපූරු ලක්ෂණයකි. මිනිස් වර්ගයාගේ ප්‍රගතිය සිද්ධ වූයේ ඒ හැකියාව පිහිටා ඇති නිසයි.

ඉතිහාසයේ විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරන ලද අපූරු අදහස් ගැන දැනගන්නට හැකියාවක් නොමැති නම්, එනම් තමන්ගේ දැනුම සීමාවෙද්දී සිතුවිලි ද සීමාවක් තුළ කොටුවී පවතී.

ග්‍රීක දාර්ශනිකයෙක් වූ ඇරිස්ටෝටල් සතුට නොහොත් සාර්ථකත්වය (eudaimonia) ගැනත් සද්ගුණය නොහොත් විශිෂ්ටත්වය (aretê) ගැනත් සොයා බැලුවේය. ජීවිතය වඩාත්ම සාර්ථක ලෙසින් සතුටින් ගෙවන්නට නම් මිනිස් සත්වයාට අවශ්‍ය ගතිගුණය ලෙසින් ඔහු මේ සද්ගුණය/විශිෂ්ටත්වය යන්න ඉදිරිපත් කළේය.

මිනිසා විසින් සොයා යා යුතු ඉහළම දැය නම් සද්ගුණය තුළින් සාක්ෂාත් කරගන්නා සතුට වෙයි. අයෙක් තමන්ට හැකි පමණින් තමන්ගේ විශිෂ්ටතම වූ හැදියාවෙන් ජීවත්වන්නේ නම් එවැනි අයෙක්ට සතුටින් ජීවත්වන්නට හැකියි.

සද්ගුණවත් ආචාර ධාර්මික මනෝභාවයක් මිනිසා තුළ ස්වභාවයෙන්ම පිහිටා ඇතැයි කියා අදහසක් ඇඩම් ස්මිත් ඉදිරිපත් කළේය.

ඔබට ලබාගත හැකි ඉහළම විශිෂ්ටත්වය වෙනුවෙන් ඔබ වෙහෙසිය යුතු යැයි කියද්දී ඔබ සොයන විශිෂ්ටත්වය ඔබේම වූවකි. සෑම මිනිසෙකුම තමන් විසින් කැමති අකමැති දේවල් පිරුණ අවුලක් මැදින් තමන්ගේ විශිෂ්ටත්වය සලසා ගත හැකි ආකාරය තමන් විසින් පාදාගත යුත්තෙකි. එක් පුද්ගලයෙකුට සුදුසු වූව කුමක්දැයි කියන්නට තවත් පුද්ගලයෙකුට නොහැකියි. එසේම, ඔබේ නොහැකියාව වෙනත් කාරණා නිසා යැයි කියන අයගේ මුලාවට රැවටීමෙන් අවසානයේ දී ඔබ සොයන විශිෂ්ටත්වයට ඔබට ළඟාවිය නොහැකි නිසා ඔබ ඉච්ඡාභංගත්වයෙන් පිරී ගිය අයෙක් බවට පත්වෙයි.

කාල් මාක්ස්ට කළින් විවිධ ආගමික ශාස්තෘවරු තමන් විසින් තම විශිෂ්ටත්වය සොයා යන්නට කම්මැලි වූ අයට කරුමය, ඉරණම යනාදී වශයෙන් ගැලවීමේ මාර්ග ඉදිරිපත් කර තිබුණි. ඒවා ඇත්තද නැත්තද යැයි කියා ඔප්පු කළ නොහැකි ආකාරයෙන්, සිතට තාවකාලික සහනයක් ලබාදෙන පරිද්දෙන් ප්‍රදානය වූහ.

සෑම මිනිසෙක්ම තමන්ගේ හැකියාවට අනුව සාක්ෂාත් කරගත හැකි විශිෂ්ටත්වය කරා යා යුතු යැයි කියා නියමයක් ලොව නැත. එහෙත් යම් පුද්ගලයෙක් තමන්ගේ විශිෂ්ටතම සද්ගුණවත් හැදියාවෙන් දිවිගෙවන්නේ ද ඔහු සතුටින් සිටින්නෙකි. එය අත්හදා බලා එය සත්‍යයක් දැයි කියා දැනගන්නට හැකියාව ඇත්තේ ද තමන්ටම පමණකි.

සාමූහික සැලසුම් හරහා අනුන් කියන පරිද්දෙන් ජීවත්වන්නට සිද්ධ වූ මිනිස් කොට්ඨාශයන් තුළ සද්ගුණවත් හැදියාව සහ සතුට නොමැති වූ බව ඉතිහාසය අපිට පෙන්වයි. ඒ නිසාම එවැනි සැලසුම් දැඩි වූ සමාජවලට දීර්ඝ කාලීන පැවැත්මක් ද නොමැති වූහ. එසේම තවමත් එවැනි සැලසුම් වැඩියෙන් පවතින සමාජවලින් මිනිසුන් පළා යන්නට මාර්ග සොයන බව දකින්නට ලැබේ.

මිනිසාගේ ශ්‍රමබලය ඔහු රිසි සේ යොදවන්නට ඉඩකඩ ලැබෙන නිදහස වෙනුවට මිනිස් ස්වභාවයට කිසි ලෙසකින් නොගැලපෙන ක්‍රමයක් කාල් මාක්ස් ඉදිරිපත් කළේය. මිනිසා යනු යම් දක්ෂතාවයක් තමන් විසින්ම වර්ධනය කරගත යුත්තෙකි.

“කොමියුනිස්ට් සමාජයක, යම් ක්ෂේත්‍රයකට පමණක් විශේෂිත වූ ක්‍රියාවක් පමණක් කරන්නට අවශ්‍ය නොවෙද්දී ඔහු කැමති ඕනෑම අංශයකින් දක්ෂයෙක් වන්නට සෑම අයෙකුටම හැකියාව ලැබෙද්දී, සමාජය විසින් පොදු නිෂ්පාදනය නියාමනය කරද්දී ඒ අනුව අද මට එක දැයක නියැළෙන්නටත් සහ හෙට වෙන දැයක නියැළෙන්නටත් හැකියි; උදේට දඩයමේ ගොස්, දවල් කාලයේ මාළු බා, හවස්වරුවේ ගව පට්ටිය බලා ගන්නටත්, රෑ කෑමෙන් පසු විවේචනයේ යෙදෙන්නටත්, මට මනසක් තියෙන ලෙසින්.” කාල් මාක්ස්, ජර්මන් පරමාදර්ශය (The German Ideology, 1845)

ඕනෑම මිනිසෙක් ඕනෑම රැකියාවක් කරන්නට සුදුසු වූවෙක් හෝ උවමනාවක් ඇති වූවෙක් නොවේ. ඒකීය පුද්ගල විශිෂ්ටත්වය නොසලකා හරින ලද සමාජවාදය පිළිගත්තවුන් අතර වර්තමානයේ ද ඕනෑම රැකියාවක් ඕනෑම පුද්ගලයෙක්ට බාර දිය හැකි යැයි යන පිළිගැනීම ඇතිබව දකින්නට පුළුවනි. අනුන් වෙනුවෙන් තීරණ ගැනීමට ඇති බලය පැවරීම හරහා එය සිද්ධ වෙයි.

සැබැවින්ම දඩයමක් සාර්ථක කරගන්නට උදේට ඔහේ දඩයමේ යන ගමනකින් නොහැකි බව දඩයමේ ගිය ලද්දෙක් දන්නේ ය. දඩයම් යුගයේ ජීවත්වූවන් අතින් වෙනත් නිෂ්පාදන බිහිනොවූයේ ඒ නිසයි. මාළු බාන්නට යෑම යනු මාළු අල්ලාගැනීමට සමත්වීම නොවේ. එක මාළුවෙක් හෝ අල්ලාගන්නට තමන් විසින් ගත් වෑයමක් සාර්ථක වූ අයෙක් එය වටහා ගත්තෙකි. ගව පට්ටියක සිටින්නේ උදේ දවල් රෑ රැකබලා ගත යුතු සත්වයන්ය. උදේට මහපාරට අත්හරින ගවයන් හවස්කාලයේ ගිහින් දක්කාගෙන එන සිරිත මෑතක දී පවා ලංකාවේ දී දැක්කෙමි. ඒ කාල් මාක්ස්ගෙ ගොන්නු වෙන්නැති!

ඒකීය පුද්ගලයන්ගේ නිදහස් වෑයම් සඳහා ඉඩදෙනවා ද නැද්ද, ඉඩදෙන්නේ නම් ඒ කෙසේද යනාදී වශයෙන් ජීවිතයේ හැම අදියරක දී ම පාහේ ගැනෙන තීරණ ලංකාව වැනි රටක තීන්දු වෙන්නේ මේ කොමියුනිස්ට් සමාජයක් වෙනුවෙන් කාල් මාක්ස් ඉදිරිපත් කළ අදහස අනුවයි. ඒත් ලංකාවේ වාමාංශිකයන් මෙන්ම තමන් වාමාංශිකයන් නොවේ යැයි කියාගන්නා අයත් රටේවත් දකින්නට නැති ධනවාදයකට විරුද්ධව හඬ නඟති.

පරිභෝජනය සඳහා භාණ්ඩ තිබිය යුතුයි. තමන්ගේ ශ්‍රමය තම කැමැත්ත සොයා යෑම සඳහා යොදා ගැනීමට එරෙහිවන මාක්ස් කොමියුනිස්ට්වාදයේ දී “කාටවත් අයිති නැති ශ්‍රමය” හරහා මිනිසාට අවශ්‍ය සියළු දේ ලැබෙන බව කියා සිටියේය. එය කෙසේ වෙනවාද යන්න ඔහු කිසිතැනක පැහැදිලි නොකළේය.

තමන් කැමති නිෂ්ටාව (end) ලබාගැනීම සඳහා අනෙකා උපායක් (means) හැටියට දෙදෙනාගේම කැමැත්ත ඇතිව දෙදෙනා විසින්ම යොදාගැනීමත් කාල් මාක්ස් හෙළා දුටුවේය. මාක්ස්ට අනුව මිනිස් සබඳතා යනු හැමෝම මිල ගණන් නොමැතිව එකිනෙකා හා නිදහසේ කටයුතු කරන “සමිතියකි”. ඒත් එය සිද්ධ වෙන්නේ කෙසේදැයි කියා ඔහු කිසිතැනක පැහැදිලි නොකළේය. එය අත්හදා බැලූ කිසිදු අවස්ථාවක සාර්ථක නොවූවකි.

ජීවත්වන සෑම මිනිසෙකුටම ලැබෙන්නේ දවසකට පැය 24 ක් පමණි. කොතරම් ධනවත් වුවත් කොතරම් දුප්පත් වුවත් කොතරම් තරුණ හෝ කොතරම් මහළු වුවත් එය එසේය.

පැය 24 කට වැඩියෙන් කාලයක් දිනයකට ලබාගත නොහැකි බැවින් අපි එයට හිඟය යැයි කියමු.

කාලය උවමනා තරමින් ඇත්නම් එහි අගයක් නැත. අපි කාලයට අගයක් දෙන්නේ එය හිඟ බැවිනි. අනෙක් එවැනි දැයටත් අගය ලැබෙන්නේ එයාකාරයෙන්මයි. සියල්ල එකවර සපුරාගත නොහැකි නිසා අපි වැදගත් දේ මොනවාදැයි කියාත් අවැදගත් දේ මොනවාදැයි කියාත් සලකා බැලිය යුතු වේ.

ඒත් ඒ හිඟය සැලකීමට ගැනීම බැහැර ලා මේ මේ අවධියේ දී පාසැල් දරුවන් විසින් හැදෑරිය යුතු පාඨමාලා මෙසේය, පාසැල් දරුවන් විසින් පෙනී සිටිය යුතු විභාග මෙසේය, රැකියා නියුතු අය සේවය කළ යුතු කාලය සහ වේතන මෙසේය යනාදී වශයෙන් අනුන්ගේ විශිෂ්ටත්වය සාධනය කරන ක්‍රමය තමන් දන්නවා යැයි කියාගත් වැඩ පිළිවෙලවල් තුළ මහජනතාව කොටුකර තබා ඇත. එහි දී ඒකීය පුද්ගලයා හොයන සද්ගුණවත් විශිෂ්ටත්වය සඳහා ඉඩකඩක් ඇතිවීම වැළකී යයි.

සමාජය යනු එකෙක් වෙනුවට තවකෙක් පත් කළ හැකි පුද්ගලයන් එකතුවක් නොව, හිඟයට මුහුණ පා සිටින විවිධ විෂම කුසලතාවලින් පිරි ඒකීය පුද්ගලයන් එකතුවක් යැයි කියා අවබෝධ කරගන්නේ කවදාද?

ශ්‍රමිකයා ඉත්තෙක් ද නැතිනම් ස්වතන්ත්‍ර බවින් යුතුයි ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 8, 2022

සූරාකෑම යන වහර නොදන්නා කෙනෙක් නැති තරම්. සූරාකෑම යන සංකල්පය මාක්ස්වාදයේ ප්‍රධාන පණිවිඩයයි.

මාක්ස් සහ එංගල්ස් දෙදෙනා දීර්ඝ කාලීන රැකියා, ව්‍යවසායක වෑයම් හෝ වෘත්තියකින් ආදායම් උපයන ලද්දවුන් නොවූහ. ඔවුන් ප්‍රධාන වශයෙන් ජීවත්වූයේ ඔවුන්ගේ පවුල්වලින් ලැබෙන ලද වත්කම්වලිනි. සූරාකෑම ගැන ලෝකයේ ප්‍රධාන පණිවිඩයක් හැටියට මුලින්ම අහන්නට ලැබුණේ, උදේ දහයට සිය මාමාගේ රෙදිපිළි කම්හලේ නිකම් පෙනී සිටීම පවා කරදරයක් ලෙස සැලකූ එංගලස් වෙතින් සහ භාර්යාව වෙතින් දෑවැද්දට ලැබුණ ගෘහ සේවිකාව වූ ලෙන්චන් හට කිසිදා කිසිදු වැටුප් නොගෙවන ලද මාක්ස් වෙතින් යැයි ලෝකයේ බොහෝ පිරිසක් තවමත් නොදැන සිටීම සැබැවින්ම ඛේදනීයය තත්ත්වයකි.

රැකියාවක් වෙනුවෙන් ශ්‍රමය වෙහෙසීම සාපයක් හැටියට දැකීම ඵෙතිහාසිකව පැවතෙන සංකල්පයකි. කලින් ලියූ සටහනක්: පැන්ඩෝරා දුන් වෙරමුන්ඩම්වලින් හැදෙන තෙලිතට්ටුව

ශ්‍රමය යනුවෙන් අර්ථ ශාස්ත්‍රයේ අදහස් කරන්නේ රැකියාවක දී වෙහෙසීමයි. මානසික මෙන්ම කායික වශයෙන් ද පුද්ගලයෙකුට තම ශ්‍රමය යම් නිෂ්පාදනයක් බිහිකිරීම සඳහා යෙදවිය හැකියි.

එසේම කිසිදු අයෙකුට නුවුමනා වූ දැයක් නිෂ්පාදනය කරන්නට ද ශ්‍රමය වෙහෙසීමට මිනිසාට හැකියි.

එසේම කිසිදු නිෂ්පාදනයක් බිහිනොකර ශ්‍රමය වෙහෙසීමට ද මිනිසාට හැකියි.

ධනවාදියා මිල දී ගන්නේ ශ්‍රම බලය මිසෙක ශ්‍රමය නොවේ. එනම් යම් නිෂ්පාදනයක්/සේවාවක් බිහිකරන ශ්‍රම බලය මිල දී ගන්නට ධනවාදියා එයට වේතනයක් ගෙවයි. ධනවාදියා කිසිදු අයෙකුට නුවුමනා වූ දැයක් නිෂ්පාදනයට හෝ කිසිදු නිෂ්පාදනයක් බිහිනොකරන ශ්‍රමය මිල දී ගන්නට වේතනයක් ගෙවන්නේ නැත.

19 වැනි සියවස මැද දී ෆර්ඩිනැන්ඩ් ලසාල් (Ferdinand Lassalle) වේතන පිළිබඳ අයෝමය න්‍යාය ගැන පත්‍රිකාවක් මුද්‍රණය කර තිබිණ. ලසාල් ජර්මන් බසින් එය හැඳින්වූයේ “ලෝහමය” (brazen) කියායි. මාක්ස් ද මේ වේතන පිළිබඳ අයෝමය න්‍යාය පිළිගෙන තිබුණි. ජීවිතය පවත්වා ගන්නට සහ වර්ගයා බෝ කිරීමටත් අවශ්‍ය ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපයා ගන්නටත්, ශ්‍රමිකයාගේ දරුවන්ට කම්හල් තුළ රැකියාව කරන්නට හැකියාව ලැබෙන තෙක් ඔවුන්ව නඩත්තු කරන්නටත් හැකියාව ලැබෙන පරිද්දෙන් වේතන මට්ටම තීරණය වේ යන්න එයින් අදහස් කෙරිණ. මීට වඩා ඉහළ ප්‍රමාණයකට වේතන මට්ටම් නඟිද්දී රැකියාවන් කරන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ යන බවත්, එසේ රැකියාවන් කරන ශ්‍රමිකයන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා වේතන මට්ටම් යළි පහළට වැටෙන බවත් එයින් අදහස් කෙරිණ. වේතන මට්ටම් මීට වඩා අඩු ප්‍රමාණයකට පහතට ගියොත් එවිට ශ්‍රම හිඟයක් පැතිර යන බව ද කියැවිණ.

මේ න්‍යායය අදත් අධ්‍යයන ග්‍රන්ථවල ඉතිරි වී තිබෙනවා දකින්නට ලැබේ. දේශපාලන බලයෙන් නීති ගෙනෙන අය ද තවමත් මේ න්‍යායය පිළිගෙන සිටින බව දකින්නට ලැබේ.

මාක්ස් සහ එංගල්ස් කිසිවිටෙක වැඩකරන ජනතාවගේ අපේක්ෂාවන් මොනවාදැයි කියා විමසා නැත. එලෙසින්ම මෙම න්‍යාය පිළිගන්නා අය වෙතොත් ඔවුන් ද ශ්‍රමිකයා යනු කිසිදු ස්වතන්ත්‍රභාවයක් නොමැති සහ නිදහස් තෝරාගැනීම් නොමැති ඉත්තෙක් යැයි සලකන අය වෙති.

එයට අමතරව මෙයින් මාක්ස්වාදය තුළ ඇතිකරන පරස්පරතාවයක් ද ඇත. ධනවාදී ක්‍රමය තුළ වේතන මට්ටම් මෙයාකාරයෙන් පමණක්ම ඇතිවනවා නම්, එහෙනම් එවිට මාක්ස්ගේ ඉතිහාසය පිළිබඳ දර්ශනයෙන් සමාජවාදය ගෙන්වන අරගලයට තුඩුදෙන ශ්‍රමිකයන් තව තවත් දරීද්‍රතාවයට ඇද වැටීම සිදුවෙන්නේ කෙසේද? ශ්‍රමිකයන්ගේ දරුවන් ශ්‍රමිකයන් බවට පත්වෙන කාලය දක්වා වේතන මට්ටම් ප්‍රමාණවත් ලෙසින් පවතිනවා නම් ශ්‍රමිකයන් දිගින් දිගටම දුප්පත් බවට හැරෙන්නේ නැත. එහි දී එහෙනම් සමාජවාදය ගෙනෙන අරගලය ද හටගන්නේ නැත.

සමාජවාදී අදහස් කාල් මාක්ස්ට කලින් ලෝකයේ දකින්නට තිබුණි. ඒ ඈත අතීතයේ ද ඒවා සාර්ථක නොවූහ. මේ අදහස් දෙකම, එනම් වේතන පිළිබඳ අයෝමය න්‍යායය සහ ධනවාදී ක්‍රමයේ දී සූරාකෑමට ලක්වන ශ්‍රමිකයන් දිගින් දිගටම දුප්පත් බවට ඇද වැටී සමාජවාදය ගෙනෙන විප්ලවය ඇතිවෙනවා යන්න සිද්ධ විය නොහැකි අදහස් වෙති.

එසේ වෙනවා යැයි කියූ තත්ත්වයන් ඇති නොවූ කළ මාක්ස්වාදීන් කටයුතු කළ ආකාරය ඔබට කොමියුනිස්ට්වාදයේ කළු පොතෙන් කියවන්නට පුළුවනි.

දිගින් දිගටම ශ්‍රමිකයන්ගේ ආර්ථික තත්ත්වයන් පහළ යනවා යැයි මාක්ස් කියා සිටියත්, මාක්ස් ධනවාදයේ වඩාත්ම වැදගත් ලක්ෂණය සැලකිල්ලට නොගත්තේ ය. වෙළඳපලේ වැදගත්කම ගැන සලකා බලන්නට පවා අකමැති බොහෝ අයට මෙය මඟහැරී යයි.

පොදු ජනතාවගේ අවශ්‍යතා සැපයීමට විශාල පරිමානයෙන් නිෂ්පාදනයේ යෙදීම ධනවාදයේ වඩාත්ම වැදගත් ලක්ෂණය හැටියට හඳුන්වන්නට පුළුවනි. එනම්, ධනවාදියාගේ ප්‍රධාන අරමුණ හැකි තරම් විශාල පිරිසකට සිය භාණ්ඩ/සේවා සැපයීමයි.

ධනවාදී ක්‍රමයේ දී භාණ්ඩ/සේවා නිෂ්පාදනය වනුයේ ධනවතුන්ට පමණක් නොවේ.

වේතන උපයන්නෙක් හැටියට ශ්‍රමිකයාට නිෂ්පාදනය කරන්නේ කුමක්දැයි කියා තීරණය කළ නොහැකියි. එහෙත් පාරිභෝගිකයෙක් හැටියට ශ්‍රමිකයා තමන්ගේ ස්වාමියා වෙයි. ඔහු එවිට නිෂ්පාදනය කළ යුත්තේ කුමක්දැයි කියා මිල දී ගැනීමෙන් සහ මිල දී නොගෙන සිටීමෙන් ව්‍යවසායකයාට දන්වයි.

ව්‍යවසායකයාට තමන්ගේ ශ්‍රමිකයන්ට සවන් දී ඔවුන් කියන්න කරන්නට සිද්ධ වෙයි. ඒ ශ්‍රමිකයන් මෙන්ම ඔවුන් වෙළඳපොල පාරිභෝගිකයන් ද වන බැවිනි.

පාරිභෝගිකයා හැම විටම නිවැරදියි යන ධනවාදී ක්‍රමයේ පිළිගැනීම මාක්ස්ට මෙන්ම දේශපාලනඥයන්ට සහ රජයේ සේවයේ නියුතු වූවන්ට ද මඟහැරී යාම පුදුමයක් නොවේ.

අලුත් ක්‍රමයක් තමන් ගොඩනැඟුවා යැයි සිතූ මාක්ස් “භෞතික නිෂ්පාදන බලවේග” යනු සියළු දැයෙහි මූලික පදනම යැයි කියා සිටියේය. නිෂ්පාදනය වෙනුවට මාක්ස් කතා කළේ නිෂ්පාදන සබඳතා ගැනයි. මෙය බොහෝ දෙනෙකුට මඟහැරෙන තැනකි. නිෂ්පාදනයක් ලොවට බිහිවෙන ආකාරය ගැන සොයා බැලීම සහ එය සිදුවන ආකාරය ගැන ඉගැන්වීම අත්හැර දමන ලද ගුරුවරුන් නිසා අද බොහෝ රටවල උපාධිධාරීන් පවා වේතන ගැන, බඩු මිල ගැන සහ ආදායම් ඉහළ පහළ යන ආකාරය ගැන නොදනිති.

වෙළඳපල යනු හිතක් පපුවක් නැති යාන්ත්‍රණයක් යැයි කියද්දී වෙළඳපොලේ ගනුදෙනු කරන ව්‍යවසායකයාට හිතක් පපුවක් නැතැයි කියා අදහස් නොවේ. රජය මැදිහත්ව නීති රීති පනවා ශ්‍රමිකයා තවත් අසරණ කරද්දී, ව්‍යවසායකයාට ශ්‍රමබලය සපයන අයට ඔවුන් සලකන ලද ආකාරයෙන්, ආචාර ධර්මීය බව සැබැවින්ම පිහිටන්නේ ධනවාදී ක්‍රමයේ දී බව ඔප්පු වෙයි.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ රොබින්සන් ටවුන්ෂිප් හි චික්-අ-ෆිලේ අවන්හලක් පවත්වාගෙන යන ඒමි හර්නැන්ඩේස් සිය සේවකයන් දැඩි කෝවිඩ් රෙගුලාසි පැවති කාලයේ දී සපයන ලද ශ්‍රමබලය සඳහා වේතනයට අමතරව අලුත්ම ටොයෝටා රථයක්, මාසයක ගෙවල් ණය/කුලී ගෙවීමක්, ඩොලර් දාහක මුදල් තෑග්ගක්, ඇමෙරිකන් ෆුට්බෝල් තරඟයක් නරඹන්නට ටිකට් පත්, දැවැන්ත ටෙලිවිෂන් එකක් යනාදී වශයෙන් නත්තල් තෑගි වලින් සංග්‍රහ කළාය.

ලාබ සොයන පෞද්ගලික ව්‍යාපාරවලින් කලින් වසරවලට වඩා වැඩි බෝනස්, වේතන ඉහළ දැමීම් සහ අමතර මුදල් දීමනා යනාදිය ශ්‍රමබලය සපයන ලද්දවුන්ට ලැබුණි.

ලෝකයේ බහුතර ආණ්ඩු කළේ කුමක්ද? ලාබ සොයන පෞද්ගලික ව්‍යාපාරවලින් කපාගත් බදු මුදල්වලින් පාලනයේ සිටින අය විසින් තීන්දු කළ පිරිස්වලට මුදල් බෙදීමයි.

වැඩියෙන් ආචාර ධාර්මීය යැයි කියා ඔබ හිතන්නේ මේ දෙකෙන් කුමක්ද? ඔබේ වෙහෙසේ ඵලදාවෙන් කොටසක් ඔබ විසින් තෑගි කිරීම ද? නැතිනම් අනෙකෙකුගේ වෙහෙසේ ඵලදාවෙන් කොටසක් ඔබ විසින් තෑගි කිරීම ද? හිතක් පපුවක් ඇති අයගේ ක්‍රමය සමාජවාදය යැයි කියා තව කොපමණ කාලයක් යනතුරු ඔබ විශ්වාස කරනවා ද?

පඩිය වැඩිකරන්න ආණ්ඩුවකට පුලුවන්ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 5, 2022

වෘත්තීය සමිති ගෙනෙන වර්ජන තර්ජන හමුවේ පාලනයේ සිටින ආණ්ඩුව විසින් පඩිය වැඩිකරද්දී එහි දී රජයේ සේවකයාගේ වේතනය සැබැවින් ඉහළ යෑමක් සිදු නොවේ. කාල් මාක්ස් ඉදිරිපත් කළ වැරදි න්‍යායයන් දිගින් දිගටම විශ්වාස කරන වෘත්තීය සමිති නායකයන් සහ පාලකයන් සිටින රටවල මේ ක්‍රියාව නිසා රජයේ සේවකයන් ඇතුළු සියළු පුරවැසියන්ගේ වේතන සැබැවින්ම පහළ යෑමක් සිදු වේ.

වේතනයක අගයක් ඇතිවන්නේ කෙසේද? කවුද වේතනයට අගයක් දෙන්නේ?

වේතනයක් උපයන්නා විසින් නිෂ්පාදන ක්‍රියාවලියට සපයන දායකත්වයට ගෙවන මිල වේතනයයි. නිෂ්පාදන සාධකවල අගයට ඔහු විසින් එකතු කරන ලද අගය අනුව ඔහුට වේතනයක් ලැබේ. එය පුද්ගලයා නිම කළ කෑලි අනුව ගෙව්වා වුවත්, නැත්නම් කාලය අනුව ගෙව්වා වුවත්, ඔහුව රැකියාවට ගත් අය වේතනයක් ගෙවන ලද්දේ ශ්‍රමිකයාගේ කාර්ය නැත්නම් සේවා ඵලයටයි. ශ්‍රමිකයාගේ කාලයට නොවේ.

වැඩි පඩියකට ශ්‍රමිකයෙක් බඳවා ගත් සේවායෝජකයෙක් වෙළඳපල තුළ නැත. සෑම සේවායෝජකයෙක්ම බඳවාගන්නේ අඩුම පඩියට වැඩිම කාර්ය/සේවා ඵලයක් ලබාගත හැකි පුද්ගලයාවයි. යම් සේවායෝජකයෙක් වෙළඳපල තුළ තම සේවානියුක්තියාට ලැබෙනවාට වඩා වැඩි වේතනයක් ගෙවන්නේ ද, වැඩිකල් යන්නට පෙර ඔහුගේ ව්‍යවසායක වෑයම බංකොළොත්වී යයි. එසේම, යම් සේවායෝජකයෙක් වඩාත්ම කාර්යක්ෂම ලෙසින් වැඩ නොකරන අයව අඩු වේතනයකට බඳවාගන්නේ ද එවිට ද ඔහුගේ ව්‍යවසායක වෑයම බංකොළොත්වී යයි.

වෙළඳපලට හිතක් පපුවක් නැත. ඔව්, එහෙත් වෙළඳපල යනු සම්පත් සහ ශ්‍රමය යන දෙකම වඩාත්ම කාර්යක්ෂම ලෙසින් යොදාගන්නා යාන්ත්‍රණයයි.

වෙළඳපල ආර්ථිකයක දී ශ්‍රමිකයා ඔහුගේ ශ්‍රමය විකුණන්නේ අනෙකුත් අය ඔවුන්ගේ පාරිභෝගික භාණ්ඩ විකුණන ලෙසින්මයි. සේවායෝජකයා සේවානියුක්තියාගේ හාම්පුතා නොවේ. සේවායෝජකයා යනු වෙළඳපල මිල ගණන්වලට සේවය මිල දී ගන්නා අයෙක් පමණකි.

සේවායෝජකයෙකුට ඔහුගේ පාරිභෝගිකයන් පරදුවට තබා සේවානියුක්තියාට අනුග්‍රහය දිය නොහැකියි. භාණ්ඩ සඳහා ඉහළ මිලක් ගෙවන්නට සූදානම් නැති පාරිභෝගිකයන් හමුවේ දී තම සේවානියුක්තියාට ඉහළ වේතනයක් ගෙවන්නට හැකියාවක් සේවායෝජකයෙකුට නැත.

රාජ්‍ය මැදිහත්වීම් නොමැති ශ්‍රම වෙළඳපල තුළ වේතන මට්ටම් හැම විටම ඒ ඒ ශ්‍රමයේ ආන්තරික ඵලදායීත්වය හා සමානව පවතී. තවත් විදියකින් කිව්වොත් සේවයේ යෙදී සිටින අයගේ අගය අනුව වේතනයේ අගය එකතුවීම හෝ අඩුවීම සිදුවේ.

අවසානයේ දී සමාජයක වේතන මට්ටම් තීන්දු වෙන්නේ වේතන උපයන්නා හා සිටින සෙසු සමාජයීය පුරවැසියන් ඔවුන්ගේ කාර්ය සහ සේවා සඳහා එකතු කරන අගය අනුවයි.

ශ්‍රමය ද අනෙකුත් පරිභෝජන භාණ්ඩයක් සේ ම අගයක් එකතු කරන්නකි. එය එසේ වෙන්නේ ව්‍යයවසායකයන් නැත්නම් ධනවාදීන් හිතක් පපුවක් නැති අය නිසා නොව අවසානයේ දී සියල්ලන්ම කොන්දේසි රහිතව පාරිභෝගිකයන්ගේ (සමාජයේ ජීවත්වන සියල්ලන්ගේම) අණසක යටතේ සිටින නිසයි.

අපිට කෝම්පිට්ටු පරිභෝජනය කළ නොහැකියි. අපි යම් පිරිසක්ව කෝම්පිට්ටු හදන ශ්‍රමය සඳහා යොදවන්නේ ද, ඔවුන්ගේ ඒ කාලය සඳහා ගෙවිය යුතු යැයි තීරණය කරන වේතනයක් ගෙවන්නේ ද, එහි දී එම සමාජයේ සියළු වේතනවල අගය අඩු වී යයි.

කෝම්පිට්ටු වෙනුවට සමාජයට අගයක් එකතු කරන කාර්ය/සේවාව කුමක්දැයි කියා තීරණය කරන්නේ මැදිහත්වීම් අඩු වූ වෙළඳපල විසිනි. වෙළඳපලක් තුළ මැදිහත්වීම් වැඩි වෙද්දී සමාජයට අගයක් එකතු කරන කාර්යයන්/සේවාවන් මොනවාදැයි කියා පෙන්වන වෙළඳපල ලක්ෂණ සොයාගැනීමට අසීරු වී යයි.

මාක්ස් එංගලන්තයේ පළමු ජාත්‍යන්තරය නැමති සංවිධානයට එකතුවෙද්දී එහි සිටි සාමාජිකයන් වෘත්තීය සමිති හරහා අයිතීන් දිනාගන්නට කටයුතු කරමින් සිටියහ. එහෙත් ඒ වෙනුවට විප්ලවය තුලින් වේතන නොමැති සමාජවාදය සඳහා යෑමට කළ යුතු යැයි මාක්ස් කියා සිටියේය. වේතන නොමැති සමාජවාදය පටන් ගනිද්දීම බංකොළොත් විය. එසේ වුවත්, අදත් වෙළඳපල තුළ වේතන තීන්දු කළ හැකි යැයි සිතන අය නොමඳ වෙති.

වේතන සහ මිල ගණන් විසින් ලබාදෙන අනර්ඝ වූ මාර්ගෝපදේශකය නම් සම්පත්, ස්වභාවික සහ මිනිස් සම්පතත්, කාර්යක්ෂම ලෙසින් පරිහරණයයි.

වෙළඳපලට මහත් සෙයින් මැදිහත්වීම් එල්ල කරමින් කටයුතු කරද්දී ක්ෂය වී යන්නේ රටක සියළු පුරවැසියන්ට අයිති සම්පත් වෙති. සමාජයේ යම් පිරිසක් තමන්ගේ වේතන වැඩිකරගත්තා යැයි විශ්වාස කළ ද අවසානයේ දී ඔවුන් සැබැවින්ම තවත් දුප්පත් වී සිටිති.

සමාජමය ලෙසින් අත්‍යාවශ්‍ය ශ්‍රමය මාක්ස් හැඳින්වූයේ “අගය” හැටියටයි. ඔහු නැවත නැවතත් ඔහුගේ මේ අගය ගැන නිර්වචනයන් ගෙනහැර පාන ලද්දේය. එය මාක්ස් ගෙනෙන ලද අගය පිළිබඳ න්‍යායක් නොවේ. ඩේවිඩ් රිකාඩෝ නැමති සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයාගේ බස් වහර යොදාගන්නා ලද නිසා පසුකාලීන මාක්ස්වාදීන් එය අගය පිළිබඳ න්‍යායක් ලෙසින් ගෙන සංවාදයේ යෙදෙති. අගය පිළිබඳ න්‍යායන් ඉදිරිපත් කළේ රිකාඩෝ සහ ඇඩම් ස්මිත් විසිනි. ඔවුනට අනුව භාණ්ඩ හුවමාරු වනුයේ ඒවායේ අඩංගු ශ්‍රම වැයට සරිලන අන්දමින් ය. එහෙත් මාක්ස් විසින් සිය දාස් කපිතාල් කෘතියේ පළමු වෙළුමෙන් “ඇඩම් ස්මිත්, රිකාඩෝ සහ අනෙක් අය විශ්වාස කරන අන්දමට සාමාන්‍ය මිල ගණන් ඍජුවම භාණ්ඩවල අගයන් හා සම්පාත වෙන්නේ නැත,” යැයි ලියන ලද්දේය. ස්මිත්ගේ අගය පිළිබඳ ශ්‍රම න්‍යාය මාක්ස් යොදාගත්තේ ඔහුගේ විශ්ලේෂණයට පිවිසීම සඳහා පමණි. න්‍යායයක් ඔප්පු කරන්නට හෝ නිශ්ප්‍රභා කරන්නට නොවේ.

දාස් කපිතාල් හි තෙවැනි වෙළුමේ දී මාක්ස් විසින් අගය පිළිබඳ නියමයක් (law of value) ගැන සඳහන් කරන්නේ ධනවාදයේ දී සම්පත් වෙන්කිරීමේ ඇතිවන ගැටළු සම්බන්ධයෙනි. එය මිල ගණන් තීරණය කිරීම ගැන නොවන්නකි.

මාක්ස් ගෙනෙන අගය පිළිබඳ නියමය නිෂ්පාදනයේ යෙදී සිටින ජනතාව අතර ඇති සමාජමය සබඳතා ගැන වූවකි. නිෂ්පාදන ක්‍රියාවලියේ අඩංගු මුදල්, පාරිභෝගික භාණ්ඩ, සහ යන්ත්‍ර සම්බන්ධයෙන් මිනිසුන් අතර ඇති සබඳතා දිහා බැලීම පමණකි. ඒ සබඳතා ගැන ද ඔහු මුළුමනින් සලකා නොබැලූ නිසා ඔහු ගෙනෙන ලද මතවාදය මහත් දෝෂ සහගත වූහ.

මිනිසුන් අතර සබඳතා ගැන කිසිදු උනන්දුවක් නොදක්වන වෙළඳපලට ඉඩ දීම නිසා, එනම් සියල්ලන්ගේම අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඉඩකඩ විවෘත කිරීම නිසා, එවැනි සමාජයක සියල්ලන්ගේම ආර්ථික සමෘද්ධියට මඟ පෑදේ. වෙළඳපල තුළ කෝම්පිට්ටු හදන අයට තැනක් නොමැතිවීම නිසා ඔවුන් අලෙවි කළ හැකි වූ වෙනත් කාර්ය/සේවා සඳහා යොදවන ශ්‍රමයක නියැළෙති. එහි දී සමාජයේ සියල්ලන්ගේම සැබෑ වේතන ඉහළ යයි.

ඵලදායී ශ්‍රමය සහ නිෂ්ඵල ශ්‍රමය අතර වෙනස හඳුනාගන්න

රෝම අධිරාජ්‍යයෙන් පසු උදා වූ අඳුරු යුගය මාක්ස්ට අමතක වී ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 29, 2021

වහල් යුගය, වැඩවසම් යුගය, ධනවාදී යුගය යැයි ඉතිහාසය බෙදා අනාගතයේ එකක් පසුපසින් එකක් එන, අවසානයේ උදාවන රන් යුගය වූ සමාජවාදය විස්තර කරද්දී මිනිසාගේ ආර්ථික, දේශපාලන සහ සමාජයීය ඉතිහාසය නොනැවතී එක දිශාන්තියකට ගමන් කරන ලද්දක් නොවේ යන්න මාක්ස්ට අමතක වී ගියාද? නැතිනම් ඔහු තම මතවාදය සඳහා අවශ්‍ය ඉතිහාසය වෙත පමණක් අනුගාමිකයන්ගේ අවධානය යොමු කළා ද?

මිනිසාගේ ඉතිහාසය දිග හැරුණේ දළඹුවෙක් සමනලයෙක් බවට රූපාන්තරය වෙනවා මෙන් නොවේ. එනම් හැම අවස්ථාවක දී ම දළඹුවා සමනලයෙක් බවට හැරෙනවා මෙන් නොවේ. සමාජවාදය ලෝකයේ පැතිර ගියේ ද ගැබ්බර මවක් දරුවෙක් ප්‍රසූත කරන අනිවාර්යෙන්ම සිද්ධවෙන ආකාරයට නොවන බව සමාජවාදයේ කළුපොත අපිට විස්තර සහිතව පෙන්වා දෙයි.

වසර 4,000 ක් තරම් පැරණි පෞද්ගලිකව හුවමාරු වූවා යැයි සැලකෙන ඇසිරියානු කුනිෆෝම් පුවරු 23,000 ක් හදාරන පුරාවිද්‍යාඥයන්ට ඇසිරියන් ශිෂ්ටාචාරයේ විගාමික වෙළෙන්ඳන්ගේ වානිජ සංස්කෘතිය ගැන හදාරන්නට අවස්ථාව ලැබුනේ මෑතක දී ය. ඒවායෙ තොරතුරුවල දකින්නට ලැබෙන ලමාස්සි නැමැත්තිය අපෝහක භෞතිකවාදය යන මාක්ස්වාදයේ පදනම සුනුවිසුණු කරන්නට සමත් වන්නීය. ඇය වහල් යුගය යැයි මාක්ස් සලකන යුගයේ ජීවත්වූ ලියන්නට දත් සහ උපකරණ භාවිතා කරමින් තමන්ගේම ව්‍යාපාරයක නියැළී සිටි කාන්තාවකි.

ලමාස්සි ගැන මාක්ස් නොදත්තේ මේ සොයාගැනීම් මෑතක දී සිද්ධ වූ බැවිනි. ඒත් රෝම අධිරාජ්‍යයේ කඩා වැටීම ගැන තුසිඩිඩීස් සිට සටහන් ගතකර ඇති ඵෙතිහාසික තොරතුරු අතිමහත් වෙති. ඇමෙරිකාවේ මුල් දේශපාලනඥයන් රෝම අධිරාජ්‍යයේ කඩා වැටීම පරතෙරට හදාරන ලද්දවුන් වූහ. ඇමෙරිකාවේ රජයේ කාර්ය භාරය අවම කරන්නට ඔවුන් පියවර ගන්නා ලද්දේ ඒ නිසා බව අපිට ෆෙඩරලිස්ට් රචනාවලින් සහ ඔවුනොවුන් අතර වූ ලිපි හුවමාරුවලින් දැනගන්නට පුළුවනි.

නිර්බාධ වෙළඳාමට ඉඩක් ලැබෙද්දී, ආණ්ඩුවක කාර්ය භාරය සීමිත වෙද්දී, පෞද්ගලික දේපල අයිතිය රැකෙද්දී සමාජයක් දියුණුවට පා තබනවා මෙන්ම එම සමාජයම ආපස්සට යෑම, එනම් දේශපාලනයෙන් ආර්ථිකයට මැදිහත්වීම් ඇතිවීම හටගනිද්දී ඇතිවන ආර්ථික පරිහානිය නිසා සමාජ සබඳතා දුර්වල වී සංස්කෘතික පරිහානියකට ද පත්වීමද සිද්ධ වේ.

“ආර්ථිකය ගැන රජයේ දැක්ම කෙටි වාක්‍යය ස්වල්පයකින් කැටිකළ හැකියි: එය වැඩකරනවා නම්, බදු පනවන්න. එය තව දුරටත් වැඩකරනවා, නියාමන කරන්න. ඉතින් එය වැඩකිරීම නවත්තලා නම්, එයට සහනාධාර සපයන්න.” රොනල්ඩ් රේගන්

ලෝක ඉතිහාසයේ මීට උදාහරණ ඇති පමණින් ගෙනෙන්නට පුළුවනි. ඒත් කාල් මාක්ස්ට ඵෙතිහාසික සටහන් ඇතිව පැහැදිලිවම පෙන්වන උදාහරණය වූ රෝම අධිරාජ්‍යය මඟහැරුනේ මන්දැයි යන්න ගැටළුවකි.

දැවැන්ත ආර්ථික අර්බූදයකට මුහුණට මුහුණලා සිටියදී හෝ බදු සහ නියාමන ස්වල්පයක් හෝ ලිහිල් කරන්න යැයි කියද්දී අපොයි එහෙම කරන්න බැහැ අපිට ඉන්නේ ලංකාවේ මිනිස්සු යැයි සමාවට හේතු දක්වන අයට ද රෝමය කදිම උදාහරණයකි. එකම සමාජයක් ඉදිරියටත් ඒ සමාජයම ආපස්සටත් ගියේ කෙසේද?

රෝම ශිෂ්ටාචාරයේ මුල් කාලයේ දී එහි වූයේ කෘෂිකාර්මික සමාජයකි. එය ගොවීන් සහ එඬේරුන් වෙතින් හැදෙන ලද්දකි. ක්‍රි. පූ. 2 වැනි සියවස වෙද්දී වෙළෙඳ කටයුතු විශාල ලෙසින් සිදු වූහ. අඩු බදු සහ රේගු මට්ටම් නිසා අවට දේශයන්හි ජනතාව ඉතාලියට සංක්‍රමණය වන්නට පටන් ගත්හ. ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම දාර්ශනික චින්තනයට ද කලා නිර්මාණවලට ද අවස්ථාවක් පෑදිණ. ඒවා කිසිවක් කිසිදු රජයක් විසින් සැලසුම් කරන ලද්දා වූ දේ නොවූහ. විවිධ වෑයම් විවිධ ප්‍රදේශයන් තුළ හටගෙන දියුණුවෙන් දියුණුවට පත් වූවා පමණි.

ඒත් ඒ වෙළඳ සහ සංස්කෘතික දියුණුවෙන් පසුව රෝම අධිරාජ්‍යය වසර දහසකට වැඩි කාලයක් ගෙවී යන තුරු අඳුරු යුගයකට ආපස්සට ගියේය. එතෙක් රෝම වැසියන් හුරුවී සිටි තම වගකීම තමන් දැරීම සඳහා ඔවුනට අවසරයක් නොලැබිණ. ඒ වෙනුවට සියල්ලන් වෙනුවෙන් සමාජයේ වගකීම් බාරගන්නට ඉදිරිපත් වූ දේශපාලකයන් රෝම අධිරාජ්‍යය එසේ බංකොළොත්බවට ඇදගෙන ගියහ.

ක්‍රි. පූ. 49 දී ජූලියස් සීසර් විසින් සුබසාධන දීමනා ලක්ෂ 32 කින් ලක්ෂ 20 ක් දක්වා අඩු කළේය. ඒත් තවත් වසර 45 ක් යද්දී සුබසාධන දීමනා ලක්ෂ තිහ ඉක්මවා ගිහින් තිබුණි.

274 වසරේ දී ඔරේලියන් (Aurelian) නමැති අධිරාජයා සුබසාධන යනු උරුමයෙන් ලබෙන්නක් යැයි ප්‍රකාශ කළේය. එනම් තම දෙමව්පියන්ට රජයෙන් සුබසාධන ලැබෙන්නේ නම් ඒවා තමන්ට දායාද මෙන් ලැබීම සිද්ධ වේ. එපමණක් නොව කලින් රජයෙන් දුන් තිරිඟු පිටි දීමනාව වෙනුවට පාන් පුළුස්සා බෙදා දීම හේ කළේය. ඊට නොමිලේ බෙදන ලුණු, ඌරු මස් සහ ඔලිව් තෙල් ද එකතු කළේය. නැත, ඔහු බෙදුවේ ඔහුගේ වත්කමෙන් කොටසක් නොවේ. මේවා බෙදන්නේ රජය විසින් බදු හැටියට රටේ පිරිසක් වෙතින්ම එකතු කරගන්නා මුදල් වැය කරමිනි.

රාජ්‍ය වැය අඩු කරද්දී රට තව ටික හෝ කාලයක් ඇදගෙන යන්නට හැකිබව සහ රාජ්‍ය වැය වැඩි වෙද්දී බංකොළොත් භාවයට ඇද වැටෙන බව එදත් ඔප්පු වූවකි.

ජනතා නාමයෙන් බදු වැඩි කරමින් ගෙන ගිය රජයේ සමාජ සුබසාධන වැඩ පිළිවෙත් නිසා නිතරම හටගන්නා උද්ධමන රකුසා එදත් හිස එසැවීය. ඩෙනාරියස් නම් වූ රෝම කාසියේ අගය බහින්නට පටන් ගති. කාසිවල අගය බහින වේගයට කාසි නිපදවීම කළ නොහැකි බව දකිද්දී රෝම අධිරාජයන් කළේ කාසියේ රිදී ප්‍රමාණය අඩු කිරීමයි. සියයට 94 ක් රිදීයෙන් නිමවා තිබුණ ඩෙනාරියස් කාසියේ ක්‍රි. ව. 298 වෙද්දී තිබුණේ රීදි සියයට .02 ක් පමණි.

ඒත් ඔවුන්ට ඔවුන්ගේම ඉතිහාසය අමතකවී තිබිණ. වෙළඳපොලට ලිහිල් කරනවා වෙනුවට 301 වසරේ දී ඩයේක්ලීෂන් අධිරාජයා වේතන සහ සහතික මිල ක්‍රමයක් නීතියෙන් පිහිටුවන 301 වැනි රාජාඥාව නිකුත් කළේය. ලැක්ටැන්ටියස් (Lactantius) නමැති ඉතිහාසඥයා ක්‍රි. ව. 314 දී එහි දී අධිරාජ්‍යයේ හටගත් තත්ත්වය ගැන මෙසේ වර්තා තබයි: “ඔහු ගෙනෙන ලද පීඩක ක්‍රියාමාර්ග බොහොමයකින් අධිරාජ්‍යයේ මහා හිඟයක් පැතිර යද්දී, ඊළඟට ඔහු කළේ විකිණිය හැකි සියළු දැයේ මිල ගණන් නියාමනය කිරීමයි. සුළු දේ ගැන පවා ලේ හලන ආරවුල් හට ගැනිණ. ඒවාට සරිලන මිලක් ලබාගත නොහැකි නිසා, මිනිස්සු තව දුරටත් පොලට බඩු ගෙනාවේ නැත. මේ නිසා හිඟය තවත් කොතරම් දරුණු වූවාද කියතොත් තවත් බොහෝ දෙනෙක් එයින් මිය ගිය පසුව අවසානයේ දී නීතිය පැත්තකට දමන ලදි.” “After the many oppressions which he put in practice had brought a general dearth upon the empire, he then set himself to regulate the prices of all vendible things. There was much bloodshed upon very slight and trifling accounts; and the people brought provisions no more to markets, since they could not get a reasonable price for them; and this increased the dearth so much that at last after many had died by it, the law itself was laid aside.

ක්‍රි. ව. 314 සිට අද දක්වාම කිසිදු සැකයක් නොමැතිව එය එයාකාරයෙන්ම සිද්ධ වෙන බව දකින්නට ලැබුණත්, අදත් එය එසේ දිගහැරෙන්නේ නැතැයි කියමින් “කඩා වැටෙමින් පවතින රෝමයෙන්” බැහැරව සුව පහසුවේ ජීවත්වෙන අයව දකින්නට ලැබේ.

ප්‍රතිගමනයට හැකියාව ඇතැයි කීම දාර්ශනික කරුණක් පමණක් නොවේ. අතිශය විශාල වූ බලපෑමක් ඇති කළ හැකි එය ප්‍රායෝගික කාරණයකි.

රෝමයේ මුල් කාලයේ පැවති තරම් සාමාන්‍ය ජීවන මට්ටම් තත්ත්වයකට යළි එන්නට, රෝම අධිරාජ්‍යයේ කඩා වැටීමෙන් පසුව යුරෝපීයයන්ට වසර දහසක් පමණ ගතවිණ.

ප්‍රතිගමනයේ ඇති අනතුරුදායක බව නොසලකා හැරීම නිසා අයෙක් පහසුවෙන්ම මේ පවතින තත්ත්වයට වඩා ආපස්සකට ඇද වැටෙන්නේ නැතැයි කියා හිතන්නට පුරුදුවී සිටියි.

අවාසනාවන්ත වයිමා ජනරජයේ වාසය කළ ජර්මන් කොමියුනිස්ට්වාදීන් ද එවැනිම අදහසකින් යුතු වූ නිසා හිට්ලර්ට බලය අල්ලාගන්නට පහසු විය. නාට්සි දේශපාලනික රැඳවුම්කඳවුරු තත්ත්වය වයිමා ජනරජයටත් වඩා කොතරම් අවාසනාවන්ත විය හැකිදැයි කියා පෙන්වන ලදි. නාට්සීන්ද සමාජවාදීන් වූයේය යන්න අද බොහෝ දෙනෙක් අමතක කරති.

ට්සාර් බලයෙන් පහ කරන්නට උදව් කළ අයටත් ස්ටාලින්ගේ රහස් පොලීසියෙන් තත්ත්වය කොතරම් අමානුෂික විය හැකිදැයි කියා අවබෝධ වූහ.

දෙසැම්බර් මැද දී පැවති චිලේ රටේ මැතිවරණය ගැන ද මෙහි දී සටහනක් තබන්නට අවශ්‍යයයි. මාක්ස්වාදී ප්‍රතිපත්ති එක කලකටත් නිර්බාධ වෙළඳ ප්‍රතිපත්ති තව කලකටත් මාරුකරගනිමින් යන චිලේ හි ගාබ්‍රියෙල් බොරිච් (Gabriel Boric) මැතිවරණට පෙර සති කිහිපයේ දී තමන් සිටින වමෙන් දේශපාලන මැද ස්ථාවරයකට යන බව කියා සිටියේය. ඔහුගේ ජයග්‍රහණයට එය මහත් සේ බලපාන ලද්දේය. ඒත් වම සම්පාදනය කරමින් සිටින අලුත් ව්‍යවස්ථාව රටට අනර්ථකාරීය. වෙළඳපල ආර්ථිකයේ පදනම් කිහිපයක් කඩා දමමින් රෝමයේ කළා මෙන් මහජනතාව සඳහා වෙන්කරන රජයේ වැය වැඩි කරමින්, රටේ පොදු දේපල සම්බන්ධයෙන් දැනට ඇති රජයේ ශික්ෂණය එයින් ඉවත් කරන්නට නියමිතයි. අනාගතයේ දී චිලේ ආර්ථිකය අදට වඩා අයහපත් වෙද්දී අද ප්‍රීතිඝෝෂා නඟන වමේ අය, වෙනිසියුලාව ගැන සේම නිහඬව සිටිනු ඇත.

ඉතින් මාක්ස්ගේ මේ ඉතිහාසමය රූපාන්තර (metamorphosis) උපමාව යනු නිකම් නිකම් න්‍යායේ දකින්නට ඇති සුළු දෝෂයක් හැටියට සැලකිය යුතු නොවේ.

කලින් ලියූ සටහන්:
ලමාස්සි ගැන, රෙදිපිළිවලින් ලෝකය හැදුවේ කොහොමද?

අහම්බෙන් සහ බලහත්කාරයෙන් ද නැත්නම් සලකා බැලීමෙන් සහ තෝරාගැනීමෙන් ද?

යුරෝපයේ අඳුරු යුගය

මිනිසාගේ අදහස්වල ප්‍රභවය කොතැනද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 27, 2021

ඵෙතිහාසික ක්‍රියාවලිය තුළින් අනිවාර්යෙන්ම උදාවෙන අනාගත තත්ත්වය, එනම් විද්‍යාත්මක සමාජවාදය ගෙනහැර පාන ලද කාල් මාක්ස් එහි ආගමනය කිසිම කෙනෙකුට නවත්වන්නට නොහැකි වූවක් යැයි කියා සිටියේය. මාක්ස් සහ එංගල්ස් දෙදෙනාගේ ලියැවිලි හරහා “දළඹුවෙක් සමනලයෙක් බවට හැරෙන” සහ “මවක් තම ගර්භාෂයෙන් දරුවෙක් ප්‍රසූත කරන” යනාදී රූපාන්තර පද වහර තුළින් ධනවාදී සමාජයෙන් පසුව එන ඒ අනාගත තත්ත්වය යනු විද්‍යාත්මක සමාජවාදය යැයි හැඳින්විණ.

මෙය ලියාගෙන යන සටහන් පේලියක් නිසා ආරම්භයේ සිට කියැවීමෙන් අවබෝධය පහසුවෙනු ඇතැයි සිහිකරමි.

ඉතින් නැවතත්, කෙටියෙන්, හෙගලියානු අපෝහකවාදයෙන් කාල් මාක්ස් එළඹෙන ලද “විද්‍යාත්මක සමාජවාදයේ” සාරය මෙයයි: විරුද්ධ පැති දෙකකින් හටගැනෙන අරගල, එනම් දේශපාලන සිද්ධීන් ඒවායේ ප්‍රතිඵල දක්වා, අවසාන ලෙසින් ඒවායේ ආර්ථික හේතු දක්වා, ආපසු සොයා බැලීමේ දී ඒවා අලුත් තත්ත්වයක සංශ්ලේෂණයක් කරා යෑම අනිවාර්යෙන්ම සිදුවීම.

අනාගතයේ නිසැකවම එන අලුත් අදියරට දායක වන මාක්ස්ගේ භෞතිකවාදී නිෂ්පාදක බලවේග මොනවාද? පංති අරගලයක් ගැන කියා සිටි මාක්ස් “පංතිය” යන්න කුමක්දැයි කියා කොතැනක හෝ ලියා නැති සේ ම (මේ ගැන සටහනක් වෙනම බලාපොරොත්තුවන්න) ඔහු “භෞතික නිෂ්පාදන බලවේග” යනු මොනවාදැයි කියා ද කොතැනක හෝ ලියා නැත.

1847 දී ඔහු ප්‍රංශ බසින් ලියූ “දර්ශනයේ දරීද්‍රතාවය” (Misère de la philosophie) නමැති කෘතියේ “අත්-මෝල විසින් ඔබට වැඩවසම් ස්වාමියා සිටින සමාජය ලබාදෙයි” සහ “හුමාලයෙන් දුවවන මෝල විසින් ඔබට කර්මාන්ත ප්‍රාග්ධන හිමියා සිටින සමාජය ලබාදෙයි” යැයි සඳහන් කර තිබේ.

මේවා හැරෙන්නට වෙනත් යන්ත්‍ර සමාජයට පැමිණීම නිසා එයින් සමාජවාදය නිර්මාණය වන බව සඳහන් කර තිබීමත් මාක්ස්ගේ ලියැවිලි තුළින් දැකිය හැකියි. ඔහුගේ ලියැවිලි තුළින් දකින මේ භෞතික නිෂ්පාදක බලවේග යනු ඒ නිසා උපකරණ සහ යන්ත්‍ර බව සැලකේ.

මාක්ස්ට කලින් හර්මන් ලුඩ්විග් ෆර්ඩිනැන්ඩ් වොන් හෙල්ම්හොල්ට්ස් (Hermann Ludwig Ferdinand von Helmholtz, 1821-1894) සහ ලියොපොල්ඩ් වොන් රෑන්ක් (Leopold von Ranke, 1795-1886) දෙදෙනා ඉතිහාසය යනු තාක්ෂණයේ ඉතිහාසය යැයි කියා තිබුණහ. ඉතින්, ඉතිහාසයේ කාර්යය වනුයේ ඒ ඒ යුගයේ දී මහජනතාව විසින් යම් නිශ්චිත තාක්ෂණයක් භාවිතා කළේ මන්දැයි පැහැදිලි කිරීම යැයි ඔවුන් කියා සිටියහ.

උපකරණ, යන්ත්‍ර එනම් භෞතික නිෂ්පාදක බලවේගය නිසා මිනිසාගේ මොළයේ අදහස් ඇතිවෙනවා යැයි මාක්ස් කියා සිටීම ඒ නිසා අලුත් අදහසක් නොවූයේය. මාක්ස් විසින් උපකරණ හා යන්ත්‍ර හරහා ඇතිවන අදහස්වල නිෂ්පාදනය ඊළඟට තාක්ෂණික අදහස්වල වෙනස්වීම යන තත්ත්වයට රැගෙන යන ලදි. ආර්ථික තත්ත්වයන් මත මෙම වෙනස්වීම පදනම් වූ බව මාක්ස්ගේ මතය විය.

සෑම අලුත් යන්ත්‍රයක් ගැනම ඇහෙද්දී ඔවුන් ඒ නිසා ඉතා සතුටට පත්වූ බව මාක්ස් සහ එංගල්ස් දෙදෙනා අතර හුවමාරු වූ ලිපිවලින් දැනගන්නට ලැබේ. ධනේශ්වරයේ ඒ යන්ත්‍ර පසුපසින් සමාජවාදය අත ළඟම එනවා යැයි එවක ඔවුන් අපේක්ෂා කළ නිසයි.

ඔහු ජීවත්ව සිටි කාලයේ පැවති සියළු අර්බූදයන්ට උපකරණ (tools) වගකිව යුතු නැතැයි කියා ද මාක්ස් කියා සිටියේය.

මාක්ස්වාදයේ අදහස්වලට මෙයින් ඇති බලපෑම කුමක්ද?

17 වැනි සියවස මුල දී විසූ රෙනෙ ඩෙකාට් නමැති දාර්ශනිකයා විශ්වාස කළේ මිනිසාට මනසක් තියෙනවා සහ මිනිසාට හිතන්න පුළුවන් යැයි කියායි. ඩෙකාට්ට අනුව අනෙකුත් සත්වයන්ට හිතන්න නොහැකි නිසා ඔවුන් යන්ත්‍ර පමණක් වෙති. උපකරණ සහ යන්ත්‍ර ඇති කාර්මික යුගයක ඔහු ජීවත්වූ බැවින් සත්තු යාන්ත්‍රික යැයි දක්වන න්‍යායක් හදන්නට ඩෙකාට්ට සිද්ධ වූවා යැයි මාක්ස් කියා සිටියේය.

මිනිසාගේ සංවේදීය අත්දැකීම් වලින් මිනිසාගේ මනසේ සියල්ල නිර්මිත යැයි ජෝන් ලොක් (1632-1704) නැමති අනුභූතිවාදයේ දාර්ශනිකයා දැක්වීම මාක්ස්ට අනුව බුර්ජුවාසියේ පංති දැක්ම ප්‍රකාශයකි.

ඉතින් ඩෙකාට්ගේ දැක්මට මාක්ස් දුන් පිළිතුර ඩෙකාට් යන්ත්‍ර හඳුන්වාදෙන යුගයක ජීවත්වීම නිසා ඔහු සත්වයන් යන්ත්‍ර හැටියට පැහැදිලි කළා යන්නය.

ඉතින් ජෝන් ලොක්ගේ දැක්මට මාක්ස් දුන් පිළිතුර ලොක් බුර්ජුවාසී පංතියේ දැක්ම වෙනුවෙන් පෙනී සිටියා කියාය.

ඒ අනුව මාක්ස් ගෙනෙන්නේ අදහස්වල ප්‍රභවය ගැන එකිනෙකට පරස්පර වූ පැහැදිලි කිරීම් දෙකකි. මිනිසා තුළ අදහස් ඇතිවීම භෞතිකවාදී නිෂ්පාදක බලවේග, එනම් උපකරණ හා යන්ත්‍ර මත පදනම් වෙන්නේ නම්, එහෙනම් දෙවැන්න, පංති දැක්ම අනුව අදහස් තීරණය වෙනවා යන්න පරස්පරවිරෝධීය.

භෞතික නිෂ්පාදන බලවේග නිසා ඕනෑම කෙනෙක් සිතන සිතුවිලිවල ප්‍රතිඵලයෙන් ඔහුගේ පංති දැක්ම පෙනෙනවා යැයි මාක්ස් කියා සිටියි.

මාක්ස්ට අනුව ඔබ හිතන්නේ ඔබට හිතන්න යැයි ඔබේ “කැමැත්තන්” (interests) බලකරන අන්දමටයි. ඔබ හිතන්නේ ඔබේ පංති “කැමැත්ත” අනුවයි. ඔබේ “කැමැත්තන්” ඔබේ මනසෙන් සහ අදහස්වලින් ස්වාධීනව පවතින්නකි. මේ ලෝකය තුළ ඔබේ “කැමැත්තන්” පවතින්නේ ඔබේ අදහස්වලින් බාහිර ලෙසිනි. ඒ අනුව ඔබේ අදහස්වලින් ලැබෙන ප්‍රතිඵලය සත්‍යය (truth) නොවේ.

කාල් මාක්ස්ට ප්‍රථමයෙන් යුරෝපයේ පැවතියේ දෘෂ්ටිවාද (ideology) පිළිබඳ කතිකාවකි. සත්‍යය ගැන කතිකාවක් නොවේ. මාක්ස් දෘෂ්ටිවාදය යන්න වෙනත් අර්ථයකින් භාවිතා කරන්නට පටන් ගත්තේ ය. දෘශ්ටිවාදයක් යනු පංති සාමාජිකයෙක් විසින් සිතන ධර්මයකි. මේ ධර්ම අත්‍යවශ්‍යයෙන්ම “සත්‍යය නොවන” ඒවාය. ඒවා පංතියේ කැමැත්තන් විභාවනය කරනවා පමණකි.

ඉතින්, අනාගතයේ යම් දිනයක පංති භේදයක් රහිත සමාජයක් උදාවෙනු ඇත. එක පංතියක්, එනම් වැඩකරන පංතිය විසින් පංති රහිත සමාජයට මාර්ගය පාදනු ඇත. වැඩකරන ජනතාව විසින් සියළු පංති මූලෝත්පාටනය කර දමා රන් යුගය, එනම් පංති රහිත සමාජය ගෙන්වා ගනු ඇත.

විශ්ව ලෙසින් පවතින තාර්කික බවක් ලොව නැතැයි මාක්ස් කියා සිටියේය. මාක්ස්ට අනුව සෑම පංතියකටම ඔවුන්ට විශේෂ වූ තර්කාන්විත බවක් ඇත. එහෙත් ඉතින් අනාගතයේ සත්‍යය තාර්කික බව නම් වැඩකරන ජනතාවගේ තාර්කික බවයි.

එම අදහස් මාක්ස්ගේ වෙද්දී ඒවා අගයන අය එදත් අදත් ඒවා වර්ගවාදීන් විසින් දක්වන අදහස් බව නොදැක්කා සේ සිටිති. විවිධ ජනවර්ගවලට ඔවුන්ගේම කියා තර්ක ඇතැයි ද, ඔවුන්ගේ තර්ක අනෙක් ජනවර්ගවලින් වෙනස් යැයි කියද්දී, ආර්යන් (ජර්මන්) තර්කය සැබෑ තර්කය යැයි කියාගැනීමත් ඒ තර්කයෙන්ම සිද්ධවෙන බව ගැන කල්පනා කරන්නේ නැත.

අදහස් වලින් සංවාද කරන්නට නොහැකි වූ කළ කාල් මාක්ස් ඔහු ජීවත්ව සිටිය දී අනෙකා පංති දැක්ම අනුව කතා කරනවා යැයි කියා ඇඟබේරාගත්තා සේ, මතවාදය පැහැදිලි කරන්නට නොයා අදත් ඒ වෙනුවට කුමන හෝ පරිභව ලේබලයක් අලවා අයින් වෙන අය සිටිති.

කලින් ලියූ සටහනක්:
ඔබේ විශ්වය කොහොමද?

<

මනස, මොළය, භෞතිකවාදය සහ නිෂ්පාදන බලවේග

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 21, 2021

මිනිසා යන සත්වයාට එක ලෙසින් ස්වභාවයෙන් දායද වූ ලක්ෂණ ඇත. ඒවා අතර චින්තනයට හැකියාව යන්න මිනිස් සත්වයාට සුවිශේෂී වූවකි. මිනිසුන් සියල්ලන්ටම සිතන්න පුළුවන් වුවත් එකම විදියට හිතන දෙන්නෙක් (නිවුන්නු අතර හෝ) දකින්නට නොහැකියි. බොහෝ දෙනෙක් අතර ඇතිවන එක එකඟතාවයක් පිටුපස විවිධාකාර වූ හේතූ ඇත.

යම් සිද්ධියක් හමුවේ ඒ ඒ මිනිසා තුළ විවිධාකාර වූ සිතුවිලි පහළ වීම මිනිස් ස්වභාවයේ ඇති අපූර්ව බවයි. වෙනස් සිතුවිලි නිසා වෙනස් ලෙසින් අදහස් දැක්වීම හා ඒ අදහස් අනුව ක්‍රියාකිරීම මිනිස් ඉතිහාසය පුරාම නොවෙනස්වන ලද මිනිස් ස්වභාවයකි. ඒකීය පුද්ගලයා ඔහුගේම වූ සිතුවිලි අනුව ඔහුගේම වූ ක්‍රියාකාරකම් තෝරා ගනියි.

සියල්ලන්ම එක හා සමාන ලෙසින් බුද්ධිමත්, දක්ෂ, කුසලතා සපිරි නොවනුයේ ඒ නිසයි.

සමාජවාදී අනාගතයක දී සාමාන්‍ය මිනිසා කුසලතා, දක්ෂකම්, බුද්ධිය, කලා දස්කම් යනාදියෙන් අතීතයේ සිටි ශ්‍රේෂ්ඨයන් හා සමාන වෙතැයි පමණක් නොව ඔවුන්ව අභිබවා යන්නේ යැයි කියා මාක්ස් සහ මාක්ස්වාදීන් විශ්වාස කරන බව පෙනී යයි. අධ්‍යාපනය තුළින් ඊළඟ පරම්පරාවට දායාද කළ හැකියාව ඇත්තේ ගුරුවරයා දැනට ඉගෙන ඇති දේ පමණක්ය යන්න මාක්ස් සහ ඔහුගේ අනුගාමිකයන් සැලකුවේ නැත. නවෝත්පාදන බිහිවෙන අලුත් අදහස් සඳහා ඉඩක් ලැබෙන්නේ අලුත් අදහස් ඇතිකරගන්නට ඒකීය පුද්ගලයාට නිදහසක් තිබිය දී ය.

මාක්ස්වාදීන් මිනිස් ස්වභාවය නොසලකා හරිනවා යැයි සමාජවාදයට මුල් කාලයේ දී ම එල්ල වූ විවේචනයයි. වෙනත් අයෙකුගේ ප්ලෑන් එකකට අනුව ජීවත්වන්නට සිද්ධ වීම මිනිසත් බව යැයි කියන්නේ කෙසේදැයි යන විවේචනයට කාල් කවුට්ස්කි (Karl Kautsky) පිළිතුරු දුන්නේ මෙසේය: “මිනිස් ස්වභාවය සමාජවාදයට පටහැනි නම්, එහෙනම් මිනිස් ස්වභාවය වෙනස් කරනන්ට සිද්ධ වේ.” ඒත් මිනිස් ස්වභාවය වෙනස් කරන්නේ කෙසේදැයි කියා කවුට්ස්කි පැහැදිලි කළේ නැත.

ඒ සඳහා විස්තර කිරීමක් චර්යාවාදයෙන් ලබා දුන්නේ මනෝවිද්‍යාඥ ඉවාන් පැව්ලොව් විසිනි. සුනඛයන් ආශ්‍රිත පර්යේෂණවලින් එන තත්ත්වාරෝපිත ප්‍රතීක ක්‍රියාව (conditioned reflex) එයයි. මාක්ස්වාදය ගැන ලියැවුන පරණ පොතපතේ පැව්ලොව් ගැන සඳහන් කිරීම නොවැරදීම සිදුවේ. චර්යාවාදී දාර්ශනිකයන් විසින් පුද්ගලයන්ව සලකන්නේ ඔවුන්ගේම කියා අදහස් නැති, එසේම ඔවුන්ගේ අතින් කිසිදු වැරැද්දක් සිද්ධ නොවෙන සත්වයන් හැටියටයි. ස්වභාව ධර්මයේ සෑම භෞතික සහ බාහිර වූ දෙයක් යම් ප්‍රතීක ක්‍රියාවකට ප්‍රතිචාර දක්වයි. ඒ නිසා මිනිසා ද අනෙකුත් සත්වයන් හා සමාන එකම ලෝකයකට ඇතුළත් වෙති යැයි සමාජවාදීන් කියූහ. යම් නිෂ්ඨාවක් වෙත යන්නට මිනිසුන්ට මඟපෙන්වන්නේ යම් ප්‍රතීක ක්‍රියා සහ යම් ආශයයන් යැයි ඔවුන් කියා සිටියහ.

මිනිසාගේ අදහස්, තීරණ, සහ ක්‍රියාකාරකම්වල වගකීම ඔහු වෙතින් ඉවත් කිරීම එසේ සිදුවිය. එහි දී එවැනි උත්තේජක (stimuli) න්‍යායයක් ගැන කතාකරන්නට නම් උත්තේජකයක් හා සම්බන්ධ ඒකීය පුද්ගලයෙක් සිටිය යුතුය යන්න එම චර්යාවාදීන් මෙන්ම මාක්ස්වාදීන් ද සැලකුවේ නැත. බලාත්කාරයක් නැති තත්ත්වයක දී ප්‍රතිචාර නොදක්වා සිටිය හැකියාව ඔවුන් සැලකිල්ලට නොගත්හ. ඒ මන්ද?

අපි අනෙක් මිනිසුන්ව තත්ත්වාරෝපිත (condition) කරන්නම් කියා චර්යාවාදීන් කියා සිටියහ. “අපි” යනු කවුරුන්ද? “අනෙක් අය” යනු කවුරුන්ද? එසේ විමසද්දී, ඔවුන් කියන්නේ ධනවාදය සඳහා ඉතිහාසය විසින් මිනිසුන්ව තත්ත්වාරෝපිත කර ඇතැයි සහ ඊට පිටුපසින් අනිවාර්යෙන්ම සමාජවාදය එන බවයි. ඒත්, ඔවුන් පැත්තකට වී අනිවාර්යෙන්ම එන්නට නියමිත වූවකට ඉඩදී සිටිනවා නොවේ. එයට අනෙක් මිනිසුන්ව බලාත්කාරයෙන් රැගෙන යන ඔවුන්ගේ ක්‍රමය ඔවුන් හඳුන්වාගත්තේ “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය” සහ “ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය” යනාදී නම්වලින් වූහ. සමාජවාදීන්ගේ අදහස්වලට අනුව අදහස් සඳහා අවස්ථාව රැඳී ඇත්තේ පක්ෂය, නායකත්වය, කණ්ඩායම, කල්ලිය අතේ පමණි. අනිත් සියළු රටවැසියන් මොවුන් විසින් ඔවුනට කියන දේ කළ යුතුයි.

නව-හෙගලියානු භෞතිකවාදී අර්ථ දැක්වීමක් හරහා තමන් ඉතිහාසයේ ආර්ථික අර්ථ කථනයක් ගෙනෙන ලද බව මාක්ස් විසින්ම කියා ඇත. එහෙත් කාල් මාක්ස්ගේ දර්ශනය හෙගල්ගේ දර්ශනයට වඩා වැඩියෙන් භෞතිකවාදී වූයේ නැත. මාක්ස්ගේ ඵෙතිහාසික න්‍යාය එවක ඉදිරිපත් වූ අනෙකුත් ඵෙතිහාසික විකාශන (historic process) අදහස් සඳහා ගත් වෑයම්වලට වඩා වැඩියෙන් භෞතිකවාදී බවක් ගත්තේ ද නැත. මේ ගැන පැහැදිලි කරගන්නට නව-මාක්ස්වාදීන් තවමත් වෑයම් කරති.

භෞතිකවාදය පිළිබඳ න්‍යාය ගැන මාක්ස්ගේ ජීවිත කාලයේ දී මත දැක්වූවන් අතර පරස්පර අර්ථ දෙකක් ඇත.
(1) ආචාර ධාර්මික ගැටළු ගැන පමණක් සැලකීම එහි එක අර්ථයකි. භෞතික මිනිසාගේ උනන්දුව ඇත්තේ ආහාර පාන, ඉඳුම් හිටුම් යනාදියට පමණක් මිසෙක කලාව සංස්කෘතිය ගැන නොවේ යන්න එහි දී අදහස් වෙයි. ඒ අර්ථයෙන් ගත්විට බහුතර මිනිස් සත්වයන් භෞතිකවාදීන් වෙති.
(2) මූලික දාර්ශනික ගැටළු සඳහා විසඳුම් යෝජනා කරන විශේෂ කණ්ඩායමක් ගැන භෞතිකවාදයෙන් සැලකීම එහි දෙවැනි අර්ථයයි. මිනිස් මනස සහ ආත්මය (soul) අතර සම්බන්ධය ගැන එක පැත්තකින් ද, මිනිස් ශරීරය සහ ශරීරයේ අවයව අතර ඇති ක්‍රියාකාරී සම්බන්ධය ගැන සැලකීම. මේ කණ්ඩායම අතර ආගමික විසඳුම් ඉදිරිපත් කරන අය සිටිති.

මේ දාර්ශනික භෞතිකවාදීන් අතර එක අනුගාමික කොට්ඨාශයක් මිනිසා යන්ත්‍රයක් හැටියට සලකති. මිනිස් “යන්ත්‍රය” අනෙක් වෙනත් ඕනෑම යන්ත්‍රයක් ලෙසින් වැඩ කරන්නක් යැයි ඔවුන් කියති.

මේ දාර්ශනික භෞතිකවාදීන් අතර මිනිස් ශරීරය සහ ශරීරයේ අවයව අතර ඇති ක්‍රියාකාරී සම්බන්ධය ගැන කතා කරන අනුගාමිකයන් මාක්ස්වාදී දර්ශනය ගැන කතා කරද්දී වැදගත් වෙති. මේ දැක්ම ඉතාමත් මූලික ආකාරයකින් ඉදිරිපත් කළ දෙදෙනා ලුඩ්විග් ෆොයබාෂ් (Ludwig Feuerbach) සහ කාල් වොගෙට් (Karl Vogt) වෙති. ඔවුනට අනුව සිතුවිලි සහ අදහස් යනු “හුදු” මොළයේ ස්‍රාවයන් වෙති.

මොළයේ සමහර ක්‍රියාකාරකම්වල දී විශේෂ ස්‍රාවයන් නිකුත්වීම සිද්ධවන බව මිනිස් මොළය ගැන පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් අද සොයාගෙන ඇත. එහෙත් සිතිවිලි සහ අදහස් එකම තත්ත්වයකට හා සිද්ධියකට මුහුණ දෙන සියළු ජනතාව අතර එකම ආකාරයෙන් හටගන්නවා දකින්නට ලැබෙන්නේ නැත.

අදහස් සහ සිතුවිලි යනු ස්පෘශ්‍ය (abstract) දේ නොවෙති. එසේම එකම ආකාරයේ බාහිර සාධක හැමදෙනාට තුළම එකම ප්‍රතිචාරයක් උපදවන්නේ නැත. එකම සාධක හමුවේ මිනිසුන්ට එකම සිතුවිලි පහළ වෙන්නේ නැත. බැනුමක් නිසා අයෙක් මහත් සේ සිත රිදවා ගන්නට පුළුවන. වෙනකෙකු සුළුවෙන් සිත රිදවා ගත් අතර තවත් අයෙක් ඒ ගැන කිසිගාණක් නොගත්තා ද වේ. එක වතාවක දී එක් විදියකටත් තවත් වතාවක දී තවත් විදියකටත් කාලයක් යද්දී වෙනත් විදියකටත් ප්‍රතිචාර දක්වන්නට මිනිසාට පුළුවන. එනම් මිනිසාගේ අදහස් සිතුවිලි තුළින් හටගන්නා ප්‍රතිචාර ගැන අපිට නිශ්චිත ප්‍රවර්ග හදන්නට නොහැකියි.

ඉතින් බාහිර වූ භෞතිකවාදයක් මිනිස් ගැටළු සඳහා ඇති විසඳුම හැටියට හිතන පිරිසක් සිටිය ද, එය සැබැවින්ම කළ නොහැකි වූ කාර්යයකි. ඕනෑම අවස්ථාවක දී සියල්ලන්ම ඊට ප්‍රතිචාර දක්වන අන්දම අපිට කලින් දැනගත හැකි යැයි කීමට කොහෙත්ම නොහැකියි.

වොගෙට් වැනි භෞතිකවාදීන් දේශපාලනය ගැන කතා කරන්නට පටන් ගනිද්දී, ඒ ගැන අකමැත්තක් දැක්වූ කාල් මාක්ස් අලුත් ක්‍රමයක් හැදුවේය. ඉතිහාසය ගැන වූ ඔහුගේ භෞතිකවාදී අර්ථ කථනය අනුව සියල්ලේම පදනම “භෞතික නිෂ්පාදක බලවේග” (material productive forces) වෙති. සෑම නිෂ්පාදක බලවේග අවස්ථාවක්ම නිෂ්පාදන සබඳතා තුළ ඇති එක නිශ්චිත අවස්ථාවක් හා සම්බන්ධයක් පවත්වයි යැයි ඔහු කීය. එම සම්බන්ධය ඵෙතිහාසික පරිනාමයේ නීතිය යැයි කියුවා මිසෙක එම නීතිය ඇති වූ ආකාරය සහ ක්‍රියාකරන ආකාරය විස්තර කරන්නට ඔහු ගියේ නැත. මිනිසා රැගෙන යන නිෂ්ඨාව නම් සමාජවාදය යැයි ඔහු කීය. එය සිද්ධවෙන ආකාරය, ක්‍රියාකරන ආකාරය ඔහු විස්තර කළේ නැත. මේවා විස්තර විග්‍රහ කරන්නට අදත් මාක්ස්වාදීන් වෑයම් කරති.

කලින් දිනයක ලියූ සටහනක්:
සිතමතා කරන ක්‍රියාවන් සහ නොසිතා කරන ක්‍රියාවන්